(2012 ජූනි)
දුම්රිය ස්ට්‍රැත්ෆීල්ඩ්
දුම්රියපළ පසු කරමින් තිබිණි.
සිඩ්නි චෙස් ඇකඩමියේ
කටයුතු පිණිස බටහිර දෙසට ඇදෙන දුම්රියක නැගී ආ කාලයේ මා පැමිණ තිබුණේ බර්වුඩ්
දුම්රියපොළ වෙත පමණි. ස්ට්‍රැත්ෆීල්ඩ් යනු බර්වුඩයට පසු හමුවන දුම්රියපොළ ය. එය
පොල්ගහවෙල නැතිනම් මහව හන්දිය දුම්රියපොළ සිහි කළේ එක් ඉලක්කයක් ඔස්සේ ඇදී ආ
දුම්රිය මග දෙපසකට බෙදා හරිමින් ගමනාන්තයන් දෙකක් වෙත දුම්රිය යොමු කළ හෙයිනි.
බටහිර දෙසට විහිදුණු මාර්ගය පැරමටා සහ බ්ලැක්ටවුන් පසු
කරමින් පෙන්රිත් හරහා බ්ලූ මවුන්ටන් කදු ශිඛර දෙසට හෝ රිච්මන්ඩ් ප්‍රත්‍යන්ත වෙත
ජනයා කැටුව යන්නට සූදානමින් සිටි අතර යළි උතුරට හැරුණු මග එපින් ප්‍රත්‍ය නගරයේදී
සිඩ්නියේ සිට එන උතුරුබඩ මාර්ගය හා එක් වීමට දිව ගියේ ය.
මුල් වරට ඇස ගැටෙන බටහිර
ඉම් පෙදෙස් දෙස දුම්රිය කවුළුව තුළින් මම බලා සිටියෙමි. වේගයෙන් පසු වී යන දර්ශන
පෙළ විටෙක වීදිවලින් බර වී එකිනෙකට ආසන්නයෙන් පෙළ ගැසී තිබුණු නිවාස පන්ති ද, දිගු
යායට විහිද ගිය ප්‍රත්‍ය නගරබද ගොඩනැගිලි ද, සුවිසල් දුම්රිය එකලස් කරන හෝ
අලුත්වැඩියා කරන අංගනද මවෙත රැගෙන ආවේ ය.
මා අද හමුවන මිනිසා,
නාරද, කවරෙකු විය හැකි ද? මවිසින් මින් ඉහත පළ කරන ලද ‘සිඩ්නි සිතුවිලි‘ ලේඛණ
කියවා මවෙත ඊමේලයක් එවා තිබුණු ඔහු මා හමුවන්නට කැමැත්තෙන් පසුවන බව ලියා තිබුණේ
ය.
“ඔබ අපට කැපෙන කෙනෙක් බව
පෙනෙනවා. වෙලාවක මුණගැහෙමු!“ යනුවෙන් සදහන් කරමින් අවසන් කර තිබුණු ලිපියේ කෙළවර
ඔහුගේ දුරකථන අංකයද ලියා තිබිණි. ඒ දුරකථන අංකයට මා ඇමතුමක් දුන්නේ දින දෙකකට පෙර
හවස්වරුවක ය.
“හරිම සතුටුයි ප්‍රියන්ත
කතා කරපු එක නම්... එන්න පුළුවන් ද පැරමටාවලට අනිද්ද උදේම? මම අනිද්ද නිවාඩු. අපිට
ටිකක් කතා කළ හැකි!“
බටහිර දෙසට දිවෙන
දුම්රියේ ජනේල කවුළුවක් අසළ අසුන් ගෙන මා මේ ගමන් කරමින් සිටින්නේ ඔහු හමුවන්නට ය.
ඔහු කුමන වයසක, කුමන තරාතිරමක, කොයි ආකාරයක මිනිසකු දැයි යන්න පිළිබඳ කිසිදු අදහසක් නැතිව මා
මේ යන ගමනට අර්ථයක් තිබේ ද?
නැත! එක්තරා අයුරකින් මම
ඔහුව ද, ඔහු මාවද හඳුනාගෙන අවසන් ව ඇත. නන්නාඳුනන මිනිසුන් සමූහයක්
අභියස සිටින ඔබ එහෙන් මෙහෙන් නැගෙන විසිරුණු දේශපාලනික කතාබස් අතරතුර ඔබට සමීප
අදහස් දරන්නකු හඳුනාගන්නේ කොයි ලෙසකින් ද,
මොහොතකින් ඔහු හෝ ඇය සමග අදහසක් දෙකක් හුවමාරු කරගන්නේ කොයි ලෙසකින් ද එලෙසම මා
නාරද වෙත එක් පියවරකින් සමීප වී හමාර ය. ඔහු මා ලියන ‘සිඩ්නි සිතුවිලි‘වල
රසිකයෙකි. මා මෙන්ම හෝ වෙනයම් අයුරකින් මෙරටට ආ ඔහුට මා විඳි මේ හැඟුමන් හමුවී තිබෙනු සැක
නැත. මා ලියූ ලේඛණවලින් ඔහු හඳුනාගන්නා ඔහුගේ අතීතය යළි
හිස ඔසවා විත් මට ද අත වනයි. එක් අතකින් ඔහු අද මුණගැසෙන්නට බලාපොරොත්තු වන්නේ
ඔහුගේ අතීතයම විය හැක. එසේනම් මේ මාගේ අනාගතය ද?
අනෙත් අතට මා මේ යන
ගමනින් මා විදින ගැහැටින් මිදී යම් පිළිතුරක් සොයාගන්නට... ඔව්... යම් රැකියාවක්
පිළිබද අදහසක් සොයාගන්නට මට ඉඩක් ලැබේවි ද? මේ හමුවන අමුත්තා මගේ සිඩ්නි ජීවිතයේ
කටොළුවලින් මා ගලවා ගන්නට හැකි විශ්වකර්ම මිනිසකු වී නම් යන ‘සිහින සිතුවිල්ල‘ ද
මවෙත නොමැත්තේ නොවේ. ඔහුගේම තැනක රැකියාවක් මා වෙත දෙන්නට තරම් ඔහු පොහොසතකු
නම්...?
දුම්රිය ක්ලයිඩ්
දුම්රියපොළ පසු කරමින් තිබිණ. ඊ ළග දුම්රියපොළ පැරමටා බව දුම්රියෙහි ආරක්ෂක
නියාමකවරයා අපට දැනුම් දෙන හඬ ඇසෙයි.
“Next
Station, Parramatta!”
පැරමටා
දුම්රියපොළට දුම්රිය සේන්දුවත්ම මගීහු රැසක් ආසනවලින් නැගිට දොරටු වෙත රැස් වන්නට
වූ හ. මහා මාර්ගයට තරමක් ඉහළින් පිහිටි අංගනයෙන් පිටතට එන මගීන්ට දුම්රියපොළින්
පිට වීමේ දොරටු සඳහා
සෙමින් කැරකැවෙන පඩි පේළි මතින් හෝ විදුලි සෝපානය මතින් හෝ පිවිස පහළ මාලයට බැසිය
යුතු විය.
මම
නාරදට දුරකථන ඇමතුමක් ගතිමි.
“මම
බැහැල ඉන්නෙ“
“ඔව්.
ඔහොමම පහළට එන්න. මම පල්ලෙහා ඉන්නව.“
මම
පිටවීමේ දොරටුව අසළට පැමිණෙන විට අනෙත් පසින් පැමිණි එතරම් උසක් නැති තලෙළු මැදි
වියෙහි වූ ඔහු සිනාමුසු ව මවෙත අත දිගු
කළේ ය.
“මම
නාරද!“
මම
ඔහුගේ අත අල්ලා ගනිමින් ඔහු පිළිගතිමි.
“ඉතින්
ප්‍රියන්ත...?“
පැරමටා - බටහිර දුම්රියෙන්... |
ඔහුගේ
‘ඉතින් ප්‍රියන්ත‘ යන වදන්වල දිගු සංවාදයකට මුල පිරීමේ ලකුණක් විය. කොතනින් පටන්ගත
යුතුදැයි යන්නට අදහසක් මවෙත නොවූ හෙයින් මම කිසිත් නොබිනීමි. මවෙතින් පිළිතුරක්
නොවිමසමින්ම, මහා මාර්ගයට නොපිවිස, උමං මගක් දිග දිවෙන වෙළඳ
සැලින් පිරි මාවතක් ඔස්සේ මා කැඳවාගෙන
ඔහු අසළ වූ ආපන සැලකින් සිසිල් බීම කෑන් දෙකක් මිලට ගෙන එකක් මවෙත පෑවේ ය.
“අපි
මොනව හරි බොමු!“
නාරද
තුළින් විද්‍යාමාන වූයේ සැහැල්ලු බවකි. ඔහු මට වඩා තරමක් වයසින් වැඩි අයෙකු වූයෙන්
මම කතාව ඇරඹූයේ තරමක ගෞරවයකින් යුතුව ඔහු අමතමිනි.
“මිස්ට
නාරද ළඟපාත
ද පදිංචිය?“
“මම
ඉන්නෙ බ්ලැක්ටවුන් කිට්ටුව... මට මිස්ට නාරද කියන්න ඕනෙ නෑ. නිකම්ම නාරද කිව්වම
ඇති. ඕස්ට්‍රේලියාවේ ඔය බොරු මිස්ට කෑලි දාන්නෙ නැහැනෙ. නම කියන්නෙ නම!“
ඔහු
සිනාසී පිළිතුරු දුන්නේ ය.
බොහෝ
සැහැල්ලුවෙන් මා හා කතාවට වැටුණු නාරද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔහුගේ අතීතය
ගැනත්, විශ්වවිද්‍යාල දිවියෙන් පසු මැදපෙරදිග ඔහු කළ රැකියාවන් ගැනත් මා වෙත
විස්තර කළේ ඒ අතීත වෘත්තයන් විමසා දැනගන්නටම මා ඔහු සොයා පැමිණි බව විශ්වාස කරන
පරිද්දෙනි.
“මම
සිඩ්නි ආවෙ පීආර් ලැබිල දැන් අවුරුදු 20කට විතර උඩදි... මෙහෙ ජීවිතේ පටන් ගන්න
හරිම අමාරුයි. ලොකු කට්ටක් කන්න වෙනව. ප්‍රියන්තගෙ බ්ලොග් එක කියවද්දි මට තේරුණා
ඔයා ලියන කතාවල තියෙන ඇත්ත. අනික මමත් සාහිත්‍යයට කැමතියි. ඔයාට හොඳට
ලියන්න පුළුවනි. අපි මෙහෙ මේ සිංහල සංස්කෘතික හමුවත් එක්ක එහෙම සෑහෙන වැඩ කරනව. ප්‍රියන්ත
අපිට වටිනව....“
ඔහුගේ
කතාව අතරතුර අපි යළිත් පැරමටාවලින් දුම්රියක නැගී බ්ලැක්ටවුන් දක්වා, ඔව්... තව
දුරටත් බටහිර දෙසට... ගමන් කළෙමු.
“මෙහෙ
වෙස්ට් එකට එච්චරම මිනිස්සු එන්න කැමති නෑ. සල්ලි වැඩි වෙද්දි හැමෝම ටික ටික දකුණට
යන්න බලනව. බ්ලැක්ටවුන් වගේ පැති කලබල තියෙන පැති කියලයි හැමෝම හිතන්නෙ. කල්ලො
ටිකක් වැඩිපුර ඉන්නෙ මෙහෙ. ඉඳහිට
රණ්ඩු නෑ නෙවෙයි. ඒත් ඔය කියන තරං වෙස්ට් එක නරක නෑ...“
අපි
බ්ලැක්ටවුන් දුම්රියපොළින් පිටතට පැමිණි පසු නාරද මා කැටුව ගියේ ඒ ආසන්නයේ තිබුණු
සිංහල අවන්හලකට ය.
“වෙස්ට්
එකේ සිංහල කඩ කීපයක් තියෙනව... මේක මෙහෙ තියෙන හොඳ
රෙස්ටෝරන්ට් එකක්...“
ඔහු
බත් සහ වෑංජන කිහිපයක් සහිත, පූර්ණ වශයෙන් ‘සිංහල‘ ගතියකින් යුක්ත දිවා ආහාර වේලක්
මිලට ගත්තේ ය.
“අපි
ළඟදි
වහනව අනේ... අමාරුයි දැන් මේක කරන්න. පාඩු හින්ද නෙවෙයි... අමාරුයි!“
අවන්හලේ
සිටි කාන්තාව නාරද සමග කතාබහ කළ ආකාරයෙන් ඔවුන් හොඳින්
හඳුනන
අය බව මට ඒත්තු ගියේ ය.
“සුද්දො
නං හරියට එනව. ඔසියො ඉන්නව මිරිස් සැරට කන්නම කැමති! බැදපු මිරිස් එක්කමයි
ඉල්ලන්නෙ... අනේ ඒත් මේක කරන්න අමාරුයි. නිවාඩුවක් නෑ කිසිම... දැන් අපිට ඇති
වෙලා...“
ඇය
සිය වෙහෙස යළියළිත් පුනරුච්චාරණය කරමින් අප වෙත කියා පෑවා ය.
“අපි
කෑම කාල යමු අපේ ගෙදර. අපිට තියෙනව ගොඩක් දේවල් ප්ලෑන් කරන්න. ප්‍රියන්තට මොකක්
හරි ආදායම් මාර්ගයක් හොයාගන්නත් වෙයි. අද අපේ වයිෆ් වැඩ. පුතයි දුවයි ඉස්කෝලෙ
ගිහින්... ඔයාට පුළුවන් අපේ දිහා ගිහිල්ල, වයිෆ් එහෙම ආවම රෑට කෑම ටිකක් එහෙම කාලම
යන්න.... හදිස්සියක් නැහැනෙ? අද වැඩක් නැහැනෙ වෙන...?“
නාරද
බ්ලැක්ටවුන් දුම්රියපොළ ආසන්නයේ නවතා තිබූ සිය මෝටර් රථය පණගන්වමින් මදෙස බලා කීවේ
දිනයේ ඉදිරි වැඩ සටහන පිළිබඳ
තමන් තීරණය කර අවසන් බව හඟවමිනි.
ජීවිතයේ
ඇතැම් අවස්ථාවල අප අභියස පෙනී හිදින ඇතැම්හු පෙර කිසි දිනෙක හමුවී නොමැති වුවත්
මහත් උනන්දුවකින් අප ජීවිතයේ කාර්යයන් සාධනය කරනු පිණිස සහාය වෙති. පැය කිහිපයකට
පෙර මා නොදැකවත් තිබුණු මේ අපූරු මිනිසා මහත් වූ අභිරුචියකින් මාහට උදව් කිරීමටත්,
ඔහුගේ නිවාඩු දිනය මා වෙත කැප කිරීමටත් තීරණය කර ඇත.
මම
නිසාන් සනී රථයේ රියදුරු අසුනට බරදී රිය පදවන ඔහු දෙස හැරී බැලුවෙමි. ඉදිරියෙන්
වම් පසට හැරවීම සඳහා
මාර්ග සංඥා දක්වනු පිණිස සන් ලාම්පු දැල්වූ ඔහු රථයේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක
කළේ ය. එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතයක් නැගෙන්නට විය.
සේයාරුව - http://www.news.com.au/ අඩවියෙනි.
මේ කොයි කාලේ මතක සටහන්ද?
ReplyDelete2012 ජූනි මාසෙ විතර. බ්ලොග් එක ලිවීම මග හැරුණා විශාල කරදර ගොඩක් එකපිට ඇවිදින්. දැන් ආයෙම මුල් වේගෙන් යන්න උත්සාහ දරන්නම්.
Deleteසාමාන්‍යයෙන් ලිපිය මුලින් අවුරුද්ද සහ මාසය දාන පුරුද්දක් තිබුණත් මේපාර ඒක අමතක වෙලා. දැන් හදලයි තියෙන්නෙ. ස්තුතියි සුජීව.
Deleteමං හිතුවේ සිංහල සංස්කෘතික හමුව ගැන ප්‍ර්‍රින්ත ඔයිට කලින් දැනගෙන හිටියාය කියලයි. මට හමුවුනේ අප්‍රියෙල් මාසයේ දී තිබුණු අවුරුදු උත්සවයේ දී නේද?
ReplyDeleteමම දැනගෙන හිටිය. නාරද මට කියද්දිත්. ඒක එයාගෙ කතාවක්නෙ. ඔව්... අපි මුණගැහුණෙ එතනදි තමා!!!
Deleteමේ කියන්නේ බ්ලැක්ටවුන් ගැන නොවෙයි සෙවන්හිල්ස් ගැන යැයි සිතේ!
ReplyDeleteනැහැ. බ්ලැක්ටවුන් තමයි. 2012දි එහෙ කිට්ටුව පාත තැනක මොකක්දෝ සිංහල කඩයක් තිබ්බ. නාරද මාව එක්කගෙන ගියා එදා. ඊට පස්සෙ මට කවදාවත් යන්න බැරි වුණා. ඒ නෝන කිව්ව වගේම ඒක වහල දාන්න ඇති.
Deletedont stop writing this. please keep it up.!
ReplyDeleteඔබ කියන කාන්තාවගේ කඩය තිබුනේ Seven hills. මිනිස්සු සල්ලි ඇතිවිට යන්නේ දකුණට නොව උතුරුටය. ඔබ නැවත ලිවිම සතුටකි.
ReplyDeleteIt's nice to have you back.Keep the good work up!
ReplyDelete