Thursday, August 2, 2012

රස්සා...


(2012 අ‌ප්‍රේල් මස 05 වැනිදා)

 දයාබරිත සිනහවක් සහිතව නිතර අප සමග කුළුපගව විසූ ජුන්ගේ සිනහව එක්වරම අතුරුදන් විය. සිඩ්නියේදී, නීත්‍යානුකූලව පැයක සේවයට ඩොලර් 18-20 ක අවමයක් ගෙවිය යුතු වුව ඩොලර් 11කට  නගරයේ ප්‍රධාන කොරියානු හෝටලයක සේවය කළ ඔහු හේතු නොදන්වාම සේවයෙන් පහ කර තිබිණි.

“අද උදේ වැඩට ගියාම කිව්ව මාව අයින් කළා කියල... හේතුවක් කිව්වෙ නැහැ...“

අසරණ මුහුණින් යුතුව ජුන් පැහැදිලි කළේ ය. ෆ්‍රන්සුවාගේ හා පැට්‍රික්ගේ මෙන්ම මර්සෙලෝගේ විනෝද සමාගමයන් අතරට වී මහත් ආනන්දයෙන් කල් ගෙවූ ජුන් සිය සිනහව හා අල්ලාප සල්ලාපය නවතා දැමූ අතර දින පොත ඇඳීම ඇතුළු සිය දෛනික ක්‍රියාකාරකම් ගණනාවක් ද අත්හිටුවී ය.

සිතුවම් ඇඳීමෙහි දක්ෂයෙකු වූ ජුන් එදිනෙදා දිවියේ සටහන් සිය දිනපොතේ පිටු අතරට එක් කළේ ද ඒ ඇසුරු කරගෙන ය. නවාතැනේ අප සියල්ලන්ගේම මුහුණු ඔහුගේ දිනපොතේ පිටු අතර නිබඳව ඇඳී තිබුණු අතර ආලින්දයේ ප්‍රධාන මේසය මත වූ ඔහුගේ සිතුවම් දිනපොත පෙරළා බැලීමට කිසිදු බාධාවක් ද නොවී ය. සැබැවින්ම ඔහු දිනයේ වැඩි කාලයක් ගත කළේ මෙම සිතුවම් දිනපොත සම්පූර්ණ කිරීමට ය. දිනපොතෙහි කිසිදු දිනයක් හිස්ව නොතැබූ ජුන් සියලු සුවිශේෂ සිදුවීම් සිතුවමට නැගූ අතර ඒ අතරට දෙබස් ද යෙදූ අවස්ථා විය.

ජුන්ගේ පැන්සලින් සිතුවමට නැගි නවාතැන් සගයින්ගේ මුහුණු කිහිපයක් දුටු මම මගේ මුහුණ ද ඇඳ දෙන ලෙස ඔහුගෙන් වරක් ඉල්ලා සිටියෙමි.

“ම්... මම හැමෝගෙම රූප ඇඳල දුන්නෙ බලාපොරොත්තු නැති වෙලාවක එයා පුදුම වෙන විදිහට...ඔයාවත් මම එහෙමම ඇඳල දෙයි දවසක...!!“

සුපුරුදු සිනාවෙන් යුතු ව ජුන් පිළිවදන් දුන්නේ ය.

දින කිහිපයකට පසු, නවාතැන් සගයින් පිළිබඳ අවධානයකින් තොරව, ලිපියක් කියවමින් කාමරයට වී සිටි මොහොතක ජුන් කාමරයට කඩා පැන්නේ ය.

“මෙන්න මගෙන් සමරුවක්!!“

ජුන් ඇඳි මා රුව
සිඩ්නිය බලා ආ ගමනේ දී ගුවන් යානයේ අසුනට වී උන් මගේ ඡායාරූපයක් ජුන් සිතුවමට නගා තිබිණි. සිතුවම මදෙසට දිගු ක‍ළ සිහින් කොරියානු කොලුගැටයා වෙතින් නැගි නිර්ව්‍යාජ සිනහව නවාතැන් සගයින් අතරින් මතුව ආ තවත් ළබැඳි සොයුරෙකුගේ සහෘද බවට දුන් සහතිකයක් විය. මහත් සොම්නසකින් මම එය පිළිගත්තේ ජුන්ට ස්තුති කරමිනි.

“මේක නම් ගොඩක් වටිනව ජුන්... “

“මම කිව්වනෙ... මම මේක දෙන්නෙ බලාපොරොත්තු නැති වෙලාවක කියල...!“

නවාතැනෙහි අවිහිංසකම සගයා ලෙස කාගේත් ආදරය දිනූ ජුන්ගේ රැකියාව අහිමි වීම නවාතැනෙහි ප්‍රීතිය බිඳ හෙළූ කරුණක් විය. සිය පරිගණකය ඉදිරිපස වාඩි වී නව රැකියා සොයා වෙහෙසුණු ඔහු මුද්‍රණය කරගත් ජීව දත්ත පත් සමග ඇතැම් උදෑසනයන්හි පිටව ගියේ ය.

“ජය වේවා ජුන්!!!“

පිටව යන ජුන්ට එකහඬින් සුභ පැතීම අපේ පුරුද්දක් විය. එහෙත් සවස් යාමය එළඹෙත්ම මැළවුණු මුහුණින් නවාතැනට එන ජුන් දකින කිසිවකු ඔහුගෙන් ප්‍රශ්න ඇසුවේ නැත.

නිහඬව ගෙවෙන රාත්‍රී සමයන්හි දී, අඩක් කුස පුරවාගන්නා ජුන් කිසිවක් කල්පනා කරන ස්වරූපයක් දක්වමින් සෙමෙන් බැල්කනි දොරටුව අසළට යනු මම බලා සිටිමි. කටුක ශීතල නිවසට ඇතුළු වනු නොදී වසා දමන ලද වීදුරු දොරින් පහළ වීදිය මනාව දිස්වෙද්දී ඒ දෙස බලා කල්පනා කරමින් සිටින ජුන් මට පෙනෙයි. සියල්ලන්ටම නොපෙනෙන්නට සිය නෙතින් ගලන කඳුළු පිස දමමින් බොහෝ වේලාවක් එහි ගත කරන ජුන් කිසිදු වේදනාවක් නොමැත්තෙකු ලෙස යළි සිය කාමරයට වැදෙයි.

රැකියාවක් අහිමි වීම, රැකියාවක් නොමැති වීමේ වේදනාව මහත් වේදනාවක් ලෙස මාහට දැනී ඇතැයි මම නොසිතමි. ඇතැමුන් දොස් නගද්දී කිසිදු වේදනාවකින් තොරව රැකියාවකට සමු දී ආ අතීතයක් මා හට හිමි ය.

උසස් පෙළ විද්‍යා විෂයය ධාරාවෙන් මුලින් ම විභාගයට පෙනී උන් මම විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් නොලද්දෙමි. සැබවින්ම මා ඉන් ලද සාමාර්ථය අවම මට්ටමක වූවකි. තුන්වන වතාවේ දී කලා විෂයය ධාරාව තෝරා ගැනීම අත් හැර දමා ආ සැබෑ මාවතට යළි ප්‍රවේශ වීමක් විය. එහෙත් මාස හයක සූදානම පූර්ණ ප්‍රතිඵලයක් ළඟා කර දුන්නේ නැත. අවම සරසවි පිවිසුම් ලකුණු 260ක් වූ එවර මා ලබාගත්තේ ලකුණු 251ක් පම‍ණි.  අවසන් සිහිනය ද බොඳව ගොස් ඇතැයි සිතූ මම විද්‍යා-ගණිත ගුරු තරග විභාගයට ඉල්ලුම් කළෙමි. විශාල ලකුණු ප්‍රමාණයකින් ඒ සමත් වෙද්දී විශ්ව විද්‍යාල සඳහා විශේෂ සුදුසුකම් යටතේ ඉල්ලුම්පත් කැඳවා තිබිණි.

“ඔයාට ජාතික මට්ටමේ සහතික තියෙනවනෙ චෙස්වලින්... ඇප්ලයි කරන්න“

වැඩිහිටි උපදෙස් මත යොමු කළ අයදුම් පත හේතුවෙන් මා සම්මුඛ පරීක්ෂණයකට කැඳවා තිබූ අතර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේදී හත් අට දෙනෙකුගෙන් යුතු පරීක්ෂක මණ්ඩලයක් අභියස පෙනී සිටින්නට මා හට සිදු විය.

“මේව මේ ඉස්කෝලවලින් සංවිධානය කරපු තරග... මේව ගණන් ගන්න බැහැ..“  පාසැල් චෙස් තරග සහතික ගොන්නක්ම පසෙක ලමින් පරීක්ෂකවරයෙක් කියා සිටියේ ය.

“ජාතික පාසැල් සහතික නැද්ද?“

මම එක් සහතිකයක් දිගු කළෙමි.

“ ආ... මේක නම් හරි... මේක විතර ද?“

“සර්... මම ඉස්කෝලෙන් අස්වෙන අවුරුද්දෙ තමයි චෙස් ජාතික පාසැල්වලට ආවෙ... ඒ සහතිකේ ඕක.. වෙන සහතික නැහැ..“

“ආ... ඒකත්‍ ඇත්ත‍.. ඒත් එක සහතිකේනෙ ඔයාට තියෙන්නෙ...?“

මම නිරුත්තර වීමි. විශාල සහතික එකතුවක් සමග මහත් බලාපොරොත්තු සහිතව ආ මා පරාජිතයකු වී ඇත.

“වෙන කිසිම සුදුසුකමක් නැද්ද ජාතික මට්ටමේ...?“

“මම කෙටි නාට්‍යයක් කළා යෞවන සම්මානවලට... ඒක අවසන් වටයට ආවා...!“

“ආහ්... කෝ ඒකෙ සහතිකේ..?“

“සහතිකයක් දෙන්නෙ නැහැ සර් ෆයිනල් ආවට... සමරු කලාපය නම් තියෙනවා...“

“වැඩක් නැහැ... අපි බලන්නෙ සහතික!!“

මුල පටන් මා හා සල්ලාපයේ යෙදුණු පරීක්ෂකවරයා අවසන් තීරණය ප්‍රකාශ කළේ ය. මම සෙමින් නැගිට සිටියෙමි. මා ඉදිරිපසම අසුනේ සිට නිහඬව මා දෙස බලා සිටි මහාචාර්ය ජේ.බී. දිසානායකයෝ මා නවතාලූ හ.

“පුතා පොඩ්ඩක් වාඩිවෙන්න... කෝ දෙන්න ඒ සමරු කලාපය...“

මගෙන් සමරු කළඹ ඉල්ලාගත් මහාචාර්යවරයා මගේ කෙටි නාට්‍යය වූ ‘නොනිමි‘ සඳහා වෙන්වූ පිට කියවා බැලුවේ මොහොතක් නිහඬ වන ලෙස සෙස්සන්ට අතින් සන් කරමිනි. කියවීම හමාර කළ ඔහු සමරුව යළි මා වෙත දිගු කළේ ය.

“හොඳයි... දැන් යන්න...“

නිහඬ පරීක්ෂක මණ්ඩලය අභියසින් මා පිටව ආවේ කිසිදු හැඟීමකින් තොරව ය. පරීක්ෂණය සාර්ථක වන බවට කිසිදු විශ්වාසයක් මා වෙත නොවූ අතර ඒ අතර ලැබුණු ගුරු පත්වීම භාර ගැනීමට මම තීරණය කළෙමි. මහනුවර නගරයෙන් සැතපුම් ගණනාවක් දුරින් වූ එකම බස්රියකින් පමණක් ළඟා විය හැකි අරත්තන මහා විද්‍යාලයේ විද්‍යා-ගණිත ගුරුවරයකු ලෙස පත්වීම භාර ගැනීමට දින කිහිපයකට පෙර නිවස දෙසට පිය නගමින් උන් මා වෙත ආ තාත්ති මෙසේ කියා සිටියේ ය.

“අන්න තෑග්ගක් ඇවිත් තියෙනව ගෙදර...!!“

විශේෂ සුදුසුකම් යටතේ මා ලද ලකුණු හේතුවෙන් මා විශ්වවිද්‍යාල වරම් ලබා ඇති බවටත්, තේරී ඇති විශ්වවිද්‍යාලයෙන් මාරු නොපැතිය යුතු බවටත් එහි සඳහන් විය. මා තේරී තිබුණේ පේරාදෙණියට යි!!!

“දැන් ඉතින් දෙකම කරන එකයි තියෙන්නෙ... ගුරු පත්වීම එක්කම උපාධිය ඉවර කළාම නිකම්ම උපාධි ගුරුකමට යන්න පුළුවන්... ඔය දුර ඉස්කෝලවල වැඩට හැමදාම යන්න ඕන නැහැ... ප්‍රින්සිපල්ට කිව්වම එයාල උදව් කරයි දෙකම කරගන්න...“

බොහෝ වැඩිහිටියෝ දැනමුතුකම් දුන් හ. පාසැලේ වැඩ භාරගැනීමට තිබුණේ විශ්වවිද්‍යාලය ඇරඹෙන දිනට පෙර දින හෙයින් මම අරත්තන මහා විද්‍යාලයට ගියෙමි. පාසැලට පිවිස විනාඩි කිහිපයකින් නිරුවත් දෙපයින් ආ කුඩා දරුවෙක් මා අසළ සිට ගත්තේ ය.

“සර් නේද අලුතෙන් ආවෙ...? සර් අපේ පන්තියට රිලීෆ් දාලා කියල ලොකු සර් එක්ක යන්න කිව්ව...“

මම නිහඬව කුඩා දරුවා පසුපස ගියෙමි. සපත්තු නොපැළඳි, ගුරු පැහැ ගත් කමිස හා ගවුම් පොඩිතිවලින් සැරසුණු දරු දැරියන් රැසක් මා අභියස නෙත් දල්වා බලා සිටිය හ. පන්තියේ නියමිත ගුරුවරයා හෝ ගුරුවරිය නොමැති මොහොතේ ආ මෙම ආගන්තුක ගුරුවරයා සිය ජීවිත පහන් කරනු ඇතැයි යන බලාපොරොත්තු ඒ දෑස්වල මට කියවාගත හැකි විය. මට මේ කුඩාවුන්ගේ ජීවිත උගස් කොට විශ්වවිද්‍යාලයට යාමට ඉඩ සෙවිය හැකි ද? දින ගණන් මා එනතෙක් මග බලා සිටින දරුවන් අතැර මාගේ පුද්ගලික සුඛය සොයා මට විශ්වවිද්‍යාලයට වී සිටිය හැකි ද? පසු දා විශ්වවිද්‍යාලයේ පළමු දිනයේදී මම එහි ගියෙමි. සුන්දර පේරාදෙණිය....!! මහත් සටනකින් පසු මම එහි ළඟා වී ඇත. පළමු දිනයේ හඳුන්වාදීම් දේශන අතරේ පෙරදා මා දුටු කුඩා දරුවාගේ මුහුණ මා අභියස මැවෙන්නට විය.

“සර් අපේ පන්තියට රිලීෆ් දාලා කියල ලොකු සර් එක්ක යන්න කිව්ව...“

අද ඔවුන්ට කිසිවෙක් නොමැති නම්...??

“පුතේ... මට පේනවා පුතා ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියල... දෙකම කරන්න යන්න බැරිනම් හොඳට හිතල දෙකින් එකක් තෝරගන්න... පස්සෙ පසුතැවෙන්නෙ නැති වෙන්න...“

එදින රැයේ කාමරයට ආ තාත්ති කියා සිටියේ ය. අප යන මග දෙස සීරුවෙන් බලා සිටින තාත්තී දුෂ්කරම මොහොතේ උපදෙස් දෙන්නෙ එපරිද්දෙනි. එය තීරණය වෙත මග හෙළි කර දුන් අවස්ථා බොහෝ ය; දුෂ්කර බවින් ගලවාගත් අවස්ථා බොහෝ ය.

මම බොහෝ වේලා කල්පනා කළෙමි. මහත් සටනකින් දිනාගත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අත්හළ යුතු නැතැයි තීරණය කළෙමි. අවසන අරත්තන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියක් ලියමින් දිනක සේවය නිමා කොට ඉල්ලා අස්වන බව එහි සඳහන් ක‍ළෙමි. මා වෙනුවට පත්ව එන නව ගුරුවරයා සැම දිනම එහි රැඳී සිට කුඩා දරුවන්ගේ දැනුම් පවස නිවනු ඇතැයි යන බලාපොරොත්තුව මා සිත පහන් කළේ ය.

7 comments:

  1. නැවතත් බ්ලොග් එකේ ලිපියක් පල කිරීම ගැන ඉතා සතුටුයි.
    ඔබේ දක්‍ෂකම තමයි හැම විටම අතීතාවර්ජනය කිරීම වර්තමානය හා අපූරුවට ගලපලා.

    පසුගිය දිනවල සිදුවුණු දේ පිළිබඳව මගේ සංවේගය සහ කණගාටුව පිළිගන්න.

    ReplyDelete
  2. ජුන් ට රස්සාවක් ලැබිල ඇති කියල හිතනවා..වෙන ලිපිවලට වඩා මේ ලිපියේ කතාව ගලායන විදිය ලස්සනයි.
    මම කැම්පස් අවුරුදු තුන ඉවරවෙද්දීම අතට ලැබුණු විශාල පඩියක රස්සාව එපා කියල කැම්පස් එකේ හතර වෙනි අවුරුද්ද කරන්න ගිය හැටි මතක් උනා :)

    ReplyDelete
  3. හ්ම්ම්..එහෙම කල එක හොඳයි සහෝ..
    තවත් හොඳට ඉගෙනගෙන හොඳම හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන්නේ අනාගතේ :)
    සුභ පැතුම් ඔබට!

    ReplyDelete
    Replies
    1. @ හිරුහිමාවී

      මෙතුමා දැනටමත් ගුරුවයෙක් තමා :D

      Delete
  4. පොඩි එවුන්ගේ අනාගතය උගසට නොතියා තමන්ගේ දෛවයට ඉඩදීපු එක නම් අගෙයි. තාමත් ඒ පිලිවෙතේ ඉන්නවා කියලා හිතනවා

    ReplyDelete
  5. කාලෙකට පස්සේ ඇවිත්...:)

    අද කතාව ලස්සනට ලියලා තියනවා. මුලු හදවතින්ම ලියූවක් වගේ. ගලාගෙන යෑම හොඳින් සිදුවෙලා තියනවා. අතීයට අපිව ගෙනියන්නේ අපි නොදැනුවත්වම. ආයාසයකින් තොරව.

    මේ කතාවෙන් තේරෙන තවත් දෙයක් තමයි විභාගයකින් පමනක් යමෙකුගේ හැකියාව මනින්ට බැරිබව. සමහර විට ගොඩාක් දක්ෂ ලමයි විභාගය පවත්වන අවස්තාවලදී, මොනයම්ම හේතුවක් හන්දා එය හරියට කර නොගන්නා අවස්තාත් තියනවා.

    ජුන්ට ඉක්මනින් රැකියාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  6. godak lassanai sir...

    ReplyDelete