Tuesday, November 3, 2015

නීල් සහ හායි

- (2012 ජූනි)- 


“මම යනව එළියට... පොඩ්ඩක් ඇවිදල එන්න!“


මදෙස බලා එසේ කියූ පැට්‍රික් මගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නොරැඳීම කාමරයෙන් පිටව ගියේ ය.


නිහඩ රීජන්ට් වීදිය

නිවස මැද, සැමට අයත් සාලය දෙසින් ඇසෙන ජුන්ගේ සහ මර්සෙලෝගේ සිනා හඬ පැට්‍රික් පිටව යමින් කවටකමක් කළ බවට ගෙනෙන හැඟවුමකි. පිරිසගේ කතාබහ අතරට එක් වන්නට සාලය දෙසට යා යුතුය යන හැඟීම යළි යටපත් වූයේ  වැතිර උන් තැනින් නැගිටින්නට ඇතිවුණු කුසීතකම නිසා විය යුතු ය. රැකියාවක් පිළිබඳ අදහසක් හෝ තවම නැත. ශිෂ්‍යයකු ලෙස පැමිණෙන්නෙකුට හිමිවන සතියකට පැය 20ක නීත්‍යානුකූල සේවා කාලය බොහෝ තාවකාලික රැකියා වරම් පිළිබඳ ඇති බලාපොරොත්තු කඩා බිඳ දමයි.


“තියෙන වීසා එක මොකක් ද?“


“මම ස්ටුඩන්ට් කෙනෙක්“


“අහ්... සමාවෙන්න. එහෙනම් මෙහෙ තියෙන සේවා මුරවලට ඔයාට එන්න බැරි වේවි!“


ඉඳහිට ලැබෙන ඔත්තුවක් දිගේ රැකියාවක් සොයා යන මගේ ගමන අවසන් කරන දුරකථන සංවාදය එබඳු ය. දියව යන මුදල් එකතුව ගැනත්, ළඟා විය නොහැකි අවශ්‍යතා ගැනත්, සිත එක් අරමුණකට ගෙන ආරම්භ කළ යුතු නමුත් නොහැකි පර්යේෂණ වැඩ කටයුතු ගැනත් දිගු කල්පනාවකට වැටුණු මගේ දෙසවනින් සාලය දෙසින් ඇසෙන සිනා හඬ මැකී ගියේ ය. නගරාසන්නයේ අවන්හලක සේවා සහායකයකු ලෙස පැමිණෙන්නැයි ඊයේ දිවාකාලයේ ලැබුණු දුරකථන ඇමතුමින් උදම්ව වහා සැරසුණු මට මගේ සේවය අවැසි නැතැයි යන දෙවන දුරකථන ඇමතුම ලැබුණේ නිවසින් පිටව යන්නට මෙහොතකට පෙර ය.


“ඔය හැමදේම ඔහොම තමයි. මෙහෙ කාටවත් අපි ගැන හැඟීමක් නැහැ.“ සිය නව රැකියාවේ මුරය නිම කොට පැමිණි ජුන් කීවේ ය.


ජුන්ට යළිත් රස්සාවක් ලැබී දින කිහිපයකි. දැන් යළිත් ඔහු සුපුරුදු පරිදි උදෑසන පිටව යයි. රාත්‍රිය එළඹෙත්ම සුපුරුදු වෙහෙසපිරි මුහුණින් නිවසට ඇතුළු වෙයි. අහර කිස නිමවා, නිවැසියන් හා සිනාසෙමින්, සාලයේ මේසය වෙතට වී සිය චිත්‍ර ඇඳීම සඳහා යොමු වේ.


“හලෝ... යස්.. නීල් හිය!“


මනසින් ඇවිද ගිය ගමන කෙළවර කළේ නීල්ගේ උස් හඬ ය. නීල් මගේ අලුත් කාමර සගයා ය. ෂින්ගේ සමුගැනීමෙන් පසු හිස් වුණු කාමරයේ වම් පසින් වුණු තට්ටු ඇඳේ පහත මාලයේ නවතම හිමිකරු වූ ඔහුගේ උපන් රට චීනයයි. එහෙත්, ඔබ දෙනෙත් පියාගෙන මඳ වේලාවක් ඔහුගේ කතාබහකට සවන් දී සිටියේ නම්, නිසැකවම ඔහු ඕස්ට්‍රේලියාවේම උපන් ස්වදේශික තරුණයෙකැයි සිතන බව මට ඉඳුරා කිව හැකි ය. ඔව්... ඔහු එතරම්ම චතුර ලෙස ඉංග්‍රීසි බස වැහැරූ තරුණයෙකි. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මහද්වීපික භූමියට පහළින් පිහිටි තස්මේනියා ප්‍රාන්තයේ තස්මේනියා විශ්වවිද්‍යාලයේ සිය කළමණාකරන උපාධිය නිමා කර තිබුණු ඔහු සිඩ්නියට පැමිණ තිබුණේ කළමණාකරන ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගන්නට ය.


“වෙල්.. යා... අයි කැන් ඩූ දැට්... ඔෆ් කෝස් අයි කැන්!!“


දුරකථන සංවාදයකට තරම් නොවන හඬකින් නීල් කෑගසයි. ඔහු නිවසේ සිට යැවූ ඉල්ලුම්පතක් සඳහා වන දුරකථන සංවාද පරීක්ෂණයකට සහභාගි වන බව පෙනෙයි.


කාමරයේ තවකකු ඉන්නා බවවත්, ඔහුට ද නිදහසක් හා සාමකාමී පරිසරයක් අවැසි බවටත් නීල් කිසිවිට සිතන්නේ නැත. නිවසේ පොදු පිරිසිදු කිරීම්වල ස්වකීය කොටස ඉෂ්ඨ කිරීම සඳහා මැදි රැයේ වැකුම් ක්ලීනරය ක්‍රියාත්මක කොට ඔහු ප්‍රන්සුවාගෙන් බැණුම් අසා ගත්තේ දැනට දින කිහිපයකට පෙර ය. සිය රාත්‍රි අහර කිස නිමවා, ඉඳුල් භාජන තිබූ තැන්වලම දමා පැමිණි ඔහු සෙස්සන්ගේ නොරිස්සුම් මුහුණු දැකගත්තේ ඊයේ රාත්‍රියේ ය.


ඔබ සැමදෙනාටම ජීවිතයේ දිනෙක විවිධ සංස්කෘතික පරිසර හරහා පැමිණෙන මෙවන් මිනිසුන් හා එක්ව යම් නිවහනක ටික දිනක් හෝ දිවි ගෙවන්නට ඉඩ ලැබෙන්නැයි මම ප්‍රාර්ථනා කරමි. අප වඩා දුරින් දකින්නට පෙළඹෙන, දමිළ හා මුස්ලිම් ස්වදේශිකයින් කෙතරම් නම් අප හා සමානද යන්නත්, වඩා විහිදුණු සංස්කෘතික කලාපයන්වලින් පැමිණෙන වැසියන් කෙතරම් විවිධත්වයන් සහිත හා ආවේණික ගතිපැවතුම් සහිත පුද්ගලයින් ද යන්නත් එයින් ඔබට වැටහී යනු ඇත. ඔබ වඩා පුළුල් දැක්මකින් මේ දෙස බලා සිටින්නට පුරුදු වුවහොත්, අප සියල්ලෝම පැතිරුණු අවකාශයක දිවි ගෙවන විසල් සංස්කෘතික ජන රාශීන් තුළ හමුවන ක්ෂුද්‍ර අංශූන් පමණක් බව වටහා ගනු ඇත.


නීල් දිනෙන් දිනම අපට පැහැදිලි කර දෙමින් උන්නේ අපේ පැරණි කාමර සගයා කෙතරම් නිහඬ අයෙකු ද යන්න ය. ෂින් හා තමන් සසඳා බලන්නට නිතර ඔහු අපිට ආරාධනා කළේ කාමරය හැකි පමණ ඝෝෂාකාරී තැනක් බවට හරවමිනි. දිගු කලක් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා තිබුණ ද අග්නිදිග ආසියා කලාපයේ වැසියන්ගෙන් ඔබ්බට හමුවන ආසියානුවන් ගැන ඔහුට වැටහීමක් තිබුණේ ද නැත.


“ඉන්දියන්කාරයො මෙච්චර කරි ජාති කන්නෙ ඇයි?“ වරක් ඔහු අසතුටු මුහුණකින් මෙලෙස ඇසුවේ මගේ අහර වේලක් දෙස බලමිනි.


“ඉන්දියන්කාරයො විතරක් නෙවෙයි... ඒ ළඟ තියෙන රටවල් ගාණකම මිනිස්සු කරි ජාති හදනවා... අනික මම ඉන්දියාවෙන් නෙවෙයි... ලංකාවෙන්. කරි ජාති තමන්ගෙ කෑම වේලට එකතු කරගන්න එක ඒ කලාපෙම රටවල පුරුද්දක්!“


“ඒ වුණත් මං නං හිතන්නෙ ඉන්දියන්කාරයො තොර තෝංචියක් නැතිව කියවන්න ගන්නෙ මේ කරි ජාති කන නිසා කියල!“


නීල් සුපුරුදු පරිදි අපූරු අවසන් නිගමනයක් මවෙත ඉදිරිපත් කළේ ය. නිරන්තරයෙන් කතා කරන තමන්ගේ හඬ අන්‍යයන්ට බාධාවක් බව කිසිවිට නොසිතන ඔහු තමන්ගේ ඉන්දියන් විරෝධය කරි දීසිවලට ලඝු කර දැමී ය. වැඩි කාලයක් කතා කරන නිසා අසන්නට ඉඩක් නැති හෙයින්ම මෙවැනි කෙටි හා හාස්‍යජනක නිගමන ඔහුගෙන් නිතර බලාපොරොත්තු විය හැකි ය.


“ඔහ්... මං වගේ මෝඩයෙක්! ෂීහ්... මං ඒක ගණං ගත්තෙ නෑ.... ඒ කෝල් එක! හොඳම කොම්පැණියක් මට කතා කරල තිබ්බෙ. මට මගදියි වැඩේ තේරුණේ... අපරාදයක් මං නං කරගත්තෙ.... ෂීහ්.. මං වගේ මෝඩයෙක්!“


සිය රැකියා අයදුම්පත සඳහා දුරකථන පරීක්ෂණයට පිළිතුරු දී හමාර කළ නීල් කාමරය තුළ ඔබ මොබ ඇවිදිමින් කෑගසන්නට පටන් ගත්තේ ය. නීල්ගේ මේ කෑගැසීම් පැට්‍රික්ටත් මටත් දැන් හුරු පුරුදු ය. මෙවන් වදන් නීල්ගෙන් ඇසෙන හැමවිටම නොරිස්සුම් මුහුණින් මදෙස බලා ඉඟි මරන පැට්‍රික් සෙමින් කාමරයෙන් පිටව සාලය දෙසට සේන්දු වෙයි. පැට්‍රික් අද කාමරයේ නැතත්, මම ද ඒ අනුව යමින්, පරිගණකය ද රැගෙන සාලය දෙසට ගියෙමි. යාබද කාමරයේ අදිසි සාමාජිකයා වුණු හැරී සමුගත් පසු පැමිණි වියට්නාම් ජාතික තරුණයා සිය රාත්‍රී ආහාරය සකසමින් සිටියි.


“හායි... මගෙ නම හායි.... ඔයාලට මට හායි හායි කියන්න පුළුවන්!“ නිවසට ආ විගස සිය පියකරු සිනාවෙන් මුව සරසාගනිමින් ඔහු අපට කීවේ ය. 


හායි නගරයේ විශ්වවිද්‍යාලයක සැලසුම්කරණය හදාරයි. නිවසේ සිය කටයුතු සියල්ල අතරතුර ක්‍රියාත්මක කර තිබෙන දුරකථන වීඩියෝ ඇමතුම් හරහා ඔහු සිය පෙම්වතිය හා නිරන්තරව පෙම්බස් දොඩයි. වියට්නාම් බසින් කෙරෙන ඒ කතාබහ අපට දුරස්ථ ය. එහෙත් ඒ සඳහා පිවිසෙන විටම ඔහු තුළින් නැගෙන ප්‍රේමණීය ස්වරය කිසිවකුට දුරස්ථ නැත.


සාලයේ මේසය මත පරිගණකය තබාගත් මම අන්තර්ජාලය හරහා මගේ පාසැලත් කොළඹ නගරයේ තවත් පාසැලකුත් අතර වන රගර් තරගයක් නැරඹීමට වෙබ් පිටු විවර කළෙමි. කුඩා අවදියේ පාසැල නිමවී අයියාගේ මිතුරන් ද සමග කඳු මාර්ගයක් තරණය කරමින් මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියට ගොස්, වෙහෙස මග හැර නැරඹූ පාසැල් රගර් තරගය අද සිඩ්නියේ මගේ නවාතැනෙහි සාලය මත ඇති පරිගණකයේ තිරය මත දිග හැරී ඇත. තද නිල්, ලා නිල් හා කහ පැහැති රගර් ජර්සි හැඳගත් මගේ පාසැලේ වත්මන් ක්‍රීඩකයෝ පිටියේ තරගයට සූදානමිනි. ‘සුරූ....ස්‘ ශබ්දයෙන් යුතු මහා හඬක්, රගර් තරගයේ විස්තර විචාරයේ හඬ අභිබවමින්, මා අසලින්ම නැගිනි. හායි සිය වියට්නාම් භෝජනය රස විඳීම ආරම්භ කර ඇත.


වියට්නාම් වැසියන් ද, ඉන්දීය කලාපයේ වැසියන් සාදන ආකාරයට වෙනස් වූ, ‘කරි‘ නැතිනම් වෑංජන සාදා ගනියි. හායි ද එම ආවේණික වෑංජන හා බත් සාදා, ඒවා කුඩා දීසිවලට වෙන්ව බෙදාගෙන, සිය ‘චොප්ස්ටික්ස්‘ යුගලය මගින් ගෙන ආහාරයට ගනියි. ජපාන මිතුරා වූ ෂින්ට, කොරියන් ජාතික ජුන්ට හා නිවසේ දඟකාරිය වූ චීන ජාතික සොයිට වඩා හායි වෙනස් වූයේ නිවස දෙවනත් වන තරමට ඔහු නැගූ තලු මැරිල්ලයි.


හායි සිය ‘ස්ටික්‘ යුවල මගින් අල්ලා ගන්නා ආහාර මුව තුළය ඇදගත්තේ ‘සුරූ... ස්‘ හඬක් නගමිනි. ඒ හා සමග ඔහු මහා හඬින් තලු හා දිව එකිනෙක ගටමින් ආහාර රස විඳීම අරඹයි. නීල්ගේ ‘කචකචය‘ මග හැර සාලයට ආ මට හායිගේ මෙම ‘රස විඳිල්ල‘ විඳ දරා ගැනීමට සිදුව ඇත.


තමන්ටම බැණ වදිමින් සිටි නීල් යමක් මුමුණමින් නිවසින් බැහැර වනු දුටු මම යළි සෙමෙන් පරිගණකය ද ඔසවාගෙන කාමරයට වැදුණෙමි. හායිගේ තලු මැරිල්ලෙන් නැගෙන හඬ යම් තරමකින් වළකා ලීමට කාමරයේ වැසුණු දොරට හැකි ය. රගර් තරගයේ අන්තර්ජාල සංඥාවල සිදුවුණු බාධාවක් නිසාදෝ දැන් තරගය පෙනෙන්නට නැත. පරිගණකය කුඩා මේසය මත තබා, නැගෙන ශීතයට ශරීරය සොයා ගැනීමට ඉඩ නොදීමට සිතා ශීත කබායක් ඇඳගත් මම වීදුරු බිත්තියේ කෙළවර වූ දොර විවර කර බැල්කනියට ගියෙමි.



අප නිවසින් පිටවුණු නීල් ඈත වීදි කෙළවරින් පහළට හැරෙනු පෙනේ. හායිගේ තලු මැරීම බැල්කනියට ඇසෙන්නේ නැත. සුද්දෙන්ගෙන් පිරී ඇති නගරයෙකැයි මා එදවස සිහින දුටු සිඩ්නියේ සැබෑ වීදියක් පහළින් ඇත. චීන ජාතිකයින් කිහිප දෙනෙකු වීදියේ දකුණු දෙසට ඇවිද යයි. ලාංකිකයෙකුම විය යුතුයැයි සැක පහළ වන තරමේ පෙනුමක් ඇති තරුණයෙක් පහළ කුඩා කඩයෙන් පිටට විත් ඔබ මොබ බලයි. බොහෝ විට ඔහු බංග්ලාදේශ ජාතිකයෙකු විය හැක. මම වීදියේ ඉහළ දෙස නෙත් යොමු කළෙමි. මග දිවෙන යානවාහන හා ඇවිද යන මිනිසුන් දෙස බලමින් මෙහි මොහොතක් රැඳිය යුතු ය.