Tuesday, May 29, 2012

ඇට කෝටු බාස්


(2012 මාර්තු මස 17 වැනිදා)

රීජන්ට් වීදියට නවාතැනට ගොඩ වැදී දින කිහිපයක් ගතව යද්දීම පවුලින් නවාතැනින් සමුගෙන ගියා ය. තුන් මසක හෝ හය මසක කොන්ත්‍රාත්තු කාලයකට ලබාගන්නා කාමර යළි භාර දීම හෝ දිගටම රැඳී සිටීම නිශ්චිත කාලය සම්පූර්ණ වීමට ආසන්නයේ නිවාස හිමිකරුට දැනුම් දීම මගින් කළ හැකි ය. පවුලින් සමුගත්තේ කුමන හේතුවකටදැයි හරි හැටි පැහැදිලි නොවූවත් ඇගේ පිටව යාම නවාතැනේ ඝෝෂාවට නැවතීමේ තිත තැබීමක් විය. ආකර්ෂණීය සිරුරක් හිමි රුවැත්තියක වූ පවුලින් සිය සිරුර නිරාවරණය කෙරෙන ඇඳුමින් සැරසී ආලින්දයට බට විගස ප්‍රංශයෝ දෙදෙනාත්, බ්‍රසීල ජාතික මර්සෙලෝත් නිතැතින්ම එතැන පහළ වෙති. සුහද සල්ලාපයෙන් හා අතරතුර කෑගැසීම් වලින් පිරෙන නවාතැන පිටත වීදියේ වාහන හඬ සමග මුසුව නිපදවා දෙන්නේ අධ්‍යයන කාර්යයකට කිසිසේත් නොගැලපෙන පරිසරයකි. 

පවුලින්ගේ සමුගැනීම, ආකර්ෂණීය රුවැත්තියකගේ දායකත්වය නිවසට අහිමි කළද හිස්තැන පිරවීමට ආ සොයි ඇයට වඩා මගේ සිත දිනාගන්නට සමත් වූවා ය. චීන ජාතික තරුණියක් වූ ඇය මාගේ විශ්වවිද්‍යාලයේම වාණිජ්‍යය හදාල අයෙකි. (ක්‍රිස්ටල්ද හදාලේ ද මෙම විෂයයන්ම ය.) නමුත් අනු විෂයයන් ලෙස සංගීතයත්, ඉතාලි භාෂාවත් තෝරාගෙන තිබුණු සොයි නිරතුරුව සිනාමුසුව, කඩිසරව නිවසේ දුව පනින්නට පටන් ගත්තා ය. අප සියල්ලෝම එකම පවුලක නම් සොයි යනු සියල්ලන්ගේම ආදරය දිනන බාල සොයුරිය වැනි බව පෙනී යන්නට විය. මෙය නම් අපූරු පවුලකි! ලංකාවෙන් ආ මාත් සමග ප්‍රංශයෝ දෙදෙනෙක්, චීන තරුණියන් දෙදෙනෙක්, බ්‍රසීල ජාතිකයෙක්, කොරියානුවෙක්, ජපනෙක් හා ඉංග්‍රීසිකාරයෙක් (?) මෙහි වාසය කළෝ ය. ජීවිතයේ කිසිදු දිනක බලාපොරොත්තු නොවූ, නමුත් විඳින්නට දකින්නට ආශා කළ අපූරු විශ්ව පවුලක් මා අභියස විය!

ඉංග්‍රීසිකාරයෙකු මෙම ලේඛණයට හදිසියේම එක් කිරීම පිළිබඳ සමාවුව මැනවි! හැරී නමැති තරුණ එංගලන්ත වැසියාද මා අභියස පෙනී සිටියේ එපරිද්දෙන් හදිසියේම ය. වෙනත් සාමාජිකයෙක් පිළිබඳ කිසිදු අදහසකින් තොරව කුසීතව සෝපාවේ වැතිර සිටි මොහොතක නිරාවරණය වූ උඩුකයකින් යුතු මෙම සුදුමැලි තරුණයා ජුන්ගේ කාමරයෙන් පිටව, නිදිමත මුහුණින් මා දෙස බලා යන්තම් හිස වනා, නාන කාමරයට වැදුණේ ය. නවාතැනට පිවිස සතියක් ගතවන තුරුම කිසිදු සටහනක් නොතිබූ තැනැත්තෙක් හැන්දෑ වරුවක නිදිමරගාතයෙන් කාමරයකින් එක්වරම පිටට පැමිණීම මා කිසිවිට බලාපොරොත්තු නොවූවකි. වඩා විශේෂම කාරණය ඔහු මාහට මෙන්ම සියල්ලන්ට ම අමුත්තෙකු මෙන් වීම ය. 

“ඒ හැරී. එයා එංගලන්තෙන්... අපි නිදාගන්නකොට එයා නැගිටලා වැඩට යනවා. අපි වැඩට ගියාම එයා ඇවිත් නිදාගන්නවා“

අමුත්තා පිළිබඳ පසුව මා කළ විමසීමට ජුන් දුන්නේ එවන් පිළිතුරකි. එහෙත් ඔහු කිනම් රැකියාවක නිරත වූවෙක්ද යන්න හෝ වෙනත් කිසිදු තොරතුරක් දත්තෙක් නවාතැනේ නොවී ය. නිවාඩු දිනක වුව අප හා වචනයක් හෝ දෙඩුමට උත්සුක නොවූ හැරී නිශ්චිත සංඥා කිහිපයකින් (දෙකකින්) පමණක් අප හා සමග සබඳතා පවත්වාගෙන ගියේ ය. නිදිබර මුහුණින් හිස සෙළවීමත්, නිවසට ඇතුළු වන විට හා පිටවන විට,

“හායි මේට් - බායි මේට්“ 

කීමත් යන දෙයාකාරයයි ඒ. ඉඳහිට මොහොතක, නව වෙනසක් කලාක් මෙන් ‘බායි‘ යන්න වෙනුවට ඔහු ‘සී යූ‘ යන්න යෙදූ අවස්ථා ද විය. 

අභිරහස් නිවැසියා හැරී මෙන් නොව සොයි නිතර නිවහනේ දකින්නට වූ අතර ක්‍රිස්ටල්ට වඩා ඇය සමාජශීලී ද වූවා ය.

“ඔයා ඉන්දියාවෙන් ද?“

මා දුටු මුල් වතාවේම මගෙන් ඇය ඇසුවේ සුපුරුදු පැනයකි. අපගේ බාහිර රූපකාය අනුව බොහෝදෙනෙක් අනුමාන කරන්නේ අප ඉන්දියානුවන් බවයි.

“නැහැ. මම ශ්‍රී ලංකාවෙන්“

“ආ... ඒ ළඟම රටෙන්.... මම හිතුවා එකත් එකටම තඩි නහයක් තියෙනකොටම... ඒ පැත්තෙන් කියලා!“

මට ඇත්තේ විශාල නාසයකැයි කිසි දින මට නොහැඟුණ ද සොයිට එසේ පෙනී ගොස් තිබිණි. චීනුන්ගේ නාසය සාපේක්ෂව තරමක් කුඩා බව මට දැනෙන්නට ගත්තේ එවිට ය. 

නවාතැන් සගයින් සියල්ලන් වෙත මෙවැනි වදන් යොමු කොට සිනාසෙන්නට වූ සොයි කාගේත් සිත් දිනාගත්තේ නිරායාසයෙනි. යට කී ලෙස ඇය නිවසේ ලාබාල දඟකාරිය බවට සටහනක් තබන්නට නිතර සමත් වූවා ය.

සොයුරියක් නොමැතිව, දෙසොහොයුරන්ට මැදිව හැදී වැඩුණු මාහට බොහෝ කලක් යන තුරු කෙල්ලන් ආශ්‍රයට ඉඩක් ලැබුණේ නැත. විරුද්ධ ලිංගිකයින් ඉදිරියේ කුඩා කල ඇති කළ අපහසුව තවතවත් ඉහළ යවමින් මාහට යන්නට ලැබුණේ ද පිරිමි විද්‍යාලයකට ය. පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම මහනුවර විද්‍යාර්ථයේ අධ්‍යාපනය හදාල මම බාහිර පන්තියකදී පවා හැකි පමණ සිසුවියන් මග හරින්නට පුරුදු වුණෙමි. පාසැලේ හත්වැන්නේදී පමණ චෙස් ක්‍රීඩාව බාහිර ක්‍රියාකාරකමක් ලෙස තෝරාගත් මම මල්ලීද සමග පාසැලේ පුහුණුවීම් කටයුතුවලට සහභාගි වුණෙමි. බාහිර තරග සඳහා යාමේදී අවට පාසැල්වල බාලිකාවන් හමුවුවද සිත තුළ සැඟවුණු උවමනාව පරයා නැගෙන භීතිය නිසාම තරගය මොහොතට පමණක් ඔවුන් දෙස බැලීමට පුරුදු වීමි. තරගය සටහන් කෙරෙන සටහන් කොළය සිසුවියන් අතට දෙත්දීත්, තරගය අවසන අතට අත දී සුභ පතද්දීත් මා විසුළුවකට ගෙන ඔවුන් සිනාවනු ඇතැයි යන විශ්වාසයක් නිරතුරුව මා සමග විය. මගේ කණ්ඩායම් සගයින් වූ ගලප්පත්ති, අසන්ත, අයි.එස්, විජේසිංහ ආදීහු සිසුවියන් සමග කවට බස් දොඩද්දී මම හැකි පමණ දුරින් හිඳින්නට උත්සාහ කළෙමි.

සිසුවියන් අභියස පළායාමේ පුරුද්ද මවෙත ඇති වූයේ පවුලේ සොයුරියක් නොසිටි නිසා යැයි පැවසීම එක්තරා මුසාවක්දැයි විටෙක මටම සිතේ. සියල්ල පරයා සිත තුළදළු ලා තිබූ මා කෙසඟ‍, විරූපී කොල්ලෙකුය යන හැඟීම ඊට මුලින් වූ හෙළි නොකළ යථාර්ථයයි. 

පාසැලේ පහළ පන්තිවලදී අනිත් සිසුන්ට වඩා තරමක් උසින් යුතුවූ මම කෘෂ වූ ශරීරයකට හිමිකම් කීමි. මාගේ පෙනුම නිසාම සමීප මිතුරෝ ‘කෝටුවා‘ යන නාමය මා හැඳින්වීමට භාවිතා කළහ. මේ නාමයන් සිය නිර්මාණශීලී බව හරහා නවීකරණයට ලක් කරන මා සුමිතුරා වූ විදුර එකළ මා ඇමතුවේ ‘ඇටකෝටු බාස්‘ යන නමිනි. වචනයේ පරිසමාප්තයෙන්ම මම ඇට කෝටු බාසෙකු වන්නට ඇතැයි මට සිතෙන්නට ගන්නේ පාසැලට නොයන සති අන්ත වලදී ය. 

මහගෙදර පිටුපසින් වන කුඩා කඳු ගැටය දක්වා දිවෙන ඉඩම් කට්ටියේ කාණු ආදිය කැපීමට අයියාත්, චූටි බාප්පාත් සති අන්ත වෙන් කරන අවස්ථා වේ. ඔවුන් කඳු ගැටිය දෙසට පා ඔසවත්ම මමද ඒ පසුපස ඇදෙමි.
 
“හා සුද්ධ කරමු බලන්න එහෙනම් මේ කාණුව“

දෙදෙනාම එක්ව මා වෙත උදැල්ලක් දිගු කරති. පරාජය නොවීමේ තිර අදිටනින් උදැල්ල ගන්නා මාහට විනාඩි කිහිපයකින් කණ වැකෙන්නේ උස්ව නැගෙන ඔවුන්ගේ සිනා හඬයි. 

“හරියකට උදැල්ලවත් අල්ලගන්න පුළුවන් නං! අන්න බලන්න ඒක කරන විදිහ!!“ 

දෙදෙනාගෙන් අයෙකු මගේ ක්‍රියාව විස්තර විචාරයකට ලක් කරයි. කඳුළු සඟවාගන්නා මම යළි නිවස කරා ඇදෙමි. 

“මම නං ඇට කෝටු බාසෙක්ම වෙන්න ඕනෙ!“

මිතුරන්ගේ හා නිවැසියන්ගේ අදහස් අවසන මම තීරණය කළෙමි. ඇට කෝට්ටෙකුට කිසිදු කෙල්ලෙකු කැමති නොවනු ඇති බවත්, මම පිටුපා යද්දී සියලු කෙල්ලන් මා පෙන්වමින් සිනාසෙනු ඇති බවටත් විශාල විශ්වාසයක් කල් යත්ම මා තුළ ඇති විය. මෙය කෙතරම් ප්‍රබල ලෙස මසිත අරා නැගිණිද යත් තරුණියන් හා සාමාන්‍ය පරිදි කතා බහක යෙදෙන්නට මා සමත් වූයේ පාසැලින් සමුගත් පසු ය.

Saturday, May 26, 2012

දිග ගවුම් සහ කොට ගවුම්

(2012 මාර්තු මස 15 වැනිදා)

රීජන්ට් වීදියේ නවාතැන් දොරින් ඇතුළුවත්ම හමුවන ප්‍රවේශ දොරටුව යොමු වූයේ තරුණියන් දෙදෙනාගේ කාමරය වෙතට ය. තරුණියන් සමග එකම නවාතැනක කල් ගෙවීම ලාංකික අපට සමීප අත්දැකීමක් නොවේ. පේරාදෙණියේ සහ කොළඹත්, ශ්‍රීපාලියේත් මා දන්නා සියලු ශිෂ්‍ය නේවාසිකාගාර ගැහැණු හා පිරිමි ලෙස වෙන් වශයෙන් පිහිටුවා ඇත. පේරාදෙණියේ පිරිමි නේවාසිකාගාර දොරටු විසි හතර පැයෙහි ඇර දමා තිබෙන නමුත් කාන්තා නේවාසිකාගාරයකින් රාත්‍රියේ පිටව සිටීමට හෝ ප්‍රමාද වී පැමිණීමට අවසර ලබා ගත යුතු ය. 

නිශ්චිත කාල වේලාවන් තුළදී කාන්තා නේවාසිකාගාර ගේට්ටු වසා දැමෙන අතර ප්‍රමාද අවසර පත් සහිත තරුණියන් ඊට පෙර සිය පෙම්වතුන් සමුගෙන නේවාසිකාගාරයට ගාල් වීම අපේක්ෂා කෙරේ. පෙම්වතිය නේවාසිකාගාරයට ගෙනවිත් හැරලන පෙම්වතාට ද පිටතින් යා හැකි කැන්ටිමෙන් මිළට ගෙන හෝ පොදු කාමරයේ සිට පෙම්වතිය සාදා ගෙනවිත් දෙන හෝ තේ කෝප්පය රස බලා පිටව යා හැක. පෙම්වතිය හැරලීමට හෝ බැලීමට ගොස් නිතිපතා කාන්තා නේවාසිකාගාරවල ලගින පෙම්වතුන් අතර පේරාදෙණියේ ඇතිවන තරගය නේවාසිකාගාර රාත්‍රිය දිනයේ එකකුගේ ජයග්‍රහණයෙන් කෙළවර වේ. අන් සියල්ලන්ගේම පරාජිත හැඟීම් මැද රාමනාදන් ශාලාවේ ජයග්‍රාහකයාට නිත්‍යනාදන් සම්මානයත්, සංඝමිත්තා ශාලාවේ ජයග්‍රාහකයාට නිත්‍යමිත්තා සම්මානයත් හිමිවන බව මම අසා ඇත්තෙමි.  
  
රීජන්ට් වීදියේ නවාතැන ශිෂ්‍ය නේවාසිකාගාරයක් නොවූව ද මෙහි ශිෂ්‍ය නේවාසිකාගාර බොහොමයක්ම කාන්තා හා පිරිමි දෙපක්ෂයටම විවෘත වූ ඒවා විය. අපේ නවාතැනෙහි ද තරුණියන් දෙදෙනෙකු විසීම මා හැර අනෙත් කිසිවකුට පූර්ව අත්දැකීම් රහිත කාරණාවක් නොවී ය. 

තරුණියන් දෙදෙනාගෙන් අයෙකු වූ චීන ජාතික තරුණිය හඳුන්වන ලද්දේ ක්‍රිස්ටල් යන නමිනි. ඇනී මෙන්ම ඔස්ට්‍රේලියානුවන්ට නුහුරු චීන නාමය වෙනුවට ඇය මෙම පටබැඳි නාමය භාවිතා කරන බව පෙනින. තරමක ලජ්ජාශීලී තරුණියක් වූ ක්‍රිස්ටල් චීන වැසියන්ට ආවේණික ලෙස පාද ළඟ ළඟම තබමින් වේගයෙන් නාන කාමරය හෝ කුස්සිය වෙත ඇවිද ගිය අතර සිය කටයුතු අහවර කළ වහාම කාමරයට වැද අතුරුදන් වූවා ය. ඉඳහිට මුහුණට හමුවන අපෙන් කෙනෙක් ඇයට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කළහොත් සියුම් මදහසකින් ප්‍රති උත්තර දෙන ඇය ඉක්මණින්, තවත් වචනයකට ඉඩ නොතබා පලා යන්නී ය. සරලවම කිවහොත් ක්‍රිස්ටල්ගේ කතා හැකියාව හා වචන නිකුත් කිරීමේ බලයද නිවෙස් හිමි ඇනී වෙත පවරාගෙන ඇති බවට සැකයක් මාවෙත නැඟිනි. නොඑසේනම් අර තරම් කුඩා ශරීරයක් හිමි ඇනී මෙතරම් වේගයකින් වචන විදින්නේ කෙසේ ද?

පවුලින් නැමති ප්‍රංශ තරුණිය සිටියේ ක්‍රිස්ටල්ගේ විරුද්ධ පාර්ශවයේ ය. නිරතුරුව නිවස ඝෝෂාවකට හරවන ඇය හැකි සෑම නිමේෂයකම පිරිමි පාර්ශවය සමග ගත කිරීම ප්‍රිය කළ බව දක්නට ලැබිණි. ප්‍රංශ සමාජයේ කාන්තාව පිළිබඳ අප සමාජයේ මුල් බැසගෙන ඇති, සත්‍යයක්ද හෝ මිත්‍යාවක් ද මා නොදන්නා අදහස තරමක් සනාථ කරමින් පවුලින් හිටි අඩියේම මගේ කර මතින් මෙන් කරණම් ගසා ආලින්ද කාමරයේ සෝපාවට ප්‍රවේශ වෙයි. ඉන්දීය පෙනුමැති මා වෙත එතරම් රුචියක් නොදැක්වූ ඇය ප්‍රංශ තරුණයින් දෙදෙනා සමගත්, බ්‍රසීල ජාතිකයා සමගත් දැඩි කුළුපග බවක් පෙන්වූවා ය. ඇය හැඳ සිටින ඇඳුම් අපේ අම්මා දුටුවහොත් කුමක් කියන්නට ඉඩ ඇතිදැයි මට අදහසක් නැත. කෙසේ නමුත් ඇය නිරතුරුව වැඩිපුර නිරාවරණය කළේ  ශරීරයේ පහළ අර්‍ධය යි. 

ශරීරය නිරාවරණය වන ඇඳුම් අඳින තරුණියන් ඕස්ට්‍රේලියාවේ සුලබ දසුනකි. ඉතා කෙටි කලිසම් හෝ සායවලින් සැරසී සිය කලවා සහ දෙපාවල සුන්දරත්වය නගරවාසීන් වෙත දැක්වීමට සිඩ්නි තරුණියෝ පසුබට නොවෙති. ඇතැම් විට දිගු සාය හෝ කලිසම් වලින් සැරසුණු තරුණියන්ගේ ඇඳුම් විනිවිද යමින් ඔවුනගේ යට ඇඳුම් වටපිටාවට හෙළි ‍කෙරෙන අවස්ථා ද වේ. 

“නිරුවතින් හිරුරැස් නාන එක එවැනි සංස්කෘතියක් තියෙන රටකට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒක අපේ සංස්කෘතියට හුරු නැති නිසා, දුරස්ථ නිසා මෙහෙට ඒක ප්‍රශ්නයක්“

පෙර දිනක යාටීවී වෙත අශෝක හඳගම දැක්වූ අදහසක් මගේ සිහියට එයි. අප රට තුළ අඩ නිරුවත ලෙස වෙන් කර දක්වන ඉහත කී ඇඳුම් ඇඳි තරුණියන් දැන් මටද සාමාන්‍ය වූ දසුනකි. හිටිවනම දිගු ඝණ ඇඳුමකින් සැරසුණු ඉන්දීය හෝ අරාබි තරුණියක් මහ මග දකින මට ඇගේ ස්වරෑපය පිළිබඳ සතුටක් ඇති වෙයි. අප සංස්කෘතිය අපට හුරු කර ඇත්තේ අඩ නිරුවත් තරුණියන් දැක සෘජුව තුටු වන්නට නොව දිගුවට ඇඳි ඇඳුමෙන් සැරසුණු යුවතියන්ගේ රුවගුණ මනසින් විඳින්නට ය. 

“අයියෝ සර්.... සර් එහෙම කොටට අඳින කෙල්ලො දිහා වැඩිය බලන්න එපෝ........“ 

ෆේස් බුක් සංවාදයකදී මෙම කරුණ අසා නර්මදා දුන්නේ එවන් පිළිතුරකි. දුරුරටක වෙසෙන සිය හිතවත් මිතුරා (ගුරුතුමා) මෙවැනි විප්‍රයෝග හමුවේ විනාශ වී යනු ඇතැයි යන විශ්වාසයක් ශ්‍රී ලංකාවේ වෙසෙන අය තුළ ඇතිවීම සාමාන්‍ය කරුණකි. නර්මදා යනු මා ශ්‍රී පාලියෙන් පිටවන විට දෙවන වසරට පිවිස සිටි ශිෂ්‍යාවකි. ඇයත් ඇගේ මිතුරියන් කැළත් ඉඳහිට ෆේස් බුක් අඩවියෙන් හෝ ස්කයිප් හරහා පිවිසෙමින් මගේ සුවදුක් විමසා බලති. මා රටින් පිට වන වග අසා වේදනාබරව කඳුළු සැලූ ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැන් පෙනෙන්නට නැත.

“කොහොමත් ළමයි කියන උන් විශ්වාස කරන්න එපා. උන් අවස්ථාවාදියි. වැඩ ටික කෙළවර වුණාම අපි උන්නද මළාද හොයන්නෙ නෑ. ඒ උන්ගෙ හැටි“

ආනන්ද සර් වරෙක ශිෂ්‍ය මිතුදම් පිළිබඳ දුන්නේ එවන් උපදෙසකි. එහෙත් විශ්ව විද්‍යාලයෙන් බැහැර ව ගොස් හිතවත්කමින් අප ගැන සොයා බලන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නැත්තේ නොවේ. අනෙත් අතට උපාධිය ලැබූ පසු ගොරතර සමාජ අරගලයට බසින ඔවුනට අප සිහි කරමින් සිටින්නට කාලයක් නොතිබෙන්නට ද පුළුවන. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වන අපට එක්වරම හමුවන නැවුම් සිසු කැළක් සමග වසර හතරක සබඳතාවක් ගොඩ නඟා ගැනුමට ලැබෙයි. ඇතැම් සිසු සිසුවියෝ සමාන හදැත්තන් ලෙස අපට ඉතා සමීප වෙති. පේරාදෙණියේදී මට හමුවූ දීපනී, සඳලි, රුවන්, මේනක වැන්නවුන්ද ශ්‍රී පාලියේදී හමුවූ චතුරංග, කලාබර (පට බැඳි නමකි), ජයරුවන්, රසාංගි, ප්‍රාර්ථනා වැන්නවුන්ද අයත් වන්නේ මෙම කාණ්ඩයට ය. මෙවැනි සිසු සිසුවියන්ගේ ජීවණ අරගල, පෙම් සබඳතා, පෙම් අරගල, මිතුරු ගැටුම් හා අඩ දබර අතරට මැදි වන්නට සමීපත්වය වැඩිවත්ම අපට සිදුවෙයි. පේරාදෙණියේ ගත කල ජීවිතයේදී මෙන් නොව නිවසින් දුරස්ථව ගෙවූ ශ්‍රී පාලී ජීවිතයේදී මාගේ සමීපතමයින් වූයේ මෙම ශිෂ්‍ය මිතුරන් ය. 

“සර් දන්නෙ නැහැ... මිහිරංග මුල් දවස්වල මාත් එක්ක යාළු‍වෙලයි හිටියෙ... දැන් එයා මාව මග අරිනව...  “

මා හමුවට පැමිණ කඳුළු සලන්නට ගත් සරලා විස්තර කරන්නට වූවා ය. හැඬීමෙන් රත් පැහැ වූ දෙනෙතත්, අපේක්ෂා භංගත්වය නිසා වේදනාවෙන් මිරිකුණු ඇගේ මුහුණත් මට අදද සිහිපත් කර ගැනීම අපහසු නැත. වේදනාව පිට කරනු වස් හඬා වැළපෙන්නට යත්න දරන්නකුට ඊට ඉඩ දීම යහපත් බැවින් මම නිහඬව ඇගේ කතාව අසා සිටියෙමි. 

“සර් හිතයි මට පිස්සු කියල.... එයා මුල ඉඳලම මට ලියපු සේරම කවි, ලියුම් මම පොතක අලවල තියෙන්නෙ...“

ඇය සිය ප්‍රේමය අවිහිංසක සතුටකින් විඳිමින් උන් බවට ඒ මනා සාක්ෂියක් වුව මම කිසිත් නොකීවෙමි.

“මම දන්නව කරන්න ඕන දේ! මම මේ පාර ගෙදරින් එනකොට ගෙනාව පිහියක්!!!!“

එක්වරම ඇසුණු වදනින් මම ත්‍රස්ත වී ගියෙමි. එහෙත් කලබල වූ බවක් පෙන්වීම ඇගේ තත්වය සමනය කිරීමට ඇති නිසි ප්‍රවේශය නොවේ. 

“ඒ කියන්නෙ ඔයා දැන් මිහිරංගට පිහියෙන් අනින්නයි යන්නෙ...?“

“නැහැ සර්... මට ඒක කීයටවත් කරන්න බැහැ. මම එයාට ආදරෙයි. මම කොහොමද ඒක කරන්නෙ?“

“එහෙනම්?“

“අපි දෙන්න ගැලපෙන්නෙ නැති බව කියපු කෙනා මම දන්නව... මම පිහියෙන් අනින්නෙ ඌට...!“

වේදනාව සමග පුපුරා හැළෙන වෛරයක සේයාවක් දැන් ඇගේ මුහුණින් කියවාගත හැකි ය. මම සෙමින් කතා කරන්නට පටන් ගත්තෙමි. 

“සරලා...මට ඔයාගෙ වේදනාව හොඳටම තේරෙනවා... ඒත් ඔයා කාටහරි පිහියෙන් ඇන්නම ආයෙ මිහිරංග ඔයා ළඟට එනවද? ඒක එහෙම වෙන එක හොඳටම විශ්වාස නම් ඒක කලාට කමක් නැහැ“

මගේ පළමු තර්කයෙන් මඳක් විශ්මයට පත්වූ සරලා කල්පනා කරන්නට වූවා ය. 

“ඔයාගෙ ප්‍රේම කතාව මාස කීපෙක එකක්. ඒත් අවුරුදු පහක ලව් ස්ටෝරි එකක් ඉවරකරල තමන්ගෙ ගර්ල් වෙන කෙනෙක්ව බැඳල රටින් පිට වෙලා යද්දි නිස්සද්දව ඒක දිහා බලා උන්නු කෙනෙක් මම දන්නව. එයාටත් තිබ්බ කාට හරි පිහියෙන් අනින්න. ඒත් මොනවද ලැබෙන්නෙ? ඒක තවත් අම්මෙක්ට වේදනාවක් හදල දෙන වැඩක් විතරයි නේද? ඔයා ටිකක් කල්පනා කරන්න තනියම... ළඟ තියාගෙන ඉන්නකොට පාවිච්චි කරන්න හිතෙනව නම් ඔයාගෙ පිහිය මට ගෙනත් දෙන්න“

සරලාගේ කඳුළු සෙමෙන් වියැකෙමින් තිබිණි. ඇය මොහොතක් කල්පනා කරමින් සිට ඒ මොහොතේ අනිවාර්යව තිබුණු ප්‍රශ්නය මා වෙත යොමු කළා ය. 

“කවුද සර් අර සර් දන්න කෙනා.. අවුරුදු පහකට පස්සෙ ගර්ල් දාල ගිය?“

“මම!!“

ජීවිතයේ නියත මොහොතවල් වලදී ඔබ කළ යුතු ප්‍රකාශ සත්‍යයද හෝ මිත්‍යාවද යන්න වැදගත් නොවේ. ඇතැම් විට ඒ සත්‍යය හා මිත්‍යාව එක්කොට ඔබම ගොඩනගන ප්‍රවාදයක් විය හැක. වඩා වැදගත් වන්නේ ඉන් ලබන ප්‍රතිඵලයයි. විරහ දුකින් පීඩිතව, තවකකු මරා දමන්නට වුව සැරසී මා අභියස සිටින සරලා සැබවින්ම දක්ෂ සිසුවියකි. ඇයගේ දිවි මග යළිත් පහන් කරදෙන්නට මා කරන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව වැදගත් නොවන බව මට වැටහී ගොස් තිබිණි.

දිගු විරාමයකට පසු නිහඬව නැගිට ගිය සරලා යළි මා දකින්නට ආවේ නැත. කිසිදු පිහි ඇණුමක් සිදු නොවූ අතර මිහිරංග වෙත යළි පෙම් කවි හා ලිපි සරලා විසින් භාර දුන් බව මට ආරංචි විය. 

වසර දෙකකට පසු සරලාගේ කණ්ඩායමේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය නරඹා කණ්ඩායමට සුභ පතන මහ සෙනග මැද මමද සාමාජිකයෙක් වීමි. සැම නෙතට කඳුළු කැඳවූ ඒ විසල් නාටකයේ සරලා මනහර රංගනයක නිරත වූවා ය. සියළු සිසු සිසුවියන් අප වෙත පැමිණ අප හා කතා කළ අතර ඔවුනගේ විශිෂ්ටතා අගයන්නට අපට අවකාශ ලැබිණි. අවසාන නාට්‍ය කණ්ඩායම් සාමාජිකයාද පිටව ගියමුත් සරලා එහි නොවූ බව මට අවබෝධ විය. මම සෙමින් වේදිකාව පිටුපසට ඇවිද ගියෙමි. සිය චරිතය සඳහා ඇඟලාගත් ඇඳුමින්ම සැරසුණු සරලා තනිව, වේදිකාව කෙළවර බිමට නැඹුරු කරගත් මුහුණින් යුතුව රැඳී සිටියා ය. 

“සරලා... මොකද ඉස්සරහට ආවෙ නැත්තෙ... ඔයා හොඳට කැරැක්ටර් එක කළා... මයි කන්ග්‍රැජුලේෂන්ස්!“

සෙමින් හිස ඔසවා මා දෙස බැලූ ඇගේ නෙත් කෙවෙනි අග වූ කඳුළු කැට හඳුනාගන්නට මට අපහසු වූයේ නැත. එක්වරම මා පා මුල වැටී මට ආචාර කළ ඇය හඬන්නට වූවා ය. මම සෙමින් නැඹුරු වී ඇය නැගිටුවා ලීමි. කුඩා දැරියක මෙන් ඇය මා ළය මත හිස තබාගෙන දිගු වේලාවක් කඳුළු සැලුවා ය. 

“මට සමාවෙන්න සර්... හැමෝම එක්ක පේළියට ඇවිත් කතා කරල යන්න මට හිත් දුන්නෙ නැහැ. මේ චරිතෙ රඟපාන්න මම මේ කැම්පස් එකේ මේ විදියට ඉතුරු වුණේ සර් නිසා... එදා සර් මට කිව්ව වචන ටික මාව වෙනස් කළා සර්... මම සර්ට කතා කරන්න එන්න ඕන අනිත් අය එක්ක පෙළ ගැහිල නෙවෙයි කියල මට හිතුන....“


Tuesday, May 22, 2012

“මගේ රත්තරන් පුතාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහි‍‍‍ටයි”


(2012 මාර්තු මස 14 වැනිදා)

මගේ කාමර සගයින් දෙදෙනාගෙන් ප්‍රංශ ජාතිකයා පැට්‍රික් නමැත්තෙකි. කිසිදු ප්‍රංශ පෙනුමක් නැති ඔහු දුටුමතින් මා විශ්වාස කළේ ඔහු ඉන්දියානුවෙක් විය හැකි බවයි. කඩවසම් ඉන්දීය නළුවෙකුගේ පෙනුමක් පැට්‍රික් හමුවේ දෘශ්‍යමාන විය. 

“අහන්න දෙයක් නෑ. මනුස්සය ප්‍රංශ කිව්වට ඉපදිල ඇත්තෙ ඉන්දියාවෙ“ මගේ අදහස අනුමත කරමින් ජයන්ත අංකල්ද කීවේ මුලින් නවාතැන බලා යළි ඇල්ගනන් වීදියට රථය පදවමිනි. පැමිණ දින කිහිපයකින් පැට්‍රික් මගේ අදහස සනාථ කළේ ය. 

“මම ඉපදිලා තියෙන්නේ රියුනියන් කියන දූපතේ. ඒක තියෙන්නෙ මැඩගස්කර්වලට ළඟින්. මගේ ඇත්ත අම්ම තාත්ත දෙන්න ඉන්නෙ එහෙ. ඒක ගොඩක් දුරට ඉන්දියන් පෙනුම තියෙන මිනිස්සු ඉන්න, ඉන්දියන් සංස්කෘතියක් තියෙන දූපතක්“

ඉංග්‍රීසි වචන සොයමින් පැට්‍රික් පැහැදිලි කරයි. ප්‍රංශ පවුලක් විසින් දරුකමට සාදාගැනීමට රැගෙන ගොස් ඇති ඔහු සිය වැදූ මව හා පියාට වඩා දැඩිව සැදූ පවුලට ආදරය කරන්නෙකි.

“මේ තමයි මගේ පවුල. මේ මිනිස්සු මට හරිම ආදරෙයි. නොදන්න කාලෙම මම මෙහෙම තැනකට, මෙහෙම රටකට ආවෙ මම වාසනාවන්ත හින්ද.“

සැබෑ දෙමාපියන් හමුවට යාම පිළිබඳ මා විමසූ පැනයට ඔහු දුන්නේ එවන් පිළිතුරකි. 

“මම 2009දි එක පාරක් ගියා රියුනියන් වලට. මගේ තාත්ත මැරිල. අම්මා විතරයි මුණ ගැහුනෙ. එයා හරියට ඇඬුව. එයා හිතල නෑ කවදාවත් ආයෙම මාව දකින්න ලැබෙයි කියල“

ක්‍රමිකව හැඟීම්බර වන පැට්‍රික් සෙමින් මුමුණයි. සැබෑ ආත්මීය හැඟීම් සන්නිවේදනය කිරීමට අපේ භාෂා ඥාණය පොහොසත් නැත. රැකියා බලපතක් සහිත වීසාපතකින් මෙරටට පැමිණ ඇති ඔහු ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම සඳහා භාෂා පාසැලකට යයි. බසකට පෙරළිය නොහැකි ඔහුගේ හැඟීම් දෙනෙත් හරහා කියවා ගැනීමට මම උත්සාහ කරමි. එහි පතුලත සැඟවුණු වේදනාවක සේයාවක් ලෙස මා කියවා ගන්නේ අම්මාගෙන් දුරස් වීමේ මගේ ආත්මීය වේදනාවම ද? 

නිවසේ විනෝදකාමියා - පැට්‍රික්
නිරතුරුව නිවහන විනෝදකාමී ස්ථානයක් කරන්නට සමත් පැට්‍රික්, අහම්බෙන් ප්‍රංශ යුවළක් ඔහු දරුකමට තෝරා ගැනීම වාසනාවක් ලෙස සලකන්නෙකි. එහෙත් සැබෑ ලෙසම මෙවන් සිදුවීමක් හමුවේ කෙළවර නොවන, අප්‍රකාශිත වේදනාවක් ඉතිරි වන බව මට සිතෙයි. 

“ආයෙ කවදා හරි මම එහෙ යන්නෙ මගේ හැබෑ මුල් දකින්න ඕන කියල මගෙ දරුවෙක් ඉල්ලුවොත් විතරයි“ 

සංවේදී වදන් පෙළකින් ඔහු සංවාදය කෙළවර කරයි. රියුනියන් දේශයේ සිය නිවසට වී, හදිසියේ පැමිණ තමන් හඬවා ගිය ආදරණීය පුතණුවන් යළි එනතුරු මග බලා ඉන්නා මවක් මට මැවෙන්නට ගනියි. ඇය අපේ අම්මාට බෙහෙවින් සමාන ය. 

මමත්, අයියාත්, මල්ලීත් පස්වන විය තෙක් සිය උණුසුමෙහි සාදාගත් අපේ අම්මාට ඉන් අනතුරුව ළදරු පාසැල් අධ්‍යාපනය සඳහා අප මහගෙදරට එවන්නට සිදුව ඇත. මාඋස්සාව, රාක්ෂාව, වුඩ්සයිඩ් හා හාතලේ රාජ්‍ය තේ වතු යායන්හි ලිපිකරුවකු ලෙස සේවය කළ තාත්තී එම සේවා ස්ථාන හරහා ලැබෙන නිල නිවාස වල නතර වද්දීම අම්මාගෙන් අපත්, අපෙන් අම්මාත් වෙන් කිරීමේ පිඹුරුපත් සැකසී තිබිණි. තාත්තීගේ මෑණියන් වූ ආච්චී සහ නැගණිය වූ නැන්දා සමග මහගෙදර වාසය අම්මාගෙන් වෙන්වීමේ වේදනාව අවම කළ පරිසරයකින් යුක්ත විය. නැන්දා සහ ආච්චීට අමතරව බාප්පලාගේ ඇසුරත්, අසල්වැසි නෑසියන්ගේ සෙවිල්ලත් අප තිදෙනාගේ පාසැල් සමය තෘප්තිකර කාල සමයක් බවට පත් කළේ ය. 

එහෙත් පාසැල් නිවාඩු සමය කෙළවර අපෙන් සමුගන්නා අම්මා තනිව වතු නිල නිවසේ කෙසේ කල් අරින්නට ඇත්දැයි මම නොදනිමි. කාර්යාල සේවයට උදෑසන නිවසින් සමුගන්නා තාත්තී යළි නිවසට එන්නේ දිවා ආහාරයට හෝ සවස සේවය නිමා කිරීමෙන් අනතුරුව ය. සිය සේවය වෙනුවන් දැඩි කැපවීමක් දැක්වූ ඔහු ඇතැම් වැඩ අධික දිනවල කාර්යාල ලේඛණ හා පොත් පත් නිවසටද රැගෙන එයි.  මිතුරිය ලීලාට ලිපි ලිවීම, කවි පබැඳීම, මැහුම් හා ගෙත්තම් කිරීම, ගුවන් විදුලියට සවන් දීම ආදිය හරහා අප තිදෙනා අසළ නොමැති වේදනාව කොතරම් දුරට මනසින් මකාගත්තේදැයි ඇය විමසන්නට කාලයක් මාවෙත ලැබී නැත. තාත්තීගේ විශ්‍රාමයාමත් සමග මහගෙදරට පැමිණ නොබෝ කලකින්ම ඇය රෝගතුර වූවා ය. 

රීජන්ට් වීදියට පැමිණි නොබෝ දිනකින්ම සොයුරු හැඟීමකින් සමීප වූ පැට්‍රික්ගේ සැබෑ අම්මා, මහගෙදර සිට ස්කයිප් හරහා මා අමතන අම්මා ම විය නොහැකි ද? පුතණුවන් දුරස්වීමේ වේදනාව දරාගත නොහී අම්මාගේ නෙතින් ගලන කඳුළු දුටු පැට්‍රික් මෙන් අපේ අම්මා හඬනු මා දැක නැත. අප ඉදිරියේ කඳුළු නොසැලූ ඇය වසර විසි තිස් ගණනක වේදනාව රෝගයක් ලෙස පිට කළා ය. 

 “මගේ රත්තරන් පුතාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහි‍‍‍ටයි” 

සිය රෝගය උත්සන්න මොහොතක වුව අම්මාගේ මුවින් නිතැතින් පිටවන මෙම වදන් පෙළ තනිව වතු නිල නිවසේ කල් ගෙවූ යුගයේ අපමණ වතාවක් මුමුණන්නට ඇත. අහම්බ මොහොතක සිය දෙනෙත් අභියස ජීවමාන වී යළි නොපෙනී ගිය කඩවසම් පුතු සිහිකර කඳුළු පිරි මුවින් පැට්‍රික්ගේ සැබෑ මවද ඔවැනිම පැතුමක් මුමුණනු ඇත.

Saturday, May 19, 2012

පොත් මේස සහ අල්මාරි...


(2012 මාර්තු මස 11 වැනිදා)

රීජන්ට් වීදියේ නිවහන බහු සංස්කෘතික, බහුජාතික, බහු ආගමික ආදී මෙකී නොකී සියලු විශේෂණ වලින් හැඳින්විය හැකි ස්ථානයකි. මගේ කාමරයේ ජපන් ජාතික තරුණයෙක් සහ ප්‍රංශ ජාතික තරුණයෙක් නවාතැන් ගෙන සිටිති. අනෙක් පස තරමක් විශාල තට්ටු ඇඳන් දෙකක් සහිත කාමරයේ ප්‍රංශයෙක් හා කොරියානුවෙක් ද, බ්‍රසීල ජාතිකයෙක් ද වෙති. පිවිසුම් දොරටුව අසළින්ම ඇතුළු වන කාමරයේ ලැගුම් ගෙන උන්නේ ප්‍රංශ හා චීන ජාතික තරුණියන් දෙදෙනෙකි.

මේසය මත පරිගණකය තැබූ විට...
වර්ග අඩි සියයක පමණ කාමර වපසරිය තුළ ජපන් හා ප්‍රංශ කාමර සගයින් දෙදෙනා සමග මමද බඩු මුට්ටු තැන්පත් කළෙමි. මගේම යැයි අයිතිවාසිකම් කීමට කාමරය තුළ වූයේ තනි ඇඳක්, පුටුවක් සහ ස්ටූලයකට වඩා තරමක් විශාල මේසයක් පමණි. (ඉතා ඉක්මණින් ඇඳුම් රාක්කයක් ගෙනවිත් දීමට ඇනී පොරොන්දු වූවා ය.) මේසය මත පරිගණකය තැබූ විට පොත්පත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය ඇඳ මත තැබීමට සිදුවේ. යමක් ලියන්නේ නම් පරිගණකය ඇඳට යවා පොත් පත් මේසයට කැඳවිය යුතු ය. මඳක් අසීරු වුවත් පරිගණකයේම ලිවීම හුරුවීම මැනවැයි සිතෙන්නට ගත්තේ මේ සීරුමාරුව මහත් අපහසුවක් ඇති කළ බැවිනි. 

පාසැල් අවදියේ  කටුගස්තොට මහගෙදර වෙසෙද්දී මටත්, මල්ලීටත් වෙන් වශයෙන් පොත් මේස ලබා දී තිබිණි. මෙකල මෙන් පාසැල් දරුවන්ටමැයි වෙන් කළ මේස නොතිබුණු එදවස අපට ලැබුණු මේස විවිධ අරමුණු වෙනුවෙන් කලින් කල භාවිතා කළ ඒවා විය. මමත්, මල්ලීත් නව පාසැල් වාරයක් ඇරඹෙද්දී දිනයක දෙකක දිගු කාලයක් වැය කොට මෙම මේස අස් කරන්නට ගනිමු. චූටි බාප්පාගේ, එනම් තාත්තිගේ බාලම සහෝදරයාගේ සහ අයියාගේ නිරන්තර උපහාසයට ලක්වන මෙම ඇහිරිල්ල අපට නම් මහත් සතුටුදායක වැඩකි. විවිධාකාරයේ පොතපත සඳහා විවිධ ලේබල අලවමින්, වර්ග කරමින් මල්ලී කරන ඇහිරීම හැඳින්වීමට චූටි බාප්පාගේ ශබ්ද කෝෂයේ වූ වචනය වූයේ ‘පොත් අතුරනවා‘යන්නයි. විවිධ මාතෘකා යටතට මල්ලී විසින්ම වෙන් කරනු ලබන පොත් විශාල ඇඳන් මත අතුරා තැබීම නිසා ඔහු ඊට මෙම නම ලබා දී තිබිණි.

“ අදත් පොත් අතුරන්නද යන්නෙ?“

මල්ලී පොත් මේසයට අත තබන විට සිනාසෙන චූටි බාප්පා අසයි.

අප දෙදෙනාට වඩා වයසින් වැඩි තරුණයන් දෙපළක් වූ අයියාට සහ චූටි බාප්පාට වෙන් වූ කාමර නිවසේ තිබිණි. සැමවිටම නිවසේ ඉදිරිපස කාමරයේ පදිංචි වූයේ වැඩිමහලු ම තරුණ තනිකඩයා ය. මා ඉතා කුඩා අවදියේ එම කාමරයේ විසූ ජයේ බාප්පා, රැකියාව හා විවාහය සමග කොළඹට යද්දී ඒ කාමරය චූටි බාප්පාට හිමි වූ අතර ඔහුද උසස් අධ්‍යාපන පාඨමාලාවෙන් පසු නිවසින් බැහැර වද්දී එහි උරුමයට හිමිකම් කීවේ අයියා ය. උපාධිය ලැබ, රැකියාවක් ලබා, විවාපත්ව ඔහුද නිවසින් පිටවද්දී මාහට කාමරය උරුම වුවත්, කුඩා අවදියේ නිවසේ දැනුම් කේන්ද්‍රස්ථානය ස්වපාලනයට නතු වීම මට බලාපොරොත්තු සතුට ළඟා කළේ නැත. උදාරම් ලෙස කාමරයේ ජනේලයට පය තබාගෙන ‘ලෙනින්ගේ තෝරාගත් කෘති‘ කියවූ චූටි බාප්පා, සිය මේසය අසළ පුටුවේ වාඩි වී තමා හමුවට එන සගයින් සමග දේශපාලනය කතා කරන අයියා නොමැති පාළු කාමරය මාවෙත ගෙන ආවේ සියුම් වේදනාවකි. 

තරමක කුඩා අවදියේ සිටම ස්ව පාලනයට අයිති නොමැති වුවද මෙම ඉදිරිපස කාමරය මගේ කෝශ්ඨාගාරය විය. ලෙනින් හා මාක්ස්ගේ විවිධාකාර දේශපාලනික කෘති, විද්‍යා පොත්, චරිත කතා, නාට්‍ය හා සිනමා ග්‍රන්ථවලින් පිරී තිබුණු එහි පොත් අතරින් මාගේ ආකර්ශණය වැඩි වශයෙන් දිනාගත්තේ නව කථා හා කෙටි කතා එකතුවයි. විශාල පොත් ප්‍රමාණයක් නොවූවද ඒ හා අතර සැරීම නිසාම හයවන, හත්වන පන්තිවලට එන විටම මම මාර්ටින් වික්‍රමසිංහ, කේ.ජයතිලක, මක්සිම් ගෝර්කි හා ඇන්ටන් චෙකොෆ් ඇතුළු දේශීය හා විදේශීය රචකයින් රාශියකගේ කෘති ඇසුරට වරම් ලද්දෙක් විය.

හය වන පන්තියේ දීම මා වික්‍රමසිංහයන්ගේ කෘති ඇසුරු කර තිබීම පාසැලේ පුස්තකාලය භාර ගුරුතුමාගේ කේන්තිය ඇවිස්සූ කරුණක් විය. සතියකට වරක් පැමිණෙන පුස්තකාල කාල ඡේදය එළඹෙත්ම විද්‍යාර්ථයේ එවකට වූ විදුහල්පති කාර්යාල ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි පුස්තකාලය වෙත 6 වසර ඒ පන්තියේ මිතුරු පිරිසත් සමග මම ද පිය නගමි. දැවැන්ත මේස කිහිපයක් හා යතුරු දමා ආරක්ෂා කර ඇති පොත් අල්මාරි පෙළක් අතර මහත් බලසම්පන්න පුස්තකාල ගුරුතුමා අපට හමුවෙයි. පිටතින් අණ්ඩ දමා ඇති ඉරී ගිය කලිස‍මෙන් සැරසී, වැලමිටෙහි තුවාලය චීත්ත රෙදිපටකින් ගැට ගසා, නොකැපූ අවුල් ව ගිය කෙස් වැටියකින් යුතුව සිටින අද්භූත පෙනුමැති ගුරුතුමා හමුවේ අපේ පන්ති සගයෝ නිහඬව අසුන් සොයා ඇදෙති. සියල්ලෝම වාඩි වූ විගස ළමා කතන්දර පොත් මිටියක් අතට ගන්නා ගුරුතුමා අධික වේගයකින් ඒ අප වෙත බෙදාහරින්නේ විධාන ස්වරූපයකින් ආඥාව නිකුත් කරමිනි.

“හ්ම්! දැන් කියවනවා!!“

අතට ආ පොත පෙර දිනයේ ලද කෘතිය වුවද දැන් කරන්නට දෙයක් ඇත්තේ නැත. ඔහුගේ විධානය අපේ ඇඟ සලිත කරවන්නකි. පෙර දිනයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම් පෙරළිය කියවමින් සිට එහි අවසානය දැකීමට නිවසට යාමේ ආශාවෙන් සිටින මාහට යතුරු දැමූ අල්මාරි අතර ඇති තවත් ගම් පෙරළිය පිටපතක් පෙනේ. විධානය දී අප පුටුවලට අලවා දැමූ පුස්තකාල ගුරුතුමා පෙනෙන්නට නැත. මම සෙමින් අල්මාරිය වෙත යමි. අප නිවසේ ඉදිරි කාමරයේ පොත් එකතුවේ හමුව මා කියවා නිම කළ නව කථා කිහිපයක් ද, ගම් පෙරළිය ග්‍රන්ථයද සමග පෙර නොදුටු පොත් රාශියක් ඒ තුළ ලා ඉබි යතුරු දමා තිබිණි.

“මොනවද තමුසෙ හොයන්නේ?“ පුස්තකාල ගුරුතුමාගේ කෝපය මුසු හඬත් සමග මම ආසනය මතට අහසින් මෙන් පතිත වුණෙමි.

“ඉස්සෙල්ල දුන්න එක කියවලා ඉන්නවා.... පණ්ඩිතයා වෙන්න හදන්නෙ නැතුව!“

පන්තියේ මිතුරෝ සිදුවීමෙන් කුල්මත්ව මා දෙස හොරැහින් බලා සිනා නඟති. සිය වැලමිටේ තුවාලය වැසෙන පරිදි යළි පටිය ගැට ගසාගන්නා අතර ගුරුතුමා අපට අවවාදාත්මක වදන් පෙළක් ගෙන එයි.

“කබඩ්වල ලොක් කරල තියෙන පොත් ලොකු ළමයින්ට... මම තමුසෙලට දුන්නෙ 6 පන්තියේ අයට ගැලපෙන ඒව. ඕව කියවල ලොකු වෙලා එනවා. මම තමුසෙලට ඒව ඇරල දෙන්නම්“

Friday, May 18, 2012

ඇල්ගනන් වීදියෙන් රීජන්ට් වීදියට‍....


(2012 මාර්තු මස 09 වැනිදා)

ඕස්ට්‍රේලියාවට පැමිණ දින තුනක් යන්නට මත්තෙන් මට වෙනම නවාතැනකට යන්නට සිදු විය. ඇල්ගනන් වීදියේ දසනායක නිවසින් මම 07 වනදා සැඳෑවේ පිටව ආවෙමි. ගෙවුණු දින කිහිපයේ ජයන්ත අංකල් සහ කුමාරි ඇන්ටි බොහෝ සේ මට සමීප වූහ. මා එන්නටත් මත්තෙන් මාහට නවාතැන් සොයා වෙහෙසී ඇති ජයන්ත අංකල් මාගේ පොකැට්ටුවට සරිලන ලාභදායකම තැනක් මා වෙනුවෙන් වෙන් කර තිබිණි. විශ්වවිද්‍යාලයට පාගමනින් යා හැකි දුරින්, සිඩ්නි නගරයේ මධ්‍යම දුම්රිය පළ අසල, රීජන්ට් වීදියේ පිහිටි එම ස්ථානය නිවාස මහල් සංකීර්ණයක දෙවන මහලේ පිහිටියකි. 

දින ගණනකට සරිලන්නට වෑංජන සකසා, බත් පෙට්ටි ද සමග මා වෙත ලබා දීමට කුමාරි ඇන්ටි කාරුණික වූවා ය. මෙරට  වෙසෙන ශ්‍රී ලාංකිකයෝ (මා දන්නා අය) බත් සහ මාළු පිණි සකසන්නේ දින කිහිපයකට සරිලන්නට ය. අධිවේගී දිවියක් ගතකරන ඔවුහු සකස් කළ ආහාර අධි ශීතකරණයේ තබා යළි අවශ්‍ය ප්‍රමාණ වලින් ගෙන ක්ෂුද්‍ර තරංග උදුනෙන් රත් කොට ආහාරයට ගනිති. ඉදිරි කාලයේ මාගේ ආහාරයන්ද ක්ෂුද්‍ර තරංග උදුනේ උණුසුම ලබනු ඇත.

කෑම භාජන, කොට්ට, වියළි ආහාර ආදිය රථයට දමාගත් දසනායක යුවළ මා සමග රීජන්ට් වීදියේ නවාතැන් ප‍ළට ආහ. 

“මේ වැඩේ අපිට දැන් පුරුදුයි. අවුරුද්දකට දෙකකට සැරයක් මේ ජොබ් එක අපි කරනවා“ 

ඔවුන් විදින ගැහැට පිළිබඳ කණගාටුව ප්‍රකාශ කළ මට ජයන්ත අංකල්ගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි. 

පෙර දිනයේ අප නවාතැනට ගොස් එහි වටපිටාව විමසා බලා පැමිණි අතර අපගේ පැමිණිම බලාපොරොත්තුවෙන් ඇනී, නිවාසයේ හිමිකාරිය මග බලා උන්නා ය. ඇනී නැමති තරබාරු, සැරපරුෂ නිවාස පාලිකාවක් මනසේ ඇඳ ගන්නා ඔබට බාධා කරමින් ඒ ප්‍රතිරූපය බිඳ දැමීමට සිදුවීම පිළිබඳ මට සමාවන්න! ඇනීගේ සැබෑ නම ඇනී නොවන බව ඇය දුටු මතින් ඔබ තීරණය කරනු ඇත. කිසිවිටෙක චීන ජාතික තරුණියකට එම නම නොලැබෙන බැවිනි. බොහෝ ඕස්ට්‍රේලියානුවාසී චීන ජාතික තරුණියන් මෙන්ම අනෙකාගේ පහසුව සැලකිල්ලට ගෙන ඇය එම නම තමන්ට පට බැඳගෙන තිබුණා ය. ඇනී ඉතා කුඩා සිරුරකින් හෙබි කටකාර චීන කෙල්ලකි. වයසින් ඇය අවුරුදු 25-30 අතර පසුවන බව අනුමාන කළ හැක. කිසිවිටෙක කාලය නිකරුනේ ගතවන්නට ඉඩ නොදෙන ඇය හැකි උපරිම වචන ප්‍රමාණය විනාඩියක් තුළ අපේ දෙසවනට පොම්ප කරයි. 


විනාඩි කිහිපයක් ගතවන්නට මත්තෙන් මාගේ කාමරය කුමක්ද හා එහි මට හිමි ඉඩ ප්‍රමාණය කොපමණද යන්නත්, කුස්සියේ මාගේ රාක්කය කුමක්ද යන්නත්, නාන කාමර හා වැසිකිළි භාවිතයේ ක්‍රියා පිළිවෙත කුමක්ද යන්නත් අධිවේගී පාඩම් මාලාවක් ලෙස නොමිලේම මා වෙත තිළිණ කළ ඇය, ගෑස් උදුනේ ගිනි දල්වන ආකාරය, ක්ෂුද්‍ර තරංග උදුන ක්‍රියා කරවන හා නිවා දමන ආකාරය ප්‍රායෝගික පාඩම් කිහිපයක් ආශ්‍රිතව කියා දීමට සමත් වූවා ය. ඇනීගේ පාඩම් හමුවේ ඔබ කලබල වුවහොත් ඔබ කිසි විට සරලව දැල්විය හැකි ගෑස් උදුන දැල්වීමට සමත් නොවනු ඇත. ජයන්ත අංකල්, කුමාරි ඇන්ටි, නන්නාඳුනන නවාතැන් සගයන් ඉදිරියේ පරාජය නොවීමේ දැඩි අධිෂ්ඨානයෙන් උදුනට ගිනි බටය යොමු කළ මට අවසන සිදුවූයේ ද එයයි. ආහ්.... මෙහි ඇති ආහ්ලාදජනකම දෙය නම් ගිනි බටයයි. ගෑස් උදුනේ කරාමය හරිද්දීම ගිනි බටය දක්ෂ ලෙස ලිප මතින් ‘ටික්‘ ගා දැල්වීමට ඔබ සමත් විය යුතු ය. 

Yes! Try it. You can do it.... Yes!!”
වමෙන් පෙනෙන්නේ මායාකාරී ගිනි බටයයි!!

යනුවෙන් මෙම විජ්ජා සංදර්ශනය ඉදිරියේ කෑගසූ ඇනී මාගේ ගිනි බටය නිසි ඉලක්කයේ දැල්වීම තවතවත් විශේෂ කාර්යයක් බවට පත් කළා ය. අවසානයේ පසු දිනය සඳහා වැඩය කල් දමන ලදි. මාගේ පරාජය හමුවේ කිසිදු අමුත්තක් නොපෙන්වූ නාඳුනන සගයෝ ස්වකීය වැඩ සඳහා අවධානය යොමු කළ හ. ඇතැම් විට මා ඔවුන් ඉදිරියේ රඟ දැක්වූයේ ඔවුන් මෙහි ආ මුල් දිනයේ ක්‍රියාවලියම වන්නට ඇත. කුඩා ඇනීගේ බිහිසුණු මුරගෑම මේ අහිංසකයන්ටත් සිය අතීතය සිහිපත් කලාට සැක නැත.

Thursday, May 17, 2012

සිඩ්නි විශ්වවිද්‍යාලයට ගියෙමි...

(2012 මාර්තු මස 08 වැනිදා)

ඊයේ දිනයේ සිඩ්නි විශ්වවිද්‍යාලය වෙත ගිය ගමන කදිම මතක සටහන් රැසක් ඉතිරි කළ එකකි. මාගේ උපදේශිකාව වන ලලීන් ජයමාන්න සිනමා අධ්‍යයන අංශයේ සිය කාමරයේදී ඉතා උණුසුම් ලෙස මා පිළිගත්තා ය. හැට වැනි වියේ පමණ පසුවන බව පෙනෙන ඇය සිනමා අධ්‍යයන අංශයේ ප්‍රධානම ශාස්ත්‍රඥයින් අතර නම සඳහන් කරගෙන සිටින ශ්‍රී ලාංකිකයෙකි. ඉතා කුඩා ශරීරයකින් හෙබි වුව ආකර්ශනීය පෞරුෂයක් මේ කදිම කාන්තාව සතු ය. සුනිල් විජේසිරිවර්ධනයන් වරෙක මා සමග පැවසූ පරිදි මැය අප සිනමාවේ මුල්කාලීන සිනමාකරුවකු වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ දියණියයි. එහෙත් ආ විගස,

“ලලීන්ගෙ තාත්ත නේද බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න?“ 

කියා අසන්නට මට නිර්භීතකමක් පහළ නොවේ. සියල්ල හාස්‍ය නාටක හෝ කාටූන් චිත්‍රපට ආශ්‍රය කොටගෙන විග්‍රහ කරන සුදත් කියන්නාක් මෙන් “මගෙ අම්ම තාත්ත ගැන අහන්නද තෝ මෙහෙ ආවෙ“ කියා ඇය අසන්නට බැරි නැත. 

කෙසේ වෙතත්, මනා ලෙස අපගේ ඉදිරි කටයුතු භාෂාද්වයෙන්ම පැහැදිලි කර දුන් ලලීන් මාගේ සහාය උපදේශකවරයා වන රිචඩ් ස්මිත්ටද මා හඳුන්වා දුන්නා ය. රිචඩ් සිය පශ්චාත් උපාධි දේශන මාලාවන්ට සහභාගි වන ලෙස මට ආරාධනා කළේ ය. පූර්ණ ලෙස පර්යේෂණ නිබන්ධනයකට සූදානම් වන මාහට නිශ්චිත දේශන මෙහි නොමැත. කෙසේ වෙතත් සිනමා අධ්‍යයනාංශයේ පැවැත්වෙන‍, පශ්චාත් උපාධි ශිෂ්‍ය පිරිස් සඳහා වන දේශනවලට හැකි සැම විටම සහභාගි වීමට මම අදහස් කරගෙන සිටිමි. 

“ඔය කැම්පස් වල මාසෙකට තියෙන ගෙස්ට් ලෙක්චර්ස් ටික නිකං අහගෙන හිටියත් මදි ද? මේ බූරු වහන්සේ ගයිඩ් රට ගිහින් කියල ලංකාවට ඇවිත් ගෙදරට වෙලා ඉන්නව“

ආනන්ද සර් වරෙක එසේ දොස් නැගුවේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියට සුදුසුකම් ලැබ සිටි මගේ සමකාලීනයෙකු සිහි කරමිනි. ඔහුත් මමත් එකම වසරේ විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබා ලලිත කලාව විශේෂ උපාධියට හැදෑරූ මිතුරෝ වීමු. මාගේ ගම් පියසට එහා ගමේ විසූ ඔහු පාසල් වියේ මාගේ බාල සොයුරාගේ මිතුරෙකි. උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරා දෙවරක්ම ප්‍රවේශ වරම් නොලැබූ මම කලා විෂයය ධාරාව යටතේ විභාගයට පෙනී සිටියේ ඔහු හා එකම වසරේ දී ය. 

පේරාදෙණියේ දී නවක වද විරෝධියෙකු වූ මාහට කලා පීඨයේ වූයේ මිතුරන් අතලොස්සකි. මාගේ නවක වද විරෝධී බව නිසා ‘අලයෙකු‘ ලෙස හංවඩු ගැසුණු මා සමග දිගු මිතුදමක් ගොඩ නගා ගැනීමට ඉදිරිපත් වූයේ කිහිප දෙනෙකි. ලලිත කලාව, පුරා විද්‍යාව හා සිංහලය හැදෑරූ මට දෙතුන් දෙනෙකු වූ සමීපතමයින්ගේ මිතුරු සමාගමය ඉහළින් දැනිණ. සිවු දෙනෙක් වූ අපේ කණ්ඩායමෙන් දෙදෙනෙක්ම ප්‍රථම වසර පරීක්ෂණයෙන් සමත්ව මා සමගම ලලිත කලා විශේෂ උපාධිය සඳහා ලියාපදිංචි වූ අතර අනෙත් මිතුරා තෝරාගත්තේ සාමාන්‍ය උපාධි පාඨමාලාවයි. 

චිත්‍ර කලාව හැදෑරීමේ ආශාවෙන් පසු වුවද මගේ මිතුරන්ට ඒ සඳහා පාඨමාලාවක් ලලිත කලා අධ්‍යයන අංශයේ නොතිබිණි. සිනමාව හා රූපවාහිනිය හැදෑරූ අප තිදෙනා සමග නැටුම් විෂයය නොතිබූ නිසාවෙන් පැමිණි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ද විය. සිවු වස අවසානයේ යට කී සගයාට හා එක් සිසුවියකට ප්‍රථම පන්ති සාමාර්ථ ලැබී තිබුණේ ය. මා හට දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලැබුණු අතර අනෙක් දෙදෙනාටම හිමි වූයේ දෙවන පෙළ පහළ සාමාර්ථයන් ය. 

මාද ඇතුළුව තිදෙනෙකුට අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්ය තනතුරු ලැබිණි. වසර තුනක පමණ සේවා කාලයකින් පසු පැමිණි ස්ථිර තනතුරු සඳහා වූ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව ඉතිරි දෙදෙනා ලලිත කලා අංශයේ නතර වද්දී මාහට සිදු වූයේ පිටව යාමට ය. තාවකාලික තනතුරෙහි තවත් කෙටි කලක් රැඳී උන් මම කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයට ස්ථිර කථිකාචාර්ය තනතුරක් ලබා එහි සේවයට බැඳුනෙමි. 

දීර්ඝ තොරතුරු සාකාච්ඡාවකින් පසු මා සිනමා හා කලා ඉතිහාස අංශයේ  ෂෙෆර් පුස්තකාලයට හා ප්‍රධාන පුස්තකාලය වූ ෆිෂර් පුස්තකාලයට කැඳවාගෙන යාමට ලලීන් අමතක නොකළා ය. ෂෙෆර් පුස්තකාලයේ කාර්ය මණ්ඩලයේ සියල්ලන්ට මා හඳුන්වා දුන් ඇය එහි තිබුණු සිනමා පොත් පත් රාක්ක අතර සවාරියක් සඳහාද මා කැඳවාගෙන ගියා ය. අපගේ මුල්ම හමුව නිමා වූයේ නීති පීඨ ගොඩනැගිල්ලේ ආපන ශාලාවෙන් ලබාගත් උණුසුම් කෝපි කෝප්ප දෙකක් තොලගාමින්, රසායන විද්‍යා ගොඩනැගිල්ල අ‍භියස එළිමහනේ බංකුවක වාඩි වී සිදු කළ දීර්ඝ සංවාදයකිනි. මාහට හමුවුණු බොහෝ විදේශගත ලාංකිකයින් මෙන්ම ඇයද ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳ දැක්වූයේ මහත් කණස්සල්ලකි. 

“සුදු වෑන් කතා හරි භයානකයි නේද?“ තරමක නුහුරු මුත් නොවරදින සිංහල බසින් ඈ මගෙන් විචාලා ය. 

අපේ කතාවට පෙර දින කිහිපයේද සුදු වෑන් පැහැර ගැනීම් හා ජිනීවා සාකාච්ඡා ආදිය රට උණුසුම් කර තිබුණේ ය. සුදු වෑන්, පැහැරගැනීම්, යුද්ධය හා පශ්චාත් යුද තත්වය ආදී තොරතුරු අපේ සාකච්ඡාව සමග දිගහැරෙද්දී කෝපි කෝප්පය සමග තෝරාගත් කේක් කැබැල්ලෙන් ගැලවීගත නොහී මම අසරණ වුණෙමි. ලලීන්ගේ ඉල්ලීම පරිදි මා එය තෝරාගත්තේ එහි තිබුණු පැණි රසය අඩුම වර්ගය ඒ බව අනුමාන කරමිනි. විදේශයකදී කෑම බීම තේරීම හමුවේ බොහෝ විට සිදුවන අකරතැබ්බය මෙහිදීද යථාර්ථයක් කරමින් එය අධික පැණි රසකින් යුක්ත විය. මා පත්ව සිටින අපහසුව වටහාගත් ලලීන්,

“කොහොමත් මෙහෙ රස කැවිලි හරිම පැණි රස තමයි“ කීවා ය. ඇය මිලට ගෙන තිබුණේ කෝපි කෝප්පයක් පමණි. 

නීති පීඨ ගොඩනැගිල්ල
සිඩ්නි විශ්ව විද්‍යාලයේ එළිමහනේ වාඩි වී කල් හැරීම අව් රශ්මිය සහිත මොහොතක සුවයක් ගෙන ආවත් හිරු වළාවකට මුවා වී, සුළං හමන්නට ගත්ම සිරුරට පීඩාවක් දැනෙන්නට ගනියි. සමුදුරුබඩ පිහිටි නගරයක් වන සිඩ්නිය පිස හමන සුළඟ සැමවිටම කටුක ශීතලක් ජනනය කරන්නකි. එළිමහන් බංකුවෙන් නැගී යළි සිනමා අධ්‍යයනාංශය දෙසට යාමට පය ඔසවත්ම මම අවට සිසාරා බැලීමි. වසර 150කට වඩා පැරණි ගුරු පැහැ, තුංග ගොඩනැගිලි පෙළ මනස්කාන්ත දර්ශනයක් මවයි. නවීන ගොඩනැගිල්ලක් වන නීති පීඨය ද අසිරිමත් ය. 

“ලස්සන කැම්පස් එකක්“ මුවට ආ වදන මම අනායාසයෙන් පිට කර හැරියෙමි.

“ඔව්, ඒත් පේරාදෙණිය තරම් නං නෙවෙයි“ ලලීන් පිළිවදන් දුන්නා ය.

Wednesday, May 16, 2012

‘Doors Closing Stand Clear!’

 (2012 මාර්තු මස 07 වැනිදා)

ඕට්ලි දුම්රිය පළෙන් රෙජී සමග දුම්රියට ගොඩ වුණු මම සිඩ්නි විශ්වවිද්‍යාලය වෙත යාමට පිටත් වුණෙමි. සිඩ්නියේ සියලුම සාමාන්‍ය දුම්රිය තට්ටු දෙකකින් සමන්විත ය. දුම්රිය පළට පිවිසෙන ඔබට ක්‍රම කිහිපයකටම ඔබේ ප්‍රවේශ පත මිළදී ගත හැකි ය. තිරයේ දිස්වන  සිතියමෙහි යා යුතු ස්ථානය මත ඇඟිල්ල ස්පර්ශ කළ විට මිළ සටහන් වී ස්වයංක්‍රීයව ප්‍රවේශ පත් නිකුත් කරන යන්ත්‍රයෙන් හෝ සාමාන්‍ය ප්‍රවේශ පත් කවුළුවෙන් ආදී වශයෙනි. 
නොඑසේනම්, දුම්රිය පළට ඒමට මත්තෙන් ගමන් බලපත් නිකුත් කරන ස්ථානයකින්ද ඊට ඉඩ ලැබෙනු ඇත.

දුම්රිය පළ මීළඟට එන දුම්රිය පිළිබඳ කාල සටහනක් රූපවාහිනී තිරයකින් ඔබට කියයි. මිනිත්තු 10කින් දුම්රිය ළඟා වන බව පෙනේ නම් ඩොලරයක් හෝ දෙකක් ඔබා යන්ත්‍රයකින් චොකලට්ටුවක් ගෙන හැපීමෙහි හෝ කොකාකෝලා වැනි පානයකින් සන්තර්පණය වීමෙහි ඇති වරදක් නැත. ‍ඔබ ගෙවන මුදල යන්ත්‍ර කටින් ඇතුළු කොට භාණ්ඩයට අදාල අංකය සටහන් වන බොත්තම එබූ සැනින් ආශ්චර්යජනක ලෙස එය ඔබ වෙත පත්වෙයි. දුම්රිය පැමිණීමට මිනිත්තුවක් ඇති බව කියද්දී ඈතින් වේදිකාවට එන දුම්රිය ඔබට පෙනේ. ඔබ අසළ නවතින දුම්රියෙහි දොරටු විවර වී ඔබට ආරාධනා කරන බව දැනෙන මොහොතේ දුම්රියට ගොඩ වීම සුදුසු ය. සියලු මගීන් ගිල ගත් පසු එය මෙසේ කියනු ඇත.

‘Doors Closing Stand Clear!’

රෙජී සමග දුම්රියේ සුවපහසු ලෙස වාඩි වූ මට සිහියට ආවේ සංජය හා සාගර සමග පාසැල් යාමට පල්ලෙ තලවින්න දුම්රිය ස්ථානයට දිවගිය අවදියයි. මාතලේ නගරයෙන් පිටත් ව වත්තේගම හරහා නුවර බලා ඇදෙන දුම්රියට නැගීමට පල්ලෙ තලවින්නට අප යන්නේ හුදෙක් පාසැල් දඟකාරකමක් ලෙස සළකමින් ම නොවේ. නිවසේ සිට බස් රථ දිවෙන මහමගට එතරම් දුරක් නැතත් මහ පාරට නොගොස් සංජයත් මමත් ගම මැදදී අනෙක් පසට හැරෙමු. කිලෝ මීටරයක පමණ පාගමනකින් පසු අපට සාගරගේ නිවස හමුවේ. එතැන් සිට ඇත්තේ එක්කෝ දිවීමකි; නොඑසේනම් පරාජය භාර ගෙන යළි හැරීමකි. දිගු පා ගමන අතරතුර දුම්රිය අප පසුකර නුවර බලා ඇදෙනු හමුවුවහොත් පරාජය භාර ගන්නා අපි, මුවින් නොබැන යළි මහ මග දෙසට ඇදෙමු. එසේ නොමැති නම් ඈතින් ඇසෙන දුම්රිය නළාව  හමුවේ දුම්රිය පළ වෙත දිවීම ආරම්භ කරමු. ඇතැම් දිනක අපේ දිවීම සාර්ථක වෙයි. එදින අප පල්ලෙ තලවින්නෙන් දුම්රියෙහි එල්ලෙන මහ සෙනගට එක්ව දුම්රිය මැදිරියක දොරටුවක් භාර ගන්නෙමු. පාසැල් අවදියේ අපගේ මනස්කාන්ත පෙම් පුවත වූ මිතුරු සම්පත්ගේ හා සමන්තිගේ පෙම දිනනු දැකීම මේ මහා දිව යෑමේ අභිප්‍රේතාර්ථයයි. 

පාසැල් පෙමක් පිළිබඳ කරුණු ගොඩනැඟීමට ප්‍රේමයක් මල් ඵල ගැන්වීම අත්‍යවශ්‍ය නොවේ. සුදු ගවුමෙන් එන පාසැල් යුවතිය ඔබේ දුම්රිය මැදිරියේ හෝ බස් රථයේ යෑම, වාඩිවූ අසුනේ සිට ඔබේ පාසැල් බෑගය ඉල්ලා ගැනීම, සිනා සී ඉවත බලා ගැනීම, ඉඳ හිට ගුඩ් මෝනින් කීම ඊට ප්‍රමාණවත් සාධාරණ හේතු ලෙස පිළිගැනේ. මේ අයුරින්ම සම්පත් හා සමන්ති අතර ද මහා පෙම් පුවතක් ඇතැයි අපි තරයේ විශ්වාස කළෙමු. උකුවෙලින් දුම්රියට නැග එන සම්පත් ගමන් ගන්නා දුම්රිය මැදිරියටම නැතිනම් පල්ලෙ තලවින්නේ දී ඇය ගොඩ වදින්නේ ඇයි?
සම්පත්, සංජය හෝ සාගර වැනි කිසිදු මිතුරකු මෙන් සිසුවියන් ඉදිරියේ එඩිතර නොවන මම ඔවුන් හමුවේ කුලෑටි ලෙස පසු බසිමි. ඔවුන් සැමට අභීත පෙම් පුවත් ඇති අතර මම ඒ සියල්ල අසා සිටින සුහද මිතුරා වෙමි. අපේ පන්සලේ පැවති මුතුහර ළමා සමාජයේ ද සාමාජිකාවක් වූ, මන බඳනා රූපයක් හිමි සමන්ති නංගී මා මිතුරු සම්පත් හා පෙමින් වෙළෙන්නට යෑම මහදට ගෙන්වන්නේ මහත් උත්කර්ශයකි. ඔවුන්ගේ ප්‍රේමය මල් ඵල දරනා බවට දැඩි විශ්වාසයෙන් පසු වන සංජය, සාගර සහ මම සවස් කාලයේ හා සති අන්තයේ ඒ පිළිබඳ විසල් සාකච්ඡා වල යෙදෙමු. යම් හෙයකින් සමන්තිගේ නිවසින් මෙයට විරෝධයක් පැන නැඟුණහොත් මාපියන් හමුවට වුව යෑමේ හැකියාවක් අප තුළ වන බව මා මිතුරන් දෙදෙනාගේ ම අදහස විය. 

පාසැල නිමවී මහනුවර නගරයට පාගමනේ යන මම, ශාන්ත සිල්වෙස්තරයේ සිට එන සංජයත්, ධර්මරාජයේ සිට එන සාගරත් හමුවෙමි. විද්‍යාර්ථයෙන්ම මා සමග පිට වුව ද ප්‍රේමයට සහය දෙනු වස් මම සම්පත් මග හැර යමි. අපි තිදෙන 2.20ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිට වන මාතලේ දුම්රිය වෙත පිවිසෙන්නේ හින්දි තිර පටයේ සැබෑ සුමිතුරු චරිත පරිද්දෙනි. යට දිනෙක සීගිරි සිනමාහලේ තේසාබ් නරඹා අනිල් කපූර්ගේ හා මධුරි ඩික්සිත්ගේ ප්‍රේමය මල් ඵල දැරීම වෙනුවෙන් මා සමග එකට කඳුළු සැලූ මිතුරා වෙනුවෙන් අපහට කළ නොහැක්කේ කුමක් ද?

මේ ගමන් වාර සියල්ල කෙළවර වූයේ මෙවැනි එක් දිනෙක සම්පත් කඳුළු පිරි දෙනෙතින් තනි මැදිරියක හිඳිනු හමුවීමෙනි. දෙදෙනෙකුට පෙම් කළ නොහැකි බැවින් සම්පත් අයියාට කැමැත්ත දිය නොහැකි බව සමන්ති නංගී කියා තිබිණි. එදින රැයේ නින්ද මවෙතට නොආ අතර දෙනෙතට ආ කඳුළු නවතා ලිය නොහැකි විය. දිගු කලක් තිස්සේ කිලෝ මීටර ගණන් දුවමින් අප ගොඩ නැඟූ සිහින මාළිගය බිඳ වැටීම මට මහත් වේදනාවක් ගෙන දුනි. යෞවනියන් හමුවේ මහත් අපහසුවකට පත්ව පසුබසින මම, මගේ ප්‍රේමයක් හා සමානවම මෙම කර්තව්‍යය පෙරමුණෙහි තැබීමි. මා වෙනුවෙන් මිතුරා ලබන ජය හමුවේ සතුටු වීමට මම ද බලාපොරොත්තු වුණෙමි.
ඉදින් පසු දුම්රිය ගමනකට අප කිසිවෙක් පය එසවූයේ නැත. ඇය වැනි චපල ස්ත්‍රියක් නොලැබීම සම්පත්ගේ ජයග්‍රහණයක් බව සාගරගේ මතය විය. කෙටි කලකට පසු සම්පත් දුම්රියේ ම ආ ගිය උසස් බාලිකාවේ සිසුවියක හා මිතුරු වූ අතර පසු කලෙක ඈ හා විවාහ විය. සමන්ති විවාපත් වූයේ ඊට බොහෝ කලකට පසු හමු වූ මා බාල සොයුරු චමින්දගේ මිතුරෙකු සමග ය.

බෝම්බ මතක

(2012 මාර්තු මස 06 වැනිදා)

සිඩ්නි නගරයේ පරිවාර පෙදෙසක වන ඕට්ලි හි, ඇල්ගනන් වීදියේ දසනායක යුවලගේ නිවස පිහිටා ඇත. නිවසේ විසිත්ත කාමරයේ කවුළු අතුරින් බලන විට පහතින් ඇදී යන කින් ජෝර්ජ් ගංගාව කදිම දසුනක් මවා දෙයි. ජයන්ත අංකල් සහ කුමාරි ඇන්ටි යනුවෙන් මවිසින් ආමන්ත්‍රණය කරන්නට යෙදෙනු මෙම කරුණාවන්ත යුවල කිසි දිනෙක දැක නොතිබුණු මා නිවස‍ට කැඳවාගෙන ආවේ ගුවන් තොට පර්යන්තයේදී මා උණුසුම් ව පිළිගනිමිනි. ඔවුන්ගේ බාල පුත් රෙජී මා සමග ඉංග්‍රීසියෙන් පමණක් වචනයක් දෙකක් කතා කළේ ය. මාපියන් සිංහලයෙන් විමසන ඕනෑම දෙයකට රෙජී ඉංග්‍රීසියෙන් පිළිතුරු දෙයි. සිංහල වදන් හොඳින් හඳුනාගත්ත ද රෙජී සිංහලය වහරන්නේ ම නැත.

“සිංහලයො වෙලා අපි, ලැජ්ජ වෙන්න ඕන සිංහල කතා කරන්න බැරි නම්“

‍‍‍‍පුතාගේ සිංහල නොබිනීම පිළිබඳ දසනායක යුවල දොස් පවරති. 

“ඔක්කොම බොරුනෙ? නැත්තං කොහොමද ලංකාවට ගිය වෙලේ අත්තම්මත් එක්ක කතා කළේ? මොකෝ එයාල ඉංග්‍රීසි දන්නවද?“

දසනායක යුවල මහ බැංකුවේ සේවය කරමින් සිට, එල්.ටී.ටී.ඊ. මහ බැංකු ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවට පැමිණ පදිංචි වූවෝ වෙති. දසනායක මහතා නොහොත් දැන් මා හඳුන්වන ජයන්ත අංකල් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි අයෙකි. ඔහු සමග සිටි හිතවතුන් රැසක් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගොස් ඇත.

“අපේ සෙක්ෂන් එකේම කීප දෙනෙක් මැරුණා. බැංකුවෙ හතලිස් ගාණක්, එතකොට පිට මිනිස්සුත් එක්ක සීයකට වැඩියි. හරිම කලකිරීමක් ඇති වුණා වැඩෙන්. ඒ නිසයි කුමාරියි මායි ආවෙ. අද හිටියනම් ඔයාලගෙ පුංචම්මා වගේ ලොකු පෝස්ට් එකක“

පුංචි අම්මා ලෙස ජයන්ත අංකල් හඳුන්වා දෙන්නේ මහරගම බාප්පාගේ බිරින්දෑ ය. ඇය දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලයක් දරයි. බාප්පා සහ පුංචි අම්මාගේ විවාහ යෝජනාවට මුල් වී ඇත්තේ ද ජයන්ත අංකල්ලා ය. 

මහ බැංකු බෝම්බ ප්‍රහාරය ආරංචි වත්ම තාත්ති වහාම දුරකථනයෙන් කතා කළේ මහරගම ජයේ බාප්පාට ය. විශේෂ හේතුවක් නොවේනම් ගෙදර නොනවතින පුංචි අම්මා එදින යම් හේතුවක් නිසාවෙන් නිවාඩු ගෙන තිබිණි. 
මෙවැනි දේ අහම්බයන් නොවන බවත්, පෙර කළ කුසලාකුසලයන් අනුව ඒ සිද්ධ වන බවත් බොහෝ දෙනෙක් විශ්වාස කරති. තවත් පිරිසක් කේන්ද්‍රයේ ඇති අනාවැකි හා ලග්න ඵලාපල ආශ්‍රය කර ගනිමින් මෙය පහදන්නට වෙර දරති. කුසීත ව කල්පනාවට වැටෙන මාහට මේ පිළිබඳ පහලවන්නේ විවිධාකාර අදහස් ය. මහ බැංකු බෝම්බයෙන් එදා මිය ගිය එකසිය ගණන ඒ අනුව අකුසල් මාලාවක් කර පව් පුරවාගෙන හරියටම ඒ වෙලාවට එතනට පැමිණි පිරිසකි. බෝම්බයට ඔවුන්ව හසු කර ඔවුන්ට දඬුවම් කිරීමට කුමක් හෝ නොපෙනෙන බලවේගයක් වැඩ පිළිවෙලක් යොදන්නට ඇත. නොඑසේනම්, එදිනට මාරකයන් තිබුණු මේ සිය ගණනම එකම ලග්නයක වන්නට වුව බැරි නැත. සියල්ල පසෙක දා ඔවුන්ගේ ලග්න සෙවීමට මට සිතෙයි.

මහ බැංකු බෝම්බය කොළඹදී පුපුරා යාම රූපවාහිනියෙන් පමණක් දුටු අපට දළදා මාළිගාවේ බෝම්බ හඬ හොඳින් කණ වැකිණි. කටුගස්තොට මහ ගෙදර නින්දේ උන් මම නිවසේ උළු සලිත කළ පිපිරුම් හඬින් තිගැස්සී අවදි වීමි. 

“අහන්න දෙයක් නෑ. කොහේ හරි බෝම්බයක් පිපිරුවා.“ චූටි බාප්පා අනාවැකි පළ කළේය.
කල් ගත වන්නට මත්තෙන් සිද්ධිය විවිධ මාර්ග ඔස්සේ අපේ කණ වැකිණි. බොහෝ තොරතුරු රැගෙන ආ ඩිකි නැන්දාගේ පුවත් අතර බෝම්බ හඬින් තිගැස්සුණු ගමේ මැද ගෙදර මහේන්ද්‍ර ඇඳෙන් බිමට වැටීමේ පුවත පවා අඩංගු විය.
මහ බැංකු ප්‍රහාරයේ මරණ සංඛ්‍යාව අති විශාල වුව, මිනිසුන් තුළ වඩා ප්‍රබල කම්පනයක් ඇති කළේ දළදා මාළිගාවට එල්ල කළ ප්‍රහාරයයි. අප බෞද්ධාගමිකයින් මහාර්ඝව සළකන දන්ත ධාතූන් වහන්සේ වෙත එල්ල කළ මෙම ප්‍රහාරය යළි අළු යට සැඟවුණු ජාතිවාදී ගිනි පුපුරු ඇවිස්සීමක් ද විය.

“අම්මලටත් හොරෙන් ජනෙලෙන් පැනල එදා රෑ මම නුවර ආවා. දෙන්නයි හිටියෙ අපි ගෙරි දෙමළුන්ට වැඩක්!“
දින කිහිපයකට පසු මගේ මිතුරෙක් පාරම් බෑවේ ය. අප චෙස් ක්‍රීඩක මිතුරු පිරිසේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු ඕනෑ ම අයෙකුගේ දුක් කරදරයකදී නොපැකිල ඉදිරිපත් වන්නෙකි.  

මාළිගාව වෙත එල්ල වූ ප්‍රහාරයෙන් තදබල ව්‍යසනයක් සිදු වූයේ නැත. බිඳ වැටුණු වහළ කොටස්, බිත්ති යළි පිළිසකර කරන ලද අතර සිතුවම් ද සැකසිණි. ගැලවී ගිය සිතුවම් පතුරු අතරින් පැරණි,වැසී තිබුණු සිතුවම් මතු ව ආ බවද ප්‍රසිද්ධ විය.