Monday, December 7, 2015

මතක සිතුවම්

(2012 ජූනි)


දයි සවෙත් - ගෝල්ඩන් සලම්බර්ස් චිත්‍රපටයෙන්

රීජන්ට් වීදිය සුපුරුදු අඳුරු වැහිබර සන්ධ්‍යා කාලය පිළිගන්නට සූදානමින් මෙන් මග දිවෙන වාහන සංඛ්‍යාව පහළ දමා ඇත. සමාගමයට කිසිදු මිතුරකු නොමැති නවාතැනින් මා පිටතට ඇදී වීදියට බැස තිබුණේ පුරුද්දට මෙනි. සිහිල් සුළං රැල්ලක් ද සමගින් සිඟිති වැහි බිඳු කිහිපයක් පාළු වීදිය දෙපස වුණු උස් ගොඩනැගිලි අතරින් වීදියට බසින්නට පටන් ගත්තේ වීදියේ වූ පාළුව හා පෙමින් වෙලුණේ විය. මම අත තිබුණු කුඩා කළු පැහැ කුඩය දිග හැර, ඔවුනට රිසි සේ පෙම් කෙළින්නට ඉඩ දී, කෙළවර මංසන්ධියෙන් ජනාකීර්ණ දුම්රිය පළ දෙසට හැරුණෙමි.


සෑම නගරයකම මෙන්ම සිඩ්නියේ ද සැඳෑ කාලය ගෙවෙන්නේ සමාන ලෙසිනි. නගරයේ සිය සේවා ස්ථානවලින් පිටතට විත් දිගු ජන ගංගා අතරට රිංගා ගන්නා මිනිසුන් සිය නිවෙස් වෙත දිවෙන ගමන ආරම්භ කිරීම සෑම වැඩ දිනකම සිදු වෙයි. දිගු රථ පෙළ අතර මගීන් පිරුණු බස් රථ බහුල ය. දුම්රිය පළට, බස් රථ නැවතුමට දිවෙන මහ ජනකාය අතරින් මිදුණු එකකු දෙන්නෙකු සැඳෑ සමයේ සිය ගත උණුසුම් කරන මධුවිත සොයා බීරහලක් වෙත ඇදෙයි. දිවා කාලයේ ගලා ආ හිරු එළිය නගරය හැරයත්ම නැගෙන අඳුර හා තරග වදින්නට වීදි පහන් දැල්වෙන්නට පටන් ගනියි.


දුම්රිය මං සන්ධිය පසුකළ මම නගර මධ්‍යය දෙසට සමාන්තර දිවෙන මහ වීදි දෙකෙන් වම් පස වීදිය තෝරා ගතිමි. මා ඇවිද යන ජෝර්ජ් වීදයත් දකුණු පසින් දිවෙන පිට් වීදියත් සිය කෙළවර සීමා කරන්නේ සිඩ්නි වරාය ආසන්නයෙනි. කාලය ගෙවා දමමින්, නගරයේ සුන්දරත්වය දෙස නෙත් යොමමින් ගමන් කොට වෙහෙසකර ගමනාවසානයේ මුදල් අය නොකරන නගර සේවා බස් රථයක නැගී යළි මධ්‍යම දුම්රිය පළ දෙසට එන්නට අදහස් කරන්නේ නම් ඔබ නිරතුරුව තෝරා ගත යුත්තේ මෙම වීදියකින් එකක අද්දරකි.


නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ නැගී ඇති සිනමා උළෙල කොඩි කණු සිඩ්නි සිනමා වසන්තය තවමත් නිමා නොවී ඇති බවට දෙස් දෙයි. සිහින්ව නැගී දැන් තරමක තියුණු ස්වභාවයක් ගත් වැසි බිඳු හේතුවෙන් උස්, දිගු උළෙල පතාක තෙතබරිතව බිමට හැරී සිටිති. ඒ වැහි බිඳුවලින්ම බේරී සිටීමට නානාවිධ කුඩ දිගහැරගත් සිනමා රසිකයෝ ඉවෙන්ට් සිනමා සංකීර්ණ දොරටුව අසළ පේළී ගැසී සිටිති.


සිනමා උළෙල වෙත ඇති ඇල්ම හේතුවෙන්ම මා නිතැනින් ඉවෙන්ට් සිනමා සංකීර්ණය වෙත හැරුණ ද සිනමා කෘතියක් නැරඹීමේ අභිලාෂයක් මවෙත නොවී ය. සියල්ලටම වඩා, ඉහළ මිළක් ගත් සිනමා ප්‍රවේශ පතක් මිළට ගන්නට මා අත මුදල් නොවීමත්, ලබා ගත් පොදු ශිෂ්‍ය ඇතුළු වීමේ පත්‍රය නෝමන් අත වීමත්  සිනමා පට පිළිබඳ සොයා බලන්නට හෝ ඇති වුණු අවැසියාව බිඳ දැමුවේ ය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව, උළෙල සඳහා දායකත්වය සපයන තරුණ පිරිස් උළෙල නරඹන්නට පෙළ සැදී උන් ජනයා අත රැඳී ප්‍රවේශ පත් පිරික්සූ හ. මම ඔවුනතරින් ඉදිරියට ඇදී ගියෙමි. උළෙල තොරතුරු රැගත් කුටිය ඉදිරිපිට හිඳ, චිත්‍රපටවල තොරතුරු රැගත් පුවරු දෙස බලමින් ද, පූර්ව ප්‍රචාරක පට රැගත් ටෙලිවිෂන් තිර දෙස බලමින් ද කල් යැවීම ප්‍රවේශ පතක් අත නැති විට සිදු කළ හැකි එක් දෙයකි.


“ඒ.... ප්‍රියන්ත!“


සිනමා රසික පෙළ අතර හිඳ මවෙත අත වනමින් උන්නේ සිටොන් ය. ඇය අසළටම වී සිනා පිරි මුවින් මා දෙස බලා සිටියේ නෝමන් ය.


“ඔයා කොහෙද මේ? ෆිල්ම් එක බලනව ද?“ සිටොන් දුර සිටි මගෙන් කෑගසා විමසී ය. හඬ නගා කිසිවිට කතා නොකරන නෝමන් ද පිළිතුරු බලාපොරොත්තුවෙන් ඇස් අයා මදෙස බලා හිඳිද්දී මම ඔවුන් දෙදෙනා වෙත පිය නැගුවෙමි.


“ඇත්තටම අදහසක් තිබිල නෙවෙයි. නිකං ආව... මොකක්ද ෆිල්ම් එක දැන් තියෙන?“


“නෑ... ඔයත් එන්න බලන්න... එකත් එකටම ලස්සන ඇති!“ සිටොන් ආරාධනා කරද්දී නෝමන් මදෙස බලා කතා කළේ කණගාටුවෙනි. ටිකට්පතක් මිළට ගන්නට මා අත මුදල් නැතැයි යන සිතුවිල්ල ඔහු තුළ නැගී තිබිණ.


“අනේ සොරි ප්‍රියන්ත... මගෙ ළඟ දැන් පාස් එකක් නං නැහැ... බලනව නං ටිකට් එකක් මෙතනින් ගන්න වෙනව.“


ඔහු පසුතැවිලි විය.


“කමක් නැහැ. මොකක්ද මේ ෆිල්ම් එක? කොයි රටේ එකක් ද?“ මම යළිත් ඇසුවේ නැග එමින් පැවති සිනමා කෘතිය නැරඹීමේ ආශාව මැඩගන්නට හේතු සොයමිනි.


“ගෝල්ඩන් සලම්බර්ස්! මේක කාම්බෝදියන් ඩොකියුමන්ට්‍රි එකක්!“ යළිත් සිටොන් පෙරමුණ ගත්තේ ය.


කාම්බෝජයේ සිනමාව කවරාකාර විය හැකි ද? එසේම වාර්තා චිත්‍රපටයකට උකහාගත් කාම්බෝජ භූමිය කුමක් නම් අපට කියයි ද? මේ සිනමා කෘතියේ හමුවන මිනිස් චරිත මොනවා ද? සියල්ලටම වඩා මෙය කුමක් ගැන ද?


“මම ටිකට් එකක් ගන්න බලන්නම්“


සිටොන් හා නෝමන් දෙදෙනා වෙත සන් කරමින් මම ශාලා කවුන්ටරය වෙත ඇදුණෙමි. ඉතා තීරණාත්මක මොහොතක භාවිතයට ගන්නෙමැයි සුරැකිව තබාගෙන උන් ණය කාඩ් පතෙහි වූ සොච්චමින් කොටසක් දැන් ඉතින් කාම්බෝජය පිළිබඳ දකින්නට වන සිනමා කෘතිය වෙනුවෙන් ගෙවිය යුතුව ඇත.


“ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් කොමිෂන් එකක් ගෙවන්න වෙයි“


කවුන්ටරයේ උන් තරුණයා මදෙස බලා කියද්දී මා එකඟතාව පළ කර හිස වැනුවෙමි. ඩොලර් 21ක්, දිවියේ මා සිනමා කෘතියක් වෙනුවෙන් ගෙවන වැඩිම මුදල, සඳහන් කළ ටිකට් පතක් මා වෙත යොමු විය.


ඔබේ දිවියේ ඕනෑම මොහොතක ඔබට  කිසි දා බලාපොරොත්තු නොවූ දේ මුණගැසිය හැක. ඒ ගැහැණියක හෝ මිනිසකු නම්, ඔව්.... ඉඳහිට දිනෙක, මහත් පාළුවෙන් මහමගක හිස නොබා ඇවිද යන ඔබට, එක්වරම, සිත හා මනස පිනවන රුවැති ලඳක හෝ කඩවසම් තරුණෙකු මුණ ගැසී ඇතුවා වන්නට පුළුවන. යළි කිසි දින හමු නොවන ඒ රුව, ඔබ නෙතු අභියස නැගී, මොහොතක් රැඳී පැවතී අතුරුදන් වන්නේ ජීවිත කාලයක් පුරා මැකී නොයන ලෙස ඔබ මනසෙහි පිළිරූ අඳිමිනි. සමානවම, ඔබ නොසිතන මොහොතක, සෝබාමත් දිය දහරින් පිරි හරිත වන පෙතක්, නොඑසේනම්, අහස්කුස අරා නැගි විශ්මිත ගොඩනැගිලිවලින් පිරි විසල් නගරයක් වැනි දෙයක සිට ඉතා ක්ෂුද්‍ර නමුත් ඔබේ සිත පැහැරගන්නා අරුමැති දසුනක් ඔබ අභියස මැවී නැගෙන්නට ද ඉඩ ඇත. මේ සියල්ල එක් අයුරකින් අප වික්ෂිප්ත කරවයි. තවත් ලෙසකින් අප සිත සතුටින් පුරවාලමින් අප විඳින ජීවිතය පිළිබඳ නැවුම් හැඟුමන් පුබුදුවාලයි.


ඔව්... අහම්බෙන් නැගී ජෝර්ජ් වීදියේ ඇවිදයමින් උන් මා ඉවෙන්ට් සිනමා හළ දෙසට හැරුණේත්, එහිදී සිටොන් හා නෝමන් මුණ ගැසුණේත් පූර්ව නිශ්චිතයන් පදනම්ව නොවේ. ක්ෂණිකව ගන්නා ලද තීරණයක් හේතුවෙන් මා අභියස තිරයේ දැන් ඇඳෙන සිතුවම, ගෝල්ඩන් ස්ලම්බර්ස්, යටකී ලෙස කිසිදු පූර්ව බලාපොරොත්තුවකින් තොරව මා හමුවට ආ රුවැති තරුණියක නැතිනම් අරුමැති දසුනක පරිද්දෙන් මා නෙත් සිත් පැහැරගමින් තිබිණි. එහෙත් ඒ එහි වූ සුන්දරත්වයෙන් නම් නොවේ. සිත පෙළන, සැබෑ අතීතයක බිහිසුණු බව යළි චිත්‍රණය කරදීම හේතුවෙනි.


අතීතය වළ දමා කෙළවර කළ හැකි ද? බිහිසුණු ‘පොල්පොට්‘ පාලන සමයේ දී කාම්බෝජයේ පැවති සිනමාව පූර්ණ වශයෙන්ම විනාශයට පත් කෙරෙයි. 60 දශකය වන විට, බොලිවුඩයේ මහා ධාරාවේ සිනමාවට සමානව, අති ප්‍රබල ගීතමය සිනමාවක් සහිතව නැගෙන කාම්බෝජය තුළ පොල්පොට්ගේ පාලනයෙන් පසු ඉතිරිවන්නේ මියගිය හෝ මරා දැමුණු නළු නිළියන්ගේ මතක, විනාශ වුණු චිත්‍රාගාර සහ සිනමා ශාලා ආදිය පමණි. ‘ගෝල්ඩන් සලම්බර්ස්‘ චිත්‍රපටය මේ අතීතයේ මතක සිතුවම් වෙත ඇවිද යාමකි.


සිය සීයා වන, සිනමා අධ්‍යක්ෂ වැන් චාන්ගේ අතීතයට එබිකම් කරමින්, මියගිය හෝ මරා දැමුණු ඒ අතීතය සිතුවමට නැගීමය, මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන තරුණ ඩෙව් චොව් අතින් සිදුවන්නේ.


“ඒ කාලේ විනෝද වෙන්න කියල දේකට තිබ්බෙ නටන්න යන එකයි, චිත්‍රපට බැලිල්ලයි විතරයි. ඒත් නැටුමට ගොඩක් තහංචි තිබ්බ. ඉතින් චිත්‍රපටි ප්‍රසිද්ධ වුණා. මිනිස්සු ශාලාවල පොදි ගැහෙන්න පටන් ගත්තා“


චිත්‍රපටයේ හමුවන වැඩිහිටියෙක් අපට කියයි. ඔහු භීම ‘පොල්පොට්‘ සමයේ වූ ‘කැමරූච්‘ පාලනය මැදින් මෙහා ඉවුර වෙත පියමං කළ අයෙකි. පුරවැසියාගේ විනෝදය සඳහා වුණු ප්‍රධාන විනෝද මග වූ සිනමාව මිය ඇදුණු ආකාරය අපට කියන්නේ එදා සිනමාව වැළඳ ගත් රසිකයින් ය; ඉතිරි වූ, දයි සවෙත් වැනි, නළු නිළියන් කිහිප දෙනා ය; යුවොන් හෙම් වැනි, දහසක් හිස් කබල් අතර තම හිස ද නොසැඟවූ, සිනමා අධ්‍යක්ෂවරු කිහිප දෙනා ය.


ඩෙව් චොව්ගේ සිනමා නිර්මාණය පුරවා දමන්නට අතීත සිනමා කෘතිවල පුස්තකාල දර්ශන හෝ සිනමා ශාලා, චිත්‍රාගාරවල වර්තමාන පසුබිම් නැත. අතීත සිනමා ශාලා අද එක්කෝ සමාජ ශාලාවන් ය. නැතිනම් හෝටල් ය. ඒත් නැතිනම්, කුඩා මුඩුක්කු සාදාගත් දුප්පත් මිනිසුන් ඒවායේ රැඳී ඉඳිනු පෙනෙයි. චොව් සිය කැමරා මෙවලම් මෙම පසුබිම්වල ස්ථානගත කරමින් අපට සිය බේදනීය පුවත කියයි. ඉතිරි වූ එකම ප්‍රධාන නිළිය වූ දයි සවෙත්ගේ නිවසේ බිත්තියේ ඇලවී තිබෙන පැරණි සිනමා රූප, සිනමා කෘති රැසක ආඛ්‍යාන පිළිබඳ හැඟුමන් නගා දෙයි. ඇතැමුන් නිහඬ ය. තවකකු හඬා වැළපෙයි. කිසිවකු නොදැන උන් අතීතයක, වැළලී ගිය සිනමාකරුවන් හා ශිල්පීන් මෙන්ම නිර්මාණ රැසක් අපේ හදවතට යවුලින් අණියි.


චිත්‍රපටය කෙළවර, එහි නැගුණු ඩෙව් චොව් කී දේ අසන්නටවත් ඉඩ නොතබාම මගේ දෙසවන් අගුළු වැටී තිබිණි. ‘කැමරුච්‘ පාලනය විසින් නසා දමන්නට යද්දී කෙතරම් නම් සිනමාකරුවන් පිරිසක් හඬා වැටෙන්නට ඇද්ද? මහරු සිත්තම් තිරයට නැංවූ ඒ උදාර මිනිසුන්, මා දැක හෝ නැති දේශයක, එක්තරා අඳුරු පෙදෙසක, මරා දැමෙන අන්දම දැනී මගේ හදවත තියුණු ලෙස තැවෙන්නට පටන් ගත්තේ ය.


ජෝර්ජ් වීදියේ පිවිසුම තෙක්, හා සමග ඇවිද ආ සිටොන් හා නෝමන් වේදනාබර මුහුණුවලින් යුතුව මා හට සමු දුන් හ. චීනයෙන් හා මැලේසියාවෙන් ආ මේ මිතුරු දෙපළ ද මා සමග ඇවිද ආවේ වචනයකට දෙකකට වඩා මුවින් නොබැන බැව් මගේ සිතට නැගුණේ ඈත මාවත දිග පිය නගන දෙදෙනා දෙස මොහොතක් නැවතී බලා සිටි පසු ය. වෙනස් ජීවන පරිසරවලින් නැගී ආ මුත් අප තිදෙන පෙළූ, සිනමා පටය අප අභියස මැවූ, වේදනාත්මක පවත යළි යළිත් අප නිහඬ කළේ අප තුළම සැඟවුණු,එකිනෙකාට ආවේණික, අතීත වෘත්තයන් හා ඒ සමපාත වීම නිසා ද?


“අපි ඒ කාලෙ පිච්චර් බලන්න යන්නෙ කීයට එන්න වෙයි ද දන්නෙ නැතුව... සමහර දාට ගෙදර එද්දි රෑ 12යි නැත්තං 1යි. වෙම්බ්ලි එකේ ෂෝ එක බලල රෑ එන්න කොළකවය බස් එක තිබුණ.“


චිත්‍රපට පිළිබඳ අතීතය ඇවිස්සෙන මොහොතවල තාත්ති කියයි. මා ඒ විස්තර අසා සිටින්නේ මහත් අභිරුචියෙනි. කුඩා කළ, මල්ලීත් මමත් කැටුව, අම්මාත් තාත්තීත් කටුගස්තොට සීගිරියේ ‘රිදී තැල්ල‘ බලන්නට ගිය අයුරුත්, විවේකයේ දී මල්ලී වෙත වැඩිපුර හකුරු ටොෆියක් දීම නිසා උරණ වූ මා වෙත ටොෆී ගෙන එන්නට තාත්ති සිනමා හලේ අවන්හල වෙත ගිය ගමනත් අදද මසිත මැවෙන්නේ සිතුවමක් ලෙසිනි. ඈත අවන්හල් දොරින් ඔහු සිනමා හළට ඇතුළුවත්ම ශාලාවේ ආලෝකය නිවී යද්දී මට හැඬුම් ආවේ තාත්තිට අප සිටින තැන සොයාගන්නට නොහැකි වනු ඇතැයි යන තිගැස්ම සිත නැගුණු නිසා ය.


“අපි පොඩි කාලෙ ඉතින් ගමේ කට්ටිය යනව කුරුණෑගලටම පිච්චර් බලන්න. ඒ ගිහිං එද්දි කිරි අත්ත අපිට අරන් දෙනව එක එක දේවල්. මොර කාලෙට නං මොර... රඹුටන් වාරෙට රඹුටන්“


එසේ කියන්නී අම්මා ය. ඇය, ළමා කාලයේදී මෙන්ම තුරුණු වියේ දී නරඹන්නට ගිය සිනමා කෘති ගැන අප හා කියන්නේ මහත් අභිරුචියෙනි.


“පුතාල දන්නෙ නෑ... ඒ කාලෙ පිච්චර් එකක් ආව සාමා කියල. 60 ගණං වල. ෂහ්... බලන්න එපායැ... ඒක මේ නිකං එච්චර නැගල ගියෙ නෑ. ඒත් මරු පිච්චර් එක!“


තවත් යුගයක,  කුඩා මා කර තබාගෙන, හුළු ගග උඩින් වැටුණු පාලමක් ද තරණය කොට, තේ වතුයායවල් අතර නැගුණු තහඩුවලින් තැනූ සිනමාහළක සිනමා පටයක් බලන්නට තාත්ති, අම්මා හා අයියා ද සමග ගමන් කළ බවට වූ සිහින මතකයක් මට ඇත.


“ඒ කාලෙ ඔය වතුවල මිනිස්සු දෙමළ පිච්චර් බලන්ට පැල් බැඳගෙන යන්නෙ. එක පාරක් දිව්ව පිච්චර් එකක්, ‘පාතාල භහිරවී‘ ඒකෙ නම! ආයෙ නෑ, අර දෙවිවරු එනව දැක්කම මේ මිනිස්සුන්ට ඊට එහා දෙයක් නෑ...“


වතුයාය පිළිබඳ කතා අතර තාත්ති මේ විස්තරය ද නිතර එක් කරයි.


තේ වතුවල කුඩා නිලනිවාස අතර නිවාඩු සමයන්හිදී ඇවිද යන මටත් මල්ලීටත් ඒ නිවසවල බිත්තිවල එල්ලා ඇති සිනමා නළු-නිළියන්ගේ රෑ රැගත් කැලැන්ඩර හමුවෙයි. විජය, ගාමිණී, මාලිනී, සබීතා, සනත්, අනෝජා, ශෂී විජේන්ද්‍ර ඒ රූප වෙත හිඳ අප දෙස එබී බලයි. ක්ෂුද්‍ර කැලැන්ඩර දින සටහනට ඉහළින් වන විශාල අවකාශය ඔවුන්ට අයිති ය.


“විජය කුමාරණතුංගට වෙඩි තියලලු!“


තාත්ති මේ ආරංචිය අපට කියන විට අප උන්නේ ද වතු නිල නිවසක ය. පසුදිනෙක විජයගේ මළගමට ආ මහ සෙනඟ දෙසත්, ඔහුගේ අවසන් කටයුතු කෙරෙන ආකාරය දෙසත් මා රූපවාහිනියෙන් බලා සිටියේ දැඩි ශෝකයෙනි. මා ඔහුව හොඳින් දැන සිටියේ ය යන, මා සිත තුළින් නැගී ආ හැඟුම මැඩගන්නට මට කිසිදු හැකියාවක් තිබුණේ නැත. මහා සෙනඟ අතරින් නැගී තිබුණු ඔහුගේ දෙන රැගත් චිතකය ගිනි තබන විට, එවකට කුඩා පාසැල් සිසුවකු වූ මා, සිත වාවාගත්තේ අපහසුවෙනි.


අප වතු නිලනිවසින් සමුගෙන මහ ගෙදර බලා එන සමය වන විට මහනුවර වේල්ස් සිනමාහළ ගලවා දමා තිබිණි. බට යොදා තනා තිබුණු දිගු පෝලිම්වලට ඉඩ තිබූ මඩුවක් වැනි කොටසක් ද සහිත ශාලාව මගේ මතකය තුළ රැදුණේ චූටි බාප්පා සමග ගොස් ‘මුවන් පැලැස්ස‘ බැලූ තැන හැටියට ය. ඕඩියන් සිනමාහළ වසා දැමුණේ, අප උසස් පෙළ කරද්දී පාසැලින් පැන වැඩිහිටියන්ට පමණක් වෙන්වුණු ‘ජූලියා‘ නරඹා ටික කලකිනි.


රීජන්ට් වීදි නවාතැනේ අපේ කාමරයේ වීදුරු බිත්තිය අසළ වුණු සුදු පැහැ පැලැල්ල මා වසා දැමුවේ රාත්‍රිය සමග නැගෙන ශීතය තරමකින් හෝ වළකාලන්නට ය. මම කුඩා මේසය අසළ වාඩිවී පරිගණකය ක්‍රියාත්මක කළෙමි. ‘ගෝල්ඩන්ස් සලම්බර්ස්‘ වෙතින් නැගී මා අතීතයට කැඳවා ගිය, තියුණු වේදනාවක් කැඳවූ වෘත්තය මා ලිවිය යුතු ය. එහෙත්, පළමුව ඒ විශිෂ්ඨ කෘතියට අභිමන් පිදිය යුතු ය.



මතක සිතුවම් වෙත ඇවිද යාම“, මම ලිපියේ ශීර්ෂය පරිගණක තිරය මත සටහන් කළෙමි.



ඡායාරූපය  - https://beyondasiaphilia.files.wordpress.com/2012/04/golden_slumbers.jpg