Wednesday, June 27, 2012

දොස්තරලා සහ සේවකයෝ


(2012 අ‌ප්‍රේල් මස 03 වැනිදා අඟහරුවාදා)

ඕනෑ ම සේවා ස්ථානයකදී ඔබට හමු වන ආයතන සේවකයා ඉතා සුහද ලෙස ඔබට කෙසේ දැයි විමසීම ඔස්ට්‍රේලියාවේ දී සාමාන්‍ය සිරිතකි. එහෙත් පිළිතුර කුමක්දැයි සෙවීමට මාහට මඳ වේලාවක් ගත වූයේ සී.ටී. ස්කෑන් පරීක්ෂණයට පරීක්ෂණාගාරයට ගිය විට එහි සේවිකාව එසේ විමසූ විට ය. මෙහිවිත් ටික දිනකින් මතුව ආ කොන්දේ වේදනාවක් ගැන අසා මා මෙම පරීක්ෂණයට යොමු කළේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරියකි. සැබවින්ම මා දවස ගෙවන්නේ අපහසුවක් සහිතව ය. එහෙත් සේවිකාවට ‘හොඳින් ඉන්නවා‘ යැයි නොකීම සාධාරණ ද නොවේ.

පරීක්ෂණය සඳහා මා කැඳවාගෙන ගිය හෙදිය සිදුකරන ක්‍රියාවලිය පිළිබඳ විස්තර මාලාවක් ඉදිරිපත් කළා ය. ඇයගේ ඔස්ට්‍රේලියානු ඉංගිරිසි බිනීම හරි හැටි නොවැටහුන ද මම සියල්ල තේරුම් ගත් බවක් ඇඟවීමි. ඇය කියනා දේ තේරුන ද, නොතේරුනද මේ පරීක්ෂණය දැන් අත්‍යාවශ්‍ය එකකි.

ස්කෑන් යන්ත්‍රයට ඇතුළු කිරීමට මත්තෙන් මා ඇඳ මත බෑවූ ඇය මගේ හිස නිසි එල්ලයකට සැකසී ය. ඇගේ අවසන් උපදෙස පරිදි මම දෙනෙත් පියාගතිමි. විශ්වය තුළට ඇද දැමූ ස්වභාවයක් දරමින් යන්ත්‍රය මා ගිල ගනු දැනින. හිසට දැනෙන මද උණුසුමක් සමග විග්‍රහ කළ නොහැකි  වටපිටාවක  පාව යන ස්වරූපයක් දැනෙද්දී හෙදියගේ උවදෙස් අමතක කොට හොරැහින් දෙනෙත් විවර කිරීමේ උමතු ආශාවක් මා තුළ ඇති වූයෙන් උමතුව සමග සටන් කිරීමට තරයේ දෙනෙත් පියා ගතිමි. වරක් මා යන්ත්‍රයෙන් පිටතට ගත් හෙදිය (මේ ඇතුළු කිරීම් පිට කිරීම් මාගේ උපකල්පනයන් මිස යථාව නොවිය හැක. මා තරයේ දෙනෙත් පියා ගෙන උන් බැවිනි.) මාගේ වමතෙහි වැළමිට ආසන්නයට එන්නතක් ඇතුළු කළා ය. ඇයගේ නොතේරුණු ඉංග්‍රීසි වැහැරීම ඒ සමග මට ප්‍රායෝගික ව වැටහෙන්නට විය. තත්පර කිහිපයකින් මාගේ ශරීරය තුළ ආශ්චර්යජනක උණුසුමක් විහිද ගියේ ය. එය විග්‍රහ කිරීමට සුදුසු වදනක් නොවෙතත්, ‘දෙලෝ රත්වීම‘ වැනි වදනකට කිට්ටු වදනක් ඊට උචිත බැව් කිව යුතු ය.  

යම් රෝගී තත්වයක් හමුවේ රෝහලක් වෙත යන්නට සිදුවීම දේශීයව හෝ විදේශීයව වුව අපට ලබා දෙන්නේ නියත සංඥාවකි. ‘අප ශරීරය රෝගී වී ඇත‘ යන්න එහි ඇති, සරල හා නිශ්චිත යථාවයි. එහෙත් ‘රෝගී වීම‘ යන්න දේශීයව හා විදේශීයව වෙනස් ස්වරූප ගන්නා ආකාරය විදේශයන්හිදී විවිධ රෝගාබාධයන්ට ලක් ව ප්‍රතිකාර ලබා ගත් මා දන්නා උදවිය බොහොමයක් හරහා හඳුනාගත් අවස්ථා බොහොමයකි. ඇතැමුන් විදේශයකදී රෝහලකට යන්නට සිදුවීම සැළකුවේ තමන් ලද මහත් භාග්‍යයක් වශයෙනි.

“හප්පා... බලන්න එපායැ ඒ හොස්පිට්ල්වල ලස්සන... බිම නිකං දාගෙන බත් කන්න පුළුවන් ගාණයි ඒවගේ පිරිසිදුකම උණත්...“
සිඩ්නි නුවර

විදේශීය රෝහල්වලදී වෛද්‍යවරුන් ඉදිරිපස සිටින රෝගියා වෙත පැමිණ ඔහු හෝ ඇය කැඳවාගෙන යන බවත්, අතිමහත් ගරුසරු සහිතව සළකන බවත් අයියා වරක් පැහැදිලි කර දුන්නේ ඔහුගේ දියණියගේ උපත සිදුවූ ආකාරය පහදමිනි. ඇය උපදින මොහොතේ විදේශයක උන් ඔවුනට දියණියගේ උපත සටහන් කරන්නට වූයේ එරට දී ය. දරු උපත මොහොතේ පියාටත් මව සමග රැඳී ඉන්නට සැළැස්වීම එරට රෝහල් සේවය තුළ හමුවන විශිෂ්ට කරුණු රැසකින් එකක් බව  අයියා කරුණු ගෙනාවේ ය.

“චූටි පුතා ලැබෙන්න මට අමාරු වුණු වෙලාවෙ කටුගස්තොට ඉස්පිරිතාලෙන් මාව භාරගත්තෙ නැහැ... චූටි මල්ලිට හොඳටම තරහ ගියා ඒකට... අන්තිමේ නුවර යන්න වුණා...“

මල්ලිගේ උපත පිළිබඳ මෙම පවත වචන කිහිපයක් ලෙස අම්මාගේ මුවින් පිට ව ගිය ද ඇය ඒ මොහොතේ කෙතරම් වේදනාවක් විඳින්නට ඇති ද? කුළුඳුල් දරුවා ලෙස අයියා උපදින විට ගමට ගොස් කුරුණෑගල රෝහලේදී නතරවී ඇති අම්මා මමත්, මල්ලීත් උපදිද්දී නුවර මහගෙදරම නතරව සිට ඇත‍.  

 ශරීරයන්ත්‍රයෙන් මා පිටතට බෑවූ පසු හෙදිය පිටවන දොරටුව මා හට පෙන්වා දී ‘යළි හමුවෙමු‘ යි ද කීවා ය! මේ නම් අපූරු දෙයකි. මෙහි දී ඔබ යම් කිසි මුදලක් ගෙවා සේවාවක් ලබා ගන්නා විටෙක අතිශය ආචාරශීලී වන ආයතන සේවකයෝ දොරවල් හැරගෙන විත් ඔබ පිළි ගනිති. ආසනය වෙත කැඳවාගෙන ගොස් එහි හිඳුවා ලති. ‘ඉතින් කොහොමදැයි‘ අසති. සියල්ල මුල සිට අසා සිටිති. සියල්ල අග මුල ඇති ව විස්තර කර දෙති. යළි පිටව යාමට දොර විවර කොට දී, සුභ දවසක් පතා, ‘නැවත හමුවීමක්‘ ප්‍රාර්ථනා කරති. එහෙත් මේ සුපුරුදු පැතුම හෙදියගේ මුවින් පිට වීම එතරම් මා සිත පුබුදු කළේ නැත. යට කී ‘දෙලෝ රත්වීම‘ එතරම් සිත් ඇද නොගන්නා සුළු වූ බැවිනි.

අප රටේ රජයේ රෝහල්වල පමණක් නොව මුදල් ගෙවා සේවාව ලබාගන්නා පුද්ගලික රෝහලක දී වුව දකින විට සිනාමුසුව, සුභ පතා පිළිගන්නා හෝ පිටව යන විට සුභ දවසක් පතන්නා වූ රෝහල් සේවකයින් මාහට හමුව ඇත්තේ ඉතා කලාතුරකිනි. වරෙක ප්‍රසිද්ධ රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීමට අන්තර්ජාලය හරහා අංකයක් ලබාගත් මට දින කිහිපයකින් දුරකථන ඇමතුමක් ලැබුණේ අදාල දිනයේ වෛද්‍යවරයා නොපැමිණෙන බව සඳහන් කරමිනි. ඒ වෙනුවට මා වෙත වෙනත් දිනයක්ද ලැබුණෙන් එම දිනයේ මම රෝහලට ගියෙමි. මුලින් මා ලබාගත් අංකය පැමිණෙත්ම මම මගේ පත්‍රිකාව දොර අසළ උන් හෙදියට දුනිමි.

“ඔයා ටිකක් පැත්තකට වෙලා ඉන්න. මම කතා කරන්නං“

මගේ පත්‍රිකාව බලා කිසිදු තැකීමක් නොකළ ඇය කීවා ය.

“ඒත් මේක මගේ නම්බර් එකනෙ“

“ඒ වුණාට මේක අදට ගත්ත නම්බර් එකක් නෙවෙයිනෙ“

“ඉතින් ඩොක්ටර් නැහැ කියල මට අද එන්න කිව්වෙ මෙහෙන්මනෙ“

“වෙන්න ඇති. ඒත් පරණ අංක බලන්නෙ අන්තිමටම තමයි. අද කට්ටිය බලල ඉන්න ඕන. අද තව නොම්බර 40ක් විතර ඇති“

“මොකක්??“

කිසිදු ගරුසරුවක් නොමැතිව ඇය මේ වදන් පෙළ කියා මා පසෙකට කොට අනෙත් රෝගියකු දෙසට හැරුණා ය.
“ඉතින් එදා ඩොක්ටර් නොආපු එක මගේ වරදක් නෙවෙයිනෙ“

මෙවැනි මොහොතක හිතට දැනෙන ආවේගය සහිතවම මම උස් හඬින් කීමි.

“ඒව මම දන්නෙ නැහැ. ඔයාව දැන් ඇතුළට දාලා ඩොක්ටර්ගෙන් මට බැණුම් අහන්න බැහැ“

මගේ අංකය අංක 05 ලෙස සටහන් රෝහල් පත්‍රිකාවත් අත තබාගෙන එදිනට නියමිත අංක 40ක් පමණ නිමවන තුරු බලා සිටිය යුතු බව කියන මෙම තර්කයේ ඇති සාධාරණ බව කුමක්ද? මසිතට නැඟුණේ කෝපයකි. මම වේගයෙන් විමසීම් කවුන්ටරයට ගියෙමි.

“මෙතන කම්ප්ලේන් එකක් කරන්න ඕන නම් ඒක කාටද කරන්න ඕන?“

මම ප්‍රශ්නය ඇසූ ස්වරූපය නිසාම එහි සිටි සේවකයා තරමක් වික්ෂිප්ත විය.

“ඇයි සර්? මොකක්ද ගැටළුව?“

මම සිද්ධිය ඔහුට පැහැදිලි කළෙමි.

“දැන් එතකොට ඩොක්ටර් ආවෙ නැත්තං අපිද පරිප්පු කන්න ඕන රෑ වෙනකං ඉඳලා... මම දැන් නුවර යන්නත් ඕන... දැන් වෙලාව 7යි... මම කීයටද යන්නෙ...?“

ක්‍රමයෙන් මගේ වාග් විලාශය වේගවත් වන බව මටම හැඟී යමින් තිබිණි.

“සර් මේකයි... අපි අද ලිස්ට් එකට පිටින් සර්ව ඇතුළට දැම්මොත් ඩොක්ටර්ට සමහර විට තරහ යන්න...“

“ඒ සමහර විටනෙ... මට කොහොමත් දැන් තරහ ගිහින් ඉන්නෙ මේ අසාධාරණ වැඩේට... එදා ආවෙ නැත්තෙ මම නෙවෙයි එයානෙ... මාව ඇතුළට දාන්න. එයාට මම කතා කරන්නම්“

මගේ ප්‍රකාශයත් සමග චැනල් කුටිය වෙත ගිය සේවකයා එහි වූ හෙදියට යමක් කොඳුරනු මට පෙණින.

“එන්න...“

ඇය මා ඊ ළඟ වාරයේදීම වෛද්‍යවරයා වෙත යැව්වා ය.

“දැන් කොහොමද? කලින් ගත්ත බෙහෙත්වලින් ගුණයක් නැද්ද?“

මා දුටු මතින් බැණ වදිනු ඇතැයි මා සිතා උන් වෛද්‍යවරයා සාකච්ඡාව ආරම්භ කළේ එලෙසිනි. තමන් වෙත එන රෝගියා කුමන අංකයක් ලබා එන්නෙක්දැයි යන්න ගැන ඔහු අවධානය නොයොදන බව මට අවබෝධ විය.

Wednesday, June 20, 2012

ගිනි මහත්තුරු


(2012 අප්‍රේල් මස 01 වැනිදා)

මසකට ආසන්න කාලයක් ගත වෙමින් පැවතුණ ද තවමත් සිඩ්නි නගරය හා ඔස්ට්‍රේලියාව මා හට ආගන්තුක ය. කාලගුණයේ කිසිදු වෙනසක් නැතත් රාජ්‍ය මට්ටමින් ඔස්ට්‍රේලියානුවෝ අද සරත් කාලය ආරම්භ කළහ. ඒ අනුව අප්‍රේල් පළමුවැනිදා ඇරඹුනේ දිවා කාලය රැක ගැනීම වෙනුවෙන් ඔරලෝසුව පැයක් පසුපසට ගනිමිනි. එම නිසා ඊයේ රාත්‍රියට මධ්‍යම රාත්‍රින් දෙකක් එළඹෙන්නට ඇත!

පසුගිය සතිය පුරාම සිරුරට වද දුන් ශාරීරික අපහසුතා අමතක කළ මම යළි වැඩ කිරීමට තීරණය කළෙමි. එහෙත් මනස කිසි විට එක්තැන් නොවේ. විනාඩි කිහිපයක් විෂයයට අදාල යමක් කියවාගෙන යන මාහට ෆේස්බුක් අඩවියේ සැරිසරා මිතුරකු හෝ මිතුරියක හමුවන්නට සිතේ. කිසිදු පදනමකින් තොර වුව ද ඒ හමුවීම් මනසට මහත් අස්වැසිල්ලකි. මා වෙනුවෙන් කාලය මිඩංගු කරමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කෙනෙක් ලෝකයේ යම් අඩවියකින් හමුවීම මනසට මහත් ප්‍රබෝධයක් ගෙන එයි. මා වෙනුවෙන් ඔහු හෝ ඇය යමක් යතුරු ලියනය කරන සංඥාව පරිගණක තිරයේ සටහන් වත්ම ඒ කුමක්දැයි දැන ගන්නට වන නොඉවසුමක් සිතට නැගේ. සංවාදයට කවරකු හෝ නැතද මවිසින්ම එක් කළ ඡායාරූප එකතූන් අතර සරමින් හෝ මිතුරකුගේ ඡායාරූප ගොන්නක් නරඹමින් ගත කිරීම කදිම කටයුත්තකි. මා නොමැති ඉසව්වක සරමින් මා හඳුනන අයෙකු කළ කී දෑ දැකීම කුමන ආශ්චර්යයක් ද?

නිලංකාට දෙවන දරුවා ලැබී ඇති බවත්, රසාංගි නොලැබෙන ප්‍රේමයට වැළපෙද්දී සුමදිකා හා නයන වෙන්වන ලකුණු පෙන්වන බවත් ෆේස් බුක් ප්‍රවේශය හරහා දැන ගතිමි. මා සමග වැඩිපුර නොදොඩන අයෝමි නැමති ශ්‍රී පාලියේ ශිෂ්‍යාවක් කවි පොතක් පළ කරන්නට යන වගක් පෙනෙයි. මම වහාම ඇයට සුභ පැතීමි. එම සුභ පැතුම දැක ඇය උද්දාමයට පත් වනු ඇතැයි යන සිතුවිල්ල මා තුළ නැගේ. රවින්ද්‍රගේ දේශපාලනික සංවාද හා රජයට ආවඩන්නන්ට ඔහු දෙන හරබර පිළිතුරුත්, ඒ සංවාද අතරට පැන විමල් වීරවංශට හෝ බන්දුල ගුණවර්ධනට සාහසික හාස්‍ය වදන් හරහා පහර දී ඇති නන්නාඳුනන පුද්ගලයින් රැසකගේ රචනාත් අතර මම සැරිසරමි. ඒ සමග බන්දුල ගුණවර්ධනගේ රුපියල් 7500/- කතාව සිතට එයි. මම මගේ වියදම් සිතින් ගණන් බලමි.

ෆේස් බුක් සැරිසැරීම නිසියාකාරව කෙළවර කරන්නට මත්තෙන් තට්ටු නිවාසයේ ගිනි සඳහා වන අනතුරු සංඥාව නාද වන්නට විය. ඇනී දිව විත් කීවේ අප වහාම නිවාසයෙන් පිටට යා යුතු බවයි. මම ජපන් මිතුරා ශින්ද සමග ඇනී පසුපස දිව්වෙමි. පහළ වීදියට පය තබත්ම වේගයෙන් ආ ගිනි නිවන රථ දෙකක් සංකීර්ණය අසලින් නැවතුණු අතර ඉන් බිමට බට ගිනි භටයෝ නිවාසය තුළට දිවූ හ. කන්චුකා හා ලොහාන් සිංහලයට නැගූ ‘තට්ට ගායිකාව‍‘ මතකයට විත් මට ඉබේම සිනා පහළ විය. තට්ට ගායිකාව නාට්‍යයේ ලොකු ගිනි මහත්තයා මෙන්ම ලිප තුළ ඇවිලෙන පුංචි ගින්නක්වත් නැතිව ගිනි භටයෝ පිටව ගිය හ.

මේ අපේ නිවාස සංකීර්ණයයි. මෙහි විලාප නලා බහුලය!
සිඩ්නියේ පමණක් නොව ඕනෑම දියුණු නගරයකට යෑමට ඔබ සූදානම් වන්නේ නම් මෙවන් අවස්ථා බහුලව  නැගෙන බව සිහි තබා ගත යුතුම ය. ඔබ ලිප මත තබන උදුනේ ගින්දර තරමකින් හෝ ඉහළ ගිය විගස ස්වයංක්‍රීයව පණ ගැන්වෙන අනතුරු නළා ගින්නක අනතුර දන්වමින් මහත් විලාපයක් නගයි. සොයි සහ ක්‍රිස්ටල් අද දිවා ආහාර සකසද්දීත් මේ විලාපය අපේ නිවසින් නැගින. එහෙත් ගින්න පිළිබඳ හෝ විලාප නලාව පිළිබඳ ඔබ බිය විය යුතු නැත. ගිනි නලාවට හේතුව ලිපගින්න බව ඔබ දන්නා බැවිනි. කළ යුතු වන්නේ වහා දොර ජනෙල් විවර කොට විලාප නළාවේ පසෙක බොත්තම ඔබා නාදය නවතා දැමීමයි. සොයිලා දිවා ආහාර සකසද්දී නළා හඩ සමග ආ ජුන් සහ පැට්‍රික් කළේ ද මෙම ක්‍රියාවලිය ම ය. වෙනසකට වූයේ තෙල් තාච්චිය ද රැගෙන සොයි බැල්කනියට දිවීම පමණි. 

නලා නාද නොවුවද මුදල් යහමින් නොමැතිව සිඩ්නියේ (ඕනෑම විදේශයක, වියදම් අධික නගරයක) ජීවත්වන්නකුට දැනෙන්නේ කුසගින්නයි. ධනවාදී අර්ථ ක්‍රමය යහමින් ක්‍රියාවට නැගෙන මෙවන් තැනෙක ඔබේ වේදනාව කියවා බලා, කුසගින්න නිවා දැමීමට කිසිදු ගිනි නිවන්නෙක් නොපැමිණෙනු ඇත. තමතමන්ගේ ජීවිත දෙසට විවැරැති මනසින් යුතුව හැල්මේ යෙදෙන අපැහැදිලි ගමනක් මෙම වැසියන් උරුම කරගෙන හමාර ය.

ජීවිතය හා එහි අනාගතය පිළිබඳ කිසිදු විශ්වාසයක් ගොඩනගාගත නොහැකි, නමුත් තරමක මුදලක් යට කළ හැකි තරුණ ලාංකිකයෝ මෙන්ම උපාධිය හරහා සිය දක්ෂතාවය මත පුරවැසිභාවය ඉල්ලුම් කරන බුද්ධිමත්තු ද විටින් විට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙති. ලංකාවේ ආර්ථික ක්‍රමය හා බිඳවැටුණු දේශපාලන ක්‍රමවේද සමග යුද්ධ කරමින් සිටිනවාට වඩා පහසුවෙන් ‘යමක්‘ මෙහි කරගත හැකි වෙතැයි යන විශ්වාසය පැමිණෙන සියල්ලන්ගේම සිත් තුළ රැඳී පවතී. බලාපොරොත්තු ඉටු වුවද, නොවුවද කාලයාගේ ඇවෑමෙන් මෙහි ජීවන රටාව වැළඳ ගන්නා සියල්ලෝ නිශ්චිත ඉලක්කයටම නොගියමුත් තමන් ලද ‍‘යම්‘ දේ ගැන සිතා සතුටු වෙති. ආරාධනා කර තමන්ව නංවා ගන්නා දුම්රිය, නගිද්දී ආචාර සම්පන්න ලෙස පිළිගන්නා රියදුරකු සහිත බස්රිය, සියලු යස ඉසුරින් පිරි සාප්පු සංකීර්ණ, මනාව නැංවූ මංමාවත් හා උද්‍යාන ඇතුළු නව ලෝකයේ දේවලින් තමන්ට ළඟා කරගත හැකි දෙයින් සැනසී අතීත ලාංකික දිවියේ කටොළු මතක හා ඒ සසඳා බලති.

අපිළිවෙල ජීවන පැවැත්මකින් යුතු පුද්ගලයින් සහිත සමාජය හා අවම ආදායමින් යැපෙන්නට සිදුවන ලාංකික ජීවිතය හා සසඳද්දී ඕස්ට්‍රේලියානු දිවි පැවැත්ම තුළ තෘප්තිකර තැන් පෙන්වාදීම අපහසු කටයුත්තක් නොවේ. එහෙත් හදවතෙහි නොදන්නා තැනකින් නැඟී එන අපැහැදිලි සංවේදනාවක් මේ සියල්ල කෙළවර ඉතිරි වන බව මෙම ජීවිත ඇරඹි බොහෝ දෙනාගේ ප්‍රකාශවලින් හඳුනාගත හැක.

“දවසක් එකපාරටම අපි දෙන්නටම දැනෙන්න ගත්තා අපි තනිවෙලා කියල. අපිටම නොදැනි අපේ ඇස්වලින් කඳුළු ගලන්න ගත්තා. ගොඩක් වෙලා යනකම්ම අපි කතා නොකර කඳුළු ගලන්න ඉඩ ඇරියා“

මෙල්බර්න් නුවර කලක් පශ්චාත් උපාධිය හැදෑරූ මා මිතුරු ආචාර්යවරයෙකු සිය බිරිඳ හා තමන් මුහුණ දුන් අත්දැකීමක් වරක් මා සමග කී බව මට මතක ය.

එහෙත් මෙල්බර්න් අත්දැකීම් වේදනාවකින් තොරව මා සමග පැවසූ මිතුරන් ද නොවූයේ නොවේ.

“උඹ දන්නෙ නෑ. එහෙ ඔස්ට්‍රේලියන්කාරයගෙ ඇක්සන්ට් එක හරි වෙනස්. සුරුස් ගාලා කියල දානවා. මේ ලෝකෙ මිනිහෙක්ට බෑ අල්ලන්න. මම ඉතින් කොහොම හරි ගේමක් දීලා, ඒව අල්ලගෙන, වැඩෙත් කරගෙන, පොඩි ජොබකුත් ඇදලා, කෝස් එකත් කරලා ආවා“

මම පේරාදෙණියේ ඉගෙන ගන්නා කාලයේ, මෙල්බර්න් නුවර කරා ගොස් පැමිණි මිතුරෙක් ඉහත විස්තරය ගෙන ආ අයුරු මට තවම මතක ය. පාසැලින් සමුගත්ම විවාහ වූ ඔහු සිය තරුණ බිරිඳ ද සමග මෙල්බර්න් නුවරට ආවේ සිය මාපියන් සතු නිවසද උගසට තබමිනි. වසර කිහිපයකින් පෙරලා පැමිණි ඔහු සිය මෙල්බර්න් ජීවිතය පිළිබඳ නිතර විස්තර කළේ විශ්වවිද්‍යාල ආචාර්ය මිතුරා මෙන් නොව මහත් ආඩම්බරයෙනි. පාසැල් දිවියෙන් සමුගත්ම ඔහු ගිය ගමන අසන්නට මිතුරන් ඔහු පිරිවරා ඉඳීම එකල සුලභ දසුනක් විය.

එහෙත් අත්දැකීම් අඩු ලාබාල වියේදීම විවාපත්ව, මාපියන් සතු නිවසද උගසට තබමින් ගිය ඔහුගේ ගමනින් අත්වූ විශිෂ්ට ජයක් මා දුටුවේ නැත. ඔහුගේ මාපියන්ට නිවස අහිමි වූ අතර ඔහු යළි ලංකාවට ආවේ තනිව, බිරිඳ නැතිව ය.

Tuesday, June 12, 2012

බ්‍රොන්ටි වෙරළට වී බලා සිටියෙමි


(2012 මාර්තු මස 25 වැනිදා)

රීජන්ට් වීදියට පැමිණ ගෙවුණු දින කිහිපය තුළ කිහිපවරක්ම විවිධ විනෝද ගමන් සඳහා නවාතැන් සගයින් ආරාධනා කළද ඒ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළේ අතමිට යහමින් මුදල් නැති මොහොතක අනවශ්‍ය ගමන් බිමන් වලින් තවතවත් කරදර මතුවේයැයි හැඟුණු නිසාවෙනි. සතිය පුරා යන්ත්‍ර මෙන් වැඩ කරන සිඩ්නි නුවරු සති අන්තයන් විනෝදවීම් සඳහා වෙන් කර තබති. මෙනිසාම විශේෂ හේතුවක් නොවන්නේ නම් සති මැද ජනාකීර්ණව පවතින සේවා ගොඩනැගිලි හා වීදි සති අන්තයේ පාළුවට හැරෙයි. සිඩ්නි විශ්වවිද්‍යාලයටද මෙය අදාල වන බව මම වටහාගත්තේ අහම්බෙන් සෙනසුරාදාවක එහි ගොඩවැදුණු විට ය. මගේ සිඩ්නි සම්ප්‍රාප්තිය අසා මා හමුවට ආ චෙස් ක්‍රීඩක මිතුරකු වූ රංග සමග මම එහි ගියේ ඔහු විශ්වවිද්‍යාලය බැලීමට කැමැත්ත පළ කල හෙයිනි. සිඩ්නියේම පදිංචිව පරිගණක විෂයයට අදාළව පශ්චාත් උපාධියක් හදාල රංග නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ සිසුවෙකි. කෙසේ වුව, එදින රංගගේ දැකුම් පථයට හසුවූ එකම සිඩ්නි ශිෂ්‍යයා ඔහු සමග පසෙකින් ඇවිද ගිය මා ය! සියලු ගොඩනැගිලි එලෙසම නිසලව තිබෙන්නට හැර සමස්ථ ප්‍රජාව සති අන්ත නිවාඩුව ලබාගෙන තිබිණි.

නගරය තරමක් දුරට පාළුවට හැරෙන සති අන්තයන්හි නුවරු සියළු ආම්පන්නවලින් සන්නද්ධව සිය විනෝද භුමි කරා ඇදෙති. දිනකට දෙකකට අවැසි කළමණා සහිතව ඇතැමුන් රට තුළට ගොස් වනයක් මැද හෝ දියකඩක් අභියස කඳවුරු ලා ගනිද්දී තවත් පිරිසක් මුහුදු වෙරළ තීරය සිය සතිඅග විනෝද බිම බවට පෙරළති. මුහුදේ පිහිනීම හා වෙරළේ සෙල්ලම් කිරීම සිය විනෝදාංශයක් කරගෙන උන් ෆ්‍රන්සුවාද මර්සෙලෝ, ජුන් සහ පැට්‍රික්ද කැටුව, කලින් නම් කරගෙන උන් වෙරළක් සොයා පිටව යාම සති අන්තයේ අනිවාර්ය නවාතැන් ක්‍රියාවලියක් බව මට පැහැදිලි වන්නට කලක් ගත වූයේ නැත.

“ප්‍රියා... අද අපි බ්‍රොන්ටි බීච් යනවා... එනවද අපිත් එක්ක...?“

එක් ඉරිදාවක උදයේ පැට්‍රික් මගෙන් ඇසුවේ ය.

 මා මෙහි ආ මුල් දිනයේම මගේ නමද සිය වහරට හුරු ලෙස ඇනී විසින් වෙනස් කරන ලද බව කලින් නොකීවාට මට සමාවන්න! Priyantha යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියැවෙන හා ‘ප්‍රියන්ත‘ ලෙස කියැවෙන මගේ නම රිසි ලෙස කපා කොටා දැමූ ඇනී ‘ප්‍රියා‘ යනුවෙන් මා අමතන්නටත් Pria ලෙස එය ලියන්නටත් පටන් ගත්තේ කිසිදු අවසර පැතීමකින්ද තොරව ය. එතැන් පටන් මගේ නවාතැන් සගයින්ටද මගේ නම ප්‍රියා ම විය. ඒ සඳහා එරෙහි වීමෙහි කිසිදු පදනමක් නැති බව මට වැටහී ගියේ කිසිවකුට නිසි හඬ සහිතව “ප්‍රියන්ත“ යන නම උච්චාරණය කළ නොහැකි වූ නිසාවෙනි.

දිගින් දිගටම නවාතැනට වී කල් හැරීම නිසා දැනෙන සංකා සිතුවිල්ලෙන් පළා යාමට ආ අවශ්‍යතාවයත්, සගයින් සමග තව දුරටත් සමීප වීම මැනවැයි ඇති වූ හැඟීමත් නිසා මම ගමනට කැමැත්ත පළ කළෙමි.

“හරි යමු!“

“හුරේ.... ප්‍රියා ඉස් කමින්......“

සිය සතුට පළ කිරීමට විනෝද නැටුමක් ගෙන ආ පැට්‍රික් සෙස්සන්ගේ මුවට සිනාවක් කැඳවා දුන්නේ ය. වීදියේ වූ බස් රථ ප්‍රවේශපත් නිකුත් කරන වෙළඳ සැළකින් අපි බස් රථය සඳහා පිවිසුම් වරම් ලබා ගතිමු. දුම්රියට මෙන්ම බස්රියටද පිවිසුම්පත් ලබා ගැනීම සිඩ්නියේ දී විවිධාකාරයෙන් සිදු කළ හැකි ය. ඉහත ක්‍රමයට අමතරව ඇතැම් බස් රියවල රියදුරන් සිය අසුන අසළ යන්ත්‍රයෙන් ද ප්‍රවේශ පත් නිකුත් කරන අවස්ථා හමුවේ. ඉදිරි දොරටුවෙන්ම පිවිසුම අනිවාර්ය සිඩ්නි බස් රථවල අප රටෙහි මෙන් කෑ මොර ගසන කොන්දොස්තරවරයෙකු දකින්නට නැත. සියලු කටයුතු මෙහෙයවෙන්නේ රියදුරු අසුනේ සිටින තැනැත්තා අතින් වන අතර පනස් විය ඉක්මවූ , සුදු ජාතික හෝ චීන ජාතික බස් රියදුරුවරියන් මුණ ගැසීමද සිඩ්නියේ සාමාන්‍ය කරුණකි.

බ්‍රොන්ටිය සුන්දර වෙරළ තීරයකි!
බ්‍රොන්ටිය සිඩ්නියේ ගිණිකොණ දිගට වන්නට පිහිටි සුන්දර වෙරළ තීරයකි.  මැනවින් ඉරුරැස් පතිත වුණ ද අපේ වාසනාවට එදින එහි මහ සෙනගක් දකින්නට සිටියේ නැත. දුව පැන ඇවිදින ළමා ළපටින්, හිරුරැස් නාන්නට ආ තරුණ තරැණියන් හා වැඩිහිටියන්, පිහිනන්නට හා දිය මත ලිස්සා යන ලෑලි මත නැග විකුම් පාන්නට ආවුන් වෙරළේ විසිර සිටිය ද එය විශාල අගයක් ගත්තේ නැත. ෆ්‍රන්සුවා රැගෙන ආ රගර් බෝලය අතිනත හුවමාරු කර දුවමින් තරමක් වේලා රගර් සෙල්ලමේ යෙදුණු පිරිස දෙවනුව මුහුදට බැස්සේ දිය රැළි පහස විඳිමින් පිහිනන්නට ය. ඇඳුම් හා කළමණා රක්නට අයෙකු වෙරළේ නතර විය යුතු බව අදහස් වූයෙන් කැමැත්තෙන්ම මම එය භාරගත්තෙමි. ගඟ දිය හුරු වුවද මුහුදු රළ හා පොර වැදෙමින් පිහිනා යන්නට මහත් හුරුවක් මා වෙත නැත. එහැරුණු විට, ඉරුරැස් පතිත වුව, සයුර පිස හමන කටුක සුළං රැළි ජලය වෙත යාමට ඇති උවමනාව හීන කර දමයි.

ලංකාවේ වෙරළක දක්නට නොලැබෙන තරම් සිහින් හා සුදු පැහැ වැලිතලාවේ හිඳගත් මම දිය රැළි අතරට බසින මිතුරන් දෙස බලමින් කල්පනාවට වැටුණෙමි. ඉදිරියේ පෙනෙන මහ සමුදුරෙහි කෙළවර තැනෙක, සියලු නෑසියන්, සමීපතමයින් වෙසෙන මගේ කුඩා දිවයින පවතින බව මම දනිමි. බැස පීනා ගොස් තරණය කරන්නට නොහැකි සයුර කෙතරම් විශාල වුව යළිත් ඔවුන් හමුවන්නට වන කාලය දිගු බව දැනෙත්ම ඒ ජල කඳට අභියෝග කරන්නට සිතෙයි. මහගෙදර වෙසෙන අම්මා සහ තාත්තී, මා නැතිව පාළුයැයි නිතරම කියන ආදරණීය නිරූ, කොළඹ වෙසෙන අයියා, ඔහු බලන්නට ගිය විට තුරුළට පැන සුරතල් වන ඔහුගේ දියණිය, සෙල්ලමට බසින පුතු, නිහඬව තේ කෝප්පයක් ගෙනවිත් දී යන අක්කා, බාල වියේ මෙන්ම ඉඳහිට මා සමග වාදයට පැටලෙන මල්ලී, මහගෙදර ගිය විට සොයුරු පෙමකින් සියල්ල විමසා බලන ඔහුගේ බිරිඳ - කුමාරි, දිවිය කියා දෙන්නට මහත් ලෙස වෙහෙසෙන බාප්පලා, නිතරම විනෝදයෙන් නමුත් ඕනෑකමින් කරුණු විමසා බලන ආනන්ද සර් හා  දැන් ඔහු බිරිඳ වී සිටින, පේරාදෙණියේ අප හා එක යුගයක විසූ මිතුරියක වූ වින්ද්‍යා, මගේ ශ්‍රී පාලි සගයින් වූ සුදත් හා කිත්සිරි, එහි නාට්‍ය හදාරන්නටවිත් බොහෝ සේ මිතුරු වූ සිසු කැළ ඇතුළු සියලු හිතමිත්‍රාදීන් සමග ගෙවූ යුගයකට විරාමයක් දී මෙහි එන්නට මා මෙහෙය වූ බලවේගයන් කවරේදැයි මම හැරී බලමි.

“මේ හම්බවුණු චාන්ස් එකේ යන්න පුළුවන් හොඳම කැම්පස් එකක් හොයල යන්නයි තියෙන්නෙ, මේ කාලෙ මේ රටේ ඉඳලනං වගතුවක් වෙන්නෙ නෑ“

මගේ ශිෂ්‍යත්වයේ තොරතුරු ඇසූ බොහෝ නෑ හිතවතුන් ගෙන ආවේ ඔවැනි අදහසකි. ශ්‍රී ලංකාවේම විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය සඳහා පිරිනැමණු ශිෂ්‍යත්වය විදේශයක් වෙත හරවා ගැනීමට කිසිදු අපහසුවක් නොවූයේ මා හදාරන්නට යන සිනමාව හා බැඳුණු පශ්චාත් උපාධි පාඨමාලා අප රටෙහි නොතිබූ නිසාවෙනි. ලැබෙන මුදලට සරිලන එකම දේශය ඉන්දියාව වෙද්දී මෙරටට එන්නට බලපෑ කරුණු කිහිපයකි. විශ්ව විද්‍යාලයක් ලෙස සිඩ්නි විශ්වවිද්‍යාලයට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම, ඒ වෙත මා යොමු කළ පර්යේෂණ යෝජනාවලිය සාර්ථක වීම, ඕස්ට්‍රේලියාව වැනි රටකදී ලබන අධ්‍යාපනය හා එරටදී ලබන අත්දැකීම් වඩා විධිමත් ශාස්ත්‍රඥයෙකු බිහිකරන්නට උදව් වනු ඇතැයි බොහෝ දෙනෙක් දැක්වූ අදහස් ඉන් ප්‍රධාන ය. එහෙත් මෙවැනි විශ්වවිද්‍යාලයකින්  උපාධියක් ලැබූවෙක් ලෙස පෙනී සිටිද්දී අනාගතයේ ලැබෙන ගර්වයද මෙහි ඒමට මා මෙහෙයවූ අවිඥාණික බලපෑමක් නොවීයැයි මට කිව හැකි ද?

වියදම් අධිකම දේශයක් වූ මෙහි ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් වූ සිඩ්නිහි පාඨමාලා ගාස්තුව ඉතා ඉහළ අගයක් ගත්තේ ය. ශිෂ්‍යත්වයෙන් මා ලැබූ මුදල පාඨමාලා ගාස්තුවෙන් අඩකටවත් නොසෑහෙද්දී ධෛර්යය උපදවා ගෙන මෙහි එන්නට යට කී කාරණා බලපෑ අතර පැමිණි පසු සෙසු මුදල සෙවීම ඉතා පහසුවෙන් කළ හැකි බවට විශ්වාසයක්ද ගොඩ නැගී තිබිණි.

“ඕස්ට්‍රේලියා ගිහින් අමාරුවෙ වැටිල ආපු කෙනෙක් ගැන අහලවත් තියෙනවද? ඕවැයෙ තියෙන පොඩි පාර්ට් -ටයිම් දෙක තුනකින් සල්ලි හොයල, ඉගෙනගෙන, ජීවත්වෙලා ඇවිත් ඉතිරි කරගත්තු සල්ලි වලින් මාළිගා ගහපු උන් මම දැකල තියෙනව. අනික ඒ ගොල්ල ඔයා වගේ ශිෂ්‍යත්ව ලැබිල ගිය අය නෙවෙයි. ඉඩං උගස් කරගෙන, සල්ලි ගෙවාගෙන ගිය අය“

ආචාර්ය රංජිත් වරෙක මා දිරිගැන්වූයේ එපරිද්දෙනි. අප විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙකු වූ ඔහු කලක් විදේශගතව සිට ආචාර්ය උපාධිය ලැබ මෙරටට පැමිණි අයෙකි.

Saturday, June 9, 2012

බැරිවෙයිද බිත්තර කොත්තුවකුත් ගේන්න ඒත් එක්ක?


(2012 මාර්තු 21 වැනිදා)

සිඩ්නියට පැමිණ දින කිහිපයක් ගෙවී ගිය තැන විශ්වවිද්‍යාලයේ බැංකු ශාඛාවක් වෙත ගිය මම එහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය සොයා ගතිමි. සිඩ්නියේ අධික වියදම කිසිවකුට ඉහිලුම් නොදෙන්නකි. තිදෙනෙකුගෙන් සමන්විත කාමරයේ මගේ කොටස සඳහා සතියකට ඩොලර් එකසිය විසිපහක මුදලක් ඇනීට ගෙවීමට සිදුව ඇත. ඒ අනුව මම මසකට ඔස්ට්‍රේලියානු ඩොලර් පන්සියයක් ඇනී වෙත ගෙවමි. රුපියල අවප්‍රමාණ වෙද්දීම ලංකාවෙන් පිටව ආ මට ඔස්ට්‍රේලියානු ඩොලරයක් සඳහා රුපියල් එකසිය තිහක් ගෙවීමට සිදු විය. ඒ අනුව මම ඇඳ හා මේස කැබැල්ල සහිත කාමර කොටසටත්, කුස්සිය හා නාන කාමර භාවිතයටත් ලංකා මුදලින් රුපියල් හැත්තෑ දහසක් ඇනී වෙත හිලව් කළ යුතු ය. කෑම බීම වියදම ද සහිතව මගේ මාසික වියදම රුපියල්වලින් නම් ලක්ෂයකට ආසන්න වනු ඇතැයි මට සිතේ.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස මට ලැබෙන වැටුප තවමත් මගේ බැංකු ගිණුමට බැර වේ. එහෙත් මෑතකාලීන වෘත්තීය සමිති අරගලයෙන් පසු වැඩි කළ අගයද සහිතව ආධුනිකයෙකු ලෙස මට ලැබෙන්නේ රුපියල් පනස් දහසකට මඳක් ආසන්න මුදලකි. එය පූර්ණව ලබා ගත්තද සෑහෙන්නේ සිඩ්නියේ සති දෙකක් ජීවත් වන්නට ය. 

සිඩ්නියට (ඕනෑම වියදම් අධික විදේශයකට) ගොඩ බසින ලාංකිකයෙකු මුහුණ දෙන මෙම අමිහිරි යථාර්ථය හමුවේ සියල්ලන්ගේම ඉක්මන් අරමුණ වන්නේ තාවකාලික රැකියාවක් සොයා ගැනීම ය. රැකියාව තත්ව සංකේතයක් ලෙස නොසලකන (හෝ නොතකා හැරෙන) විදේශයක දී ලැබෙන ඕනෑම රැකියාවක් භාර ගැනීම නුවණට හුරු වුවද ඒ නුවණ පහළ වීමට ටික දිනක් ගතවෙයි. හෝටලයක පිඟන් සේදීම, පිරිසිදු කිරීම වැනි රැකියාවක සිට වේටර් වෘත්තිය හරහා කැෂියර් හෝ සහායක වෘත්තීන් ද, පත්තර බෙදීම, පීසා වැනි ආහාර නිවස් වෙත ගෙනගොස් දීම ආදී වෘත්තීන්ද විදේශයකදී ලබා ගත හැකි, පහසුවෙන් ලැබෙන වෘත්තීන් ලෙස පිළි ගැනේ. සිඩ්නියේදී මෙවන් වෘත්තියක නිරත වීමෙන් පැයකට ඩොලර් 10-20 අතර මුදලක් සොයාගත හැකි ය. දිගු කාල වේලාවක් සේවය කළහොත් එය විශාල මුදලකට හරවාගත හැකි මුත් ශිෂ්‍ය වීසාවකින් ඇතුළු වන අපට සතියකට පැය විස්සක සීමාවක රැඳෙන්නට සිදුවේ. 

‘පාට් ටයිම් රස්සා‘ ලෙස ප්‍රචලිත, පැය විස්සකට සරිලන තාවකාලික රැකියා සොයාගන්නටද කලක් ගත වන බැවින් බැංකු ණයක් ලබාගත් මම ඒ මත විශ්වාසය තබා මෙහි පැමිණියෙමි. විශ්ව විද්‍යාලයේ බැංකු ටෙලර් යන්ත්‍රය අභියසට මා පය එසවූයේ එම ණය මුදලින් කොටසක් මගේ කාඩ්පත හරහා ලබා ගන්නට ය. 

“සර් අපේ බැංකුවට ලියුමකින් දීලා යන්න සල්ලි ගන්නේ පිටරටින් කියල. ට්‍රැවලර්ස් චෙක්ස් හොය හොය මහන්සි වෙන්න එපා. කාලෙත් ඉතිරිනෙ“

ගුවන් ගමනට දින දෙකකට පෙර වීසා බලපත ලැබ, සල්ලි මාරු කිරීමට බැංකුවට ගිය මා හට බැංකු නිලධාරියා උපදෙස් දුන්නේ ය.  ඔහුගේ උපදෙස් පරිදි බැංකුවේම මුදල් තිබෙන්නට ඉඩ හළ මම දින දෙකකින් ගුවන්ගත වූයේ සුළු මුදලක් අත තබාගෙන ය. දැන් එළඹ ඇත්තේ ලංකාවේ බැංකුවක මා සතු ගිණුමට අත දමා, කිලෝ මීටර දහස් ගණනක දුර සිට මුදල් ඇදගැනීමේ විශ්මිත නිමේෂයයි. මගේ දේශීය බැංකුවෙන් ටෙලර් යන්ත්‍රයකට දිනකට නිකුත් කරන මුදල් ප්‍රමාණය රුපියල් අසූ දහසකි. දුරකථන සබඳතාව සමග නොමිළේ ලද ස්මාර්ට් ජංගම දුරකථනයේ තිරය මතින් ගණක යන්ත්‍රය මතු කරගත් මම එය ඕස්ට්‍රේලියානු මුදලට හරවා බැලුවෙමි. ඩොලර් හය සියයකට වැඩි මුදලක් ලබා ගත හැකි ය. හ්ම්.... ගෝලීයකරණය... විශ්ව ගම්මානය...සියල්ලට පින් සිදු වන්නට මම තව මොහොතකින් ඩොලර් ලාභියෙක්මි. ජයන්ත අංකල් ගෙවා දමා තිබූ මගේ නවාතැනේ තැන්පතු මුදල ආදියද දැන් ගෙවිය හැක. මම වොලට්ටුව අතට ගතිමි. ලංකාවෙන් නික්මුණු දින දහවලේ මහනුවර සාප්පුවකින් නිරූ තේරූ කළුවන් පැහැ වොලට්ටුවේ කෙළවරක සිට ඇගේ උඩුකය සේයාරුව මදෙස බලා හිඳියි. නික්මෙන දින ඇය මෙම ඡායාරූපය මහත් සතුටකින් මෙහි තැන්පත් කළ අයුරු මට මතක ය. 

මම බැංකු කාඩ්පත සෙව්වෙමි. එය එහි නැත! සියළුම කාඩ්පත් හා හැඳුනුම්පත් ද, රියදුරු බලපත්ද අතර සැඟව සිටින්නට විශේෂ ස්ථානයක් බැංකු කාඩ්පතට නැත. මම දැඩි ලෙස බියටත්, වේදනාවටත් පත් වීමි. මම මෙහි පැමිණ දින කිහිපයක් ගත වී හමාර ය. බැංකු කාඩ්පත අවසන් වරට පරිහරණය කළේ ශ්‍රී ලංකාවේදී වන බැවින් එය වෙනකකු අතට පත්වී නම් සියලු මුදල් සිඳ දමන්නට කාලය ප්‍රමාණවත් ය. සියොළඟ ගලා ගිය සියුම් වේදනාවක් සමග මහත් අසරණකමක් සිතට දැනෙන්නට විය.  විදේශීය විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් සඳහා එන අප වැන්නෙකුට සාමාන්‍ය උපාධියකට ඇතුළු වන තරුණයකුට මෙන් වේගයෙන් මිතුරන් ලැබෙන්නේ නැත. තිස් දහසක් පමණ සිසු සිසුවියන් වෙසෙන සිඩ්නි විශ්වවිද්‍යාලයට මම තවමත් ආගන්තුකයෙක්මි. අසරණව වට පිට බැලූවද, ගැටළුව කුමක්දැයි අසන්නට හෝ අසරණකම බෙදාගන්නට අයෙකු පෙනෙන්නේ නැත. අප රට සිසුන් විශ්වවිද්‍යාලයක ගමන් කරනවාට වඩා විශාල වේගයකින් සිය ගණනක් වූ සිසු සිසුවියෝ ඇවිද යති.

මම සෙමින් රීජන්ට් වීදියට ආවෙමි. සිහි එළවාගත නොහැකි තරමට අවුල්ව ගිය මනසක් ඇති මොහොතක, වේදනාව දැඩිව දැනෙන මොහොතක එය බෙදාගන්නට අයෙකු නොවීම බිහිසුණු ය. ජීවිතයේ අවස්ථා ගණනාවක එය මා අත් විඳ ඇතත් මෙය වඩාත් සංකීර්ණ වූයේ මා විදේශයක සිටීම නිසා ය. බොහෝ වේලාවක් කල්පනා කළ මම ස්කයිප් හරහා නිරූව සොයා ගතිමි. ඇය වහාම අදාල බැංකුව හරහා කළ සොයා බැලීමෙන් තහවුරු වූයේ මුදල්වලට කිසිදු හානියක් වී නොමැති බවයි. එසේනම් මගේ මතකයේ සටහන් නොවූ මොහොතක බැංකු කාඩ්පත කොහේ හෝ ගිලිහෙන්නට ඇත. 

එදින රැයේ ස්කයිප් සංවාදයකට එක්වූ සුමිතුරු ලොහාන් නව බැංකු කාඩ්පතක් ලබා ගැනීමේ සියලු කර්තව්‍යයන් කරදීමට භාර ගත්තේ ය. ලොහාන් මිතුරන්ට උදව් කරන්නේ ඉල්ලීමටද පෙර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමෙනි. එවැනි මිතුරන් අපගේ දිවිය තුළ විටින් විට අපට හමුවේ. ඇතැමුන් කාලය සමග අපෙන් දුරස්ව ගිය ද තවත් අය දිගු මිතුදම් පවත්වමින් අප හා රැඳෙති. පේරාදෙණියේ දී කංචුකා නිර්මාණය කළ ‘දෙයියෝ‘ නාට්‍යයේ මගේ රංගනය දැක මා හා මිතුරු වූ ලොහාන්‍, පසුව රජිතගේ ළමා නාට්‍යය වූ ‘රාස්සිගේ කැවුම් මල්ල‘ නාට්‍යයේ ඇඳුම් හා පසුතල නිර්මාණය කරමින්ද අප හා කලා කටයුතුවල නිරත විය. එහෙත් ලොහාන් තුළ සැඟව සිටි අතිදක්ෂ නළුවා මට හමුවූයේ අයනෙස්කෝගේ Bold Soprano ඇසුරින් කංචුකා නිපදවූ‘තට්ට ගායිකාව‘ නැරඹූ දිනයේ ය. ආධුනිකයෙකුට තරම් නොවන විශිෂ්ට රංගනයක් එදා ඔහු ගෙන ආවේ ය. 

පසුකලෙක මගේ අළු නාට්‍යයේ පසුතල, ඇඳුම් ඇතුළු සියලු කටයුතු පසුපස උන් ලොහාන් එය කෘතියකට නැගෙද්දී කවරය සාදා දී බොහෝ පසුබිම් කටයුතු කරමින්ද මා සමග රැඳුණේ ය. වැඩ කටයුතු නිසි කලට නිම නොකිරීම සම්බන්දයෙන් නම් දරා සිටින්නෙකු වන මගේ බොහෝ භයානක අවසාන මොහොතවල් සාර්ථක කරගන්නටද ලොහාන් උදව් වී ඇත. 

‘ ප්‍රියන්ත අයිය බයවෙන්න එපා, මම බැංකුවෙ වැඩේ බලාගන්නං, ඔයාට සල්ලි හිරවෙලා අමාරුවකනං ඉන්නෙ මිස්සකට කතා කරන්න.“

මිස්සක යනු කංචුකාගේ දෙයියෝ නාට්‍යයේ රඟපාන්නට ඉංජිනේරු පීඨයෙන් පැමිණි මිතුරෙකි. Woody Allen ගේ The God නාට්‍යය අනුවර්තනයෙන් කංචුකා සැදූ දෙයියෝහි රජතුමාගේ චරිතයත්, කරුණාරත්න ආරියසේනගේ චරිතයත් රඟපෑවේ මිස්සක ය. උපාධියෙන් පසු මොරටුව විශ්වවිද්‍යාලයේ කලක් සේවය කළ ඔහු මේ වන විට ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියි. මම මිස්සකගේ දුරකථන අංකය ලොහාන්ගෙන් ලබාගෙන එය ඇමතුවෙමි. මාගේ සිතට තවත් කළකිරීමක් එක් කරමින් එය ක්‍රියාවිරහිතව තිබූ අතර පණිවුඩයක් තබන්නැයි සඳහන් කරමින් මිස්සක කර තිබූ පටිගත කිරීමක් අසන්නට ලැබිණි. 

වේදනාව සිතට දැනෙන්නට ගනිද්දී ඒ හා කඳුළු නැගීම ස්වභාවික වුවත් පිරිමි වන අපි හැකි පමණ නොහඬා ඉන්නට අපේක්ෂා කරන්නෝ වෙමු.  ළමා කාලයේ යම් දෙයකට කඳුළු සලද්දී,
“ලැජ්ජ නැද්ද අඬන්නෙ? හරියට නිකං කෙල්ලෙක් වගේනෙ... කොල්ලො අඬනවයැ...“
යනුවෙන් වැඩිහිටියන් කරන ප්‍රකාශයන් අපේ සිත් තුළට දැඩිව කාවදියි. එතැන් පටන් කඳුළු සැළීම ගැහැණුන්ට පවරාදෙන අපි අධික වේදනාවන් දැඩි මානසික ආයාසයන් යොදා පාලනය කරගන්නේ පිරිමිකම පිළිබඳ උපන් ගර්වයකින් යුක්තව ය. එහෙත් දරන්නට අපහසු මොහොතේ, ඒ දැක සිනාසෙන්නට හෝ ‘ලැජ්ජ නැද්ද?‘ යි අසන්නට අයෙක් අසළක නැත්නම් පිරිමින්ද රිසි පරිදි හඬා වැටෙනු ඇතැයි මට සිතේ. සියල්ල අවසන, මුදල් අතට නොලැබ, කුසගින්න දැඩිව නැගෙන්නට වූ කළ මසිත බල කර සිටියේද එයට ය. 

එහෙත් සියල්ල විශ්මිත ලෙස වෙනස් කරමින් නිමේශයකින් දුරකථනය නාද වන්නට විය. තිරය මට දැනුම් දුන්නේ අමතන්නේ මිස්සක බව ය. මා ඔහුට පණිවුඩයක් නොතැබූ නමුත් මගේ අංකය දැක ඔහු යළි ඒ අමතා ඇති බව පෙනේ. එහෙත් මේ අංකය මගේ බව ඔහු දැන සිටින්නට ඉඩක් නැත‍.

“හෙලෝ හූ ඉස් දිස්? අයි ගොට් අ කෝල් ෆ්‍රොම් දිස් නම්බර්...“

මිස්සකගේ සුපුරුදු හඬ අනෙක් පසින් නැඟෙයි. 

“මම මෙහෙම කිව්වොත්... මාළිගාවෙ බිත්තර ඉවර නිසා මාළු කොත්තුවක් වුණත් කමක් නැහැ කියල“

දෙයියෝ නාට්‍යය වේදිකාගත කොට වසර දොළහක් ගතවී තිබුණද මිස්සකටත්, මටත් (එහි සිටි සියළුම සාමාජිකයින්ටත්!) එහි දෙබස් හොඳින් මතක ය. රජුට පණිවුඩය රැගත් ග්‍රීක වහළකු වූ ෆිඩිෆිඩීස් වූ මම දිගු පා ගමනකින් පසු රජ මාළිගාවට පිවිස මුරකරුට කියන්නේ රජු මුණගැසීමට ආ මුත් කුසගින්නද අධික බව ය. ඉන් පසු දිග හැරෙන්නේ මෙවැනි දෙබස් පෙළකි.

දෙයියෝ නාට්‍යය - සරත්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ දී (2000)
මුරකරු : හරි මම රජතුමාව අරගෙන එන්නම්

ෆිඩිෆිඩීස්: බැරිවෙයිද බිත්තර කොත්තුවකුත් ගේන්න ඒත් එක්ක?

මුරකරු: හරි. බිත්තර කොත්තු එකයි, එළවළුවකුත් තම්බල දෙන්න පුළුවන්...?

ෆිඩිෆිඩීස්: ආ... ගේන්නකො බැදපු අලයක්!

මුරකරු: ටී ද ? ප්ලේන් ටී ද?

ෆිඩිෆිඩීස්: ප්ලේන්ටි හොඳයි

මුරකරු: බිත්තර කොත්තු එකයි... බැදපු අලයයි... ප්ලේන්ටියයි

ෆිඩිෆිඩීස්: ඒත් එක්ක අමතක කරන්න එපා රජතුමා!!

පළවෙනි දෙබස අවසානයේ බිත්තර කොත්තු ඉල්ලීමත් සමග හෙල්ල පසෙකට විසිකරන ග්‍රීක මාළිගයේ මුරකරු වේටරයකු බවට පත් වේ. සාංදෘෂ්ටිකවාදී දර්ශනයක් පිළිඹිබු කළේ වුව විශිෂ්ට පෙළ රචනයක කදිම අනුවර්තනයක් වූ නිසාවෙනුත්, කංචුකාගේ මෙහෙයවීමේ විශිෂ්ටත්වය නිසාවෙනුත් එම වසරේ ශිෂ්‍ය නාට්‍ය තරගයේ සියලු සම්මාන (ස්වතන්ත්‍ර රචනය හැර) අප නාට්‍යයට ලැබිණි. හාස්‍ය රසය පිරුණු නාට්‍යය ප්‍රේක්ෂක සිත් මනාව දිනා ගත්තේ ය. 

බිත්තර කොත්තු වෙනුවට මාළු කොත්තුවක්ද රැගෙන වහලා ඉදිරියට ආ රජු මිස්සක වූ නිසාත්, වහලා මා වූ නිසාත් පසුව හමුවුණු ඕනෑම මොහොතක අපේ කතා බහ ඇරඹුණේ ඒ සබැඳි දෙබසක් ආශ්‍රයෙනි. දුරකථනයේ මගේ ප්‍රකාශයෙන් අමන්දානන්දයට පත් මිස්සක බොහෝ වේලාවක් යනතුරුම සිනාසෙන්නට විය. අනතුරුව දිගු වෙලාවක් කෙරුණු අපේ කතා බහ කලාව, දේශපාලනය ආදී මාතෘකාවලින් මෙන්ම අප නාට්‍ය කණ්ඩායම, මිතුරෝ, ඕස්ට්‍රේලියානු ජීවිතය වැනි මාතෘකාවලින් ද සමන්විත විය.

දිනකින්, දෙකකින් මිස්සක මගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමට බැර කළ මුදල මාතට පත් විය. 

“අයියෝ ප්‍රශ්නයක් නැහැ... ප්‍රියන්ත අයියට පුළුවන් වුණු වෙලාවක සල්ලි ටික ගමු. මට හදිස්සියක් නැහැ...“ 

මුදල් යළි ගෙවීම පිළිබඳ ඔහු දුන්නේ එවන් පිළිතුරකි.

Tuesday, June 5, 2012

හැංගිමුත්තං


(2012 මාර්තු 20 වැනිදා) 

රීජන්ට් වීදියේ නවාතැනේ විශාල කාමරයේ ලැගුම්ගෙන උන් ජුන් කොරියානුවෙකි. ඉතා ලගන්නා සුළු අවිහිංසක සිනාවක් මුවග රඳවා‍ගෙන සිටින ඔහු පරිගණක සජීවකරණය සිය ප්‍රධාන විෂයය ධාරාව ලෙස තෝරාගත් අයෙකි. එහෙත් ඔහු මෙහිදී ඒ විෂයය වෙත අවධානයක් යොමු කරන්නේ නැත. රැකියා සඳහා වන වීසා බලපතකින් මෙහි පැමිණ ඇති ජුන් සිඩ්නියේ කොරියානු හෝටලයක සේවය කරයි. සිය සේවා ස්ථානයට උදෑසනම පිටව යන ජුන් සවස් කාලය එළඹෙත්ම යළි නවාතැනට එයි. 

පරිගණක සජීවකරණය සිය ප්‍රධාන විෂයය ලෙස තෝරාගත්ත ද සජීවීකරණ චිත්‍රපට නැරඹීමෙහි වාර්තා තබන්නේ ජුන් නොව මගේ කාමර සගයා වන ජපන් ජාතික ෂින් ය. ජපාන සජීවකරණ චිත්‍රපට නොකඩවා නැරඹීම කරගෙන යන ෂින් සිය ඉංග්‍රීසි පාඨමාලාව සළකන්නේ චිත්‍රපට නැරඹීමට එල්ල වී ඇති, නොබිඳිය හැකි තර්ජනයක් වශයෙනි. ඉංග්‍රීසි පන්තිය නිම වී හැකි වේගයෙන් රීජන්ට් වීදියට දිව එන ඔහු කාමරයට ගොඩ වැදී අපතේ ගිය කාලය අල්ලා ගැනීමට මෙන් වහවහා පරිගණකය ක්‍රියාත්මක කරයි. එතැන් සිට අඩනින්දට වදින තුරුම සජීවීකෘත චිත්‍රපටය හා ඔහු අතර වන ගණුදෙණුව බිඳ දමන්නට බලය හිමිවන්නේ තිදෙනෙකුට පමණි. ඒනම් පෙම්වතිය, රියැලිටි වැඩ සටහන් සහ කුසගින්න යන බලවේගයන්ට ය. සජීවීකෘත චිත්‍රපට නරඹන අතරතුර යම් කාල පරාසවලදී සිය පරිගණක තිරය හරහා ජපාන රියැලිටි වැඩසටහන්ද නරඹන ෂින්, අතරතුර විශාල බත් දීසියකට හෝ චොකලට් තැවරෑ පාන් පෙති කිහිපයකට වගකියා, පෙම්වතිය සමග සල්ලාපය අරඹයි. ගෝල්ඩ්කෝස්ට් නගරයේ වෙසෙන සිය පෙම්වතිය සඳහා තිරයේ අඩක් වෙන්කරමින් ම, යළි අහිමි වන කාලය ගැන බිය වන ඔහු, ඊළඟ සජීවීකෘත චිත්‍රපටය ධාවනය කරවයි. නිරතුරුව ක්‍රියාත්මකව පවතින ඇපල් පරිගණකය, ඇඳ මතම රැඳී ඉඳිමින් ෂින්ගේ කෙටි අඩනිදි විවේක අතරතුර ද සිනමා පට ඔහු වෙත ලබා දී, සිය ජීවිත කාලය නිමවීමට පෙර හැකි පමණ සජීවීකෘත චිත්‍රපට නරඹන්නට ඔහු තුළ වන පරම අධිෂ්ඨානයට සහාය දක්වයි. 

ජුන්ගේ කාමරයේ ම සිටින මර්සෙලෝ නැමති බ්‍රසීලකාරයා චතුර ලෙස ඉංග්‍රීසි කථා කළ හැකි ඉංජිනේරුවකු වන අතර ප්‍රංශ ජාතික ෆ්‍රන්සුවා කතා කරන ඉංග්‍රීසි ස්වල්පයත් කොයි ලෙසකින් හෝ ප්‍රංශ ලෙසම අපිට ඇසීමට සැලැස්වීමෙහි දක්ෂයෙකි. මගේ කාමරයේ සිටින පැට්‍රික්ට වඩා පෙනුමින් පූර්ණ ලෙස යුරෝපීය බවක් ගෙන ආ ඔහු, අඩි හය හමාරක් පමණ උසැති සෙල්ලක්කාරයෙකි. අමතක වූ කිසිවක් සෙවීම ඔහුගේ දිනපතා කාල සටහනෙහි අනිවාර්ය අංගයකි. නවාතැනේ යතුර, ජංගම දුරකථනය, මුදල් පසුම්බිය, හෙඩ් ෆෝන් යුගලය වැනි කිසියම් හෝ භාණ්ඩයක් සොයමින් නවාතැන කණපිට පෙරළන ඔහු දිනයකට දෙකකට පසු මිතුරකුගේ නිවසේ තිබී හමුවූ භාණ්ඩය රැගෙන නවාතැනට එයි. ඔහු වෙනුවෙන් ම නැතිවීමට බැඳී සිටින්නාක් මෙන් භාණ්ඩයෝ ද ෆ්‍රන්සුවාට ඔට්ටු දමා  දින කිහිපයකින් යළි අතුරුදන් වෙති.

ළමා අවදියේ අපේ අතුරුදන්වීම් හෙවත් හැංගිමුත්තම් ඇරඹුණේ චතුර මල්ලී හා ශෂික මල්ලී කටුගස්තොට මහගෙදර ආ පසු ය. තාත්තාගේ වැඩිමහළු සහෝදරයා වූ සෝමේ බාප්පාගේ පුතුන් දෙදෙනා වූ චතුර හා ශෂික පාසැල් නිවාඩු සමයන්හි දිනයකට දෙකකට මහගෙදර ආවේ බාප්පා හා පුංචි අම්මා ද සමග ය. එවකට විදුලිය ලැබී නොතිබුණු මහගෙදර අපේ හැංගිමුත්තම් කෙළියට සූදානම් කෙරෙන්නේ රාත්‍රිය එළඹෙත් ම ය. රාත්‍රි අහර සකසන ආච්චිලාට සහ අම්මලාට කුස්සියේ ආලෝකය පවත්වාගෙන යාමට අවසර දෙන අපි නිවසේ සෙසු සියළු ලාම්පු නිවා දමා අඳුර නිපදවන්නෙමු. අඳුරේ ගිලෙන නිවස තුළ ඇති සියළු භාණ්ඩ හා එහි පිහිටීම මැනගන්නට දිවා කල ඒ දැක ඇති මතකයත්, කුස්සි ලාම්පුවෙන් හෝ සඳ කිරණෙන් පෙරී එන සියුම් ආලෝකයත් හොඳින් ප්‍රමාණවත් ය. සෙවීම භාරගන්නා තැනැත්තා කුස්සියේ තබා සෙස්සන් අඳුරේ සැඟව යන අතර සිය ආරක්ෂිත සැඟවුම්පළ තෝරාගෙන එහි සැඟවුණු පසු හූවකින් ඒ බව දන්වා සිටියි. සියල්ලන්ගේම හූ හඬ ලැබී අවසන් වූ පසු සොයන්නා කාර්යය අරඹයි. ඇඳ, පුටු යට, අල්මාරි හෝ පෙට්ටගම් තුළ හෝ මත, අකුලා ඇති පැදුරු අතරෙහි හිඳ සොයාගැනෙන සැඟවුණු පිරිස අතරින් මුලින්ම හසුවූ තැනැත්තාට ඊළඟ සොයන්නා වීමේ වරම හිමි‍ ‍‍වේ. 

පිරිසේ බාලයා වූ ශෂික මල්ලී නිරතුරුව සොයන්නා වීමේ වරම් ලැබූයේ අප තරම් නිර්මාණශීලී ලෙස සැඟවෙන්නට ඔහුට අවබෝධයක් නොතිබූ නිසා ය. ඇතැම් විට භාණ්ඩ ලෙසම පෙනෙන්නට වෙස් වළාගත් අපි තවත් විටෙක නින්දට ගිය චූටි බාප්පා හෝ අයියා ලෙස පෙනී සිටිමින් සොයන්නා නොමග යැව්වෙමු. සැඟවීමට සුදුසු ස්ථානයක් නොමැති වූ කල අප කළේ නීති උල්ලංඝණය කිරීමයි. කිසි විටෙක නිවසින් පිටට යා නොහැකි බවට අප විසින්ම පනවා තිබූ නීතිය රහසින් බිඳ දමන කෙනෙක්, සොයන්නා සොයා අහවර කළ ස්ථානයකට පසුව ඔහුට හොරා ගොස් සැඟවීම සඳහා නිවසින් පිටතට පනී.

හැංගිමුත්තමේ අපේ මට්ටම දැක එය විමසා බලන චූටි බාප්පා ඔවුන් කුඩා අවදියේ සිදු කළ හැංගිමුත්තම් කෙළි අපට විස්තර කරයි. 

“ඒ දවස්වල අපි හැංගෙන්න මේ මුළු පළාතම පාවිච්චි කළා. එකපාරක් අපේ එකෙක් හැංගිලා තිබ්බෙ සීතා නැන්දලාගේ ගෙදර දුම් මැස්සෙ!“

සීතා නැන්දා ලෙස ඔහු හඳුන්වන අපගේ ඥාති ආත්තම්මාගේ පෙර කී නිවස අපේ මහගෙදර සිට තරමක දුරින් පිහිටියකි. ඉඩම් විකිණී ගොස්, වැටවල් බැඳෙන්නට පෙර එකම යායක්ව  තිබූ ගම් පියසේ බාප්පලාගේ කුඩා අවදිය මහත් කෙළිදෙලෙන් ගෙවී ඇත. 

හැංගිමුත්තම් කෙළිය විනෝදයට පමණක් සිදු කරන්නක් නොවන බව මට වැටහෙන්නට ගත්තේ පාසැලේ අටවැන්න පසු කරද්දී ය. රට පුරා හිස ඔසවමින් තිබූ භීෂණ යුගය නිසාවෙන් නිවසේ තිබූ ලෙනින් හා මාක්ස් කෘති සියල්ල ට්‍රන්ක් පෙට්ටියක බහා නිවස පිටුපස වළ දමන්නට චූටි බාප්පා කටයුතු කළේ ය. ආරක්ෂාව සඳහා පොලිතීන් කවරවල දමා ට්‍රන්ක් පෙට්ටියේ ඇසිරූ පොත් එකතුව ගෙය පිටුපස වළ තුළ සැඟ වී යනු මම මහත් වේදනාවෙන් බලා සිටියෙමි. ඉදිරිපස කාමරයේ පැය ගණන් නිහඬව හිඳිමින් කියවීමෙහි යෙදුණු බාප්පා ඥාණ සම්භාරයකින් හෙබි නැණවතෙක් බව මට ඒත්තු ගැන්වූයේ මෙම පොත් එකතුවයි. යළි ඒ පොත් ගොඩට ගැනීමට ඉඩ නොලැබෙනු ඇති බවත්, කිසිවකු නොසිතූ අවස්ථාවක මේ පොත් කියවූ බවට චෝදනා කරමින් බාප්පා පොලිස් අත්අඩංගුවට පත් වනු ඇති බවටත් මට සිතෙන්නට විය.
   
බාප්පා පොලිස් අත්අඩංගුවට පත් නොවූ නමුත් අපේ නිවස සැඟව සිටීම සඳහා තෝරාගත් පහළ ගෙදර සීයා ඇතුළු පිරිස ඉන් දින කිහිපයකට පසු අපේ නිවසට ආහ. තාත්තිගේ ලොකු බාප්පා වන පහළ ගෙදර සීයා (අප ඔහු ඇමතුවේ ලොකු සීයා කියා ය.) පොලිස් දෙපාර්තමේන්තුවේ සිට විශ්‍රාම ලැබූවෙකි. සුදත්, සමන්, නාමල් හා අමල් ලෙස නම් ලද බාප්පලා සිවු දෙනෙක් ඒ පවුලේ වූ අතර ඉන් වැඩිමහල්ලන් වූ සුදත්, සමන් (මතකය නිවැරදි නම් නාමල්) යන බාප්පලා ද ඒ දිනවල සේවය කළේ පොලිසියේ ය. භීෂණ යුගයේ තර්ජන ඉහළ යත්ම බාප්පලාට පොලිසියෙන් ඉවත්ව යන ලෙස දන්වා නිර්ණාමික ලිපි නිවෙස් දොරින් ගෙට රිංගා තිබූ අතර එසේ නොකලහොත් සියල්ලන්ට ම දඬුවම් විඳීමට සිදුවනු ඇති බව ඒවායේ ලියා තිබූ බව පසුව මට දැනගන්නට ලැබිණි. රාත්‍රියේ හැංගිමුත්තමට අප නිවසේ පහන් නිවූ ලෙස පහන් ආලෝක නිවී යත්ම පහළ සීයා, ආච්චි හා අමල් බාප්පා (ගෙදර බල්ලාද කැටිව) අප නිවසට ඇතුළු වෙති. එකිනෙකාගේ මුහුණු දෙස බලමින් මුවින් නොබැන ගෙවෙන රාත්‍රී කාලයන් අතරතුර පාළුව මකා දමමින් ඈතින් වෙඩි හඬක් හෝ කිහිපයක් නැඟේ. 
මේ ගං දිය පත්ලේ සැඟව....

රාත්‍රි කාලය නිමවී සීයලා නිවසින් පිටව ගිය පසු රාත්‍රි වෙඩි හඬ පිළිබඳ ආරංචි මාර්ග නිවසට එයි. සෙමින් නිවසින් බැස ගඟ දෙසට ඇදෙන චූටි බාප්පා යළි පැමිණ විස්තර කියන තෙක් හිඳින්නට අසමත් වන මම මිනිත්තු කිහිපයකින් නිවසින් නික්මෙන්නේ සැඟවුණු අභිරහසක් එළිදරව් කර ගන්නට යන පරීක්ෂකයෙකු ලෙස ය. එහෙත් මහවැලි ගඟ දෙසට වැටුණු මාර්ගය අතරමග දී නිවස දෙසට එන චූටි බාප්පා මට යළි හමු වේ.

“යන්නෙ නෑ ඒ පැත්තට.... යනව ගෙදර!“ 

ඔහුගේ විධානයට කීකරු වන මම ආපසු හැරෙමි. කලක් නිවසින් අතුරුදන්ව සිටි කිසියම් තරුණයෙකුගේ මළ සිරුරක්, හිස පසා කරගෙන ගිය වෙඩි පහරක්ද සහිතව නාන තොට අසළ බෝක්කුව පහළ වන බව ආච්චි සහ නැන්දාගේ කතා බහින් මම පැහැදිලි කර ගනිමි. කිසිවිට බෝක්කුව අසළ මළ සිරුරක් දෙනෙතින් දකින්නට ඉඩ දී අප කම්පනයට පත්වීම චූටි බාප්පාගේ සෙනෙහස විසින් වළක්වා දැමූවද ගඟ දියේ වන මළ සිරුරු මනස තුළ මැවීම ඉන් නතර වූයේ නැත. 

කුඩා කළ බාප්පලා, අයියලා සහ පසු කලෙක සංජය හෝ සාගර වැනි මිතුරකු සමග දිය කෙළි කළ මහවැලිය, සඟවාගත් මළ සිරුරු සහිත අභිරහස් ගංගාවක් ලෙස දැනෙන්නට ගත් නිසාදෝ භීෂණ යුගය නිමව ගිය පසු එහි හමුවූයේ සීමිත පිරිසකි. වැලි සහිත බිම පෑගෙත්දී පයට දැනෙන සනීපයත්, නිල් පැහැ ජල කඳ සිරුර වැළඳ ගනිද්දී දැනෙන ආහ්ලාදයත් නදිය ක්‍රමිකව ජරාජීර්ණව, අපිරිසිදු වෙත්ම අහිමිව ගියේ ය. මා සිඩ්නියට එන අවදිය වන විට ගඟ දියෙහි කෙළි පාන්නෙකු තබා ගං තොටක හිඳ දිය නාන්නෙකු වුව දක්නට සිටියේ නැත. එහෙත්, තවමත් හූ හඬක් නොදී මේ ගං දිය පත්ලේ සැඟව සිටින කවුරුන් හෝ වෙතැයි යන හැඟීමක් මා තුළ ඉතිරිව ඇත.