Thursday, December 27, 2012

චොකලට්



-2012 මැයි 07 වැනිදා - 

විසි හතර පැය විවෘත සවන් -ඉලවන් වෙළඳ සැළක් රීජන්ට් වීදියේ කෙළවර වර්ණ ආලෝක සංඥා අසළ වේ. මග දිවෙන රථ නතර කරෙන රතු එළිය දැල්වී පදිකයින් වූ අපට කොළ පැහැ මගී සංඥාව ලැබුණු විගස ජුන් සහ මම මාර්ගය අනෙක් පසට පැන ගත්තෙමු. වේලාව රාත්‍රී නවය පසුවෙමින් තිබිණ. ප්‍රධාන නගරය දෙසින් පිටතට දිවෙන රථවලත්, නගරය දෙසට යන රථවලත් කෙළවරක් නැත‍.

සවන්-ඉලවන් වෙළඳ සැල් යනු දෛනික අවශ්‍යතා සියල්ල මිළට ගැනුමට ඇති කෝල්ස්, වූල්වර්ත්ස් හෝ ඇල්ඩි වැනි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ප්‍රභේදයක් නොවේ. ඇවිද යන වීදි දෙපසත්, ප්‍රත්‍යන්ත නගරවලත් හමුවන ඒ එම මොහොතේ අවැසියාවන්ට අවශ්‍ය දේ අප වෙත ගෙනෙන කුඩා වෙළඳ සැල් වර්ගයකි. පිපාසිතයෙකුට වතුර බෝතල, සිසිල් බීම හෝ කෝපි, කුසගිනි ඇත්තකුට සැන්ඩ්විචස්, ඇපල්, මිදි වැනි පළතුරු හෝ බිස්කට්, ටොෆි හා චොකලට් මෙන්ම පත්තර, සඟරා ඇතුළු මහමග ගමනේ යෙදෙන්නන්ට අවශ්‍ය විය හැකි මූලික දෙයින් ඒ පූර්ණ ය. සවන්-ඉලවන් වෙළඳ ජාලයටම අයත් ඉන්ධන පිරවුම්හල්ද මග දෙපස නෙත ගැටෙන සුලභ දසුනකි.

වීදි කෙළවර වෙළඳ සල වෙත ගිය අපි දෙදෙන එහි සිටි තරුණ සේවකයාට අප වෙත වූ කූපන් අංක ඉදිරිපත් කළෙමු. දින දෙක තුනක් මුළුල්ලේ අපගේ දුරකථනවලට එස්.එම්.එස් මගින් ආ කූපන් අංක පිරික්සූ සේවකයා අප වෙත කිට්-කැට් චොකලට් පෙති කිහිපයක් දිගු කළේ ය.

“හරි මෙන්න... සුභ රාත්‍රියක්!“
නොමිලයේ ලද චොකලට් පෙති අතැතිව අපි මහමගට බැස්සෙමු. ජුන්ගේ මුහුණේ වූයේ සතුටු සිනාවකි.

“ඒ කියන්නෙ ඒක ඇත්තක්! නිකං චොකලට්...!!“

සෙවන්- ඉලවන් වෙළඳ සැලක් වෙත කූපන් අංකය ඉදිරිපත් කර චොකලට් පෙති නොමිලේ ලබාගන්නට ආරාධනය මා වෙත එවා තිබුණේ ගනේෂ් ය. පෙරදිනක මා සිඩ්නි නගර සංචාරයකට කැටුව ගිය ගනේෂ් අතුරු රැකියාවක් ලෙස සෙවන් - ඉලවන් වෙළඳ සැලක ද සේවය කොට තිබිණ. ෆේස් බුක් මිතුරු සමාගමය හරහා සිදු කෙරෙන නන්විධ ප්‍රචාරක කටයුතු අතර පසුගිය දිනෙක මෙම වෙළඳ සමාගම දන්වා තිබුණේ එහි පිටුවේ වූ කෙළවරෙක අපගේ දුරකථන අංකය සටහන් කිරීමෙන් අප වෙත නොමිළේ කිට්-කැට් චොකලට් ලබා ගැනීමට කූපනයක් ලැබෙන බවයි. දිනකට එක බැගින් වන එම කූපන් පුරා මසක් ගෙවෙන තුරු නිකුත් කෙරෙන බවද සඳහන්ව තිබිණ.

නොමිලේ ලැබෙන චොකලට් පෙති ලබාගැනීමට වැඩි දෙනෙකු උනන්දු වූයේ නැත. අපේ නවාතැනේ පිරිස අතරින්ද ඒ උවමනාවෙන් සොයා බලා කූපන් ලබාගත්තේ ජුන් පමණි. මෙවැනි නොමිල භාණ්ඩ හෝ අඩු මිළ භාණ්ඩ ලබා දෙන ප්‍රචාරක කටයුතු මහත් ප්‍රමාණයක් එක් එක් වෙළඳ ආයතන විසින් නිතර දියත් කරනු මෙවැනි රටක සුලභ කටයුත්තක් බව කල්යත්ම වැටහිණ.

මධ්‍ය ප්‍රමාණයේ කිට්-කැට් චොකලට්ටුවක් යනු එතරම් වටිනා දෙයක් නොවුව ද අපහසුවෙන් වියදම් සොයාගන්නා අපට ඒ නොමිලයේ ලැබීම සැනසිල්ලකි.  සුපිරි වෙළඳ සැලක ඩොලරයකට ආසන්නයේ ඇති එහි මිල සවන් ඉලවන් වැනි වීදි දෙපස හමුවන වෙළඳ සැලකදී ඩොලර තුනකට කිට්ටු අගයක් ගනියි. බොහෝ භාණ්ඩ සඳහා වන මෙම අධික මිළ පරතරය නොදැන උන් මම සිඩ්නියට පැමිණ දින කිහිපයකින් කුඩා බඩු පොදියකට විශාල මිළක් වැය කළෙමි. ඒ සියල්ලම එම මිලෙන් අඩක් ගෙවා සුපිරි වෙළඳ සැලකින් මිලයට ගත හැකි බැව් දැනගත්තේ කලක ඇවෑමෙනි.

“ප්‍රියාටයි මටයි චොකලට් නිකං ලැබුණ... කිට් කෑ...ට්!!“

නවාතැන් සගයන් ඉදිරියේ ජුන් සතුටින් කෑගැසුවේ ය.

මර්සෙලෝ, ෆ්‍රන්සුවා සහ පැට්‍රික් නොමිල චොකලට් දීමනාව පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. එසේ මුත් මර්සෙලෝ නම් චොකලට් ආහාර රුසියෙකු විය. සාමාන්‍ය චොකලට්වලට අමතරව චොකලට් කේක් වර්ග, චොකලට් බීම ඔහුගේ එදිනෙදා ආහාර අතර බහුලව හමු විය. වරක් නවාතැනට ආ බ්‍රසීල ජාතික මිතුරියක් වෙනුවෙන් පළතුරු කෑම වේලක් සකස් කළ මර්සෙලෝ ඒ පළතුරු හා මුසු කොට රසවිඳින්නට චොක්ලට් හොද්දක්ද සෑදුවේ ය. සුදු චොක්ලට් ක්ෂුද්‍ර තරංග උදුනේ තබා දිය වෙන්නට හැර සැදූ චොක්ලට් හොද්දත්, පළතුරුත් රස විඳින්නට ඔහු අපටද ආරාධනා කළේ ය‍. එය රසවත් වුවද කුඩා ප්‍රමාණයකට වඩා කන්නට නොහැකි වූයේ පැණි රස අධික චොකලට් හොද්ද නිසා ඇති වූ මත් ගතිය හේතුවෙනි.

විදෙස් රටක සිට පෙරලා ලංකාවට එන සිය මිතුරකු හෝ නෑසියෙකු තෑගි ලෙසට චොක්ලට් පෙත්තක් හෝ ගෙනවිත් දෙනු ඇතැයි යන්න ලාංකිකයන් වෙත වන සිතුවිල්ලකි. විදේශ රටවල හමුවන බොහෝ චොක්ලට් වර්ග සාපේක්ෂව මිළ අඩු වීමත්, විදේශ රටක වෙළඳ සැල්වල චොක්ලට් ආදිය බහුලව හමුවීමත් මෙන්ම චොක්ලට් රසයට බොහෝ දෙනා තුළ වන ආසක්ත බවත් ඇතුළු කාරණා මේ සඳහා බලපානු ඇතැයි සිතේ. මා ගිය ගමන් කිහිපයකදීම පවුලේ ඥාතීන්ට හා හිතමිතුරන්ට දීමට විශාල චොක්ලට් මලු මිළට ගත් මිතුරු මිතුරියන් පිළිබඳ මතක රැසකි. සමහරෙකු ඒ මිළට ගත්තේ කටුනායක ගුවන් තොටුපළේ වන බදු අය නොකරන වෙළඳ සැල්වලදී ය.

මේ සියල්ලට වඩා සිනහ කැඳවූ චොක්ලට් බෙදීමක් කළ තරුණ ශිෂ්‍යයෙකු මට වරක් ශ්‍රී පාලියේදී හමු විය. දක්ෂ නර්තන ශිල්පියකු වූ ඔහු නර්තන කණ්ඩායම් සමග වසරකට විදේශ සංචාර ගණනාවකට සහභාගි වන්නෙකි. තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල නිතර සංචාරයේ යෙදෙන ඔහු ඒ නිමවූ විගස චොක්ලට් පෙති ගෙනවිත් මිතුරු මිතුරියන් අතර බෙදා දෙයි. එක් දිනෙක මෙවැනි චොක්ලට් කිහිපයක් සමග ඔහු මා වෙත පැමිණියේ ය.

“සර්... මම මේ ගිය සතියෙ ඉන්දියාවෙ ගියානෙ...!“ ඔහු චොක්ලට් මවෙත පාමින් කියා සිටියේ ය.

“අහ්... ඒක හොඳයි! තැන්ක් යු!“ ඔහු දිගු කළ චොක්ලට් පෙත්තක් ගනිමින් මම කියා සිටියෙමි. එහෙත් ඒ චොක්ලට් ෆුඩ් සිටියෙන් මිළට ගත් චොකලට් බව හොඳින් හඳුනාගත හැකි වූයේ එහි වූ ‘සිල්ලර මිළ‘ ලෙස සිංහලයෙන් ලියැවුණු ස්ටිකරය හේතුවෙනි.

“මේ මොකද මේ? මේව මෙහෙන් ගත්ත පාටයිනෙ?“

මම සිනාසෙමින් චොක්ලට් පෙති ඔහු වෙත පෑවෙමි. අප සමග සුහදව කටයුතු කළ ඔහු තමන් වෙත එල්ල වන සරදම් වදනින් උරණ වන හෝ වේදනාවට පත් නොවන බව මම දැන සිටියෙමි.

“ඔව් සර්! ඕව මෙහෙන් තමයි ගත්තෙ. කට්ටියට ඕන චොක්ලට්නෙ. මම ගත්තෙ කොහෙන් උනහම මොකෝ?“

රැකියාව අහිමි වූ පසු නිසි ආදායම් මගක් නොමැතිව තවමත් වේදනාව සඟවා නවාතැනේ රැඳී උන් ජුන් කිට්-කැට් තීරුවක් පරිස්සමින් කඩා සපමින් පැමිණ පරිගණකය ඉදිරියේ වාඩිවී සිය රැකියා සෙවීමේ මෙහෙයුම යළි පටන් ගත්තේ ය. ඔහුගේ මුහුණත ඇඳි වේදනාව මඳකින් හෝ සමනය වන්නට අත රැඳි චොකලට් තීරුව උපකාරි වනු ඇතැයි මට සිතේ.

ළමා අවදියේදී ටොෆි චොකලට් ඇතුළු රස කැවිලි තමන් වෙත ලැබුණු සුන්දර මතක මෙන්ම අහිමිවුණු වේදනාබර මතකයන් ද සියල්ලන්ගේ මනස් කෙළවර තැනෙක සැඟවී තිබෙනු ඇතැයි මම විශ්වාස කරමි. අද සිය දුවාදරුවන් හෝ මහමග යන දරුවකු හෝ රස කැවිල්ලක් දැක ඒ ලබාගන්නට දක්වන කැමැත්ත අප වෙත නඟන්නේ ළමා කාලය පිළිබඳ සිහි කැඳවුමකි.
 තාත්ති සහ අම්මා වෙත ගොස් පාසැල් නිවාඩුව ගත කළ යුගයේ ටොෆි සහ චොක්ලට් පිරුණු මලු රැගෙන අප බලන්නට පැමිණියේ විජේසේන අංකල් ය. තාත්තිගේ සේවා ස්ථාන හරහා හමුවී, පසුව සුහද මිතුදමක් අප හා ගොඩ නඟාගෙන උන් ඔහු දුර බැහැර වත්තක වූ සිය සේවා ස්ථානයේ සිට නිවාඩු ලද විටෙක තාත්ති හමුවන්නට ආවේ ය.

“අද විජේසේන එනව කියල තියෙනව...“

තාත්ති අම්මා වෙත කල් ඇතිව දැනුම් දෙන්නේ දිවා අහර පිළියෙල කරන්නට වුව ඒ අසන මමත් මල්ලීත් සතුටු වන්නේ නොවැරදී ඔහු ගෙනෙන ටොෆි චොක්ලට් බෑගය හේතු කොටගෙන ය. එතැන් පටන්, කපා මට්ටම් කර ඇති, ඈතට විහිද යන තේ යාය මත්තෙන් සිහින් ඉරක් ලෙස පෙනෙන මහ මග දෙස බලමින් මල්ලීත් මමත් කල් මරන්නෙමු. වත්තේගම දෙස සිට ඉහළට දිවෙන බස් රථයක් මතු වන්නේ මෙසේ පැය භාගයක්වත් බලා සිටි පසු ය. එසේ මතුවන බස් රථයක් අප දෙදෙනාගේ සිත් තුළ ඇති බලාපොරොත්තු බිඳ දමමින් හන්දියේ ඇති බස් නැවතුමේ නොනැවතී පෙරට ඇදෙයි.

“අන්න අංකල් හන්දියෙන් බැහැල එනව...“ කෑ ගසමින් අම්මා වෙත අප දිව යන්නේ බස් රථ දෙක තුනක්ම හන්දිය පසු කර ඇදුණු පසු ය. සිනාසෙමින් නිවසට ගොඩ වදින අංකල්, අම්මා සාදා දෙන තේ කෝප්පය තොලගාමින් තාත්ති සමග කතාබහට වැටෙන්නේ  බ්‍රවුන් පේපර් කවරයක දැමූ කැවිලි මල්ල අප වෙත දිගු කරමිනි.

“ආ... පුතාලට...!“

විජේසේන අංකල් හෝ වෙනත් වැඩිහිටි නෑදෑයකු නොපැමිණි සමයක මල්ලීටත් මටත් චොක්ලට් කෑමේ ආශාවක් පහළ විය. තේ වත්ත මායිමේ ඇති කුඩා කඩයේ චොක්ලට් විකුණන්නට නැත්තේ ඒ මිළට ගන්නට වත්කමක් ඇති මිනිසුන් එහි ගැනුම්කරුවන් අතර නොවූ නිසා ය. එහි නිතර වූයේ දිනපතා අහර සකසන්නට හාල්, තුනපහ මිළට ගන්නට එන කම්කරුවන් ය.ඔවුන්ගේ භාවිතයට වූ සීනි බෝල, ඉස්කිරිඤ්ඤා ආදියත්, බාල ගණයේ අඩු මිළ ටොෆී වර්ගත් එහි වූ බෝතලවල අසුරා තිබුණු අයුරු අදද සිහියට නැඟේ.


අම්මා ඉදිරිපිට කන්කෙඳිරි ගෑමෙන් චොකලට් සඳහා මුදල් සොයාගැනුම අපට අපහසු වූයේ නැත.

“මෙන්න මේ දෙන්නට චොකලට් ඕනලු!“

තාත්ති නිවසට ආ විට අම්මා අපේ ඉල්ලීම ඔහු වෙත දන්වා සිටියා ය. කිසිවිට උවමනාවක් සෘජුව තාත්ති ඉදිරියට ගෙන නොගිය අපි ඒ සඳහා මග සළසාගත්තේ අම්මා හරහා ය.

“මට අද හෙට ටවුමට යන්න වෙන්නෙ නැහැනෙ පුතේ... මෙතන කඩේ චොකලට් නැතිවත් ඇති. පුළුවන් නම් පන්විල ගිහින් ගන්න“

තාත්ති අප අත තැබුවේ රුපියල් දෙකක් පමණ වන්නට ඇත. එදිනවල ඒ කඩචෝරු සොයන ළමයකුට සෑහෙන මුදලකි.

දිනපතා පාසැල් යන්නට නුවර බලා බසයෙන් යන අපට සැතපුම් දෙකක් දුර වන පන්විල නගරයට යාම අපහසු වූයේ නැත. කැන්ඩොස් සහ එඩ්නා යන චොකලට් හැරුණු විට ඒ දිනවල නිතර හමුවූ සෙලර්ස් චොකලට්ටුවක් මල්ලීත් මමත් මිළට ගත්තෙමු. සැතපුම් දෙකක් ගෙවා බසයෙන් පැමිණ මිළට ගත් චොකලට්ටුව අපට දැණුනේ මහාර්ඝ වස්තුවක් ලෙස ය. වත්ත දක්වාම යාමට බස් රථ හමුනොවන ඇතැම් දිනවල පන්විලට පැමිණ පා ගමනින්ම ඉතිරි සැතපුම් දෙක ගෙවන මතකයෙන් අපි දිනූ චොකලට්ටුවද සමග මගට බැස්සෙමු. 

සුදු අධිරාජ්‍ය සමයේ ඇරඹුණු තේ වගාබිම් කරා අවැසි කළමණා ගෙනයන්නට සැදුණු පටු මංපෙත් තාර යෙදී කුඩා බසයකට ඉඩ ඇති තරමට පුළුල් වී ඇත. අඩි සිය ගණනක ප්‍රපාත අද්දරින් දිවෙන මෙම දුර්ග මාර්ග ඉඳහිට දිවෙන රථයක් නොමැති සැම විට පාළු ස්වභාවයක් ගනී. තේ වගාව නොමැති අඩවිවලදී ඒ දිවෙන්නේ තරමක අඳුරු වදුලු තුළිනි. කඳු මතින් ගලා හැලෙන සිහින් දියපාරවල්, රූස්ස ගස්, ඒ මත පනින රිලවුන් සහිත මේ වනගොමු දිවා කල වුව ඇති කරන්නේ අඳුර සහ බියයි. පාසැල ඇරී එන දිනයක අම්මා වෙත යන්නට ඇති උවමනාවත්, වෙහෙසත් හැරුණු විට ‘ඔවැනි තැන්වල ඇති කිසිදු අමනුෂ්‍යයකු නැතැයි‘ තාත්ති නිතර කියන කතන්දරත් අප තුළ වන බිය දිය කර හරිනු ලැබූ  අතර පන්විල සිට ගිය මෙම දිනයේ ඒ නැති කළේ අත රැඳි චොකලට්ටුවයි.


ගමන කෙළවර චොකලට් රස විඳි අයුරු මතකයෙන් දියව ගොස් තිබුණ ද සියළු රස කැවිලි දවටන එක්රැස් කර තබාගන්නා අප දෙදෙනාගේ පුරුද්ද නිසාවෙන් බොහෝ කල් සුරැකිව තිබුණු කොටු හැඩ වැටුණු සෙලර්ස් දවටනය අදද මතකයේ ඉතිරිව ඇත.

ජුන්ගේ දෙනෙතෙහි වෙහෙසක් හා වේදනාවක සේයා පෙනේ. ඔහු අත තිබුණු චොකලට් තීරුවේ අවසන් කොටස ද මුව තුළ ලාගෙන බොහෝ වේලාවකි.

“ඇයි ජුන්...? මොකක්ද අප්සෙට් එක?“

මම ඔහු විමසමි.

“නෑ.. ඇප්ලයි කරපු කිසි තැනකින් තවම රිප්ලයි නැහැ...“

Wednesday, December 19, 2012

චෙස් පොඩ්ඩෝ


2012 මැයි 05 වැනිදා

දුම්රිය මැදිරිවල දිනකට කෙතරම් වේලාවක් ගත කරන්නට වෙත්දැයි මට අදහසක් නැත. උතුරු දිගට හෝ බටහිර දෙසට දිවෙන සිඩ්නියේ ප්‍රත්‍යන්ත දුම්රිය මාර්ග ඔස්සේ මට නියමිත පාසැල් වෙත යන්නට පුළුවන. වෙරළාසන්න කූගී පෙදෙස වෙත හා රැන්ඩ්වික් වෙත යන්නට පමණක් දුම්රිය මගක් නොමැති අතර මා එපෙදෙස්වලට යා යුතුව තිබුණේ බස් රථයෙනි.

නෝමන්හර්ස්ට්, කූගී, රැන්ඩ්වික්, චැට්ස්වුඩ් සහ බීක්‍රොෆ්ට්  යන ප්‍රත්‍යන්ත නගරයන්හි රජයේ සහ පුද්ගලික පාසැල් කිහිපයක චෙස් පුහුණුකරු වශයෙන් මා පත් කරන ලද බව කියූ ඊ මේල පණිවුඩ මට ලැබුණේ ඊයේ සවස ය. පෙර දිනක පැවති සම්මුඛ පරීක්ෂණය කෙළවර බ්‍රෙට් මගෙන් ඇසූ පැනය වූයේ මට භාරගත හැකි කුමන මට්ටමේ ශිෂ්‍යයින් ද යන්නයි.

“මම හිතන්නෙ මට පුළුවන් වෙයි බිගිනර්ස්ලට උගන්නන්න. ඉන්ටර්මීඩියට් ලෙවල් එක උණත් ප්‍රශ්නයක් නැහැ. ඒත් උඩ ලෙවල්වලට උගන්නන්න මගේ භාෂා මට්ටම මදි වෙන්න පුළුවනි නේද?“

මගේ භාෂා හැසිරවීම පිළිබඳ සැකයෙන් මා පලකළ අදහසට බ්‍රෙට් දුන්නේ වෙනස් පිළිතුරකි.


“මම හිතන්නෙ නම් ඔයා ඉන්ටර්මීඩියට් ලෙවල් එකයි උඩ මට්ටමයි කරන එක හොඳ වෙයි. ඔයාගෙ භාෂාවෙ නම් මට අවුලක් නැහැ. ඒත් ඉතින් ඔයා කැමති නම් මම බිගිනර් ලෙවල් ක්ලාසස් කිහිපයක් ඔයාට දෙන්නම්“

ආධුනික ක්‍රීඩකයින් සමග කටයුතු කරන්නට ගත් තීරණයේ වරද වැටෙහන්නට ද වැඩි දිනක් ගත වූයේ නැත. පාසැලක ආධුනික ක්‍රීඩකයින් බොහෝ දුරට කුඩාම පන්තිවල සිඟිත්තන් වූ අතර ඔවුන් හසුරුවා ගැනීම මා වැනි පිටරැටියකුට පහසු වූයේ නැත. මා මුහුණු දෙන අපහසුව දැක ඇතැම් පාසැල්වල ගුරුවරුන් පන්තිය පවත්වා ගන්නට උපකාර කළ නමුත් වැඩි දෙනෙක් එය පිළිගත්තේ නොරිස්සුම් මුහුණකිනි.

රැන්ඩ්වික් පාසැලේ දී ඈන් යටතේ ද, බොන්ඩයි කණිෂ්ඨ පාසැලක රයන් යටතේද පුහුණු දින දෙකක් මා වෙත ලබා දෙන්නට බ්‍රෙට් කටයුතු කර තිබුණේ මෙහි පාසැලක චෙස් පුහුණුව සම්බන්ධිත ක්‍රියාවලිය වටහා ගන්නට ය. සැබවින්ම සිඩ්නියේ පාසැල් චෙස් ක්‍රීඩකයින්ට වඩා අප රට ක්‍රීඩකයින් ඉතා ඉහළ මට්ටමක වන බව එම වැඩ සටහන් දෙක අවසන් වත්ම මට වැටහී ගියේ ය. මෙහි චෙස් ක්‍රීඩාව පාසැලක ඉගැන්වෙන්නේ සතියට පැයක කාලයක් පමණි. ඒ අතර සතියේ ඉතිරි දිනවල සිසු සිසුවියෝ විවිධාකාර ගෘහස්ථ සහ පිටිය ක්‍රීඩාවලට ද සහභාගි වෙති. චෙස්, ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් ගණනාවකින් එකක් පමණක් වන අතර ඔවුන් ඒ සඳහා ලබා දෙන කාලයද අවම වීම හේතුවෙන් වසර තුන හතරක් ඒ හා ගත කළ ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට තිබුණේ ද මූලික මට්ටමේ දැනුමක් පමණි.


මටත්, මල්ලීටත් චෙස් ක්‍රීඩාවේ මුලකුරු කියා දුන්නේ අයියා ය. එවකට විද්‍යාර්ථයේ තිබුණු චෙස් පුහුණු පන්තිවලට සහභාගි වීම ඇරඹූ මමත් මල්ලීත් එහි වැඩිහිටි ශිෂ්‍යයින්ගේ දක්ෂකම් දැක මවිතයට පත් වීමු. තරගය අරඹා මොහොතකින් සිය රැජින හා බිෂොප්වරු පෙරට ගෙන ආ ඔවුහු ඇදීම් වාර කිහිපයකින් අපේ රජු කොටු කර දිනුම ලැබූ හ. ඔවුන්ට අනුව යමින් ප්‍රතිවාදියා ‘මෝඩයා‘ කරන fool’s mate සඳහා අපේ හමුදාව මෙහෙයවීම එකළ අපගේද සුරුවිරුකම විය. සම වයසේ ක්‍රීඩකයින් ගණනාවක් මෙසේ පරදවා එකල අප ලබන ජයෙහි උද්දාමය එවැනිම පරාජයක් අප වෙත හිමිවීමෙන් කෙළවර විය.

චෙස් ක්‍රීඩාව යනු බුද්ධිය හා මනා ගණුදෙනුවක යෙදෙන්නක් බවත්, එය මනස සමග දිගු හා වෙහෙසකර ව්‍යායාමයකින් ජය ගත යුත්තක් බවත්, ලොව වැඩිම සාහිත්‍යයකට හිමිකම් කියන ක්‍රීඩාව ඒ බවත් එවකට අප දැන සිටියේ නැත. ඒ අදහස් අප සිත් තුළ ධාරණය කරවමින්, ප්‍රතිවාදියාගේ චෙස් දැනුමට ගරු කරමින් ඔහු හෝ ඇය හා තරග වදින්නට අප හුරු කළේ අපේ චෙස් උපදේශකවරයා ලෙස පැමිණි සරත් සර් ය.

“ඔය මොනවද අදින්නෙ? ඇයි ඔයා හිතන්නෙ අනිත් කෙනා ඔයාට ඕන එකම අදියි කියල? ඇයි හිතන්නෙ නැත්තෙ එයා අදින්නෙ හොඳම ඇදීමයි කියල?“

මුල් දිනවල අප පෙරමෙන් ‘මෝඩයාගේ මේට් කිරීම‘ සඳහා සේනා හසුරුවනු දැක ඔහු ප්‍රශ්න කළේ ය.

“හැමවෙලාවෙම අපි හිතන්න ඕන අනිත් කෙනා අදින්නෙ හොඳම ඇදීම කියල. ඒ ඇදීම්වලටයි අපි උත්තර හොයන්න ඕන. මූව්ස් එකක් දෙකක් නෙවෙයි පුළුවන් තරමක් ඉස්සරහට හිතන්න. මනසේ චෙස් බෝඩ් එකක් මවාගෙන ඒකෙ අදින්න. හොඳම, සාර්ථකම උත්තරේ හම්බ වෙනකම් බෝඩ් එකට අතවත් තියන්න එපා!“

ගුරුතුමන්ගේ පුහුණු කිරීම් අප සැම නිවුණු පුද්ගලයින් බවට පත් කළේ ය. කලින් දිනවල පැයකට තරග හය හතක් ඇද නිමා කළ මිතුරෝ නිහඬව පුවරු අභියස දැහැන්ගත වූහ.

තරගාවලි අද මෙන් සුලභ නොවූ ඒ දිනවල චෙස් තරගාවලියකට අගනුවරට යාමට සුදුසුකම් ලැබීම වුව සිහිනයක් විය. මහනුවරදී පැවැත්වෙන අන්තර් පාසැල් කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ තේරීම් තරග සඳහා අප විදුහල් කණ්ඩායම මුලින්ම සහභාගි වූ 1988 වසරේදී ප්‍රබල ධර්මරාජ, ශාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව කණ්ඩායම් හා එක් තරගයක් හෝ ජයගැනීම වුව අප ලද මහරු දිනුමක් ලෙස සැලකිණ. එවකට පාසැල් චෙස් බිමේ පමණකුදු නොව ජාතික චෙස් බිමෙහි ද නම් දිනා සිටි ඒ විදුහල්වල ජ්‍යෙෂ්ඨයෝ අපට පෙනුනේ කිසිදා පැරදවිය නොහැකි වීරයන් ලෙසිනි.

වසරකින් දෙකකින් අප තුළ ගොඩනැගෙන්නට වූ ආත්ම විශ්වාසය ශක්තිමත් කණ්ඩායමකට අඩිතාලම දැමී ය. මිතුරන් ලෙස හමුවුවද චෙස් පුවරුවේදී සතුරන් ලෙස සැලකූ සහෝදර පාසැල්වල ක්‍රීඩකයින්ගේ කෙණහිලිකම් ක්‍රීඩාකාමිත්වය නිසා කියැවෙන ළමා හැඟීම් බව අද හැඟුණද එදවස අප ඒ පිළිගත්තේ නිසි මොහොතේ පාඩම් උගැන්විය යුතු කයිවාරු ලෙස ය.

“උඹල ටික කොයි පිළිවෙලට වාඩි වුණත් අපි ගහන්නෙ සික්ස් නිල්!!“

සහෝදර පාසැලක ක්‍රීඩකයෙකු කට කොණකට සිනහ නගමින් කී ඉහත වදන් පෙළ චෙස් කණ්ඩායමකට කළ හැකි විශාලම උපහාසය සහිත විය. කණ්ඩායමකට සය දෙනෙකු බැගින් වන එදවස පාසැල් තරග සඳහා අප ගෙන යන ක්‍රීඩක පිරිසේ කවරකු වුව තම ක්‍රීඩකයින්ට තරම් නොවන බව කී එවදන් වැරදි නොවූයේ ඒ කණ්ඩායම් එතරම්ම ප්‍රබලව උන් හෙයිනි.

“ආ.... බෝනස් ලකුණු හයක්ම එන්නෙ...!!!“

තවත් දිනෙක අප හා තරගයට වාඩි වෙමින් ඒ කණ්ඩායම් උදම් ඇනුවේ සරදමටත් වඩා ආරම්භයේ දී ලබන මානසික ජය ඉහළ බව දත් නිසාවෙනි.

වසරක දෙකක ඇවෑමෙන් කණ්ඩායමේ එකා දෙන්නා බැගින් ප්‍රතිවාදීන්ගේ උසුළු විසුළු පහළ දමන්නට කටයුතු යොදනු පෙණින. පසුකලෙක පාසැල් චෙස් බිමෙන් සමුගත් චමින්ද, පාසැල නිමකොට කලක් මහනුවර ක්‍රීඩා සමාජයකට එක්ව ක්‍රීඩා කළ අසන්ත මේ පිරිසේ පෙරමුණේ විය. එහෙත් නිත්‍ය භීතිකාවක් ප්‍රතිවාදියාට හිමි කරදෙමින්, කණිෂ්ඨයෙකු, එනම් අවුරුදු පහළවට අඩු ක්‍රීඩකයකු වියෙහිදීම ජ්‍යෙෂ්ඨ පිළේ සාමාජිකත්වය දරමින් වසර ගණනක උපහාස වදන් සොයා ගොස් පිළිතුරු දී පැමිණියේ මාගේ බාල සොහොයුරා ය.

ලාබාලම, එනමුත් ප්‍රබලම සාමාජිකයා ලෙස මල්ලී ද සමග අප පසුකාලීන තරගාවලි වෙත ප්‍රවිශ්ඨ වූයේ යට කී පාසැල් කණ්ඩායම් හා කරට කර සටනට එළැඹීමේ ශක්තිය ඇතිව ය. 1991 වසරේ මහාමායා බාලිකාවෝ සංවිධානය කළ මධ්‍යම පළාත් තරගාවලියක තුන්වන ස්ථානයක් ලබන තෙක්ම අප කණ්ඩායම් ජයග්‍රහණයක් හිමි කර නොතිබුණේ වුව සිය තරග සියල්ල ජය ගැනීම වෙනුවෙන් මල්ලී නම් කුඩා කුසලාන කිහිපයක්ම දිනා තිබිණි.
එදවස තරගයකින්...


1991 වසරේදීම කිංස්වුඩ් විදුහල විසින් සංවිධානය කළ සමස්ථ ලංකා තරගාවලියකදී අප පළමු වරට කොළඹ කණ්ඩායම් දුටුවෙමු. ආසියානු නගරාන්තර තරගාවලිය ඉන් සති කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමාව දැක තිබූ අතර සරත් සර් අප කණ්ඩායම සමග තරගාවලියට ආවේ එහිදී සමරු ලෙස ලැබුණු වටිනා අත් ඔරලෝසුවක් බැඳගෙන ය. එවැනි අත් ඔරලෝසුවක් බැඳි තවත් දක්ෂයකු වූ කමල් මහනුවර ශාන්ත අන්තෝනි පිළේ වූ අතර කොළඹ රාජකීයයෝ ශූරතාවය දිනුවේ එවැනි ඔරලෝසු අත් ඇත්තන් කිහිප දෙනෙකුගේම සවියෙනි.

වසර ගණනක් අපරාජිතව උන් රාජකීය පිළේ එදවස සාමාජිකත්වය යට කී ලෙසම ජාතික තලයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන්ම සැදුම් ලද්දේ විය. එහෙත් මහනුවර ශාන්ත අන්තෝනි පිළේ ඔරලෝසු හිමිකරුවා වූ කමල් සමග තරගය මවිසින් ජය ලබද්දී අප පිළ වටයේ ජයග්‍රහණය 4.5 – 1.5 හිමි කරගත්තේ ය. අප අනු ශූරයන් වූයේ රාජකීයයන්ට පමණක් දෙවැනි වෙමිනි.

1992 වසරේදී අප විද්‍යාලයේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සංවිධානය කළ සමස්ථ ලංකා තරගාවලිය පෙර තරගය තෙක් රාජකීයයන් ගෙන ආ අපරාජිත වාර්තාවට නැවතීමේ තිත තැබූ තරගාවලිය විය. එහිදී අප පාසැල් ශූරයන් පැරදවීමු. අවසන් වටය නිමා වන විට ලකුණු එකතුවෙන් ඉදිරියේ වූ ඔවුහු යළි ශූරතාවය දිනා ගත්තද කුසලානය රැගෙන ගියේ 4.5-1.5ක පරාජයක් අප කණ්ඩායම ඉදිරියේ ලියා තබමිනි.

 1987න් ඇරඹි අප පාසැල් චෙස් දිවිය ජයග්‍රාහී මගෙකින් කෙළවර කරන්නට සරත් සර්ට හැකි විය. වසර පහ හයකට පෙර අප දැක සරදමට සිනාසුණු සහෝදර පාසැල් සගයින්ට අපි පුවරුවේදී පිළිතුරු දුනිමු. චෙස් ක්‍රීඩාවේ ජාතික ජයග්‍රහණ සහතික මාහට අඩුව තිබුණු විශ්වවිද්‍යාල ප්‍රවේශ ලකුණු පියවන්නට ද උපකාර විය. මල්ලී ජාතික කණ්ඩායම දක්වා ගොස්  ඔලිම්පියාඩ් තරගාවලි දෙකකදී රට නියෝජනය කළේ ය. ඔහු මෙන්ම පෙරට ආ සංජීව, ඉන්දික, ටිතිර, අබේකෝන්, උදාන, හරීන්ද්‍ර, සුනන්ද, එරන්ත හා අනුරුද්ධ ආදීහු ප්‍රතිවාදී කණ්ඩායම්වලට මහත් හිසරදයක් විය.  එහෙත් ඒ සියල්ලට වඩා ඒ යුගය තුළ අප කල කී දෑ, එක්ව ගිය පාගමන් හා විනෝද සංචාර, ලියූ කියැවූ දේ, හුවමාරු කරගත් අත්දැකීම් සහ දැනුම වඩා වෙසෙසි පාසැල් දිවියක් කෙළවර කරන්නට අපට ඉඩ සැලැස්වීයැයි අද මට සිතේ.

රැන්ඩ්වික් පාසැලේ ප්‍රධාන පුහුණුකාරිණිය වූ ඈන් මා පිළිගත්තේ සිනාමුසුව ය.

“හලෝ ප්‍රියන්ත... ඔයාට භාර වෙන්නෙ බිගිනර්ස් ටීම් එක. මට ලොකු පිරිසක් ඉන්නව. ඔයාට පුළුවනි පන්තියෙ පිටි පස්සෙ ඔයාගෙ කට්ටිය එක්ක වැඩ පටන් ගන්න“

මම පන්තිය පිටු පසට ගියෙමි. හුරුබුහුටි කුඩා දරුවෝ පිරිසක් මා වෙත පැමිණ ඉදිරියෙන් හිඳ ගත්හ. මම සසල සිතින් ප්‍රදර්ශක පුවරුව සැකසීමි. බ්‍රෙට් කී ලෙස ආධුනිකයන් මාහට අවනත නොවන්නට ඉඩ ඇති බව වැටහෙන්නේ දරුවන් දුටු විට ය. ළදරු පාසැල් විය පසුකර ඇතැයි සිතෙන ළපැටියෝ මහත් සතුටින් බිම පෙරළෙමින් එකිනෙකා හා සෙල්ලමට වැටුණ හ. චෙස් පුවරුව වෙත ඔවුන්ගේ අවධානය යොමු කරගනු කෙසේ වුව නියමිත කාලය තුළ ඔවුන් නිහඬව තබා ගන්නට වුව ඉඩක් ලැබේවි ද?

“ඒයි.... ළමයි!!! නිශ්ශබ්ද වෙලා ප්‍රියන්තගෙ පාඩමට ඇහුම්කණ් දෙන්න!!!“

ඈන්ගේ කෑගෑමෙන් සියල්ලෝ නිහඬ වූහ.

“හලෝ.... මගෙ නම මේරි! ඔයා මොනවද අපිට කියල දෙන්න යන්නෙ?“

සුරතල් සිනහවකින් මුව සරසාගත් පුංචි ළදැරියක් මගේ දණහිසෙහි එල්ලී ප්‍රශ්න කළා ය.

“හරි... අපි චෙස් ඉගෙන ගනිමු!“

මම ඇයටත්, සෙසු දරුවන්ටත් කීවෙමි.

Thursday, December 6, 2012

චෙස් ශූරයෝ


(2012 අ‌ප්‍රේල් මස 30 වැනිදා) 

විදුලි දුම්රියේ මැදිරියක ඉහළ මාලයේ කවුළුවක් අසළ ආසනයේ අසුන්ගත් මම සතුටින් වටපිට බැලීමි. මධ්‍යම දුම්රියපළේ වේදිකාංගන කොපමණදැයි මා හරිහැටි දන්නේ නැත. දුම්රිය ගමනට පෙර ගමනාගමන විස්තර ලබාගත හැකි පරිගණක වෙබ් අඩවියෙන් දුම්රියේ වේලාව සොයාගත් මම මෙහි පැමිණියෙමි.

නවාතැනේ බිම් මහලෙන් පසුපස වීදියට බැස ඉදිරියට යාර කිහිපයක් ගිය තැන දුම්රිය පළේ උතුරු පිවිසුම කරා දිවෙන උමං පදික මග හමුවෙයි. මීටර දෙසියයක් පමණ දිග උමග නිරතුරු ජනයාගෙන් පිරී පවතින අතර අනේක විධ වීදි ගායක හා වාදක සමූහයාගෙන්ද ඒ පෝෂිතව පවතී. ආරම්භක පිවිසුමෙහි දී ඔබ අසන්නේ බටහිර ගීයක ගිටාර අනුවාදනයක් වෙද්දී මධ්‍යයට වන්නට ඒ දිගු ඇබරොජින නලාවක හඬක් හෝ චීන තත් භාණ්ඩයක හඬක් වනු ඇත. පිවිසුමෙන් ඉදිරියට පිය ඔසවද්දී උස් හඬින් නැගෙන මියුරු කටහඬකින් බටහිර ගීතයක නද අසන්නට හෝ මිහිරි කාන්තා හඬ එකතුවකින් ඉන්දීය භජන් ගී පද අසන්නට ඔබට ඉඩ නොලැබෙන කාලයක් එළඹෙන්නේ ඉඳහිට ය. මේ හැම අතර වදනකුදු මුවින් නොබැන නිහඬව තම කරදාසි මල් සකසන අයෙකු ද ඔබ ඉදිරියේ දෘශ්‍යමාන වන්නට ඉඩ ඇත.

සිඩ්නි ගමනාගමන වෙබ් අඩවියට ඔබේ පදිංචි ලිපිනය හා යායුතු ලිපිනය ඇතුලත් කර විමසීමෙන් ඉක්මණින්ම එහි ළඟාවිය හැකි ගමන් විස්තර ක්ෂණයකින් ඔබ අතට පත් වෙයි. ඔබේ නවාතැනේ සිට ආසන්නතම බස් නැවතුමට හෝ දුම්රිය පළට යා යුතු මග විස්තරය, අදාල බස් රථවල අංක හා ඊළඟ බස්රිය එහි ළඟා වන වේලාව, දුම්රිය අංගනය හා දුම්රිය පැමිණෙන වේලාව, ඔබ ගමනාන්තයේ බැසිය යුතු බස් නැවතුම හෝ දුම්රිය පළ, එහි සිට ඔබ පාගමනින් යා යුතු මාර්ගය ආදී සියල්ල මුද්‍රිත පිටපතක් ලෙස අත තබාගෙන හෝ සටහන් කරගෙන මගට බැසීමෙන් සියල්ල සරලව සම්පූර්ණ කෙරෙනු ඇත. ගමනාන්තය කරා ඔබ ළඟාවන වේලාව ඇතුළු සියළුම කාල සටහන්ද ඔබ අත වන බැවින් ප්‍රමාද වෙතැයි බිය වන්නට හේතුවක් නැත. මේ සියල්ලම පසෙක ලා ඔබ මහමගට එන්නේ මෝටර් රථයකින් නම් කළ යුතු වන්නේ රථයට නැග ගමනාන්තයේ ලිපිනය ජී.පී.එස් යන්ත්‍රයට ලබා දීම පමණි. සැටලයිට් තාක්ෂණයෙන් සහය ලබන යන්ත්‍රය රථය පැදවිය යුතු මාර්ගය අවසානය තෙක්ම ඔබට පෙන්වා දෙනු ඇත.

මම දුම්රියට ගොඩවැදුණේ 18 වන වේදිකාංගනයෙනි. භූගත මාර්ග පද්ධතියක් සමග මෙහි තිහකට ආසන්න වේදිකා ඇතැයි මට අනුමානයෙන් සිතේ. පැමිණ දෙමසක් ගතවෙමින් පැවති නමුත් දුම්රිය පළ මට තවමත් තදින් හුරු පරිසරයක් වී නැත.

සුපුරුදු ‘දොර වසා දැමෙන බව‘ කියැවෙන පටිගත නිවේදනය කණ වැකුමත් සමග දුම්රියේ පිවිසුම් දොරටු වැසී ගියෙන් සෙමෙන් දුම්රිය ඉදිරියට ඇදෙන්නට විණි.  පුළුල් වේදිකාංගනයේ විහිද විසිරුණු දුම්රිය වේදිකා වෙත ප්‍රවිෂ්ට වන මෙන්ම පිටව යන තවත් දුම්රිය කිහිපයක්ම කවුළුව තුළින් මනාව පෙනේ. මම යා යුතු බර්වුඩ් දුම්රියපළට ය. බර්වුඩ් දුම්රිය පළේ සිට විනාඩියක ඇවිද යන දුරින්, දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ, සිඩ්නි චෙස් ඇකඩමිය පිහිටා ඇත. ඊයේ සැඳෑ කළ ඇකඩමියෙන් මා වෙත ආ හදිසි දුරකථන ඇමතුමෙන් පසු, නොඉවසිල්ලෙන් අද වන තෙක් බලා සිටි මවෙත දැන් දැන් සැකමුසු චකිතයක් වැඩෙනු දැනේ.

“ප්‍රියන්ත, ඔයාගේ පළමු සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල සාර්ථකයි. හෙට හවස්වරුවේ ඇවිත් අවසන් පරීක්ෂණයට බ්‍රෙට් හමුවෙන්න“

සිඩ්නි චෙස් ඇකඩමියට චෙස් පුහුණුකරුවන් බඳවාගන්නා බව සඳහන්ව තිබූ දැන්වීමක් දැක මා ඒ සඳහා ඉල්ලුම් කළේ බොහෝ දිනකට පෙර ය. අයදුම්පත යවා දින කිහිපයකින් ඔවුහු මා කැඳවා සරල පරීක්ෂණයකට පිළිතුරු ලියන්නට දුන් හ. චෙස් ක්‍රීඩාවේ මූලිකම නීති රීති හා සිසුන්ට උගැන්වීමේ ප්‍රායෝගික ගැටළු ආදිය විමසූ එම පරීක්ෂණය කිසිදු බාධාවක් මාහට එල්ල නොකළමුත් එය නිමවා පැමිණ සති කිහිපයක් යන තුරුත් ඔවුහු යළි මා නොකැඳවූහ. යම් බාහිර කාරණාවක් නිසා මා තෝරා නොගන්නට ඇතැයි සිතා සිටි මොහොතකය, මේ කැඳවුම ලැබුණේ.

චෙස් ක්‍රීඩාව පුහුණු කරවීම මාහට ආගන්තුක කටයුත්තක් නොවේ. පාසැල් සමයේම සරත් සර්ගේ ඇරයුමෙන් මධ්‍යම පළාත් චෙස් සංගමය හා එක්ව කටයුතු කළ මම පාසැලින් සමුගත් විගස පුහුණුකරුවකු ලෙස චෙස් උගැන්ම ආරම්භ කළෙමි. නිසි පරිදි සැකසුණු වැඩ සටහනකට පුහුණු වීම්  කරවීම සඳහා මුලින්ම පාසැලක් ලෙස ලැබුණේ කෑගලු විද්‍යාලයයි. සතියේ සෑම සඳු දිනකම අම්මා සාදා දෙන බත් මුල ද සහිතව මම කෑගල්ලට ගියෙමි. නුවර සිට විත්, සැතැප්මකට වඩා දිගු කෑගලු නගරයේ ප්‍රධාන වීදිය ඇරඹෙද්දීම බසයෙන් බසින මම අසළ වූ සමූපකාර ආපන ශාලාවට ගොඩ වැදී එහි කෙළවරක වාඩි වී දිවා අහර ගෙන, පාසැල ඇරෙන කණිසමට කෑගලු විද්‍යාලය බලා කන්ද නගින්නට පටන් ගනිමි.

සවස 2.00ට පමණ ඇරඹෙන කෑගලු චෙස් පන්තියේ සියල්ලෝම චෙස් ක්‍රීඩාවට කෝඩුකාරයෝ වූහ. එසේමුත්, ක්‍රීඩාව උගැන්මට ඔවුන් තුළ වූ කැපවීමත්, නවකපුහුණුකරුවකු ලෙස ජයග්‍රහණ ලබන්නට මා තුළ වූ උවමනාවත් ඒ කෝඩුකාරකම් පරදන්නට මනා පිටුවහලක් වූ බව පෙනෙන්නට තිබිණ. මුල්ම දිනවල මා කියූ බොහෝ කරුණු අඩු වැඩි වශයෙන් මගේ චෙස් දිවිය ආරම්භයේ සරත් සර් අපට කී වචනම විය.

“චෙස් ක්‍රීඩාව හරිම සීරුවෙන් ඉගෙන ගන්න ඕන දෙයක්. අපිට දිනන්න පුළුවන් ටීම් එකක් හදන්න අවුරුදු කීපයක් යයි. හොඳ මට්ටමේ ප්ලේයර් කෙනෙක් හැදෙන්න කාලයක් ගන්නව. “

80 දශකයේ අග භාගයේ අපට මෙවදන් කියූ සරත් සර්, 92 වසර වන විට අප සමස්ථ ලංකා අනුශූරතාවය තෙක් කැඳවාගෙන ආවේ ය. අප විද්‍යාර්ථයේ කණීෂ්ඨ කණ්ඩායම ඒ වසරේ අපරාජිත ශූරයෝ වූ හ.

කෑගලු විද්‍යාලයේ සිසු පිරිසේ සිසුන් වෙත සරත් සර් දුන් උපරිමය දිය නොහැකි මුත් මා තුළ වන දැනුමින් මම ඔවුන් පෝෂණය කළෙමි. වසර තුනකින් පමණ සෙසු කණ්ඩායම් වෙත අභියෝගයක් දිය හැකි කණ්ඩායමක් කෑගල්ලෙන් නැගී ආවේ ය. දක්ෂතම ක්‍රීඩකයකු බවට සැවොම අවිවාදයෙන් පිළිගත් අමිල සමග ධනුක, සමීර, වෙදගේ, පහළවිතාන, මංචනායක, බුද්ධි වින්දන, ජගත් හා ජයන්ත දෙසොහොයුරන් ඇතුළු දක්ෂ ක්‍රීඩක පිරිසක් එහි මුල් පෙළේ විය. ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ඔවුන් වෙත නොලැබුණ ද තරගාවලි ගණනාවකම පුවරු ත්‍යාග ඇතුළු ජයග්‍රහණ දිනන්නට ඔවුහු සමත් වූ හ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇරඹෙත්ම මම කෑගලු විද්‍යාලයේ පුහුණුකරු තනතුරින් ඉවත්ව ආවෙමි. ඒ වන විට තවත් බොහෝ බාලක හා බාලිකා පාසැල් ගණනාවක පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් උන් මම පසුකාලීනව ඒවායින් ද සමුගත්තේ විශ්වවිද්‍යාල සමයේ දේශනාදිය නිසා පාසැල් වෙත යන්නට කාලය අහිමි වීම නිසාවෙනි. කෑගලු විද්‍යාලය හැරුණු විට කෑගලු බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, සීතාදේවි බාලිකා විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ඇතුළු පාසැල් කිහිපයකම පුහුණුකරු ලෙස වරින්වර කටයුතු කරන්නට මාහට අවස්ථාව ලැබිණි. පාසැල් දිවියෙන් සමුගත් විගස ලැබුණු මේ අවස්ථා හේතුවෙන් මුදල් අත ගැවසුණ ද අදද මා සතුටින් සිහි කරන්නේ මුදල් නොගෙන මා උගැන්වූ, එසේ මුත්  එහි උන් දක්ෂ ක්‍රීඩකයින් නිසා ප්‍රබල කණ්ඩායම් පවා සලිත වුණු මීගම කණිෂ්ඨ විද්‍යාලයේ කණ්ඩායම ය.

මීගම කණිෂ්ඨ විද්‍යාලය පිහිටා තිබුණේ මහනුවර නගරයේ සිට වැඩි ඈතකින් නොවේ. වත්තේගමට තරමක් ආසන්නයේ මීගම්මන ග්‍රාමය දෙසට වන්නට පිහිටා තිබුණු මීගම කණිෂ්ඨයේ දරුවන්ට චෙස් කියා දෙන්නැයි මා හට ඇරයුම් කළේ මාගේ ඥාති සොයුරකු වූ අජිත් අයියා ය. ඔහු එවක එම විද්‍යාලයේ විද්‍යා -ගණිත ගුරුවරයා ලෙස සේවය කළේ ය.

“මල්ලිට පුළුවන් නම් අපේ ළමයින්ටත් චෙස් ටිකක් කියල දෙන්න. සල්ලි ගෙවන්න පුළුවන්කමක් ඒ ළමයින්ටවත්, ඉස්කෝලෙටවත් නැහැ. මම ඔයාට බස් වියදම හරි හදල දෙන්න බලන්නම්“

ඔහුගේ ඉල්ලීම පිළිගෙන එහි ගිය මුල්ම දිනය අදද මට හොඳින් මතක ය. ආගන්තුක ක්‍රීඩාවක් කියා දෙන්නට ආ අපූරු අමුත්තා දෙස බියමුසුව මුත් හිතවත්ව බැලූ දෑස් ගණනාවක් එදා මවෙත දැල්වී තිබිණ. මුලින්ම මම ඔවුන් වෙත චෙස් කියාදීම ආරම්භ කළේ විශාල විශ්වාසයක් සහිතව නොවේ. මගේ පාඩමෙන් අනතුරුව ඒ යළි විමසන්නට නිවසේ චෙස් පුවරුවකුදු නොමැතිව මේ කුඩා උන් කෙසේ තරගය වටහා ගන්න ද? අපහසුවෙන් සොයා ගත්, විවිධ හැඩගත් ඉත්තන් සහිත පුවරු කිහිපයක් වටා රොක්ව සිටි ඔවුනට මම මුලින් ක්‍රීඩාව හඳුන්වා දුන්නෙමි. එහෙත් ඉදිරි දින කිහිපය තුළ සිදුවන්නට ගත්තේ නොසිතූ විරූ දෙයකි.

පන්තියට ආ සියල්ලන්ම එකහැර චෙස් ක්‍රීඩාව ග්‍රහණය කර නොගත්තේ නමුත් කිහිප දෙනෙක්ම තදින් එය වැළඳගන්නා බවක් පෙනෙන්නට තිබිණි. ඉක්මණින්ම මේ පිරිසෙන් කණ්ඩායමක් බිහි කළ හැකි බවටත්, නගරයේ වැජඹෙන පාසැල් සුණු කරන්නට මොහොතක් එනු ඇති බවටත් අජිත් අයියා තුළත් මා තුළත් විශ්වාසයක් ඇති වන්නට විය. එය ඉහළටම නංවන්නට හේතු වූයේ ඒ වන විට නව වියැති කුඩා සිසුවකු වූ නාමල් ය.

පුවරුව තබා තිබෙන මේසයට යන්තම් උස තිබූ නිහඬ කුඩා දරුවකු වූ නාමල් කල්පනාකාරීව බලා සිට සිදුකරන ඇදීම් සැබවින්ම විශ්මයජනක විය. මීගමින් බිහිවන නාමල් සම වයස් අනෙත් දරුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් වන බව අපට වැටහෙන්නට වැඩි දිනක් ගත වූයේ නැත. ඇදහිය නොහැකි වේගයකින් තරගය වටහාගත් ඔහු නොබෝ කලකින්ම පාසැලේ වැඩිහිටි ශිෂ්‍යයන් බහුතරයකට පැරදිය නොහැකි දක්ෂයකු වූයේ ය.


දරුවන්ට මහත් සෙනෙහසින් සැලකූ පාසැලේ විදුහල්පතිවරයාගේ ද, අජිත් අයියාගේ ද, මගේ ද බලාපොරොත්තු එලෙසින්ම සඵල කර දෙමින් නාමල් ඊළඟ වසරේ 10න් පහළ මධ්‍යම පළාත් ශූරයා ලෙස අභිශේක ලැබුවේ ඔහුට ඔසවාගත නොහැකි තරමේ කුසලානයක් අත දරමිනි. එවර කණ්ඩායම් තරගාවලියේදී මීගම කණිෂ්ඨ කණ්ඩායම ඉදිරියේ සැලුණු බොහෝ කණ්ඩායම් නාමල්ගේ තරගය ජයගන්නට සිය ක්‍රීඩකයින් වෙත දුන් එඩිය පිළිබඳ පසුව පසුතැවිලි වූ හ. වසර දෙක තුනකින් මීගම කණිෂ්ඨය පළාතේ සැලකිය යුතු කණ්ඩායමක් බවට පත් විය. 

ආසන්නයේ මහා විද්‍යාල තිබියදීත්, කිලෝ මීටර දහය දොළහක දුරින් මහනුවර නගරයේ පාසැල් පිහිටා තිබියදීත් මීගම කණිෂ්ඨයට සිය දරුවන් ඇතුළු කළේ ප්‍රදේශයේ දිළිඳුම දෙමාපියන් ය. දරුවන්ට අමතර ක්‍රීඩාවකට පහසුකම් දෙනු තබා එදිනෙදා අහර සකසා දෙන්නට වුව ඒ මාපියන් ඉමහත් වෙහෙසක් දැරුවාට සැක නැත. කණ්ඩායම නිසි පරිදි පවත්වාගෙන යන්නට, දිනපතා වියදම් දරා ඔවුන් තරගාවලි වෙත රැගෙන යන්නට අපට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. ඇතැම් තරගාවලි සඳහා ගමන් වියදම් සොයා දුන්නේ ගුරු මණ්ඩලයේ මැදිහත් වීමෙනි. එසේ වුවද ඇතැම් තරග දිනවල කණ්ඩායම නුවරට ආවේ එක් අයෙකු හෝ දෙදෙනෙකු නැතිව ය.

“ඇයි දන්නෙ නැහැ... සුනෙත්, දසුන් දෙන්නම අද නැහැ...“

පසු දින අප හමුවේ බිමට නැමෙන ඒ කුඩාවුන්ගේ දෙනෙත් හමුවේ මමත්, අජිත් අයියාත් වදනකුදු නොකීවෙමු. අප කුමක් කියන්න ද? ඇතැම් විට ඔවුන් තාත්තා හෝ අම්මා සමග දිවි සටනට උර දෙන්නට ගියා වන්නට ඉඩ ඇත. නොවන්නට බැරි කිසිවක් ඒ දරුවන් හමුවේ නොතිබිණ.

මාගේ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු ක්‍රමිකව ඉහළ නැග එත්ම අජිත් අයියාට ද වෙනත් විද්‍යාලයකට මාරුවක් ලැබිණ. ක්‍රමිකව අඩපණ වූ මීගම ගමන ටික දිනෙකින් නැවතී ගියේ ය. තරගාවලි අතරතුර මීගම දරුවෝ හමුවීම ද අඩුව ගොස් නැති වී ගියේ ය.

එක්තරා සැඳෑවක නිවසට ආ මවෙත ආ අම්මා, මා නමට ලිපිනය ලියූ ලියුම් කවරයක් මවෙත දිගු කළා ය.

“අද උදේ ඇවිත් තිබ්බෙ. පුතාට ලියුමක්!“

නන්නාඳුනන අත් අකුරු වුවද ලිපිය මා නමට විය. මම එය කඩා කියවන්නට වීමි.

“ප්‍රියන්ත අයියේ...“

වසර කිහිපයක් මීගම කණිෂ්ඨයට චෙස් කියා දෙන්නට එහි ගිය මා කිසි දින ඔවුන් වෙත පෙනී සිටියේ පුහුණුකරුවකු ලෙස නොවේ. ඔවුන් සැමවිටම මා ඇමතුවේ ‘අයියා‘ කියා ය. ‘ප්‍රියන්ත අයියේ‘ යනුවෙන් අමතා ලිපිය මා වෙත ලියා තිබුණේ නාමල්ගේ වැඩිමහළු සොයුරු සමන් ය. ඔහු එවකට නවවන වසරේ පමණ උගත් අතර කණ්ඩායමේද ක්‍රීඩා කළේ ය.

ලිපියේ අන්තර්ගතය වචනයක් හැර මා මතකයේ නැති මුත් ඔහු ඒ ලියා තිබුණු ප්‍රධාන කරුණු මාහට හොඳින් මතක ය. වසර දෙක තුනක කාලයක් තුළ මීගම කණිෂ්ඨයේ චෙස් ක්‍රීඩාව පැමිණි ජයග්‍රාහී මග එහි සටහන්ව තිබිණි. ලිපිය කෙළවර වූයේ යළි මීගමට එන්නට යැයි මවෙත කළ ආරාධනයකිනි. දෙනෙතට කඳුළු ඉනූ ඔහුගේ අවසන් වදන් පෙළ, නිවැරදි කර දෙන්නට යන්නට යළි වරමක් නොලද යමක් ලෙස අදද ප්‍රබලව මසිත තැන්පත්ව ඇත‍.

“අයියේ... නාමල්ල හම්බ වුණේ එක් කෙනයි... තව කීදෙනෙක් මෙහෙ ඇද්ද? අයිය ආය එන්න“

කෙතරම් වේදනාවක් දැණුනද ඔවුන්ගේ ඉල්ලීම සපුරමින් යළි එහි යන්නට මට ඉඩක් නොලැබිණ. අපට සහාය දැක් වූ හිතවත් විදුහල්පතිවරයා ද ඒ වන විට වෙනත් විද්‍යාලයකට ගොස් සිටි අතර  නිදහස් කාලයක්ද සොයාගන්නට මටද ඉඩක් නොවිණ.

සිඩ්නි ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ලෙස තමන්ව හඳුන්වා දුන් බ්‍රෙට් මාගේ දැනුම පරීක්ෂා කරන්නට මා සමග තරග වදින්නට තීරණය කළේ ය. වසර කිහිපයකින්ම පුවරුවක් අභියසට නොආ මගේ ප්‍රධාන ඉත්තකු නොබෝ වේලාවකින් බ්‍රෙට්ගේ ප්‍රහාරයකින් කැපී ගියේ ය. මාගේ දුර්වලතාවය නිසා රැකියාව නොදෙනු ඇතැයි යන වේදනාවෙන් යුතුව මම තරගයේ පරාජය භාර ගතිමි.

“ඔබ හොඳට සෙල්ලම් කළා. මම හිතන්නෙ ඔබට පුළුවන් මේ රස්සාව කරන්න. ඔබගේ සුදුසුකම් හොඳයි... “

“ඒත්... මම මේක පැරදුණානෙ. නයිට් කෙනෙකුත් කැපුණ. “

බ්‍රෙට් සිනාසුණේ ය.

“අහ්.. ඒක වැදගත් නැහැ. කාලයක් චෙස්වලින් ඈත් වෙලා ඉඳල ඔයාට එකපාරටම බැහැනෙ ෆිඩේ මාස්ටර් කෙනෙක්ව පරද්දන්න. මම ෆිඩේ මාස්ටර් කෙනෙක්!“

යළි ඇකඩමියෙන් පිටතට පැමිණි මම ‘හන්ග්‍රි ජැක්‘ ආපන ශාලාවෙන් බර්ගරයක් මිළට ගෙන එහි කුඩා මේසයක් වෙත ගියෙමි.  වසර ගණනාවකට පෙර කෑගල්ලේ සමූපකාර හෝටලයේ කෙළවර මේසයක සිට දිවා අහර ගෙන අරඹන්නට ගිය චෙස් පන්තිය හරහා පැමිණි අමතර රැකියාවක් යළිත් මා අභියස සූදානමිනි. ඕස්ට්‍රේලියානු පාසැල්වල කුඩා දරැවන් හෙට මට හමුවනු ඇත. අතීතයේ දිනෙක අම්මා මවෙත තැබූ ලිපියේ සමන් ලියා තිබූ වදන යළි මනසෙහි දෝංකාර දේ.

“අයියා ආයෙත් එන්න!“

මුදල් නොමැතිව වසර කිහිපයක් මම මීගම කණිෂ්ඨයට ගොස් චෙස් කියා දී පැමිණියෙමි. සිඩ්නි චෙස් ඇකඩමිය මෙහි දිවි රැකගන්නට තරම් මුදලක් මවෙත ගෙවන්නට සූදානම් ය. පෙරදින මනසේ පැවති පීඩනය කෙමෙන් තුරන් වෙමින්  පවතී. එහෙත් නොදන්නා ඉමෙකින් නැගෙන මේ වේදනාව කුමක් ද?  


Wednesday, November 14, 2012

මැලේසියානුවෝ


(2012 අප්‍රේල් 29 වැනිදා)


පැරණි ඉංග්‍රීසි බලකොටුවක සිරිය පළ කරමින් චතුරශ්‍ර ගොඩනැගිල්ල පසෙකින් දිස්වෙයි. සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඇති පැරණි ගොඩනැගිලි අතර මුල් තැනක් හිමිව තිබුණේ චතුරශ්‍ර ගොඩනැගිල්ලට ය. ගුරු පැහැ, මහල් ගොඩනැගිල්ලේ සිරිය තවත් ඉහළ නගින්නේ එහි පෙරබිමෙහි විහිද යන පිටිය නිසාවෙනි. කොළ පැහැ තෘණ පිරි පිටිය කෙළවරට වී, වික්ටෝරියා උද්‍යානය දෙස සිට, චතුරශ්‍ර ගොඩනැගිල්ලෙහි අලංකාරවත් ගෘහ නිර්මාණය විඳින්නට සිතුවිල්ලක් පහළ වුව ද කටුක ශීතල විවෘත බිම වෙත යාමට ඇති උවමනාව හීන කරයි. මම වාඩි වී සිටියේ ෆිෂර් පුස්තකාලය ඉදිරිපස පිහිටි ගස වටා තනා තිබූ බැමි කඩෙහි ය. නෝමන් තවත් මොහොතකින් මෙතනට පැමිණීමට නියමිත ය.

මම නෝමන් දැක තිබුණේ නැත. මොහොතකට පෙර දුරකථනය හරහා මා ඇමතූ ඔහු මෙම ගස අභියස දී මුණ ගැසෙන්නට එකඟ විය. ඇවිද යන සිය ගණනක් පිරිස් අතරින් මතු විය හැකි අමුත්තා කවරකුදැයි යන කුකුස සහිතව මම වටපිට බලන්නට වීමි.

සිඩ්නි විශ්වවිද්‍යාලයට පය තබා දෙමසක් ගත වෙමින් තිබුණ ද දහස් ගණන් සිසු පිරිස් අතර තවමත් මා ඇවිද යමින් උන්නේ ආගන්තුකයෙකු ලෙස ය. පර්යේෂණ කාර්යයක නිරතවන පශ්චාත් උපාධි ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාලයේ දී මිතුරකු ඇති වීම අතිශය විරල සිදුවීමකි. එසේම ආසියාතිකයින් ලෙස මෙහි එන අප වැන්නන් සුහදව පිළිගෙන සිය මිතුරු සමාගමයන් වෙත කැඳවා යන ඕස්ට්‍රේලියානුවන් හමුවීම බලාපොරොත්තු විය හැක්කක් නොවේ. සිඩ්නියේ බහුල ව හමුවන චීන සිසු සිසුවියෝ ආවේණික චීන සමාගමයන් නිර්මාණය කරගෙන සිටි අතර අඩු වැඩි වශයෙන් වෙනත් දේශවාසීන් ද එවැනි මිතුරු සමාජ පිහිටුවා ගෙන තිබිණි. චතුර ලෙස ඉංග්‍රීසිය වැහැරිය හැකි, පළමු උපාධිය සඳහා ඉගෙන ගන්නා තරුණ තරුණියන් අතර පමණි, දේශ සීමා ඉක්මවා ගිය දැඩි මිතුරු හමු දක්නට ලැබුණේ.

පශ්චාත් උපාධි සිසු සිසුවියන් අතර සමීප මිතුරන් බිහි නොවන්නේ ය යන අදහස එයින් තීන්දු නොකෙරුණ ද ඒ සඳහා වන සීමාකම් ඊට දැඩි ලෙස බලපෑම් එල්ල කළේ ය. තමන් විසින්ම තෝරාගත්, නිශ්චිත අධ්‍යයන මාතෘකාවක් යටතේ පූර්ණකාලීනව අධ්‍යයන කාර්යයකට කාලය වෙන් කර සිටින්නකු සිය සීමාසහිත කාල වකවානුව තුළ මිතුරු සමාගමයකට ආරාධනා කරන්නේ කලාතුරකින් මොහොතක ය. ඒ ද, සිය විෂයය ලෝකයට හෝ ආත්මීය සබඳතාවන්ට හෝ දැඩි ලෙස පෑහෙන යමකු හමු වූ විට ය. සිය දහස් ගණන් සිසු සිසුවියන් අතර එවැනි සමානකම් ඇති කෙනෙකු හඳුනාගන්නට ලැබීම අපහසු වන්නේ විදේශයක සිට මෙහි ආ විගස එවැනි පිරිස් හමුවන්නට විශේෂ පීඨිකා නිර්මාණය වී නොමැති නිසා ය.

“ප්‍රියන්ත... අඳුනගන්න වටින, ගොඩක් හොඳ කෙනෙක් ඉන්නව කල්චර්ල් ස්ටඩීස් එකේ. එයාගෙ නම නෝමන්. වෙලාවක අපි තුන් දෙනා මුණ ගැහෙමු කෑමකටත් එක්ක...“

මා මෙහි පැමිණි විගස ලලීන් මා වෙත කියූ ඉහත ප්‍රකාශය ක්‍රියාවට නැගීමට ඉඩක් නොලැබුණේ ඇයට වැඩ අධික වූ නිසා ය. නෝමන් සහ මා මුණගැස්වීමට එකිනෙකාට ඊමේල් පණිවුඩ ගණනාවක් එවූ ලලීන් අවසානයේ මෙවන් පණිවුඩයක් එවා තිබුණා ය.

“ඇයි ඔය දෙන්න හම්බ වෙන්නෙ නැත්තෙ? කෝපි කෝප්පයක් බීල හඳුනගන්න මම එනකම්ම ඉන්නව ද?“

සිඩ්නි විශ්වවිද්‍යාලයේ මා තනිවෙතැයි යන බියෙන් මා ගැන සොයා බැලූ මාගේ උපදේශකවරියගේ පෙර කී ප්‍රකාශයෙන් පසු මම නෝමන්ට දුරකථනයෙන් ඇමතීමි.

“හඳුනාගන්න ලැබුණු එක සතුටක් ප්‍රියන්ත... අද හවස තුනට ෆිෂර් ලයිබ්‍රරි එක ළඟදි හම්බ වෙමු!“

වේලාව තුන පසුවෙමින් පැවතිය ද නෝමන් කෙනෙක් පෙනෙන්නට නැත. ලලීන් මවෙත දන්වා තිබූ පරිද්දෙන් ද, නෝමන්ගේ ඊමේල අනුවද ඔහු මැලේසියානුවෙක් බව මම දැන සිටියෙමි. එහෙත් ඔහු කිනම් වයසක පසුවන්නෙක් ද යන්න හෝ මැලේ ජාතිකයෙක් ද නැතිනම් වෙනත් කවරෙක් ද යන්න පිළිබඳ අදහසක් මවෙත ලැබී තිබුණේ නැත.

මැලේසියාව මට දුරස්ථ රාජ්‍යයක් හෝ මැලේසියානුවන් මට දුරස්ථ පුද්ගලයින් නොවේ. පේරාදෙණියේ පළමු උපාධිය හැදෑරූ සමයේ, මා දෙවන වසරේ ශිෂ්‍යයකුව සිටිය දී මගේ පළමු විදෙස් සංචාරය යෙදුණේ මැලේසියාවට ය. ‘මහා ආසියානු චෙස් අභියෝගතාවය‘ ලෙස නම් කර තිබූ ආසියානු අන්තර් විශ්වවිද්‍යාලයීය චෙස් තරගාවලිය සඳහා සහභාගි වූ පේරාදෙණි කණ්ඩායමේ සාමාජිකයකු ලෙස එහි ගිය ගමන සුන්දර සැමරුම් ගහණ වූවකි
විශ්වවිද්‍යාලයකින් අවම සිවුදෙනෙකුගෙන් සමන්විත හෝ උපරිම සය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කළ හැකි තරගාවලිය තනිව තරග වැදිය යුතු, නමුත් අවසානයේ කණ්ඩායම් ලකුණු ගණනය කළ සුවිශේෂ රටාවක් සහිත වූවකි. තරග වට 09කින් යුක්ත වූ එය සංවිධානය කර තිබුණේ ක්වාලාලම්පූර් නුවර, මලයා විශ්වවිද්‍යාලයේ, දෙවන නේවාසික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි.

“මේක අපේ නිවාඩු කාලයට අදාල ව්‍යාපෘතියක්! තනිකරම ස්ටුඩන්ට්ස් ප්‍රොජෙක්ට් එකක්!!“

තරගාවලියට ගොස් දින දෙක තුනකින් එහි සංවිධාන පසුබිම විස්තර කරමින් එලන් කී බස අසා අපි විශ්මයට පත් වීමු. එලන් අපේ කණ්ඩායම භාර ව සිටි මග පෙන්වන්නා ය. ඔහු මලයා විශ්වවිද්‍යාලයේ තෙවැනි වසර සිසුවෙකි. ද්‍රවිඩ තරුණයකු වූ එලන් අප කණ්ඩායමට මග පෙන්වද්දී කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායමේ මග පෙන්වන්නිය වී සිටියේ භාරතී ය. ඇය ද ද්‍රවිඩ තරුණියක් වූ අතර එලන් ඇය පිළිබඳ සිතකින් පසුවීම මෙම කාල සමය තවත් සුන්දර කරන්නට හේතු විය. ඇය සිත දිනාගන්නට ඔහු දරණ උත්සාහයත්, ඇය ඒ ප්‍රතික්ෂේප කරමින් උන් ස්වභාවයත් එලන් - භාරතී පුවත පිළිබඳ අප අතර සාකච්ඡා ඇති කිරීමට හේතු සාදා දුන්නේ ය.


තරගාවලිය අතරතුර මලක්කාවට...
මැලේසියාවේ ප්‍රධාන ජන වර්ගය වූ මැලේ ජාතිකයින් ද අප සමග මිතුරු සමාගම් පැවැත්වුව ද වඩාත් සමීප වූයේ එලන්, භාරතී ඇතුළු ද්‍රවිඩ මිතුරු පිරිසකුත්, චෑන් වැනි නමක් සහිත විනි යැයි මගේ මතකයේ ඇති තරුණයකු ප්‍රමුඛ චීන සිසු සිසුවියන් පිරිසකුත් ය. දින දහයක තරග සංචාරය අතරතුර වූ විවේක, ආසන්න ක්වාලාලම්පූර් නගරය  පමණක් නොව මලක්කාව වෙත පවා යෙදුණු ගමන්වලින් සමන්විත වූ අතර සමවයසැති විදේශ විශ්වවිද්‍යාල ගණනාවක මිතුරු මිතුරියන් හඳුනා ගැණුනු අවස්ථාවලින් පිරී පැවතියේ විය. එලන් එහි දී හමුවූ, දින දහයකට සීමා වූ මුත් මතකයේ දැඩිව රැඳුණු මිතුදමක් තබා පිටව ගිය අයෙකු විය.

තරගාවලිය සඳහා මැලේසියාවට පය තැබූ මොහොතේ සිට අප හා එක්ව ආ එලන් මුල් දිනවල කරදරයක් ලෙස දුටු ඇතැම් මිතුරෝ, තරග වටවලින් අනතුරුව නේවාසිකාගාරයට වී සිටින විට සිදුවන ඔහුගේ ආගමනයන් නොරිස්සූ හ. එහෙත් කෙමෙන් ඔහු අප සහෘදයකු බවට පත් වන බව පෙනෙන්නට තිබිණි. සිය බටනලාව රැගෙන ආ එලන් අප වෙනුවෙන් ඒ වාදනය කළ අතර නොලැබෙන ප්‍රේමයේ වේදනාකාරී අත්දැකීම් දෙස උපේක්ෂාවෙන් බලා සිනාමුසුව ඒ අප හා බෙදා ගත්තේ ය.

“ඊළඟ ගේම් එකත් කොහොම හරි දිනපං මචං... උඹව පරද්දන්න බැරි වෙයි මේ කාටවත්!“

‘මචං‘ යන වදන යොදමින් නිතර අප ඇමතූ එලන් මෙලෙස මා දිරි ගැන්වූයේ තරගාවලිය අතරමැද ඔහුගේම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩකයකු මට එරෙහිව තරග වැදීමට නියමිත වූ මොහොතක ය.

“එලන් ඔය ඇත්තටම ද කියන්නෙ... මට හම්බ වෙන්න යන්නෙ ඔයාගෙ කැම්පස් එකේ කෙනෙක්..?“

“ඔව් මචාං... එයා මගේ කැම්පස් එකේ වුණත් මම දැන් උඹේ කැම්පස් එකේ..!! මට ඕන උඹ දිනනව දකින්න..!“

ඔහු මා සුරත දැඩිව ගෙන සුභ පතමින් කීවේ රැවටිලි බසක් නොවන බව මට ඒත්තු ගියේ ය. 

සැබවින් ම විශිෂ්ට කණ්ඩායම් රැසකින් සමන්විත තරගාවලිය ජය ගැන්ම අපේ සීමාවෙන් ඔබ්බෙහි වූ අතර සමස්ථ තරගාවලියේදී අප ලැබුවේ නවවන ස්ථානයයි. මනස හා කෙරෙන දීර්ඝ ව්‍යායමයක් වන චෙස් තරගයකදී හිමි වන පරාජයක් දැඩි වේදනාවක් උරුම කරන්නකි. ඒ විඳ ගන්නට මනස පුහුණු කිරීම යනු මහත් ලෙස සිත පාලනය කර ගැනීමකට උගැනීමකැයි අද මට හැඟේ. ජයග්‍රහණය පෙනී තිබිය දී ගිලිහී යන ඇතැම් තරග අවසානයේ දැනෙන දැඩි වේදනාවෙන් අප නැගී සිටින මොහොතවලදී දැඩිව අප සුරත ගෙන සොලවමින්,

“කමක් නැහැ මචං... අපි ඊළඟ ගේම් එක දිනමු... උඹ මේක හොඳට කළානෙ...“ කියන්නට නිතරම එලන් අප අසල සිටියේ ය.

අප තරගයක යෙදෙන විට ඔහු ඒ දෙස බලා සිටි උනන්දුසහගත ස්වභාවය නිසාවෙන් එක් සවස්වරුවක මම ඔහුට සුහද තරගයකට ඇරයුම් කළෙමි.

“අපොයි මචාං... මට චෙස් තේරෙන්නෙ නැහැනෙ... මම නිකං බලා ඉන්නෙ... මම ඉන්න එපායැ උඹලත් එක්ක...“

තමන්ට කිසිදු අදහසක් නොමැති ක්‍රීඩාවක් සඳහා පැමිණ සිටින විදෙස් ක්‍රීඩක පිරිසක් හා බොහෝ වේලා ගත කරමින් ඔහු කළ මෙහෙය පිළිබඳ මට දැඩි ගෞරවයක් ඇති වූයේ වෙනත් විශ්වවිද්‍යාල කණ්ඩායම් භාර ව උන් මග පෙන්වන්නන් එසේ නොරැඳෙන බව දැනගත් විට ය. 

“එලන්.. සමාවෙන්න... මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි... ගොඩක් වරදිනව ඇති මම කතා කරනකොට...“
එහි ගොස් දිනයකින් දෙකකින් මා කී බස අසා ඔහු නළල රැළි ගැන්වී ය.

“අපොයි නැහැ මචං... උඹගෙ ඉංග්‍රීසි ගොඩක් හොඳයි...“

මාගේ භාෂා ඥාණය පිළිබඳ නිසි තක්සේරුවක් මා තුළ වුවද ඔහු කී වදන් පෙළ තුළ වූ දිරි ගැන්වීම සංචාරය පුරා නිර්භයව අනෙකකු හා කතා කිරීමට අවකාශය සැකසී ය.

කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායමේ සිට එකම සාමාජිකාව වූ සරා සුන්දර තරුණියකැයි නිතර කියූ එලන්ට ඇය වර්ණනා කරමින් ගයන්නට සිංහල ගීතයක් උගැනීමට අවශ්‍ය විය. එලන්ගේ කවටකම්වලට තවත් රසයක් එක් කරන්නට සිතූ අප කණ්ඩායමේ නිශාන් ඔහුට උගැන්වූයේ ‘කොන්ද නමාගෙන - හැරමිටි ගහගෙන‘ ගීතයයි. කෙසේ මුත් සරා ඉදිරියට යාමට පෙර එහි අර්ථය සොයාගත් එලන් යළි අප සොයා ආවේ ය.

“ලිය තඹරා.... මුදු කුෂුමකි හෑ....“


ඔහු ආයාසයෙන් උගත් පද අපූරු උච්චාරණ රටාවක් සහිතව ගයද්දී කොළඹ කණ්ඩායමේ සිටි සියල්ල පටලවා ගන්නා මිතුරකු වූ අමිත,
“ෂා.... මරුනෙ... ආයෙ කියන්න බලන්න...“ යනුවෙන් සිංහලයෙන්ම ඔහුගෙන් ඉල්ලීමක් කළ සැටි කලක් යන තුරු මිතුරන් අතර කියැවෙන අතීත විකට ජවනිකාවක් බවට පත් විය.

දින දහයක කාලය අවසානයේ ක්වාලාලම්පූර් ගුවන් තොටේදී අප ඔවුන්ගෙන් සමුගත්තේ දැඩි කණගාටුවකිනි. එකකුස උපන් සොයුරියකගෙන් සමුගන්නා වේදනාවකින් භාරතී, අප කණ්ඩායමේ ජයනි හා කොළඹ පිලේ සරා වැළඳගෙන හඬා වැළපුණු අයුරු මට අදද සිහිකෙරුම අපහසු නැත. පිටත්වීමේ පර්යන්තයේ අවසානය තෙක්ම ඇවිද ආ එලන් අප උණුසුම්ව වැළඳ ගනිමින් සමුගත්තේ ය.

“ගිහිං වරෙන් මචාං...“

කඩවසම් පෙනුමැති ඒ අපූරු තරුණයා දිවියේ කිසිදු දිනක යළි දකින්නට ලැබේදැයි යන්න සැක සහිත වුව අපි හමුවීමකට සපථ කර ගත්තෙමු. දින දහයක සහෝදර සෙවුම් බැලුම් හා බැඳීම් අපේ වෙන්වීම නොවිය යුත්තක් යන සංඥාව අප වෙත එවා තිබිණි.

දැනට වසර දහතුනකට පෙර සමුගෙන ආ එලන් යළි මා දුටුවේ නැත. අද ඔහු කුමක් කරමින් කොහෝ සිටින්නේ ද, ඔහු භාරතීගේ පෙම ජයගත්තේ ආදී නොයෙක් ප්‍රශ්න ඇතැම් විට සිතුවිලි මාත්‍ර ලෙස මවෙත නැඟේ.

“මේ ප්‍රියන්ත වෙන්න ඕන... මම නෝමන්... ඉතින් කොහොමද?“

එතරම් නොඋස්, දළ රැවුලකින් හෙබි, කළු ඇඳගත් තරුණයෙක් මා අභියස පෙනී සිටියේ ය. සුදුවන් සමත්, රවුම් මුහුණත් ඔහු මැලේසියානු චීන වැසියෙක්ද යන කුකුස මවෙත ගෙනාවේ ය. අපි මැනිං පාර දිග ඇවිද ගොස් මැනිං හවුස්හි පිහිටි විශ්වවිද්‍යාල ආපන ශාලාවකින් කෝපි මිළට ගන්නට තීරණය කළෙමු. ලාංකිකයන් හෝටලයක බිලක් මිතුරාට පෙර ඉදිරිපත්ව ගෙවනු හා සමානව ම, මා නවතමින් නෝමන් කෝපි හා කේක් පෙති සඳහා වූ බිල්පත ගෙවන්නට ඉදිරිපත් විය.

“ඉතින්...? කොහොමද ඕස්ට්‍රේලියාව ඔයාට හොඳට සළකනව ද? හරිම සතුටුයි ප්‍රියන්ත හමුවෙන්න ලැබුණු එක... සිනමාව ගැන ගැඹුරින් කතා කරන අය හම්බවෙන එක මෙහෙදි හරිම කලාතුරකින් වෙන දෙයක්.... ආ... අනික මම හරිම කැමතියි ලංකාවෙ චිත්‍රපටිවලට... මම කිහිපයක්ම බලල තියෙනව...“


දිගු සංවාදයකට මුල පුරමින් නෝමන් කී වචන පෙළ ලලීන්ගේ යෝජනාවෙහි ප්‍රායෝගිකත්වය පැහැදිලි කර දුන්නේ ය. නෝමන් මැලේ ජාතිකයෙකි. දැඩි ඉස්ලාම් භක්තිකයෙකි. ඔහු එරට ප්‍රධාන විශ්වවිද්‍යාලයක සිනමාව උගන්වන කථිකාචාර්යවරයෙකි. සිනමාව පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් හරහා සංස්කෘතික අධ්‍යයන අංශයෙන් ආචාර්ය උපාධිය බලාපොරොත්තුවෙන් සිටි නෝමන්, ලලීන් යටතේ, සිනමා අධ්‍යයන අංශයෙන් එය ලබා ගන්නට නොහැකි වීම පිළිබඳ කණගාටුවකින් පසු විය.

“මම මෙහෙ ආපු කාලෙ ලලීන් නිවාඩු ගිහින් හිටියෙ. මම ලොකු ආසාවකින් හිටියත් මට එතන ප්ලේස්මන්ට් එකක් හදාගන්න අමාරු වුණා... ප්‍රියන්ත වාසනාවන්තයි...“

සෙමෙන්, රටාවකට අනුව වචන හැසිරවූ නෝමන් නිතරම ඔහු පිළිබඳ මා තුළ වන හැඟීම සතුටුදායකව තබන්නට වග බලා ගත්තේ ය.

“මම කැමතියි ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටිවලට... මම කිහිපයක්ම බලල තියෙනව... අනික, මට මුණගැහිල තියෙනව ධර්මසේන පතිරාජව.. එයා ආව එක වතාවක් ආරාධිත දේශනයකට...!!“

“ඕ.... ඒක නම් නියමයිනෙ නෝමන්... මගේ දැන් ස්ටඩි එකටත් ප්‍රසන්නගෙ සිනමාව අදාලයි... මම අන්ඩර්ග්‍රැජුවෙට් කෝස් එකේ අන්තිම ඩෙසර්ටේෂන් එක කළේ ප්‍රසන්නගෙ සිනමාව ගැන... මම එයාව අඳුනනව හොඳට... අනික, ඒකෙ උපදේශකවරයා වුණේ පතිරාජ සර්! එයා මගේ සිනමා ගුරුවරයා...!!!“

මගේ පිළිතුර අදහාගත නොහැකිව නෝමන් බොහෝ වේලාවක් මදෙස බලා උන්නේ ය.

“ඇත්තටම....?? මට හරිම සතුටුයි... ඔයා ඒ ගොල්ලන්ගෙ චිත්‍රපටි දැකල ඇති කියල හිතුවත් මම විශ්වාස කළේ නැහැ ඔයා ඒ ගොල්ලන්ව අඳුනනව ඇති කියල... ෂහ්... මේක නම් හරිම සතුටුදායක දෙයක්...!!“

ප්‍රසන්න විතානගේගේ නිර්මාණ කිහිපයක්ම දැක තිබුණු නෝමන් ඒ ගැඹුරින් විමසා බැලිය හැකි සිනමා ඥාණයකින් හෙබි තරුණ වියතෙක් විය. මැලේසියානු සිනමාවේ සිනමා ප්‍රභේද විමසූ ඔහුගේ පර්යේෂණය සිය රට සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුමැත්තෙකු බවටද ඔහු පත් කොට තිබුණේ ය.
“අපේ රටේ දැන් අවුරුද්දකට සෑහෙන ගාණක් චිත්‍රපටි රිලීස් කෙරෙනව. ඒත් මම හිතන්නෙ නැහැ ඒව ලංකාවෙ කලාත්මක සිනමාවෙ උසස් ගුණය පෙන්නනව කියල. ඒවගෙන් වැඩි හරියක් හරිම කමර්ෂල් වැඩ!“
සිය රට සිනමාව පිළිබඳ ඔහු කතා කළේ තරමක ලජ්ජාවකිනි.

“ලංකාවෙ සිනමාව උසස්... ඔයාලට ප්‍රසන්නල ඉන්නව. පතිරාජ වගේ දක්ෂ ආචාර්යවරු ඉන්නව...!!“


සෘණාත්මකව අප රට සිනමාව විමසීම මගේ ද සිරිත නොවේ. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් පසු අපට මහා සිනමාකරුවෙකු නැතැයි ද, ‘නිධානය‘ට කිට්ටු කරන්නට හෝ කෘතියක් තවම දැක නැතැයිද කියන බොහෝ වැඩිහිටියන් අනූව දශකයෙන් පසු සිනමා කෘති දැක තිබුණේ ද නැත. මෑත යුගයකදී මෙතෙක් බිහිවූ හොඳම ලාංකික චිත්‍රපටය ‘පුරහඳ කළුවර‘ බව ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය විසින් නම් කළ පුවත වැන්නකින් මා දෙන පිළිතුර පිළිගන්නට ඔවුන් සූදානම් බවක් පෙන්වූයේ ද නැත.

සැබවින්ම අප රට කලාත්මක සිනමාවේ මූල බීජය ‘රේඛාව‘ හරහා පැල කොට, ‘ගම් පෙරළිය‘, ‘දෙලොවක් අතර‘, ‘අහසින් පොළොවට‘, ‘ගොළු හදවත‘, ‘රන් සළු‘ ආදිය හරහා පෝෂණය කොට අග්‍ර ඵලය ලෙස ‘නිධානය‘ නිම වූ ආචාර්ය ලෙස්ටර්, අප රට සිනමාවේ පුරෝගාමි ප්‍රාඥයා ය. එසේ මුත්, මුල් පරපුරේ ඔහුගේ සිනමාවෙන් පසු, ආචාර්ය පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, නිහාල්සිංහ, තිස්ස අබේසේකර, ගාමිණි ෆොන්සේකා ඇතුළු තවත් පරපුරක් මෙය වර්ධනය කළ බවත් ප්‍රසන්න විතානගේ, අශෝක හඳහම ප්‍රමුඛ පරපුරකින් එහි තෙවැනි යුගය විකාශනය ඇරඹුණු බවත් පිළිගන්නට අප මැළි විය යුතු නැත‍. ස්වර්ණමය යුගයේ ආ, පුළුල් තිරයක විඳි ‘නිධානය‘ වැනි කෘතියක් අදටත් ඉහළින්ම නම් තබාගෙන සිටින බව සත්‍යයක් වුව, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි, සංජීව පුෂ්පකුමාර ආදීන් හරහා නැගෙන නව පරපුර නව්‍ය සිනමාවක රුව ගුණ නිපදවනු ඇත. ‘අනාගතය බෙහෙවින්ම අඳුරය‘ යන සිතුවිල්ල කිසි විට මසිත නොනැගේ. ඒ අසන තැනකදී මට සිහිවන්නේ ආචාර්ය ලෙස්ටර් විසින් ම, අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි‘ අළලා කියන ලද වදන් පෙළකි. ඔහු එය කීවේ අප රට ප්‍රමුඛතම බැංකුවක් එම කෘතියට දුන් ණය මුදල ගැන ද කණගාටුවෙන් එහි ඇගයුමක් දෙන්නැයි පත් කළ ඒක පුද්ගල කමිටුවේ සාමාජිකයා ලෙස ය.

“මේ කෘතිය විශිෂ්ඨයි... මට එදා කියන්න තිබුණු දේවලින් පස්සෙ සීමාවෙනුයි පතීල පටන් ගත්තෙ. මේ ඊ ළඟ අවස්ථාව... හඳගම කියන දේ කියන්න මම පොහොසත් නැහැ. ඒක නව පරම්පරාවක වැඩක්...!“
ආචාර්ය ලෙස්ටර්ගේම කෘති අගයමින්, ඉන් පසු සිනමාවක් නොවී යැයි සිතන පරපුරකට ඔහු දුන් පිළිතුර එයයි. පරම්පරාවන් ඉදිරියටද බිහි වනු ඇති බවත්, අපේ සීමා ඉක්මවූ ප්‍රකාශන ඔවුනතින් නිම වනු ඇති බවත් වන විශ්වාසයෙන් යුතුව මමද රැඳී සිටිමි.

සැඳෑ හිරු සිඩ්නි අහස  එළිය කරමින් උන්නේ සිතට ප්‍රීතියක් දැනෙද්දී ය. අවසන මට මිතුරෙකු හමු ව සිටී. අප රට සිනමාව ද හඳුනන ඔහු මගේ පර්යේෂණ පරාසය පවා වැටහෙන අයෙකි. ලෝක සිනමාව විෂයයෙහි ඔහු තුළ වන ඇල්ම වඩාත් සමීප මිතු දමක අඩිතාලම සාදා ඇත.

“මට සතුටුයි ප්‍රියන්ත... ගොඩක් සතුටුයි... කාලෙකින් වටිනා හවස් වරුවක් ගෙවුණ...“

ඔහු මගෙන් සමුගත්තේ යළි හමුවන්නට සපථ කරගෙන ය.

එලන්ගෙන් පසු සමීපතම මැලේසියානු මිතුරා මට හමු වී ඇත. සතුට දනවන කරුණ ඒ මිතුදම දින දහයකින් නිමා කරන්නට සිදු නොවන්නක් වීමයි.