Tuesday, July 9, 2013

ජූනි සහ ජූලි



(2012 මැයි)
 
ෂින්ගේ සමුගැනීමෙන් පසු ටික දිනක් ගතවන තුරුම පැට්‍රික් සහ මා සමග කාමරය බෙදා ගන්නට කෙනෙක් පැමිණියේ නැත. අධික ලෙස ජපාන සජීවකරණ සිනමාපට නරඹන්නට හුරු වී සිටි  ෂින්ගේ ඇතැම් ක්‍රියා ඔහු සිටි දිනවල මහත් කරදරයක් ලෙස දැණුනු මුත් ඔහු පිටව ගිය පසු දැනෙන්නට ගත් පාළුව කුඩා එකක් නොවී ය. ෂින් තම ජීවිතය අප සමග බෙදා නොගත්තේ වුව ආවේණික ජීවන රටාවක් සමගින් අප සමග ගණුදෙනු කළේ ය. 

“හේ ප්‍රියා... හෙට කාමරේ බලන්න කීප දෙනෙක් එනවා... ෂින්ටත් කියල තියන්න එනව කියල...“ ඇනී මෙසේ මුර ගෑවේ ෂීන් පිටව යන්නට මත්තෙනි. අතට ලැබෙන මුදල නොමැතිව දිනක් හෝ ගෙවෙන්නට ඉඩ නොදෙන්නට ඇය බොහෝ වෙර දැරුවා ය.

“මට නං මිනිහ ඇල්ලුවෙ නැහැ... ඇඟ පුරාම පච්ච කොටාගෙන...නිකං හොරෙක් වගේ“ 

එසේ පැමිණෙන ඇතැම් අයෙකු ගැන ඇය සිය මතය අප වෙත පල කළේ අපෙන් අනුමැතියක් ලබන්නට මෙනි. එසේ මුත් අප කියනා කිසිදු අදහසක් ඇය වගකට නොගන්නා බව සියල්ලෝම අත්දැකීමෙන් දැන උන් හ. 

“හේ පැට්‍රික්.... හේ ප්‍රියා... හෙට කොරියන්කාරයෙක් එනව ඔයාලගෙ කාමරේට... සති දෙකකට විතරයි ඉන්නෙ...“ 

එක් දිනක් හැන්දෑවේ නවාතැනට පිවිසෙන දොරකඩදීම ඇනී මුර දුන්නා ය. 

අලුත් තොරතුරක් රැගෙන නිවසට වදින දිනක මෙසේ දොර හැරෙද්දීම කෑගැසීම ඇගේ පිළිවෙත වූ අතර මෙවැනි ප්‍රලාප මහත් කන්දොස්කිරියාවකින් පිළිගත්තේ නමුත් ඇය අසතුටු නොකිරීම සඳහා විශ්මයට පත් විලාසයකින්, නව තොරතුරක් ලද සතුටකින් සිටින බවක් පෙන්නුම් කිරීමට නිහඬ එකඟතාවකින් ක්‍රියා කිරීම අපගේ පිළිවෙත විය.

කොරියානු සගයෙක් දැනටත් අප අතර වූයෙන් කොරියානුවකු අපට මහත් අමුත්තෙක් නොවූ නමුත් නවකයාගේ පැමිණීම අපි බලාපොරොත්තු වීමු. පසුදින චෙස් පන්ති නිම කර මා නවාතැනට එන විට බෝල මුහුණැති අමුත්තා මගේ කාමරයේ, ෂින් නිදාගත් ඇඳ මත ‘දපා‘ උන්නේ ය.

අධික වෙහෙසකින් සිටි නව කොරියානුවා ඇත්තටම සිටියේ සැහැල්ලුවෙන් වැතිර නොව ඇඳ මත කඩා වැටීගෙන ය. එය සුවසේ වැතිර සිටීමකට වඩා ‘දපා‘ සිටීමකට කදිමට ගැලපෙන දසුනක් සැදුවේ ය. මා කාමරයට පැමිණි වග හැඟුණු වහාම ‘දනිපනි‘ ගා නැගිට ගත් ඔහු හිස නමා ආචාර කර මා පිළිගත්තේ ය.

“හායි... මගෙ නම ජුන්!“ 

මේ නම් කදිම මොහොතකි. අල්ලපු කාමරයේ සිටින කෙසඟ සිරුරැති, අවිහිංසක ජුන්ට පසු බෝල මුහුණැති, තරමක් වැඩුණු සිරුරින් යුත් තවත් ජුන් කෙනෙක් මගේ කාමරයේ සිටගෙන සිටියි! ජුන්ලම දෙන්නෙක්...!! දෙන්නම කොරියාවෙන්...!!!

අලුත් ජුන්ද තරුණයෙකි. ඔහු ද රැකියා වීසා බලපතකින් මෙහි පැමිණ තිබූ අතර පරණ ජුන් තරම් සාර්ථක ලෙස ඉංග්‍රීසි බස හැසිරවීමේ  හැකියාවක් පෙන්නුම් කළේ නැත‍.

“අපි ඊයෙ ආවෙ.. මගෙ යාළුවයි මායි.. එයා උඩ...!“

අපහසුවෙන් වදන් ගලපමින් අලුත් ජුන් කියා සිටියේ ය. ඉහළට ඇඟිල්ල දිගු කොට ‍‘උඩ‘ සිටින්නේ යැයි කියුවේ ඔහු‍ගේ සගයා ය. ඔහු සිටියේ සයවන මහලේ තිබුණු ඇනී ද නැවතී උන් නිවාස ඒකකයේ ය. නවතින්නට නිසි තැනක් ලැබෙන තුරු තාවකාලික ලැගුම් පළක් සෙවූ මේ තරුණයන් දෙදෙනා ඇනී විසින් කොටු කර ගෙන ඇති බවත්, එක් තැනක ඉඩ නැති බැවින් මහල් දෙකක දෙදෙනා නතර කරගෙන ඇති බවත් වැටහෙන්නට අපට වැඩි කාලයක් ගත වූයේ නැත. 

නවාතැන් පිළිබඳවත්, තැනින් තැනට යාම් ඊම් පිළිබඳවත් විශාල අතීත පුවත් මට නැත. නිවසින් බැහැර තැනකට ගොස් මුල් වරට මා පදිංචි වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් හමාර කොට, අනතුරුව පේරාදෙණියේත් සිවුවසකට කිට්ටු කාලයක් සේවය කිරීමෙන් ද අනතුරු ව ය. ඒ ද, ශ්‍රී පාලි මණ්ඩපයේ සේවයට එක් වූ විගස නවාතැනක් සොයාගත නොහැකි වූයෙන් කොළඹ තට්ටු නිවාස සංකීර්ණයක තිබුණු අයියාගේ නිල නිවසේ සිට මසකට අධික කාලයක් හොරණ බලා දිනපතා යාමෙන් හා ඒමෙන් අනතුරුව ය.

ටික කලකින්, ගම්වැසියකු වූ ජයරත්න මහතාගේ නිවසේ පසෙකින් වූ ඇනෙක්සිය කුලියට ගත් මම මණ්ඩපයට නුදුරු වෑවල ගම්මානයේ සිට පයින්ම විශ්වවිද්‍යාලයට යන්නට පුරුදු වූයෙමි. නිවසේ ගර්හිත වූ පැරණි කොටස ඇනෙක්සියකට හැරී තිබුණෙන් පාළුව හා අඳුර එහි නිතර පදිංචි සාමාජිකයින් විය. දිවියේ මුහුණ දුන් අනේක කටෝරයන්, අනපේක්ෂිත මොහොතක සිත් ඇලුම් කළ පේරාදෙණි පියස හැර පියා එන්නට වීමෙන් ලද පශ්චාත්තාපයන් සියල්ලෙන් හෙම්බත්ව සිටි මට දිනපතා ගොඩ වදින්නට තරම් සිත් පහන් කළ තැනක් නොවූ මුත් ජයරත්න මහතාගේ නිවසේ ඇනෙක්සියට වී මා බොහෝ කලක් ගෙවීමි.කාලයත් සමග හුරු වුණු වටපිටාවත්, අඳුනාගත් මණ්ඩප ප්‍රජාවත් හොරණ ජීවිතය තුළ වූ කාංසාවන් ක්‍රමිකව මකා දැම්මේ ය. 

එසේ වුවත් දිනපතා සවස් වෙද්දී මා තුළ නැගුණු ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු සොයාගත හැකි මගක් නොවී ය. දේශන නිමා වී, දිනයේ කටයුතු සියල්ල අහවර කොට, ඉක්මණින් නින්දට යන හොරණ නගරයට යන මා තනිව කුමක් කරන්න ද? විවාහකයින් වූ සියළු ආචාර්ය සගයින් සිය කුටුම්භයන් සොයා ඇදුණු කල තනිව උන් මම කොයි දෙසට යන්න ද? විවිධ සමාජ වටපිටාවන්ගෙන් පැමිණි, දහසකුත් ජීවන අත්දැකීම් රැගත් ශිෂ්‍ය ප්‍රජාවේ බොහොමයක් සිසුන් මා හඳුනාගත්තේ මෙතැන දී ය. ඇතැම් ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගේ විවේචන මධ්‍යයේ වුව මම ශිෂ්‍ය ප්‍රජාව හා සමීප මිතුදමක් පවත්වන ඇදුරෙකු වීමි.

දෙවැනි පෙළ ප්‍රධාන නගරයක් වුව හොරණ වූ කලී විනෝදාස්වාදයට හෝ ඇවිද යන්නට ස්ථාන බොහෝ අඩු, කම්මැලිකමකින් සිත පුරවන බිමකි. රූපයක් තිරයේ පවතින කාලයට වඩා වැඩි කලක් තිරය අඳුරේ තබන්නට සමත් ‍‘අපූරු‘ ප්‍රොජෙක්ටරයක් සහිත වූ නගරයේ එකම සිනමා හල වෙත මා ආකර්ෂණය වූයේ එකම එක වතාවකි. 

ඉඳහිට දිනෙක යෙදෙන මධු සාදයකට තානායම් පළ අගනා බිමක් වුව නිතර එහි යා නොහැකි තරමට එහි බිල්පත් ඉහළ අංකයන්ම ගෙන ආවේ ය. අඩු මිළකට මධු විතක් සොයන්නෙකුට හමුවූ නගර මධ්‍යයේ වූ අවන්හල ‘පිනට‘ ඉල්ලා අවට කැරකෙන දුප්පත් කම්කරුවන්ගෙන් නිරතුරුව පිරී පැවතින. 

ජයරත්න නිවසේ අඳුරු ඇනෙක්සියේ කල් ගෙවීම අසීරු වී, අර්ථ විරහිත නගරයට යාමට ද සිත් නොයෙදෙන අවස්ථාවන්හි ආසන්න සිසු නිවස්න වෙත ගොස් ඔවුන් හා කතා බස් කොට එන්නට මම පුරුදු වුණෙමි. පේරාදෙණියේ දී නොදුටු, ගැහැට පිරි සිසු ජීවිත මා හඳුනාගත්තේ එහි දී ය.

පේරාදෙණියේ දී ඒ ජීවිත මා නුදුටුවේ ඒ එහි නොතිබූ නිසා නොවේ. මා නිවසේ සිට ආගිය අයෙකු වූ නිසාවෙනි. ඉඳහිට මිතුරකුගේ නේවාසික කාමරයකට ගොඩ වැදුණද, පේරාදෙණි සරසවි නේවාසිකාගාරවල බාහිර ස්වරූපයන්ගෙන් ඔවුන්ගේ දිවියේ කටුක බව වසා දමා තිබෙන්නට ඇත. එහෙත් ශ්‍රී පාලියේ සිසු පරපුරට හමුවූ නේවාසිකාගාර අවම වූයෙන් ඔවුන් වැඩි දෙනෙක් කල් ගෙව්වේ කුලියට ගත් පිටස්තර නිවෙස්වල ය; ඒ ද ඇතැම්විට ඒවායේ කාමරවල ය. 

ගෙවුණු ඇතැම් සැඳෑවක, රාත්‍රී අහරට තරම් වන මුදලක් අත නොමැතිව මිතුරාගේ බත් පතේ කොටසකින් සැනහෙන සිසුවන් මට හමුවුණේ මෙවන් ගමන්වල දී ය. දිවා කල මා ලබා දෙන නිබන්ධනය භාර දීමට වන අවසන් දිනය ගැන සිතන්නට පෙර සිතන්නට බොහෝ දේ තිබුණු තරුණ ජීවිත මට හමු විය. ගම්මානයේ කෙළවර පිහිටි සිය කුඩා නිවසට කොයි මොහොතක වල් අලින් කඩා වැදේදැයි සිතන තරුණයින්, සිය ඔත්පල පියා ඉක්මණින් සුව නොවූවොත් ඔහුට රැකියාව අහිමි වී පවුලේ සියල්ලෝ කුසගින්නට පත් වේ යැයි කියා කඳුළු සඟවාගත් තරුණයින්, විදේශයක සිට දුශ්කර රැකියාවක් කොට තමන්ගේ වියදමට මුදල් එවන වැඩිමහළු සොයුරිය පිළිබඳ සිරකරගත් වේදනාවන් සහිතව දිවි ගෙවූ තරුණයින්, මේ සියල්ල මැද තමන්ට විශ්ව විද්‍යාලයේ හමුවූ පෙම්වතියගේ ජීවිතයද එවැනිම බව දැන ඒ වේදනාවන් ද සිත් හි දරා උන් තරුණයින් ඇතුළු කටොළු ජීවිත ගෙවූ බොහෝ දෙනෙකු සවස් කාලයේ සිය දෝමනස්සයන් මා සමග බෙදා ගත්තේ ය.

“සර්... බොන්න තේකක්!“

ඇතැම් දිනක ඔවුන් මා වෙත දිගු කළ තේ කෝප්පය, අසලක වූ කුඩා කඩයකින් ඒ මොහොතේ දිවගොස් ගෙනා තේ කොළ ග්‍රෑම් සියයකින් සැදුණේ විය. එවන් විටක මම අඩක් පානය කරන තේ කෝප්පය, ඔවුන් කරනා අයුරින්ම, තවකකු වෙත පිරි නමන්නට පුරුදු වුණෙමි. ඒ ද සිත නොපිරවූ දිනවල, ඔවුන් වෙත යද්දී බිස්කට් පැකැට්ටුවක් වැනි කිසියම් දෙයක් ගෙන යන්නට කටයුතු කළෙමි.

වේදනාවෙන් පිරුණු අන්දර සමග ජීවත් වුව ද මෙම තරුණයින්ගේ නේවාසිකාගාර නිරන්තර විනෝද ක්‍රියාවන්ගෙන් පිරී පැවතිණ. පෙර දිනක සිදුවූ යමක් හේතු කොටගෙන කිසිවකුට දිගින් දිගටම උසුළු විසුළු නොකළ මොහොතක් වී නම්, එකෙකු දෙන්නෙකු පැන, විශාල කාලගෝට්ටියක් මවමින්, කෝලම්කාරී සංගීත සන්ධ්‍යාවන් නිර්මාණය කර දුන්නේ ය. රාත්‍රිය එළඹෙන තෙක්ම සිය පෙම්වතිය සමග ගතකොට ප්‍රමාද වී නිවහනට එන මිතුරකුගේ හිස මත වතුර බාල්දි පිටින් වත් කෙරුණු දින ද නොවුණේ නොවේ.

ඇතැම් සිසුන්ගේ බාහිර නේවාසිකාගාරවල ප්‍රමාණවත් ඇඳන් ප්‍රමාණයක් නොවී ය. යමෙකු නිවසින්ම ගෙනා ඇඳක් නොවූයේ නම්, මෙට්ටයක් හෝ පැදුරක් සයනය ලෙස සැකසුණු අතර ඒ ද නොමැති තැන, බිම එළූ රෙදිකඩක වැතිර නිදන්නට ද සිසුහු හුරු වී උන් හ. පසුකලෙක, මා නවරත්න නිවසින් බැහැර වී, තරමක් දුර නවාතැනක නතර වී උන් යුගයේ, මෙවැනි නවාතැන්වලට ගොඩ වැදුණු දිනවල රැය පහන් කරන්නට ඇරයුම් කරන සිසුවෝ හොඳම මෙට්ටය සොයා මා වෙත සකසා දෙන්නට කටයුතු කළ හ.

මෙවැනි දිනවල ඉඳහිට එකිනෙකාගේ සාක්කු පතුල්වලින් එක් කරගන්නා මුදලකින් බීර බෝතල කිහිපයක් ගෙනෙන සිසුවෝ, අසළ රාත්‍රී කඩයකින් ‘ෆ්‍රයිඩ් රයිස්‘ ද ගෙනැවිත් රාත්‍රී ආහාරයටත්, මධුවිත සඳහා සප්පායමක් ලෙසත් එයම පාවිච්චි කරති. මහ රැය එළඹෙත්ම දිවියේ අනේක කටොළු පිළිබඳ වේදනාකාරී මතක සිහියට නැගෙන යමෙක් ඒ ‘මතක‘ මවෙත දිග හරිති. විටෙක කඳුළු ගලා හැළෙන මුහුණින් ඔවුහු මෙසේ මුමුණති. 

“අපිට තියෙන ප්‍රශ්නවලට මෙහෙම නෙවෙයි සර්... කොච්චර බීවත් ඒව අමතක වෙන්නෙ නැහැ... දවසක අපි හොඳට බොමු... ඔව් හොඳට...!!“

අලුත් ජුන්ගේ සගයා පසුදා උදයේම අපේ නවාතැනට ආවේ ය. ඔහුගේ නියම නම අප දැනගන්නටත් පෙර ඇනී සිය සුපුරුදු නාමකරණය යොදා ඔවුන්ගේ නම් තීරණය කොට තිබිණ.

“මේ ඉන්නෙ ජුන් ඇන්ඩ් ජුලයි!!“

අප වෙත ආ කොරියානුවෝ දෙදෙන ජූනි සහ ජූලි ලෙස එසේ බෞතීස්ම ලද හ.

ජූනි සහ ජූලි නිවසේ නතරව උන්නේ දෙසතියකි. සිය ඉහළ මහළේ නවාතැනින් කලින් අවදිව පැමිණෙන ජූලි උදෑසනම අප නවාතැනේ දොරට ‘තඩි බෑම‘ ඒ දෙසතියේ අනිවාර්ය අංගයක් විය. ඒ සමගම හීනෙන් ඇවිදින ස්වරූපයකින් දොර වෙත යන ජූනි සිය සගයා නිවසට ගෙන කොරියානු බසින් මොනවාදෝ කියවමින් කාමරයට වැදීම පසු අංගය විය.

නිවසේ සිටි පැරණි සාමාජික ජුන් මෙන් නොව නිතර මධුවිත සෙවූ ජූනි සිය සගයා සමග බීර ගෙනවිත් පානය කළේ ය. 

“අපි තවම මෙහෙට අලුත්... අපිට සුපර්මාකට් එකට යන විදිහ පෙන්නුවට මෙන්න අපෙන්!“

වරෙක ජූනි බීර බෝතලයක් මවෙත පිරිනැමුවේ ය.

පිටව යන්නට පෙර දින රාත්‍රියේ පදමට සප්පායම් වී තිබුණු ජූනි මා නිවසට එන විට මුල් දින ලෙසම සයනයේ ‘දපා‘ උන්නේ ය. නිවී දැල්වෙන බල්බ සහිත වළල්ලක් ඔහුගේ අතෙහි බැඳී තිබිණි.

පසුදා උදයේ පිටව යන්නට මොහොතකට පෙර මවෙත ආ ඔහු සමුගත්තේ ය.

“ගිහින් එන්නම්... අපි ආයෙ හම්බ වෙමු. කතා කරන්න දේවල් ගොඩයි... අපිට තියෙන ප්‍රශ්න... අපි කතා කරමු...දවසක.. දවසක අපි හොඳට බොමු... ඔව් හොඳට...!!“

Monday, July 1, 2013

සිඩ්නියේ සිට ලියමි!


(2012 මැයි)

ශීත කාලය කෙමෙන් ළඟාවෙමින් පැවතියේ දිනෙන් දින ශීතලය ඉහළ නංවමිනි. රීජන්ට් වීදි නවාතැනේ මගේ කාමරය තවදුරටත් උණුසුම්ව කල් ගෙවන්නට හැකි තැනක් නොවන බැව් වැටහෙන්නට ගත්තේ එහි වීදුරු පනේල විදගෙන ශීතලය කාමරයට වදින්නට ගත් තැන ය. නගරයේ පහළ සිට ඉහළට, විසි හතර පැය පුරා දුවන වාහනවලින් නැගෙන ගුම් නදැති එන්ජින් හඬ කණට හුරු කරගෙන උන්න ද වීදුරුව විනිවිද එන ශීතයට හුරුවීම පහසු නොවී ය. වීදුරු බිත්තිය දෙසට හිස තබා නින්දට වන් කළ දෙසවනට පීඩා ගෙනෙන කටුක ශීතෙන් මිදීමට හිස තබන අන්තය වෙනස් කළද ප්‍රතිඵලය සාර්ථක වූයේ කෙටි කලකි. ශීතලය යළි ඉහළ අගයක් ගනිමින් දෙසවන් සොයා ඇදෙන්නට විය.

චෙස් පන්ති පැවැත්වෙන දිනවල දුම්රිය හෝ බස්රියවල නැග පාසැල් වෙත යන මම සවස් කාලය එළැඹෙත්ම නිවහනට පැමිණ ජුන්, ෆ්‍රන්සුවා, මර්සෙලෝ  හා පැට්‍රික්ගේ සමාගමයට එක් වෙමි. ගෙයි මධ්‍යයේ පැවති කුඩා විසිත්ත කාමරය, නොඑසේනම් සාලයක් ලෙස පිළිගත හැකි කොටස හා ඉවුම් පිහුම් කරන කොටස (පැන්ට්‍රිය) තරමක උණුසුමක් ගත් හෙයින් සැවොම එතැනට වී කල් ගෙවන්නට කැමැත්තක් දැක්වූ හ. හොලිවුඩ් සිනමා පට, සංගීතය, සිඩ්නියේ ජීවිතය ආදිය ගැන කෙරෙන පොදු කතාබහකට මාතෘකාවක් නොවූ තැන එකිනෙකා සිය විනෝදාංශයන් සොයා යන්නට විය. මෙවැනි සාමාන්‍ය දිනෙක, ජුන් සුපුරුදු ලෙස සිය සිතුවම් දිනපොත අඳින්නට ගද්දී, මර්සෙලෝ පරිගණකයේ චිත්‍රපට බැලීම අරඹන අතර ෆ්‍රන්සුවා අනිවාර්ය ලෙස ගෙනෙන මැක්ඩොනල්ඩ්ස් බර්ගරය කා අහවර කොට ‘යූ ටියුබ්‘ නාලිකා හරහා සංගීත ලොවට පිවිසෙන අයුරු ඔබට දකින්නට පුළුවන. පැට්‍රික්  පමණක්, අපට නිශ්චිතව අනුමාන කළ නොහැකි ක්‍රියාවන් කිහිපයක් අතරින් එකක් තෝරා ගන්නේ ය. කාමරයට වැද ඉංග්‍රීසි භාෂා පාඩමක් සඳහා යොමුනොවන්නේ නම් පරිගණකයේ චිත්‍රපටයක් නරඹන ඔහු ඒ ද නොමැති තැන සිය ‘දෙමාපියන්‘ සමග ස්කයිප් සංවාදයක යෙදෙනු දැකිය හැකි ය. මේ සියල්ල හැර දමන ඔහු වේලාසන නින්දට යන දින ද නොවන්නේ නොවේ.

සියළු දෙනාම තම තමන්ගේ ක්‍රියාවන් වෙත යොමුවීමෙන් පසු වටපිටාව නිහඬ වූ විට මවෙත නැඟෙන්නේ කුසීතකමකි. නිහැඬියාව අධ්‍යයන කටයුත්තකට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්න ද එයට යොමු වන්නට මනස ඒකාග්‍ර කර ගන්නට නොහැකි ලෙස තනිකම හා පාළුව මා පෙළන්නට පටන් ගනියි. මාර්තුවේ කටුනායකින් පිටවූ දින සිට නෑසියන් හා සුමිතුරන් කිසිවකුත් නොමැතිව තුන්වැනි මාසය ද ගෙවෙමින් පවතියි. අතීත දිවියේ නානාවිධ මතක හා ආවර්ජනාවන් යළි යළිත් නැගී සිත්හි නින්නාද වෙයි. 

පරිගණකය වෙත හිඳගෙන කල්පනාවට සම වැදී උන් මෙවන් මොහොතක මගේම අතීතය ලිවිය යුතුයැයි යන සිතුවිල්ල එක්වරම මනසෙහි නැගිණ. 

සෑම මිනිසකුගේම ජීවිතය අපූරු ලියැවිල්ලකි. සතුට, දුක, වේදනාව, විරහව, සංතාපය, සිනහව ඈ නන්විදිත පරිච්ඡේදයන්ගෙන් ඒ පිරී පවතී. මම ජීවිත ගැන කියවන්නට ආශා කරමි. ජීවිත විත්තියේ අනේක හැල හැප්පීම් ඔස්සේ දිව ආ දිවිය ‘ජය ගත්‘ මිනිසුන්ගේ ජීවන තතුවලින් පිරි චරිතාපදාන සහ ස්ව-චරිතාපදානවලට මම බොහෝ සේ ඇලුම් කරමි. උපන්දා සිට, පිං ඇති සරසවි වරමක් දෙන්නේ වැනි ප්‍රකට ජීවන වෘතාන්ත පමණකුදු නොව දිය වැලක් ඔස්සේ, දිවි සයුරෙන් දිය දෝතක් වැනි ජීවන විත්ති කතන්දර ද මම ආශාවෙන් කියැවීමි. උසස් පෙළ හමාර කොට ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස රාවයෙන් එළිදුටු ‘විසුර‘ පුවත්පතේ සේවය කළ සමයේ ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් චරිතාපදානය ‘හිනි පෙත මතුයෙහි විසිවසක්‘ යනුවෙන් සිංහලයට නැගූ මුත් ඒ පළ කරන්නට පෙර පුවත්පත වැසී ගියේ ය. 

චරිතාපදානයක ඇති වටිනාකම සැවොම වටහා ගන්නේ නැත. ඒ අවඥාවෙන් බැහැර කරන සාමාන්‍ය මිනිසුන් පමණකුදු නොව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පවා මාහට මුණ ගැසී ඇත. 

“හොඳයි... දැන් උඹ කියපන්... අපිට ඇති වැඩේ මොකක්ද කේමදාස පුංචි කාලෙ ඉඳන් කළේ අහවල් එකය කියල දැනගන්න එකෙන්? එයා මොනව කරාම අපිට මොකෝ...!“

මේ වදන් මා වෙත පැවසූයේ මා මිතුරු කථිකාචාර්යවරයෙකි. අවාසනාව ඔහු ද සංගීතයට සබැඳි විෂයක්ෂේත්‍රයක අයෙකු වීමයි. ඔහු සමග උන් අනෙකා ද මහ ඉහළින් ඒ අනුමත කළේ,

“කාගෙවත් කෙහෙම්මල් අපිට මොකට ද බන්... අපි ඒව කියෙව්ව කියල මොකක් කරන්න ද? මොකෝ අපි උන් වගේ කොරන්ට ඕනද?“

කියමින් උස් හඬින් සිනාසෙමිනි.

අද මේ දෙදෙනාම ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරුන් වන අතර නොබෝ දිනකින්ම ආචාර්ය උපාධි ලබන්නට ද නියමිත ය!

ඒ ඒ චරිතයන් සිය ජීවන ගමන තුළ මුහුණ දුන් බොහෝ අවස්ථා, පිරුණු සාහිත්‍ය රසයක් සහිත මාහැඟි කෘතීන් ලෙස සමාජගත කිරීම පිරිපුන් මිනිසුන් තනන්නට යන, යහපත් සමාජයක් දකින්නට වෙර දරණ ගමනකට මහත් උපකාරයක් බව මා එදා ඔවුන්ට කියන්නට ගියේ නැත. සාහිත්‍යයේ අගය නොදන්නා අයෙකු හෝ කිහිප දෙනෙකු සමග තර්ක කරන්නට යා හැකි මග මම නොදනිමි. සාහිත්‍ය කෘතියක ගුණාගුණ පිළිබඳ කෙරෙන සංවාදයකට මැදිහත් වීම මෙන් නොව මෙවන් කරුණු පසක් කරන්නට යාම අවසන ගෙන දෙන්නේ ප්‍රතිඵල විරහිත වෙහෙසක් පමණි. ප්‍රතිවාදියා තමන් ද බුද්ධිමතෙකැයි සිතා සිටින විට ප්‍රතිඵල සාර්ථක වීමේ ඉඩ තවතවත් පහළ බසියි.

රීජන්ට් නවාතැනේ කුඩා මේස තීරුව මත තබාගත් පරිගණකය සමග හිඳ මම ලිවීම ඇරඹීය යුත්තේ කොතැනින් දැයි කල්පනා කළෙමි. අතීතයෙන් ඇරඹ වත්මන වෙත පියවරෙන් පියවර පැමිණෙන ගමනකට වඩා අදින් ඇරඹ අතීතය හා සමපාත වෙමින් යන ගමනක සුන්දරත්වය වැඩි වෙතැයි මම සිතුවෙමි. අප සියල්ලෝම අතීත මතකයන් අතර සරන්නේ, වත්මනෙහි ඊට අනුරූප හෝ සපුරා එරෙහි සිදුවීම් ඔස්සේ යමින් නොවේ ද?

මම ලිවීම ඇරඹීමි. ඒ කටුනායකින් පිටත්වූ දිනයෙනි. 

“තාත්ති තුළ ඇත්තේ ශෝකයක් ද? සතුටක් ද? කුඩා මෝටර් රථයේ පසු පස අසුනේ බරව මම කල්පනා කරමි. ‍මල්ලීට සුපුරුදු පරිදි මග වැරදී ඇත. නැතිනම් අපි මීගමු නගරයට ආ යුතු නැත. සිදු වූ ප්‍රමාදය අල්ලා ගැනීමට ඔහු වේගයට ආරාධනා කර ඇත.“

දිගින් දිගටම නැගෙන්නට වූ සිතුවිලි මම පරිගණකයේ සුදු පැහැ ලියවිල්ල මත ලියැවෙන්නට හැරීමි. ‍‘බෝම්බ මතක‘ ලෙස පසුව නම් ලද ලියැවිල්ලේ සිට ‘ඇල්ගනන් වීදියෙන් රීජන්ට් වීදියට‘ දක්වා  ලියවිලි කිහිපයක්ම ඉතා කෙටි දිනක් ඇතුළත පරිගණක මතක ගබඩාවේ තැන්පත් කෙරිණි.

“ඔයා ලියන ඒව හොඳයි ප්‍රියන්ත... හිතල බැලුවොත් නරක ද ඔහේ ඉඳන් ලංකාවෙ පත්තරේකට කොලම් එකක් වගේ ලියන්න?“

ලියූ කොටස් කිහිපයක් මා ඊ මේලයෙන් යැවූ පසු, ඒ කියවා ආචාර්ය සුනිල් විමසා එවා තිබුණේ ය.
“ෂහ්... මේව නං නියමයි... මං ගොඩක් ආසයි අර අෂ්රොෆ් මැතිණිය පාර්ලිමේන්තුවට කඩා වැටුණා ය කියල ලියල තිබ්බ එකට! ඔයාට තියෙන්නෙ බ්ලොග් එකක් පටන් ගන්න“

මිතුරු ලොහාන් ස්කයිප් සංවාදයකට ගොඩ වැද කීවේ ය.

‘බ්ලොග් එකක්?“

මම සිතන්නට වීමි.

බ්ලොග් අවකාශයන් පිළිබඳ මට විශාල අදහසක් නැත. මීට වසර කිහිපයකට පෙර ලොහාන්ගේම සම්බන්ධීකරණයක් මත රාජකීය විද්‍යාලයේ ‘අසනිය කුසුම‘ සම්මාන උළෙලේ විනිසුරුවකු ලෙස ගොස් බ්ලොග් අඩවි පිළිබඳ විනිශ්චයකට සම්බන්ධ වූයේ ද බ්ලොග් ලොවට බැහැරින් ආ ආරාධිතයකු ලෙසිනි.

“ඒ ගොල්ලන්ට ඕන බ්ලොග් නොලියන පිටින් කෙනෙක් මෙතෙන්ට... ඒ නිසා ඔයා යන්න“ ඔහු එදා කීවේ ය.

එදවස සිංහල බ්ලොග් අවකාශය හඳුනන්නන් අතර හිඳ මම ඒ විමසද්දී සිතට නැගුනේ මහත් ආස්වාදයකි. එය මට සැඟවුණු විශ්මිත ලොවක් හඳුනාගත්තාක් වැනි විය. අප විසින් එහිදී සම්මාන කිහිපයක්ම සඳහා බ්ලොග් අඩවි තෝරන ලද අතර ඉහළින්ම තැබූ  බූන්දියට සම්මානයට නොලැබුණු බවද, ඒ නිසා විශාල කලබගෑනියක් ඇති වූ බවද පසුව දැනගතිමි. එසේමුත් කලින් හඳුනාගෙන තිබුණු බූන්දියේ නිත්‍ය පාඨකයෙකු බවට මා පත්වූයේ ඉන් පසු ය. 

ලද ආනන්දය නිසා ‘සිනමා කතිකා‘ නමින් බ්ලොග් අඩවියක් ඇරඹූවද ඒ වෙත ලිවීම ද අතපසුවී ගියේ ය. ඒ කාලයේ තරමක් දුරට බ්ලොග් ලොව හඳුනාගත්ත ද එහි නිතර සැරිසැරන්නට මා පෙළඹුණු වගක් මට මතක නැත. ගොඩවැදුණා නම් ඒ බූන්දියේ පිටු වෙත පමණි.

බ්ලොග් එකක්! ඔව්... ඒ පුවත්පතකට තීරුවක් ලියනවාට වඩා නවමු යෝජනාවකි. එහි වටපිටාව පිළිබඳ ගැඹුරින් නොදන්නේ වුව ඒ ආරම්භ කළ යුතු යැයි අවසන තීරණය කළෙමි. සිඩ්නියේ දී මසිතට නැඟෙන සිතුවිලි නිසාවෙන් ඒ ‘සිඩ්නි සිතුවිලි‘ ලෙස නම් කරන්නට සිත් වූ අතර මුලින්ම ලියැවුණු පාඨයක් පිටුවේ ඉහළින් යෙදිණ. ඒ සිඩ්නියට එන ගමනේ දහසක් කල්පනා මැද සිටියදී යානයේ කුඩා කවුළුවෙන් මා දුටු හිම තුහින ගැන ය.

ගුවන් යානයේ ජනේල වීදුරුව මත පතිතව රැඳී ඇති හිම තුහින කියා සිටින්නේ මා වෙනත් දේශයක‍ට පියා සලන බවයි. අසල ආසනය හිස් ය. මම යානයේ කවුළුවෙන් පහත බලමි. සැන්දෑ හිරු එළියෙන් දිදුලන, ඉම කොණක් නැති බටහිර ඔස්ට්‍රේලියානු කතර පහතින් පෙනේ.

හිස් වූ අසල ආසනයේ හිඳුවාගෙන සිඩ්නියට කැඳවා විත් මේ නවමු දිවියේ සතුට හා ගැහැට පෙන්වමින් කියවන්නා මා මවන මනස් ලොව ආවර්ජන වෙත කැටිව යන්නට මට හැකි වේද?