Friday, June 1, 2012

ගුවන් කරණම්


(2012 මාර්තු මස 18 වැනිදා)

ජුන් සහ අල්ලපු කාමරයේ ප්‍රංශ මිතුරා ගුවනින් බිමට පැන ගෙදර ආවෝ ය. අප රටේ ගුවන් හමුදාව පමණක් සිදු කරන ගුවනින් ගොස් පැනීම මෙහි විනෝදාංශයකි. අවශ්‍ය වන්නේ ඩොලර් දෙතුන් සියයක් පමණි. ඔබ වෙනුවෙන් සියල්ල කර දීමට බලා සිටින සමාගම, ඔබට උපදෙස් දී, ඇඳුම් අන්දවා, ගුවන‍ට රැගෙන ගොස් බිම හෙළනු ඇත. මරණය පිළිබඳ බියක් ඇති කරගත යුතු නොවන්නේ ඔබ බිමට එන්නේ පළපුරුදු පිනුම් කරුවකු පිට මත බැඳගෙන බැවිනි. පැරෂු‍ටය මෙහෙයවා ඔබව නිරුපද්‍රිතව ගොඩ බැස්සවීම ඔහුගේ කාර්යයකි. ඔබ කළ යුතු වන්නේ බිමට ආ පසු ලැබෙන වීඩියෝ පටයට ල‍බා ගැනීම සඳහා හැකි පමණ වීරත්වය පෙන්වීමයි. පිට උඩින් එන වික්‍රමකාරයා සියල්ල අතර මේ කටයුතු ද රූපගත කරනු ඇත.

නවාතැනට ආ ජුන් සියල්ල කැරකෙන බව කියමින් වැටුණු තැනම නින්දට ගියේ ය. ප්‍රංශයා කිසි ගාණක් නැතිව ඇවිදින්න‍ට ගියේය. 

‍මට ගුවන හුරු පුරුදු තැනක් නොවේ. මම කුඩා කල අහස් යානා දෙස මහත් අභිරුචියෙන් බලා සිටියා මතක ය. කලාතුරකින් ඇසෙන ගුවන් යානා හඬ කණ වැකෙත්ම මමත්, මල්ලීත් මිදුලට දුවන්නේ යානය දැක බලා ගැනීමේ මහත් බලාපොරොත්තු ඇතිව ය. එහෙත් වළාකුළු පිරි අහස අප බලාපොරොත්තු සුන් කර දමයි. වළාකුළු වලටත් ඉහළින් යානය පදවන නියමුවා ම‍ට මැවී පෙනේ. 

තාත්ති ගෙන ආ ගුවන් විදුලි ය‍න්ත්‍රයට නිතර කණ යොමා සිටින මට ඇන්ටන් ජෝන්ස්ගේ මේ ගීතය ඇසේ. 

“ඩී සී අට අහස් යන්තරේ....
....................................
 කාගෙද මේ වරද නොතේරේ....”

කුඩා අවදියේ ගෙදර ආසන්න තැනකට ගුවන් යානයක් කඩා වැටෙන තුරු මම බලා සිටියෙමි. වළකුළුවලට ‍ඉහලින් යන යානය අසලටම ගොස් දැක බලා ගැනීමට එවි‍ට හැකි වනු ඇතැයි මට සිතිණි. බො‍හෝ අවස්ථා‍වල මේ පිළිබඳ කල්පනා කළ මට යානා කඩා වැටෙනු සිහිනෙන් ද පෙනෙන්න‍ට විය. තිගැස්සී අවදි වන මට නැන්දා උපදෙස් දෙන්නේ පන්සිල් රැගෙන නින්දට යන ලෙස ය.

මගේ කුඩා අවදිය ගෙවී යන තුරුම රටේ කිසිදු තැනකට යානයක් කඩා වැටුණේ නැත. උපාලි විජේවර්ධන රැගත් යානය අතුරුදන් වන වි‍ට මම ප්‍රාථමික අංශයේ සිසුවෙක් වීමි. ඔහුගේ ගුණ හා දස්කම් ගැන දිවයිනේ ලිපි කියවූ කුඩා දරුවෙකු වූ මම සැමට හොරෙන් හැඬීමි. කිසි දින දැක නැති උපාලි විජේවර්ධන සියල්ලන් මවිත කරමින් යළි එනු ඇතැයි මම දැඩිව විශ්වාස කළෙමි. වසරක් පාසා ඔහු ගුණ රැගත් ලිපි දිවයිනේ පලවද්දී මගේ බලාපොරොත්තු කෙමෙන් දියවී ගියේ ය. 

දන්නා තැනකට යානයක් කඩා වැටෙන විට මගේ ළමා විය පසුවී තිබිණි. ඇමතිවරයකුව උන් අශ්රොෆ් මහතා ගමන් කළ හෙලිකොප්ටරය මාවනැල්ල ප්‍රදේශය‍ට කඩා වැටුණේ ය. යාන්ත්‍රික දෝෂ, කුමන්ත්‍රණ, එදිරිවාදිකම්, සුළු ජාතිය වැනි විවිධ වචන රැසකට පසු අශ්රොෆ් මහත්මිය පාර්ලිමේන්තුවට කඩා වැටුණා ය. 

ගුවන් යානා කඩා වැටීම යන්න අනතුරුව ආ සමයේ නිතර කතා කෙරෙන්නක් විය. අප ගුවන් හමුදාවේ යානා විවිධ යාන්ත්‍රික දෝෂ නිසා කඩා වැටෙන විට වීර නියමුවෝ මහජනයාගේ හිස් බේරා දෙමින් ඒවා මුහුදට බාවා පිටතට පැන ගත් හ. පත්තරකරුවන්ට වීර නියමුවන්ගේ ජීවන අන්දර වලින් පිටු පිරවීමට නොහැකි වූයේ එවැනි සිදුවීමකට පසු ගුවන් යානා මුල් කරගෙනම තවත් ප්‍රවෘත්ති බිහි වූ බැවිණි.

කටුනාය‍කට පහර දුන් එල්.ටී.ටී.ඊ. කණ්ඩායමක් එහි නවතා තිබූ ගුවන් යානා කිහිපයක් ම විනාශ කළ හ. තවත් වරෙක අනුරාධපුරයේ ගුවන් හමුදා කඳවුර‍ට ද පහර දී යානා කිහිපයක් ගිනිබත් කළහ. දුම් රොටු දමමින් ඇවිලෙන ගුවන් යානා රූපත්, ඉතිරි වූ යානා බේරා ගත්තවුන්ගේ වීර අන්දරත් පත්තරවල පළ විය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුව උන් අවදියේ පළමු ගුවන් ගමනට සැරසෙද්දී ගුවන් යානා පිළිබඳ තොරතුරු, ගුවන් හමුදාව පිළිබඳ තොරතුරු ආදිය ඇති පමණට අප කියවා තිබිණි. කෆීර් යානා හා මිග් යානාවලින් කරනා සුරු විරුකම් පිළිබඳ දෙසන මිතුරන් අපේ විශ්වවිද්‍යාල පොදු කාමරවල පවා හමු විය. 

2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව්වේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයට ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබී ය. විශේෂ ගුවන් යානයකින් කොදෙව් දූපතට ගිය ජනපතිවරයා සමග වූ පිරිසේ මගේ අයියා ද විය. ගුවනින් කොදෙව් දූපත‍ට යන්නටත්, ලෝක කුසලාන අවසන් තරගය බලන්නටත්, ජනපති පිරිවර සමග ඉන්නටත් රාජ්‍ය සේවයේ උන් අයියාට ලැබුණු අවස්ථාව පිළිබඳ අපි සැවොම සතුටු වීමු. අවසන් තරගයේ රූප අතර ජනපතිවරයා සමීපව පෙන්වන අවස්ථාවක් එළඹෙනු ඇති බවටත්, ඒ රූප අතර අයියා ද සිටිය හැකි බවටත් විශාල විශ්වාසයක් තාත්ති තුළ විය. තරමක සම්භාවිතාවක් සහිත නිසා එවැනි රූපයක් බලාපොරොත්තුවෙන් අපි ද දිගටම රූපවාහිනිය අසළ රැඳී උන්නෙමු. තරගයේ උච්ච අවස්ථාව එළඹෙත් ම කොළඹ නගරයට එල්ල වූ  එල්.ටී.ටී.ඊ. ගුවන් ප්‍රහාරයක් පිළිබඳ සටහනක් තිරයේ පහලින් දිස් වන්නට විය. ‍ඉතා පහතින් ආ කුඩා ගුවන් යානයක් කොළඹ තැන් කිහිපයකට බෝම්බ හෙළා පලාගොස් තිබිණි. අයියාගේ රූපයක් තිරයට ආවේ ද නැත. අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ද නැත. 

එල්.ටී.ටී.ඊ. ගුවන් ප්‍රහාර, ඔවුන්ගේ සැඟවුණු ගුවන් පථ, අභිරහස් යානා ආදිය පිළිබඳ කතාන්දර ඉන් පසු ප්‍රසිද්ධයට නැඟිණ. පොල් ගසකට මඳක් ‍ඉහලින් ගමන් කරනා බව කියන එවැනි අභිරහස් යානයක් හිටි වනම අපගේ නිවසට ඉහළින් වුව මතු වෙතැයි අසීමිත බියක් මා තුළ ඇති විය. විවිධ හැඩ ගත් එවැනි යානා අහසේ ගමන් කරනා අන්දමත්, එක්වර ම එම යානා වෙතින් බෝම්බ සහ වෙඩි වරුසා අප වෙත‍ට එල්ල වන අන්දමත් සිහිනයෙන් දකින මම තිගැස්සී අවදි වෙමි. කුඩා කල, පන්සිල් ගෙන නිදැන්නැයි කියූ නැන්දා ඒ වන විට උන්නේ මහරගම බාප්පා ළඟ ය.

මහරගම බාප්පා සේවය කළ දේශීය ආදායම් බදු ගොඩනැගිල්ල‍ට එල්.ටී.ටී.ඊ. අවසන් ගුවන් ප්‍රහාරය‍ට ආ යානයක් කඩා වැදුණේ ය. උණු වී වැගිරුණු එහි ‍එන්ජිම හමු වී තිබුණේ 12 වන මහලේ බාප්පාගේ කන්තෝරු කාමරයෙනි! එම කාමරය‍ට ගොස් අවට නගරය දෙස මහත් උජාරුවෙන් මා පහත බැලූ ජනේල වීදුරු පෙළ විසුණු කරමින් යානය කාමරය තුළට පිවිස තිබුණේ ය. ගොඩනැගිල්ල‍ට එතරම් හානියක් නොවුණු බ‍ව ආණ්ඩුව කී නමුත් බාප්පාට යළි ‍ඉහළ මාලයක් ලැබුණේ බොහෝ කලකට පසු ය. ඔහු කටයුතු කළ ඒකකය මුළුමනින් ම ඉන් ඉවත් කොට කොම්පඤ්ඤ වීදිය පෙදෙසේ තැනකට ගෙන ගොස් තිබිණි.
 කුඩා කල ගුවන් යානයක් එන විට මිදුලට දිවූ මමත්, මල්ලීත් මෙරටට වී මෙම සිදුවීම් අත් විඳින විට මහරගම බාප්පාගේ වැඩිමහලු පුත් ධනුෂ්ක මල්ලී ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනයට ගොස් සිටියේ ය. එහි ඔහු හදාලේ ගුවන් යානා ඉංජිනේරු විද්‍යාවයි. උපාධියෙන් අනතුරුව ඔහු යළි මෙරටට නොඑන බව සැමට ඒත්තු ගොස් තිබිණි.

‘මිනිහා මෙහෙ ඇවිත් මොනව කරන්නදැයි’ තාත්ති ද නිතර කියනු මට ඇසී ඇත.

4 comments:

  1. ගේ ලඟට ප්ලේන් විතරක් නෙවෙයි, පියාඹන පීරිසි වැටෙනකනුත් බලාගෙන හිටි කාලයක් මට තිබුනා. ටුවරිස්ට්ලා වගයක් රැගෙන යමින් හිටපු හෙලිකොප්ටරයක් අපේ ගේ පිටිපස්සේ කුඹුරකට බාලා තිබ්බෙත් මම හිටපු නැති වෙලාවක.. ඔය දේවල් මට මතක් වුනා. :)

    ReplyDelete
  2. බලාගෙන යනකොට මම විතරක් නෙමේ Planw එකක් කඩන් වැටෙන තුරු බල ගෙන ඉඳල තියෙන්නේ.
    දිගටම ලියන්න !!

    ReplyDelete
  3. //විශේෂ ගුවන් යානයකින් කොදෙව් දූපතට ගිය ජනපතිවරයා සමග වූ පිරිසේ මගේ අයියා ද විය. //

    සුලුපටු කෙනෙකුගෙ බ්ලොග් එකක් නොවෙයි එහෙනං,

    ReplyDelete
  4. ප්‍රභාකරන්ගේ පුතා චාල්ස් ඇන්තනීත් ගුවන් යානා තාක්ෂණය ගැන උපාධියක් ලබපු කෙනෙක් නේද ???

    ReplyDelete