Saturday, September 17, 2016

ශීතයත් සමග පත්තර...


නිහඬ පාළු මාවතෙහි ඈතට නෙත් යොමු කළ මම කිසිවකු හෝ දකින්නට වෙත්දැයි විමසා බැලුවෙමි. වේලාව රාත්‍රී අට පසුවෙමින් තිබිණ. වීදි ලාම්පු, නිශ්චිත දුරින් යුක්තව රැ‍ෙමින්, සමාන ආලෝක කදම්භ නිකුත් කරමින් අඳුර නසා දමා තිබුණ ද කිසිදු මිනිස් රුවක් මගේ නෙතට හසු වූයේ නැත. අතැති පත්තර සහ දැන්වීම් බන්ඩල අතරින් එකක් ගත් මම එය මගේ ඉදිරියෙහි වූ නිවසේ ලියුම් පෙට්ටිය පසෙක වූ රවුම් හැඩැති බිලය තුළට දැමූවෙමි.

නාරදත් මමත්, ඔහුගේ නිවසේදී සකස් කරගත් පත්තර සහ දැන්වීම් බන්ඩල සමග මේ පෙදෙසට පැමිණියේ රාත්‍රී හතට පමණ ය.

“අපි ප්‍රියන්තට රස්සාවක් හොයමු. ඒත් එතකං මට පුළුවන් පත්තර බෙදන ඕඩර් එකක් භාරගන්න. ඔයාටයි මටයි පුළුවන් හවස් වරුවල ගිහින් මේ පැත්තේ ගෙවල්වලට ඒවා බෙදන්න... ලොකු ගාණක් නෙවෙයි. සතියකට ඩොලර් 50ක් 100ක් හොයාගන්න පුළුවනි. ඔයාගෙ කෑම බීම වියදමවත් අඩු ගාණෙ...“

නාරද මේ කතාව කීවේ මුලින්ම මා ඔහුගේ නිවසට ගොඩ වැදුණු දිනයේ ය. ඉන් පසු, මේ අද සවස් වරුවේ, මුල් හමුවෙන් සතියක් ගත වන්නට මත්තෙන් මා ඔහුගේ නිවසට යළි ගොඩ වැදුණේ පත්තර සහ දැන්වීම් බන්ඩල වෙන්කොට, සුදුසු පරිදි සකසා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුත්ත හා එක් වන්නට ය. යෝජනා කළ පරිද්දෙන්ම ඔහු සිය අදහස ක්‍රියාවට නංවා තිබිණි.

ප්‍රාදේශීයව මුද්‍ර‍ණය කෙරෙන ප්‍ර‍ජා පුවත්පත් සහ විවිධ වෙළඳ ආයතනවලින් නිකුත් කරන වෙළඳ දැන්වීම් තම ප්‍රදේශයේ හෝ ආසන්න ඉමක ඇති නිවාස වෙත බෙදා දීමෙන් යම් මුදලක් සොයා ගැනීම සිඩ්නිය මතු නොව ඕස්ට්‍රේලියාවේ බොහෝ නාගරික පෙදෙස්වල පහසු කටයුත්තකි. මාසයක සමස්ථ වැය ඉන් පියවාගත හැකි නොවූව ද අප වැනි අසීරුතාවලින් පෙළෙන්නන්ට ලැබෙන මුදල යම් අස්වැසිල්ලක් සාදා දෙන්නට හේතු නොවෙන්නේ නොවේ. එක් එක් ප්‍ර‍ත්‍ය නගර හා ගම්මානවල වෙසෙන ප්‍ර‍ජාව ඉලක්ක කර ගත්, නොමිලේ නිකුත් කෙරෙන, ප්‍ර‍ජා පුවත්පත්වල ආසන්න දිනවල ආසන්න භූ කලාපයේ ප්‍ර‍වෘත්ති ද, ඒ කලාපය හා බැඳුණු විශේෂාංග ද ලියැවී ඇත. එහෙත් ඒ පුවත්පත්වල වැඩි ඉඩක් පිරී ඇත්තේ කලාපයේම වෙළඳ ආයතන හා සේවාවල දැන්වීම්වලිනි. ආසන්න නගරයේ සුපිරි වෙළඳ සැළක ඉදිරි සතියේ මිල පහළ හෙළන භාණ්ඩවල සිට සුළු වෙළඳ සේවා සහ අමතර රැකියා ගැන ද, කලාපයේ විකිණීමට හෝ කුලියට දීමට ඇති නිවාස හා නිවාස ඒකකවල සිට ආසන්න නගරයේදී ශ්‍ර‍මය සපයන ලිංගික ශ්‍ර‍මිකයින් ගැන ද තොරතුරු ඔබට පහසුවෙන්ම ඔබේ නිවසේ තැපැල් පෙට්ටියට අනවසරයෙන්ම දමා යන මෙම පුවත්පත්වලින් ලබා ගත හැක.

නාරද මට පෙන්වූ වීදිය දිගේ තවත් පියවර කිහිපයක් ඉදිරියට ගිය මම නිවැසියකු පිළිබද කිසිදු සංඥාවක් නොදල්වා නිසොල්මන්ව අප දෙස බලා සිටින විසල් නිවාස කිහිපයකම තැපැල් පෙට්ටිවලට මා අත වූ බන්ඩල ඇතුළු කළෙමි. හෙට උදෑසන මේ ප්‍ර‍ජා පුවත්පත් සහ දැන්වීම්වලින් අති විශාල ප්‍ර‍මාණයක් මේ නිවැසියන් විසින් දිග හැර නොබලාම නිවස පසෙක වන ප්‍ර‍තිචක්‍රීකරණය සඳහා වන ඉවත ලන දෑ බහා ලන බඳුන් තුළට හෙලනු ලැබෙනු ඇත. සැබවින්ම දස දහස් ගණනින් මුද්‍ර‍ණය කර බෙදා හැරිය ද මේ පුවත්පත් හා පත්‍රිකා අතරින් පාඨකයකු හෝ පාරිභෝගිකයකු නෙත හමුවට යන්නේ ඉතා සුළු සංඛ්‍යාවකි.

“මම මේ වැඩේ පටන් ගන්න එක ගැන වයිෆ් නං එච්චර සතුටු වුණේ නෑ. ඒත් ඉතින් මම කිව්ව මගෙ බඩ බහින්නත් එක්ක ව්‍යායාමෙටත් එක්ක ඇවිදින එක හොඳයි කියල“

නාරද සිනාසෙමින් මා හා පැවසූයේ පුවත්පත් හා දැන්වීම් බන්ඩල සකසන්නට අප මුණගැසුණු හවස් වරුවේ ය. ඔහුගේ නිවස පසුපස වූ ගරාජයක සැළකිය යුතු කොටසක් පිරෙන්නට තරම් පත්‍ර‍ සහ දැන්වීම් මිටි ගොඩ ගසා තිබිණ. ඒ එකින් එක වෙන්ව ගෙන, එක් එක් නිවසකට යොමු කරනු පිණිස බන්ඩල සැකසීම ඉමහත් කාලයක් වැය කළ යුතු ව්‍යායාමයකි.

“මේව වෙන වෙනම සෙට් කරලම දෙනව නං හැමෝම මේ වැඩේ කරයි. මේකෙ අමාරුම හරිය තමයි මේ සෙට් හදාගන්න එක.“

නාරද පැහැදිලි කළේ ය.

මේ කටයුත්ත සම්බන්ධීකරණය සිදු කරන ආයතනය අප වෙත පුවත්පත් හා දැන්වීම් ලබා දෙන්නේ වෙන් වශයෙන් මිටි බැඳ ය.

“ඉතින් දැන් අපිට පුළුවන් ද මේ සේරම බෙදල ඉවර කරන්න? මෙතන මහ ගොඩක්නෙ!“

වැය කළ යුතු කාලය හා සැසඳීමේදී මට පෙනුණේ මෙය නිමකරන්නට අසීරු ඉලක්කයක් ලෙස ය.

“ඔක්කොම බැරි වෙයි. ඒත් අපිට දුන්න ඒරියා එකේ අපි සෑහෙන තරමක් බෙදන්නම වෙනව. උන් චෙක් කරල බලනව. නැත්තං ඉතිං ඕනෙ කෙනෙකුට පුළුවන්නෙ මේ මිටි අරන් විසි කරල දාල, බෙදුව කියල සල්ලි ගන්න.“

වීදියේ අනෙක් කෙළවර ඈතින් මතුව එන රුව පැහැදිලි නැති වුව ඒ නාරද බව මට සැකයක් නැත. පාළු මගෙහි තනිව ඇවිද යන්නකු මේ රාත්‍රියක මුණගැසීම ඉතා විරල සිදුවීමක් බැවිණි. සිය ජැකෙට්ටුව ඉදිරියට හකුලා ගනිමින් නාරද ඇවිද ආවේ ක්‍ර‍මයෙන් ඉහළ නැගෙන ශීතයෙන් මිදෙන්නට යත්න දරමිනි.

“මම අතන වංගුවෙන් උඩහටත් දාල එන්නම්. ප්‍රියන්ත මේ පැත්තෙ කෙළවරටම යන්න“

නාරද මට කීවේ සිය රථයේ පසුපසින් යළි බන්ඩල එකතුවක් අතට ගනිමිනි.

පුවත්පත් නොමිලේ දස දහසින් මුද්‍ර‍ණය කර බෙදන්නට සමත් ප්‍ර‍ජා පුවත්පත් සේවා අප රටේදී මුණ ගැසෙන්නේ නැත. එහෙත් ඉඳහිට පත්තර තට්ටුවල මහා පත්තර අතරින් අසීරුවෙන් හිස හොවා මදෙස බලා සිටින, ආකර්ෂණීය ජාතික පත්තර අතර වැතිර සිටින කුඩා ප්‍රාදේශීය ‘පත්තර පැංචන්‘ තවමත් සිහියට නැගීම අසීරු නොවන්නේ, නොදන්නා යම් පිරිසක් අනේක ගැහැට විඳ ඒ අප වෙත එවන්නට කටයුතු කරන්නේය යන හැඟීම ඒ දකින සැමවිටම මසිතට නැග එන හෙයිනි.

චෙස් ක්‍රීඩකයෙකුව මධ්‍යම පළාත් චෙස් සංගමය හා ඇසුරු කළ සමයේ සරත් සර් මුල් වී රෝනියෝ මුද්‍ර‍ණයෙන් එළි දැක්වූ ‘චතුරංග‘ චෙස් සඟරාව මුල සිටම මා ආකර්ෂණය කළ අපූරු ලේඛණයකි. මහා ප්‍ර‍මාණවලින් මුණ ගැසෙන, වෛර්ණ විදේශීය චෙස් සඟරා අතර සිංහලයට නැගූ චෙස් සඟරාවක් මුණ ගැසීම එකල මා පුදුම කරන්නට මෙන්ම සතුටු කරන්නටත් හේතු සපයා දුනි. සති අන්තයේ අප සොයා යන චෙස් තරගාවලි අතරතුර ‘චතුරංග‘ අපට හමු වෙයි. ලෝක ශූරයන්ගේ විත්ති හා තරග, දෙස් විදෙස් තරග තොරතුරු, චෙස් ලොව හා බැඳි අපූරු අන්දර කුඩා කළු සුදු රෝනියෝ පිටු කිහිපයක රැඳී අප නෙත ගැටෙයි.

“ප්‍රියන්තට පුළුවන් ද ‘චතුරංග‘ භාර අරන් කරන්න?“

උසස් පෙළ නිමා වූ විගසම වාගේ දිනයක සරත් සර් විමසූ විට එයට එකඟ වන්නට මම දෙවරක් කල්පනා කළේ නැත. පරිගණක භාවිතය නැගී විත්, මුද්‍රිත සිංහල චෙස් ක්‍රීඩා ලේඛණයකට ඇති ආකර්ෂණය පහළ බසින තෙක්මත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් සමයේ මාගේ ශාස්ත්‍රීය කටයුතු ඉහළ නගින තෙක්මත් හා ඒ සියල්ලටම වඩා සිංහල බසින් චෙස් ගැන ලියමින් හා සංස්කරණ කටයුතුවලටද දායක වෙමින් එක්ව ආ ක්‍රීඩා සාහිත්‍යයට ලැදි ගුරු මිතුරු සමාගමයන් කාලය විසින්ම, එකිනෙකාගේ පුද්ගල ජීවිතවල සිදුවූ විවිධ වෙනස්කම් හේතුවෙන්, ගිලගන්නා තෙක්මත් මම දස වර්ෂයකට ආසන්න කාලයක් ‘චතුරංග‘ සංස්කාරකවරයා ලෙස උන්නෙමි. 19 වන සියවසේදී මුණගැසෙන විල්හෙල්ම් ස්ටිනිට්ස්ගේ පටන් 20 වන සියවසේ මධ්‍ය සමය දක්වා ම හමු වූ ලෝක ශූරයින්ගේ ජීවන විත්ති ද, වෙනත් චෙස් තොරතුරු ද, මෙරට ක්‍රීඩා බිමේ සිදුවන අකටයුතුකම් හෙළි කළ තීරු ලිපියක් වූ ‘බෑඩ් නයිට්ගේ එල් අකුර‘ ද ලියමින් ගත කළ ඒ සමය චෙස් පෙත හා එක්ව ගෙවුණු අති සුන්දර කාල සීමාවකි.

“මට ඔයාලගෙ මේ චෙස් සඟරා වැඩේ ගැන හරිම පුදුමයි. කොහොමද මේ කීප දෙනෙක් එකතු වෙලා, පළාත් සංගමේක ඉදගෙන වැඩ කරන ගමන්, මේ වගේ එකක් සිංහලෙන් කරන්නෙ?“

කොළඹ පාසැලක චෙස් ක්‍රීඩකයකුගේ පියෙකු වූ නන්නෙත්ති මහතා කවර හෝ තරගාවලියකදී මා මුණගැසෙන්නට පැමිණ අපගේ කාර්යය අගයමින් කතා කළේ ය. රෝනියෝ මුද්‍ර‍ණයෙන් සමුගෙන තිබුණු චතුරංගය පිටු 24ක පමණ කළු සුදු ඩුප්ලෝ මුද්‍රිත සඟරාවක් ලෙස ඒ වන විට නිකුත් වෙමින් තිබිණ.

“මං කැමතියි ඔයාලට උදව් කරන්න. මං ගහල දෙන්නම් කලර් කවරයක්!“

ජීවිතයේ ඇතැම් තැන්වලදී අපිට අනෙකකුගේ වෙහෙසකර කටයුතු පිළිබද දැඩි උනන්දුවක් දක්වමින් සිය කාලය, ශ්‍ර‍මය හෝ මුදල් කැප කරමින් උදව් කරන්නට පෙළඹෙන මිනිසුන් මුණ ගැසෙති. සිඩ්නියේ බටහිර පෙදෙසක නොදන්නා බිමක මා හා සමව ශීතය විදිමින්, මගේ අපහසුතා දුරු කරන්නට තැත් දරන නාරදත් කොළඹ කොහෝ හෝ සිහියට නගා ගත නොහැකි පාසැල් බිමක මට හමුවූ නන්නෙත්ති මහතාත් ඒ දුලබ විශිෂ්ඨ මිනිසුන් අතර සාමාජිකත්වය හිමිකරගත් අය වෙති.

මවිසින් සපයා දුන් සැලැස්මට අනුව ඔප කඩදාසියක මුද්‍රිත වර්ණවත් ‘චතුරංග‘ සඟරා පිට කවර මිටියක් රැගෙන නන්නෙත්ති මහතා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකාවක දී යළි මා හමු විය.

“ඔයාල කරන වැඩේට මට කරන්න පුළුවන් උදව්ව මෙච්චරයි. ලංකාවේ ඉන්න සිංහලෙන් විතරක් කියවන දරුවන්ට ඔයාලගෙ සඟරාව නිසා වෙන්නෙ ලේසි පාසු සේවයක් නෙවෙයි. මේ ටික අරන් ගිහින් මේ පාර සඟරාව ප්‍රින්ට් කරන්න. ඊට පස්සෙ මටත් එක කලාපයක් එවන්න!“

මුදල් පිළිබද සඳහනක් නොකරමින්, අද දවස මුහුණුවර පවා සිහියට කැඳවාගත නොහැකි ඒ කුඩා මිනිසා, සිය අත තිබූ කවර මිටිය මා අත තබමින් කීවේ ය. ඔහු විසින් ලබා දෙන්නට පොරොන්දු වූ කවර එකතුව ලබා ගන්නට මම නුවර සිට කොළඹ දක්වා පැමිණියේ ඒ ආසන්නයේ ඒ වන විටත් ‘හොස් හොස්‘ හඬ නගමින් නවතා තිබුණු දුම්රියෙනි.

“මට වැඩට යන්න පරක්කු වෙනව. මම යන්නම් ප්‍රියන්ත. අපි ආයෙමත් දවසක මුණගැහෙමු!“

පළමු සහ එකම වතාවට වර්ණවත් පිට කවරයක් සමග ආ චතුරංග යළි කළු සුදු පිට කවරයක් වෙත හරවන්නට අපට සිදු වූයේ මුදල් ගෙවා වර්ණ කවරයකට යන්නට තරම් සංගමය පොහොසත් නොවූ නිසා ය. ඒ හැරුණු විට, ‘යළි හමුවෙමු‘ කියා කොටුව දුම්රිය පොළෙන් පිටව ගිය නන්නතේති මහතා ද ඉන් පසු කිසිදු දිනෙක මට මුණගැසුණේ නැත.පොරොන්දු වූ ලෙස වර්ණ පිට කවරය සහිත චතුරංග පිටපතක් ඔහු වෙත යැවූ මුත් බොහෝ පාසැල් සිසුන් පරිද්දෙන් තරගාවලියකින් දෙකකින් පසු ඔහුගේ පුතණුවන් ද චෙස් බිම හැර ගොස් තිබිණ.

“අපි අදට මෙතනින් නවත්තමු. ලබන සතියෙ වෙලාවක තව ටිකක් බෙදමු“

නාරද වෙහෙසකර මුහුණින් යුතුව වීදි කෙළවරින් මතු වෙමින් මට කීවේ මෝටර් රථය වෙත ඇවිද යමිනි. ඒ වන විටත් රථයට පුරවාගත් බන්ඩලවලින් සැළකිය යුතු ප්‍ර‍මාණයක් වීදි අද්දර වූ නිවාස වෙත බෙදන්නට අපට ඉඩ ලැබී තිබිණ.

“ප්‍රියන්තට සිටි එකට යන්න ට්‍රේන් එකකට දාන්න මට පුළුවන්. ඒත් ඊට කලින් අපි ගෙදර ගිහිල්ල කෑම ටිකක් කාල ඉදිමු“

රථය පණ ගන්වමින් නාරද කීවේ ය.

2 comments:

  1. නාරද හොඳ හිතවතෙක්. හැබැයි බඩ නං අඩු කරගෙන නෑ වගෙයි තාමත්.

    ReplyDelete