Monday, July 1, 2013

සිඩ්නියේ සිට ලියමි!


(2012 මැයි)

ශීත කාලය කෙමෙන් ළඟාවෙමින් පැවතියේ දිනෙන් දින ශීතලය ඉහළ නංවමිනි. රීජන්ට් වීදි නවාතැනේ මගේ කාමරය තවදුරටත් උණුසුම්ව කල් ගෙවන්නට හැකි තැනක් නොවන බැව් වැටහෙන්නට ගත්තේ එහි වීදුරු පනේල විදගෙන ශීතලය කාමරයට වදින්නට ගත් තැන ය. නගරයේ පහළ සිට ඉහළට, විසි හතර පැය පුරා දුවන වාහනවලින් නැගෙන ගුම් නදැති එන්ජින් හඬ කණට හුරු කරගෙන උන්න ද වීදුරුව විනිවිද එන ශීතයට හුරුවීම පහසු නොවී ය. වීදුරු බිත්තිය දෙසට හිස තබා නින්දට වන් කළ දෙසවනට පීඩා ගෙනෙන කටුක ශීතෙන් මිදීමට හිස තබන අන්තය වෙනස් කළද ප්‍රතිඵලය සාර්ථක වූයේ කෙටි කලකි. ශීතලය යළි ඉහළ අගයක් ගනිමින් දෙසවන් සොයා ඇදෙන්නට විය.

චෙස් පන්ති පැවැත්වෙන දිනවල දුම්රිය හෝ බස්රියවල නැග පාසැල් වෙත යන මම සවස් කාලය එළැඹෙත්ම නිවහනට පැමිණ ජුන්, ෆ්‍රන්සුවා, මර්සෙලෝ  හා පැට්‍රික්ගේ සමාගමයට එක් වෙමි. ගෙයි මධ්‍යයේ පැවති කුඩා විසිත්ත කාමරය, නොඑසේනම් සාලයක් ලෙස පිළිගත හැකි කොටස හා ඉවුම් පිහුම් කරන කොටස (පැන්ට්‍රිය) තරමක උණුසුමක් ගත් හෙයින් සැවොම එතැනට වී කල් ගෙවන්නට කැමැත්තක් දැක්වූ හ. හොලිවුඩ් සිනමා පට, සංගීතය, සිඩ්නියේ ජීවිතය ආදිය ගැන කෙරෙන පොදු කතාබහකට මාතෘකාවක් නොවූ තැන එකිනෙකා සිය විනෝදාංශයන් සොයා යන්නට විය. මෙවැනි සාමාන්‍ය දිනෙක, ජුන් සුපුරුදු ලෙස සිය සිතුවම් දිනපොත අඳින්නට ගද්දී, මර්සෙලෝ පරිගණකයේ චිත්‍රපට බැලීම අරඹන අතර ෆ්‍රන්සුවා අනිවාර්ය ලෙස ගෙනෙන මැක්ඩොනල්ඩ්ස් බර්ගරය කා අහවර කොට ‘යූ ටියුබ්‘ නාලිකා හරහා සංගීත ලොවට පිවිසෙන අයුරු ඔබට දකින්නට පුළුවන. පැට්‍රික්  පමණක්, අපට නිශ්චිතව අනුමාන කළ නොහැකි ක්‍රියාවන් කිහිපයක් අතරින් එකක් තෝරා ගන්නේ ය. කාමරයට වැද ඉංග්‍රීසි භාෂා පාඩමක් සඳහා යොමුනොවන්නේ නම් පරිගණකයේ චිත්‍රපටයක් නරඹන ඔහු ඒ ද නොමැති තැන සිය ‘දෙමාපියන්‘ සමග ස්කයිප් සංවාදයක යෙදෙනු දැකිය හැකි ය. මේ සියල්ල හැර දමන ඔහු වේලාසන නින්දට යන දින ද නොවන්නේ නොවේ.

සියළු දෙනාම තම තමන්ගේ ක්‍රියාවන් වෙත යොමුවීමෙන් පසු වටපිටාව නිහඬ වූ විට මවෙත නැඟෙන්නේ කුසීතකමකි. නිහැඬියාව අධ්‍යයන කටයුත්තකට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්න ද එයට යොමු වන්නට මනස ඒකාග්‍ර කර ගන්නට නොහැකි ලෙස තනිකම හා පාළුව මා පෙළන්නට පටන් ගනියි. මාර්තුවේ කටුනායකින් පිටවූ දින සිට නෑසියන් හා සුමිතුරන් කිසිවකුත් නොමැතිව තුන්වැනි මාසය ද ගෙවෙමින් පවතියි. අතීත දිවියේ නානාවිධ මතක හා ආවර්ජනාවන් යළි යළිත් නැගී සිත්හි නින්නාද වෙයි. 

පරිගණකය වෙත හිඳගෙන කල්පනාවට සම වැදී උන් මෙවන් මොහොතක මගේම අතීතය ලිවිය යුතුයැයි යන සිතුවිල්ල එක්වරම මනසෙහි නැගිණ. 

සෑම මිනිසකුගේම ජීවිතය අපූරු ලියැවිල්ලකි. සතුට, දුක, වේදනාව, විරහව, සංතාපය, සිනහව ඈ නන්විදිත පරිච්ඡේදයන්ගෙන් ඒ පිරී පවතී. මම ජීවිත ගැන කියවන්නට ආශා කරමි. ජීවිත විත්තියේ අනේක හැල හැප්පීම් ඔස්සේ දිව ආ දිවිය ‘ජය ගත්‘ මිනිසුන්ගේ ජීවන තතුවලින් පිරි චරිතාපදාන සහ ස්ව-චරිතාපදානවලට මම බොහෝ සේ ඇලුම් කරමි. උපන්දා සිට, පිං ඇති සරසවි වරමක් දෙන්නේ වැනි ප්‍රකට ජීවන වෘතාන්ත පමණකුදු නොව දිය වැලක් ඔස්සේ, දිවි සයුරෙන් දිය දෝතක් වැනි ජීවන විත්ති කතන්දර ද මම ආශාවෙන් කියැවීමි. උසස් පෙළ හමාර කොට ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස රාවයෙන් එළිදුටු ‘විසුර‘ පුවත්පතේ සේවය කළ සමයේ ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් චරිතාපදානය ‘හිනි පෙත මතුයෙහි විසිවසක්‘ යනුවෙන් සිංහලයට නැගූ මුත් ඒ පළ කරන්නට පෙර පුවත්පත වැසී ගියේ ය. 

චරිතාපදානයක ඇති වටිනාකම සැවොම වටහා ගන්නේ නැත. ඒ අවඥාවෙන් බැහැර කරන සාමාන්‍ය මිනිසුන් පමණකුදු නොව විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පවා මාහට මුණ ගැසී ඇත. 

“හොඳයි... දැන් උඹ කියපන්... අපිට ඇති වැඩේ මොකක්ද කේමදාස පුංචි කාලෙ ඉඳන් කළේ අහවල් එකය කියල දැනගන්න එකෙන්? එයා මොනව කරාම අපිට මොකෝ...!“

මේ වදන් මා වෙත පැවසූයේ මා මිතුරු කථිකාචාර්යවරයෙකි. අවාසනාව ඔහු ද සංගීතයට සබැඳි විෂයක්ෂේත්‍රයක අයෙකු වීමයි. ඔහු සමග උන් අනෙකා ද මහ ඉහළින් ඒ අනුමත කළේ,

“කාගෙවත් කෙහෙම්මල් අපිට මොකට ද බන්... අපි ඒව කියෙව්ව කියල මොකක් කරන්න ද? මොකෝ අපි උන් වගේ කොරන්ට ඕනද?“

කියමින් උස් හඬින් සිනාසෙමිනි.

අද මේ දෙදෙනාම ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරුන් වන අතර නොබෝ දිනකින්ම ආචාර්ය උපාධි ලබන්නට ද නියමිත ය!

ඒ ඒ චරිතයන් සිය ජීවන ගමන තුළ මුහුණ දුන් බොහෝ අවස්ථා, පිරුණු සාහිත්‍ය රසයක් සහිත මාහැඟි කෘතීන් ලෙස සමාජගත කිරීම පිරිපුන් මිනිසුන් තනන්නට යන, යහපත් සමාජයක් දකින්නට වෙර දරණ ගමනකට මහත් උපකාරයක් බව මා එදා ඔවුන්ට කියන්නට ගියේ නැත. සාහිත්‍යයේ අගය නොදන්නා අයෙකු හෝ කිහිප දෙනෙකු සමග තර්ක කරන්නට යා හැකි මග මම නොදනිමි. සාහිත්‍ය කෘතියක ගුණාගුණ පිළිබඳ කෙරෙන සංවාදයකට මැදිහත් වීම මෙන් නොව මෙවන් කරුණු පසක් කරන්නට යාම අවසන ගෙන දෙන්නේ ප්‍රතිඵල විරහිත වෙහෙසක් පමණි. ප්‍රතිවාදියා තමන් ද බුද්ධිමතෙකැයි සිතා සිටින විට ප්‍රතිඵල සාර්ථක වීමේ ඉඩ තවතවත් පහළ බසියි.

රීජන්ට් නවාතැනේ කුඩා මේස තීරුව මත තබාගත් පරිගණකය සමග හිඳ මම ලිවීම ඇරඹීය යුත්තේ කොතැනින් දැයි කල්පනා කළෙමි. අතීතයෙන් ඇරඹ වත්මන වෙත පියවරෙන් පියවර පැමිණෙන ගමනකට වඩා අදින් ඇරඹ අතීතය හා සමපාත වෙමින් යන ගමනක සුන්දරත්වය වැඩි වෙතැයි මම සිතුවෙමි. අප සියල්ලෝම අතීත මතකයන් අතර සරන්නේ, වත්මනෙහි ඊට අනුරූප හෝ සපුරා එරෙහි සිදුවීම් ඔස්සේ යමින් නොවේ ද?

මම ලිවීම ඇරඹීමි. ඒ කටුනායකින් පිටත්වූ දිනයෙනි. 

“තාත්ති තුළ ඇත්තේ ශෝකයක් ද? සතුටක් ද? කුඩා මෝටර් රථයේ පසු පස අසුනේ බරව මම කල්පනා කරමි. ‍මල්ලීට සුපුරුදු පරිදි මග වැරදී ඇත. නැතිනම් අපි මීගමු නගරයට ආ යුතු නැත. සිදු වූ ප්‍රමාදය අල්ලා ගැනීමට ඔහු වේගයට ආරාධනා කර ඇත.“

දිගින් දිගටම නැගෙන්නට වූ සිතුවිලි මම පරිගණකයේ සුදු පැහැ ලියවිල්ල මත ලියැවෙන්නට හැරීමි. ‍‘බෝම්බ මතක‘ ලෙස පසුව නම් ලද ලියැවිල්ලේ සිට ‘ඇල්ගනන් වීදියෙන් රීජන්ට් වීදියට‘ දක්වා  ලියවිලි කිහිපයක්ම ඉතා කෙටි දිනක් ඇතුළත පරිගණක මතක ගබඩාවේ තැන්පත් කෙරිණි.

“ඔයා ලියන ඒව හොඳයි ප්‍රියන්ත... හිතල බැලුවොත් නරක ද ඔහේ ඉඳන් ලංකාවෙ පත්තරේකට කොලම් එකක් වගේ ලියන්න?“

ලියූ කොටස් කිහිපයක් මා ඊ මේලයෙන් යැවූ පසු, ඒ කියවා ආචාර්ය සුනිල් විමසා එවා තිබුණේ ය.
“ෂහ්... මේව නං නියමයි... මං ගොඩක් ආසයි අර අෂ්රොෆ් මැතිණිය පාර්ලිමේන්තුවට කඩා වැටුණා ය කියල ලියල තිබ්බ එකට! ඔයාට තියෙන්නෙ බ්ලොග් එකක් පටන් ගන්න“

මිතුරු ලොහාන් ස්කයිප් සංවාදයකට ගොඩ වැද කීවේ ය.

‘බ්ලොග් එකක්?“

මම සිතන්නට වීමි.

බ්ලොග් අවකාශයන් පිළිබඳ මට විශාල අදහසක් නැත. මීට වසර කිහිපයකට පෙර ලොහාන්ගේම සම්බන්ධීකරණයක් මත රාජකීය විද්‍යාලයේ ‘අසනිය කුසුම‘ සම්මාන උළෙලේ විනිසුරුවකු ලෙස ගොස් බ්ලොග් අඩවි පිළිබඳ විනිශ්චයකට සම්බන්ධ වූයේ ද බ්ලොග් ලොවට බැහැරින් ආ ආරාධිතයකු ලෙසිනි.

“ඒ ගොල්ලන්ට ඕන බ්ලොග් නොලියන පිටින් කෙනෙක් මෙතෙන්ට... ඒ නිසා ඔයා යන්න“ ඔහු එදා කීවේ ය.

එදවස සිංහල බ්ලොග් අවකාශය හඳුනන්නන් අතර හිඳ මම ඒ විමසද්දී සිතට නැගුනේ මහත් ආස්වාදයකි. එය මට සැඟවුණු විශ්මිත ලොවක් හඳුනාගත්තාක් වැනි විය. අප විසින් එහිදී සම්මාන කිහිපයක්ම සඳහා බ්ලොග් අඩවි තෝරන ලද අතර ඉහළින්ම තැබූ  බූන්දියට සම්මානයට නොලැබුණු බවද, ඒ නිසා විශාල කලබගෑනියක් ඇති වූ බවද පසුව දැනගතිමි. එසේමුත් කලින් හඳුනාගෙන තිබුණු බූන්දියේ නිත්‍ය පාඨකයෙකු බවට මා පත්වූයේ ඉන් පසු ය. 

ලද ආනන්දය නිසා ‘සිනමා කතිකා‘ නමින් බ්ලොග් අඩවියක් ඇරඹූවද ඒ වෙත ලිවීම ද අතපසුවී ගියේ ය. ඒ කාලයේ තරමක් දුරට බ්ලොග් ලොව හඳුනාගත්ත ද එහි නිතර සැරිසැරන්නට මා පෙළඹුණු වගක් මට මතක නැත. ගොඩවැදුණා නම් ඒ බූන්දියේ පිටු වෙත පමණි.

බ්ලොග් එකක්! ඔව්... ඒ පුවත්පතකට තීරුවක් ලියනවාට වඩා නවමු යෝජනාවකි. එහි වටපිටාව පිළිබඳ ගැඹුරින් නොදන්නේ වුව ඒ ආරම්භ කළ යුතු යැයි අවසන තීරණය කළෙමි. සිඩ්නියේ දී මසිතට නැඟෙන සිතුවිලි නිසාවෙන් ඒ ‘සිඩ්නි සිතුවිලි‘ ලෙස නම් කරන්නට සිත් වූ අතර මුලින්ම ලියැවුණු පාඨයක් පිටුවේ ඉහළින් යෙදිණ. ඒ සිඩ්නියට එන ගමනේ දහසක් කල්පනා මැද සිටියදී යානයේ කුඩා කවුළුවෙන් මා දුටු හිම තුහින ගැන ය.

ගුවන් යානයේ ජනේල වීදුරුව මත පතිතව රැඳී ඇති හිම තුහින කියා සිටින්නේ මා වෙනත් දේශයක‍ට පියා සලන බවයි. අසල ආසනය හිස් ය. මම යානයේ කවුළුවෙන් පහත බලමි. සැන්දෑ හිරු එළියෙන් දිදුලන, ඉම කොණක් නැති බටහිර ඔස්ට්‍රේලියානු කතර පහතින් පෙනේ.

හිස් වූ අසල ආසනයේ හිඳුවාගෙන සිඩ්නියට කැඳවා විත් මේ නවමු දිවියේ සතුට හා ගැහැට පෙන්වමින් කියවන්නා මා මවන මනස් ලොව ආවර්ජන වෙත කැටිව යන්නට මට හැකි වේද?

6 comments:

  1. වෙල්කම් ටු ද බ්ලොග්ස්පියර්, ජජ්!

    ReplyDelete
  2. මොකා මොනවා කිව්වත් ජීවිත අත්දැකීම්වලින් ගොඩ නැගෙන කතන්දර තරම් තවත් රසවත් දේවල් මට නම් නෑ.

    මේ බ්ලොග් එකට මං කැමති එය ලියන ලයාන්විත විලාශය සහ අතීතර සහ වර්තමනාය එකිනෙක අමුණා ඔබ කරන අපූරු නිර්මාණකරණය නිසායි.

    ReplyDelete
  3. කකා කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ.. සමහර වෙලාවට කියවලා කමෙන්ට් නොකර යනවා හිතට වදින නිසාම...

    ReplyDelete
  4. ප්‍රියන්තගේ ලිවීමේ සහ සිතීමේ ශෛලියන් සිත්ගන්නා සුළුයි.

    ReplyDelete
  5. ප්‍රතිචාරවලට පිළිතුරු ලිවීම පුරුද්දක් ලෙස නොකලත් මේ ප්‍රතිචාර දිරිගන්වන සුළුයි. කතන්දරට, තිසරට සහ හිරුට ස්තුතියි!

    ReplyDelete
  6. මේ වෙනකල් ලියවුනු හැම පෝස්ට් එකක්ම ගොඩක් කැමැත්තෙන් කියෙව්වා ප්‍රියන්ත... අර කිව්ව සිනමා කතිකා බ්ලොග් එක නවත්තන එක අපරාදේ... අපි හිතුවේ නැතුවට ගොඩක් කාලෙකට පස්සේ හරි කවුරු හරි ඒවා කියවලා සතුටු වේවි... මම ඒ බ්ලොග් එකත් කියවනවා...

    ReplyDelete