(2012 - මැයි)
නිරාවරණය වූ මුහුණ හා
දෙඅත් තවතවත් ශීතලයෙන් තවමින් හිරි නංවන සුළං රැළි නගරය පිස හමා එයි. හිරු තවමත්
හරිහැටි පායාවිත් නැත. ශීතලෙන් තැවෙන දෙඅත් එකිනෙක මත පිරිමදිමින් මම දුම්රිය
වේදිකාවේ රැඳී සිටියෙමි. වේලාව උදෑසන හයට පමණ වන්නට ඇත. හෝන්ස්බි බලා දිවෙන
දුම්රිය තව මොහොතකින් වේදිකාවට සපැමිණෙනු ඇත.
සිඩ්නියේ ජීවිතය වෙනත්
අතකට හරවමින් ලැබුණු සිඩ්නි චෙස් ඇකඩමියේ රැකියාව සියලු කරදර මකා දමන වේතනයක් මවෙත
ගෙනෙන කප්රුකක් වනු ඇතැයි මම මුලදී සිහින දැකිමුත් එය එසේ නොවන බව වටහාගන්නට මහත්
කාලයක් ගත වූයේ නැත.
“අපේ ගෙවීම්, මුලින්
පටන්ගන්න කැෂුවල් කෝච් කෙනෙක්ට, ඩොලර් තිහයි පැයකට. ගමන් වියදමත් දාලා අපි ඩොලර්
තිස්පහක් දෙනව.“
බ්‍රෙට්ගේ වචනවලින් මා
ඉමහත් උද්දාමයට පත් වූයේ ලැබෙන පාසැල් කිහිපය නිසා උපයාගත හැකි මුදල සිතින් ගණනය
කරමිනි. පාසැල් හතරක පමණ පුහුණුකරු ලෙස මා පත් කර තිබුණු හෙයින්ම ඉදිරි කාලය වැඩ
අධික වනු ඇති බවත්, ඒ සමඟම මුදල් නොමැතිකමින් ගෙවුණු කාලය නිමා වනු ඇති බවටත්
පූර්ව නිගමනයකට එළඹියෙමි. එහෙත් දේශය හා අධ්‍යාපන ක්‍රම භාවිතය වෙනස් වූ සැණින්
බොහෝ ක්‍රීඩාවන් සඳහා වන ප්‍රවේශයන්ද වෙනස් වන බව පැහැදිලි වූයේ පාසැල් සඳහා වන
පාඩම් මාලා පොත්, දස්කම් දැක්වූවන් දීමට කලින් සූදානම් කළ සහතිකපත් ආදිය මවෙත ලබා
දෙමින් බ්‍රෙට් කළ පැහැදිලි කිරීම ඇසූ විට ය.
“මෙහෙ සාමාන්‍යයෙන් චෙස්
පන්තියක් තියෙන්නෙ පැයයි. සමහර විට ඒක විනාඩි 45ක් වෙන්නත් පුළුවනි. පන්ති
තියෙන්නෙ එක්කො උදේම, නැත්තං කෑම පැයේ... නැත්තං හවස් වරුවෙ, ඒ කිව්වෙ සතියට ඔයා
එක ඉස්කෝලෙකට යන්නෙ පැයකට විතරයි!“
ඔහු කී පරිද්දෙන් පාසැල්
හතරක පුහුණුකරු වූ මට ලැබී තිබුණේ පැය හතරක වැඩ කාලයකි. ඒ අනුව මට සතියකට ලැබෙන්නේ
ඩොලර් එකසිය හතලිහකි. නවාතැනේ ගාස්තුව ලෙස ඩොලර් එකසිය විසිපහක් ඇනී වෙත ගෙවූ පසු
මවෙත ඉතිරි වන්නේ ඩොලර් පහළවකි.
“පැයකින් පුළුවන්ද
පාඩමක් කරන්න? ලංකාවෙදි නම් අපි ක්ලාස් එකක් කළා පැය දෙක තුනක්ම!“ මම බ්‍රෙට්ගෙන්
විමසුවේ කුතුහලයෙනි.
“ඒක වෙන්න පුළුවන්. ඒත් ඔයාලගෙ රටවල තරම් තාම අපේ චෙස් දියුණු
නැහැ!!“
‘ඔයාලගෙ රටවල්‘ යනුවෙන්
බ්‍රෙට් සඳහන් කර, ‘දියුණු චෙස්‘ ක්‍රීඩාවක් ගැන අගයන්නේ ඉන්දියාවේ චෙස් ක්‍රීඩාව
දක්වමිනි. ඉන්දියාවේ අසල්වැසි අප රටේ ද චෙස් ක්‍රීඩාව එහි තරම්ම ඉහළ මට්ටමක වනු
ඇතැයි බ්‍රෙට් සිතන බව පෙනේ. වත්මන් ලෝක ශූරයා වන විශ්වනාදන් ආනන්ද්ගේ දේශය වන
ඉන්දියාවේ චෙස් ක්‍රීඩාවට ඇත්තේ ඉහළ පිළිගැනීමකි. ලෝක කණ්ඩායම් ශූරතාවලිය වන චෙස්
ඔලිම්පියාඩ්හිදී ද මුල් රටවල් කිහිපය අතර ඉන්දියාව රැඳෙද්දී ශ්‍රී ලංකාවේ නම සඳහන්
වන්නේ සියවන අංකය අවට ය.
“ඉන්දියාවෙ චෙස් හරිම ප්‍රසිද්ධයි.
ක්‍රිකට් ඇරුණම ගොඩක්ම දෙනා දන්නෙ චෙස් ගැන. අපි චෙන්නායි ටූනමන්ට් එකට ගිය
වෙලාවෙ, ත්‍රී වීලර් එළවන අයත් ආනන්ද්ව දැනගෙන හිටිය!“
ඉන්දීය සංචාරයකට ගොස්
පැමිණි මල්ලී ඇතුළු පිරිසක් කියූ මග විස්තර අප අසා සිටියේ විශ්මයෙනි.
“ආනන්ද් දැන් වර්ල්ඩ් චැම්පියන්
වුණාට අවුරුදු ගාණකට කලින් ලංකාවෙ වජිර පෙරේරට පැරදුණා!“
සරත් සර්ගේ මේ සඳහන අප
තවත් කුතුහලයටත් විශ්මයටත් ගෙන යයි.
“කවුද වජිර පෙරේර..?“
“එයා හිටියෙ හැත්තෑව
අසූව කාලෙ මට මතක විදියට. හරි දක්ෂයෙක්...!“
“එතකොට දැන්?“
“දැන් චෙස් කරන්නෙ නැහැ.
මම හිතන්නෙ පදිංචිය ඕස්ට්‍රේලියාවෙද කොහෙද...“
හෝන්ස්බි දුම්රිය
දැවැන්ත සිඩ්නි වරාය පාළම මතින් ඇදෙයි. නගරයෙන් පිටතට දිවෙන නිසාවෙන් මැදිරිවල
සිටින්නේ සීමිත පිරිසකි. කවුළුව අතරින් කුඩා සෙල්ලම් නැව් හා බෝට්ටු මෙන් කලපු
දියේ ඇදෙන යාත්‍රා දිස්වෙයි. මගේ ගමන් මල්ලට අමතරව උර මත දමා යා හැකි ලෙස ඇසුරුමක
බහාලූ ප්‍රදර්ශක පුවරුවද මවෙත වෙයි. නෝමන්හර්ස්ට් වෙත ළඟා වන්නට දුම්රියට තව
විනාඩි හතලිහකට වඩා ගතවනු ඇත.
මුල් පාසැල් කිහිපයට
අමතරව තවත් පාසැල් කිහිපයක් මගේ ලැයිස්තුවට එක් වුවද එය විශාල ලෙස කාලය ඉල්ලා
සිටින රැකියාවක් විය. චැට්ස්වුඩ්, නෝමන්හර්ස්ට්, බීක්‍රොෆ්ට් වැනි ප්‍රත්‍ය නගරවල
පිහිටි පාසැල් වෙත නවාතැනේ සිට යන්නට පැයකට අධික කාලයක් ගතවූ අතර යළි පෙරළා එන්නට
ගත් කාලයත් සමග ගමන සඳහාම පැය දෙකක් පමණ වෙන් වෙයි. එහෙත් මා වෙත වේතනයක් ලැබෙන
කාලය වූයේ අතරමැද වූ පාඩම සිදු කළ පැය පමණි.
සිඩ්නි පාසැල්වල සිසු
සිසුවියෝ වැඩි දෙනෙකු චෙස් පාඩමට ආවේ විශිෂ්ටයකු වන්නට යන ගමනක් ගැන සිහින මවමින්
නොවේ. පාසැල තුළ හමුවන නන්විධ ක්‍රීඩා අතර චෙස් ද තවත් එක් ක්‍රීඩාවක් පමණක් ලෙස
ඔවුන් වටහාගෙන තිබුණු අතර වසර තුන හතරක්ම ක්‍රීඩාවේ නිරත වුණු ක්‍රීඩක ක්‍රීඩිකාවෝද
බොහෝ ආධුනික ලක්ෂණ ප්‍රකට කළ හ.
“මේ තියෙන පුංචි
සහතිකවලින් එක එක පාට ඒව කීපයක් හැම දවසෙම බෙදන්න. වාරයක් ඉවර වෙද්දි හැම ළමයෙකුටම
එක සහතිකයක් හරි ලැබිල තියෙනව නං ගොඩක් හොඳයි!“
චෙස් පන්ති සඳහා උපදෙස්
දී බ්‍රෙට් ලබා දුන් කුඩා කාඩ්පත් බඳු සහතික නා නා වර්ණවලින් යුක්ත විය. ‘හොඳම
ජයග්‍රහණය‘, ‘හොඳම විසඳුම් සෙවීම‘, ‘විනීතම ක්‍රීඩකයා‘ වැනි දෑ සඳහන් වූ ඒ සහතික
දිනයක කෙළවර කුඩා දරුවන් සතුටට පත් කරවන ‘විරු සමරු‘ විය.
“මේ... මට ගොඩක් පාටින්
සහතික තියෙනව..!“
ඇතැම් පාසලක කුඩා
දරුවෙක් හෝ දැරියක් මවෙත විත් කාඩ්පත් දක්වයි.
දිනයක කෙළවර සහතික පත්
ලබනු කෙසේ වුව පාසැල් අවදියේ අප ක්‍රීඩා තරගයකින් ජය ලබා සහතික හෝ කුසලාන දිනුවේ
චෙස් පුහුණුව අරඹා වසර කිහිපයක ඇවෑමෙනි. පුහුණු කාල සීමාවන් තුළ අප සතුටු ගැන්වූයේ
අපහසු ගැටළුවකට පිළිතුර සෙවූ විට සරත් සර්ගෙන් ලද පැසසුමයි. සෙනසුරාදා දිනවල උදෑසන
ඇරඹෙන චෙස් පුහුණුවීම් අතරතුර ඔහු විසින්ම අප වෙත ගෙනෙන විස්කෝතු පෙට්ටි, කේක්
පෙට්ටි සියල්ලන්ට බෙදා දෙමින් පුහුණුවීම් කළ කාලය තුළ පාසැලින් ඔහු වෙත වූ දීමනා
ලැබුණු පිළිවෙලක් අප දැන සිටියේ නැත. ඇතැම් විටෙක දිගුකාලයක් මුළුල්ලේම පාසැලින්
ලැබිය යුතු වේතන ප්‍රමාදවූ අවස්ථා තිබුණු බව අප පසුව දැනගත්ත ද ඒ නොසලකමින්
නිරන්තරව අප හා පුහුණුවීම්වලට ආ සරත් සර් ජයග්‍රාහී ඉලක්කයන් පිළිබඳ සිහින සැබෑ
කරදෙන්නට සමත් විය.
“පන්තියට එන ළමයින්ගෙ
නම් සේරම මතක ඇතිව ළකුණු කරගෙන රෝල් එක ගන්න. සල්ලි දීල නැති ළමයි නෝට් කරල අපිට
කියන්න. ළමයින්ගෙ දක්ෂකම් හොයල සහතික ටිකක් අනිවාර්යයෙන් බෙදල දෙන්න.. ඒ ගොල්ලො
පෞද්ගලිකව ගෙවන නිසා අපි හරියටම මේව කරන්න ඕන!“
“ඉතින් පැයකදි ඔය ටික
කරන්න ගියාම ලෙසන් එකකට වෙලාව හරිම අඩුයිනෙ!“
බ්‍රෙට් වෙත එම පිළිතුර
යොමු කිරීම මවිසින්ම පාලනය කොට වළකා දැමුව ද නිසි පරිදි දරුවන් වෙත ක්‍රීඩාව
උගන්වන්නට කාලයක් නැති බව හැමවිටම පැහැදිලි විය. යටකී කරුණු සියල්ලටම අමතරව සිඟිති
දරුවන්ගේ දඟකාරකම්, පාලනය කර ගත නොහැකි හඬ නැඟීම්, ඉන්දියානු පෙනුමැති මවෙත
ඇතැමුන් දැක් වූ නුරුස්සනසුළු ස්වභාවයන් හමුවේ ඇතැම් පන්ති සඳහා වුණු පැයක කාලය
නිසි ලෙස මෙහෙයවා ගැනුම විශාල අභියෝගයක් විය.
නෝමන්හර්ස්ට් දුම්රිය
පළේ කුඩා මායිම් වැටෙහි වූ ගේට්ටුවෙන් නික්ම මම ඉහළ වීදිය දෙසට ඇවිද යන්නට පටන්
ගතිමි. පාළු ප්‍රත්‍ය නගරයක් වූ නෝමන්හර්ස්ට් පෙදෙස කුඩා කඩ මණ්ඩියකින් සමන්විත
වූවකි. කඳු ගැටයක් දෙසට දිවෙන වීදි මධ්‍යයේ විශාල කහ පැහැති පුවරුවක ලියා ඇති කිලෝ
මීටර 40 ක සංඥාව අසළ පාසැලක් ඇති බව සපථ කරයි.
“මගෙ සහතික සේරම හරි...
හැම පාටින්ම එක ගාණෙ ආවම ලොකු කප් එකක් ලැබෙනව කියල කලින් ආපු ගුරුතුමී කිව්ව. ඔයා
මගෙ කප් එක ගෙනාවද?“
මා වෙත ආ දැරියක් විමසා
සිටියා ය. ඇගේ දෙනෙත් විමසිල්ලෙන් පිරී ඇත. අවිහිංසක, නිහඬ චරිතයක රුවගුණ ඇගේ
හැසිරීම තුළ දිස්වෙයි.
“ඔයාගෙ නම මොකක්ද?“
“බෙතී!“
ඇගේ කුසලානය පිළිබඳ මම
ජ්‍යෙෂ්ඨ පුහුණුකාරිණියක වූ ඈන්ගෙන් විමසුවෙමි.
“ආ.. ඔව්... බෙතී... එයා
හරිම දක්ෂයි. එයාට කුසලානයක් දෙන්න ඕන. ලබන සතියෙ ගේන්න බ්‍රෙට්ගෙන් ඉල්ලල...“
මම ප්‍රදර්ශක පුවරුව
බිත්තිය මත එල්ලමින් යළි දරුවන් දෙස හැරී බැලුවෙමි. සියල්ලන් අතර හිඳිමින් කැපී
පෙනෙන උනන්දුවකින් බෙතී එබී බලයි. ඇයගේ උනන්දුවට හා දක්ෂකමට තිළිණ කළ යුතු නිසි ක්‍රීඩා
දැනුම සපයන්නට මගක් මට නැත. කාලය වේගයෙන් හෝරවක් පුරවා දමන්නට දුවමින් සිටියි.
ඔහොම සහතික දුන්නනහම වටිනාකම නැතිවෙනවා නේද?
ReplyDeleteඅපේ පුතාගේ කරාටේ පoතියෙත් ඔහොම සහතික දුන්න.
දැන් ගෙදර සහතික පුරෝලා. මිනිහ දන්නා කරාටේ ත් නැහැ.
දැන් පoතියට යවන්නෙත් නැහැ.