Saturday, August 10, 2013

ආයුබෝවන් බෙතී

(2012 මැයි)


“ප්‍රියන්ත... දැන්ම, පන්තිය නවත්තල බර්වුඩ් ඔෆිස් එකට එන්න!“

“එතකොට මේ ළමයි?“

“ඇලිස්ගෙන් අහන්න පන්තිය භාරගන්න පුළුවන් ද කියල. නැත්නං පන්තිය ඉවර කරපු ගමන් කෙළින්ම එන්න!“

බ්‍රෙට් එවදන් කීවේ සතුටකින් නොවන බව මට හොඳින් වැටහිණ. බොහෝ විට ඔහු මට තදින් දොස් පවරනු ඇත. සැබවින්ම මා කළ වරදක් තිබේ ද? සිඩ්නියට පය ගසා බොහෝ කලක් ගතවී නොතිබුණු හෙයින් තවමත් මෙහි ගමනාගමනය පිළිබඳව මා හොඳින් දැන සිටියේ නැත. ප්‍රවාහන සේවා පිළිබඳ නිසි ලෙස තොරතුරු සපයන 131 500 වෙබ් අඩවියෙන් සියලුම බස් රථ සහ දුම්රිය සේවා කාල සටහන් සහ ප්‍රමාදයන් පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බව මා දැනගත්තේ ද චෙස් පන්ති සඳහා යන්නට පටන් ගත් පසු ය. පසුගියදා ශාන්ත ලෙනර්ඩ්ස් පොදු පාසලේ චෙස් පන්තියට යන්නට මට විනාඩි කිහිපයක් ප්‍රමාද වූයේ මේ කාල සටහන් පටලැවිල්ල නිසා ය. මගේ විනාඩි ගණනක ප්‍රමාදය නිසා කලබල වී තිබුණු දරුවන්ගේ දෙමාපියන් ඒ බව බ්‍රෙට් වෙත දැනුම් දී තිබුණෙන් ඔහු ඒ ගැන මගෙන් නිදහසට කරුණු විමසී ය. 

ඊට දින කිහිපයකට පසුව දෙවන වර බ්‍රෙට්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන විට මා සිටියේ නෝමන්හර්ස්ට් පාසැලේ ගේට්ටුවෙන් ඇතුළු වෙමිනි. 

“ප්‍රියන්ත, හෝම්බුෂ් ඉස්කෝලෙ ළමයින් ඇටෙන්ඩන්ස් සිස්ටම් එකට දැම්ම ද?“ ඔහු මගෙන් ඇසී ය.

“ඔව්. මම දැම්ම.“

“කලින් ඇටෙන්ඩන්ස් නෑ කියල දැන් දැම්මෙ කොහොමද? මම හිතන්නෙ ඔයා බොරු ලිස්ට් එකක් දැම්ම...“

බ්‍රෙට්ගේ ප්‍රකාශයෙන් මම විශ්මයට පත් වීමි. පාසැලකදී පැමිණෙන ළමුන්ගේ නාම ලේඛණයක් තබාගත යුතු බව ඔවුන් කිසිවිට මට කීවේ නැත. හෝම්බුෂ්වලදී ක්‍රීඩා භාර ගුරුවරයා එම ලේඛණය සාදනු දැක එය පාසැලේ කාර්යයක් වන්නට ඇතැයි මම උපකල්පනය කළෙමි. ජ්‍යෙෂ්ඨ පුහුණුකරු නීල් මගෙන් ලේඛණය ගැන ඇසුවේ පන්තියෙන් පසු දුම්රියපළට එන අතරතුර ය‍.

“මම ගත්තෙ නැහැ. ඒක එම්අයිසී කරනව මම දැක්ක.“

“ආ... ඒක ඉස්කෝලෙට. අපි අපේ ලිස්ට් එක ගන්න ඕන... කමක් නැහැ. මොනව හරි කරමු.“

නීල් එදා පිටව ගියේ එසේ කියමිනි. එහෙත් දින කිහිපයකින් මගෙන් නාම ලේඛණය ඉල්ලා විද්‍යුත් තැපැල් පණිවුඩ ගණනාවක් ලැබෙන්නට විය. අවසානයේ මම එදින පන්තියේ සිසුන් වෙත දුන් අභ්‍යාසයක පිළිතුරුපත් ඇසුරින් නාම ලේඛණයක් සකසා ඔවුන්ගේ දත්ත ගබඩාවට යැවීමි.  

“නැහැ... මම කියද්දිත් ලිස්ට් එක නැහැ කියල ඔයාල දිගින් දිගටම ඉල්ලපු නිසා මම එදා ආන්සර් පේපර්ස්වලින් නම් ලැයිස්තුවක් ගත්ත... ඒක තමයි දැම්මෙ..“

නෝමන්හර්ස්ට් පාසැල් ගේට්ටුව අසළ හිඳ මේ ඇමතුමට පිළිතුරු දෙන්නට මට විනාඩි කිහිපයක් ගත වන්නට ඇත. යළි බ්‍රෙට්ගෙන් ඇමතුම ලැබුණේ පන්තියේ දොරකඩ දී ය.

“ඔයා කොහෙද ඉන්නෙ?“
 
“නෝමන්හර්ස්ට් ඉස්කෝලෙ...!“

“වෙන්න බැහැ... මම දැන් ඇලිස්ට කතා කළා... ඔයා එතන නැහැ!“

“නැහැ බ්‍රෙට්... මම එතන තමයි ඉන්නෙ. මට ඇලිස් පේනව... මම දොරෙන් ඇතුළට යන ගමන්...“

“ඔයා දොරෙන් ඇතුළට යන ගමන් ඉන්න බැහැ. ඔයා ඉන්න ඕන පන්තියෙ! අදත් ඔයා පරක්කුයි!!“

“මගෙ දෙයියනේ බ්‍රෙට්... මම පරක්කු වුණේ නැහැ... ඔයාගෙම කෝල් එකට උත්තර දෙන්න ගිහිල්ලනෙ මට පන්තියට යන්න බැරි වුණේ...!“

මේ සංවාදයෙන් පසු ය, ආරම්භයේ මා ලියූ වදන් පෙළ ඔහු මා වෙත කියා සිටියේ.

“දැන්ම, පන්තිය නවත්තල බර්වුඩ් ඔෆිස් එකට එන්න!“ 

සවස පන්තියෙන් පසු බර්වුඩ්හි චෙස් ඇකඩමිය වෙත මා පය එසවූයේ මඳ චකිතයකිනි. බ්‍රෙට් මා වෙත තදින් දොස් පවරනු ඇති බව මට හැඟී ගොස් තිබිණි. තවමත් වහරන්නට අපහසු ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි වදන් මාලාවකින් ඔහු කියනා කරුණු හා තර්ක කරන්නට මා හට ඉඩක් නැත. සිඩ්නියට කෝඩුකාරයකු වන මාහට අපැහැදිලි වුණු ඇතැම් කරුණු පැහැදිලි ලෙසම කියා තේරුම් කරන්නට මගේ ඉංග්‍රීසි බිනීම ප්‍රමාණවත් ද? කෙසේ වුවත්, භාෂාව භාවිතය කෙරෙහි මා තුළ වුණු චකිතය මුල් දිනයේදී ම බිඳ දැමුවේ ද බ්‍රෙට්ම ය. 

“ඔයාගෙ කතා කිරීම හොඳයි. පන්තියක් කරන්න තරම් ඉංග්‍රීසි ඔයාට තියෙනව!“

ඇකඩමියේ බ්‍රෙට්ගේ අසුන හිස්ව තිබිණ. ඔහුගේ ලේකම්වරිය, නෙතලි සහ තවත් නොහඳුනන දකුණු ආසියානු පෙනුමැති තරුණියක් පමණක් කාර්යාලයේ සිය අසුන්වල උන් හ.

“හායි ප්‍රියන්ත... බ්‍රෙට් කිව්ව ඔයා ආවොත් ඉන්න කියන්න කියල...“ නෙතලි මවෙත එමින් පැවසුවා ය. ඇය සිටියේද පෙර දිනවල තිබුණු සුහදකමින් යුතුව නම් නොවේ. ගෙවුණු සති කිහිපයේ ඇකඩමියට ගිය දිනවල, සුහද චෙස් තරගාවලිවලට සහභාගි වූ දිනවල ඇය මහත් සුහදතාවකින් මා හා කතාබස් කළා ය.

“ලොකු ප්‍රශ්නයක් නේද?“ ඇය යළිත් මගෙන් ඇසුවා ය.

“ඔව්... නෙතලි... මම දන්නෙ නැහැ කොහොම පැහැදිලි කරන්න ද කියල... මම හිතනව මම කියන දේවල් තේරුම් කරන්න මගේ ඔස්ට්‍රේලියන් ඉංග්‍රීසි දැනුම මදි කියල...“

“ආ... ඒකට ඔයාට පුළුවන්නෙ නයනිගෙ උදව්ව ගන්න... මෙයා ලංකාවෙ එක්කෙනෙක්. අපේ අලුත් එකවුන්ටන්ට්!“

මම විශ්මයට පත් වීමි. මෙහි ආ මුල් දිනවල හමුවුණු ගණකාධිකාරීවරිය සුදු ජාතික කාන්තාවකි. දැන් මා ගැටළුවකට මුහුණ පා පැමිණි දිනයේම, මගේ බසට උදව් කරන්නට ලාංකික තරුණියක් පැමිණ සිටියි.
නයනි මා කී කරුණු එකිනෙක කුඩා සටහන් පොතක ලියා ගත්තා ය. ඒ අතරතුර බ්‍රෙට් ඇකඩමියට පැමිණිමුත් වෙනත් දිනවල මෙන් කිසිදු සිනා මුහුණක් මවෙත පෑවේ නැත. නෙතලි ද ඔහු වෙත ගොස් නයනි සහ මා අතර සංවාදය දක්වා යමක් කියා සිටිනු වීදුරු කවුළුවෙන් මගේ නෙත ගැටිණි. බොහෝ වේලාවකට පසු බ්‍රෙට් මවෙත පැමිණියේ ය.

“එන්න ප්‍රියන්ත“

 ඇකඩමියේ දෙවැන්නා වූ නීල් ද කැටිව ඔහු දුරින් වූ තරග මේසයක් වෙත ඇවිද ගොස් මා වෙත පුටුවක් පෑවේ ය.

“ඉඳගන්න“

නයනි සමග කී කරුණු රැගත් පත්‍රිකා බ්‍රෙට් අසළකට ගත්තේ නැත‍. 

“ඔයා වැරදි ගණනාවක් කරල තියෙනව. සෙන්ට් ලෙනන්ඩ්ස් ඉස්කෝලෙට ඔයා පරක්කු වෙලා ගියා.... හෝම්බුෂ් ඉස්කෝලෙ නම් ඇටෙන්ඩන්ස් වැරදියට දුන්න... ඉන් පස්සෙ අදත් නෝමන්හර්ස්ට් ගියේ පරක්කු වෙලා...!!“

බ්‍රෙට්ගේ කතා විලාශය මා බලාපොරොත්තු වූවාටත් වඩා ආවේගශීලී විය. 

“නැහැ... මම සෙන්ට් ලෙනන්ඩ්ස්වලට යද්දි පරක්කු වුණු බව ඇත්ත. ඒත් ලිස්ට් එක මම දුන්නෙ, හදල හරි, ඔයාල පන්නලා ඉල්ලපු නිසා... ඒක බොරු ලිස්ට් එකක් නෙවෙයි. මම දුන්නෙ ප්‍රශ්නවලට උත්තර දුන්නු ළමයින්ගෙ නම් ලිස්ට් එකකින්. අද නෝමන්හර්ස්ට් ගියේ හරි වෙලාවට. ඔයා දුන්නු කෝල් එකට උත්තර දෙන්න මම විනාඩි කීපයක් ගේට්ටුව ළඟ නතර වුණා.... වුණේ ඒකයි...“

බ්‍රෙට් මා කී වදන් පිළිගත් බවක් පෙන්වූයේ නැත.

“ලිස්ට් එක නැහැ කිව්ව නම් ඔයාට නොදාම ඉන්න තිබ්බ. මම කෝල් කරනකොට පන්තිය ළඟ නම් ඔයාට පස්සෙ ගන්නං කියල පන්තියට යන්න තිබ්බ‍. මම හිතන්නෙ ඔයා කියන්නෙ බොරුමයි කියල... අනික ඔයා රැන්ඩ්වික් ඉස්කෝලෙට ගිය දවසකත් පරක්කු වුණා කියල ඇනී මට කිව්ව...“

“අපොයි බ්‍රෙට්... මම බොරු කියන්නෙ නැහැ... මම රැන්ඩ්වික් යද්දි පරක්කු වුණේ මුල්ම දවසක... මම පාරවත් හරියට නොදැන ගිහින් වැරදි තැනක බැහැල තිබුණේ...“

බ්‍රෙට් සමග සංවාදය කිසිදු ප්‍රතිපලදායක තත්වයකට පැමිණියේ නැත. මා ගෙන ආ තර්ක ඉදිරියේ යම් පසුබෑමකට ලක් වුණු සැමවිටම ඔහු නව චෝදනාවක් සොයා ගත්තේ ය.

මම තදබල ලෙස වෙහෙසට පත් වීමි. මව් බස තරම් හොඳින් වහරන්නට අපහසු බසක් පාවිච්චියට ගෙන, එම බසින්ම දොඩන්නකු සමග තර්ක කරගන්නට නොහැකි වීමේ වේදනාව මහත් බරකින් මසිත පීඩාවට පත් කළේ ය. කිසිදු වරදක් කරන්නට නොසිතා සිටි මොහොතක මා මහා වරදකරුවෙකැයි කියද්දී මහා කලකිරීමක් සිත තුළ නැගෙන්නට විය.

“මට සමාවෙන්න බ්‍රෙට්... මට අමාරුයි මේ කාරණා පැහැදිලි කරල දෙන්න මම දන්න භාෂාවෙන්... මම දන්නෙ මම මෙහෙට අලුත් කියල විතරයි... කරුණාකරල ඒක තේරුම් ගන්න...“

මහත් අපහසුවකින් ඒ වදන් පෙළ මගේ මුවින් පිට වූයේ අවසානයේ ය. 

“දැන් මොකක් ද මම කරන්න ඕන?“

ඉන් පසුව මම බ්‍රෙට්ගෙන් ඇසීමි.

“ඔයා හිතාමතා වැරැද්දක් නොකලත් මට තව දුරටත් ඔයාට මේ රස්සාව දෙන්න බැහැ. මට සිද්ධ වෙනව ඔයාව අයින් කරන්න.... ඔයා මොන දේ කළත් නොකළත්... ඔයාට ළමයි අවනත කරගෙන පන්තිය කරන්න බැහැ කියල ලෙනන්ඩ්ස් ඉස්කෝලෙ ගුරුතුමී මට මේල් එකක් එවල තියෙනව...!“

ලෙනන්ඩ්ස් පාසැලේ ගුරුතුමිය මගේ මතකයට ආවේ එක්වරම ය. මා පන්තියට ගිය මුල්ම මිනිත්තුවේ පටන් නුරුස්නා මුහුණකින් මා දෙස බලා උන් ඇය, වෙනත් පාසැල්වල ගුරුවර ගුරුවරියන් මෙන් මා පිළිගත්තේ ද නැත. මා පුහුණුකරුවකු ලෙස පැමිණීම ඇගේ සතුටට හේතු නොවන බව ඒ මොහොතේ පටන්ම මට හැඟී ගොස් තිබිණි.

“ලෙනනඩ්ස් ඉස්කෝලෙ...? ඔයා අනිත් ඉස්කෝලවලිනුත් අහල බැලුව ද මම හොඳද නරක ද කියල...කූගි ඉස්කෝලෙ, චැට්ස්වුඩ් ඉස්කෝලෙ, නෝමන්හර්ස්ට්වල ළමයි වගේම ගුරුවරුත් මාත් එක්ක හොඳයි... ඇයි ලෙනන්ඩ්ස් ලියුම විතරක්...?“

මේ ප්‍රශ්න මාලාව මවෙතින් නැගුණේ වේදනාව සමග ආ කේන්තියක් ද සමග ය. බ්‍රෙට් හිස සැලුවේ කල්පනාකාරීව ය.

“ලෙනන්ඩ්ස් ඉස්කෝලෙ ගුරුතුමීව මම කලින් ඉඳල දන්නව! මට එයා කියන එක නිකං අහක දාන්න බැහැ...“
යළිත් බැගෑපත් නොවිය යුතු ය යන හැඟීමක් එක්වරම මසිත නැගී ආවේ ය. එසේමුත් පරාජයේ වේදනාව තදින් සිතට නැගී තිබිණ. කුඩා කල පටන් ඇලුම් කළ ක්‍රීඩාව සමග ගත කරමින් රැකියාවක් කරන්නට ලැබීම සතුටුදායක මනසක් මවෙත සාදා දී තිබුණේ ය. දැන් ඒ සියල්ලට ආයුබෝවන් කිව යුතු ය. මා දුර්වල ගුරුවරයකු යැයි ලියා එවා ඇති ලෙනන්ඩ්ස් ගුරුතුමියගේ සැබෑ හැඟීම වටහා ගන්නට බ්‍රෙට් විසින් ම ආරම්භක දිනක කියන ලද වාක්‍යයක් මා හට උපකාර කළේ ය.

“ඉන්දියාවෙන් ආපු ඔයා වගේම කෝච් කෙනෙක් කාලයක් මගේ ළඟ වැඩ කළා. එයාගෙ ඉංග්‍රීසි වගේම චෙස් දැනුමත් හරිම ඉහළයි. ඒත් ඉස්කෝල කීපෙකින්ම එයා එපා කියල දන්නල එව්ව. ඉංග්‍රීසි මදි වගේ කාරණා දාල.... නමුත් මම ඇත්ත දන්නව... හැංගිල තියෙන වර්ණභේදය සමහර මිනිස්සු ළඟ තියෙනව. මම සුද්දෙක් වුණත් ඇත්ත ඒකයි. ඔයාටත් ඒවට මුහුණ දෙන්න වෙයි...“

බ්‍රෙට් විසින් ම කියන ලද වාක්‍යයකට දැන් ඔහුටම නතු වන්නට සිදුව ඇත. මම නැගී සිටියෙමි. අපහසුවෙන් සොයාගත් රැකියාව හැර දමන්නට සිදු වීම කෙතරම් බරපතලදැයි දැනෙද්දී දැණුනේ දැඩි වේදනාවක් සහ භීතියකි.

“බොහොම ස්තුතියි බ්‍රෙට්... මම යන්නම්... මම වැරැද්දක් කරන අදහසින්, රවට්ටන අදහසින් මොනවත්ම කරල නැහැ... මේ රට මට අලුත්. මේ චෙස් පන්ති ක්‍රමේ අලුත්... එච්චරයි වෙනස... ඒත් මට රස්සාවක් දීල ඔයා පෙන්නුව ඔයා හොඳ මනුස්සයෙක් කියල. මෙහෙ ආගිය ටිකේ මම ගොඩක් සතුටින් හිටිය. කාලයක් අතඇරල දාල තිබුණු ගේම් එකක් මම ආයෙම පටන් ගත්ත... 

කමක් නැහැ... මම යන්නම්... බොහොම ස්තුතියි!“

බ්‍රෙට්ගේ අතට අත දෙමින් මා කී වදන් පෙළ නිසාවෙන් ඔහු බොහෝ දුරට මෘදු වුණු බවක් පෙනෙන්නට විය. නොකළ වරද රැසක් මවෙත දමා ගසමින් කී දේවල් නිසාවෙන් මම දැඩි ලෙස වේදනාවෙන් බරව උන්නෙමි. ගිලිහෙන්නට වෙර දරණ කඳුළු කැට දෙනෙත් කෙවෙණි තුළ නළියමින් තිබුණේ ය.

“මට කණගාටුයි ප්‍රියන්ත... මම දන්නව සමහර විට ඔයා කිසිම දෙයක් වැරැද්දක් විදියට හිතල කරන්න නැතිව ඇති. ඔයා හොඳ කෙනෙක්. ඒත් මම කරන්නෙ බිස්නස් එකක්. එතනදි අපිට මෙහෙම තීරණ ගන්න වෙනව. ඔයා කැමති නම් ඊ ළඟ වාරෙ, ඒ කියන්නෙ ලබන ජනවාරියෙ විතර මට කතා කරන්න. මම බලන්නම් ආයෙමත්... කරන්න පුළුවන් දෙයක් තියේවිද කියල...!“

මා වෙත වූ ප්‍රදර්ශක පුවරු, පාට සහතික ආදිය නීල් වෙත භාර දුන් මම මහමගට බැස්සෙමි. ගිලිහෙන්නට නොදී වළක්වාගෙන සිටි කඳුළු බිඳක් කොපුල රූරා පහළට ගලා ගියේ ය. දැන් ඉතින් යළි පටන් ගත යුතු ය. සත් වසකට පෙර දැඩි බැඳීමකින් සේවය කරමින් උන් පේරාදෙණි සරසවිය මා ප්‍රතික්ෂේප කළ මොහොතේ දැණුනු හැඟීමට සමාන හැඟීමක්... යළිත් මසිත නැගෙමින් තිබිණි. දැන් ඉතින් යළි පටන් ගත යුතු ය!

බර්වුඩ් දුම්රිය පළ පෙනෙන මානයේ දී මම යළි හැරී බැලුවෙමි. ඇකඩමියේ වර්ණිත විදුලි බුබුළු පුවරුව දැල්වී තිබිණ.

සිඩ්නි චෙස් පුහුණුකාර දිවිය අවසන් ය. එසැවී, පාදයේ එල්ලී සුරතල් වන රැන්ඩ්ව්ක් පාසැලේ සිඟිත්තිය, මේරි ඇතුළු දරුවන්, පන්තිය පුරා පෙරැළි කරන ලෙනන්ඩ්ස් පාසැලේ තෝමස් ඇතුළු දරුවන්, මනා හික්මීමකින් සියල්ල සාවධානව අසා සිටින කූගී පාසැලේ දරු දැරියන් යළි මට මුණ ගැසෙන්නේ නැත. නව දැනුම සොයන්නට ඇති නොනිත් ආසාවෙන් බලා සිටින බෙතී ඇතුළු නෝමන්හර්ස්ට් පාසැලේ දරු දැරියන් දකින්නට යළි මා යන්නේ නැත‍. බෙතීට දෙන්නට තිබුණු පාට සහතික මම යළි භාර දුනිමි.

‍“ආයුබෝවන් බෙතී!“ මම මනසේ ඇඳුණු රුවට සමුදුනිමි.

6 comments:

  1. Well..! As you said, you need to start again..
    Don't give up..

    TK

    ReplyDelete
  2. This is abolutley "Racism". Don't give up Priyantha, U will find a better job...Its not the only job here in Sydney....

    TC & All the best
    Rangana

    ReplyDelete
  3. තවත් අත්දැකීමක්! එහෙම නේද ප්‍රියන්ත.

    ReplyDelete
    Replies
    1. අනේ කක්කා බුවෝ උඹ කොමෙන්ට් වාරණය කරන්නෙ නෑ කියලා බ්ලොගේ ගහගෙන ඉන්නවා වගේ තමයි.... කියන්නෙ එකක් කරන්නෙ තව එකක්.... නිකන් කක්කා හලන්නෙ නැතුව පලයන්....

      Delete
  4. මම ඉතා කැමැත්තෙන් කියවන බ්ලොග් එකක්.දිගටම ලියන්නග සුභ පැතුම්.

    ReplyDelete
  5. The End is the Beginning is the End කියලා සිංදුවක් තියනවා....

    ReplyDelete