(2012 මැයි)
ෂින්ගේ සමුගැනීමෙන් පසු
ටික දිනක් ගතවන තුරුම පැට්‍රික් සහ මා සමග කාමරය බෙදා ගන්නට කෙනෙක් පැමිණියේ නැත.
අධික ලෙස ජපාන සජීවකරණ සිනමාපට නරඹන්නට හුරු වී සිටි ෂින්ගේ ඇතැම් ක්‍රියා ඔහු සිටි දිනවල මහත්
කරදරයක් ලෙස දැණුනු මුත් ඔහු පිටව ගිය පසු දැනෙන්නට ගත් පාළුව කුඩා එකක් නොවී ය.
ෂින් තම ජීවිතය අප සමග බෙදා නොගත්තේ වුව ආවේණික ජීවන රටාවක් සමගින් අප සමග ගණුදෙනු
කළේ ය.
“හේ ප්‍රියා... හෙට
කාමරේ බලන්න කීප දෙනෙක් එනවා... ෂින්ටත් කියල තියන්න එනව කියල...“ ඇනී මෙසේ මුර
ගෑවේ ෂීන් පිටව යන්නට මත්තෙනි. අතට ලැබෙන මුදල නොමැතිව දිනක් හෝ ගෙවෙන්නට ඉඩ
නොදෙන්නට ඇය බොහෝ වෙර දැරුවා ය.
“මට නං මිනිහ ඇල්ලුවෙ
නැහැ... ඇඟ පුරාම පච්ච කොටාගෙන...නිකං හොරෙක් වගේ“
එසේ පැමිණෙන ඇතැම් අයෙකු
ගැන ඇය සිය මතය අප වෙත පල කළේ අපෙන් අනුමැතියක් ලබන්නට මෙනි. එසේ මුත් අප කියනා
කිසිදු අදහසක් ඇය වගකට නොගන්නා බව සියල්ලෝම අත්දැකීමෙන් දැන උන් හ.
“හේ පැට්‍රික්.... හේ ප්‍රියා...
හෙට කොරියන්කාරයෙක් එනව ඔයාලගෙ කාමරේට... සති දෙකකට විතරයි ඉන්නෙ...“
එක් දිනක් හැන්දෑවේ
නවාතැනට පිවිසෙන දොරකඩදීම ඇනී මුර දුන්නා ය.
අලුත් තොරතුරක් රැගෙන
නිවසට වදින දිනක මෙසේ දොර හැරෙද්දීම කෑගැසීම ඇගේ පිළිවෙත වූ අතර මෙවැනි ප්‍රලාප
මහත් කන්දොස්කිරියාවකින් පිළිගත්තේ නමුත් ඇය අසතුටු නොකිරීම සඳහා විශ්මයට පත්
විලාසයකින්, නව තොරතුරක් ලද සතුටකින් සිටින බවක් පෙන්නුම් කිරීමට නිහඬ එකඟතාවකින්
ක්‍රියා කිරීම අපගේ පිළිවෙත විය.
කොරියානු සගයෙක් දැනටත්
අප අතර වූයෙන් කොරියානුවකු අපට මහත් අමුත්තෙක් නොවූ නමුත් නවකයාගේ පැමිණීම අපි
බලාපොරොත්තු වීමු. පසුදින චෙස් පන්ති නිම කර මා නවාතැනට එන විට බෝල මුහුණැති
අමුත්තා මගේ කාමරයේ, ෂින් නිදාගත් ඇඳ මත ‘දපා‘ උන්නේ ය.
අධික වෙහෙසකින් සිටි නව
කොරියානුවා ඇත්තටම සිටියේ සැහැල්ලුවෙන් වැතිර නොව ඇඳ මත කඩා වැටීගෙන ය. එය සුවසේ
වැතිර සිටීමකට වඩා ‘දපා‘ සිටීමකට කදිමට ගැලපෙන දසුනක් සැදුවේ ය. මා කාමරයට පැමිණි
වග හැඟුණු වහාම ‘දනිපනි‘ ගා නැගිට ගත් ඔහු හිස නමා ආචාර කර මා පිළිගත්තේ ය.
“හායි... මගෙ නම ජුන්!“
මේ නම් කදිම මොහොතකි.
අල්ලපු කාමරයේ සිටින කෙසඟ සිරුරැති, අවිහිංසක ජුන්ට පසු බෝල මුහුණැති, තරමක්
වැඩුණු සිරුරින් යුත් තවත් ජුන් කෙනෙක් මගේ කාමරයේ සිටගෙන සිටියි! ජුන්ලම
දෙන්නෙක්...!! දෙන්නම කොරියාවෙන්...!!!
අලුත් ජුන්ද තරුණයෙකි.
ඔහු ද රැකියා වීසා බලපතකින් මෙහි පැමිණ තිබූ අතර පරණ ජුන් තරම් සාර්ථක ලෙස ඉංග්‍රීසි
බස හැසිරවීමේ හැකියාවක් පෙන්නුම් කළේ නැත.
“අපි ඊයෙ ආවෙ.. මගෙ
යාළුවයි මායි.. එයා උඩ...!“
අපහසුවෙන් වදන් ගලපමින්
අලුත් ජුන් කියා සිටියේ ය. ඉහළට ඇඟිල්ල දිගු කොට ‘උඩ‘ සිටින්නේ යැයි කියුවේ ඔහුගේ
සගයා ය. ඔහු සිටියේ සයවන මහලේ තිබුණු ඇනී ද නැවතී උන් නිවාස ඒකකයේ ය. නවතින්නට
නිසි තැනක් ලැබෙන තුරු තාවකාලික ලැගුම් පළක් සෙවූ මේ තරුණයන් දෙදෙනා ඇනී විසින්
කොටු කර ගෙන ඇති බවත්, එක් තැනක ඉඩ නැති බැවින් මහල් දෙකක දෙදෙනා නතර කරගෙන ඇති
බවත් වැටහෙන්නට අපට වැඩි කාලයක් ගත වූයේ නැත.
නවාතැන් පිළිබඳවත්,
තැනින් තැනට යාම් ඊම් පිළිබඳවත් විශාල අතීත පුවත් මට නැත. නිවසින් බැහැර තැනකට
ගොස් මුල් වරට මා පදිංචි වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් හමාර කොට, අනතුරුව
පේරාදෙණියේත් සිවුවසකට කිට්ටු කාලයක් සේවය කිරීමෙන් ද අනතුරු ව ය. ඒ ද, ශ්‍රී පාලි
මණ්ඩපයේ සේවයට එක් වූ විගස නවාතැනක් සොයාගත නොහැකි වූයෙන් කොළඹ තට්ටු නිවාස
සංකීර්ණයක තිබුණු අයියාගේ නිල නිවසේ සිට මසකට අධික කාලයක් හොරණ බලා දිනපතා යාමෙන්
හා ඒමෙන් අනතුරුව ය.
ටික කලකින්, ගම්වැසියකු
වූ ජයරත්න මහතාගේ නිවසේ පසෙකින් වූ ඇනෙක්සිය කුලියට ගත් මම මණ්ඩපයට නුදුරු වෑවල
ගම්මානයේ සිට පයින්ම විශ්වවිද්‍යාලයට යන්නට පුරුදු වූයෙමි. නිවසේ ගර්හිත වූ පැරණි
කොටස ඇනෙක්සියකට හැරී තිබුණෙන් පාළුව හා අඳුර එහි නිතර පදිංචි සාමාජිකයින් විය.
දිවියේ මුහුණ දුන් අනේක කටෝරයන්, අනපේක්ෂිත මොහොතක සිත් ඇලුම් කළ පේරාදෙණි පියස
හැර පියා එන්නට වීමෙන් ලද පශ්චාත්තාපයන් සියල්ලෙන් හෙම්බත්ව සිටි මට දිනපතා ගොඩ වදින්නට
තරම් සිත් පහන් කළ තැනක් නොවූ මුත් ජයරත්න මහතාගේ නිවසේ ඇනෙක්සියට වී මා බොහෝ කලක්
ගෙවීමි.කාලයත් සමග හුරු වුණු වටපිටාවත්, අඳුනාගත් මණ්ඩප ප්‍රජාවත් හොරණ ජීවිතය තුළ
වූ කාංසාවන් ක්‍රමිකව මකා දැම්මේ ය.
එසේ වුවත් දිනපතා සවස් වෙද්දී
මා තුළ නැගුණු ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු සොයාගත හැකි මගක් නොවී ය. දේශන නිමා වී,
දිනයේ කටයුතු සියල්ල අහවර කොට, ඉක්මණින් නින්දට යන හොරණ නගරයට යන මා තනිව කුමක්
කරන්න ද? විවාහකයින් වූ සියළු ආචාර්ය සගයින් සිය කුටුම්භයන් සොයා ඇදුණු කල තනිව
උන් මම කොයි දෙසට යන්න ද? විවිධ සමාජ වටපිටාවන්ගෙන් පැමිණි, දහසකුත් ජීවන
අත්දැකීම් රැගත් ශිෂ්‍ය ප්‍රජාවේ බොහොමයක් සිසුන් මා හඳුනාගත්තේ මෙතැන දී ය. ඇතැම්
ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගේ විවේචන මධ්‍යයේ වුව මම ශිෂ්‍ය ප්‍රජාව හා සමීප මිතුදමක්
පවත්වන ඇදුරෙකු වීමි.
දෙවැනි පෙළ ප්‍රධාන නගරයක්
වුව හොරණ වූ කලී විනෝදාස්වාදයට හෝ ඇවිද යන්නට ස්ථාන බොහෝ අඩු, කම්මැලිකමකින් සිත
පුරවන බිමකි. රූපයක් තිරයේ පවතින කාලයට වඩා වැඩි කලක් තිරය අඳුරේ තබන්නට සමත් ‘අපූරු‘
ප්‍රොජෙක්ටරයක් සහිත වූ නගරයේ එකම සිනමා හල වෙත මා ආකර්ෂණය වූයේ එකම එක වතාවකි.
ඉඳහිට දිනෙක යෙදෙන මධු
සාදයකට තානායම් පළ අගනා බිමක් වුව නිතර එහි යා නොහැකි තරමට එහි බිල්පත් ඉහළ
අංකයන්ම ගෙන ආවේ ය. අඩු මිළකට මධු විතක් සොයන්නෙකුට හමුවූ නගර මධ්‍යයේ වූ අවන්හල
‘පිනට‘ ඉල්ලා අවට කැරකෙන දුප්පත් කම්කරුවන්ගෙන් නිරතුරුව පිරී පැවතින.
ජයරත්න නිවසේ අඳුරු ඇනෙක්සියේ
කල් ගෙවීම අසීරු වී, අර්ථ විරහිත නගරයට යාමට ද සිත් නොයෙදෙන අවස්ථාවන්හි ආසන්න
සිසු නිවස්න වෙත ගොස් ඔවුන් හා කතා බස් කොට එන්නට මම පුරුදු වුණෙමි. පේරාදෙණියේ දී
නොදුටු, ගැහැට පිරි සිසු ජීවිත මා හඳුනාගත්තේ එහි දී ය.
පේරාදෙණියේ දී ඒ ජීවිත
මා නුදුටුවේ ඒ එහි නොතිබූ නිසා නොවේ. මා නිවසේ සිට ආගිය අයෙකු වූ නිසාවෙනි. ඉඳහිට
මිතුරකුගේ නේවාසික කාමරයකට ගොඩ වැදුණද, පේරාදෙණි සරසවි නේවාසිකාගාරවල බාහිර
ස්වරූපයන්ගෙන් ඔවුන්ගේ දිවියේ කටුක බව වසා දමා තිබෙන්නට ඇත. එහෙත් ශ්‍රී පාලියේ
සිසු පරපුරට හමුවූ නේවාසිකාගාර අවම වූයෙන් ඔවුන් වැඩි දෙනෙක් කල් ගෙව්වේ කුලියට ගත්
පිටස්තර නිවෙස්වල ය; ඒ ද ඇතැම්විට ඒවායේ කාමරවල ය.
ගෙවුණු ඇතැම් සැඳෑවක,
රාත්‍රී අහරට තරම් වන මුදලක් අත නොමැතිව මිතුරාගේ බත් පතේ කොටසකින් සැනහෙන සිසුවන්
මට හමුවුණේ මෙවන් ගමන්වල දී ය. දිවා කල මා ලබා දෙන නිබන්ධනය භාර දීමට වන අවසන්
දිනය ගැන සිතන්නට පෙර සිතන්නට බොහෝ දේ තිබුණු තරුණ ජීවිත මට හමු විය. ගම්මානයේ
කෙළවර පිහිටි සිය කුඩා නිවසට කොයි මොහොතක වල් අලින් කඩා වැදේදැයි සිතන තරුණයින්,
සිය ඔත්පල පියා ඉක්මණින් සුව නොවූවොත් ඔහුට රැකියාව අහිමි වී පවුලේ සියල්ලෝ
කුසගින්නට පත් වේ යැයි කියා කඳුළු සඟවාගත් තරුණයින්, විදේශයක සිට දුශ්කර රැකියාවක්
කොට තමන්ගේ වියදමට මුදල් එවන වැඩිමහළු සොයුරිය පිළිබඳ සිරකරගත් වේදනාවන් සහිතව
දිවි ගෙවූ තරුණයින්, මේ සියල්ල මැද තමන්ට විශ්ව විද්‍යාලයේ හමුවූ පෙම්වතියගේ
ජීවිතයද එවැනිම බව දැන ඒ වේදනාවන් ද සිත් හි දරා උන් තරුණයින් ඇතුළු කටොළු ජීවිත
ගෙවූ බොහෝ දෙනෙකු සවස් කාලයේ සිය දෝමනස්සයන් මා සමග බෙදා ගත්තේ ය.
“සර්... බොන්න තේකක්!“
ඇතැම් දිනක ඔවුන් මා වෙත
දිගු කළ තේ කෝප්පය, අසලක වූ කුඩා කඩයකින් ඒ මොහොතේ දිවගොස් ගෙනා තේ කොළ ග්‍රෑම්
සියයකින් සැදුණේ විය. එවන් විටක මම අඩක් පානය කරන තේ කෝප්පය, ඔවුන් කරනා අයුරින්ම,
තවකකු වෙත පිරි නමන්නට පුරුදු වුණෙමි. ඒ ද සිත නොපිරවූ දිනවල, ඔවුන් වෙත යද්දී
බිස්කට් පැකැට්ටුවක් වැනි කිසියම් දෙයක් ගෙන යන්නට කටයුතු කළෙමි.
වේදනාවෙන් පිරුණු අන්දර
සමග ජීවත් වුව ද මෙම තරුණයින්ගේ නේවාසිකාගාර නිරන්තර විනෝද ක්‍රියාවන්ගෙන් පිරී
පැවතිණ. පෙර දිනක සිදුවූ යමක් හේතු කොටගෙන කිසිවකුට දිගින් දිගටම උසුළු විසුළු
නොකළ මොහොතක් වී නම්, එකෙකු දෙන්නෙකු පැන, විශාල කාලගෝට්ටියක් මවමින්, කෝලම්කාරී
සංගීත සන්ධ්‍යාවන් නිර්මාණය කර දුන්නේ ය. රාත්‍රිය එළඹෙන තෙක්ම සිය පෙම්වතිය සමග
ගතකොට ප්‍රමාද වී නිවහනට එන මිතුරකුගේ හිස මත වතුර බාල්දි පිටින් වත් කෙරුණු දින ද
නොවුණේ නොවේ.
ඇතැම් සිසුන්ගේ බාහිර නේවාසිකාගාරවල
ප්‍රමාණවත් ඇඳන් ප්‍රමාණයක් නොවී ය. යමෙකු නිවසින්ම ගෙනා ඇඳක් නොවූයේ නම්,
මෙට්ටයක් හෝ පැදුරක් සයනය ලෙස සැකසුණු අතර ඒ ද නොමැති තැන, බිම එළූ රෙදිකඩක වැතිර
නිදන්නට ද සිසුහු හුරු වී උන් හ. පසුකලෙක, මා නවරත්න නිවසින් බැහැර වී, තරමක් දුර
නවාතැනක නතර වී උන් යුගයේ, මෙවැනි නවාතැන්වලට ගොඩ වැදුණු දිනවල රැය පහන් කරන්නට
ඇරයුම් කරන සිසුවෝ හොඳම මෙට්ටය සොයා මා වෙත සකසා දෙන්නට කටයුතු කළ හ.
මෙවැනි දිනවල ඉඳහිට
එකිනෙකාගේ සාක්කු පතුල්වලින් එක් කරගන්නා මුදලකින් බීර බෝතල කිහිපයක් ගෙනෙන
සිසුවෝ, අසළ රාත්‍රී කඩයකින් ‘ෆ්‍රයිඩ් රයිස්‘ ද ගෙනැවිත් රාත්‍රී ආහාරයටත්,
මධුවිත සඳහා සප්පායමක් ලෙසත් එයම පාවිච්චි කරති. මහ රැය එළඹෙත්ම දිවියේ අනේක කටොළු
පිළිබඳ වේදනාකාරී මතක සිහියට නැගෙන යමෙක් ඒ ‘මතක‘ මවෙත දිග හරිති. විටෙක කඳුළු ගලා
හැළෙන මුහුණින් ඔවුහු මෙසේ මුමුණති.
“අපිට තියෙන ප්‍රශ්නවලට
මෙහෙම නෙවෙයි සර්... කොච්චර බීවත් ඒව අමතක වෙන්නෙ නැහැ... දවසක අපි හොඳට බොමු...
ඔව් හොඳට...!!“
අලුත් ජුන්ගේ සගයා පසුදා
උදයේම අපේ නවාතැනට ආවේ ය. ඔහුගේ නියම නම අප දැනගන්නටත් පෙර ඇනී සිය සුපුරුදු
නාමකරණය යොදා ඔවුන්ගේ නම් තීරණය කොට තිබිණ.
“මේ ඉන්නෙ ජුන් ඇන්ඩ්
ජුලයි!!“
අප වෙත ආ කොරියානුවෝ
දෙදෙන ජූනි සහ ජූලි ලෙස එසේ බෞතීස්ම ලද හ.
ජූනි සහ ජූලි නිවසේ නතරව
උන්නේ දෙසතියකි. සිය ඉහළ මහළේ නවාතැනින් කලින් අවදිව පැමිණෙන ජූලි උදෑසනම අප
නවාතැනේ දොරට ‘තඩි බෑම‘ ඒ දෙසතියේ අනිවාර්ය අංගයක් විය. ඒ සමගම හීනෙන් ඇවිදින
ස්වරූපයකින් දොර වෙත යන ජූනි සිය සගයා නිවසට ගෙන කොරියානු බසින් මොනවාදෝ කියවමින්
කාමරයට වැදීම පසු අංගය විය.
නිවසේ සිටි පැරණි
සාමාජික ජුන් මෙන් නොව නිතර මධුවිත සෙවූ ජූනි සිය සගයා සමග බීර ගෙනවිත් පානය කළේ
ය.
“අපි තවම මෙහෙට අලුත්...
අපිට සුපර්මාකට් එකට යන විදිහ පෙන්නුවට මෙන්න අපෙන්!“
වරෙක ජූනි බීර බෝතලයක්
මවෙත පිරිනැමුවේ ය.
පිටව යන්නට පෙර දින රාත්‍රියේ
පදමට සප්පායම් වී තිබුණු ජූනි මා නිවසට එන විට මුල් දින ලෙසම සයනයේ ‘දපා‘ උන්නේ ය.
නිවී දැල්වෙන බල්බ සහිත වළල්ලක් ඔහුගේ අතෙහි බැඳී තිබිණි.
පසුදා උදයේ පිටව යන්නට
මොහොතකට පෙර මවෙත ආ ඔහු සමුගත්තේ ය.
“ගිහින් එන්නම්... අපි
ආයෙ හම්බ වෙමු. කතා කරන්න දේවල් ගොඩයි... අපිට තියෙන ප්‍රශ්න... අපි කතා
කරමු...දවසක.. දවසක අපි හොඳට බොමු... ඔව් හොඳට...!!“
I have just a single word comment:
ReplyDeleteඑළ!
කතන්දරගේ මග පෙන්වීමෙන් අපිත් ආවෝ එන්නම් දිගටම.
ReplyDeleteජිවිත අත්දැකිම් ජිවත් විමට පෙර මඟකි.
ReplyDeleteලෝකෙ කොහේ හිටියත්, කොයි රටෙන් ආවත්, මොන සංස්කෘතික පසු බිමක් තිබ්බත්, මිනිස්සුන්ගේ ජීවිත වල හැඩය එකමයි. ඕක ගැන කතා කරන්න අපි දවසක හොඳට බොමු...
ReplyDeleteකාලෙකින් ගොඩ උනේඅ. ඇත්තටම නියමයි
ReplyDeleteමමත් නිකන් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා වගේ.
ReplyDelete"සුපිරි"