- 2012 මැයි 11 වැනිදා -
රමණීය දිනක අරුණළු කාමරය පුරා විහිද ඇත.
වොලොන්ගොන් නගරාසන්නයේ පෙදෙසක පිහිටි ධනන්ජය අයියාගේ නිවසේ ඔහුගේ කන්තෝරු කාමරයේ
කවුළුවෙන් හිරු එළිය කාමරයට ගලයි. සිඩ්නියේ නවාතැනේ දී දැණුනු ශීතලට වඩා තද ශීතලක්
වොලොන්ගොන් හිදී මම අත් විඳිමි. ශීත සෘතුව එළඹ නැතත් උණුසුම් රටක සිට පැමිණි මට
මෙම ශීතලය තරමක අපහසුවක් ඇති කරයි. මම යළි පොරෝනය තුළ රැඳෙමින්ම කල්පනාවට වැටෙමි.
අද මම යළිත් සිඩ්නි නුවර බලා යා යුතු ය. පැමිණි
දින සවස් වරුවේ මා දුටු ‘රිවර්.. රිවර්..‘ නාට්‍යය යළිත් මගේ සිහියට එයි. කුඩා
බ්ලැක් බොක්ස් අවකාශයේ නිහඬ වාතලය මත මුසු ව ගිය ‘මර්ලින්ඩා බොබිස්‘ නමැති පිලිපීන
- ඕස්ට්‍රේලියානු රංග ශිල්පිනියගේ තියුණු හඬ යළි මගේ සවනත නැගෙයි. තනි පුද්ගල
නිරූපණයක් ලෙස සිය නවකථාවක් තුළින්ම ගොඩ නැඟූ කෙටි රංගය අප වෙත නිරූපණය කොට
ඉදිරිපත් කළේ ද මර්ලින්ඩා ම ය.
ඉරායා පිලිපීනයේ පිටිසරබද ගම්මානයකි. එස්ට්‍රෙලා යනු එහි ජීවත් වන මීටර දොළහක්
දිගැති කෙස් වැටියක් සහිත ගැහැණියකි. ඇය ඉරායා හි ගංගාවෙන් මසුන් අල්ලා ගැනීමට සිය
දිගු කෙස් වැටිය භාවිතා කරන්නී ය. 1987 සිවිල් යුද්ධය ඇරඹීමත් සමග රජය සියළු
ගම්මාන වෙත හමුදාව කැඳවයි. ඉරායා වෙත ද හමුදා භටයෝ පැමිණෙති. එස්ට්‍රෙලා මසුන්
ඇල්ලූ ගංගාව නාඳුනන මළ සිරුරු සැඟවුණු නදියකට හැරෙයි. නාට්‍යයට අනුව, ගංගාව වෙත මළ
සිරුරක් එක් වූ සැණින් ගඟ දිය විවිධ රසයන් ජනනය කරන්නට පටන් ගනියි. මුලින් ඒ
කඳුළු, ලුණු රසයක් ගෙනෙයි; පසුව ‘ලෙමන් ග්‍රාස්‘ රසයක් ගෙනෙයි. සඳ නැති කණාමැදිරි
රාත්‍රීන් එස්ට්‍රෙලාට මතක ය. අවසානයේ ඇය අපට කියන්නේ සැඟවුණු මළ සිරුරක් සොයන්නට
සෙබළුන් විසින් ඇය ගඟ වෙත ගෙන ගිය අයුරු යි.
පැයක් පුරා, කතන්දරයක් කියන අයුරින්, විටෙක
අවස්ථා නිරූපණය කරමින්, පිලිපීන බසින් දේව ඇදහිලි ගයමින් ඇය ගෙන ආ ඉදිරිපත් කිරීම
අතරතුර කිසිවකු හඬක් නැගුවේ හෝ නැත. බිහිසුණු රැයේ අඳුර ගැන කියද්දී, මිය ගියවුන්
ගැන කියද්දී විටෙක ඇගේ නෙතින් කඳුළු ගලා හැලුණේ ය.
බ්ලැක් බොක්ස් අවකාශයේ රැඳී උන් පිරිස විස්සකට විසිපහකට
වැඩි නැත. ඒ අවකාශයේ වැඩි ආසන සංඛ්‍යාවක්
පිරවූ ගණනකි. ඒ පිරිසෙන් මා හඳුනන්නෙකුට උන්නේ ධනන්ජය අයියා පමණි. අනෙකකුට තබා
ඔහුට හෝ එම රංගනය කෙසේ හැඟිනිදැයි යන්න ගැන සොයා බලන්නට මට ඉඩක් ලැබුණේ නැත.
මර්ලින්ඩාගේ රංග විලාසය හා ‘රිවර්.. රිවර්..‘ නාටකයේ ස්වරූපය ගැන එදින රැයේ යළි
නිවස බලා එද්දී අප දෙදෙනා කතා කළ ද දැන් මා මනස නැගෙන්නේ එම සංවාදයන් නොවේ. එස්ට්‍රෙලාගේ
නෙතින් ගැලූ කඳුළු ය; මුවින් හැඟුණු භීතිය ය; කටහඬින් ආ වෙව්ලන ස්වභාවය ය.
මහවැලි නදිය අප පාසැල් අවදියේ මිතුරු පිරිසගේ ප්‍රධාන
විකුම් පිටියක් විය . පොල්ගොල්ල වේල්ල නිසා රැඳුණු දිය සහිත ජලාශ වපසරියේ දිය නෑම,
ඔරු පැදීම එවකට මගේ මිතුරන්ගේ නිවාඩු දින ක්‍රියාකාරකම් අතර මුල් තැන ගත්තේ ය. ඔරු
පැදීමට මා තුළ එතරම් සමත්කමක් නොවූමුත් ඉඳහිට දිනෙක ඔරුවක නැගී මිතුරන් සමග දියකඳ
වෙත යාත්‍රා කරන්නට මටද අවස්ථාව ලැබිණ. නදියේ මසුන් මරන්නන්ට රජයෙන් ලබා දී තිබුණු
ෆයිබර් ඔරුවක් සොයා ගන්නට නොහැකි වූ දිනක මිතුරන් සිය ගංගා තරණයට යොදා ගත්තේ ප්‍රදේශයේ
මසුන් මරන්නන් තනාගෙන තිබුණු ලී කොටන් ඔරු ය. ගඟ මැදට ගොස් ඈතින් පෙනෙන වේල්ල
දෙසත්, දෙපසින් පෙනෙන ඉවුරු මායිමේ දිවෙන මාවත් දෙසත් බලමින් අපි කාලය ගෙවීමු.
“අන්න ගඟේ මිනියක් පාවෙනවලු!“
පාසැල් ගොස් පැමිණි දිනක නැන්දා හෝ ආච්චි විසින්
කියන ලද මෙවැනි ආරංචි කුඩා කලත් ඉතා කලාතුරකින් මට ඇසී ඇත. අහිමි වූ ප්‍රේමයක්
නිසා සෝතැවුලකින් යුවතියක් කෝච්චි පාලමෙන් ගඟට පැන ඇතැයි වැනි ආරංචියක් පසුව පැතිර
යයි. මෙලෙස ගඟ දියේ ගිලී මිය ගිය ඇතැමකුගේ සිරුරක් ගොඩ ගන්නා අවස්ථා මා දැක ඇති
මුත් ඔහුගේ හෝ ඇයගේ මුහුණ දකින්නට මා කිසිවිට ඒ අසළට ගොස් නැත. මළ කඳක මුහුණු
දකින්නට අපහසු බිය මුසු හැඟුමක් කිසිවිට මා තුළ නොවුනත් දිය තුළ ගිලී මිය ගිය
පුද්ගලයාගේ මුහුණ මතකයේ රඳවා ගන්නට කිසිදු කැමැත්තක් මා තුළ ජනිත වී නැත. ජීවිතයේ
අවස්ථා දෙක තුනකදී ඉතා ඈත ගඟ දියේ ඇදෙන මළ කඳක සේයාවද දැක ඇති මුත් කම්පිත හැඟීමක්
ම මිස ඒ කවුරුන්දැයි දැන ගැනීමේ කිසිදු උවමනාවක් නම් මා තුළ මතුව ආ බවක් මට මතක
නැත.
“පෙරේදත් ගඟේ මිනියක් තිබ්බලු... අපි නාන
තැනම...!“
මෙවැනි දේ කණ වැකෙන්නට ගත්තේ 88-89 භීෂණ යුගයේ
අඳුරුතම දින කිහිපය අතරතුර ය. පාළුවට හැරුණු ගංගාව මත්තෙහි පිහිනමින් විකුම් පාන
කොලුවන් හෝ මසුන් සොයා ඇඳෙන ඔරු එදවස දකින්නට නොලැබිණ. නාන තොටුපළවල් හැටියට
සිමෙන්තියෙන් බැඳ සකසා දී තිබුණු පඩි පේළි අසබඩ නැගී මතුව ආ නන්නාඳුනන තරුණ මළ
කඳන් පිළිබඳ පුවත් වැඩිහිටියන් කී මුත් මම මළ කඳන් නොදිටිමි. එහෙත් සිත් පතුලෙන්
නැඟි නොපැහැදිලි වේදනාවක් එදවස පාසැල් සිසුවකු වූ මා පෙළන්නට පටන් ගත්තේ ය.
මර්ලින්ඩාගේ රංගනය යළි මවෙත කැඳවා තිබුණේ ඒ වේදනාවයි.
“ප්‍රියන්ත... අපි යමු ද කන්ද දිහාවට... ?
වොලොන්ගොන් එන යාළුවෙක්ව එක්ක යන්න තියෙන්නෙ එතනට තමයි. පළාතම පේනව හරිම
ලස්සනට...“
ධනන්ජය අයියා යෝජනා කළේ උදෑසන ආහාරය නිම කරද්දී
ය.
වොලොන්ගොන් නගරයට බටහිරින් වූ කඳු පෙළ නගරය හා
වෙරළ දෙස සිට බලන්නකුට මනරම් දසුනක් මවන්නේ යම් ලෙස ද ඊට නොදෙවනි අසිරියක් කඳු ගැටය
මත සිට පහත බලන්නකුගේ නෙත ගැටේ. වෙරළාසන්නයේ මෙවැනි උස් කඳු මුදුන් ලොව කොතැනකවත්
සුලභ නැත. සංචාරයේ යෙදෙන්නන්ගේ පහසුව පිණිස යෙදූ පඩි පේළි සහ මංපෙත් දිග වඩාත්
පැහැදිලිව පරිසරය පෙනෙන තැනකට ආ අපි බොහෝ වේලාවක් මුහුද දෙසත්, පහතින් විහිදී යන
නගරය දෙසත් බලා සිටියෙමු. වම් පසින් ඈතට දිවගොස් සැඟව යන සිඩ්නිය බලා දිවෙන අධීවේගී
මගෙහි තිත් පෙළක් ලෙස දිවෙන රථවැල් හඳුනාගත හැකි ය.
කඳු මුදුණේ සිට පෙනෙන නගරය... |
“ඈතින් පේන්නෙ සිඩ්නි ඉඳන් එද්දි ඔයා පහුකරගෙන
ආපු කැලේ... ඉන් එහා පැත්තෙ වැහිල තියෙන්නෙ සිඩ්නි රේන්ජ් එක තමයි!“
ධනන්ජය අයියා පැහැදිලි කරයි. මුහුද දෙසින් හමා
එන සිසිල් සුළඟෙහි කටුක බව මඩින්නට සමත් හිරු රැස් දහරක් ප්‍රදේශය පුරා විහිද ඇත.
මගේ නෙත යළි මුහුද දෙස හැරෙයි. මහවැලිය මෙන්ම පිලිපීනයේ ඉරායා නදිය මෙන්ම දහසක්
ගංගා ඇදෙන්නේ මහ සයුර වෙත ය. සයුරු දිය ලුණු රසට හැරෙන්නට ඇත්තේ දහස් නදීවල රහසේ
සැඟව ගිය මිනිස් ජීවිත නිසා ද? අතීත ඕස්ට්‍රේලියාවේ දිවි ගෙවූ ඇබොරජින
ස්වදේශිකයින්ගෙන් මේ භූමි උදුරාගත් එදවස කෙතරම් සිරුරු මේ බිමෙහි ගංගා පතුලත සැඟව
යන්නට ඇති ද? විවිධ යුධ කලාපයන්හිදී, ලොව පුරා විහිදුණු ගංගා, ඇළ දොල පතුලත සැඟව
ගිය මිනිස් ජීවිත ගණන කොපමණදැයි දන්නේ කවුද?
මර්ලින්ඩාගේ කඳුළ හා වාග් ස්වරූපයත්, නොහැඟෙන
බසින් ඇය ගැයූ දේව ඇදහිලි ගීතත් යළි මවෙත කැඳවූයේ අතීත දිනක මහවැලි නදියෙන් අප
දුරස් කරන්නට හේතු වූ වේදනාවම ය. ඇය මට පසක් කර දුන්නේ එවැනි වේදනා විශ්වීය බව ය.
සති අන්තයක අත් විඳි මිහිරි අත්දැකීම් රැසක් සමග
පිටව යන මට සමුදෙන්නට වොලොන්ගොන් දුම්රිය පළ දක්වා ධනන්ජය අයියාත්, අක්කාත්
පැමිණිය හ. ඔවුනගේ කුඩා දියණිය රථයේ පසුපස අසුනේ සිට මට අත වැනුවා ය.
“Good Bye, Priyantha Uncle!!“
සැබවින්ම ඒ මිහිරි සති
අන්තයකි. නාට්‍ය දෙකක් නරඹමින්, මධුවිතක මිහිර විඳිමින්, රැය පුරා සල්ලාපයේ
යෙදෙමින්, අක්කා සාදා දුන් රසැති අහර රස විඳිමින් ගෙවූ දින කිහිපය නිවසින් දුරස්ව
ගෙවන දිවියේ කටුක බව අමතක කරන්නට බොහෝ උදව් දුන්නේ ය. නාට්‍ය ලෝකය පුරා සරමින්,
කලාව හා දේශපාලනය විමසමින් ධනන්ජය අයියා කී බොහෝ දේ යළිත් සත්‍යෝදයේදී මට මුලින්
හමුවූ ගුරුවරයාගේ මුවින් පිටවූ වචනවල දිගුවක් ලෙස හැඟිණ.
සිඩ්නි දක්වා දිවෙන දුම්රියට
නගිද්දී ධනන්ජය අයියා මගෙන් සමුගත්තේ යළි පැමිණෙන්නැයි ඇරයුම් කරමිනි. හිස්
දුම්රිය මැදිරියේ සුවැති අසුනකට බරව මම කවුළුවෙන් පිටත බැලීමි. සෙමින් ඇදෙන
දුම්රියේ කවුළුවෙන් පෙනෙන්නේ නගරයයි. අතරින් පතර මතුව පෙනෙන්නේ නගරයට ඔබ්බෙන් වන
මහ මුහුදයි.
“next
station... North Wollongong!“
මැදිරියේ නිවේදනයක්
නැඟෙයි. මම වොලොන්ගොන් පසුකරමින් සිටිමි. ස්වදේශික - ඇබරොජින බසින් ‘වොලොන්ගොන්‘
යනු මුහුදත්, කන්දත් අතර පෙදෙසයැයි ධනන්ජය අයියා කී බව මට මතක ය. කන්දෙන් නැගී
මුහුදට බැස යන නොදුටු ඉරායා නදියත්, දන්නා මහවැලියත් එකම නදියකැයි මට සිතේ.
මර්ලින්ඩාගේ නෙත නැඟී වැටුණු කඳුළු වැනි දහසක් කඳුළු සඟවාගත් මේ ගඟ ඒ කඳුළු ලුණු
රසය මුහුදට ගලා යන්නට සළසා මුහුද ලුණු දියෙන් පුරවා ඇත. කන්දත් මුහුදත් අතර ඛේදනීය
කදුළු රසයේ කෙළවර මුහුදයි. එය මගේ කවුළුවෙන් පෙනෙයි. මම දෙනෙත් පියා ගනිමි.
සංවේදී ලියමනක්..නාට්‍යක් වෙනුවෙන් මෙච්චර කල්පනා එන්න එම නාට්‍යකරු කෙතරම් දක්ෂ විය යුතුද?..
ReplyDeleteකාලෙකට ඉස්සර අපි කාර් එකේ ගියා ඔය පැත්තේ. දෙපැත්තේ පාර හෙවන කරන ගස්, වංගු, පල්ලම්, ඈත පෙනෙනා මූද, වටාපිටාවේ නිහඬබව, ගම් කොල හුලඟට නැමුනු හැටි, ගහක් උඩ වහලා හිටපු මැග්පයි කෙනෙක් කෑගහගෙන ඈත ගහකට ගිහින් වහපු හැටි, ඔය ඔක්කොම සිත්තම් පටියක් වගේ හිතේ මැවිලා ගිහින් , හිත ඇතුලේ හීන් දුකකුත් ඇති උනා.:(
ReplyDeleteකෝ ෆලෝ කරන්න විදියක් නැනේ ? :/
ReplyDeleteලියල තියෙන විදිය නම් නියමයි. :)