Thursday, February 28, 2013

‘වොලොන්ගොන්‘

- 2012 මැයි 09  වැනිදා -

සාමාන්‍ය ගමනකදී මා ගොඩ වදින දුම්රිය මැදිරියකට වඩා සුවපහසු දුම්රිය මැදිරියේ අසුන්ගත් මම වේදිකාවේ පියස්සට සවි කොට ඇති ඩිජිටල් ඔරලෝසුව දෙස බැලීමි. දුම්රිය පිටව යාමට තව මිනිත්තු කිහිපයක් ඇත. සෙමෙන් ඇවිද එන මගීහු කිසිදු කලබලයක් නොපෙන්වමින් මැදිරි දොරටුවලින් ඇතුළුව බොහෝ හිස් අසුන් සහිත මැදිරියේ තමනට උචිතයැයි හැඟෙන අසුන් සොයමින් ඔබ මොබ සරති. විශාල සුපැහිදිලි දුම්රිය කවුළුවලින් හෙබි මැදිරියේ ඉදිරිපස ඇති අංකිත තිරය මත තැඹිලි පැහැ අකුරින් ලියැවෙමින් දිවෙන්නේ දුම්රියේ ඉදිරි නැවතුම්පල පිළිබඳ සඳහනකි. වොලොන්ගොන් පසුකර කියාමා වෙත දිවෙන මෙම දුම්රිය  සේවයේ හමුවන්නේ සිඩ්නියේ ඇති නවීන දුම්රිය පමණි.

“වෙලාවක මෙහෙ එන්න. යුනිවර්සිටි එකේ නාට්‍ය තියෙන වෙලාවක් බලල ආවොත් ඒවත් බලලම යන්න පුළුවනි...“

සිඩ්නියට පැමිණ දින කිහිපයකින් මේ ආරාධනය කළේ වොලොන්ගොන් විශ්වවිද්‍යාලයේ නාට්‍යකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් ඒ නගරයේම පදිංචිව සිටින ධනන්ජය අයියා ය. සිය පවුලත් සමගින් එහි විසූ ඔහු වෙත යන්නට පෙළඹීමක් ඇති කළ කාරණා බොහොමයක් විය. රටින් පිටව ආ දින පටන් දුරස්වන නාට්‍ය ලෝකයට යළි ඇස යොමන්නට හැකි වීම ඉන් එක් හේතුවකි. සිනමාව, නාට්‍යය හා සාහිත්‍යය ආදී දේ ගැන ලාංකිකයෙකු සමග, විශේෂයෙන් අප රට තුළ නමක් දිනූ නාට්‍යකරුවකු සමග කතාබහකට වැටෙන්නට ලැබෙන ඉඩ පිළිබඳ සිතීමත් සතුට දනවන්නකි. රීජන්ට් වීදියේ නවාතැන කෙමෙන් නිවහනකට හැරෙමින් තිබුණද කලක් දන්නා හඳුනන අයෙකු හමුවීමත්, සුපුරුදු කෑම්බීම් අතරට පිවිසෙන්නට ලැබීමත් එවැනි ආරාධනයක් පසුපස නැගෙන සතුට දෙගුණ කරවයි.

සිඩ්නි මධ්‍යම දුම්රිය අංගනයෙන් පිටත් වූ දුම්රිය සෙමින් රෙඩ්ෆර්න් දුම්රිය පළ දෙසට ඇදෙන්නට විය. මෙල්බර්න්, බ්‍රිස්බේන් වැනි ප්‍රධාන නගර වෙත දිවෙන දුම්රිය හා අනෙකුත් නගර වෙත දිවෙන නගරාන්තර දුම්රිය සඳහා ඩීසල් එන්ජින් යොදා ගැනුනද නගරබද ප්‍රත්‍යන්ත කරා දිවෙන්නේ විදුලි දුම්රියයි. වොලොන්ගොන් නගරයට සිඩ්නියේ සිට දකුණු දිග වෙරළබඩින් කිලෝ මීටර සියයකට කිට්ටු දුරක් යා යුතු වුව මෙහි එය පැයකුත් මිනිත්තු ගණනක ගමනකි. මා අසුන්ගෙන සිටින දුම්රිය ද විදුලි දුම්රියක් වුව නගරයේ හමුවන අනෙකුත් විදුලි දුම්රියක ඉඳහිට ඇසෙන යකඩ පීලි හා ගැටෙන හඬ හෝ සෙමින් නැගෙන විදුලි එන්ජින්වල හඬ හෝ මෙම නවීන මැදිරි තුළට ඇසෙන්නේ නැත. දුම්රිය පෙරට ඇදෙන බව දැනෙන්නේ මඳ පමණින් සෙලවෙන මැදිරිය නිසා පමණි. ඒ ද නොමැති නම් ගමන ඇරඹුණු බවට ඇති එකම සඳහන ඔබ පසුකර පසුපසට ඇදී නොපෙනී යන ගොඩනැගිලි, වෘක්ෂලතාදියයි.

“මේ සති අන්තෙ නාට්‍ය දෙකක් තියෙනව. එකක් ඉන්විටේෂන් විතරයි. මම ඔයාටත් ඉඩක් වෙන්කර ගත්තා. සිකුරාදා හයට කලින් එන්න. කෙලින්ම නාට්‍යය බලල අපේ ගෙදර යමු“

ධනන්ජය අයියා මෙම ඇමතුම ලබා දුන්නේ පසුගිය අඟහරුවාදා ය. ඒ අනුව මෙම ගමන කෙළවර දුම්රියෙන් බට විගස යන්නට සිදුවන්නේ වොලොන්ගොන් විශ්වවිද්‍යාලයට ය. වොලොන්ගොන් විශ්වවිද්‍යාලය පිළිබඳ මෙහි එන්නට මත්තෙන් මම වැඩි විස්තර දැන නොසිටියෙමි. අප රට බොහෝ දෙනාගේ දෙසවනට වැඩිපුර හුරු මෙල්බර්න් හි පිහිටි මොනෑෂ් සහ මෙල්බර්න් විශ්වවිද්‍යාලවල නාමයනුත්, කැන්බරාහි පිහිටි ඔස්ට්‍රේලියා ජාතික විශ්වවිද්‍යාලයේ නාමයත්, සිඩ්නියේ පිහිටි සිඩ්නි හා නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලවල නාමයනුත් ය. ඒ හැරුණු විට ඇඩිලේඩ්, පර්ත් සහ බ්‍රිස්බන් නගරවල පිහිටි ප්‍රධාන විශ්වවිද්‍යාල කරා ද බොහෝ ශ්‍රී ලාංකිකයෝ ඇදී එති. වොලොන්ගොන් නම නිතර කණ නොවැකුණද ඒ මෙරට ප්‍රමුඛතම පර්යේෂණ විශ්වවිද්‍යාල අතර ඇති බව වටහාගත්තේ පැමිණ කෙටි කලකින් ධනන්ජය අයියා සමග කළ සාකච්ඡා නිසාවෙනි.

රෙඩ්ෆර්න් දුම්රියපළින් නික්ම උමං මගකට හැරුණු දුම්රිය නගරයේ දකුණුදිග දෙසට දිවෙන මාවතට පිවිසියේ ය. තව මොහොතකින් මෙය දකුණු සිඩ්නි ප්‍රත්‍යන්ත පසු කර පෙරට ඇදෙනු ඇත. සිඩ්නියට පැමිණි පළමු දිනයේම මා නතර ව උන් ඕට්ලි ප්‍රත්‍ය නගරය ද ඒ අතර වෙයි. කාලය කෙතරම් වේගයෙන් ගෙවී ගොස් ද? පැමිණි මුල් දිනවල මා සිටින්නේ නගරයේ කුමන අන්තයකදැයි මම දැන නොසිටියෙමි. රිකී සමග ඕට්ලි දුම්රිය පළෙන් නැගී රෙඩ්ෆර්න් වෙත ආ මුල්ම දිනයේ උතුර - දකුණ වටහාගත නොහැකි ව මම බලා උනිමි. එහෙත් දෙමසක ඇවෑමෙන් මම දිගු දුම්රිය ගමනකට එළඹ එමග දිගම යමි.

ධනන්ජය අයියා මුලින්ම මට මුණගැසෙන්නේ මගේ පාසැල් අවදියෙන් පසු කාලයේ දිනෙක මහනුවර දී ය. උසස් පෙළ හමාර කොට සරසවි යන්නට ඉඩක් වේදැයි යන දෙගිඩියාවෙන් ගෙවුණු දිගු කාල සීමාවේ අපි විවිධාකාර කලා ඉසව්වල ‘රස්තියාදු‘ වුණෙමු. මගේ අයියාගේද මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු ගාමිණී හත්තොටුවේගමයන් මෙහෙය වූ සෙනසුරාදා නාට්‍ය වැඩමුළුව ඉන් ප්‍රධාන ය. සැබවින්ම එය ඇරඹුණේ මා කලා විෂයයන්ගෙන් උසස් පෙළට සූදානම් වෙමින් උන් අවදියේ ය. විද්‍යාව අතැර කලා විෂයය ධාරාව ඔස්සේ සය මසකින් විභාගයට පෙනී සිටින්නට සැරසෙන මම පූර්ණ සෙනසුරාදාව නාට්‍ය වැඩමුළුවකට වෙන් කිරීම බොහෝ දෙනෙකු හඳුනාගත්තේ ‘පිස්සුවක්‘ ලෙස ය.

“ඔයා ඒ ලෙවල් වලට ඩ්‍රාමා දාලද තියෙන්නෙ?“

වැඩමුළුවේ දී හමු වූ එක්තරා යුවතියක් මගෙන් විමසුවේ කෑම පැයේ දී ය.

“නැහැ. මම ඩ්‍රාමා කරන්නෙ නැහැ.“

“එහෙනම්? මෙතන මොනව කරනවද? මම නං ඒ එල් වලට ඩ්‍රාම දාල තියෙන්නෙ. ඒකයි එන්නෙ!“

සැබවින්ම හත්තොටුවේගම සර්ගේ වැඩමුළුව උසස් පෙළ ඉලක්ක කරගත්තක් නොවී ය. විවිධාකාර ස්වසන අභ්‍යාස, ශාරීරික අභ්‍යාස, කටහඬ පුහුණු ක්‍රියා, එසැණ නිරූපණ ආදියෙන් පූර්ණ වූ එය වචනයේ පරිසමාප්තයෙන්ම රංගන පාඨමාලාවක් විය.

පසුකලෙක වේදිකාවේ හා සිනමාවේ නමක් දිනූ සනත් (සනත් විමලසිරි), ළමා නාට්‍යකරුවෙකු හා මාධ්‍යකරුවෙකු වූ නාලක (නාලක ස්වර්ණතිලක), සරච්චන්ද්‍ර නාට්‍ය නිෂ්පාදනයන්ට එක් වූ, දක්ෂ නළුවෙකු හා නාට්‍යකරුවෙකු වූ කුසුම්සිරි (කුසුම්සරි ලියනාරච්චි), මාතලේ ප්‍රදේශයෙන් බිහිවූ දක්ෂ නාට්‍යකරුවකු වූ සිසිර අයියා (සිසිර තඩිකාර) ආදීහු මගේ මිතුරු ලැයිස්තුවට එක් වූයේ මේ වැඩමුළුවෙනි. මගේ මිතුරු සංජයත්, සනත් සහ කුසුම්සිරිත් සමග එදවස ගැසූ ‘රස්තියාදු‘ නිමක් නොවී ය. නාට්‍ය දර්ශන නරඹන්නට ඒ පැවැත්වෙන නගර වෙත ගිය අපි වරක් ‘රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල‘ බලන්නට ආරාධනාපත් නැතිවම ශාලාවට රිංගා ගතිමු. සියල්ල අවසන රෑ බෝ වූ විට ආසන්නතම යහළුවෙකුගේ නිවසකට පැන ‘කරදරකරුවන්‘ වීමු. මේ ගමන් මග අතර එක්වරම හමු වූ අයෙක් වන්නේ මා පෙර කී ධනන්ජය අයියා ය; ධනන්ජය කරුණාරත්න ය. ඒ අපේ නාට්‍ය ගුරුවරයකු ලෙස ය.

හත්තොටුවේගම සර්ගේ වැඩමුළුව නිමා වී ටික කලකට පසු තවත් නාට්‍ය වැඩමුළුවක් ගැන  නාලක මට දැනුම් දුන්නේ ය.

“අපි ධනන්ජය සර්ගෙ වර්ක්ෂොප් එකක් තියන්නයි යන්නෙ. සත්‍යෝදයෙ තියෙන්නෙ දවස් තුනක්. ප්‍රියන්ත අයියත් එන්න.“

පුෂ්පදාන මාවත දිග, බහිරව කන්දේ දැඩි වෙහෙසකර පාගමනකින් පසු හමුවන සත්‍යෝදය ගොඩනැගිල්ලේ කෙළවර ශාලාවක වැඩමුළුව පැවැත්වීමට කටයුතු සූදානම්ව තිබිණි. පෙර මට හමුවූ හත්තොටුවේගම සර්, පසුකලෙක වැඩමුළුවලදී හමු වූ එච්.ඒ. පෙරේරා, හෙන්රි ජයසේන, නිශ්ශංක දිද්දෙණිය, කේ.බී. හේරත් වැනි ගුරුවරු සියල්ලන්ම වයෝවෘද්ධ හෝ මැදිවිය ඉක්ම යමින් සිටි අය වද්දී ධනන්ජය අයියා අපට හමු වූයේ තරුණ ‘ අයියා‘ කෙනෙකු ලෙස ය.
පුෂ්පදාන ශාලාවේ ගෙවුණු ඒ දින ත්‍රිත්වය අදද මගේ මතකයේ ප්‍රබලව තැන්පත් ව ඇත. නාට්‍ය කලාව මතු නොව ජීවිතය දෙස දකින්නට නව අදහස් ගණනාවක් එම දින තුන තුළ මවෙත ලැබිණ.

“නාට්‍යකාරයෙක් තියා කවුරු වුණත් වෙන්න හිතන්න එපා කියවන්නෙ නැතිව. කියවන්න හැම දෙයක්ම. විශේෂයෙන් නාට්‍යකාරයෙක් නං, අදාල පොත් සහ නැති පොත් කියල ජාති දෙකක් නෑ!“

පොත් කියවීම කුඩා කළ සිට මගේ චර්යාවක් වී තිබුණ ද කියවීම සම්බන්ධ මෙවැනි ප්‍රකාශ මා වෙත නව උත්කර්ෂයක් ගෙන ආවේ ය. අප හොඳින් දන්නා ප්‍රවීණයන් හමුවේ නොවුණු ප්‍රවේගකාරී, රැඩිකල් ප්‍රවේශයක් ධනන්ජය අයියා තුළ විය. තෙවැනි දිනයේ නිර්මාණාත්මක රචනය වෙනුවෙන් ඔහු කළ ක්‍රියාකාරකම සහ ඉන් මා ලද ප්‍රමෝදය දැනුදු සිත නැගෙයි.

“ඇස් වහගෙන මම කියන දේ අහගෙන ඉන්න හැමෝම. මුළු කතාවම අහල ඉවර වුණාම ඉස්සෙල්ල හිතන්න. හොයාගන්න බලන්න කාටවත් නොපෙනෙන දෙයක්... හිතන්න බලන්න හැම කොණක්ම.. හැම කෙළවරක් ම!“

සිය කතාවට පෙර ඔහු අපට උපදෙස් දෙයි. අපි කීකරු ව දෙනෙත් පියා ගනිමු.

“හා අම්මා කැලේ ඉඳල දුවගෙන ආව ගුහාව දිහාවට... හැමදාම හා අම්ම එද්දි ඉස්සරහට දුවගෙන එන පැටිය එදා පේන්න හිටියෙ නැහැ...“

අතරතුර විරාම තබමින් නැගෙන ඔහුගේ ජවැති කටහඬ අතරින් කැලයේ දිව එන සාවියක් අප අභියස මැවෙයි.

“හැමතැනම... ගුහාව පිටිපස්සෙ... ළඟ තිබුණු කැලෑ රොදේ... පැටිය ඉන්නවද කියල හා අම්ම බැලුව... පැටිය පේන්න නැහැ.... ‘පුතේ‘ කියල කතා කළා... උත්තරයක් නැහැ....“

සාවිය විටෙක මැකී ගොස් අපේ අම්මාගේ ඡායාවක් නැගී මතු වෙයි.

“එකපාරටම හා අම්ම දැක්ක නරියගෙ අඩි සළකුණක්... හා අම්ම බය වුණා... ඒ අඩි සළකුණ තිබුණෙ ගල්තලාව පැත්තට... අම්ම දිව්ව ගල්තලාව ළඟට... ගල්තලාව පටන් ගන්න තැන පඳුරක් පොඩි වෙලා... පුංචි ලේ බිංදු දෙක තුනක් තිබුණ එතන.... “

වැඩමුළු කාමරය දැඩි ලෙස නිහඬ ය. මැවෙන ඇඳෙන රූ අතර සරමින් මම ගල්තලාව දෙසට යමි.

“හා අම්ම බයෙන් ගැහි ගැහි ගල්තලාව උඩට ගියා... එයා දැක්ක නරිහාමි! නරි හාමි හිටියෙ බඩ පුරවගෙන... එයා කිට්ටුවෙන් ගල්තලාවෙ ලේ ගොඩක්! පුංචි ඇටකටු වගයක් තිබුණ නරිහාමි ළඟම....“

දිගු නිහැඬියාවක් රජ යයි.

“හරි... ඇස් අරින්න!“

අපි ඇස් හැර බලමු. ඇතැම් තරුණියකගේ දෙකපොල් දිග කඳුළු වැගිරෙයි. තවකකු බිමට හැරවූ මුහුණින් වෙයි.

වෙනස් ලෙස ලියන්නැයි කියූ උපදෙස අනුව මම බොහෝ දේ සිතීමි. පැටියා අහිමි වූ හා මවගේ වේදනාව දෙස සියල්ලෝම හැරෙනු ඇත‍. අතැති කොලයේ මම මෙසේ ලීවෙමි.

“උඹ කියන්නෙ මට බඩගින්නෙ මැරෙන්න කියල ද? නරිය ඇහුවලු එහෙම!“

සියලු ලේඛණ අතරින් ධනන්ජය අයියා මගේ ලියවිල්ල ද තෝරා ගත්තේ ය.
“හොඳයි!“

මිතුරු කුසුම්සිරිගේ රංගනයෙන් හා සනත් හා නරසිංහගේ කටහඬින් පමණක් සැදුණු ක්ෂණික නාට්‍යයක් අවසන් දින, අවසන් කාර්යය වෙනුවෙන් මම නිර්මාණය කළෙමි. චිත්‍ර ශිල්පියෙකුට ඇඳ දීමට භාරව ඇති මියගිය පූජකයෙකුගේ රුවක් හා දේශපාලඥයෙකුගේ රුවක් පණ ලැබ, සිය රුව හැඩ කරගන්වා ගැනීමට ශිල්පියාට බලපෑම් කරති. මහා කාලගෝට්ටියකින් පසු ඔහු කරන්නේ රූප දෙකම මකා දැමීමයි.

“මේක මරු... ඔයාට තියෙන්නෙ මේක හොඳට ලියල යෞවන සම්මානවලට වගේ දාන්න!“

බෞතීස්ම ලැබ ලියූ නාට්‍යය ‘නොනිමි‘ නමින් 1996 වසරේ යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළේ ය. සරසවි පිවිසුම් ලකුණු කිහිපයක් මදිව සිටිය දී විශේෂ කුසලතා යටතේ පිවිසුම් දොර විවර කර දෙන්නට එය ද දායක විය.

නිහඬ ව ඇදෙන දුම්රිය කවුළුවෙන් මෙතෙක් දක්නට ලැබුණු වනගහණය මැකී ගොසිනි. වම් පසින්, කඳු ගැටය පහතින් සයුර පෙනෙයි. කුඩා තිතක් සේ පෙනෙන නැවක් එහි ගමන් කරනු පෙනේ. ඒ දිවෙන්නේ මෙල්බර්න් දිශාවට වනු ඇත. මැදිරියේ බොහෝ මගීන් නින්දත් නොනින්දත් අතර ය. අවදියෙන් වන ඇතැමෙක් පුවත්පතක් හෝ ඊ -රීඩරයකින් පොතක් කියවති. දුර ක්ෂිතිජය දෙස නෙත් යොමමින් මම යළි කල්පනාවට වැටෙමි.

වම් පසින්, කඳු ගැටය පහතින් සයුර පෙනෙයි. 

වැඩමුළුවෙන් පසු යළි මා ධනන්ජය අයියා ඇසුරු කළේ ඔහුගේ නාට්‍යය හරහා ය. මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේ දී ‘ජූරිය‘ නරඹමින් ඇරඹි ඒ ඇසුර ‘චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්‘, ‘ඔබ සාපේක්ෂයි‘, ‘වැලන්ටයින් එනකං‘, ‘ලාස්ට් බස් එකේ කතාව‘  සහ ‘දුවන උන් දෙන්නෙක්‘ වැනි කෙටි නාට්‍ය හරහා වැඩී ගියේ ය. ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන්නට ගොස් කලෙකින් ඔහු ලංකාවට පැමිණි දිනෙක මම ඔහුට ශ්‍රී පාලියේ නාට්‍ය කණ්ඩායමකට උගන්වන්නට ආරාධනා කළෙමි. ඒ 2008 දී ය. ඒ වන විට මම ශ්‍රී පාලියට බැඳී වසරකි. සෙමෙස්තරයක කාලයක් නවක ශිෂ්‍ය පිරිසක් සමග ඔහු වැඩ කළේ ය. ඒ සේවා කාලයට ලැබෙන්නට නියමිතව තිබුණු ගාස්තුව ඔහු ලබාගත්තේ ද යන්න අදටත් මට පැනයකි. ඒ සඳහා වන පෝරම දුන් විට ඔහු සිනාසුනේ ය.

“මං පුරවන්නං... හැබැයි මේවයෙ අහන්නෙ හරි ගොන් ප්‍රශ්න.. ගෙවන්නෙ මහ පුදුම ගණන්...!“

ඒ වන විටත් මෝටර් රථයකින් කොළඹ සිට එන බාහිර කථිකාචාර්යවරයෙකුට ලැබුණේ සාමාන්‍ය බස් රථයක ටිකැට්ටුවකට සරිලන ප්‍රවාහන දීමනාවකි. පෙට්‍රල් වියදම ගණන් බැලුණේ 80 දශකයේ යොදා තිබුණු සංඛ්‍යා අනුව බැවිණි.

“එකපාරක් සෞන්දර්ය එකේ ෆෝම් එකක මං දැක්ක පැමිණෙන ආකාරය එකේ බසයෙන්ද, මෝටර් රථයෙන් ද නැතිනම් අසු පිටින් ද අහල තියෙනව! ඒ ෆෝම් යටත්විජිත කාලෙ ඉඳන් එන ක්‍රමේටම යනව!!“

ධනන්ජය අයියා සිනාසුණේ ය.

This station.... Wollongong!

දුම්රියේ ශබ්ද විකාශනය හඬ ගෑවේ ය. මම දුම්රියෙන් බැස වේදිකාව දිග පෙරට ගියෙමි. කුඩා දුම්රිය අංගනය ජන ශුන්‍ය ය. නිහඬ ය.

“හේ... ප්‍රියන්ත...“


ඈත සිට අත වැනූ ධනන්ජය අයියා පැමිණ මා උණුසුම්ව වැළඳ ගත්තේ ය. ඔහු අභියස මෙසේ විත් සිටගන්නට මගේ ජීවිත මග වෙනස් කරන්නට දායක වූ සිදුවීම් ගණනාවක්ම තමන් කළ බව නොදත් අපූරු මිනිසෙක් යළි මා අභියස සිනාසෙමින් සිටී. 

3 comments:

  1. බොහොම රසවත්.... ඔව් අපේ ජීවිත වෙනස් කරන්න ගොඩක්ම බලපාපු මිනිස්සු දන්නෙවත් නෑ තමන් එහෙම දෙයක් කලාද කියලා...

    ReplyDelete
  2. රසවත් මතක ගොඩක් අවදි කලා.

    ගොඩක් ඔස්ට්‍රේලියන් අයට ඔය වචනේ (Wollongong) ලියාගන්ට අමාරුනේ. ප්‍රියන්ත ඒක දන්නවද? :)

    //සෙමෙන් ඇවිද එන මගීහු කිසිදු කලබලයක් නොපෙන්වමින් මැදිරි දොරටුවලින් ඇතුළුව බොහෝ හිස් අසුන් සහිත මැදිරියේ තමනට උචිතයැයි හැඟෙන අසුන් සොයමින් ඔබ මොබ සරති. විශාල සුපැහිදිලි දුම්රිය කවුළුවලින් හෙබි මැදිරියේ ඉදිරිපස ඇති අංකිත තිරය මත තැඹිලි පැහැ අකුරින් ලියැවෙමින් දිවෙන්නේ දුම්රියේ ඉදිරි නැවතුම්පල පිළිබඳ සඳහනකි.//

    ලංකාවත් එක්ක සසඳනකොට කොච්චර වෙනස්ද කියලත් හිතුනා මේ කොටස කියවගෙන යනකොට.

    ReplyDelete