Wednesday, December 19, 2012

චෙස් පොඩ්ඩෝ


2012 මැයි 05 වැනිදා

දුම්රිය මැදිරිවල දිනකට කෙතරම් වේලාවක් ගත කරන්නට වෙත්දැයි මට අදහසක් නැත. උතුරු දිගට හෝ බටහිර දෙසට දිවෙන සිඩ්නියේ ප්‍රත්‍යන්ත දුම්රිය මාර්ග ඔස්සේ මට නියමිත පාසැල් වෙත යන්නට පුළුවන. වෙරළාසන්න කූගී පෙදෙස වෙත හා රැන්ඩ්වික් වෙත යන්නට පමණක් දුම්රිය මගක් නොමැති අතර මා එපෙදෙස්වලට යා යුතුව තිබුණේ බස් රථයෙනි.

නෝමන්හර්ස්ට්, කූගී, රැන්ඩ්වික්, චැට්ස්වුඩ් සහ බීක්‍රොෆ්ට්  යන ප්‍රත්‍යන්ත නගරයන්හි රජයේ සහ පුද්ගලික පාසැල් කිහිපයක චෙස් පුහුණුකරු වශයෙන් මා පත් කරන ලද බව කියූ ඊ මේල පණිවුඩ මට ලැබුණේ ඊයේ සවස ය. පෙර දිනක පැවති සම්මුඛ පරීක්ෂණය කෙළවර බ්‍රෙට් මගෙන් ඇසූ පැනය වූයේ මට භාරගත හැකි කුමන මට්ටමේ ශිෂ්‍යයින් ද යන්නයි.

“මම හිතන්නෙ මට පුළුවන් වෙයි බිගිනර්ස්ලට උගන්නන්න. ඉන්ටර්මීඩියට් ලෙවල් එක උණත් ප්‍රශ්නයක් නැහැ. ඒත් උඩ ලෙවල්වලට උගන්නන්න මගේ භාෂා මට්ටම මදි වෙන්න පුළුවනි නේද?“

මගේ භාෂා හැසිරවීම පිළිබඳ සැකයෙන් මා පලකළ අදහසට බ්‍රෙට් දුන්නේ වෙනස් පිළිතුරකි.


“මම හිතන්නෙ නම් ඔයා ඉන්ටර්මීඩියට් ලෙවල් එකයි උඩ මට්ටමයි කරන එක හොඳ වෙයි. ඔයාගෙ භාෂාවෙ නම් මට අවුලක් නැහැ. ඒත් ඉතින් ඔයා කැමති නම් මම බිගිනර් ලෙවල් ක්ලාසස් කිහිපයක් ඔයාට දෙන්නම්“

ආධුනික ක්‍රීඩකයින් සමග කටයුතු කරන්නට ගත් තීරණයේ වරද වැටෙහන්නට ද වැඩි දිනක් ගත වූයේ නැත. පාසැලක ආධුනික ක්‍රීඩකයින් බොහෝ දුරට කුඩාම පන්තිවල සිඟිත්තන් වූ අතර ඔවුන් හසුරුවා ගැනීම මා වැනි පිටරැටියකුට පහසු වූයේ නැත. මා මුහුණු දෙන අපහසුව දැක ඇතැම් පාසැල්වල ගුරුවරුන් පන්තිය පවත්වා ගන්නට උපකාර කළ නමුත් වැඩි දෙනෙක් එය පිළිගත්තේ නොරිස්සුම් මුහුණකිනි.

රැන්ඩ්වික් පාසැලේ දී ඈන් යටතේ ද, බොන්ඩයි කණිෂ්ඨ පාසැලක රයන් යටතේද පුහුණු දින දෙකක් මා වෙත ලබා දෙන්නට බ්‍රෙට් කටයුතු කර තිබුණේ මෙහි පාසැලක චෙස් පුහුණුව සම්බන්ධිත ක්‍රියාවලිය වටහා ගන්නට ය. සැබවින්ම සිඩ්නියේ පාසැල් චෙස් ක්‍රීඩකයින්ට වඩා අප රට ක්‍රීඩකයින් ඉතා ඉහළ මට්ටමක වන බව එම වැඩ සටහන් දෙක අවසන් වත්ම මට වැටහී ගියේ ය. මෙහි චෙස් ක්‍රීඩාව පාසැලක ඉගැන්වෙන්නේ සතියට පැයක කාලයක් පමණි. ඒ අතර සතියේ ඉතිරි දිනවල සිසු සිසුවියෝ විවිධාකාර ගෘහස්ථ සහ පිටිය ක්‍රීඩාවලට ද සහභාගි වෙති. චෙස්, ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් ගණනාවකින් එකක් පමණක් වන අතර ඔවුන් ඒ සඳහා ලබා දෙන කාලයද අවම වීම හේතුවෙන් වසර තුන හතරක් ඒ හා ගත කළ ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට තිබුණේ ද මූලික මට්ටමේ දැනුමක් පමණි.


මටත්, මල්ලීටත් චෙස් ක්‍රීඩාවේ මුලකුරු කියා දුන්නේ අයියා ය. එවකට විද්‍යාර්ථයේ තිබුණු චෙස් පුහුණු පන්තිවලට සහභාගි වීම ඇරඹූ මමත් මල්ලීත් එහි වැඩිහිටි ශිෂ්‍යයින්ගේ දක්ෂකම් දැක මවිතයට පත් වීමු. තරගය අරඹා මොහොතකින් සිය රැජින හා බිෂොප්වරු පෙරට ගෙන ආ ඔවුහු ඇදීම් වාර කිහිපයකින් අපේ රජු කොටු කර දිනුම ලැබූ හ. ඔවුන්ට අනුව යමින් ප්‍රතිවාදියා ‘මෝඩයා‘ කරන fool’s mate සඳහා අපේ හමුදාව මෙහෙයවීම එකළ අපගේද සුරුවිරුකම විය. සම වයසේ ක්‍රීඩකයින් ගණනාවක් මෙසේ පරදවා එකල අප ලබන ජයෙහි උද්දාමය එවැනිම පරාජයක් අප වෙත හිමිවීමෙන් කෙළවර විය.

චෙස් ක්‍රීඩාව යනු බුද්ධිය හා මනා ගණුදෙනුවක යෙදෙන්නක් බවත්, එය මනස සමග දිගු හා වෙහෙසකර ව්‍යායාමයකින් ජය ගත යුත්තක් බවත්, ලොව වැඩිම සාහිත්‍යයකට හිමිකම් කියන ක්‍රීඩාව ඒ බවත් එවකට අප දැන සිටියේ නැත. ඒ අදහස් අප සිත් තුළ ධාරණය කරවමින්, ප්‍රතිවාදියාගේ චෙස් දැනුමට ගරු කරමින් ඔහු හෝ ඇය හා තරග වදින්නට අප හුරු කළේ අපේ චෙස් උපදේශකවරයා ලෙස පැමිණි සරත් සර් ය.

“ඔය මොනවද අදින්නෙ? ඇයි ඔයා හිතන්නෙ අනිත් කෙනා ඔයාට ඕන එකම අදියි කියල? ඇයි හිතන්නෙ නැත්තෙ එයා අදින්නෙ හොඳම ඇදීමයි කියල?“

මුල් දිනවල අප පෙරමෙන් ‘මෝඩයාගේ මේට් කිරීම‘ සඳහා සේනා හසුරුවනු දැක ඔහු ප්‍රශ්න කළේ ය.

“හැමවෙලාවෙම අපි හිතන්න ඕන අනිත් කෙනා අදින්නෙ හොඳම ඇදීම කියල. ඒ ඇදීම්වලටයි අපි උත්තර හොයන්න ඕන. මූව්ස් එකක් දෙකක් නෙවෙයි පුළුවන් තරමක් ඉස්සරහට හිතන්න. මනසේ චෙස් බෝඩ් එකක් මවාගෙන ඒකෙ අදින්න. හොඳම, සාර්ථකම උත්තරේ හම්බ වෙනකම් බෝඩ් එකට අතවත් තියන්න එපා!“

ගුරුතුමන්ගේ පුහුණු කිරීම් අප සැම නිවුණු පුද්ගලයින් බවට පත් කළේ ය. කලින් දිනවල පැයකට තරග හය හතක් ඇද නිමා කළ මිතුරෝ නිහඬව පුවරු අභියස දැහැන්ගත වූහ.

තරගාවලි අද මෙන් සුලභ නොවූ ඒ දිනවල චෙස් තරගාවලියකට අගනුවරට යාමට සුදුසුකම් ලැබීම වුව සිහිනයක් විය. මහනුවරදී පැවැත්වෙන අන්තර් පාසැල් කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ තේරීම් තරග සඳහා අප විදුහල් කණ්ඩායම මුලින්ම සහභාගි වූ 1988 වසරේදී ප්‍රබල ධර්මරාජ, ශාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව කණ්ඩායම් හා එක් තරගයක් හෝ ජයගැනීම වුව අප ලද මහරු දිනුමක් ලෙස සැලකිණ. එවකට පාසැල් චෙස් බිමේ පමණකුදු නොව ජාතික චෙස් බිමෙහි ද නම් දිනා සිටි ඒ විදුහල්වල ජ්‍යෙෂ්ඨයෝ අපට පෙනුනේ කිසිදා පැරදවිය නොහැකි වීරයන් ලෙසිනි.

වසරකින් දෙකකින් අප තුළ ගොඩනැගෙන්නට වූ ආත්ම විශ්වාසය ශක්තිමත් කණ්ඩායමකට අඩිතාලම දැමී ය. මිතුරන් ලෙස හමුවුවද චෙස් පුවරුවේදී සතුරන් ලෙස සැලකූ සහෝදර පාසැල්වල ක්‍රීඩකයින්ගේ කෙණහිලිකම් ක්‍රීඩාකාමිත්වය නිසා කියැවෙන ළමා හැඟීම් බව අද හැඟුණද එදවස අප ඒ පිළිගත්තේ නිසි මොහොතේ පාඩම් උගැන්විය යුතු කයිවාරු ලෙස ය.

“උඹල ටික කොයි පිළිවෙලට වාඩි වුණත් අපි ගහන්නෙ සික්ස් නිල්!!“

සහෝදර පාසැලක ක්‍රීඩකයෙකු කට කොණකට සිනහ නගමින් කී ඉහත වදන් පෙළ චෙස් කණ්ඩායමකට කළ හැකි විශාලම උපහාසය සහිත විය. කණ්ඩායමකට සය දෙනෙකු බැගින් වන එදවස පාසැල් තරග සඳහා අප ගෙන යන ක්‍රීඩක පිරිසේ කවරකු වුව තම ක්‍රීඩකයින්ට තරම් නොවන බව කී එවදන් වැරදි නොවූයේ ඒ කණ්ඩායම් එතරම්ම ප්‍රබලව උන් හෙයිනි.

“ආ.... බෝනස් ලකුණු හයක්ම එන්නෙ...!!!“

තවත් දිනෙක අප හා තරගයට වාඩි වෙමින් ඒ කණ්ඩායම් උදම් ඇනුවේ සරදමටත් වඩා ආරම්භයේ දී ලබන මානසික ජය ඉහළ බව දත් නිසාවෙනි.

වසරක දෙකක ඇවෑමෙන් කණ්ඩායමේ එකා දෙන්නා බැගින් ප්‍රතිවාදීන්ගේ උසුළු විසුළු පහළ දමන්නට කටයුතු යොදනු පෙණින. පසුකලෙක පාසැල් චෙස් බිමෙන් සමුගත් චමින්ද, පාසැල නිමකොට කලක් මහනුවර ක්‍රීඩා සමාජයකට එක්ව ක්‍රීඩා කළ අසන්ත මේ පිරිසේ පෙරමුණේ විය. එහෙත් නිත්‍ය භීතිකාවක් ප්‍රතිවාදියාට හිමි කරදෙමින්, කණිෂ්ඨයෙකු, එනම් අවුරුදු පහළවට අඩු ක්‍රීඩකයකු වියෙහිදීම ජ්‍යෙෂ්ඨ පිළේ සාමාජිකත්වය දරමින් වසර ගණනක උපහාස වදන් සොයා ගොස් පිළිතුරු දී පැමිණියේ මාගේ බාල සොහොයුරා ය.

ලාබාලම, එනමුත් ප්‍රබලම සාමාජිකයා ලෙස මල්ලී ද සමග අප පසුකාලීන තරගාවලි වෙත ප්‍රවිශ්ඨ වූයේ යට කී පාසැල් කණ්ඩායම් හා කරට කර සටනට එළැඹීමේ ශක්තිය ඇතිව ය. 1991 වසරේ මහාමායා බාලිකාවෝ සංවිධානය කළ මධ්‍යම පළාත් තරගාවලියක තුන්වන ස්ථානයක් ලබන තෙක්ම අප කණ්ඩායම් ජයග්‍රහණයක් හිමි කර නොතිබුණේ වුව සිය තරග සියල්ල ජය ගැනීම වෙනුවෙන් මල්ලී නම් කුඩා කුසලාන කිහිපයක්ම දිනා තිබිණි.
එදවස තරගයකින්...


1991 වසරේදීම කිංස්වුඩ් විදුහල විසින් සංවිධානය කළ සමස්ථ ලංකා තරගාවලියකදී අප පළමු වරට කොළඹ කණ්ඩායම් දුටුවෙමු. ආසියානු නගරාන්තර තරගාවලිය ඉන් සති කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නිමාව දැක තිබූ අතර සරත් සර් අප කණ්ඩායම සමග තරගාවලියට ආවේ එහිදී සමරු ලෙස ලැබුණු වටිනා අත් ඔරලෝසුවක් බැඳගෙන ය. එවැනි අත් ඔරලෝසුවක් බැඳි තවත් දක්ෂයකු වූ කමල් මහනුවර ශාන්ත අන්තෝනි පිළේ වූ අතර කොළඹ රාජකීයයෝ ශූරතාවය දිනුවේ එවැනි ඔරලෝසු අත් ඇත්තන් කිහිප දෙනෙකුගේම සවියෙනි.

වසර ගණනක් අපරාජිතව උන් රාජකීය පිළේ එදවස සාමාජිකත්වය යට කී ලෙසම ජාතික තලයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන්ම සැදුම් ලද්දේ විය. එහෙත් මහනුවර ශාන්ත අන්තෝනි පිළේ ඔරලෝසු හිමිකරුවා වූ කමල් සමග තරගය මවිසින් ජය ලබද්දී අප පිළ වටයේ ජයග්‍රහණය 4.5 – 1.5 හිමි කරගත්තේ ය. අප අනු ශූරයන් වූයේ රාජකීයයන්ට පමණක් දෙවැනි වෙමිනි.

1992 වසරේදී අප විද්‍යාලයේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සංවිධානය කළ සමස්ථ ලංකා තරගාවලිය පෙර තරගය තෙක් රාජකීයයන් ගෙන ආ අපරාජිත වාර්තාවට නැවතීමේ තිත තැබූ තරගාවලිය විය. එහිදී අප පාසැල් ශූරයන් පැරදවීමු. අවසන් වටය නිමා වන විට ලකුණු එකතුවෙන් ඉදිරියේ වූ ඔවුහු යළි ශූරතාවය දිනා ගත්තද කුසලානය රැගෙන ගියේ 4.5-1.5ක පරාජයක් අප කණ්ඩායම ඉදිරියේ ලියා තබමිනි.

 1987න් ඇරඹි අප පාසැල් චෙස් දිවිය ජයග්‍රාහී මගෙකින් කෙළවර කරන්නට සරත් සර්ට හැකි විය. වසර පහ හයකට පෙර අප දැක සරදමට සිනාසුණු සහෝදර පාසැල් සගයින්ට අපි පුවරුවේදී පිළිතුරු දුනිමු. චෙස් ක්‍රීඩාවේ ජාතික ජයග්‍රහණ සහතික මාහට අඩුව තිබුණු විශ්වවිද්‍යාල ප්‍රවේශ ලකුණු පියවන්නට ද උපකාර විය. මල්ලී ජාතික කණ්ඩායම දක්වා ගොස්  ඔලිම්පියාඩ් තරගාවලි දෙකකදී රට නියෝජනය කළේ ය. ඔහු මෙන්ම පෙරට ආ සංජීව, ඉන්දික, ටිතිර, අබේකෝන්, උදාන, හරීන්ද්‍ර, සුනන්ද, එරන්ත හා අනුරුද්ධ ආදීහු ප්‍රතිවාදී කණ්ඩායම්වලට මහත් හිසරදයක් විය.  එහෙත් ඒ සියල්ලට වඩා ඒ යුගය තුළ අප කල කී දෑ, එක්ව ගිය පාගමන් හා විනෝද සංචාර, ලියූ කියැවූ දේ, හුවමාරු කරගත් අත්දැකීම් සහ දැනුම වඩා වෙසෙසි පාසැල් දිවියක් කෙළවර කරන්නට අපට ඉඩ සැලැස්වීයැයි අද මට සිතේ.

රැන්ඩ්වික් පාසැලේ ප්‍රධාන පුහුණුකාරිණිය වූ ඈන් මා පිළිගත්තේ සිනාමුසුව ය.

“හලෝ ප්‍රියන්ත... ඔයාට භාර වෙන්නෙ බිගිනර්ස් ටීම් එක. මට ලොකු පිරිසක් ඉන්නව. ඔයාට පුළුවනි පන්තියෙ පිටි පස්සෙ ඔයාගෙ කට්ටිය එක්ක වැඩ පටන් ගන්න“

මම පන්තිය පිටු පසට ගියෙමි. හුරුබුහුටි කුඩා දරුවෝ පිරිසක් මා වෙත පැමිණ ඉදිරියෙන් හිඳ ගත්හ. මම සසල සිතින් ප්‍රදර්ශක පුවරුව සැකසීමි. බ්‍රෙට් කී ලෙස ආධුනිකයන් මාහට අවනත නොවන්නට ඉඩ ඇති බව වැටහෙන්නේ දරුවන් දුටු විට ය. ළදරු පාසැල් විය පසුකර ඇතැයි සිතෙන ළපැටියෝ මහත් සතුටින් බිම පෙරළෙමින් එකිනෙකා හා සෙල්ලමට වැටුණ හ. චෙස් පුවරුව වෙත ඔවුන්ගේ අවධානය යොමු කරගනු කෙසේ වුව නියමිත කාලය තුළ ඔවුන් නිහඬව තබා ගන්නට වුව ඉඩක් ලැබේවි ද?

“ඒයි.... ළමයි!!! නිශ්ශබ්ද වෙලා ප්‍රියන්තගෙ පාඩමට ඇහුම්කණ් දෙන්න!!!“

ඈන්ගේ කෑගෑමෙන් සියල්ලෝ නිහඬ වූහ.

“හලෝ.... මගෙ නම මේරි! ඔයා මොනවද අපිට කියල දෙන්න යන්නෙ?“

සුරතල් සිනහවකින් මුව සරසාගත් පුංචි ළදැරියක් මගේ දණහිසෙහි එල්ලී ප්‍රශ්න කළා ය.

“හරි... අපි චෙස් ඉගෙන ගනිමු!“

මම ඇයටත්, සෙසු දරුවන්ටත් කීවෙමි.

3 comments:

  1. Insightful - I love it .

    Wasaba

    ReplyDelete
  2. සුන්දර මතක සටහන් අපිත් එක්ක බෙදා ගැනිම පිළිබඳව ස්තුතියි!
    චෙස් ක්‍රිඩාව පිළිබඳ දැනුවත් කිරිමක් කරනවා නම් මැනවි.

    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. ඔබේ ඇගයීම ගැන ස්තුතියි ගයානි.. ඒ වුණත්, අපි අවුරුදු කිහිපයක්ම ලොකු වෙහෙසක් දරා ඉගෙනගත්තු චෙස් බ්ලොග් එකක පේළීයකින් දෙකකින් පහදන්න අමාරුයි
      කෙටියෙන් සරල අදහසක් කියන්න බලන්නම්!
      චෙස් තරගයක් සිද්ධ වෙන්නෙ පැත්තකට ඉත්තො 16ක් ගාණෙ ඉන්න කළු සහ සුදු පැති දෙකක් අතරෙ කොටු 64ක බෝඩ් එකක. දාම් බෝඩ් එකක් වගේ වුණාට චෙස් බෝඩ් එකේ කොටු අඩුයි. කළු සුදු කොටු 32 ගාණෙ තියෙන බෝඩ් එකක් ඒක.
      එක පැත්තකට රජ, රැජින, බිෂොප්ල දෙන්නෙක්, නයිට්ල දෙන්නෙක්, රුක්ල දෙන්නෙක් සහ සෙබළු නැත්තම් පෝන්ල 08 දෙනෙක් ගාණෙ ඉන්නව. දිනන්න කරන්න ඕන අනිත් පැත්තෙ රජ කොටු කරන එක. මේ එක එක ඉත්තගෙ ගමන් රටා විවිධාකාරයි. බලය අසමානයි. ඒ නිසා මේ කාර්යය අති සංකීර්ණ ගණිතමය වැඩක් වෙනව.
      සුදු පටන් අරගෙන මාරුවෙන් මාරුවට අදින තරගයක් ඒක.
      සාමාන්යග තරගයක් පැය 03-04 වගේ අදිනව. ඒක මනින්න පිළිගත්තු තරගවලදි චෙස් ඔරලෝසු කියල වෙනම කාල ගණක යන්තර පාවිච්චි කරනවා. දැන් නම් ඒව ඩිජිටල්වලිනුත් ඇවිත්.
      ලෝකයේ චෙස් බලවත්තු අතරෙ රුසියානු රටවල් ඉස්සරහින් ඉන්නෙ. වර්තමාන ලෝක ශූරයා නම් ඉන්දියානුවෙක්. ඔහුගේ නම විශ්වනාදන් ආනන්ද්. ලෝක ශූරිය යුක්රේන ජාතික ක්රීකඩිකාවක්. එයා ඇනා උෂෙනීනා. ලංකාව තවම මේ භූමියේ ක්ෂුද්ර් තැනක ඉන්නෙ.
      පසුගිය ලෝක ඔලිම්පියාඩ් ශූරතාවලිය (කණ්ඩායම්) තිබ්බෙ තුර්කියෙ. ප්රයතිඵලේ මෙහෙමයි.
      ලෝක ශූර රාජ්යෝය (විවෘත) - ආර්මේනියාව. /කණ්ඩායම් (රටවල්) – 150 - ලංකාවේ ස්ථානය - 104
      ලෝක ශූර රාජ්යෝය (කාන්තා) - රුසියාව /කණ්ඩායම් (රටවල්) – 127 - ලංකාවේ ස්ථානය - 75
      වර්තමාන ජාතික ශූරයා - ඉසුරු අලහකෝන් (නාවික හමුදාව)
      ජාතික ශූරිය - සචිනි රණසිංහ (මියුසියස් විද්යාුලය)
      චෙස් මූලික දැනුමට නම්
      http://www.chess.com/learn-how-to-play-chess
      ලංකාවේ චෙස් තොරතුරුවලට නම්
      http://www.lankachess.com/

      Delete