Wednesday, December 19, 2018

ගඟන සරන‘තර යළි ඔහු හමු විය!


කිසිදු සැළකිල්ලකින් නොබැලූ මුත් සිඩ්නියේ විසල් ගොඩනැගිලි ක්‍රමයෙන් කුඩා වී ගොස් සෙමෙන් පසුපසට ඇදී මැකී යමින් තිබෙන බව මගේ ඇස්වලින් සටහන් කරගනිමින් තිබිණ. සිවු මසක් ගෙවෙන්නට මත්තෙන් යළි හැරී මව් රට බලා යාමට කිසිදු අදහසක් නොමැතිව ඊයේ උදෑසන අවදි වූ මම දැන් මගේ සිඩ්නියේ බොහෝ අඩුම කුඩුම ද රීජන්ට් වීදියේ නවාතැනෙහි තබා ගුවන් යානයක වාඩි වී සිටිමි. ජීවිතයේ එළඹෙන නිමේෂය කෙතරම් නම් විශ්වාස කළ නොහැකි දේ අප වෙත ගෙන එන්නේ ද?

මේ සියල්ල සිහින ලෙස දැකීමට සිත විසින් කළ යෝජනාවන් සියල්ල පරාජය වී තිබුණු හෙයින්ම කිසිදු අදහසකින් තොරවම සිතත් ඔහේ ගත කරමින් ඉන්නා බව මට දැණින. දැන්, සිතත් මමත් එක්තරා අයුරකින් දෙදෙනෙකු බවට පත්ව ඇත. ඔහු කිසිදු යෝජනාවක් මට නොකරයි. විටෙක ගුවන් යානයේ ජනේලයෙන් තවමත් පෙනෙන නිව් සවුත් වේල්සයේ දසුන් අතරින් සරා කොහේ හෝ ඇවිද යන්නට තැත් දරණ ඔහු යළි සැණකින් ඒ අදහස වෙනස් කොට එතැනම නතර වෙයි. මා හැර මොහොතකට හෝ පිටතට නොයන්නැයි ආයාචනා නොකළ ද එය හඳුනාගත්තෙකු ලෙස මා අසළින්ම වැතිර ගනියි.

මම, සිත හා එක්ව ගෙවුණු දිනය දෙස යළි හැරී බලමි. ප්‍රන්සුවා සහ පැට්‍රික්ගේ උණුසුම් මිතුදමින් තරමක සැනසුමක් ලද මම ඇනී හමුවූයේ එළඹෙන මාසයේ මා එහි නොවන බව දැනුම් දෙමින් තාත්තිගේ සමුගැනීම පිළිබඳ කියන්නට ය.

“ආහ්... කණගාටුයි. ඒත් ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ලබන මාසෙත් කාමර කුලිය ගෙවන්න වෙයි මෙහෙ නොහිටියත්. ලයිට් බිලට යන ඩොලර් දහයක් අඩු කරල ගෙව්වම හරි.“

කිසිදු හැඟීමකින් තොරව සිය කණගාටුව ප්‍රකාශ කළ ඇනී තමන් වෙත ලැබීමට නියමිත මුදල් පිළිබඳ දැඩි හැඟීමක් සහිතව කතා කළා ය.

“ඔය ගෑණිගෙ හැටි අපි නොදැන නෙවෙයි ප්‍රියා අපි මෙතන ඉන්නෙ. මේව නීත්‍යානුකූල නවාතැන් නෙවෙයි. ඕකි දෙන්නෙ බොරු බිලක්! ඒක ටොයිලට් පේපර් එකක් තරංවත් වටින්නෙ නෑ.“

ඇනීගේ ප්‍රතිචාරය ඇසූ පැට්‍රික් කේන්තියෙන් කීවේ ය.

පැට්‍රික්, ෆ්‍රන්සුවා, ලලීන් සහ නෝමන් ද ජයන්ත අංකල් ද මට සමුදුන්නේ ඔවුන් වෙතින් නැගුණු හෘදයාංගම බව මවෙත තබමිනි. යළි හැරී ඒ සමුගැනීම් පිළිබඳ සිතත්ම ගුවන් යානයේ මගී පිරිස අතර මා තනිව ඇති බව මට හැඟෙන්නට විය. යාබද ආසනයේ සිටින මැදිවියේ චීන පෙනුමැති මගියා දැනටමත් නින්දට වැටී ඇත. මගේ වේදනාබර ගමන පිළිබඳ කිසිවක් නොදන්නා ගුවන් සේවිකාව සුපුරුදු සිනාවෙන් මා වෙත සංග්‍රහ කරමින් ඇපල් යුෂ වීදුරුවක් මා වෙත දිගු කළා ය. මම ද සිනාසෙන්නට උත්සාහ කළෙමි.

කාලය සමග කරන අරගලය තව දුරටත් මා වර්ධනය කළ යුතු ය. සිඩ්නියේ සිට මැලේසියාවට මේ ගුවන් ගමන පැය අටකට නොඅඩු ය. තවමත් පහතින් දිස්වන්නේ නිව් සවුත් වේල්සයේ හරිත කඳු පියසයි. ගමනෙහි දිගු ඉදිරිය මා සමග යන්නට කෙනෙකු සෙවිය යුතුම ය. මම ඉදිරි ආසනය පසුපස සවිකර ඇති කුඩා වීඩියෝ තිරය ක්‍රියාත්මක කර ආසනයට සවි කර ඇති පාලකයෙන් එහි ඇති සිනමා පට එකතුව වෙත පිවිසුනෙමි. ක්‍රියාදාම චිත්‍රපට, හාස්‍ය කැඳවන චිත්‍රපට, ප්‍රේම කතා යනාදී වශයෙන් වන ප්‍රභේද මග හැරි මම ‘ආසියානු සිනමාව‘ ලෙස නම් කර තිබුණු එකතුව තිරයට කැඳවීමි.

ආසන්න දකුණු ආසියාතික කලාපයේ රටවල සිනමා කෘති නරඹන බොහෝ අවස්ථාවල එහි ඇති සම-සංස්කෘතික හැඟවීම්වලින් මම ඒ චිත්‍රපට සමග බැඳී ඇත්තෙමි. රායිගේ කෘතිවල එන බොහෝ චරිත අපේ රටේ මග තොටදීත් මුණගැසිය හැකියැයි යන හැඟීමක් එම චිත්‍රපට නරඹන බොහෝ අවස්ථාවල මසිතට නැගී ඇත. දාස්ගුප්තාගේ සිනමා කෘතිවල හමුවුණු සහෘද සංවේදනා කලාපීය හැඟීම් සමග ආබද්ධව ඇතැයි මම විශ්වාස කරමි. ඝටක් ගෙනැවිත් අප ඉදිරියේ තබන්නේ දරිද්‍රතාව හමුවේ, නැතිනම් අහිමිවීම හමුවේ දකුණු ආසියාතික පුරවැසියකු තුළ ඇති විය හැකි එක්තරා සහෘද හැඟීමකැයි මම අදහමි.

කෙසේ වෙතත්, දකුණු ආසියාතික සමීපත්වය නොමැති තැනක තවත් යම්කිසි නොපැවසිය හැකි හැඟීම් සමුදායක් සමගින් ආසියාතික සිනමා කෘති සමග මා බැඳී ඇති බව මගේ මතකයේ ඇත. දුහුවිලි විසිරෙන, රළු පරළු පොළෝ තල සහිත භූ දර්ශන, නගරයේ තදබදය අතරින් එහා මෙහා ඇවිදින පීඩිත ජන කොටස් ආදියෙන් සමන්විත රූප සමාන ආසියාතික සටහනක තැබිය හැකි බව මට පෙනී ඇති වාර අපමණ ය. චිත්‍රපටයේ රූප රාමු සමකාසන්න රටක භූ දර්ශනය පසුබිම් කරගන්නා බොහෝ විට හිරු රැසින් පීඩා විඳින සමාන මිනිසුන් ප්‍රවර්ගයක් මට ඒ චිත්‍රපටවල හමුවන්නට පටන් ගනියි.

කුඩා වීඩියෝ තිරය ‘A Barefoot Dream’ රූප රාමුව තෝරා දෙද්දීත් මට හැඟුණේ ඒ සමාන බව ය. තාත්තිගේ මළගමට සහභාගී වීමට යන මේ දිගු ගුවන් ගමනෙන් යම්කිසි පැය ගණනක් ඒ තිරයෙන් නැගෙන කුඩා මිනිස් රූ මා සමග ගත කරනු ඇතැයි යන හැඟීම මා තුළ ජනිත වූයේ කිසිදු පූර්ව කොන්දේසියක් සිහියට එන්නටත් මත්තෙනි. මම චිත්‍රපටය ධාවනය වීම සඳහා විධානය දුනිමි.

කිම් වොන් කාන් විශ්‍රාමික පාපන්දු ක්‍රීඩකයෙකි. තරුණ විය නොඉක්මවූ ඔහුගේ ජීවිතය බලාපොරොත්තු ජයග්‍රහණ ඔහු වෙත නොකැඳවා ඇති හෙයින් නව ව්‍යාපාරයක් ඇරඹීමේ අරමුණින් ඔහු නැගෙනහිර ටිමෝරය බලා පිටත්වෙයි. වෙළඳ ව්‍යාපාරයක් පිළිබඳ ඉලක්ක සහිතව කටයුතු කරන ඔහුට දිනක් අහම්බෙන් නෙත ගැටෙන්නේ නිරුවත් දෙපයින් යුතුව පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන වීදි දරුවන් පිරිසකි. පාපන්දු පාවහන් ද සහිත ක්‍රීඩා භාණ්ඩ වෙළඳ සැලක් ඇරඹීම පිළිබඳ ඔහුගේ තීරණය දරුවන්ගේ නිරුවත් දෙපා පසුපසින් නැගෙයි. එහෙත් අන්ත දුගී වීදි දරුවන්ට ඔහුගේ පාවහන් මිලට ගන්නට ශක්තියක් නැත. සියල්ල උඩු යටිකුරු වන්නේ ඔහුගේ දෙවැනි අභීත තීරණයත් සමග ය. වීදි දරුවන්ට නිසි පරිදි පාපන්දුව හැසිරවීමට උගන්වන්නට ඔහු තීරණය කරයි. ඔහු සිය ජයග්‍රාහී ටිමෝර ජීවිතය ළඟා කරගන්නේ හුරුබුහුටි, දක්ෂ නමුත් අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන දරු පිරිසකගේ පාපන්දු ගුරුවරයා වීමට තීරණය කිරීමත් සමග ය.

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශ චිත්‍රපටය සඳහා දකුණු කොරියානු නියෝජනය බවට පත් වුණු, දකුණු කොරියානු සහ ජපාන හවුල් නිෂ්පාදනයක් වුණු A Barefoot Dream’ කෙළවර වන්නේ ඉමහත් අසීරුතා මධ්‍යයේ ජාත්‍යන්තර යොවුන් පාපන්දු ශූරතාවලිය සඳහා මෙම කණ්ඩායම රැගෙන ජපානය කරා යන, එහිදී පෙරළිකාර ජයග්‍රහණ දිනාගන්නා කිම් සහ දරු පිරිසෙහි සිත් ඇඳගන්නා කතා අවසානයෙනි. සත්‍ය කතාවක් පසුබිම් වූ බැව් තිරයේ ඇඳෙමින් චිත්‍රපටය කෙළවර වෙද්දී, නොදන්නා දේශයක දරු පිරිසක් සමග අරගල කරමින් උන් කිම් මගේ හදවතෙහි ස්ථිරසාර සඳහනකක් හිමි යෝධ සෙවණැල්ලක් හා අතිපිහිත වෙමින් උන්නේ ය. ඒ තාත්ති ය!

කුඩා උඩු රැවුලක් තිබීම අතින් පමණක් එකිනෙකට සමාන මේ එකිනෙකා නොහඳුනන දෙපළගේ රූප සමීපව නැගෙමින් සමපාත වූයේ ඇයි? දරුවන්ගේ පරාජයන් අභියස කිම් කිසි විටෙක අරගලය අත් නොහරියි. පසුබෑම් අභියස යළිත් දිරිගෙන නැගිටියි. වැරහැලි ඇඳගත් වීදි දරුවන්ගේ ගලින් පිරි පිට්ටනියෙහි යළි යළිත් පුහුණු වෙමින් අනාගත සිහින දකින්නට දරුවන් තුළ අපේක්ෂා ගොණු කරයි. නන්විධ කැපකිරීම් හා යෝජනා හරහා ඔවුන්ට අත්‍යාවශ්‍ය පාපන්දු පාවහන් එක් රැස් කොට දෙයි. අවසන ඔවුන් රැගෙන ජපානය බලා යයි. සමස්ථ ටිමෝරය ගුවන් විදුලි සහ රූපවාහිනී අභියසට එක් කොට දරුවන්ගේ ජය පතන රටක් නිර්මාණය කරයි!

සිය බාල සොයුරු සොයුරියන් ‘නිරුවත් දෙපයින්‘ ඉදිරිය අපැහැදිලි අරගල බිම වෙත තනිකර දමමින් සිය තාත්තා ජීවිතයෙන් සමුගන්නා විට අවිවාහක තරුණයෙකු ලෙස දුරු බිමක කුඩා රැකියාවක් කරමින් උන් තාත්ති, කිම් සිදු කළ අරගලයට සමාන හෝ ඊටත් වඩා විසල් අරගලයක් සිය ජීවිතය මුළුල්ලේම සිදු කළ අයෙකු බැව් කුඩා වීඩියෝ තිරය මට යෝජනා කරමින් සිටියේ ය! සිය මවගේ, බාල සොයුරන්ගේ හා සොයුරියගේ ජීවිතය පිළිබඳ ඔහු කළ කැපකිරීම්, අපගේ ජීවිත සරි කරන්නට ඔහු කළ අපිරිමිත මෙහෙයන් අකුරක් නෑර දන්නා කිසිවකු මිහිපිට තව දුරටත් නොසිටින බව මට හැඟීයමින් තිබිණ. චිත්‍රපටයක රූප රාමු  හා සමානව තාත්තිගේ ජීවිතයේ මා දන්නා සිදුවීම් ඒ තිරය මතම ඇඳෙමින් නැගී එමින් තිබිණ. එක් රූපයක ඔහු අසනීප වුණු සිය කුඩා පුතු ඔසවාගෙන තද ශීතලෙන් ගැහෙමින් කඳුකර මගක් දිග දිව එයි. තව රුවක ඔහු සිය මියගිය පියාගේ දෙන රැගත් රථයේ නැග රත්නපුරයේ සිට මහනුවර බලා මහ රැයෙහි එයි. තව රුවක ඔහු පාදයක් බිඳගෙන එක් තැන් වූ සිය මව ඔසවාගෙන යයි. තවත් රුවෙක ඔහු සිය රැකියා ස්ථානය කරා කිලෝ මීටර ගණනක් පාපැදියකින් දුර්ග මගක් පසු කර යයි. අපරිමිත රූප පෙළකට හැරෙන රූප අතුරින් කිම් හරහා යමින් මට මුණ ගැසුණු තාත්ති, පොළවෙන් අඩි දහස් ගණනක් ඉහළ ගුවන් තලයේ දී යළි හැරී මා වෙත බලා සිනාසෙයි.

“පුතා පරිස්සමෙන් ගෙදර එන්න!“

ගුවන් සේවිකාව උණුසුම් කෝපි කෝප්පයක් මවෙත දිගු කර ඇත. මම ඇගේ සිනහවට පිළිතුරු දෙමින් එය අතට ගනිමි. ඉදිරි ගුවන් ගමන මා තනිව නොයන බව මම දැන් දනිමි. ගුවන‘තර සරන‘තර යළි මට ඔහු මුණගැසී ඇත.

3 comments:

  1. මේක කියවලා මගේ උගුර හිරවෙලා, ඇස් දෙකට කඳුළු ආවා.
    ඔබේ පියාට නිවන් සුව පතනවා.

    ReplyDelete
  2. එක හුස්මට කියෙව්වා. කියවලා දිග හුස්මක් ඇරියා.
    ඔබේ පියාට නිවන් සුව පතනවා.

    ReplyDelete
  3. හරිම හැඟුම්බරයි. ඔබේ පියාට සුබ ගමන් පතමි.

    ReplyDelete