Thursday, December 6, 2012

චෙස් ශූරයෝ


(2012 අ‌ප්‍රේල් මස 30 වැනිදා) 

විදුලි දුම්රියේ මැදිරියක ඉහළ මාලයේ කවුළුවක් අසළ ආසනයේ අසුන්ගත් මම සතුටින් වටපිට බැලීමි. මධ්‍යම දුම්රියපළේ වේදිකාංගන කොපමණදැයි මා හරිහැටි දන්නේ නැත. දුම්රිය ගමනට පෙර ගමනාගමන විස්තර ලබාගත හැකි පරිගණක වෙබ් අඩවියෙන් දුම්රියේ වේලාව සොයාගත් මම මෙහි පැමිණියෙමි.

නවාතැනේ බිම් මහලෙන් පසුපස වීදියට බැස ඉදිරියට යාර කිහිපයක් ගිය තැන දුම්රිය පළේ උතුරු පිවිසුම කරා දිවෙන උමං පදික මග හමුවෙයි. මීටර දෙසියයක් පමණ දිග උමග නිරතුරු ජනයාගෙන් පිරී පවතින අතර අනේක විධ වීදි ගායක හා වාදක සමූහයාගෙන්ද ඒ පෝෂිතව පවතී. ආරම්භක පිවිසුමෙහි දී ඔබ අසන්නේ බටහිර ගීයක ගිටාර අනුවාදනයක් වෙද්දී මධ්‍යයට වන්නට ඒ දිගු ඇබරොජින නලාවක හඬක් හෝ චීන තත් භාණ්ඩයක හඬක් වනු ඇත. පිවිසුමෙන් ඉදිරියට පිය ඔසවද්දී උස් හඬින් නැගෙන මියුරු කටහඬකින් බටහිර ගීතයක නද අසන්නට හෝ මිහිරි කාන්තා හඬ එකතුවකින් ඉන්දීය භජන් ගී පද අසන්නට ඔබට ඉඩ නොලැබෙන කාලයක් එළඹෙන්නේ ඉඳහිට ය. මේ හැම අතර වදනකුදු මුවින් නොබැන නිහඬව තම කරදාසි මල් සකසන අයෙකු ද ඔබ ඉදිරියේ දෘශ්‍යමාන වන්නට ඉඩ ඇත.

සිඩ්නි ගමනාගමන වෙබ් අඩවියට ඔබේ පදිංචි ලිපිනය හා යායුතු ලිපිනය ඇතුලත් කර විමසීමෙන් ඉක්මණින්ම එහි ළඟාවිය හැකි ගමන් විස්තර ක්ෂණයකින් ඔබ අතට පත් වෙයි. ඔබේ නවාතැනේ සිට ආසන්නතම බස් නැවතුමට හෝ දුම්රිය පළට යා යුතු මග විස්තරය, අදාල බස් රථවල අංක හා ඊළඟ බස්රිය එහි ළඟා වන වේලාව, දුම්රිය අංගනය හා දුම්රිය පැමිණෙන වේලාව, ඔබ ගමනාන්තයේ බැසිය යුතු බස් නැවතුම හෝ දුම්රිය පළ, එහි සිට ඔබ පාගමනින් යා යුතු මාර්ගය ආදී සියල්ල මුද්‍රිත පිටපතක් ලෙස අත තබාගෙන හෝ සටහන් කරගෙන මගට බැසීමෙන් සියල්ල සරලව සම්පූර්ණ කෙරෙනු ඇත. ගමනාන්තය කරා ඔබ ළඟාවන වේලාව ඇතුළු සියළුම කාල සටහන්ද ඔබ අත වන බැවින් ප්‍රමාද වෙතැයි බිය වන්නට හේතුවක් නැත. මේ සියල්ලම පසෙක ලා ඔබ මහමගට එන්නේ මෝටර් රථයකින් නම් කළ යුතු වන්නේ රථයට නැග ගමනාන්තයේ ලිපිනය ජී.පී.එස් යන්ත්‍රයට ලබා දීම පමණි. සැටලයිට් තාක්ෂණයෙන් සහය ලබන යන්ත්‍රය රථය පැදවිය යුතු මාර්ගය අවසානය තෙක්ම ඔබට පෙන්වා දෙනු ඇත.

මම දුම්රියට ගොඩවැදුණේ 18 වන වේදිකාංගනයෙනි. භූගත මාර්ග පද්ධතියක් සමග මෙහි තිහකට ආසන්න වේදිකා ඇතැයි මට අනුමානයෙන් සිතේ. පැමිණ දෙමසක් ගතවෙමින් පැවති නමුත් දුම්රිය පළ මට තවමත් තදින් හුරු පරිසරයක් වී නැත.

සුපුරුදු ‘දොර වසා දැමෙන බව‘ කියැවෙන පටිගත නිවේදනය කණ වැකුමත් සමග දුම්රියේ පිවිසුම් දොරටු වැසී ගියෙන් සෙමෙන් දුම්රිය ඉදිරියට ඇදෙන්නට විණි.  පුළුල් වේදිකාංගනයේ විහිද විසිරුණු දුම්රිය වේදිකා වෙත ප්‍රවිෂ්ට වන මෙන්ම පිටව යන තවත් දුම්රිය කිහිපයක්ම කවුළුව තුළින් මනාව පෙනේ. මම යා යුතු බර්වුඩ් දුම්රියපළට ය. බර්වුඩ් දුම්රිය පළේ සිට විනාඩියක ඇවිද යන දුරින්, දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ, සිඩ්නි චෙස් ඇකඩමිය පිහිටා ඇත. ඊයේ සැඳෑ කළ ඇකඩමියෙන් මා වෙත ආ හදිසි දුරකථන ඇමතුමෙන් පසු, නොඉවසිල්ලෙන් අද වන තෙක් බලා සිටි මවෙත දැන් දැන් සැකමුසු චකිතයක් වැඩෙනු දැනේ.

“ප්‍රියන්ත, ඔයාගේ පළමු සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල සාර්ථකයි. හෙට හවස්වරුවේ ඇවිත් අවසන් පරීක්ෂණයට බ්‍රෙට් හමුවෙන්න“

සිඩ්නි චෙස් ඇකඩමියට චෙස් පුහුණුකරුවන් බඳවාගන්නා බව සඳහන්ව තිබූ දැන්වීමක් දැක මා ඒ සඳහා ඉල්ලුම් කළේ බොහෝ දිනකට පෙර ය. අයදුම්පත යවා දින කිහිපයකින් ඔවුහු මා කැඳවා සරල පරීක්ෂණයකට පිළිතුරු ලියන්නට දුන් හ. චෙස් ක්‍රීඩාවේ මූලිකම නීති රීති හා සිසුන්ට උගැන්වීමේ ප්‍රායෝගික ගැටළු ආදිය විමසූ එම පරීක්ෂණය කිසිදු බාධාවක් මාහට එල්ල නොකළමුත් එය නිමවා පැමිණ සති කිහිපයක් යන තුරුත් ඔවුහු යළි මා නොකැඳවූහ. යම් බාහිර කාරණාවක් නිසා මා තෝරා නොගන්නට ඇතැයි සිතා සිටි මොහොතකය, මේ කැඳවුම ලැබුණේ.

චෙස් ක්‍රීඩාව පුහුණු කරවීම මාහට ආගන්තුක කටයුත්තක් නොවේ. පාසැල් සමයේම සරත් සර්ගේ ඇරයුමෙන් මධ්‍යම පළාත් චෙස් සංගමය හා එක්ව කටයුතු කළ මම පාසැලින් සමුගත් විගස පුහුණුකරුවකු ලෙස චෙස් උගැන්ම ආරම්භ කළෙමි. නිසි පරිදි සැකසුණු වැඩ සටහනකට පුහුණු වීම්  කරවීම සඳහා මුලින්ම පාසැලක් ලෙස ලැබුණේ කෑගලු විද්‍යාලයයි. සතියේ සෑම සඳු දිනකම අම්මා සාදා දෙන බත් මුල ද සහිතව මම කෑගල්ලට ගියෙමි. නුවර සිට විත්, සැතැප්මකට වඩා දිගු කෑගලු නගරයේ ප්‍රධාන වීදිය ඇරඹෙද්දීම බසයෙන් බසින මම අසළ වූ සමූපකාර ආපන ශාලාවට ගොඩ වැදී එහි කෙළවරක වාඩි වී දිවා අහර ගෙන, පාසැල ඇරෙන කණිසමට කෑගලු විද්‍යාලය බලා කන්ද නගින්නට පටන් ගනිමි.

සවස 2.00ට පමණ ඇරඹෙන කෑගලු චෙස් පන්තියේ සියල්ලෝම චෙස් ක්‍රීඩාවට කෝඩුකාරයෝ වූහ. එසේමුත්, ක්‍රීඩාව උගැන්මට ඔවුන් තුළ වූ කැපවීමත්, නවකපුහුණුකරුවකු ලෙස ජයග්‍රහණ ලබන්නට මා තුළ වූ උවමනාවත් ඒ කෝඩුකාරකම් පරදන්නට මනා පිටුවහලක් වූ බව පෙනෙන්නට තිබිණ. මුල්ම දිනවල මා කියූ බොහෝ කරුණු අඩු වැඩි වශයෙන් මගේ චෙස් දිවිය ආරම්භයේ සරත් සර් අපට කී වචනම විය.

“චෙස් ක්‍රීඩාව හරිම සීරුවෙන් ඉගෙන ගන්න ඕන දෙයක්. අපිට දිනන්න පුළුවන් ටීම් එකක් හදන්න අවුරුදු කීපයක් යයි. හොඳ මට්ටමේ ප්ලේයර් කෙනෙක් හැදෙන්න කාලයක් ගන්නව. “

80 දශකයේ අග භාගයේ අපට මෙවදන් කියූ සරත් සර්, 92 වසර වන විට අප සමස්ථ ලංකා අනුශූරතාවය තෙක් කැඳවාගෙන ආවේ ය. අප විද්‍යාර්ථයේ කණීෂ්ඨ කණ්ඩායම ඒ වසරේ අපරාජිත ශූරයෝ වූ හ.

කෑගලු විද්‍යාලයේ සිසු පිරිසේ සිසුන් වෙත සරත් සර් දුන් උපරිමය දිය නොහැකි මුත් මා තුළ වන දැනුමින් මම ඔවුන් පෝෂණය කළෙමි. වසර තුනකින් පමණ සෙසු කණ්ඩායම් වෙත අභියෝගයක් දිය හැකි කණ්ඩායමක් කෑගල්ලෙන් නැගී ආවේ ය. දක්ෂතම ක්‍රීඩකයකු බවට සැවොම අවිවාදයෙන් පිළිගත් අමිල සමග ධනුක, සමීර, වෙදගේ, පහළවිතාන, මංචනායක, බුද්ධි වින්දන, ජගත් හා ජයන්ත දෙසොහොයුරන් ඇතුළු දක්ෂ ක්‍රීඩක පිරිසක් එහි මුල් පෙළේ විය. ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ඔවුන් වෙත නොලැබුණ ද තරගාවලි ගණනාවකම පුවරු ත්‍යාග ඇතුළු ජයග්‍රහණ දිනන්නට ඔවුහු සමත් වූ හ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඇරඹෙත්ම මම කෑගලු විද්‍යාලයේ පුහුණුකරු තනතුරින් ඉවත්ව ආවෙමි. ඒ වන විට තවත් බොහෝ බාලක හා බාලිකා පාසැල් ගණනාවක පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් උන් මම පසුකාලීනව ඒවායින් ද සමුගත්තේ විශ්වවිද්‍යාල සමයේ දේශනාදිය නිසා පාසැල් වෙත යන්නට කාලය අහිමි වීම නිසාවෙනි. කෑගලු විද්‍යාලය හැරුණු විට කෑගලු බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, සීතාදේවි බාලිකා විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ඇතුළු පාසැල් කිහිපයකම පුහුණුකරු ලෙස වරින්වර කටයුතු කරන්නට මාහට අවස්ථාව ලැබිණි. පාසැල් දිවියෙන් සමුගත් විගස ලැබුණු මේ අවස්ථා හේතුවෙන් මුදල් අත ගැවසුණ ද අදද මා සතුටින් සිහි කරන්නේ මුදල් නොගෙන මා උගැන්වූ, එසේ මුත්  එහි උන් දක්ෂ ක්‍රීඩකයින් නිසා ප්‍රබල කණ්ඩායම් පවා සලිත වුණු මීගම කණිෂ්ඨ විද්‍යාලයේ කණ්ඩායම ය.

මීගම කණිෂ්ඨ විද්‍යාලය පිහිටා තිබුණේ මහනුවර නගරයේ සිට වැඩි ඈතකින් නොවේ. වත්තේගමට තරමක් ආසන්නයේ මීගම්මන ග්‍රාමය දෙසට වන්නට පිහිටා තිබුණු මීගම කණිෂ්ඨයේ දරුවන්ට චෙස් කියා දෙන්නැයි මා හට ඇරයුම් කළේ මාගේ ඥාති සොයුරකු වූ අජිත් අයියා ය. ඔහු එවක එම විද්‍යාලයේ විද්‍යා -ගණිත ගුරුවරයා ලෙස සේවය කළේ ය.

“මල්ලිට පුළුවන් නම් අපේ ළමයින්ටත් චෙස් ටිකක් කියල දෙන්න. සල්ලි ගෙවන්න පුළුවන්කමක් ඒ ළමයින්ටවත්, ඉස්කෝලෙටවත් නැහැ. මම ඔයාට බස් වියදම හරි හදල දෙන්න බලන්නම්“

ඔහුගේ ඉල්ලීම පිළිගෙන එහි ගිය මුල්ම දිනය අදද මට හොඳින් මතක ය. ආගන්තුක ක්‍රීඩාවක් කියා දෙන්නට ආ අපූරු අමුත්තා දෙස බියමුසුව මුත් හිතවත්ව බැලූ දෑස් ගණනාවක් එදා මවෙත දැල්වී තිබිණ. මුලින්ම මම ඔවුන් වෙත චෙස් කියාදීම ආරම්භ කළේ විශාල විශ්වාසයක් සහිතව නොවේ. මගේ පාඩමෙන් අනතුරුව ඒ යළි විමසන්නට නිවසේ චෙස් පුවරුවකුදු නොමැතිව මේ කුඩා උන් කෙසේ තරගය වටහා ගන්න ද? අපහසුවෙන් සොයා ගත්, විවිධ හැඩගත් ඉත්තන් සහිත පුවරු කිහිපයක් වටා රොක්ව සිටි ඔවුනට මම මුලින් ක්‍රීඩාව හඳුන්වා දුන්නෙමි. එහෙත් ඉදිරි දින කිහිපය තුළ සිදුවන්නට ගත්තේ නොසිතූ විරූ දෙයකි.

පන්තියට ආ සියල්ලන්ම එකහැර චෙස් ක්‍රීඩාව ග්‍රහණය කර නොගත්තේ නමුත් කිහිප දෙනෙක්ම තදින් එය වැළඳගන්නා බවක් පෙනෙන්නට තිබිණි. ඉක්මණින්ම මේ පිරිසෙන් කණ්ඩායමක් බිහි කළ හැකි බවටත්, නගරයේ වැජඹෙන පාසැල් සුණු කරන්නට මොහොතක් එනු ඇති බවටත් අජිත් අයියා තුළත් මා තුළත් විශ්වාසයක් ඇති වන්නට විය. එය ඉහළටම නංවන්නට හේතු වූයේ ඒ වන විට නව වියැති කුඩා සිසුවකු වූ නාමල් ය.

පුවරුව තබා තිබෙන මේසයට යන්තම් උස තිබූ නිහඬ කුඩා දරුවකු වූ නාමල් කල්පනාකාරීව බලා සිට සිදුකරන ඇදීම් සැබවින්ම විශ්මයජනක විය. මීගමින් බිහිවන නාමල් සම වයස් අනෙත් දරුවන්ට වඩා බොහෝ ඉදිරියෙන් වන බව අපට වැටහෙන්නට වැඩි දිනක් ගත වූයේ නැත. ඇදහිය නොහැකි වේගයකින් තරගය වටහාගත් ඔහු නොබෝ කලකින්ම පාසැලේ වැඩිහිටි ශිෂ්‍යයන් බහුතරයකට පැරදිය නොහැකි දක්ෂයකු වූයේ ය.


දරුවන්ට මහත් සෙනෙහසින් සැලකූ පාසැලේ විදුහල්පතිවරයාගේ ද, අජිත් අයියාගේ ද, මගේ ද බලාපොරොත්තු එලෙසින්ම සඵල කර දෙමින් නාමල් ඊළඟ වසරේ 10න් පහළ මධ්‍යම පළාත් ශූරයා ලෙස අභිශේක ලැබුවේ ඔහුට ඔසවාගත නොහැකි තරමේ කුසලානයක් අත දරමිනි. එවර කණ්ඩායම් තරගාවලියේදී මීගම කණිෂ්ඨ කණ්ඩායම ඉදිරියේ සැලුණු බොහෝ කණ්ඩායම් නාමල්ගේ තරගය ජයගන්නට සිය ක්‍රීඩකයින් වෙත දුන් එඩිය පිළිබඳ පසුව පසුතැවිලි වූ හ. වසර දෙක තුනකින් මීගම කණිෂ්ඨය පළාතේ සැලකිය යුතු කණ්ඩායමක් බවට පත් විය. 

ආසන්නයේ මහා විද්‍යාල තිබියදීත්, කිලෝ මීටර දහය දොළහක දුරින් මහනුවර නගරයේ පාසැල් පිහිටා තිබියදීත් මීගම කණිෂ්ඨයට සිය දරුවන් ඇතුළු කළේ ප්‍රදේශයේ දිළිඳුම දෙමාපියන් ය. දරුවන්ට අමතර ක්‍රීඩාවකට පහසුකම් දෙනු තබා එදිනෙදා අහර සකසා දෙන්නට වුව ඒ මාපියන් ඉමහත් වෙහෙසක් දැරුවාට සැක නැත. කණ්ඩායම නිසි පරිදි පවත්වාගෙන යන්නට, දිනපතා වියදම් දරා ඔවුන් තරගාවලි වෙත රැගෙන යන්නට අපට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. ඇතැම් තරගාවලි සඳහා ගමන් වියදම් සොයා දුන්නේ ගුරු මණ්ඩලයේ මැදිහත් වීමෙනි. එසේ වුවද ඇතැම් තරග දිනවල කණ්ඩායම නුවරට ආවේ එක් අයෙකු හෝ දෙදෙනෙකු නැතිව ය.

“ඇයි දන්නෙ නැහැ... සුනෙත්, දසුන් දෙන්නම අද නැහැ...“

පසු දින අප හමුවේ බිමට නැමෙන ඒ කුඩාවුන්ගේ දෙනෙත් හමුවේ මමත්, අජිත් අයියාත් වදනකුදු නොකීවෙමු. අප කුමක් කියන්න ද? ඇතැම් විට ඔවුන් තාත්තා හෝ අම්මා සමග දිවි සටනට උර දෙන්නට ගියා වන්නට ඉඩ ඇත. නොවන්නට බැරි කිසිවක් ඒ දරුවන් හමුවේ නොතිබිණ.

මාගේ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු ක්‍රමිකව ඉහළ නැග එත්ම අජිත් අයියාට ද වෙනත් විද්‍යාලයකට මාරුවක් ලැබිණ. ක්‍රමිකව අඩපණ වූ මීගම ගමන ටික දිනෙකින් නැවතී ගියේ ය. තරගාවලි අතරතුර මීගම දරුවෝ හමුවීම ද අඩුව ගොස් නැති වී ගියේ ය.

එක්තරා සැඳෑවක නිවසට ආ මවෙත ආ අම්මා, මා නමට ලිපිනය ලියූ ලියුම් කවරයක් මවෙත දිගු කළා ය.

“අද උදේ ඇවිත් තිබ්බෙ. පුතාට ලියුමක්!“

නන්නාඳුනන අත් අකුරු වුවද ලිපිය මා නමට විය. මම එය කඩා කියවන්නට වීමි.

“ප්‍රියන්ත අයියේ...“

වසර කිහිපයක් මීගම කණිෂ්ඨයට චෙස් කියා දෙන්නට එහි ගිය මා කිසි දින ඔවුන් වෙත පෙනී සිටියේ පුහුණුකරුවකු ලෙස නොවේ. ඔවුන් සැමවිටම මා ඇමතුවේ ‘අයියා‘ කියා ය. ‘ප්‍රියන්ත අයියේ‘ යනුවෙන් අමතා ලිපිය මා වෙත ලියා තිබුණේ නාමල්ගේ වැඩිමහළු සොයුරු සමන් ය. ඔහු එවකට නවවන වසරේ පමණ උගත් අතර කණ්ඩායමේද ක්‍රීඩා කළේ ය.

ලිපියේ අන්තර්ගතය වචනයක් හැර මා මතකයේ නැති මුත් ඔහු ඒ ලියා තිබුණු ප්‍රධාන කරුණු මාහට හොඳින් මතක ය. වසර දෙක තුනක කාලයක් තුළ මීගම කණිෂ්ඨයේ චෙස් ක්‍රීඩාව පැමිණි ජයග්‍රාහී මග එහි සටහන්ව තිබිණි. ලිපිය කෙළවර වූයේ යළි මීගමට එන්නට යැයි මවෙත කළ ආරාධනයකිනි. දෙනෙතට කඳුළු ඉනූ ඔහුගේ අවසන් වදන් පෙළ, නිවැරදි කර දෙන්නට යන්නට යළි වරමක් නොලද යමක් ලෙස අදද ප්‍රබලව මසිත තැන්පත්ව ඇත‍.

“අයියේ... නාමල්ල හම්බ වුණේ එක් කෙනයි... තව කීදෙනෙක් මෙහෙ ඇද්ද? අයිය ආය එන්න“

කෙතරම් වේදනාවක් දැණුනද ඔවුන්ගේ ඉල්ලීම සපුරමින් යළි එහි යන්නට මට ඉඩක් නොලැබිණ. අපට සහාය දැක් වූ හිතවත් විදුහල්පතිවරයා ද ඒ වන විට වෙනත් විද්‍යාලයකට ගොස් සිටි අතර  නිදහස් කාලයක්ද සොයාගන්නට මටද ඉඩක් නොවිණ.

සිඩ්නි ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ලෙස තමන්ව හඳුන්වා දුන් බ්‍රෙට් මාගේ දැනුම පරීක්ෂා කරන්නට මා සමග තරග වදින්නට තීරණය කළේ ය. වසර කිහිපයකින්ම පුවරුවක් අභියසට නොආ මගේ ප්‍රධාන ඉත්තකු නොබෝ වේලාවකින් බ්‍රෙට්ගේ ප්‍රහාරයකින් කැපී ගියේ ය. මාගේ දුර්වලතාවය නිසා රැකියාව නොදෙනු ඇතැයි යන වේදනාවෙන් යුතුව මම තරගයේ පරාජය භාර ගතිමි.

“ඔබ හොඳට සෙල්ලම් කළා. මම හිතන්නෙ ඔබට පුළුවන් මේ රස්සාව කරන්න. ඔබගේ සුදුසුකම් හොඳයි... “

“ඒත්... මම මේක පැරදුණානෙ. නයිට් කෙනෙකුත් කැපුණ. “

බ්‍රෙට් සිනාසුණේ ය.

“අහ්.. ඒක වැදගත් නැහැ. කාලයක් චෙස්වලින් ඈත් වෙලා ඉඳල ඔයාට එකපාරටම බැහැනෙ ෆිඩේ මාස්ටර් කෙනෙක්ව පරද්දන්න. මම ෆිඩේ මාස්ටර් කෙනෙක්!“

යළි ඇකඩමියෙන් පිටතට පැමිණි මම ‘හන්ග්‍රි ජැක්‘ ආපන ශාලාවෙන් බර්ගරයක් මිළට ගෙන එහි කුඩා මේසයක් වෙත ගියෙමි.  වසර ගණනාවකට පෙර කෑගල්ලේ සමූපකාර හෝටලයේ කෙළවර මේසයක සිට දිවා අහර ගෙන අරඹන්නට ගිය චෙස් පන්තිය හරහා පැමිණි අමතර රැකියාවක් යළිත් මා අභියස සූදානමිනි. ඕස්ට්‍රේලියානු පාසැල්වල කුඩා දරැවන් හෙට මට හමුවනු ඇත. අතීතයේ දිනෙක අම්මා මවෙත තැබූ ලිපියේ සමන් ලියා තිබූ වදන යළි මනසෙහි දෝංකාර දේ.

“අයියා ආයෙත් එන්න!“

මුදල් නොමැතිව වසර කිහිපයක් මම මීගම කණිෂ්ඨයට ගොස් චෙස් කියා දී පැමිණියෙමි. සිඩ්නි චෙස් ඇකඩමිය මෙහි දිවි රැකගන්නට තරම් මුදලක් මවෙත ගෙවන්නට සූදානම් ය. පෙරදින මනසේ පැවති පීඩනය කෙමෙන් තුරන් වෙමින්  පවතී. එහෙත් නොදන්නා ඉමෙකින් නැගෙන මේ වේදනාව කුමක් ද?  


2 comments:

  1. ජීවිතයේ සමහර දෙවල් සල්ලි වලට ගන්න බෑ. ඔබගේ අතීත අත්දැකීමත් ඒ වගේ. ආයිත් මීගමට යන්න හොයාගන්න බැරිවෙච්ච කාලයත් ඒ වගේ. අලුත් රැකියාවට සුබපැතුම්....

    ReplyDelete
  2. ජීවිතය යනු දුක් සයුරක රැඳි සතුටු බිඳුවකි.

    ReplyDelete