Wednesday, May 30, 2018

ඒ මිතුදම් උණුසුම් ය!


කාලය යළි සුපුරුදු පරිදි ගලා යන්නට ආරම්භ වුණු මොහොත පිළිබඳ මට මතකයක් නැත. ඇතැම් විට අප නොදන්නවා වුවත්, කාලය අප එක් එක් අය වෙනුවෙන් ද විවිධාකාර ධාවන ක්‍ර‍ම සොයාගෙන කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබට තත්පරයක කාලය ඇතැම් විට මට විනාඩි ගණනක හෝ පැයක දෙකක ලෙස හඟවා තබන්නට කාලයට හැකි ව ඇත්තේ එකිනෙකා වෙන්ව ගෙන සිය සේවයන් ඔහු හෝ ඇය වෙත ලබා දෙන්නට තමන්ට ඇති මේ සුවිශේෂ හැකියාව මත විය යුතුය. කෙසේ වුවත්, කාලය නැවතී තිබිණ!

ක්‍ර‍මයෙන් පියවි ලොව කාලය යළි දිවෙන්නට පටන් ගෙන මොහොතකින් මා මේ සිටින්නේ රීජන්ට් වීදියේ බවත්, කාමර සගයන් හා දැන් කෙටි කලක් මා මෙහි ගත කරන බවත් යනාදියේ සිට තත්‍ය ලෝකයේ වටපිටාවේ සියල්ල පිළිබඳ සංවේදනයන් යළිත් මසිත නැගෙමින් තිබිණ. පැට්‍රික් සහ නීල් සමග මා දින ගෙවන කාමර අවකාශය යළිත් මගේ දෑස් ඉදිරිපිට මැවෙන්නට වූයේ මෙතෙක් ඒ අතුරුදන්ව පැවත යළි සෙමින් මැවී දිස් වන පරිද්දෙනි.

තාත්ති මා හා අප හැර දමා ගොස් ඇති බව දැන් මා පිළිගත යුතු ය. ගෙවුණු සති අන්තයේ අවසන් වරට මා ඇමතූ ඔහුගේ ස්කයිප් ඇමතුම වෙනදා තරම් දිගු වූයේ නැත. “මගෙ ටිකක් බඩ හරි නැහැ වගේ පුතේ. මම ටිකක් යනව ඇලවෙන්න. මල්ලි ඉන්නව‘ ඒ ඔහු මවෙත බිනූ අවසන්ම වදන් යැයි, කිසිදු අයුරකින් විශ්වාස කළ නොහැකි වුවත්, මා ඒ පිළිගන්නට සූදානම් විය යුතු ය.

එහෙත්, මේ සිදුවෙමින් පවතින සියල්ල සිහිනයක් බවත්, තව ක්ෂණයකින් මා අවදිවනු ඇති බවත්, දුවගොස් දුරකථනය ගෙන තාත්ති හා කතා කළ හැකි බවත් මට කියන්නට මසිත උත්සාහ ගනිමින් උන්නේ ය. අවදිවන්නට උත්සාහ කළ යුතු ය. සිහිනය පළවා හරින්නට උත්සාහ කළ යුතු ය. කෙමෙන් මතුවෙමින් නැගෙන විස්තර කළ නොහැකි හැඟීම හා වේදනාව අනන්ත සිහින තුළ මා මින් පෙර විඳ ඇත්තෙමි. අම්මා හෝ තාත්ති මින් පෙර ද සිහින තුළ දී මා හැර දා ගොස් තිබිණ. මේ තවත් එකක් විය යුතු ය!

කෙසේ වෙතත්, සිහිනය කෙළවර නොවන බවක් පෙනී යද්දී ද, මා මේ වන විටත් ලංකාව බලා යන්නට ටිකට්පතක් ද මිලට ගෙන හමාර බව මට ප්‍ර‍ත්‍යක්ෂ විය. දැන්, හෙට මා පිටව යන ආකාරය සකසාගත යුතු ය. මාසයක් යළි නිවසේ රැඳෙන්නට, තාත්තිගේ අවසන් කටයුතුවලට සහභාගි වන්නට මා යන බව ඇනීට කිව යුතු ය. මාගේ තුන්මස් කාල සීමාව ඒ වන විට අවසන් වනු ඇත. නාරද කියූ පරිදි මට බටහිර දෙසට යා හැකි ය. එහෙත් ඊට පෙර හෙට ගුවනින් මට සැතපුම් දහස් ගණනක් බටහිරට යාමට සිදුව ඇත. මම දුරකථනය අතට ගත්තෙමි.

“ඔව් ප්‍රියන්ත, කියන්න“ ජයන්ත අංකල්ගේ හඬ අනෙක් පසින් නැගිණ.

“අංකල්... මට හදිස්සියෙම ලංකාවට යන්න වෙලා. අපෙ තාත්ති නැති වෙලා.....“

මා වචන එක් කළ ආකාරය කෙසේ වී දැයි මට හැඟී ගියේ නැත. නමුත් තත්පර කිහිපයක නිහඬතාවක් අප දෙදෙනා අතර නැගුණු බව කිව යුතු ය.

“ඔහ්.... දැන් ඔයා කොහෙද ඉන්නෙ?“

“මගෙ ප්ලේස් එකේ“

“හෙට කීයට ද ෆ්ලයිට් එක?“

“දවල් යන්න ඕනෙ එයාපෝට්“

“හරි... මම දහය වෙද්දි ඔතනට එන්නං... හිත හයිය කරඟන්න ප්‍රියන්ත... ගොඩක් කණගාටුයි මේ ආරංචිය ගැන!“

ජයන්ත අංකල්ගේ දුරකථන ඇමතුම කෙළවර මා ලලීන් ඇමතුවෙමි. යළිත්, මා ඉදිරි සමය තුළ නැවත නැවතත් ප්‍ර‍තිරාව නැංවිය යුතු වේදනාකාරී පුවත මම ඇය වෙත ද පැවසීමි. ඇය ද මොහොතකට නිරුත්තර වූ බව මට දැණින. අනතුරුව නැගුණේ වේදනාබර, වෙව්ලන කටහඬකි.

“හෙට කීයට ද යන්නෙ ප්‍රියන්ත? ඔයාට පුළුවන් නම්, මම කැමතියි උදේම ඔයාව බලන්න එන්න. අපි ග්ලෙබ් ස්ට්‍රීට් එකේ දි මුණගැහෙමු. මම නෝමන්ටත් එන්න කියන්නම්.“

පසුදා උදේ නමය පමණ වන විට ග්ලෙබ් වීදියේ කෝපිහලක දී මුණගැසෙන්නට මා සපථ කරඟත් ලලීන් කිහිප වරක්ම කණගාටුව ප්‍ර‍කාශ කරමින් මට සමු දුන්නා ය.

දැන් මා කවුරු අමතන්න ද? මේ දුරකථන ඇමතුම් දෙකෙහිදීම, ඒ දෙදෙනාගෙන් කවරකු හෝ වහා මා සොයා එනු ඇතැයි යන, ක්‍රියාවට නැගිය නොහැකි සිතුවිල්ල මා සිත තුළ වූ බව මට හැඟෙමින් තිබිණ. හෙට දිවා කල තෙක්ම ගෙවා දමන්නට තිබෙන මේ හෝරා දහස් ගණන මා හා බෙදාගන්නට කවුරුන් හෝ වනු ඇතැයි යන නිස්සාර සිතුවිල්ල මගේ ශක්තිය දිය කරමින් පැතිර නැගෙමින් තිබිණ. ඒ අතරතුර, මා වෙත වන හැඟුම් පිළිබඳ කිසිදු අදහසකින් තොරව, සතුටින් කෑ ගසමින් ප්‍ර‍න්සුවා හා පැට්‍රික් නිවසින් පිටතට යන්නට සූදානමින් විසිත්ත කාමරයට අවතීර්ණ වූ හ. සැබවින්ම, ඔවුන් නිවසට ආ වගක් හෝ ඉන් පෙර මට හැඟී ගොස් තිබුණේ නැත.

“හේයි ප්‍රියා... මේක සිකුරාදා හැන්දෑව යාළුවා... සිකුරාදා රෑ!! විනෝද වෙන වෙලාව... අපි එළියට බහින්නයි යන්නෙ!“

පැට්‍රික් උන්නේ රඟ දෙන සතුටකිනි.

“වරෙං අදවත් යමු එළියට!“

පෙර දිනවල සිකුරාදා රාත්‍රීන් විනෝද සාදවලට ඔවුන් හා එක් නොවූ මා අද හෝ එක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ප්‍ර‍න්සුවා මා ඇමතී ය. මා නිරුත්තරව මොහොතක් ඔවුන් දෙස බලා සිටියෙමි. මගේ ප්‍ර‍තිචාරයක් වෙනුවෙන් ප්‍ර‍මාද නොවූ දෙදෙන ඉක්මන් ගමනින් ප්‍ර‍ධාන දොර වෙත ඇවිද ගිය හ. දොර වෙත පැට්‍රික්ගේ අත යොමු වත්ම මගේ හඬ අවදි විය.

“පැට්‍රික්!“

පැට්‍රික් හැරී මදෙස බැලුවේ සුපුරුදු සතුට මුව තුළ සරසාගෙන ය. ඔහු නවතා ලූ මා ඊළඟ වචනයකට ඉඩ සොයන බව හැඟී ගිය හෙයින් දෝ සිනාව නවතා ලූ පැට්‍රික් මවෙත හැරී ආවේ ය. ප්‍ර‍න්සුවා ද ඔහු අනුගමනය කළේ ය.

“ඇයි? මොකක් ද වෙන්නෙ?“

දඟකාර ප්‍ර‍ංශකාරයා වෙනුවට ඒ ප්‍ර‍ශ්නය මවෙත යොමු කළේ මගේ කාමර සගයා ය; බොහෝ සහෘද හැඟීම් හුවමාරු කරගෙන සිටි ‘සහෝදරයා‘ ය!

“ඔයාල එද්දි සමහර විට මං පිටත් වෙලා තියෙයි ද දන්නෙ නැහැ. මං ආපහු ලංකාවට යනව. හදිසියෙම... මගෙ තාත්ති නැති වෙලා!“

“ඕ.... මගේ දෙයියනේ... ප්‍රියා... මගේ යාළුවා...!“

මොහොතක් මා දෙස බලා උන් පැට්‍රික් උණුසුම්ව මා වැළඳ ගත්තේ ය. ප්‍ර‍න්සුවා මගේ අත දැඩිව අල්ලා ගනිමින් අසල ඇති ආසනය මත හිඳ ගත්තේ ය.

“ඔව්... මට යන්න වෙලා... ඔයාල එද්දි මං ඉඳීද දන්නෙ නෑ... ඒකයි කිව්වෙ“

“එද්දි? එන්න අපි යන්න එපැයි... දැන් කොහෙ යන්න ද?“

පැට්‍රික් තුළ උන් ‘සහෝදරයා‘ කතා කරන්නට පටන් ගත්තේ ය‍.

“දැන් උඹ මොකද කරන්නෙ?“

“දන්නෙ නෑ... හෙට එළි වෙන්න තව ගොඩක් වෙලා තියෙනව. කාලය ගෙවා ගන්න එපැයි“

“ඇඳුමක් දාගන්න... අපි එළියට බහිමු“

“ඔව්... වරෙන් අපිත් එක්ක එළියට බහින්න...“

“පාටියකට යන්න?“

“නෑ... එළියට බහින්න...“

මම ද මොහොතකින් ඔවුන් හා රීජන්ට් වීදියේ වීදි ලාම්පු එළිවලට පහතින් ඇවිද යමින් උන්නෙමි.

“අද අපි කොහේවත් යන්නෙ නෑ ප්‍රියා... කොහේවත් යන්නෙ නෑ... මොකක්ද අපි කරන්න ඕනෙ කියල උඹ තීරණය කරපං. ඇවිදිමු ද මේ නගරේ එහා කෙළවර වෙනකම්ම? ඇවිදිමු ද අනිත් අන්තෙට ගිහින් මුහුද මුණ ගැහෙනකම්ම? බොමු ද වැටෙනකම්ම...? නැත්තං... උඹට ඕනෙ ද කතා කරන්න... ඇති වෙනකං... හිතේ දුක නැති වෙනකං...? ඕනෙම දෙයක්.... ඔව්... ඕනෙම දෙයක් ඔට්ටුයි... අපි ඉන්නෙ මේ රෑ උඹ ළඟ!“

මගේ කර වටා දැඩිව අත දමා ගනිමින් පැට්‍රික් කියාගෙන ගියේ ය. මම නිරුත්තරව උන්නෙමි. ඔහු යෝජනා කරන කිසිවක් මා තුළ නැගී ඇති හැඟීම මකා නොදමන මුත් ඒ කවර හෝ දෙයක් සිදු කරමින් කාලය පරදවන්නට මට අවශ්‍යව තිබිණ. නමුත් පිළිතුරක් මගේ මුවට නැගුණේ නැත.

“අපි ප්‍ර‍ංශෙන් වෙන්න පුළුවන්. ඒත් තාත්තලා දාලයි අපිත් ආවෙ. මගේ තාත්ත මට ඊයෙත් කතා කළා. මටත් එයා නැතුව පාළුයි.“

ප්‍ර‍න්සුවා එතරම් හැඟීම්බර වනු මා දැක තිබුණේ නැත.

“උඹ තීරණය නොකරනව නං අපි කියන්නං... අපි බීර වීදුරුවක් බීල කතා කරමු. වරෙං...“

වීදි කෙළවරක වූ බීරහලක් වෙත මගේ ගමන් මග වැටී තිබෙන බව පැට්‍රික් තීරණය කළේ ය.

මේසය මත නැගුණු පෙණ බුබුළු දමන බීර වීදුරුව එතරම් දැඩිව මගේ ගත උණුසුම් කළේ නැත. නමුත් ඊට වඩා තියුණු දැඩි උණුසුමක් මා වට කරමින් නැගී එමින් තිබිණ. තුන් මසකට පෙර ඇසින්වත් නොදැක තිබුණු මේ අපූරු මිතුරන් දෙදෙන නිවසින් බොහෝ දුර තැනෙක මා වෙනුවෙන් වේදනාව බෙදාගන්නට සූදානමින් මදෙස බලා ඉන්නා බව මට පෙණින. මොහොතකට පෙර, සාද සිකුරාදාවේ සතුට හා එක්වන්නට ඇඟලුමක් ලා ගත්, යුරෝපයෙන් ආ තරුණ ‘සෙල්ලක්කාරයින්‘ දෙදෙනා, සිය සිත් තුළ සැඟව තිබෙන පියවරුන් පිළිබඳ ප්‍රේමයන් මා හා බෙදා ගනිමින් ඔවුන් නොදැක තිබුණු මගේ ‘තාත්තිගේ‘ රූපකාය සමග ඒ තාත්තලාගේ රූප සමපාත කළ හ. යළිත්, යළි යළිත්... මගේ දෑත් දැඩිව ගනිමින්, ශක්තිමත්ව මා හෙට දිනයට සූදානම් විය යුතු බව කී හ. කිසිදු කඳුළක් එතෙක් නොනැගුණු මගේ දෙනෙත දෙස පමණක් නොබලා බරව කඩා හැලෙන්නට යන හදවත යළි ඔසවා තැබූ හ.


මිතුදම්... ඒ බීර වීදුරුවකින් ගෙනෙන උණුසුමට වැඩි අරුමැසි දෙයකි. මට හැඟී යමින් තිබිණ! 

1 comment:

  1. මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් (2006) ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි.


    මිතුරා ට ලියූ ලිපිය

    පියා මිය ගිය පුවත
    ලැබ සිත වුවද කම්පිත
    සඟවා කඳුළු නෙත
    මා කියන බස අසන් පිය මිත

    උපන්නොත් මෙලොවේ
    දිනක මරණය හිමිවේ
    මෙය බුදු දහම වේ
    සියළු දේ ලොව නැසෙන සුළු වේ

    ඔබ අද ලැබූ එම
    දුක් බරිත පණිවිඩයම
    මතු දිනයකදි මම
    ලබන්නෙමි නැත කිසි සැකක් හෙම

    එය අවසන නොවේ
    දුක එලෙස නිම නොමවේ
    අප පුතුනට ලොවේ
    දිනෙක මේ දුක් පුවත හිමි වේ

    අප කුඩා කල දී
    හොඳ නරක පහදා දී
    ගුණ දම් කියා දී
    පිය මෙහෙය දෙවි කමට පරදී

    අප උපන්දා සිට
    පියවරුන් කල සේවෙට
    ඇති ණය ගෙවන්නට
    කෙලෙස නම් හැකි වේද අප හට

    දුක් වන්නට එලෙස
    කාරණා නැත කිසි ලෙස
    මා කියන මේ බස
    අසා සැනසෙන් මා මිතුර යස

    ගත් ණය ගෙවන්නේ
    ආපස්සට නොවන්නේ
    පිය නම රැකෙන්නේ
    ඉදිරි පරපුර රැකුනොතින්නේ

    පිය ගුණ සිහි කරමු
    හොඳ දූ පුතුන් සාදමු
    හොඳ පියවරුන් වෙමු
    පියාණන් ණය එලෙස පියවමු

    (2006)

    ReplyDelete