Saturday, August 17, 2013

අපරිමිත කතන්දර

(2012 මැයි)


වඩාත් වේදනාබර මොහොතවලදී අපට සියල්ල දැනෙන්නේ ද හැඟෙන්නේ ද කරදරකාරී ලෙස හා අපිළිවෙල ලෙස අප වෙතම යොමුව ඇති දේ වශයෙනි. සිඩ්නි චෙස් ඇකඩමියෙන් පිටව යළි නගරය දෙසට යන්නට පිටත්ව උන් මට සියල්ලම මගේ හිස වටා කැරකවෙමින් පවතින, මා ඉලක්ක කරගත් හා මා බිඳ දමන්නටම සැදී පැහැදී උන් දේ ලෙසම දැනෙන්නට විය. දැන් යළිත් රැකියා සොයා වෙහෙසිය යුතු ය. රැකියාවක් ලැබෙන තුරුම සන්තකයේ ඇති මුදල් දියව යාම පිළිබඳ බියෙන් පසුවිය යුතු ය. නන්නාඳුනන නගරයක, වෛවර්ණ විසිතුරු අතරට මැදි වී කිසිදු හව්හරණක් නැතිවම ජීවිතයේ ඉදිරි දින සැලසුම් කළ යුතු ය. ඒ සියල්ල අතර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුත්තට ද නොකැඩී පවත්වා ගත යුතු ය. 

බර්වුඩයේ සිට නගරය කරා දිවෙන දුම්රියකට ගොඩ වන්නට දුම්රිය පළේ සිටි මට හමුවුණේ සිඩ්නි දුම්රිය අතර වුණු මා අකමැතිම වර්ගයෙන් එකකි. සුවපහසු නොමැති ආසන මෙන්ම වායුසමීකරණයෙන් තොර මැදිරි වෙත වා කවුළුවලින් ගලා ආ කටුක ශීතලය, සිතට දැණුනු අපහසුව ගත වෙත ද ගෙන යන්නට උදව් විය. ශීතලය සමගින්ම වා කවුළු අතරින් ගලා ආ දුම්රියේ යකඩ රෝද පීලි මත ගැටෙන හඬ තොරතෝංචියක් නැතිව ම දෙසවනට ද අපහසුවක්ම කැඳවා දුන්නේ ය.

මධ්‍යම දුම්රිය පළෙන් පිටතට එද්දී පූර්ණ ලෙසම රාත්‍රිය උදා වී තිබිණ. නිවෙස් බලා යන්නට නියමිත දුම්රිය ලබා ගනු රිසියෙන් දුම්රිය පළ වෙත දිව යන සෙනඟ අතරින් ‘උඩුගං බලා යන්නකු ලෙස‘ මම ප්‍රතිවිරුද්ධ දෙසට ඇදෙමින් පදික වේදිකා දෙසට පිවිසියෙමි. සැබවින්ම මාහට සිදුව ඇත්තේ ගලන ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව යන්නට ද? රැකියාව නිමකොට සිය නිවහන කරා දුවයන දහසකුත් සෙනග මැදින් රැකියාව අහිමි ව මා අනෙත් අතට ආ ලෙසින්ම ඉදිරියේ දී ද ප්‍රවාහයට එදිරිව ගමන් කරන්නට මාහට සිදු වේවි ද?

“හායි ප්‍රියා...“

රීජන්ට් නවාතැන මා පිළිගත්තේ ජුන්ගේ සුපුරුදු සිනාවත් සමග ය. ජුන් නිවසේ මැද කොටසේ සිය පරිගණකය ද සමගින් වාඩි වී උන් අතර ඔහුගේ සිත්තර දිනපොත ද දිනයේ තොරතුරු ලබන්නට සූදානමින් පසෙකින් විය. මම ආයාසයෙන් ගොඩ නගාගත් සිනාවක් සමගින් ගොස් කාමරයට වැදුණෙමි. සිය සයනයට වී පරිගණකය දෙස නෙත් අයාගෙන උන් පැට්‍රික් හිස ඔසවා මදෙස බැලුවේ ය.

“හායි මේට්!“

දියවෙමින් යන ලංකා ගිණුමෙන් මුදල් දිගු කරමින් ඇනීගෙන් කුලියට ගෙන උන් ඇඳත්, ක්ෂ්‍රද්‍ර මේසයත් සහිත මගේ වපසරිය දෙස මම නෙත් අයා බැලීමි. දැන් යළිත් සියල්ල වෙනුවෙන් ම මුදල් උපයාගත හැකි මගක් සෙවිය යුතුයැයි වන හැඟීම යළියළිත් සිත්හි නැගෙන්නට වූයේ කම්පාව හා වේදනාව තදින්ම ඉහළ නංවමිනි. රැකියාව අහිමි වූ අයුරු මෙනෙහි කරත්ම සයවසකට පෙර පේරාදෙණි පියස හැර පියා එන්නට සිදුවුණු අතීත සිදුවීම ද සිත්හි මැවී නැගෙන්නට විය. 

විශ්වවිද්‍යාල උපාධිය මා නිම කළේ ඉදිරි අනාගතය මේ යැයි මහා සැලසුමක් සහිතව නොවේ. චෙස් ක්‍රීඩකයකු ලෙස විශ්වවිද්‍යාල කණ්ඩායමේ කටයුතු කරමින්, චෙස් පුහුණුකරුවකු ලෙස පාසැල් වෙත යමින්, මධ්‍යම පළාත් චෙස් සංගමයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වෙමින් ගත කළ ‘චෙස්‘ දිවියට බොහෝ කාලයක් වෙන් වූ අතරම විශ්වවිද්‍යාල ජීවිතය ද නාට්‍ය කටයුතු, සංගම් වැඩ, නවක වද විරෝධී ක්‍රියා ආදියෙන් පිරී පැවතියේ ය. ඒ සියල්ල අතරතුර ‘ඉඩක් ලැබුණොත් ඉගෙනත් ගන්නවා‘ යනුවෙන් එකල අප අතර හාස්‍ය මුසු අදහසක් ද පැතිර තිබුණේ ය.  

සත්‍යය නම්, ඇලුම් කළ විෂයක්ෂේත්‍රය පිළිබඳ දැනුම් ගවේෂණය සිදු වූයේ නිරායාසයෙන් වීමයි. මගේ ප්‍රධාන විෂයය ධාරාව වූ ‘සිනමාව හා ටෙලිවිෂනය‘ට අදාල බොහෝ පතපොත නිවසේ කුඩා පුස්තකාලයේ දී මට හමුව තිබුණු අතර චැප්ලින්, රායි, කුරසෝවා, බර්ග්මාන් ආදී සිනමාකරුවන්ගේ නිර්මාණ ෂෙල්ටන් පයාගලයන්ගේ පාඨමාලාවක් ඇසුරු කළ අයියා විසින් අපට පෙන්වා තිබෙනු ලද්දේ විය. සිංහල සාහිත්‍යය දෙසුම්වල හමුවූ ගෝර්කි, චෙකොෆ්, මෝපසාං මෙන්ම වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර ආදීන් බාප්පලා සහ අයියා නිසා මා හඳුනාගෙන උන්නේ කුඩා කල සිට ම ය. නිවසේ පොත්ගුලෙහි වූ පොත් පත් හා වාර සඟරාදියත්, මහනුවර නගර සභා පුස්තකාලයේ සහ විශ්වවිද්‍යාල පුස්තකාලයේ පොත්පත් ගොන්නත් විභාගවලදී මගේ බාහිර කටයුතු සඳහා මිඩංගු වූ කාලය පුරවා දැම්මේ ය. අවසානයේ  මට දෙවන පෙළ උසස් සාමාර්ථයක් ලබන්නට හැකි විය.

 උපාධිය ලද විගසම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නට අධ්‍යයන අංශයෙන් මාහට ඇරයුමක් ලැබිණ. කාලයාගේ ඇවෑමෙන් සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසට අධ්‍යයන අංශයේ පූර්ණකාලිනයෙකු වූ මම මහත් අභිරුචියෙන් ඇසුරු කළ සිනමාව පසුපසින් ආ විද්‍යාර්ථීන්ට හඳුන්වා දුනිමි. පාසැල් ගුරුවරයකු ලෙස, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස ලැබුණු ස්ථිර පත්වීම් සමග පිටව නොගොස් පේරාදෙණියේම තාවකාලික රැකියාවක රැඳෙන්නට මුල් වූයේ මෙම වෛෂයයික බැඳීමයි. දෙවැන්න එවකට අංශාධිපතිවරයාව උන් ආචාර්ය ප්‍රනාන්දු කියූ පහත වදන් පෙළයි.

“නෑ... නෑ... කොහෙවත් යන්න ඕන නැහැ... ඔයාලට පුළුවන් මෙහෙම ස්ථිර වෙන්න. ඉක්මණට අපි අලුත් පත්වීම්වලට ඉල්ලුම්පත්තර කැඳවනව..!“

ස්ථිර කථිකාචාර්ය තනතුර සඳහා තරග වදින්නට මා සමගින්ම සහකාර කථිකාචාර්ය මඩුල්ලට ආ අපේ කාණ්ඩයේම දෙදෙනෙකු ද විය. අවස්ථාව හිමිවනු ඇත්තේ එක් අයෙකුට බව සැමගේ අදහස වුව ද ප්‍රනාන්දු සර් කී වදන් සැමගේ සිත් තුළ දැඩි ව ධාරණය වී තිබිණි.

කොහෙවත් යන්න ඕන නැහැ... ඔයාලට පුළුවන් මෙහෙම ස්ථිර වෙන්න...!!“ 

ස්ථිර රැකියාවලට පවා යන්නට නොදී අප නතර කරගත් ප්‍රනාන්දු සර් ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ අපගේ අවස්ථා සාදා දෙනු ඇති බවටත් ඒ සඳහා එක් අයෙක් සඳහා වන අවස්ථාව ඉහළ නංවන්නට සටන් කරනු ඇති බවටත් සැඟවුණු විශ්වාසයක් සැමගේ සිත් තුළ රැඳී තිබිණ.

“ප්‍රියන්ත... මට හරිම සන්තෝෂයි කියන්න... අපිට පුළුවන් වුණා එක වේකන්සි එක වෙනුවට වේකන්සි දෙකක් ම හදල දෙන්නෙක්ම ගන්න... හැබැයි ඉන්ටර්විව් එකෙන් ඔයා සිලෙක්ට් වුණේ නැහැ...!“

ආචාර්ය ප්‍රනාන්දුගේ දුරකථන ඇමතුම මවෙත ලැබුණේ  සම්මුඛ පරීක්ෂණය නිම වී දින කිහිපයකිනි. මා හැර අධ්‍යයන අංශයේ උන් අනෙත් සහකාර කථිකාචාර්යවරුන් දෙදෙනා ස්ථිර තනතුර සඳහා තෝරාගත් බවත් සම්මුඛ පරීක්ෂණයේ දී මා මුහුණ දුන් තත්වය එතරම් සාර්ථක නැති බවත් ප්‍රනාන්දු සර් පසුව පැහැදිලි කළේ ය.

“ඒක ඇත්ත වෙන්න පුළුවන් සර්... හැබැයි මම ගෙනාවෙ මං ළඟ තිබුණු ඇත්ත සුදුසුකම්. ඔතන ආපු සමහර අය ළඟ පබ්ලිෂ් නොවුණු බොරු පොත් තිබුණ මම ඇහෙන් ම දැක්ක!“

වේදනාව මුසුවුණු ආවේගයෙන් මම පිළිතුරු දුනිමි. 

“ආ... ඔව්... මමත් දැක්ක. ඒ වගේ බොරු දේවල්වලට අපි ලකුණු දුන්නෙ නැහැ..!!“

විශ්වවිද්‍යාල කථිකාචාර්ය පදවියක් සඳහා ඉදිරිපත් වන්නකු බොරු දත්ත හෝ තොරතුරු ඉදිරිපත් කරනා බව පැහැදිලි නම් ඔහු හෝ ඇය මොනයම්ම හෝ අයුරකින් ඒ තනතුර සුදුසු නොවන බව මගේ පරම විශ්වාසයයි. ඒ සඳහා ලකුණු නොදුන්නේ ය යන්නත් සුදුසුකම් ලැබූයේ සැබෑ දේට පමණය යන්නත් සාධාරණ නොවන්නේ ඇතුලත් වද්දීම ආයතනය රවටන්නට තැත් කළ පුද්ගලයින් අනාගත අධ්‍යාපනයට සිදු කරන්නට ඉඩ ඇති විනාශය පැහැදිලි හෙයිනි. 

මා තනතුරකට සුදුසු යැයි මටත් වඩා තදින් විශ්වාස කළ ආනන්ද සර් පත්වීම් අතර වුණු ඉහත තෝරාගැනීමට හා මා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සතියක් කළු ඇඳුමින් සැරසී විශ්වවිද්‍යාලයට පැමිණියේ ය.

“උඹ අද ඔප්පු කරල තියෙනව එදා පේරාදෙණියෙ කට්ටිය ගත්ත තීරණේ වැරදියි කියල. උඹ කොළඹට ගිහින් ස්ථිර වෙලා මාස්ටර්ස් කරන්න ඕස්ට්‍රේලියා යනව. උඹව කපල ගත්ත සමහරු අද වංචා කරල ඉන්ක්වයරි බෝඩ් ඉස්සරහ!“

මාර්තුවේ මා පිටව එද්දී මට සුභ පැතූ ආනන්ද සර් කියා සිටියේ ‘බොරු පොත්‘වලට පමණක් ලකුණු නොදී තෝරාගත් සමකාලීනයා ගැන ය.

පේරාදෙණියෙන් ඉවත් වන්නට සිදු වීම පළමුව බිහිකර දුන්නේ දැඩි වේදනාව පිරි සමයකි. නිහඬ පරිසරයක, සුන්දර ගොඩනැගිල්ලක පිහිටි අධ්‍යයනාංශය, අප විසින්ම කාලය, ශ්‍රමය හා ධනය වැය කරමින් හැඩගන්වාගෙන තිබුණු පන්ති කාමර ඇතුළු ආයතන පරිශ්‍රය, කලින් කල විවිධ මලින් හැඩව දිලෙන පේරාදෙණි පියස වැනි අචේතනික වස්තූන්ගෙන් මෙන්ම දැඩි මිතුදමින් බැඳී උන් සහෝදර ආචාර්ය පිරිස, නාට්‍යාදිය හා එක්ව කටයුතු කළ හිතමිතුරු ශිෂ්‍ය ප්‍රජාව, විනෝදයෙන් කල් ගෙවූ ආයතනයේ සේවකකාරකාදීන් වැනි ජීවය පිරුණු ළබැඳියන්ගෙන් ද එක්වරම සමුගැනීම පහසුවෙන් කළ හැක්කක් නොවී ය. එසේමුත් ක්‍රමයෙන් සිත සුවපත් කරගනිමින් සහකාර කථිකාචාර්ය ධුරයේ අවසන් මාස කිහිපය තුළ මම නව රැකියා බිම් සොයා ඇදුණෙමි. 

ස්වර්ණවාහිනියේ මාධ්‍යකරුවකු වන්නට ගිය ගමන ශාස්ත්‍රාලීය ජීවිතයක් ඇති මවැනි අයකුට තරම් නොවෙතැයි එහි මානව සම්පත් කළමණාකරුගේ දීර්ඝ දෙසුමකින් කෙළවර වුණු අතර රජයට අයත් රූපවාහිනී වැඩසටහන් ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂක තනතුරක් ‘ඉඳගන්නටවත් දෙන්නට ආයතනයේ තැනක් නැතැයි‘ කීමෙන් නතර වී ගියේ ය. මොරටුවේ ද ජයවර්ධනපුර ද විශ්වවිද්‍යාලවල පුරප්පාඩු සඳහා වුණු සම්මුඛ පරීක්ෂණ දීර්ඝ සුහද සාකච්ඡා සහ සුභ පැතුම්වලින් කෙළවර විය. අවසානයේ ගමන නිමා වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය සඳහා වුණු සම්මුඛ පරීක්ෂණය නිම වී දින කිහිපයකින් දන්නා හඳුනන ආචාර්යවරයෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකිනි.

“සුභ පැතුම් ප්‍රියන්ත... මට දැනගන්න ලැබුණ ශ්‍රී පාලියට ඔයාව තෝරාගෙන කියල...!“

සියලුම පරාජයන් කෙළවර යළි සොයාගත යුතු, සැඟව ඇති ජයග්‍රහණයන් ඇත. ජීවිතයේ අනේක බිඳ වැටීම්වලින් පසු කාලය විසින්ම මෙම කරුණ යළියළිත් මාහට පසක් කර දී ඇත. එසේමුත් සියළුම සිත් වේදනාකර පරාජයකදීම අපට ඒ මොහොතේ දී එය දරාගන්නට අවැසි ශක්තිය ලබා දෙන්නේ එම සිතුවිල්ල නම් නොවේ. අසළ හිඳිමින් වේදනාව දරාගන්නට ශක්තිය සපයා දෙන, එයින් කොටසක් තමන් වෙත ද තබාගනිමින් සහෘදත්වය පළ කරන මාපිය හිතමිතුරන් ය. නිවසේ දී අම්මා සහ තාත්ති ද, සොහොයුරන් ද, පේරාදෙණියේ දී සහෘද හිතමිතුරන් ද එදවස මා අසළ උන් හ. නිවැසියන්ගෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ අද දවස මා හා දුක බෙදාගන්නට එන්නේ කවුරුන් ද?

“ප්‍රියා... ඔයා මොකක් හරි ප්‍රශ්නයක ද?“

දිගු කල්පනාවක නිමග්නව උන් මට පැට්‍රික් මවෙත අවධානයෙන් උන් බව හැඟුණේ නැත. 

“හ්ම්... ඔව්.. පැට්‍රික්.. මගෙ පාට් ටයිම් ජොබ් එක නැති වුණා...!“

“ඔහ් මයි ගෝඩ්...!!“ වේගයෙන් ඇඳ මතින් පිනූ පැට්‍රික් මවෙත ආවේ ය.

“මොකද වුණේ?“

මම සිදුවීම කෙටියෙන් පැට්‍රික් වෙත කීවෙමි. දැඩි ඕනෑකමකින් සිදුවීම අසා සිටි ඔහු අවසානයේ මගේ උරහිස මත අත තැබී ය.

“යාළුවා... මට තේරෙනව... උඹ මෙහෙ ඇවිත් හිටියට මේ වියදම් දරාගන්න උඹට බැහැ. ප්‍රංශෙන් ඇවිල්ලත් මට බැරි එකේ උඹට කොහොම ඇති ද? මට තේරෙන්නෙ නැහැ කරන්න දෙයක් නම්... ඒත් හිතේ අමාරුව යන්න කතා කරන්න ඕන නම් කතා කරපන්... මම අහගෙන ඉන්නං... මට අහගෙන ඉන්න පුළුවන්... උඹ මගේ සහෝදරයෙක්!“

පපුව මත සිර වුණු යම් කිව නොහැකි හැඟීමක් සහිතව මම හිස වැනීමි. 

“මොනව හරි එකක් ලැබේවි. අපි උත්සාහ කරමු!“

විනෝදයෙන් කල් ගෙවන පැට්‍රික් හැඟුම්බර වන්නේ කලාතුරකිනි. එහෙත් ඔහු කදිම තරුණයෙකි. රියුනියන් දූපතේ සිය සැබෑ මව ගැන කියූ දා මම ඔහුගේ නෙත සැඟව තිබූ කඳුළ දුටිමි. අද ඔහු තමන් තුළ සැඟවුණු සොහොයුරා පෙරට ගෙනවිත් ඇත.

මම සෙමින් පරිගණකය වෙත ගොස් එය පණගැන්වීමි. විද්‍යුත් තැපැල් අතර නෝමන්ගෙන් ලැබුණු ලිපියකි.

“ප්‍රියන්ත... සිඩ්නි ෆිල්ම් ෆෙස්ටිවල් එක එනව.. මම ටිකට් ගන්නම්... අපි බලන්න යමු. ඔයා මට තියෙන වෙලාවක සල්ලි දෙන්න.. ඔයාට අමාරුත් ඇතිනෙ...!“

ඔහු එවා තිබුණු ලිපියේ පහළින් සිනමා උළෙල වෙබ් අඩවියේ සබැඳිය ද විය. ‘අපරිමිත කතන්දර‘ එහි තේමාව ලෙස ලියැවී තිබිණි. දිගු වේලාවකට පසු සිත තුළින් නැග එමින් තිබුණු සොම්නස් සහගත හැඟුමකින් යුතුව මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. මා මුහුණ දුන් අත්දැකීම පැට්‍රික්ගේ මුවින් අසා තිබුණු නිවහනේ සහෝදර කැළ නිහඬව මදෙස බලා උන් හ. ජුන් මවෙත විත් සිය අත රැඳි යමක් මවෙත දිගු කළේ ය.

“මගෙන්..!“

ඒ දින කිහිපයකට පෙර අප දෙදෙන සෙවන් ඉලවන් වෙළඳ සැළෙන් ගෙන ආ නොමිලේ ලද කිට් කැට් චොකලට් පෙත්තකි. මුදලින් නොගිනිය හැකි අපරිමිත සහෝදර වටිනාකමකින් ඇගයුම් ලද චොකලට් පෙත්තකි.

මම සිනාසී ජුන් දෙස බැලීමි. ‘අපරිමිත කතන්දර‘!!! ඔව්... මා සිඩ්නි සිනමා උළෙලට යා යුතු ය.

5 comments:

  1. wish you all the best and hope things well get back to normal soon!

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. මොනවා කියන්ට ඕනිද කියලා හිතාගන්ට බැරි පෝස්ට් එකක්. එන දේකට මූන දීලා තමන්ගේ වැඩේ සාර්ථකව කරගන්ට කියලා තමයි කියන්ට වෙන්නේ. පස්සේ කාලෙකදි මේ හැමදේම දිහා හිනාවෙලා බලන්ට පුලුවන් වෙයි.

    හැම ප්‍රශ්නයක්ම ඉතා ඉක්මනින් විසදෙන්ට කියලා ප්‍රාථනවා කරනවා ප්‍රියන්ත.

    ReplyDelete
  4. ජීවිතයේ හිඩැස් කවුරුන් හෝ, කුමකින් හෝ පුරවනවා... ඒ පිටුපස ඇති කතන්දර අනිවාර්යයෙන් අපරිමිතයි...

    ReplyDelete