-2012 ජූනි -
රාජ්‍ය රඟහල යන්නට සමාන අරුතක් දෙවන ‘ස්ටේට් තියටර්‘ රංග ශාලා දොරටුව අභියස සෑහෙන ජනකායක් රැස්ව උන් හ. පිරිස අතරින් නෙත් යැවූ මට ජන ගඟ අතර මගේ රුව සොයන නෝමන් හඳුනාගන්නට හැකි විය. සුදු ජාතිකයින් තරම් උස නොවූ නිසා පමණක් නොව සැමදා අඳින කළු පැහැ ඇඳුම නිසා ද නෝමන් පිරිස අතර කැපී පෙණින.
රාජ්‍ය රඟහල යන්නට සමාන අරුතක් දෙවන ‘ස්ටේට් තියටර්‘ රංග ශාලා දොරටුව අභියස සෑහෙන ජනකායක් රැස්ව උන් හ. පිරිස අතරින් නෙත් යැවූ මට ජන ගඟ අතර මගේ රුව සොයන නෝමන් හඳුනාගන්නට හැකි විය. සුදු ජාතිකයින් තරම් උස නොවූ නිසා පමණක් නොව සැමදා අඳින කළු පැහැ ඇඳුම නිසා ද නෝමන් පිරිස අතර කැපී පෙණින.
“හේ... නෝමන්...!“ මම
ඔහු වෙත ගියේ සතුටින් අත වනමිනි.
“හලෝ ප්‍රියන්ත... ඉතින්
කොහොමද?“ නෝමන් සුපුරුදු තැන්පත්කමින් යුතුව මා පිළිගත්තේ ය.
සිඩ්නියේ මාකට් වීදියේ
වූ රාජ්‍ය රඟහල, සිඩ්නි සිනමා උළෙලේ ප්‍රධාන දර්ශන සඳහා මෙන්ම සමාරම්භක හා අවසන්
උත්සව සඳහා ද වෙන්වුණු ශාලාව විය. සැබවින්ම සිනමා කෘති පමණක් නොව අවශ්‍ය විටක සුළු
වෙනස්කම් කිහිපයකින් පසු නාට්‍ය, සංගීත වැඩසටහන්, බැලේ ඇතුළු නෘත්‍යාදිය රඟදැක්විය
හැකි ශාලාවකි, එය. මනරම් ගෘහ අලංකරණ සහිත වූ රාජ්‍ය රඟහල විසිතුරු බිත්ති කැටයමින්
හා වර්ණිත ද්වාර හා බිත්තිවලින් අලංකාරව පැවතිණ.
කෑන්ස්, වැනිස් හෝ
බර්ලින් වැනි ප්‍රමුඛතම නාම අතර නොවූවද සිඩ්නි සිනමා උළෙල ලොව ප්‍රධාන පෙළේ සිනමා
උළෙල අතර නම් සඳහන් කරගත්තකි. එවැන්නක අසිරිය නොවිඳ තිබූ මට මේ අත්දැකීම ගෙන ආවේ සතුටකි.
ඒ හැරුණු විට සිනමා උළෙලේ මගේ මුල්ම දැක්ම ලෙස කෑන්ස් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය
වූ ‘අමොර්‘ හා එක්වන්නට ලැබීම ද සන්තුෂ්ටිය තවත් ඉහළ නැංවීමටම හේතු විය.
කාර්ය බහුලත්වය මධ්‍යයේ
වුව ලලීන් ද සිනමා උළෙලට ගොඩ වදින්නට ඉඩ සොයාගෙන තිබුණා ය. නිව් සවුත් වේල්ස්
විශ්වවිද්‍යාලයේ තවත් ආචාර්යවරියක් සමග පැමිණ සිටි ඇය අප පිළිගත්තේ සිනාසෙමිනි.
“හලෝ නෝමන්... හලෝ ප්‍රියන්ත...
කොහොම ද? මට හරිම සතුටුයි ඔයාල එකට මේ වගේ තැන්වලට එන එක ගැන. මම දැනගෙන හිටිය
ඔයාල හොඳ යාළුවො වෙන බව...“
ලලීන්ගේ හඳුන්වා දීම
නොවන්නට මට නෝමන් මුණ ගැසෙන්නේ නැත. මගේ සහෘදයෙකු ලෙස බොහෝ සිනමාවන් දෙස බැලූ
නෝමන්ට ලෝක සිනමාව මතු නොව ආසියානු සිනමාවන් පිළිබඳව ද පෘථුල දැනුමක් තිබුණේ ය.
ලාංකික අපට නිතර හමු නොවන තායිලන්ත, ඉන්දුනීසියානු, බංග්ලාදේශ ආදී සිනමාවන් පිළිබඳ
හොඳින් දැන සිටි නෝමන් කතා බහ අතරතුර ඒ සාකච්ඡා මේසයට ගෙන ආවේ නිහතමානී ලෙසිනි.
“ඔයාට හොඳ දැනුමක්
තියෙනවනෙ නෝමන් මේ දේවල් ගැන...!“ මම ඇතැම් විට ඔහුට ඇගයීමක් දෙන්නට යත්න දැරීමි.
එහෙත් කිසිවිට ඒ භාර ගන්නා පුරුද්දක් නෝමන් තුළින් මා දුටුවේ නැත. ඇස් කුඩා කොට
සෙමින් සිනාසෙන ඔහු පිළිතුරු ලෙස කීවේ මෙවැන්නකි.
“ටිකක් දන්නව...ඒත් මට
ඕන අපේ රටේ හොඳ සිනමාවක් දකින්න. තියෙන සිනමාව ගැන මම කණගාටු වෙනව... ළඟ රටවල
දක්ෂයො හිටියට වැඩක් නැහැ. අපේ සිනමාව දුර්වලයි තාම. ඒ අතින් ඔයා වාසනාවන්තයි...
ඔයාලට ප්‍රසන්න ඉන්නව... විමුක්ති ඉන්නව...විමල් දිසානායකල, පතිරාජල වගේ ඇකඩමික්ස්ල
ඉන්නව!“
පිරී ගිය රාජ්‍ය රඟහලේ
විදුලි එළි නිවීයත්ම ‘අපිරිමිත කතන්දර‘ යන සිනමා උළෙල තේමාව තිරයේ ඇඳිනි. දින 11ක
පමණක කාලයක් පුරා සිඩ්නිය පුරා විහිදුණු සිනමා ශාලා රැසක දිවෙන සිනමා උළෙල හරහා
සියගණනක් වූ අපිරිමිත කතන්දර තිරයේ දිග හැරෙනු ඇත. ඒ අතුරින්, කාල වේලාවන්, අතැති
මුදල්, විවේකය ආදිය සියල්ල විමසා බලද්දී අපට දකින්නට හැකිවනු ඇත්තේ කිහිපයක් පමණි.
ශිෂ්‍යයන් සඳහා දර්ශනයක ටිකට්පතක් ඩොලර් පහළවක් පමණ වන නමුදු ටිකට්පත් දහයක පමණ
කාණ්ඩයක් ලෙස එක්වර ගනිද්දී ඩොලර් එකොළහකට පමණ ඒ මිළට ගත හැක. මුලින් මෙම ටිකට්
පත් කාණ්ඩ මිළට ගෙන අනතුරුව අප නරඹන සිනමා කෘති තෝරාගැනීමේ පහසුවද උළෙල තුළ සපයා තිබුණු
තවත් අගනා සේවාවකි.
රඟහල පූර්ණ ලෙස අඳුරේ
ගිලුණේ පූර්ව ප්‍රචාරක පට, අනුග්‍රාහක දැන්වීම් තිරගත වූ පසු ය. ඒ සමගම දැඩි
නිහඬතාවක වෙලුණු ප්‍රේක්ෂාගාරය අභියස ‘අමොර්‘ සිනමා කෘතියෙහි මුල්ම රූපය මැවිණ.
‘අමොර්‘! ඒ නම් ප්‍රංශ බසින් ආදරය යන්නයි.
සිනමා කෘතියක් ඔබ සිත ඇද
ගන්නේ කුමන කාරණා සපිරුණු කල්හි ද?
සිනමා ප්‍රේක්ෂකයා
පිළිබඳ වන මෙම පැනය සිනමා අධ්‍යයන න්‍යාය තුළ දී ගැඹුරින් සාකච්ඡා කෙරේ. ඒ
ගැඹූර පසෙකින් තබා විමසුව ද පැනයට පිළිතුරක් සරලවම ඔබ තුළ නැගෙන බව මම ඉඳුරා
දනිමි. කෘතියක් අප සිත ඇද ගන්නේ මූලිකව අප සිත විමසා සිටින රසයන් ඒ කෘතිය කෙරෙන්
විහිද එන විට ය; අප නෙත් පිනවන්නට හැකි රූපමය ගුණයක් ද, සවන පිනවන්නට හැකි හඬ
එකතුවක් ද ඒ තුළ ඇති විට ය. සියල්ලටම වඩා අප දකින්නට අසන්නට කැමති කතා පුවතක් තිරය
වෙත ඇඳෙන විට ය.
කෙසේ වෙතත්, සෙසු සියලු
කලාවන් මෙන්ම සිනමාව ද ගැඹුරින් විමසන්නකු තුළ සිනමාව පිළිබඳ හා එයින් නැගෙන රසය
පිළිබඳ වැඩී නැගෙන ඥාණයක් පහළ වන බව මම අත්දැකීමෙන් දනිමි. ඒ නිසාම සිනමා රූපය, සිනමා
ශබ්දය මෙන්ම කතා පුවත, රංගනයන් ආදී බොහෝ කාරණා ගැන ඇති නැඹුරුතාවන් ක්‍රමිකව වෙනස්
වූ, උසස් සිනමාවන් සොයා යන්නට පියවර ගත් සිසු සිසුවියන් මට හමු වී ඇත. සිනමාව ඥාණ
ගවේෂ මගක්ම කරගත් අයවළුන් ද හමු වී ඇත.
සිඩ්නි සිනමා
උළෙලේ දී මා නෙත ගැටුණු ‘අමොර්‘ සිනමා කෘතිය තරම් මසිත කම්පනයට පත් කළ විදෙස්
සිනමා කෘතියක් මෙහි පය තැබූ පසු මට හමු වී නැත. ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල්
හැනිකේගේ ‘අමොර්‘ යනු ජීවිතයේ සැඳෑ සමයට එළඹ, සිය තරුණ දියණියගෙන් ද දුරස්ව, තනිව
මහල් නිවසක ජීවත් වන, විශ්‍රාමික පියානෝ ගුරුවර යුවලක් පිළිබඳ කතා පුවතකි. අසූ
වියෙහි පසුවන දෙමහල්ලෝ, වත්මනෙහි ජනප්‍රියව සිටින, සිය දක්ෂ සිසුන්ගේ පියානෝ වාදන
සංදර්ශන නරඹා තුටු වෙති; පාළු නිවහනට වී අතීත ස්මරණ මත සරමින් දිවි ගෙවති; ඉඳහිට
දිනක තම නිවසට ගොඩ වදින පැරණි සිසුවකු හා සාමීචියේ යෙදී පාළුව තරමකින් හෝ මකා
ගනිති.
සිනමා පටය
කම්පිත කතා පුවත වෙත පිවිසෙන්නේ එක්වරම සිදුවන කුඩා නමුත් සුවිශේෂ සිදුවීමක්
හේතුවෙනි. ඇනා, නොඑසේනම් මේ මහළු යුවළේ බිරිඳ, එක් උදෑසනක හදිසියේ රෝගාතුර වෙයි. ඒ
සුපුරුදු සාමාන්‍ය උදෑසනක අහර ගනිමින් සිටිය දී එක්වරම කිසිදු ප්‍රතිචාරයකින් තොරව
ගොළු වී, නිහඬ වීමෙනි. මේ සිදුවීමෙන් පසු ජෝර්ජ්ස් (ස්වාමි පුරුෂයා) තදබල ලෙස
කම්පාවට පත් වේ. විනාඩි කිහිපයකින් ඇය යථා ලොවට පිවිසිය ද මොළය වෙත දිවෙන ලේ
සැපයුමට බාධාවක් එල්ල වී ඇති බව වෛද්‍යවරු සොයා ගනිති. දර්ශන කිහිපයකින් පසු අප
දකින්නේ ආබාධය නිවැරදි කරනු වස් සිදු කළ ශල්‍යකර්මය වැරදී අංශභාග රෝගියකු ලෙස රෝද
පුටුවකින් නිවසට එන ඇනා ය. ජෝර්ජස් සහ ඇනා බෙහෙවින් දුකට පත් ව සිටිති. තනි වුණු
මහළු යුවළ අතර සැඟව තිබුණු ආදරය යළි තීව්‍ර වී නැගෙන්නට ගනියි. අවසන ජෝර්ජස් ඇනාගේ
ඉල්ලීමකට එකඟ වන්නට තීරණය කරයි. ඒ කුමන හේතුවකින් හෝ තමන් යළි රෝහල වෙත ගෙන නොයන
ලෙස ඇය කරන ඉල්ලීමටයි.
ඉතා සෙමෙන් දිවෙන
රූප රාමු හමුවේ ජෝර්ජස් මුහුණ දෙන උභතෝකෝටිකය අප හදවත සිදුරු කරන්නට ගනියි. ඇනා
දිනක් ගෙවී නව දිනක් සමග අවදි වන්නේ ක්‍රමිකව දියව යන්නියක ලෙසිනි. ඉතා සෙමෙන්
නමුත් නොකඩවා ඇය රෝගය නිසා බිඳ වැටෙන්නට ගනියි. ආහාර ගැනීම්, කතා බහ, එදිනෙදා
කටයුතු සියල්ලෙන් සෙමෙන් ඉවත් වෙයි. අලුත් දිනයක් සමග ජෝර්ජස්ට අලුත් නමුත්
වේදනාකාරී අභියෝග හමුවේ. කෑම ප්‍රතික්ෂේප කරන ඇනාට කැවීමටත්, වේදනාවෙන් කෑගසන ඇනා
අස්වැසීමටත් ඔහුට සිදු වේ. ඒ සමග මුලින් දුන් පොරොන්දුව රකින්නට දියණියගෙන් මවගේ
සැබෑ තත්වය වසන් කරන්නට ද සිදු වේ. මව දකින්නට නිවසට එන දියණියට ඔහු පෙන්වන්නේ
මවගේ ඇත්ත ස්වරූපය නොවේ. පවසන්නේ ඇත්ත ද නොවේ.
රාජ්‍ය රඟහල
තුළ දී මා සලිත කල සිනමා කෘතියක අවසානය මට හමු වූයේ ‘අමොර්‘ තුළිනි. සිය ආදරණීය
බිරිඳ ඇනා යළිත් ප්‍රකෘති ලොවට නොඑන වග සපථ කරගත් පසු ජෝර්ජස් ඇයට විමුක්තිය සොයා
දෙයි. ඒ ඉතා සෙනෙහසින් රැක බලා ගත් සිය බිරිඳ එක්වරම කොට්ටය තබා හුස්ම සිර කොට මරා
දැමීමෙනි. ඇගේ නිසල දේහය ඉතා සුන්දරව සකසා, මලින් සැරසූ සයනයේ තබා කාමරය සීල් කරන
ජෝර්ජස් නිවසින් පිටව යයි. ඒ කා සමග ද? ඇනා සමගිනි!! ඔව්... ඔහුගේ මනසේ සදාකාලිකව
ජීවත් වන ඇනා, සුපුරුදු ලෙස ඔහු සමගම ඉතා සාමාන්‍ය ලෙස කතා කරමින් නිවසින් බැහැර
වෙයි. ඔවුන් යන්නේ යළිත් සිසුවකුගේ පියානෝ වාදනයක් බලන්නට විය හැක.
චිත්‍රපටය
ඇරඹෙන්නේ කිසිවකු නොමැතිව වසා දැමූ නිවසේ දොර කඩාගෙන දියණිය, පොලිසිය ද සමග ඇතුළු
වන දර්ශනයකිනි. සීල් කළ කාමරයේ දී ඔවුනට ඇනාගේ දේහය හමුවේ. ජෝර්ජස් කොහි ද? ඔහු
යළි නොඑයි. ඔහු සිය ආදරණීය ඇනා සමග යන්නට ගොසිනි!
මනරම් ව
වියමන් කළ මන්ද වේගී රූ පෙළ අවසානයේ ශාලාව තුළ ඇති වූයේ මද නිහැඬියාවකි. එය තියුණු
ය. අනතුරුව කෘතිය අගයන්නට ආ දීර්ඝ අත්පොළසනකි.
සම්මානිත
රඟපෑමක නිරත වුණු එමානුවෙල් රිවා (ඇනා)ගේ සහ ශෝන් ලුවී ට්‍රින්ටින්ග්නට් (ජෝර්ජස්)
ගේ දස්කමින් මම දැඩි ලෙස සිනමා පටයට ආසක්ත වුණෙමි. වියපත් රිවා කෙතරම් අපූරුවට ඇනා
කෙනෙකු ගෙන ආවා ද? මුල් වරට රෝගය වැළඳුණු මොහොතේ ඇය හැඟීම් විරහිත බවට පත් වූ
අයුරින් රඟන්නට කාට නම් හැකි වේවි ද? ආදරය උතුරා යද්දී සිය වියපත් බිරිඳගේ සෙමෙන්
සිදුවන නික්ම යෑම දෙස බලා සිටින්නට සිදුවන මහල්ලකුගේ ශෝකී ජීවිතය චිත්‍රණය කරන්නට
ට්‍රින්ටින්ග්නට් සමත් වූයේ කෙසේ ද?
ඒ ගෞරවයන්
සියල්ල අතරින් නැගී එමින් මහඟු සිත්තමෙහි ප්‍රකම්පිත කතා පුවත මගේ හදවත කළඹන්නට
විය.
ඇත්තටම ඇනා සහ
ජෝර්ජස් කවුරුන් ද?
සිය
දියණියගෙන් මවගේ රෝගයේ සැබෑ තත්වය වසන් කරමින්, සිය දිවියේ සැඳෑ සමය විශාල ලෙස සිය
ආදරණීය බිරිඳ වෙනුවෙන්ම වෙන් කරමින් සිටින ජෝර්ජස් වැනි තවත් එක් සුන්දර මිනිසෙකු මගේ
සිත තුළින් නැගී ජෝර්ජස්ගේ චරිතය බිඳ දමමින් මතුව එයි. රෝගය වෙනස් වන මුත් සිය
සැමියාගේ සෙනෙහස නොමඳව ලබන්නට සමත් වුණු තවත් ඇනා කෙනෙකු ද ඒ සමගම සිත තුළින්
නැගෙයි.
සිනමා කෘතියක්
ඔබ සිත දැඩිවම ඇඳගන්නා එක් කාරණයක් නම් ඔබ දන්නා කතා පුවතක චරිත, ඔබේ ජීවිතයේ
හමුවූ චරිත හෝ සිදු වුණු දේ අපූර්ව ලෙස යළි තිරය මත නැවුම් ලෙසකින් ප්‍රතිනිර්මාණය
කිරීමට ඒ සමත් වීමයි. ඇතැම් විට තත්‍ය ජීවිතයේ අප දන්නා චරිතයට, තමන්ටම හෝ තවත්
අයකුට, දිනන්නට නොහැකි වූ ආදරයක් දිනා ගන්නා බොලිවුඩ් චරිතයකට අනන්‍ය වී කඳුළු
සඟවාගන්නට අප පෙළඹෙන්නේ එහෙයිනි. එසේම වඩාත් තත්‍යරූපී සිනමා කෘතියක් එවැනි
චරිතයකට දිනිය නොහැකි වූ ආදරයට පසුබිම් වුණු සත්‍යය අපට පසක් කර දෙනු ඇත.
රාජ්‍ය රඟහලේ
පහළ මාලයෙන් නෝමනුත්, මමත් පිටතට පැමිණියෙමු. වෙනත් තැනක, සිය මිතුරිය ද සමග චිත්‍රපටය
නැරඹූ ලලීන් රඟහල දොරටුව අසළ දී අපට මුණ ගැසිණි. මාකට් වීදිය දිගේ ඇදී යන සිනමා
රසික පිරිස සමඟ අපි ද ඉදිරියට ඇදුණෙමු.
ජෝර්ජ් වීදියට
පිවිසි පසු සෙනඟ අඩු වත්ම ලලීන් අප දෙසට හැරුණා ය.
“මට නම් චිත්‍රපටිය
ටිකක් හෝන්ටින්! එච්චරම ආස හිතුණෙ නැහැ. ඒත් ඒ දෙන්නගෙ රඟපෑම නියමයි. මොකද ඔයාලට
හිතෙන්නෙ?“
“මම චිත්‍රපටියට
කැමතියි!“ නෝමන් සුපුරුදු කෙටි පිළිතුරකට ගියේ ය.
“ප්‍රියන්ත?“
ලලීන් මා දෙස බැලුවේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.
“මම ඒ දැක්කෙ මගෙ
අම්මයි තාත්තියි!!“ මම සෙමෙන් කීවෙමි.
සිය බිරිඳ
කෙරෙහි වූ දැඩි සෙනෙහස නිසා ම ඇයගේ හුස්ම සිරකොට, මනසේ ජීවත්වන ඇනා සමග ඇවිද යන
ජෝර්ජස් ඉදිරි වීදිය දෙසින් මට මැවී පෙණින. ඉන් පියවර කිහිපයකට ඉදිරියෙන් තාත්ති
ඇවිද ආවේ සැබැවින්ම ජීවත් වන අම්මා ද සමඟ ය. දෙනෙත් තරමක් තෙත් ව යද්දී මා දෙස
සෙනෙහසින් බලා සිටින ලලීන්ගේ රුව මනෙත ගැටිණ.
“මට සමාවෙන්න
ප්‍රියන්ත!“ මගේ අත දැඩිව ග්‍රහණය කරගනිමින් ඇය මිමිණුවා ය.
//ඉන් පියවර කිහිපයකට ඉදිරියෙන් තාත්ති ඇවිද ආවේ සැබැවින්ම ජීවත් වන අම්මා ද සමඟ ය. දෙනෙත් තරමක් තෙත් ව යද්දී මා දෙස සෙනෙහසින් බලා සිටින ලලීන්ගේ රුව මනෙත ගැටිණ.//
ReplyDeleteඔයා හිතන්නේ ඔයාගේ තාත්තත්, අම්මට ඒ වගේම ආදරෙයි කියලද? ෆිල්ම් එකට වඩා හැබෑ ලොවේ මේ ආදර කතාවට මගේ හිත ඇදිලා ගියා...:)
ජීවිතයේ එක්තරා මොහොතකට පසු සිනමා, නවකතා, කෙටිකතා, ටෙලිනාට්‍ය යනාදියේ එන සංවේදී වැඩිහිටි චරිත අපට අපේම දෙමව්පියන් ගේ විවිධ ස්වරූප ලෙස පේන්න ගන්නවා.
ReplyDeleteමගේ අත්දැකීමත් එයයි.
මේ කතාව කියවීමත් එවැනිම අත්දැකීමක්.
එත් පොඩ්ඩි ..මෙ ලොකෙ කොච්චර වෙනස්ද?
ReplyDeleteමගෙ තාත්තත් අම්මට ඒ වගෙම ආදරය කලා..
ඒත් අම්ම.....?
මට තියෙන්නෙ වෙනමම අත්දෑකීමක්..
මම කැමතියි.. අර මරල දාන තැනින් ඉවර වෙනවනම්..