Tuesday, January 22, 2013

‘ගිහින් එන්න!‘


 - 2012 මැයි 09 වැනිදා -

නවාතැන් කාමරය නිහඬ ය. රැකියාවට ගිය පැට්‍රික් තවමත් පැමිණ නැත‍.. ෂින් ද පෙනෙන්නට නැත. ෂින්ගේ ඇඳ මත කුඩා ග්‍රොසරි බෑගයක ඇඳුමක් සහ දත් බුරුසුවක්, ෂැම්පු බෝතලයක් වැනි අඩුම කුඩුම කිහිපයක් ඇති බව පෙනේ. කාමරයේ ගත කළ සෑම තත්පරයකම ක්‍රියාත්මක වෙමින් ඔහු වෙත ජපාන සජීවකරණ චිත්‍රපට දායාද කළ ඇපල් පරිගණකය ද හකුලා ඇඳ මත ය. ඇඳ අසළ වන කුඩා ඇඳුම් රඳවනයත්, පසෙක ඇති කුඩා මේසයත් හිස්ව ඇති මුත් ඒවායෙහි තිබූ ඇඳුම් සහ බඩු බාහිරාදිය ඇසිරූ ගමන් මළු කිසිවක් පෙනෙන්නට නැත.

මම සෙමින් කාමරයෙන් පිටතට පැමිණියෙමි. ෂින් අප නවාතැනේ සිට ගන්නා අවසන් කෑම වේල සූදානම් කරමින් සිටියි. ඔහුගේ මුහුණේ සතුටක සේයාවකි.

“හැමදේම හරිද ෂින්? කෝ බෑග් ටික?“ මම ඇසුවෙමි.

“ආ... මම ඒව කලින්ම ගිහිල්ල දැම්ම...“ ඔහු සිනාසී පිළිතුරු දුන්නේ ය.

බෙරි වී ඇලෙන්නට සෑදූ බත් දීසියක් ද, ජපාන ක්‍රමයකට සෑදූ කුකුළු මස් දීසියක් ද සමග ෂින් ප්‍රධාන මේසය අසලට ආවේ ය. වෙහෙසකර මුහුණකින් යුතුව පරිගණකය ඉදිරියේ වාඩිවී රැකියා සෙවීමෙහි නිරත වෙමින් උන් ජුන් මොහොතකට පෙර මුද්‍රණය කරගෙනවිත් තිබූ සිය ජීව දත්ත පත්‍රිකා ගොන්න පසෙකට කර දී මිතුරාගේ රාත්‍රී භෝජනයට ඉඩ සලසා දුන්නේ ය. ෂින් අහර රස විඳින්නට ගත්තේ තලු මරමිනි. විශාල බත් ගුලියක් අතැති චොප් ස්ටික්ස් යුගලයෙන් ගෙන මුව තුලට දමා ගන්නා ඔහු ඒ සමගම කුකුළු මස් කැබැල්ලක් ද සපමින් තලු මැරීම ආරම්භ කරයි.

කාමරයේ එක්ව ගත කළ ද පැට්‍රික් තරම් ෂින් මා සමග සමීප වූයේ නැත. මා යනෙන ගමන් බිමන් හෝ මගේ තොරතුරු කිසි විට නොවිමසූ ඔහු ඔහුගේ විස්තර අප සමග කීවේ ද උනන්දුවෙන් විමසූ විටෙක පමණි. ඒ ද වචනයකින් හෝ දෙකකිනි. එහෙත් ඔහු සැබවින්ම අපට සමීප බවක් පෙන්වී ය. නිතර සිනාමුසුව උන් ඔහු සිය මේසය මත වූ අඩුම කුඩුම පෙන්වමින් ඇතැම් විට මෙසේ කීවේ ය.

“ප්‍රියා... මේ දේවල් ඕන වෙලාවක අරන් පාවිච්චි කරන්න. ප්‍රශ්නයක් නැහැ.“

ෂින් පිටව යන්නේ වෙනත් නවාතැනකට ය. ඔහු අපේ කාමරයෙන් ඉවත්ව යන බව කීවේ ටික දිනකට කලිනි. ගෝල්ඩ් කෝස්ට් නගරයේ සිටින සිය පෙම්වතිය එහි රැකියාවෙන් ඉවත්ව සිඩ්නි නගරයට පැමිණෙන බවත්, ඇය සමග වෙන්ව ජීවත් වන්නට තමන් වෙනත් නවාතැනක තනි කාමරයක් කුලියට ගන්නා බවත් ෂින් අපට දැනුම් දුන් මොහොතේ පැට්‍රික් කෑගැසුවේ ය.

“ඒයි... යාළුවා... ඒ කියන්නෙ උඹ අපිව දාල යන්නයි යන්නෙ? අපිට උඹ නැතිවෙන්නයි යන්නෙ?“

ෂින්...
ෂින්ගේ පෙම්වතිය ද ජපාන ජාතික යුවතියකි. පසුගිය දින කිහිපයේ සිඩ්නි නගරය පුරා ඇවිදිමින් සුදුසු නවාතැනක් සොයා වෙහෙසුණු ෂින් සිය පෙම්වතිය ද කැටිව  රීජන්ට් වීදියට ආවේ තමන් පිටව යන බව අපට කියා දින කිහිපයකට පසුව ය.

“මේ ප්‍රියා... මගේ කාමරේ ඉන්න යාළුවා.. මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්...“

ෂින් හඳුන්වා දෙද්දී පියකරු ජපාන යුවතිය සිනා සී හිස වැනුවා ය.

“හරිම සතුටුයි අඳුනගන්න ලැබුණු එකට... ෂින් ඔයා ගැන කියල තිබුණ...“

පැයක පමණ කාලයක් නවාතැනේ ගත කළ ඇය මා පිසිමින් සිටි සෝයා වෑංජනයෙන් සුළු ප්‍රමාණයක් ඉල්ලාගෙන රස බැලුවේ ෂින් මුව අයාගෙන විශ්මයෙන් බලා හිඳිද්දී ය. මිරිස් යෙදූ කිසිවක් මුව අසලකට නොගන්නා ෂින්ට පෙම්වතියගේ සෝයා වෑංජන රස විඳීම මහත් වික්‍රමයක් විය.

ෂින්ගේ තලු මැරීම පරයමින් නවාතැනේ සීනු දුරකථනය නාද වන්නට විය. ඒ ෆ්‍රන්සුවා යතුර අමතක කළ බව කියැවෙන සංඥාවකි. මම දුරකථනය විමසද්දී ෆ්‍රන්සුවාගේ රුව තිරයේ මතු විය.

“ප්‍රියා... ගේට්ටුව අරින්න. මට යතුර අමතක වෙලා..“

ෆ්‍රන්සුවා නවාතැනට එළැඹුණේ ගීතයක් මුමුණමිනි. ෂින් පිටව යන්නට සූදානම් බව ඇසූ ඔහු නැවතී සුභ පැතුවේ ය.

“මම දන්න තරමින් මර්සෙලොත් හෙට අනිද්දම යනව“

එය මට අලුත් ආරංචියක් විය. ගෙවුණු දෙමසක කාලය තුළ මේ නවාතැනේ සියල්ලෝ කල් ගෙවුවේ මහත් සතුටිනි. ඒ අතර කාලයේ නවාතැනින් සමුගත් එකම තැනැත්තා අදෘෂ්‍යමාන සාමාජිකයකු ව සිටි හැරී ය. කලාතුරකින් හමුවද්දී අප සමග වචනයකට දෙකකට වඩා නොදෙඩූ ඔහු නවාතැන හැරගොස් ඇති බව දැනගත්තේ ද පිටව ගොස් ටික දිනකිනි.

“මර්සෙලෝ කොහෙද යන්නෙ?“

“කොහෙ යනවද මන්ද. හැබැයි යනව කිව්ව. එයාට කොහොමත් අල්ලන්නෙ නැහැ ඇනීගේ වැඩ“

ෆ්‍රන්සුවාගේ පිළිතුරත් සමග ඇනීගේ ක්‍රියා පිළිවෙත් පිළිබඳ සාකච්ඡාවක් ඇරඹිනි. මම හෙමින් කාමරයට ගියෙමි. ඉදිරි දින කිහිපයට අවශ්‍ය කළමනා මිළට ගැනුමට සුපර් මාකැට්ටුවට යන්නට අවශ්‍ය ය. වෙනත් කමිසයක් සොයන්නට පොදු අල්මාරිය විවර කළ මට ෂින්ගේ ඇඳුම් තිබූ රාක්කය දිස් විණි. එය දැන් හිස් ය.

ජීවිත කාලයක ගමන් මග තුළ සියල්ලෝම අනේක හමුවීම් සහ සමුගැනීම්වලට මුහුණ දෙති. නොතේරෙන කුඩා අවදිය ගෙවී යමක හැඟෙන්නට, දැනෙන්නට පටන් ගන්නා යුගය ඇරඹෙත්ම සමුගැනීම යනු සැම විට වේදනාබරිත හැඟීමක් ජනිත කරන්නක් බව අපට වැටහෙයි. කඳුළු හා සෝ සුසුම් මැද නිම වන සමුගැනීම්, නව හමුවීම්වල සතුට හා ගැටී වැළලී මැකී යන මුත් ඉඳහිට දිනෙක යළි නැගී අතීත යුගයක සෙවණැලි සිහි කැඳවා සුසුම් නංවයි. කිසිවකුත් නොමැති නිහඬ වටපිටාවකදී මෙන්ම මිනිස් රූ උතුරන මහ නගරයක දී වුව මේ සෙවණැලි නොබා ඔබ අභියස පිබිදෙනු ඇත. නිහඬ වටපිටාවේ කාන්සිය පිරුණු හිස්කම තුළින් නැගෙන පැරණි කටහඬක මතකයක් මෙන්ම සෙනඟ පිරී ඉතිරෙන නගරයේ බස් රථයක කවුළුවක් අභිමුව පිපී මැකී යන නොදන්නා රුවක් දැක සිහියට නැඟෙන පැරණි මිනිස් හැඩ මතකයක් ද බිහිකරන්නේ එකම සංවේදනාවෙකි.

සමුගැනීම් අතුරින් දරන්නට අපහසුම වන්නේ මරණයෙන් කෙළවර වන සමුගැනීම බව මුල් වරට පසක් වන විට මා පාසැලේ සාමාන්‍ය පෙළ සිසුවෙකි. අප හා සමවයසේ උන් අනෙත් පන්තියක මිතුරු පිරිසක් මළ ගෙදරකට සහභාගි වන්නට ගිය මොහොතකදී ඉන් එක් මිතුරකු දියෙහි ගිලී මිය යෑම නිසා හැඟුණු වේදනාව ඉන් පෙර කිසි දිනක මා නොවින්ඳේ විය. ඔහු මාගේ සමීප මිතුරකු නොවූවද අවසන් කටයුත්තට සහභාගි වන්නට ගිය තැන ඒ දෙමාපියන් හා සොයුරිය වැළපුණු සැටිත්, මහ සෙනඟක් ඇදුණු මළ ගෙදර පැවති වේදනාව උතුරන ස්වභාවයත් අදද හිත්හි ඇඳගැනීම අපහසු නැත. ඉන් පසු ගෙවුණු දිවිය තුළ එවැනි ශෝකජනක අකල් මරණ කිහිපයක්ම දැකගන්නට ලැබිණ. අයෙකු දියේ ගිලී මියෙද්දී තවත් අයෙකු සිත් තැවුලෙන් දිවි තොරකරගෙන තිබිණ. හේතුව කුමක් වුව සියල්ල අවසන අප වෙත ඉතිරි වූයේ සමුගැනීමේ වේදනාවයි.

මරණයකින් කෙළවර නොවන්නේ වුව අපගේ දිවියේ බොහෝ සමුගැනීම් හමුවේ යළි හමුවීමකට ඇති අවස්ථා අවම ය. දිගු පාසැල් දිවියක කෙළවර මිතුරන් හැර යද්දී යළි හමුවන්නට දැඩි ලෙස ශපථ කර ගත්තද දිවියෙහි අනේක කටොළු මැද ඇතැමුන් මග හැරෙන්නට පටන් ගනියි. ජීවන අරගලයට එක් වන සියල්ලෝම තම ඉම් පෙදෙස් සොයා එකිනෙකට වෙනස් මං දිග ගමන් යති. යළි යළිත් මතුවී මැකී යන පැරණි මිතුදම් පිළිබඳ මතක මැද නව මිතුදම් දිග හැරෙද්දී යළිදු පෙර සපථ කිරීම් ඔවුන් වෙත ද ලබා දෙති.

අප රට සංස්කෘතිය අනුව සමුගැනීම යන්නට දැඩිව මුහුණ දෙන්නට සිදුවන්නේ ගැහැණියට යැයි මට වරෙක හැඟෙන්නේ අම්මා ගැන සිතන විට ය. සුන්දර පාසැල් විය හා යොවුන් විය පිළිබඳ අප කුඩා අවදියේ ඈ කියූ දේ අනුව විවාහය තෙක් ඇය ගත කර ඇත්තේ සතුටින් පිරි දිවියකි. මතක සටහනක් පවා නොමැති ලාබාල වියෙහිදීම අම්මාට සිය මව අහිමිව තිබුණ ද කිරි අම්මා සහ කිරි අත්තා සමග ගෙවූ දිවිය කටුක සංවේදනා පිරි එකකැයි ඇය කියනු මා කිසි දින අසා නැත. තාත්ති හා විවාපත් වීමත් සමග එම දිවියෙන් සමුගන්නට සිදුවීම නිසා ඇය තුළ ඇති වූ දොම්නස කෙතරම් දැයි අසන්නට මොහොතක් මවෙත කිසි දින එළැඹ නැත. තාත්තිගේ රැකියා ස්ථාන මාරු සමඟම, සෙනෙහසින් ඇසුරු කළ අසල්වාසීන්, සතුටින් වැවූ මල් හා පළතුරු ගස් මෙන්ම දිවි ගෙවූ නිවෙස් කලින් කලට හැර දමමින්, සමුගැනීමේ ‍වේදනාවන් නිතර හමුවූ දිවියක් ගත කරන්නට සිදුවීම ඇයගේ දිවිය තුළ නොමියෙන දොම්නසක් ගොඩ නංවන්නට හේතුවූයේ යැයි අද මට සිතේ.

“අපිට පළවෙනිම වත්ත හරියට ගම වගේ වුණා. හැමෝම හොඳ යාළුවො, නෑයො වගේ... පුතාට මතක ද එහෙ හිටපු කට්ටිය...?“

අම්මා එසේ විමසන විට මා මතක ඇති බව හඟවා හිස සළන මුත් බොඳව ගිය සිත්තමකට වඩා යමක් මවෙත රැඳී නැත. ළදරු පාසැල් විය එළඹෙන තෙක් ගත කළ දිවියේ මා වෙත ඇති එකම මතකය නිවසින් පිටත වූ ගුරු පාර කෙළවරට වී දිනක් මා පහළ වතුයාය දෙස බලා සිටි අයුරුත්, ‘නියුටල් ගියරයේ‘ ට්‍රැක්ටරය පදවාගෙන ආ වත්තේ රියදුරකු මා අසළදීම එහි නළාව හඬවා මා දැඩි ලෙස බියට පත් කළ අයුරුත් පමණි.

“සර් අපි හෙට යනව. ආයෙම කවදා එන්න වේවිද දන්නෙ නැහැ....“

ශ්‍රී පාලියේ දෙපාර්තමේන්තු කාමරයට වී සිටින මොහොතක කඳුළු පිරි මුහුණින් යුතුව මා අභියසට එන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කිහිප දෙනෙකු පවසති. වසර හතරක දිවිය පුරා තමන් ඇසුරු කළ, දිවිය බෙදා හදාගත් මිතුරු මිතුරියන් හැර දමා යන්නට සිදුවීම පිළිබඳ වේදනාවෙන් පසුවන ඔවුහු එම කාලය පුරා දේශන ශාලාවේදී මෙන්ම මග තොට ද හමුවූ, මිතුරකු හෝ වැඩිහිටියකු සේ තතු සොයා බැලූ ආචාර්යවරුන් හැර දමා යන්නට ද මැළි වෙති.

“අපරාදෙ මේ කාලෙ ගෙවුණෙ කියල හිතෙනව සර්.... ආයෙ මෙහෙම කාලයක් එන්නෙ නැහැනෙ කවදාවත්!“

හැඟුම්බර ඇතැමකුගේ නෙතින් ගලන කඳුළු කොපුල් දිග රූරා වැටෙයි. ප්‍රධාන විශ්වවිද්‍යාලයක් මෙන් නොව විද්‍යාර්ථීන් හා ආචාර්යවරුන් සුළු පිරිසක් සිටින ශ්‍රී පාලිය දිවිගෙවන එකිනෙකා හොඳින් හඳුනන කුඩා සොඳුරු ගම්මානයක් වැනි ය. එනිසාමදෝ සමුගැනීමේ සාද කෙළවර ගැහැණු පිරිමි භේදයකින් තොරව සියල්ලෝ එකිනෙකා වැළඳ හඬා වැළපීම මවන්නේ බලා සිටින්නට අපහසු වේදනාත්මක දසුනකි.

“අපි ගිහින් එන්නම් සර්... අපිට හරි දුකයි යන්න වෙන එකට. ඒත් යන්න වෙනවනෙ! සර්ට තේරෙන්නෙ නැහැ අපිට දැනෙන දුක..!“

“ඔව්... ඒක වෙන්න පුළුවනි. ඒත් ඇත්තටම අපිටත් දුකක් දැනෙනව. ඕ ගොල්ලන්ට ඔය වෙන්වීම දැනෙන්නෙ ජීවිතේට එක පාරයි. ඒත් අවුරුදු හතරක් බොහොම සමීපව අපෙන් ඉගෙන ගත්ත කට්ටියක් හැම අවුරුද්දක් ගාණෙම ඔයාල වගේ යන්න යනව. ඒ නිසා අපිට ඒක යම් විදියකින් අවුරුද්දක් ගාණෙ දැනෙනව!“

මගේ වදන් පෙළ නිසා කම්පා වන එක් අයෙක් යළිත් නෙතු කඳුළු පිසිති.

“යන්නම් සර්... අදවත් අපි වඳින්න ද එහෙනම්?“

ගුරුවරයකුට ගරු කරනු වස් දුටු විගස වැඳවැටීම පදනම් විරහිත බවත්, ගුරුවරයාට කරන ගරු කිරීම නම් ඔහු පෙන්වන ඥාණ ගවේෂණ මගෙහි නිසි ලෙස ගමන් කිරීම බවත් යන තර්කය ඔවුන් වෙත මා ගෙන ආවේ මුල්ම වසරේ වන්නට ඇත. එතැන් පටන් සෞන්දර්ය විෂයය පාඨමාලා තුළ හමුවන ‘වැඳ සමුගැනීම‘ ඔවුන් මවෙත ගෙන ආවේ නැත. සියල්ලෝම වැඩිහිටියන් වන තැනෙක, අයෙකු තමන් වෙත කරන ආචාරය පෙරළා එළෙසම ඔහු හෝ ඇය වෙතද දැක්විය යුත්තකැයි කියමින් පේරාදෙණියේ දී සමුගැනීමට බුලත් හුරුළු ගෙන ආ සිසු සිසුවියන් පිරිසක් යළි සිතන්නට මෙහෙය වූ එවක එහි ලලිත කලා අංශාධිපතිවරයාගේ අදහසට මම සැම විට ගරු කළෙමි.

සුභ පතමින් මා දිගු කළ සුරත තරයේ අල්වාගත් ඇතැමෙක් කඳුළු පිසිමින් නික්ම යද්දී තවත් අයෙක් වැළඳගෙන මවෙතට ද සුභ පැතුම් යොමු කළ හ.

“හැමදේටම පින් සර්.... සර්ගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන...“

වාහන ඉතිරෙන පිට් වීදිය දිග ජුන් සහ මම ෂින්ද සමග ඇවිද යන්නෙමු. ඇනී වෙත තිබූ අත්තිකාරම් මුදල ද යළි ලබාගත් ෂින් සියල්ලන්ට සමු දී සිය පෙම්වතිය සමග කල් ගෙවන්නට තෝරාගත් නවාතැන වෙත පිය නගන්නේ සතුටිනි. සුපර් මාකැට්ටුවට යන ජුන්ටත් මටත් සමුදෙන ජුන් ස්වයංක්‍රීය පඩි පෙළ මත හිඳ යළි අපට අත වනයි.

“ගිහින් එන්නම් ප්‍රියා... ගිහින් එන්නම් ජුන්...!!“


ඔහු යළි අප නවාතැනට නොඑන බව සැක හැර දන්නේ වුව අපි යළි හමුවීමකට සපථ කර ගනිමු. ඉහළට එසැවෙමින් යන පඩි පෙළ මත සිටින ජනයා අතර ෂින් නොපෙනී යයි. ඔහු ගිලී ගිය පිරිස අතරෙහි සමුගෙන සැඟව ගිය දහසක් මිතුරු සෙවණැලි මට මැවී පෙනෙයි. මම යළි හැරෙමි.

8 comments:

  1. මට මෙච්චර කාලෙකට දරාගන්න අපහසුම වෙන්වීම උනේ කසාද බැඳලා ගෙදරින් ආපු එක... අවුරුද ගානක් තිස්සේ දැනගෙන හිටපු දෙයක් උනත් එදා, ඒ මොහොතේ දැනුන හැඟීම අදටත් මට තාමත් දැනෙනවා.. කොයි වෙලාවෙද යන්නේ කියලා හිතුවා... කවදද මං ආදරය කරපු කෙනා ගාවට යන්නේ කියලා පෙරුම් පිරුවා.. දාලා යන්න අමාරුම වෙන්නේ මගේ බලු රාළව කියලා හිතුවා.. ඒත් අන්තිම මොහොතේ ගෙයි මිදුලේ තිබ්බ වැලි කැටේ පවා දාලා යන්න බැරි ගතියක් දැනුනා.. මට කියලා තිබ්බ පුංචිම දේ ඉඳලා හැම දේම නැති වෙනවා නේද කියලා හිතුනා...

    ඒ පාලුව, හිස් තැන අදටත් ම‌ෙග් හිතේ එහෙමම තියෙනවා...

    ReplyDelete
  2. මටනං දාල යන එක මාර ආතල් වැඩක්..හැමදේම හැමදාම දකිනකොට විදිනකොට එපා වෙනවා..

    ReplyDelete
  3. අයියගෙ ලිපි කියෙව්වට පස්සෙ ඇති වෙන්නෙ කමෙන්ට් කරන හිතක් නෙවෙයි.. කියවපු දේවල් ගැන, ඒව අපේ ජීවිතේ එක්ක සමපාත වෙන හැටි ගැන කල්පනා කරන හිතක්!!
    වෙන්වීම් ගැන මෙතන කියන්ඩ දේවල් ගොඩක් මට තියෙන බව ඔයාට අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනෙ...
    ඒත් ඒව එකක්වත් පැහැදිලිව ලියාගන්ඩ බැරි මොකද මන්ද??

    ReplyDelete
  4. වෙන්වීම හරිම දුකක් තමයි. පාසැල් ජීවිතය, විශ්වවිද්‍යාල ජීවිතය, ගෙදර හැරදා මුල් වරට එහි යෑම හරියට හිත දුකින් පුරවපු අවස්තාවන්. මුල් වරට ගෙදරින් ඉවත්වෙලා යෑම නම් කියන්ට බැරි තරම් කණගාටුයි. රෑට නින්දට ගියාම අම්මා මතක් කරමින් කඳුලු හෙලපු වාර අනන්තයි. ඒත් ඒ බව එයාට නොකීවේ එයාගේ හිතේ වේදනාව වැඩිවෙයි කියන බියෙන්.

    මුලු ජීවිතයම මතකයක් විතරයි ප්‍රියන්ත. එක් මතකයක් ඉවර වෙද්දි අපි අලුත් එකක් පටන් ගන්නවා. මිය යනතුරු අපි අතින් සිද්ධවෙන්නේ මේ දේ. ඒ වගේම කවදා හරි මේලෝකේ දාලා ගිය වෙලාවට අනික් අය තුල අපි ගැන තියෙන්නෙත්, අපිව දාලා යන අය ගැන් අපේ හිතේ තියෙන්නෙත් මතකයක්ම විතරයි.

    ReplyDelete
  5. මට නම් පේරාදෙනියෙන් යන දවසේ දුකක් දැණුනේ නෑ. සතියකින් යන්න තිබුණ ජොබ් එක ගැන ඇතිවුණු ජොලිය නිසාත්, දාලා අමතක කරලා යන්න දේවල් තිබුණු නිසාත් විය යුතුයි.

    ReplyDelete
  6. සමහර වෙලාවට ඇත්තටම මේ වගේ අවස්ථාවකදි දුක දැනෙනවාට වඩා වෙන්නේ ඒ අවස්ථාව නැවත ආවර්ජනය කරද්දි දුකක් ඇතිවීම. තැනින් තැනට මාරු වෙමින් සමුගැනීම් බොහොමයකට මමත් මුහුණදුන්නා... දැණ් මම ඒවා ගැන කල්පනා කරද්දි දැනෙන සාංකාව වැඩියි කියලා හිතෙනවා.

    ඔබතුමාගේ අනිත් බ්ලොග් දෙක ලාවට පුස්කාගෙන එනව වගේ...:D

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත තිසර. පොඩි පුස්කෑමක් තියෙනව. ප්‍රශ්නය කාලය හිඟකම. පුළුවන් වුණු ගමන් ලියන්නම්. ස්තුතියි!

      Delete
  7. ඔබ ලියනා රටාව නෙතට කඳුලක් නංවයි හද සාංකාවෙන් පුරවයි.

    සිඩ්නි හිතවතෙක්

    ReplyDelete