Saturday, September 1, 2012

වැස්සත් සමග...


(2012 අ‌ප්‍රේල් මස 18 වැනිදා බදාදා)

ධාරාණිපාත වර්ෂාවක පෙර ළකුණු පල කරමින් සිඩ්නියේ අහස් කුස තදින් කළු පැහැ ගැන්වෙමින් තිබිණි. මුහුදුබඩ පිහිටි නගරය හරහා හමන කටුක සුළඟ තරමක් රළු ස්වභාවයකට හැරෙන්නට විය. රැකියාව නොමැති වූ පසු, වැඩි කතා බහකින් තොරව නිහඬව කල් යැවූ ජුන් කිසිවිටක සවස් කලෙක නිවසින් බැහැර යනු මා දැක නොතිබුණ ද ජැකට්ටුව ද ගනිමින් ඔහු සූදානම් වන්නේ ඒ පිළිවෙත බිඳ දමන්නට බව වටහා ගන්නට අපහසු වූයේ නැත.

“කොහෙද යන්න හදන්නෙ?“

“හරියටම අදහසක් නෑ. නිකං ඇවිදින්න යන්නයි යන්නේ!“

නිසි අදහසක් නොමැතිව මහමගට බැසීම ඩාලින් හාබරය වෙත යාමෙන් කෙළවර වී වැඩි දිනක් ගතව නොතිබුණ ද ජුන්ගේ පිළිතුර මා සිතට ගෙන ආවේ බලවත් උනන්දුවකි.

“මාත් එන්න ද?“

“ෂහ්... නියමයි!  යමු එහෙනම්...“

මම ඉක්මණින් ඇඳුමකට බැස ජුන් සමග වීදියට පිවිසියෙමි. ළඟ එන වැස්ස හමුවේ අත්හදා බැලීම් කරන්නට අමුතු නිර්භීතකමක් අප දෙදෙනා තුළම පහළව තිබුණේ නැත. එහෙයින්, අකුළාගත් කුඩා කුඩ දෙකක් අපේ අත්වලට ගුලි වී තිබිණි.

“කොයි පැත්තට ද?“

රීජන්ට් වීදියේ කෙළවර මාර්ග සංඥාව අසළට එත් ම සුපුරුදු පැණය නැගිණි. මාර්ගය ඒකාකාරීව, රේඛීය ව විහිද යන්නක් නම් මේ අප මනසට නැගෙන්නක් නොවේ. මංසලකදී විවිධ අන්තයන් දෙසට විහිද යන වීදි හෝ මංපෙත් අසබඩට එත්ම මේ ගැටළුව ඔබේ හිතට නැගෙනු ඇත. එහෙත් මා විශ්වාස කරන්න! ඔබ ඉන් කුමන මගක් තෝරා ගත්තද, ඔබ ජීවිතයේ නව මාවත් පිළිගන්නට සූදානම් අයෙකු නම්, ඔබ කණගාටු වන්නේ නැත. සැම මගක් දිගම, සැම මගක කෙළවරකම ජීවිතය පිරී පවතින අයුරු දකින්නට ඔබට හැකි වන බැවිණි. ඔව්...! සිඩ්නියේ මාවත් දිග ඇවිද ගිය හැමවිටම අලුත් යමක්, තැනැත්තෙක්, සිදුවීමක් මා නෙත ගැටිණි. මධ්‍යම දුම්රිය ප‍ළේ දකුණු දිග පිවිසුම වෙත වන දිගු උමං මගේ ඇවිද යන සැම විටම අනේක සංගීත භාණ්ඩ වයමින් ගී ගයන වීදි ගායකයින් හමුවේ. බටහිර, චීන, ඉන්දීය, ලතින් ඇමරිකානු මෙන්ම ඇබොරජින් ආදිවාසීන් භාවිතා කරන විවිධ සංගීත භාණ්ඩ වලින් එන තත් නද, සුසර නද හා ඒ මුසු වුණු ඉංග්‍රීසි, චීන, ඉන්දීය ජනප්‍රිය හෝ භජන්, ලතින් ඇමරිකානු ගීත ඇතුළු බොහෝ නාදයන් එමගින් නැගෙයි. ජෝර්ජ් වීදිය දිගේ නගරය දෙසට යද්දී නගර චතුරශ්‍රයේ විශාල බිමක එලූ කැන්වසයක් මත ඇවිදිමින් සිතුවම් අඳින්නන් හමු වෙයි. පාපැදි, ගින්දර, බෝල ආදිය සෙල්ලමට ගත් සර්කස්කරුවන්ද පදික වළලු මැද විස්කම් පානු දක්නට නොවන්නේ නොවේ. ඒ සියල්ලන් සහිත වීදි, මාවත් සරන අනේක විධ මිනිස් රූප, මානව ශිෂ්ටාචාරයේ නිශ්චිත මොහොතක සේයා රුවක් බව පිළිගන්නට ඔබ සූදානම් නම්, සැබවින්ම ඔබ සතුටට පත් වනු ඇත.

“අපි ඔපෙරා හවුස් එක පැත්තට යමු!“

ජුන් අවසානයේ යෝජනා ක‍ළේ ය.

එය නම් කදිම අදහසකි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ගෘහ නිර්මාණයන්ගෙන් එකක් දැකගන්නට අපූරු වේලාවකි! එක් පසෙකින් අඳුරු වළා කැඳවන අහස් කුස කුණාටු වැස්සක පෙර ලකුණු කියද්දී, එකිනෙක සෙමෙන් දැල්වෙන වීදි ලාම්පු රාත්‍රිය ළඟා වන බවට ඉඟි කරමින් සිටිනු පෙනේ. සියලුම සංචාරකයින් හා නගරවැසියන් ලහියේ නිවෙස් හා නවාතැන් වෙත ගාල් වෙන්නට යුහුසුලු වද්දී, මසකට පමණ පෙර හඳුනාගත් මේ සිහින් කොරියානු කොලුගැටයා ද සමග ඔපෙරා හවුස් වෙතට...!!
ඔව්...! අපි පියවර එසවීමු!!

ජෝර්ජ් වීදිය දිගේ කිලෝ මීටර දෙක තුනක ගමනක් සඳහා අප පෙරමුණ බැලීමු. වර්ණ ආලෝක සංඥා වීදිය අනෙත් පසට යන්නට අවසර ලබා දෙද්දී, වීදියෙන් වීදිය මාරු වෙමින් අප ගිය ගමන අතර මග දී චණ්ඩ වෙස් ගත් වර්ෂාව ආරම්භ විය. මහත් බරැති වැසි බිඳු අප හිස් ඉහළින් වූ කුඩා කුඩය කුමන විහිළුවක්දැයි අසන්නට මෙන් හිස මතට පතිතව දෙසවන් සොයා පහතට ගලන්නට විය. විසල් නගරයක මහා වරුසාව සොයා සිතා මතාම අප කල පිවිසීම, වසර විස්සකට එපිට දිනෙක නකල්ස් වනයේ මං සොයාගත නොහී අසරණ ව වර්ෂාවකට  හා කූඩැල්ලන්ට මැදිව උන් අපේ චෙස් ක්‍රීඩක කණ්ඩායමේ අතීත මොහොතකට මගේ සිත කැඳවාගෙන ගියේ ය.

පාසැල් කාලයේ විදුහලේ චෙස් කණ්ඩායමේ ගත කළ කාලය මා දිවියේ සිහි කැඳවන්නට බොහෝ රුචිකර කාල වකවානු අතුරින් ප්‍රධාන ය. මනසත් සමග මහත් ගණුදෙනුවක යෙදෙන චෙස් ක්‍රීඩා පුවරුව වෙත දැහැන්ගත වීමේ ආස්වාදනීය කටයුත්ත පමණක් නොව තවත් බොහෝ දේ සිදු කිරීම අපේ පාසැල් චෙස් මිතුරු කැළ අතර වූ සමගියට උදාහරණයක් විය. කඳු නැගීම හා පාගමන් ඒ අතරින් ප්‍රධාන කොට සැළකිණ. මේ සියල්ලෙහි පෙරමුණ ගත්තේ අපගේ චෙස් උපදේශකවරයා වූ සරත් සර් ය.

“පස් ගොඩක් පේන්න බෑ... දුවල ගිහින් ඒක නගිනවා...“

චූටි බාප්පා අපේ කඳු නැගීම් හාස්‍යයට ලක් කල ද ඒ වැරැද්දක් ලෙස දුටුවේ නම් නැත. හන්තාන, හුන්නස්ගිරිය, මාවතගම හඳුරුක්කන්ද, පුස්සැල්ලාව - මොණරාගල (Peacock) කන්ද, මාතලේ රිලාගල මෙසේ අප නැගි කඳු කිහිපයකි. පාගමන් අතර මුල් තැනක වූයේ මීමුරේ ග්‍රාමයට ගොස් වස්ගමුව වනෝද්‍යානය හරහා හසලක වෙත ගිය ගමනයි. එහෙත් මේ සියල්ලට වඩා අදද මසිතට නිතර නැගෙන්නේ ලග්ගල-පල්ලේගමින් ගොස් රණමුරේට පැමිණ, නකල්ස් කන්ද හරහා බඹරැල්ලට ආ බිහිසුණු ගමනේ සිදුවීම් පෙළයි.

අව් - වැසි කිසිවකින් ආ පසු නොහැරෙන අපේ පාගමන් සියල්ලෙහි ත්‍රාසජනක අවසන් පියවරක් ලෙස මෙම නකල්ස් සංචාරය සිහි කළ හැක.  අනූව දශකයේ මුල් භාගයේ දිනක උදෑසන, මාතලේ ප්‍රදේශයට සිහින් වැසි වැටෙද්දී අප එහි ගියේ ලග්ගල දෙසට යන බස් රථයකට ගොඩ වැදීමේ අටියෙනි. හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ වැඩිහිටියා වූ සරත් සර්ට බස්පොළේ නිලධාරියකු කීවේ සතුටුදායක පුවතක් නොවේ.

“ලග්ගල බස් වැඩ කරන්නෙ නැහැ. සුදු ගඟ පැත්ත උතුරනවා. වැස්ස තදයි. යනවම නං බකමූණට ගිහින් යතහැකි, හැබැයි ඒක නුවණට හුරු නැහැ. “

අපි එකිනෙකා දෙස බලද්දී සරත් සර් කීවේ මෙවැන්නකි.

“මම කැමති නම් නැහැ ආපිට හැරෙන්න. බකමූණට යන්න බලමු. එතනින් වාහනයක් ගනිමු“

යළි නොහැරෙන ගමනකට සැවොම එකඟ වූයෙන් අපි බකමූණට ගියෙමු. බකමූණ දෙසින් ලග්ගල- පල්ලේගම දෙසට යන බස් රථයද ඒ වන විට අඹන් ගඟ මතින් වන ඇඳි රහිත පාලමෙන් ඉවතට ඇලවී ගඟට වැටෙන්නට ගොස් බේරී තිබිණි.

“මහ වැස්සෙ, පාලම උඩින් වතුර දාද්දි හිතේ විශ්වාසෙට ඩ්‍රැයිවර් බස් එක පාලමට දැම්ම. ඒත් පාලම මැද්දෙදි ඒක ගඟට ඇලවුණා. මිනිස්සු කීප දෙනෙක් වතුරටත් වැටුණා. හොඳ වෙලාවට ගිලුණෙ නැහැ“

දෙපස විශාල ගස් දෙකකට කඹ යොදා බැඳ තිබුණු බසය අසලින්, වතුර බැස ගොස් තිබුණු පාලම මතින් අපි එහා ඉවුරට ඇවිද ගියෙමු. ගමනාන්තයට එතැන් සිට වූ දුර සැතපුම් පහළවකට අධික විය. අවිනිශ්චිත බවට පිළිතුරක් සපයමින් එවර ඉදිරිපත් වූයේ වෑන් රථ රියදුරෙකි.

“මහත්තයල කැමති නම් මේ වෑන් එකේ යමු. මට සාධාරණ ගාණක් දෙන්න. හැබැයි හැමෝටම සීට්නම් නැහැ“

දිරා ගිය වෑන් රථයේ ආසන රහිත බිම වාඩිවී , අපි වංගු සහිත මග දිග ලග්ගල-පල්ලේගම බලා ගියෙමු. එතැනින් ඇරඹ සැතපුම් කිහිපයක පාගමනකින් පසු අප පිවිසියේ රණමුරේ ගම්මානයටයි. රණමුරේ ගමේ රැය පහන් කර පසුදා වනය හරහා මීමුරේ වෙත යාම අපේ සැලැස්ම වී තිබිණි.

රාත්‍රිය ගත කිරීමට එවැනි ගම්මානයකට යන විට අපි කිසිවිට කලින් දන්වා නොගියෙමු. දන්වා යන්නට හඳුනන කිසිවෙක් එවැනි ගම්මානවල අපට නොවී ය. එහෙත් ගම්මානයට පය ගැසූ පසු හමුවන පළමු ගම්වැසියාගෙන් ම විසඳුම් සොයා ගැනීම කිසිදිනක අපහසු වී නැත.

“මහත්තයල කොහේ ඉඳල ද?“

ඉතා කුළුපඟ ලෙස මෙම පැණය අපෙන් අසන ගම්වැසියෝ ගමේ ගුරු නිවස සොයා ගොස් පිරිසක් පැමිණ ඇති බව විදුහල්පතිට දන්වති. අනතුරුව, ගමේ පිරිසේම සාමාජිකයෙකු සේ කල් ගෙවන විදුහල්පතිවරයාගේ උදව්වෙන් පාසැලේ පන්ති කාමරයක් අපේ නවාතැන බවට හැරෙයි. ඇතැම් විට කෑම බීම, තේ පැන් ආදියද වහා සැපයීමට ද විදුහල්පතිතුමා ඉදිරිපත් වෙයි. රණමුරේ ගම්මානයේදී ද සිදු වූයේ එයයි.

“මේව ගොවිතැන් කරං ඉන්න මිනිස්සුන්ගෙ ගම් පළාත් මහත්තයො... ඒ විතරක් නෙවෙයි මේ මිනිස්සු එනසාල් වවනවා උඩ කැලේ පැත්තෙ. ඒව වේලල ගෝනිවල දාලා කර ගහගෙන කන්ද නැගල එහා පැත්තට ගිහින්, බඹරැල්ලෙන් බස් එක අරන්, වත්තේගමටයි මේව විකුණන්නෙ. එහෙම කරල ආයෙ ඊළඟ බස් එකේ ඇවිත් කන්ද නැගල රෑ වෙද්දි ගමට එනව!!“

අපට විශ්වාස කරන්නටත් අපහසු වූ ඒ පුවත ඇසූ පසු එක්වරම මෙවන් යෝජනාවක් සරත් සර්ගෙන් නැගිණි.

“අපි මීමුරේ නොගිහින්, කන්ද හරහා ගිහින් එහා පැත්තට බහිමු ද?“

“ඒක නම් බැරි නැහැ මහත්තයො... හැබැයි පාර අමාරුයි... ලේසි නැහැ ගමන නං“

“අපොයි මොකක්ද? ගමේ අය උදේ ගිහින් හවස ආයෙ ගෙදරත් එනව නම් අපිට යන්න විතරක් බැරි වෙන එකක් නැහැනෙ“

අප වෙත වූ හාල් ආදියෙනුත්, ගම්වාසීන් වෙත වූ දේවලිනුත් සාදා දුන් බත්මුල් රැගෙන අපි පසුදා උදයේම මුල් සැලසුම වෙනස් කොට නකල්ස් කන්ද දෙසට හැරුණෙමු. නකල්ස් හරහා බඹරැල්ලට...!!

“හැබැයි මහත්තයො පරෙස්සමෙන්... කන්ද උඩ තියෙනව එක හරියක් කළුපහණ කියල... කූඩැල්ලන්ගෙ උපත! ඒකෙන් බේරිලා යන්න“

අවසාන අවවාදයට අපි හිස සැලුවේ එතරම් බියකින් නොවේ. මහනුවර අවට විසූ අපි සැවොම කූඩැල්ලන් දැක, උන්ගේ ලේ උරා බීම්වලට ලක්ව තිබිණි.

සිරි නරඹමින් ගිය ගමන...
මග දිග හමුවන දිය ඇළි දෙස බලමින්, එකිනෙකාට විහිළු තහළු කරමින් ගමන් කල අප තුළ කිසිදු හදිසියක් වූයේ නැත. රණමුරේ ගමින් පිටවන ගම්වැසියකු කන්ද තරණය කොට, බසයකින් සැතපුම් පහළවක විස්සක දුරක් ගොස්, වෙළදාම නිම කොට යළි එන ගමන්මගකින් අඩක් නිම කිරීමට අපට ඕනෑ තරම් කාලය ඇතැයි යන හැඟීම සියල්ලන් තුළ වූවාට සැක නැත. පෙරදින පැවති වර්ෂාවද තුරන් ව තිබුණෙන් මග සිරි නැරඹීමට සිතුණු සිතුණු තැන්වල නතරව යාමට කිසිවකු පැකිලුණේ නැත.

එහෙත්, පැය කිහිපයක ගමනකින් පසු ද කන්ද කෙළවර නොවන බව පෙනෙත්ම එකිනෙකා තුළ තරමක සැක සංකා පහළ වන්නට විය. පැහැදිලි අහස් කුස අඳුරු කරමින් සිහින් පොද වැස්සක් ද පටන් ගත් අතර වේලාව පස්වරුව වෙත පිවිසෙමින් තිබිණි.

“අන්න බලන්න...!“

එක්වරම කවුරුන් හෝ ඉදිරිය දැක්වී ය. අප නෙත් අභියස වූයේ දිගුව පැතිර යන එනසාල් වගා බිමකි. ඉහළින් වන මහ තුරු පතින් වැසුණු වනයේ යටි ස්ථරය පූර්ණව එනසාල් පඳුරු වලින් වැසී තිබිණි. වසා දැමූ එනසාල් වාඩියක් ද ඒ අතර විය. අපගේ හිස් මට්ටමට වැවුණු එනසාල් පඳුරු අතරින් වැටුණු අඩි පාරක් දිග අපි පෙරට ඇදුණෙමු. එක්වරම අපිට හමුවූයේ මිනිසුන් දෙදෙනෙකු වෙසෙන වාඩියකි.

“බඹරැල්ලට බහින්නෙ කොහෙන් ද?“

“ආ... ඔහොම්ම ඉස්සරහට යන්න මහත්තයො... පාර බෑවුම් වෙන්නෙ එහෙට තමයි. “

“එතකොට මේ කොහෙද..?“

“මේ කළුපහණ!!“

අපි පිවිස සිටියේ කූඩැල්ලන්ගේ උපන් බිම කියූ පෙදෙසටයි. වාඩියේ මිනිසුන්ගෙන් සමුගත් අප සිනාසෙමින් ඉදිරියට ගියේ එකෙකුගේ පාදයේ එල්ලුණු කුඩා කූඩැල්ලෙක් දක්වමිනි.

“මදැයි කූඩැල්ලන්ගෙ උපත! ඔන්න හම්බ වුණු එකා....!“

වර්ෂාවේ වේගය තරමක් ඉහළ ගියත් කිසිවකු එය තැකීමට ලක් කළේ නැත‍. මොහොතකට පෙර අප වාඩියෙන් පාර අසාගෙන තිබූ බැවිණි. එහෙත් පිරිසේ ඉදිරියෙන් වූ සගයා එක්වරම චකිතයෙන් අප දෙස හැරී බැලී ය.

“මට පාර හොයාගන්න බැහැ...!!“

අපට මග වැරදී තිබිණි. වැස්ස ක්‍රමයෙන් චණ්ඩ වුණු අතර හාත්පස අඳුරු ස්වරූපයක් ඉසිලී ය.

“අන්න.....!!!“

දෙනෙත් මහත් කරගෙන තවකකු ඇඟිල්ල දිගු කළේ එනසාල් පඳුරු දෙසට ය. ගණන් කළ නොහැකි තරමේ දිගු, වයිරන් වැටුණු කූඩැල්ලන් නොසැලී සෘජුව එනසාල් පත්‍ර මතත්, පොළව මතුපිටත් වන බව අප දුටුවේ එවිට ය.

(මතු සම්බන්ධයි...)

4 comments:

  1. කූඩළු පොදි වලට නකල්ස් තරම් ප්‍රසිද්ධ තව තැනක් නෑ මම හිතන්නෙ..
    කෑවත් කෑවයින් කූඩැල්ලො කාලා නෑ නකල්ස් වලදි තරම්..

    ස්තුතියි ප්‍රියන්ත මේ මතකය අවදි කලාට..

    ReplyDelete
  2. අනේ අර මිනිස්සු එනසාල් ටික විකුණගන්න යන ගමන ගැන ඇහුවම හරිම කණගාටු හිතුනා.... ඔය කියන විදියට ඒ අය එක හුස්මට කන්ද තරණය කරනව ඇති ආපහු එන්නත් ඕන හින්දා.... නිකම්ම නෙවෙයි එනසාල් ගෝනියකුත් කර ගහගෙන යනව කිව්වම....
    මාත් එක සැරයක් නකල්ස්, රිවර්ස්ටන් ගිහින් තියෙනවා කූඩැලි කරදරයක් නැතිව....

    ReplyDelete
  3. මේ ලිපිය කියෙව්වම මට වහාම ඇවිදින්න යන්න ඕනේ කියල හිතුනා................

    ReplyDelete
  4. /රීජන්ට් වීදියේ කෙළවර මාර්ග සංඥාව අසළට එත් ම සුපුරුදු පැණය නැගිණි. මාර්ගය ඒකාකාරීව, රේඛීය ව විහිද යන්නක් නම් මේ අප මනසට නැගෙන්නක් නොවේ.මංසලකදී විවිධ අන්තයන් දෙසට විහිද යන වීදි හෝ මංපෙත් අසබඩට එත්ම මේ ගැටළුව ඔබේ හිතට නැගෙනු ඇත. එහෙත් මා විශ්වාස කරන්න! ඔබ ඉන් කුමන මගක් තෝරා ගත්තද, ඔබ ජීවිතයේ නව මාවත් පිළිගන්නට සූදානම් අයෙකු නම්, ඔබ කණගාටු වන්නේ නැත. සැම මගක් දිගම, සැම මගක කෙළවරකම ජීවිතය පිරී පවතින අයුරු දකින්නට ඔබට හැකි වන බැවිණි/
    මං ආසම වාක්‍ය ටික තමයි මේ!!
    හිතට දැනෙන අදහස් බොහොම පැහැදිලිව තව කෙනෙක්ට දැනෙන්ඩ අයිය ලියන විදිය මට හරි පුදුමයි!!!

    ReplyDelete