Saturday, May 26, 2012

දිග ගවුම් සහ කොට ගවුම්

(2012 මාර්තු මස 15 වැනිදා)

රීජන්ට් වීදියේ නවාතැන් දොරින් ඇතුළුවත්ම හමුවන ප්‍රවේශ දොරටුව යොමු වූයේ තරුණියන් දෙදෙනාගේ කාමරය වෙතට ය. තරුණියන් සමග එකම නවාතැනක කල් ගෙවීම ලාංකික අපට සමීප අත්දැකීමක් නොවේ. පේරාදෙණියේ සහ කොළඹත්, ශ්‍රීපාලියේත් මා දන්නා සියලු ශිෂ්‍ය නේවාසිකාගාර ගැහැණු හා පිරිමි ලෙස වෙන් වශයෙන් පිහිටුවා ඇත. පේරාදෙණියේ පිරිමි නේවාසිකාගාර දොරටු විසි හතර පැයෙහි ඇර දමා තිබෙන නමුත් කාන්තා නේවාසිකාගාරයකින් රාත්‍රියේ පිටව සිටීමට හෝ ප්‍රමාද වී පැමිණීමට අවසර ලබා ගත යුතු ය. 

නිශ්චිත කාල වේලාවන් තුළදී කාන්තා නේවාසිකාගාර ගේට්ටු වසා දැමෙන අතර ප්‍රමාද අවසර පත් සහිත තරුණියන් ඊට පෙර සිය පෙම්වතුන් සමුගෙන නේවාසිකාගාරයට ගාල් වීම අපේක්ෂා කෙරේ. පෙම්වතිය නේවාසිකාගාරයට ගෙනවිත් හැරලන පෙම්වතාට ද පිටතින් යා හැකි කැන්ටිමෙන් මිළට ගෙන හෝ පොදු කාමරයේ සිට පෙම්වතිය සාදා ගෙනවිත් දෙන හෝ තේ කෝප්පය රස බලා පිටව යා හැක. පෙම්වතිය හැරලීමට හෝ බැලීමට ගොස් නිතිපතා කාන්තා නේවාසිකාගාරවල ලගින පෙම්වතුන් අතර පේරාදෙණියේ ඇතිවන තරගය නේවාසිකාගාර රාත්‍රිය දිනයේ එකකුගේ ජයග්‍රහණයෙන් කෙළවර වේ. අන් සියල්ලන්ගේම පරාජිත හැඟීම් මැද රාමනාදන් ශාලාවේ ජයග්‍රාහකයාට නිත්‍යනාදන් සම්මානයත්, සංඝමිත්තා ශාලාවේ ජයග්‍රාහකයාට නිත්‍යමිත්තා සම්මානයත් හිමිවන බව මම අසා ඇත්තෙමි.  
  
රීජන්ට් වීදියේ නවාතැන ශිෂ්‍ය නේවාසිකාගාරයක් නොවූව ද මෙහි ශිෂ්‍ය නේවාසිකාගාර බොහොමයක්ම කාන්තා හා පිරිමි දෙපක්ෂයටම විවෘත වූ ඒවා විය. අපේ නවාතැනෙහි ද තරුණියන් දෙදෙනෙකු විසීම මා හැර අනෙත් කිසිවකුට පූර්ව අත්දැකීම් රහිත කාරණාවක් නොවී ය. 

තරුණියන් දෙදෙනාගෙන් අයෙකු වූ චීන ජාතික තරුණිය හඳුන්වන ලද්දේ ක්‍රිස්ටල් යන නමිනි. ඇනී මෙන්ම ඔස්ට්‍රේලියානුවන්ට නුහුරු චීන නාමය වෙනුවට ඇය මෙම පටබැඳි නාමය භාවිතා කරන බව පෙනින. තරමක ලජ්ජාශීලී තරුණියක් වූ ක්‍රිස්ටල් චීන වැසියන්ට ආවේණික ලෙස පාද ළඟ ළඟම තබමින් වේගයෙන් නාන කාමරය හෝ කුස්සිය වෙත ඇවිද ගිය අතර සිය කටයුතු අහවර කළ වහාම කාමරයට වැද අතුරුදන් වූවා ය. ඉඳහිට මුහුණට හමුවන අපෙන් කෙනෙක් ඇයට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කළහොත් සියුම් මදහසකින් ප්‍රති උත්තර දෙන ඇය ඉක්මණින්, තවත් වචනයකට ඉඩ නොතබා පලා යන්නී ය. සරලවම කිවහොත් ක්‍රිස්ටල්ගේ කතා හැකියාව හා වචන නිකුත් කිරීමේ බලයද නිවෙස් හිමි ඇනී වෙත පවරාගෙන ඇති බවට සැකයක් මාවෙත නැඟිනි. නොඑසේනම් අර තරම් කුඩා ශරීරයක් හිමි ඇනී මෙතරම් වේගයකින් වචන විදින්නේ කෙසේ ද?

පවුලින් නැමති ප්‍රංශ තරුණිය සිටියේ ක්‍රිස්ටල්ගේ විරුද්ධ පාර්ශවයේ ය. නිරතුරුව නිවස ඝෝෂාවකට හරවන ඇය හැකි සෑම නිමේෂයකම පිරිමි පාර්ශවය සමග ගත කිරීම ප්‍රිය කළ බව දක්නට ලැබිණි. ප්‍රංශ සමාජයේ කාන්තාව පිළිබඳ අප සමාජයේ මුල් බැසගෙන ඇති, සත්‍යයක්ද හෝ මිත්‍යාවක් ද මා නොදන්නා අදහස තරමක් සනාථ කරමින් පවුලින් හිටි අඩියේම මගේ කර මතින් මෙන් කරණම් ගසා ආලින්ද කාමරයේ සෝපාවට ප්‍රවේශ වෙයි. ඉන්දීය පෙනුමැති මා වෙත එතරම් රුචියක් නොදැක්වූ ඇය ප්‍රංශ තරුණයින් දෙදෙනා සමගත්, බ්‍රසීල ජාතිකයා සමගත් දැඩි කුළුපග බවක් පෙන්වූවා ය. ඇය හැඳ සිටින ඇඳුම් අපේ අම්මා දුටුවහොත් කුමක් කියන්නට ඉඩ ඇතිදැයි මට අදහසක් නැත. කෙසේ නමුත් ඇය නිරතුරුව වැඩිපුර නිරාවරණය කළේ  ශරීරයේ පහළ අර්‍ධය යි. 

ශරීරය නිරාවරණය වන ඇඳුම් අඳින තරුණියන් ඕස්ට්‍රේලියාවේ සුලබ දසුනකි. ඉතා කෙටි කලිසම් හෝ සායවලින් සැරසී සිය කලවා සහ දෙපාවල සුන්දරත්වය නගරවාසීන් වෙත දැක්වීමට සිඩ්නි තරුණියෝ පසුබට නොවෙති. ඇතැම් විට දිගු සාය හෝ කලිසම් වලින් සැරසුණු තරුණියන්ගේ ඇඳුම් විනිවිද යමින් ඔවුනගේ යට ඇඳුම් වටපිටාවට හෙළි ‍කෙරෙන අවස්ථා ද වේ. 

“නිරුවතින් හිරුරැස් නාන එක එවැනි සංස්කෘතියක් තියෙන රටකට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒක අපේ සංස්කෘතියට හුරු නැති නිසා, දුරස්ථ නිසා මෙහෙට ඒක ප්‍රශ්නයක්“

පෙර දිනක යාටීවී වෙත අශෝක හඳගම දැක්වූ අදහසක් මගේ සිහියට එයි. අප රට තුළ අඩ නිරුවත ලෙස වෙන් කර දක්වන ඉහත කී ඇඳුම් ඇඳි තරුණියන් දැන් මටද සාමාන්‍ය වූ දසුනකි. හිටිවනම දිගු ඝණ ඇඳුමකින් සැරසුණු ඉන්දීය හෝ අරාබි තරුණියක් මහ මග දකින මට ඇගේ ස්වරෑපය පිළිබඳ සතුටක් ඇති වෙයි. අප සංස්කෘතිය අපට හුරු කර ඇත්තේ අඩ නිරුවත් තරුණියන් දැක සෘජුව තුටු වන්නට නොව දිගුවට ඇඳි ඇඳුමෙන් සැරසුණු යුවතියන්ගේ රුවගුණ මනසින් විඳින්නට ය. 

“අයියෝ සර්.... සර් එහෙම කොටට අඳින කෙල්ලො දිහා වැඩිය බලන්න එපෝ........“ 

ෆේස් බුක් සංවාදයකදී මෙම කරුණ අසා නර්මදා දුන්නේ එවන් පිළිතුරකි. දුරුරටක වෙසෙන සිය හිතවත් මිතුරා (ගුරුතුමා) මෙවැනි විප්‍රයෝග හමුවේ විනාශ වී යනු ඇතැයි යන විශ්වාසයක් ශ්‍රී ලංකාවේ වෙසෙන අය තුළ ඇතිවීම සාමාන්‍ය කරුණකි. නර්මදා යනු මා ශ්‍රී පාලියෙන් පිටවන විට දෙවන වසරට පිවිස සිටි ශිෂ්‍යාවකි. ඇයත් ඇගේ මිතුරියන් කැළත් ඉඳහිට ෆේස් බුක් අඩවියෙන් හෝ ස්කයිප් හරහා පිවිසෙමින් මගේ සුවදුක් විමසා බලති. මා රටින් පිට වන වග අසා වේදනාබරව කඳුළු සැලූ ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැන් පෙනෙන්නට නැත.

“කොහොමත් ළමයි කියන උන් විශ්වාස කරන්න එපා. උන් අවස්ථාවාදියි. වැඩ ටික කෙළවර වුණාම අපි උන්නද මළාද හොයන්නෙ නෑ. ඒ උන්ගෙ හැටි“

ආනන්ද සර් වරෙක ශිෂ්‍ය මිතුදම් පිළිබඳ දුන්නේ එවන් උපදෙසකි. එහෙත් විශ්ව විද්‍යාලයෙන් බැහැර ව ගොස් හිතවත්කමින් අප ගැන සොයා බලන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නැත්තේ නොවේ. අනෙත් අතට උපාධිය ලැබූ පසු ගොරතර සමාජ අරගලයට බසින ඔවුනට අප සිහි කරමින් සිටින්නට කාලයක් නොතිබෙන්නට ද පුළුවන. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වන අපට එක්වරම හමුවන නැවුම් සිසු කැළක් සමග වසර හතරක සබඳතාවක් ගොඩ නඟා ගැනුමට ලැබෙයි. ඇතැම් සිසු සිසුවියෝ සමාන හදැත්තන් ලෙස අපට ඉතා සමීප වෙති. පේරාදෙණියේදී මට හමුවූ දීපනී, සඳලි, රුවන්, මේනක වැන්නවුන්ද ශ්‍රී පාලියේදී හමුවූ චතුරංග, කලාබර (පට බැඳි නමකි), ජයරුවන්, රසාංගි, ප්‍රාර්ථනා වැන්නවුන්ද අයත් වන්නේ මෙම කාණ්ඩයට ය. මෙවැනි සිසු සිසුවියන්ගේ ජීවණ අරගල, පෙම් සබඳතා, පෙම් අරගල, මිතුරු ගැටුම් හා අඩ දබර අතරට මැදි වන්නට සමීපත්වය වැඩිවත්ම අපට සිදුවෙයි. පේරාදෙණියේ ගත කල ජීවිතයේදී මෙන් නොව නිවසින් දුරස්ථව ගෙවූ ශ්‍රී පාලී ජීවිතයේදී මාගේ සමීපතමයින් වූයේ මෙම ශිෂ්‍ය මිතුරන් ය. 

“සර් දන්නෙ නැහැ... මිහිරංග මුල් දවස්වල මාත් එක්ක යාළු‍වෙලයි හිටියෙ... දැන් එයා මාව මග අරිනව...  “

මා හමුවට පැමිණ කඳුළු සලන්නට ගත් සරලා විස්තර කරන්නට වූවා ය. හැඬීමෙන් රත් පැහැ වූ දෙනෙතත්, අපේක්ෂා භංගත්වය නිසා වේදනාවෙන් මිරිකුණු ඇගේ මුහුණත් මට අදද සිහිපත් කර ගැනීම අපහසු නැත. වේදනාව පිට කරනු වස් හඬා වැළපෙන්නට යත්න දරන්නකුට ඊට ඉඩ දීම යහපත් බැවින් මම නිහඬව ඇගේ කතාව අසා සිටියෙමි. 

“සර් හිතයි මට පිස්සු කියල.... එයා මුල ඉඳලම මට ලියපු සේරම කවි, ලියුම් මම පොතක අලවල තියෙන්නෙ...“

ඇය සිය ප්‍රේමය අවිහිංසක සතුටකින් විඳිමින් උන් බවට ඒ මනා සාක්ෂියක් වුව මම කිසිත් නොකීවෙමි.

“මම දන්නව කරන්න ඕන දේ! මම මේ පාර ගෙදරින් එනකොට ගෙනාව පිහියක්!!!!“

එක්වරම ඇසුණු වදනින් මම ත්‍රස්ත වී ගියෙමි. එහෙත් කලබල වූ බවක් පෙන්වීම ඇගේ තත්වය සමනය කිරීමට ඇති නිසි ප්‍රවේශය නොවේ. 

“ඒ කියන්නෙ ඔයා දැන් මිහිරංගට පිහියෙන් අනින්නයි යන්නෙ...?“

“නැහැ සර්... මට ඒක කීයටවත් කරන්න බැහැ. මම එයාට ආදරෙයි. මම කොහොමද ඒක කරන්නෙ?“

“එහෙනම්?“

“අපි දෙන්න ගැලපෙන්නෙ නැති බව කියපු කෙනා මම දන්නව... මම පිහියෙන් අනින්නෙ ඌට...!“

වේදනාව සමග පුපුරා හැළෙන වෛරයක සේයාවක් දැන් ඇගේ මුහුණින් කියවාගත හැකි ය. මම සෙමින් කතා කරන්නට පටන් ගත්තෙමි. 

“සරලා...මට ඔයාගෙ වේදනාව හොඳටම තේරෙනවා... ඒත් ඔයා කාටහරි පිහියෙන් ඇන්නම ආයෙ මිහිරංග ඔයා ළඟට එනවද? ඒක එහෙම වෙන එක හොඳටම විශ්වාස නම් ඒක කලාට කමක් නැහැ“

මගේ පළමු තර්කයෙන් මඳක් විශ්මයට පත්වූ සරලා කල්පනා කරන්නට වූවා ය. 

“ඔයාගෙ ප්‍රේම කතාව මාස කීපෙක එකක්. ඒත් අවුරුදු පහක ලව් ස්ටෝරි එකක් ඉවරකරල තමන්ගෙ ගර්ල් වෙන කෙනෙක්ව බැඳල රටින් පිට වෙලා යද්දි නිස්සද්දව ඒක දිහා බලා උන්නු කෙනෙක් මම දන්නව. එයාටත් තිබ්බ කාට හරි පිහියෙන් අනින්න. ඒත් මොනවද ලැබෙන්නෙ? ඒක තවත් අම්මෙක්ට වේදනාවක් හදල දෙන වැඩක් විතරයි නේද? ඔයා ටිකක් කල්පනා කරන්න තනියම... ළඟ තියාගෙන ඉන්නකොට පාවිච්චි කරන්න හිතෙනව නම් ඔයාගෙ පිහිය මට ගෙනත් දෙන්න“

සරලාගේ කඳුළු සෙමෙන් වියැකෙමින් තිබිණි. ඇය මොහොතක් කල්පනා කරමින් සිට ඒ මොහොතේ අනිවාර්යව තිබුණු ප්‍රශ්නය මා වෙත යොමු කළා ය. 

“කවුද සර් අර සර් දන්න කෙනා.. අවුරුදු පහකට පස්සෙ ගර්ල් දාල ගිය?“

“මම!!“

ජීවිතයේ නියත මොහොතවල් වලදී ඔබ කළ යුතු ප්‍රකාශ සත්‍යයද හෝ මිත්‍යාවද යන්න වැදගත් නොවේ. ඇතැම් විට ඒ සත්‍යය හා මිත්‍යාව එක්කොට ඔබම ගොඩනගන ප්‍රවාදයක් විය හැක. වඩා වැදගත් වන්නේ ඉන් ලබන ප්‍රතිඵලයයි. විරහ දුකින් පීඩිතව, තවකකු මරා දමන්නට වුව සැරසී මා අභියස සිටින සරලා සැබවින්ම දක්ෂ සිසුවියකි. ඇයගේ දිවි මග යළිත් පහන් කරදෙන්නට මා කරන ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව වැදගත් නොවන බව මට වැටහී ගොස් තිබිණි.

දිගු විරාමයකට පසු නිහඬව නැගිට ගිය සරලා යළි මා දකින්නට ආවේ නැත. කිසිදු පිහි ඇණුමක් සිදු නොවූ අතර මිහිරංග වෙත යළි පෙම් කවි හා ලිපි සරලා විසින් භාර දුන් බව මට ආරංචි විය. 

වසර දෙකකට පසු සරලාගේ කණ්ඩායමේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය නරඹා කණ්ඩායමට සුභ පතන මහ සෙනග මැද මමද සාමාජිකයෙක් වීමි. සැම නෙතට කඳුළු කැඳවූ ඒ විසල් නාටකයේ සරලා මනහර රංගනයක නිරත වූවා ය. සියළු සිසු සිසුවියන් අප වෙත පැමිණ අප හා කතා කළ අතර ඔවුනගේ විශිෂ්ටතා අගයන්නට අපට අවකාශ ලැබිණි. අවසාන නාට්‍ය කණ්ඩායම් සාමාජිකයාද පිටව ගියමුත් සරලා එහි නොවූ බව මට අවබෝධ විය. මම සෙමින් වේදිකාව පිටුපසට ඇවිද ගියෙමි. සිය චරිතය සඳහා ඇඟලාගත් ඇඳුමින්ම සැරසුණු සරලා තනිව, වේදිකාව කෙළවර බිමට නැඹුරු කරගත් මුහුණින් යුතුව රැඳී සිටියා ය. 

“සරලා... මොකද ඉස්සරහට ආවෙ නැත්තෙ... ඔයා හොඳට කැරැක්ටර් එක කළා... මයි කන්ග්‍රැජුලේෂන්ස්!“

සෙමින් හිස ඔසවා මා දෙස බැලූ ඇගේ නෙත් කෙවෙනි අග වූ කඳුළු කැට හඳුනාගන්නට මට අපහසු වූයේ නැත. එක්වරම මා පා මුල වැටී මට ආචාර කළ ඇය හඬන්නට වූවා ය. මම සෙමින් නැඹුරු වී ඇය නැගිටුවා ලීමි. කුඩා දැරියක මෙන් ඇය මා ළය මත හිස තබාගෙන දිගු වේලාවක් කඳුළු සැලුවා ය. 

“මට සමාවෙන්න සර්... හැමෝම එක්ක පේළියට ඇවිත් කතා කරල යන්න මට හිත් දුන්නෙ නැහැ. මේ චරිතෙ රඟපාන්න මම මේ කැම්පස් එකේ මේ විදියට ඉතුරු වුණේ සර් නිසා... එදා සර් මට කිව්ව වචන ටික මාව වෙනස් කළා සර්... මම සර්ට කතා කරන්න එන්න ඕන අනිත් අය එක්ක පෙළ ගැහිල නෙවෙයි කියල මට හිතුන....“


15 comments:

  1. ලිපිය කියෙව්වා

    ReplyDelete
  2. කතාවේ ආරම්භය නම් අගෙයි.පසු කොටස නම් තනිකර ආත්ම වර්ණනාවක් වීම නිසා කතාවේ රිද්මය බිඳ වැටී ඇත

    ReplyDelete
    Replies
    1. මං පත්තරේකට ලියන තීරු ලිපියක් ගැනත් කවුද මේ වගේ කතාවක් කිව්වා.
      නමුත් මෙවැනි ලිපි ලියන්නේ තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් නිසා තමන් ගැණ තමයි ලියවෙන්නේ.

      මෙය පිළිගත් ලිපි ලියන සම්ප්‍රදායක්. ලංකාවේ අම්බලන්ගොඩයා, හෙන්රි වර්ණකුලසූරිය සහ තවත් බොහෝ දෙනා ඉරිදා පත්තරවලට මෙවැනි ලිපි ලියනවා.

      Delete
  3. මටත් පේන්නේ කතා දෙකක් ගොඩ නැගී ඇතිබව. එකක් අර කොට ගවුම සහ දිග ගවුම. අනෙක ශිෂ්‍ය, ශිෂ්‍යාවන් ගැන. මාතෘකා දෙකම ලිපි දෙකක් උනත්, ලිවිය හැකි ඒවයි.

    ගවුමේ කොට , දිග ප්‍රශ්නය එන්නේ අපි එකිනෙකාගේ රටවල සංස්කෘතියේ හැටියට. බටහිර රටවල කාන්තාවක්, මූදු වෙරලෙදී අඳින නාන ඇඳුමෙහි වරදක් එයාලා දකින්නේ නැත්තේ, එහි වරදක් ඔවුන්හට නොපෙනන හන්දයි. ඒවගේම එහි පිරිමින් ඒ දිහා බලා ගෙන හිඳීමකුත් නෑ. ඔවුනුත් ඊට පුරුදු හන්දා. ලංකාවේ ලිඳක් ලඟ නාන ගැමි ගැහැනියකගේද, ඒ වගේම විනිවිද පෙනෙන ගතියක් හා සුන්දරත්වයක් දකින්ට පුලුවන්. අනෙක ගොවියෙක් අමුඩයක් ගසාගෙන ගිය පලියට එය වැරදි ලෙස අපේ සංස්කෘතිය පිලිගන්නේ නෑ. නිවසක් එල්ලා තිබෙන සීගිරි පින්තූරයක් දිහා බලන්ට. උඩු කය නිරුවත් කාන්තාවන් එහි දැකිය හැකි. ඒ වගේම සමහර නිවෙස්වල, මීට සමාන ලෝක ප්‍රසිද්ධ චිත්‍ර දැකිය හැකි. නිරුවත බලෙන් පෙන්නන්ට තනන කෙනාත්, ස්වාභාවිකව , එසේ කරන කෙනාත් අතර ඇත්තේ ලොකු පරතරයක්.

    වෙනස ඇත්තේ බලන ඇහේ.

    අනෙක් කතාව ගැන නම් හිතට මුකුත්ම ආවේ නැහැ.:)

    ReplyDelete
  4. මෙතන කතා දෙකක් තියෙන බවයි මටත් හිතුනේ. මං නං මේකෙන් කතන්දර දෙකහමාරක් විතරවත් ලියනවා.

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ කතාවේ කතා දහයක් තිබුනත්, ඒවා ගලාගන යනවා එක කතාවක් වගේ. මෙතන කැපී පෙනෙන වෙනසක් පේනවා. රසිකයන් එක කතාවක් කියවාගෙන යනකොට හිටපු ගමන් වෙන පැත්තකට ඇදලා දාන.

      කමෙන්ට්ස් වලට උත්තර දෙන්නේ නැති එක ගැන නම් මගේ මනාපයක් නෑ.:)

      Delete
  5. ප්‍රියන්ත මහත්තයට එයාගේ බ්ලොගේ ඕන දෙයක් ලියන්න පුළුවන්. ෆොන්සේකා කෙනෙක් කියලා හිරේ දාන්න උවමනා නැහැ... ;)

    ReplyDelete
  6. සැම දෙනාටම - බොහෝ දෙනෙක් කියන විදිහට මෙතන ගලා නොයන බවක් සහ කතා දෙකක ස්වරූපයක් තියෙන බවක් මටත් පෙනෙන්න ගත්තා. හැම රචනයකදිම අඩු වැඩි වශයෙන් මම උත්සාහ කරපු දෙයක් තමයි වර්තමාන සිද්ධියේ සිදුවීමක් හරහා අතීත ස්මරණයකට යන්න. නමුත් මෙතනදි ඒක හරියට වෙන්නෙ නෑ. ඔබ හරි. ඉදිරි ලේඛණවලදි හැකි පමණ ඒ තත්වය වළක්වගන්න උත්සාහ කරන්නම්.

    කමෙන්ට්ස්වලට උත්තර ලිවීම ගැන: මගේ ලේඛණවලට ඔබ දමන කමෙන්ට් එකකට ඇතැම් වෙලාවක උත්තරයක් තිබ්බ නම් හොඳයි කියල හිතෙන්න පුළුවන්. මමත් පිළිගන්නවා. ඒත් මට දැනෙන දෙයක් තමයි ලියන්නා හැටියට ඇගයීම්වලින් පොඩි උද්දාමයක් එනකොට ඒවට ස්තුති කරන්නත්, වැරදි කියන්න ගත්තම ඒවට කේන්ති ගිහිල්ල රණ්ඩු වෙන්න ගන්නත් අපි ලේසියෙන් පෙළඹෙනව කියන එක. මම කියන දේ කියල ඉවර නිසා ආයෙ ඇවිත් පහදල දෙන්න දෙයක් නෑ කියලයි මට හිතෙන්නෙ. මම පශ්චාත් නූතනවාදියෙක් නොවුණත් කෘතිය ආවට පස්සෙ කතුවරයා මළාය කියන අදහසට පොඩ්ඩක් කැමතියි. ඒත් අවශ්‍යම වෙලාවක (මේ වගේ) මොනව හරි කියන්න හිතෙයි.

    අනිත් කාරණේ කතන්දර වරෙක කිව්ව වගේ මගේ අධ්‍යාපන වැඩ හින්දත් ටිකක් වෙලාව හොයාගන්න අමාරු වෙනව. (ඉස්සරහට වෙයි. දැනට නම් ඒක කයිවාරුවක්!!)

    කොහොම වුණත්, පෝස්ට් එකේ දුර්වලතා තිබ්බත් ඉහත සිද්ධි බොරු නෙවෙයි.

    ReplyDelete
  7. කියෙව්වා . මෙතැනදී ප්‍රියන්ත වෙනුවට අනෙක් අය උත්තර බඳින්නේ ඇයිද මන්ද . අපේ ලොකු දුව වෙනුවෙන් මන් කතාකරනවා වගේ මට දැනෙන්නේ . ලියවිලි ලස්සනයි . ලියන රටාවේ වුනත් පරිනත බවක් තියෙනවා . ලියුවට පස්සේ ලේඛකයා මලා වගේ වෙන්නේ මුද්‍රිත මාධ්‍යයේ . සයිබර් අවකාශය ටිකක් වෙනස් නේද . එතන වෙන්නේ සජීව සංවාදයක් . අපිට නොපෙනෙන දෙයක් කෙනෙක් මතු කලහම අපි ඒගැන හිතන විදිහ ප්‍රකාශ කරන මාධ්‍යක් . ඒත් ප්‍රියන්තට වෙලාව නැත්නම් ඒක වෙනම දෙයක් .අනෙක් වැඩ තමයි මුලික විය යුත්තේ . මේවා නිකම් වැඩක් නැති වෙලාවට කරන දේවල් නිසා .
    එහෙම නැතුව කමෙන්ට් වලට උත්තර නොදෙන්නේ ''මට කවුරු මොනවා හිතුවත් වැඩක් නැහැ . මන් ලියන දේ මන් ලියන්නේ'' යන ආකල්පයෙන් නම් කමෙන්ට් කිරීමේ අවස්ශ්‍යතවයකුත් නැති බවයි මගේ අදහස . අපි කියවා නිකන් ඉන්නද ? අදහසක් ප්‍රකාශ කිරීම ඔබට වැදගත්ද [ උත්තර ලිවිම ගැන නොවේ මන් මේ කියන්නේ ]
    පැහැදිලි පිළිතුරක් දෙනවා නම් කැමතියි

    ReplyDelete
    Replies
    1. අදහස් ඉතාම අත්‍යවශ්‍යයි! සියලුම ප්‍රකාශයන් අගය කරනවා...

      Delete
  8. කොට ඇඳුම් ..මාත් දැක්ක පර්ත් වලදී ..අපි ගියේ රස්නේ කාලේ . මෙහෙත් කොටට අඳිනවා . ඇඟපත පොඩි වුන් හින්දා ලොකුවට අවුලක් නැහැ . අපේ රටේ ඇඟ පේන්න අඳින එක සුදුසු නැත්තේ දකුණු ආසියාවේ ගැහැණු ටිකක් පුෂ්ටිමත් නිසා කියලයි මන් හිතන්නේ . අපේ වගේම විශාල ශරීර කුඩු තියන වෙන රටවල අය වුනත් එහෙම ඇන්දම දැනෙන්නේ ජුගුප්සාජනක බවක් . කොහොම වුනත් තම තමන්ගේ කැමැත්ත . අපේ රටේ ඉතින් ඕනවට වඩාත් හිනා වෙනවනේ . සාමාන්‍යයෙන් ඇඳලා ගියත් බලන්නේ කොහෙන් හරි පේනවද කියලයි . ඒක නම් කැත හිත . ඕනවට වඩා විවුර්ත වුනා කියල බටහිර ප්‍රශ්න අඩුත් නැහැ .ඉස්කෝලේ කාලෙම වෙන්න ඕන සේරම වෙලා ජීවිතය අඳුරු කරගන්න අය ඕනෑතරම් ඒ රටවලත් . එකම දේ ආයේ ඕන නම් ජීවිතය ගොඩ නගාගන්න සමාජයෙන් ලොකුවට බලපෑමක් නැහැ . හොඳටම වහන් හිටියා කියල අපිට ප්‍රශ්න අඩුත් නැහැ . නීති විරෝධී ගබ්සා ඕන තරම් වෙනවා . ගුරුවරු දරුවෝ විනාශ කරනවා . තාත්තල අතින් දුල විනාශ වෙනවා . කොයි සිස්ටම් ඒක හරිද දන්නේ දෙය්යෝ තමයි '
    ඔබේ දෙවෙනි කතාව ...සිසුන්ගේ ආදරය දිනා ගන්න ලැබීම ඔබේ වාසනාවක්

    ReplyDelete
  9. බ්ලොග් වල හිට් ,කමෙන්ට් ගාන ,පෝස්ට් පනහ , සීය ,හාරසීය සම්පූර්ණය ,වර්ෂපූර්ණය වගේ දේවල් සමරන යුගයක අහන්න දෙයක් නෑ මේක කියවන උදවිය හැම කමෙන්ට් එකකටම පිලිතුරු බලා පොරොත්තු වීම .ඒත් මාත් හිතනවා එහෙම කිරීම අත්‍යවශ්‍ය නෑ ,එසේ පිලිතුරු දීම අවශ්‍ය අවස්ථා ගැන බ්ලොග් රචකයා තීරණය කරාවි .අනික මේ ප්‍රියන්තගේ නිර්මාණාත්මක දින සටහන් සිතුවිලි .ඒ තුල ඔහුට පුලුවනි පුද්ගලිකත්වයක් ගැබ් කරන්න ,ඒකට අනික් අය මොකට කල බල වෙනවද ?

    මේකේ කතා දෙකක් ඒ අතර සම්බන්ධයක් නෑ වගේ දේවල් ලියවිලා තිබුණා .මම නම් දැක්කා එක්තරා විදියක සම්බන්ධයක් මේ දිග හා කොට ගවුම් අඳිනයුවතියන් දෙන්නා අතර ( ප්‍රංශ යුවතිය හා ලංකාවේ යුවතිය ) .මේ දෙන්නා ගේ එක්ස්පොෂර් එක වෙනස් ,සමාජ ගතවීම වෙනස් , මැචුවර් වීම වෙනස් .ඒ තුල ඔවුන් ජීවිතය දිහා බැලීම , විඳීම වෙනස් වෙනවා ප්‍රංශ යුවතිය බොහෝ තරුණයන් හා කුලුපගවෙනවා ඇති නමුත් ඈ ලංකාවේ යුවතියගේ තත්වයට ගිහින් පිහියකින් ඇනන් මැරෙන්න නොහිතනවා ඇති ඒ වගේම අපෙ යුවතියට එසේ බොහෝ තරුණයක් හා කුලු පග වීම නුහුරු කරුණක් .ගැණු ජීව විද්‍යාත්මකව එක වගේ වුනාට එයාලා හොමෝ ජීනියස් නෑ නේ මම නම් මේ කතාවේ දකින්නේ ලෝකයේ කොන් දෙකක ඉන්න ගෑනු ලමයින්ගේ වෙනස හා තවත් තරුණ පිරිමි කෙනෙක් එය දකින විදිය .

    බ්ලොග් වල ඉතාම අවර ගනයේ අසැබි කතා , සමාජ ප්‍රශ්න ගැන කිසිම විදියක ෆැක්ට්ස් නැතිව ඉමෝශනල් කතා ,අනික් ආගම ජාතීන්ට අපහාස කතා විතරක් නෙවේ කමෙන්ට් කරන අයටත් අපහාස කතා කියවෙන කාලෙක ප්‍රියන්තටත් එයා කැමති විදියකට ලියන්න අයිතිය තියේ .ඒකට එකඟ නැත්නම් නොකියවා ඉන්න අනික් අයට පුලුවනි .

    ReplyDelete
    Replies
    1. ///මේකේ කතා දෙකක් ඒ අතර සම්බන්ධයක් නෑ වගේ දේවල් ලියවිලා තිබුණා .මම නම් දැක්කා එක්තරා විදියක සම්බන්ධයක් මේ දිග හා කොට ගවුම් අඳිනයුවතියන් දෙන්නා අතර//

      කතා කරන්නේ ඒ කතා දෙක ගැන නෙමෙයි ටීජී. ඒ ගැනයි, ඊට පස්සේ එන ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ ගැන ලියන තියන කතාවයි අතර. ප්‍රියන්තටත් දැන් එහෙම පේනවලුනේ. :)

      //අනික මේ ප්‍රියන්තගේ නිර්මාණාත්මක දින සටහන් සිතුවිලි .ඒ තුල ඔහුට පුලුවනි පුද්ගලිකත්වයක් ගැබ් කරන්න ,ඒකට අනික් අය මොකට කල බල වෙනවද ?//

      පුද්ගලිකත්වය රැකගන්ට දින පොතකුත් ලියන්ට තිබුනා නේද? බ්ලොග් එකක් කරන්නේ අදහස් බෙදා හදාගන්ටනේ. එයා කියලත් තියනවනේ කමෙන්ට්ස් අත්‍යාවශ‍යි කියලා. ඉතින් කමෙන්ට්ස් ලියන අයත් පිලිතුරු වලට කැමතියි කීවොත් ඒකේ වැරැද්දක් කියන්ටත් බෑ. ගොඩාක් බ්ලොග් කියවන අය හරි බිසි උදවිය. සමහරු ඉතින් මේවා කියවන්නේ ලෝකේ වටේ යනගමන්.

      //ප්‍රියන්තටත් එයා කැමති විදියකට ලියන්න අයිතිය තියේ .ඒකට එකඟ නැත්නම් නොකියවා ඉන්න අනික් අයට පුලුවනි .//

      මේ ටිකම තමා මටත් මේ දැන් හිතට ආවේ. :D:D:D

      Delete
  10. /ජීවිතයේ නියත මොහොතවල් වලදී ඔබ කළ යුතු ප්‍රකාශ සත්‍යයද හෝ මිත්‍යාවද යන්න වැදගත් නොවේ. ඇතැම් විට ඒ සත්‍යය හා මිත්‍යාව එක්කොට ඔබම ගොඩනගන ප්‍රවාදයක් විය හැක. වඩා වැදගත් වන්නේ ඉන් ලබන ප්‍රතිඵලයයි./
    අත්දුටුවයි සත්තයි!!!

    ප්‍රියන්ත අයියගෙ මේ කතාවෙ මට වැදගත්ම දේ මෙච්චරයි!!

    ReplyDelete
  11. තව ටිකක් ආවේගශීලී නොවී උපේක්ෂාවෙන් හිතුවනම් මේ කමෙන්ට්ස් ලියන එක වගේම ඊට පිළිතුරු දෙන එක ගැනත් මේ ප්‍රශ්නෙ ඒ හැටි දුරදිග යන එකක් නෑ.කලා නිර්මාණයක් බිහිකල විගස නිර්මාපකයා මියයයි කියන සිද්ධාන්තයෙ ගත යුත්තකුත් තියනව. ඒත් ඒ කතාව බොහෝවිට අදාල වෙන්නෙ පොතක් පලකල එහෙම නැත්නම් පත්තරේක ලිපියක්, කතාවක් පළකල ලේඛකයෙකුට.ඒත් එහෙම උදවියත් පොත් පිටකරල ඒ ගැන සම්මන්ත්‍රණ තියනව, පාඨකයොත් එක්ක අදහස් හුවමාරු කරගන්ට....ඒ තත්වය නිර්මාණයකට වැදගත් කියලයි මම හිතන්නෙ....නිර්මාණයක් නම් එය විඳින පුද්ගලයෙක් ඉන්නම ඕන.

    විඳින්නන්ගෙන් ප්‍රතිචාර එසැණින්ම ලබාගන්ට වියුණු අවකාශයෙ අවස්ථාව ලබා දීල තියනව අපි හැමෝටම. ඒත් ඒ ප්‍රතිචාර වලට නැවත පිළිතුරු ලියනවද කියන එක තනිකරම රචකයගෙ තීරණයක්.

    ඒ වගේම ප්‍රතිචාරයකට පිළිතුරක් බලාපොරොත්තු වෙන එකත් සාමාන්‍ය දෙයක්...ස්තුතියි කියල කවුරු අපිට කියනවට අපි හැමෝම කැමතියි.

    එතකොට රචකය එහෙම කරන්නෙ නැත්නම් ඒකට අකමැති උදවිය කියවන්නෙ නැතුව ඉඳියි, එච්චරයි.එහෙම නැත්නම් කියවලා කමෙන්ට් නොකර ඉඳියි.එච්චරයි.

    කතා දෙකේ කතාව ගැන කියනව නම් මට කිසිම විදිහකින් එහෙම දෙයක් පෙනෙන්නේ නම් නැත. ගලායාමෙහිද අවුලක් නැත.

    එහෙත් රචකයාම එවන් තත්වයක් ගැන පවසයි. සමහරවිට පාඨකයන්ගේ අදහස් හා එකහෙලා විරුද්ධ වීම නොකලයුත්තක් ලෙස ඔහු සිතනවා විය හැක.

    ReplyDelete