Saturday, May 19, 2012

පොත් මේස සහ අල්මාරි...


(2012 මාර්තු මස 11 වැනිදා)

රීජන්ට් වීදියේ නිවහන බහු සංස්කෘතික, බහුජාතික, බහු ආගමික ආදී මෙකී නොකී සියලු විශේෂණ වලින් හැඳින්විය හැකි ස්ථානයකි. මගේ කාමරයේ ජපන් ජාතික තරුණයෙක් සහ ප්‍රංශ ජාතික තරුණයෙක් නවාතැන් ගෙන සිටිති. අනෙක් පස තරමක් විශාල තට්ටු ඇඳන් දෙකක් සහිත කාමරයේ ප්‍රංශයෙක් හා කොරියානුවෙක් ද, බ්‍රසීල ජාතිකයෙක් ද වෙති. පිවිසුම් දොරටුව අසළින්ම ඇතුළු වන කාමරයේ ලැගුම් ගෙන උන්නේ ප්‍රංශ හා චීන ජාතික තරුණියන් දෙදෙනෙකි.

මේසය මත පරිගණකය තැබූ විට...
වර්ග අඩි සියයක පමණ කාමර වපසරිය තුළ ජපන් හා ප්‍රංශ කාමර සගයින් දෙදෙනා සමග මමද බඩු මුට්ටු තැන්පත් කළෙමි. මගේම යැයි අයිතිවාසිකම් කීමට කාමරය තුළ වූයේ තනි ඇඳක්, පුටුවක් සහ ස්ටූලයකට වඩා තරමක් විශාල මේසයක් පමණි. (ඉතා ඉක්මණින් ඇඳුම් රාක්කයක් ගෙනවිත් දීමට ඇනී පොරොන්දු වූවා ය.) මේසය මත පරිගණකය තැබූ විට පොත්පත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය ඇඳ මත තැබීමට සිදුවේ. යමක් ලියන්නේ නම් පරිගණකය ඇඳට යවා පොත් පත් මේසයට කැඳවිය යුතු ය. මඳක් අසීරු වුවත් පරිගණකයේම ලිවීම හුරුවීම මැනවැයි සිතෙන්නට ගත්තේ මේ සීරුමාරුව මහත් අපහසුවක් ඇති කළ බැවිනි. 

පාසැල් අවදියේ  කටුගස්තොට මහගෙදර වෙසෙද්දී මටත්, මල්ලීටත් වෙන් වශයෙන් පොත් මේස ලබා දී තිබිණි. මෙකල මෙන් පාසැල් දරුවන්ටමැයි වෙන් කළ මේස නොතිබුණු එදවස අපට ලැබුණු මේස විවිධ අරමුණු වෙනුවෙන් කලින් කල භාවිතා කළ ඒවා විය. මමත්, මල්ලීත් නව පාසැල් වාරයක් ඇරඹෙද්දී දිනයක දෙකක දිගු කාලයක් වැය කොට මෙම මේස අස් කරන්නට ගනිමු. චූටි බාප්පාගේ, එනම් තාත්තිගේ බාලම සහෝදරයාගේ සහ අයියාගේ නිරන්තර උපහාසයට ලක්වන මෙම ඇහිරිල්ල අපට නම් මහත් සතුටුදායක වැඩකි. විවිධාකාරයේ පොතපත සඳහා විවිධ ලේබල අලවමින්, වර්ග කරමින් මල්ලී කරන ඇහිරීම හැඳින්වීමට චූටි බාප්පාගේ ශබ්ද කෝෂයේ වූ වචනය වූයේ ‘පොත් අතුරනවා‘යන්නයි. විවිධ මාතෘකා යටතට මල්ලී විසින්ම වෙන් කරනු ලබන පොත් විශාල ඇඳන් මත අතුරා තැබීම නිසා ඔහු ඊට මෙම නම ලබා දී තිබිණි.

“ අදත් පොත් අතුරන්නද යන්නෙ?“

මල්ලී පොත් මේසයට අත තබන විට සිනාසෙන චූටි බාප්පා අසයි.

අප දෙදෙනාට වඩා වයසින් වැඩි තරුණයන් දෙපළක් වූ අයියාට සහ චූටි බාප්පාට වෙන් වූ කාමර නිවසේ තිබිණි. සැමවිටම නිවසේ ඉදිරිපස කාමරයේ පදිංචි වූයේ වැඩිමහලු ම තරුණ තනිකඩයා ය. මා ඉතා කුඩා අවදියේ එම කාමරයේ විසූ ජයේ බාප්පා, රැකියාව හා විවාහය සමග කොළඹට යද්දී ඒ කාමරය චූටි බාප්පාට හිමි වූ අතර ඔහුද උසස් අධ්‍යාපන පාඨමාලාවෙන් පසු නිවසින් බැහැර වද්දී එහි උරුමයට හිමිකම් කීවේ අයියා ය. උපාධිය ලැබ, රැකියාවක් ලබා, විවාපත්ව ඔහුද නිවසින් පිටවද්දී මාහට කාමරය උරුම වුවත්, කුඩා අවදියේ නිවසේ දැනුම් කේන්ද්‍රස්ථානය ස්වපාලනයට නතු වීම මට බලාපොරොත්තු සතුට ළඟා කළේ නැත. උදාරම් ලෙස කාමරයේ ජනේලයට පය තබාගෙන ‘ලෙනින්ගේ තෝරාගත් කෘති‘ කියවූ චූටි බාප්පා, සිය මේසය අසළ පුටුවේ වාඩි වී තමා හමුවට එන සගයින් සමග දේශපාලනය කතා කරන අයියා නොමැති පාළු කාමරය මාවෙත ගෙන ආවේ සියුම් වේදනාවකි. 

තරමක කුඩා අවදියේ සිටම ස්ව පාලනයට අයිති නොමැති වුවද මෙම ඉදිරිපස කාමරය මගේ කෝශ්ඨාගාරය විය. ලෙනින් හා මාක්ස්ගේ විවිධාකාර දේශපාලනික කෘති, විද්‍යා පොත්, චරිත කතා, නාට්‍ය හා සිනමා ග්‍රන්ථවලින් පිරී තිබුණු එහි පොත් අතරින් මාගේ ආකර්ශණය වැඩි වශයෙන් දිනාගත්තේ නව කථා හා කෙටි කතා එකතුවයි. විශාල පොත් ප්‍රමාණයක් නොවූවද ඒ හා අතර සැරීම නිසාම හයවන, හත්වන පන්තිවලට එන විටම මම මාර්ටින් වික්‍රමසිංහ, කේ.ජයතිලක, මක්සිම් ගෝර්කි හා ඇන්ටන් චෙකොෆ් ඇතුළු දේශීය හා විදේශීය රචකයින් රාශියකගේ කෘති ඇසුරට වරම් ලද්දෙක් විය.

හය වන පන්තියේ දීම මා වික්‍රමසිංහයන්ගේ කෘති ඇසුරු කර තිබීම පාසැලේ පුස්තකාලය භාර ගුරුතුමාගේ කේන්තිය ඇවිස්සූ කරුණක් විය. සතියකට වරක් පැමිණෙන පුස්තකාල කාල ඡේදය එළඹෙත්ම විද්‍යාර්ථයේ එවකට වූ විදුහල්පති කාර්යාල ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි පුස්තකාලය වෙත 6 වසර ඒ පන්තියේ මිතුරු පිරිසත් සමග මම ද පිය නගමි. දැවැන්ත මේස කිහිපයක් හා යතුරු දමා ආරක්ෂා කර ඇති පොත් අල්මාරි පෙළක් අතර මහත් බලසම්පන්න පුස්තකාල ගුරුතුමා අපට හමුවෙයි. පිටතින් අණ්ඩ දමා ඇති ඉරී ගිය කලිස‍මෙන් සැරසී, වැලමිටෙහි තුවාලය චීත්ත රෙදිපටකින් ගැට ගසා, නොකැපූ අවුල් ව ගිය කෙස් වැටියකින් යුතුව සිටින අද්භූත පෙනුමැති ගුරුතුමා හමුවේ අපේ පන්ති සගයෝ නිහඬව අසුන් සොයා ඇදෙති. සියල්ලෝම වාඩි වූ විගස ළමා කතන්දර පොත් මිටියක් අතට ගන්නා ගුරුතුමා අධික වේගයකින් ඒ අප වෙත බෙදාහරින්නේ විධාන ස්වරූපයකින් ආඥාව නිකුත් කරමිනි.

“හ්ම්! දැන් කියවනවා!!“

අතට ආ පොත පෙර දිනයේ ලද කෘතිය වුවද දැන් කරන්නට දෙයක් ඇත්තේ නැත. ඔහුගේ විධානය අපේ ඇඟ සලිත කරවන්නකි. පෙර දිනයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම් පෙරළිය කියවමින් සිට එහි අවසානය දැකීමට නිවසට යාමේ ආශාවෙන් සිටින මාහට යතුරු දැමූ අල්මාරි අතර ඇති තවත් ගම් පෙරළිය පිටපතක් පෙනේ. විධානය දී අප පුටුවලට අලවා දැමූ පුස්තකාල ගුරුතුමා පෙනෙන්නට නැත. මම සෙමින් අල්මාරිය වෙත යමි. අප නිවසේ ඉදිරි කාමරයේ පොත් එකතුවේ හමුව මා කියවා නිම කළ නව කථා කිහිපයක් ද, ගම් පෙරළිය ග්‍රන්ථයද සමග පෙර නොදුටු පොත් රාශියක් ඒ තුළ ලා ඉබි යතුරු දමා තිබිණි.

“මොනවද තමුසෙ හොයන්නේ?“ පුස්තකාල ගුරුතුමාගේ කෝපය මුසු හඬත් සමග මම ආසනය මතට අහසින් මෙන් පතිත වුණෙමි.

“ඉස්සෙල්ල දුන්න එක කියවලා ඉන්නවා.... පණ්ඩිතයා වෙන්න හදන්නෙ නැතුව!“

පන්තියේ මිතුරෝ සිදුවීමෙන් කුල්මත්ව මා දෙස හොරැහින් බලා සිනා නඟති. සිය වැලමිටේ තුවාලය වැසෙන පරිදි යළි පටිය ගැට ගසාගන්නා අතර ගුරුතුමා අපට අවවාදාත්මක වදන් පෙළක් ගෙන එයි.

“කබඩ්වල ලොක් කරල තියෙන පොත් ලොකු ළමයින්ට... මම තමුසෙලට දුන්නෙ 6 පන්තියේ අයට ගැලපෙන ඒව. ඕව කියවල ලොකු වෙලා එනවා. මම තමුසෙලට ඒව ඇරල දෙන්නම්“

8 comments:

  1. අකුරු ලොකු කලොත් වයසක අපිට කියවන්ට පහසු වෙයි

    ReplyDelete
    Replies
    1. ඊ මේල් කවියාMay 19, 2012 at 2:30 PM

      බ්‍රවුසර් එකේ control සමග + ලකුණ ඔබාගෙන අකුරු ලොකු කරගන්ඩ නැන්දේ. අපිට නං මේ සයිස් එක ඇති.

      Delete
    2. එහෙම තමා මේක කියෝගත්තෙ

      Delete
  2. ඒ පේන මේසේ නම් මදි වගේ නේද... :)
    ඔයාගේ යුනි එකේ නවාතැන් පහසුකම් නැද්ද? On campus නවතින්න පුළුවන් නම් හරිම පහසුයි වැඩ වලට. විශේෂයෙන් පස්චාත් උපාධි කරද්දී රෑ එක දෙක වෙනකම් වැඩ කරන්න වෙන කොට! අනිත් එක ඉතින් ළමයි ගොඩක් එක්ක ඉන්නත් ලැබෙන නිසා පාලුත් නැහැ.

    ReplyDelete
  3. මේසේ නම් හරිම චූටියි. ඒත් එතන ඉඳන් ලියැවෙන ඒවා නම් රසවත්. ලොකු මේසයක් ගමු නේද? :D:D:D

    ReplyDelete
  4. පුස්තකාලෙ සිද්ධිය නම් හැමෝටම එකම අත්දැකීමද කොහෙද?
    ඔය ලොක් කරලා තියන කබඩ් වල ඒවා කවදාවත් එළියට එන්නෑ..මොකද ලොකු පන්තිවල අය පුස්තකාලෙ යන්නෙ අඩුවෙන් නිසා..

    ReplyDelete
  5. මට මගේ තාත්තව මතක් වුණා... පේරාදෙණියෙ ස්වර්ණමය යුගයේ ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් වුණු ඔහුගේ පොත් ගුලට මා අත තැබුවෙ පහ වසරටත් කලින්....
    ඉස්සෙල්ලාම වතාවෙ තාත්ත පොත්ගුලෙන් පොත් කීපයක් තොරල දුන්න නං තමයි.. ඒව එක හුස්මට කියවල ඉවර කරන වේගෙට මට කියවන්ඩ ගැලපෙන පොත් තෝරල දෙන්ඩ තාත්තට පුලුවං කමක් තිබුණෙත් නෑ ... එහෙම වයසට ගැලපෙන පොත් ඒ හැටි තියෙන්ඩත් නෑ......අන්තිමට මම කල්ලන්දූවේ මුතු කොල්ලය, අපේ ගම, මඩොල්දූව අස්සෙ දාගෙන තාත්තගෙ පොත්ගුලේ තිබුණු ඩීමන් ආනන්දගෙ භයානක කතා, කරුමක්කාරයො, අනුරතියෙන් ආදරයට වගේ පොඩි එකියක් අත තියන්ඩ තියා හිතන්ඩවත් යන්නෙ නැති පොත් ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම හොරෙන් අරන් කියවන්ඩ පටන් ගත්තම තාත්ත මට තහංචි දාන්ඩ ආවෙ නෑ.... මං යන අත එයාට තේරෙන්ඩ ඇතිනෙ ඒ කාලෙම හැබැයි දරුණුම ගණයේ පොත් නං හංගල තිබුණ කියල තේරුණේ පස්සෙ කාලෙක ඒව පොත් ගුලේ මුල්ලක තිබිල හම්බ වුණාම....

    මේකි හන්ද කොල්ලව හදාගන්ඩත් බැරි වෙනව...
    එහෙම කිව්වෙත් මගෙත් එක්ක තරහෙන් නෙවෙයි... මං කියවන හැම එකක්ම මලයත් මගෙ පස්සෙං වැටිල කියවන්ඩ පටන්ගත්තාම තමයි
    අපි හැමෝගෙම ලස්සන මතකයන් අවදිකරවන ලිපියක්!!!!

    මමත් ඇඳ උඩ වැතිරිලා පරිගණකයේ ලියන චිත්‍රපට බලන කෙනෙක්!!!.
    පුරුදු වුණාම මේසයක්ම ඕනෙ වෙන එකක් නෑ පරිගණකයට නං...
    හැබැයි මට නං පාඩං නොකලත් ලොකු මේසයක් ඕනෙ...

    ReplyDelete
  6. හොඳට පොත පත කියවූවෙක් බව පැහැදිලියි; හොඳ ලේඛකයෙක් වීමෙන්ම...සුබ පැතුම්...දිගටම ලියන්න.

    ReplyDelete