Sunday, September 17, 2017

කාලය නතර විය!


(2012 ජූනි 29 වැනිදා)

සිදුව ඇත්තේ කුමක්දැයි මා කිසිවක් නිශ්චය කර නොගත් බව එක්වරම හැඟී ගියේ සෙමින් පෙරට ඇදෙමින් තිබුණු බස් රථය රත් පැහැගත් ආලෝක සංඥා පුවරුවක් අභියස තිරිංගය තද කළ විගසම ය. රංග නිහඬ ය. ඔහු එකිනෙක බැගින් පසුපසට ඇදී යන උසැති ගොඩනැගිලි දෙසම නෙත් යොමු කොට සිටියි.

“ඔයා එද්දි තාත්ත එහෙම එච්චර අසනීපෙකින් හිටියෙ නෑනෙ.... නේද?“ ජයසේකර මහතාගේ පැනය යළිත් මසිත තුළ නැගී නින්නාද දෙයි. කරදරයක්! තාත්තිට...? එහෙත් මා නිවසින් පිටවන මොහොත වන විටත් අසනීප තත්වයක සිටියේ අම්මා මිස තාත්ති නොවේ. ඔහු ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් යුතුව අප ගැන සොයා බැලුවේ ය.

 ජයසේකර මහතා තාත්ති ගැන කී නමුත් ඇත්තටම කරදරයක් නම් ඒ අම්මාට ද? සිත තුළ නැගෙන දැඩි බරැති බව තත්පරයෙන් තත්පරය වඩාත් උග්‍ර‍ව නැගී හිස මත බරැති යමක් තබා ඇති හැඟීමක් මවෙත නිර්මාණය කර දෙමින් තිබිණ. මම හරීන්ට දුරකථන ඇමතුමක් දීමට තීරණය කළෙමි.

හරීන් මගේ පාසැල් චෙස් මිතුරෙකි. වයසින් මගේ බාල සොයුරුගේ පන්තියේ වූ නමුත් පසුකාලීනව අපි සමවයස් මිතුරන් සේ බොහෝ සහෘද අඩවිවල දී මුණගැසුණෙමු. මා සිඩ්නිය කරා එන සමය වන විට භාෂා විශාරදයකු බවට පත්ව සිටි ඔහු යුරෝපීය භාෂා කිහිපයක්ම අතැඹුලක් සේ දැන උන්නේ ය. මගේ සිඩ්නි විශ්වවිද්‍යාල පර්යේෂණ යෝජනාව වඩාත් සුරුවම් කොට ඉදිරිපත් කරන්නට මග පෙන්වූ කිහිප දෙනා අතර ඔහු ද විය.

රංග හරීන්ගේ ගජ මිතුරෙකි. ලංකාවේ පණිවුඩය සිඩ්නි කොන්සල් කාර්යාලයට අයියා විසින් එවද්දී මාගේ තනි නොතනියට රංග එවන්නට කටයුතු සළස්වන්නට ඇත්තේ හරීන් ය. නිහඬව පිටතට නෙත් යොමාගෙන යන රංග විමසන්නට ශක්තියක් මට නොදැනෙන්නේ ඇයි? යම් විටක ඔහු සියල්ල සෘජුව මාවෙත ඉදිරිපත් කළහොත් මට එය දරාගන්නට නොහැකිවනු ඇතැයි යන සැකය මසිත පතුලෙහි ඇති නිසා ද? නොඑසේනම්, ඔහු කිසිවක් නොකියා සිටින්නට තීරණය කළහොත් එය ද යළි හිස මත වන බර දෙගුණ කරවනු ඇති නිසා ද? මම හරීන්ගේ දුරකථන අංකය ඇමතුවෙමි.

“මොකක්ද වෙලා තියෙන්නෙ?“

මම හරීන්ගෙන් ඇසුවෙමි. නිතර සැහැල්ලුවෙන් පිළිතුරු දෙන ඔහු මොහොතකට ගොළු වූ බව මට හැගිණි.

“මොකක්ද දැන් කොන්සල් එකෙන් කිව්වෙ?“

මම එතැනින් පිටව එන බව ඔහු ඇමතූ පළමු වාක්‍යය තුළ දී කීවෙමි. ඔහුට පැනයකින්ම පිළිතුරක් දෙන්නට ඒ වැකිය ප්‍ර‍මාණවත් වී තිබිණ.

“හරියටම මුකුත් නෑ“

“මමත් හරියට දන්නෙ නෑ අයිය. ඔයාගෙ අයිය කිව්ව ටික තමයි දන්නෙ. අයියට කතා කරන්නකො ඉතින්.“

ඔහු බිහිසුණු පුවතක් ස්ථිර කිරීමේ අවස්ථාව මගහැරගත් බව මට වැටහිණි. එහෙත් ඔහු කී ලෙස අයියා අමතන්නට මගේ සිත අවසර නොදෙයි. යම් අයුරකින් ඒ තාත්ති වුවත් නැතත් ඔහු මුහුණ දෙන අසීරුව මට වටහාගත හැක. නැන්දාත්, රත්නපුර බාප්පාත් යන දෙදෙනාම මියගිය පුවත් විදේශ රටවල සේවය කරමින් සිටි අයියා වෙත දැනුම් දීමේ වේදනාබර කටයුත්ත සිදු කරන ලද්දේ මවිසිනි. මරණය නියත ධර්මතාවක් වුවත්, එය ඕනෑම මොහොතක කවුරුන් වෙත හෝ දැනුම් දීමේ තියුණු වේදනාවක් දනවන කටයුත්ත අප වෙත භාර විය හැකි වුවත්, හෝ ඊටත් බිහිසුණු ලෙස ඇදහිය නොහැකි ලෙස, ඇදහිය නොහැකි මොහොතක ළබැඳියෙකුගේ වෙන්වීම පිළිබඳ පුවත අප වෙත ළඟා විය හැකි වුවත්, එය පිළි නොගෙන අපට මගහැර යා හැකි නොවූවත් අපි සියල්ලෝම එවැනි අවස්ථාවන් පිළිබඳව වන සංඥාවන් වුව මගහරින්නට නිරුතුරුව සූදානමින් සිටින්නෝ වෙමු. එබැවින්ම අයියාට එම මොහොත මුණ නොගස්වන්නට මම තීරණය කළෙමි. විශ්වවිද්‍යාල සේවයේ ගමන් සගයකු වූ සුදත්ගේ අංකය තිරය මතට පැමිණියේ ඒ වෙනුවට ය.

“හලෝ ප්‍රියන්ත... කොහොමද ඉතින්?“

ඉතා සැහැල්ලුවෙන් දුරකථනය ඔසවමින් ඔහු කීවේ ය. අප නිවසේ යම් කරදරයක් සිදුව ඇතත් ඒ පිළිබඳ අදහසක් ඔහුට නැතැයි යන්න මම ඒ ක්ෂණයෙන් ස්ථිර කර ගතිමි.

‘මචං... අපෙ ගෙවල් පැත්තෙන් මුකුත් ආරංචියක් ආව ද? මොකක් හරි ..... කරදරයක් කියල එහෙම....?“

මට වචන එක්රැස් වූයේ අපැහැදිලි ව ය.

“ඔයාලගෙ? නෑ... ඇයි මොකක් ද? මං මේ මීටිමක ඉදන් එළියට එන ගමන්.... මම බලන්නං.....“

ඔහුගේ කටහඬ අපැහැදිලිව නෑසී යමින් තිබුණේ මසිත තුළ නැගී ආ තීව්‍ර‍ හැඟීම් සමුදාය හේතුවෙනි. මා මේ සිදු කරමින් ඉන්නේ කුමක් ද? අයියා මගින් ලංකාවේ මගේ පවුලේ සාමාජිකයින් මා වහාම යළි පැමිණිය යුතු බවට වන පණිවුඩය මවෙත දන්වා ඇත. ලැබුණු ඉඟි අනුව ඒ තාත්ති ගැන ය. දැන් එහි ස්ථිර කිරීමේ ආරංචි පිළිබඳ වන තතු විමසීම්වලට යාමෙන් ඇති ඵලයක් තිබේ ද? මම කළ යුත්තේ වහාම යා හැකි ක්‍ර‍මය සොයා බැලීම ය. හෙට දිනයේ මෙල්බන් නුවරින් පිටව යා හැකි වෙතත්, එය කාලය විශාලව වැය වන මගකි. ඉක්මණින්, සිඩ්නි නුවර සිටම පිටව යා හැකි ක්‍ර‍මයක් විමසිය යුතු ය.

නගරයේ මධ්‍යම දුම්රිය නැවතුම් පළ අසලින් බසයෙන් බැසගත් මම රංගත් සමග රීජන්ට් වීදි නවාතැන දෙසට වන්නට තිබුණු සංචාරක ඒජන්සියකට ගොඩ වැදුණෙමු. ශිෂ්‍යයින් සඳහා ඉතාම අඩු මිල ගණන්වලට ගුවන් ටිකට්පත් නිකුත් කරන බවට එහි එල්ලා තිබුණු දැන්වීම් රීජන්ට් වීදියට ආ දිනවල සිටම මගේ නෙත ගැටී තිබිණ. ‘කොළඹට ඩොලර් 510කට!!“ ගෙදරට දිව ගොස්, අම්මා, තාත්ති යළි දැක බලා පැමිණීමේ නොනිත් ආසාව නැගී ආ, සමීපතමයන්ගෙන් වෙන්වීමේ වේදනාව දැඩිව නැගුණු මොහොතවල, මේ ගණන මම රුපියල්වලින් ගුණ කර සිතින් විමසා බලා ඇත. දැන් එය සැබෑ ලෙසම විමසන්නට ඉක්මණ්, නමුත් සංවේගජනක මොහොතක්, මා ඉදිරියට මුණ ගැසී ඇත. ජීවිතය කොතරම් නම් අරුමැසි ද?

කොළඹට යාමට සහ ඒමට ගුවන් ටිකට්පතක මිළ විමසූ අපිට, නොරිස්සුම් සහගත මුහුණින් වූ දකුණු ආසියානු ඒජන්සිකරුවාගෙන් ලැබුණේ ඉදිරි අසුනක් පෙන්වා වාඩි වෙන ලෙස දැන්වූ සන් කිරීමක් පමණි. ගෙවෙන තත්පරයත් මහා විශාල කාලයක් ලෙස හැඟුණු විනාඩි කිහිපයක කෙළවර රංග යළි ඔහු විමසන්නට නැගී සිටිත්ම මගේ දුරකථනය නාද විය.

“ප්‍රියන්ත... දැන්ම යන්න ‘සර්කියුලර් කියු‘ එකට. එතන ස්ටේෂන් එකෙන් බැහැල දකුණු පැත්තට යද්දි තියෙනව ඒජන්සි එකක්. ඒකෙ ඉන්නව ශිවා කියල කෙනෙක්. එයා ලංකාවෙ. එයා ඔයාට ටිකට් එකක් ලෑස්ති කරල තියෙන්නෙ. සේරම විස්තර එයා දන්නවා“

අනුරසිරි මහතා කියාගෙන ගියේ ය. ‘සේරම විස්තර‘ යනුවෙන් ඔහු අදහස් කරන කරුණු පෙළ යළි විමසන්නට මට ශක්තියක් ලැබුණේ නැත. කිසිදු වෙනස්කමක් නොදක්වමින්, යළි නගරය දෙසට යන්නට සිදුව ඇති මගෙන් සමුගත් රංග දුම්රියපළ අංගනය වෙත පිය මැන්නේ ය.

නගරයේ ඉහළම ආකර්ෂණය ඇති, ඔපෙරා හවුස් ඇතුළු ප්‍ර‍මුඛතම සංචාරක ආකර්ෂණයන් ඇති සිඩ්නි වරාය අසබඩ පිහිටි සංචාරක ඒජන්සියක මුල් පුටුවේ වාඩිවී උන්, හොඳින් සිංහල බස හසුරුවන ලාංකිකයකු වූ ශිවා, දන්නා හඳුනන මිතුරකු පරිද්දෙන් මා පිළිගෙන ටිකට්පතෙහි කටයුතු සරි කර දුන්නේ ය.

“හෙට දවල් මෙහෙන් යන්න පුළුවන්. මැලේසියන් එයාර් ලයින්. ඉක්මණින්ම යන ගමනක් මේක. ලංකාවෙ වෙලාවෙන් රෑ 12 විතර වෙද්දි ඔයා එහෙ. මල්ලිට සල්ලි කරදර නම්, කමක් නැහැ ඇවිල්ල පුළුවන් වෙලාවක දෙන්න.“ ඔහු හෘදයාංගම බව පළ කළේ ය.

“නෑ... මම ගෙවන්නම්“ මම හදිසිම මොහොතක පමණක් එළියට ගන්නට පසුම්බියේ තබාගෙන උන් ක්‍රෙඩිට් කාඩ් පත පිටතට ගත්තෙමි.

“ඔයා ගිහින් කිව් එකේ ඉන්න අවශ්‍ය නෑ. මම එතන කට්ටියට කියලයි තියෙන්නෙ. මැලේසියන් එයාර් ලයින් කවුන්ටරේට කියන්න. ඔයාව ඉක්මණින් ගනීවි.“

කුහුලක් පමණක් සිතැතිව, සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට යන්නට රංගත් සමග පිටත් වූ මම යළි රීජන්ට් වීදියේ නවාතැනට ගොඩ වැදුණේ සිහිනයෙන් ඇවිද යන්නෙකු පරිද්දෙනි. සුපුරුදු පරිදි රේඛා සිතුවම් අදිමින් සිටි ජුන් මදැක සිනාවක් නැගුවේ ය. පැට්‍රික්, මර්සේලෝ, හායි, ෆ්‍ර‍න්සුවා හෝ නීල් යන කිසිවකු පෙරළා පැමිණ නැති බව නිවහනේ පැතිර පවතින දැඩි නිහඬ බව දෙස් දෙයි. කාමරයට වැදුණු මම ඇද මත වැතිර ගතිමි.

ගෙවී ගිය කාලය පිළිබඳ කිසිදු අදහසක් නැතිව, නින්දත් නොනින්දත් අතර ගෙවුණු යම් මොහොතකට පසු යළි දුරකථනය හඬ නගනු මට ඇසිණ. ඇමතුම අයියාගේ ජංගම දුරකථනයෙන් බව මගේ තිරය මට දැනුම් දෙමින් එළිය විහිදුවමින් සිටියේ ය. මේ ඒ ඇමතුම ද? දුෂ්කරතම පුවතක් ම වෙත තැබීමට අයියා මුහුණ දිය යුතු අසීරුතාව දැන සිටි මම ඔහු නොඇමතුවෙමි. මල්ලී හෝ බාප්පා කෙනෙකු, නැතිනම් නිරූ අමතමින් ඒ කිසිවකු හෝ ලය සිර කරන වේදනාවකට පත් නොකිරීමට මගේ යටිසිත මට බල කර තිබුණු බව මට වැටහී ගියේ කිසිවකු ඇමතීමට මා උත්සාහ නොකළ බව පසක් වීමත් සමග ය. දැන්, නමුත්, ඇමතුම අයියාගෙන් බව දුරකථනය මට කියා ඇත. වේදනාබර, පුතකු හෝ දියණියක විසින් සිය සොයුරකු හෝ සොයුරියක වෙත දැනුම් දීමට අසීරුතම, ආරංචිය රැගෙන ඇමතුමෙහි එහා කෙළවර, සැතපුම් දහස් ගණනක් දුර තැනෙක අයියා සිටිනායුරු මට මැවී පෙනෙන්නට විය. මම දුරකථනය අතට ගතිමි.

‘මල්ලි, ප්‍රියන්ත‘

ගෙවෙන කාලය හැමවිටම එක හා සමාන නැත. එය තත්පර, විනාඩි හෝ පැය වැනි, කිසිදු වැදගැම්මකට නැති, අංගවලට කඩා ඔබ ඉදිරිපිට තබන්නට රාමුගත ලෝකය කටයුතු කර ඇත. එම රාමු එකහෙළා පිළිගන්නා ඔබ, කාලය මෙපරිද්දෙනැයි ඔබ වෙත බෙදා ඉදිරිපත් කර ඇති රටාවන්ට අනුව කටයුතු කරනු ඇත. කන බොන, නිදන, අවදි වන කටයුතුවල පටන් රැකියා කටයුතු, ඉගෙනීම් ඇතුළු සියල්ල ඒ රටාවෙහි සම්මතයන් තුළ තබා පිළිගෙන පිළිපදිනු ඇත. එහෙත්, කාලය යනු තත්පරවත්, විනාඩි හෝ පැයවත් නොවේ. එය විටෙක නතර වන, තවත් විටෙක වේගයෙන් ඇදෙන අරුමැසි අවකාශයකි. එය විටෙක අසිරිමත් ය. තවත් විටෙක අප රවටන සුළු ය. ඒ හා සමග ඒ ඒ අවකාශ අන්තර අතර කැටි කොට අප වෙත යොමු කරන හැඟීම්වලින් පූර්ණ ය. වේදනාවත්, සතුටත් වෙන්ව අප වෙත ගෙන ඒමේ වගකීම නිසි පරිදි ඉටු කරන්නට කාලය සැදී පැහැදී සිටියි. එයට වෙන කිසිදු දෙයකට නොහැකි තරමට අප වල්මත් කළ හැක. අයියාගේ ආමන්ත්‍ර‍ණයෙන් අනතුරුව ගෙවුණු නිමේෂය යළි යළිත් මට පසක් කොට දුන්නේ එම සත්‍යයයි.

“මිස්ටර් ජයසේකර මුණ ගැහුණ ද?“

“ඔව්. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ?“

“මල්ලි. තාත්තිට ස්ට්‍රෝක් එකක් ආව. එයා දැන් ඉන්නෙ ඉස්පිරිතාලෙ. සිහිය නැහැ. එයිද දන්නෙත් නැහැ. ඔයා එන්න ඕනෙ ඒකයි. අපි තුන්දෙනාම එයා ළග ඉන්න ඕනෙ.“

“ඔව්... මම එනව. ටිකට් එක ගත්ත. හෙට එනව. රෑ 12ට විතර බහිනව“

අයියා කියූ කරුණෙහි සත්‍යඅසත්‍යතාව කුමක් වුවත් ඒ තාත්ති බව ස්ථිර ය. පසුගිය ඉරිදා සුපුරුදු පරිදි ස්කයිප් කතාබහකට පැමිණියත් තාත්ති වෙනත් ඉරිදාවක මෙන් දිගු සංවාදයකට මා හා එක් වූයේ නැත.

“මගෙ ටිකක් බඩ හරි නැහැ වගේ පුතේ. මම ටිකක් යනව ඇලවෙන්න. මල්ලි ඉන්නව‘

සිඩ්නි ජීවිතයේ ගෙවී ගිය සතියේ සියලු දේ අතරතුර, සැතපුම් දහස් ගණනක් දුරින් වූ මගේ නිවසෙහි තාත්ති අසනීපව දවස් ගෙවන්නට ඇති බව දැනෙත්ම තියුණු සැතකින් සිරුර පෑරූ වේදනාවක් නැගී ආවේ ය. දැන් කාලය ගෙවා දැමිය යුතු ය. හෙට වන තෙක්... ගුවන් තොට වෙත නික්මෙන තෙක්... තවත් රැයක් සහ පැය ගණනක්, සම්මත කාලයට අනුව නම්... මට ඉතිරිව ඇත. එහෙත්, මා ඔබට කලින් කී පරිදි එය ඉතා දිගු වනු ඇත. හෝරා මනින්නට යැයි තබා ඇති විසුළු පෙනුමැති උපකරණයේ එක තැන කරකැවෙන කටුවලට මැන පෙන්නවන්නට කිසිසේත් නොහැකි අරුම පුදුම කාලයක් හෙට හවස ගුවන් තොටින් මා නික්මෙන තෙක්ම, යළි ලංකාවේ නිවසට ගොඩ වදින තෙක්ම, ගෙවී යනු ඇත. කෙසේ වෙතත්, මා ඒ කාලය ගෙවා දැමිය යුතු ය.

මම පරිගණකය ක්‍රියාත්මක කළෙමි. සුපුරුදු මිතුරු ඇසුරවලින් ඈත්ව, වත් පොතෙහි, ස්කයිප් සංවාද අතරෙහි, කල් ගෙවනු නොරිසි වූ මම වෙනත් කිසිදු අදහසක් නොමැතිව ඔහේ සයිබර අවකාශය තුළ ඇවිද යන්නට තීරණය කළෙමි. මගේ ඊමේලය විවෘත වූයේ ඒ අදහස නිසා විය යුතු ය. ඊමේලය ඔබ මොබ කිසිදු අරමුණකින් තොරව නෙත් දිව ගිය යම් කාලයකට පසු, එක්වරම, එක් තැනෙක, මගේ නෙත් නතර විය. ‘My deepest sympathy’ යනුවෙන් එහි ලිපි සිරසෙහි ලියැ වී තිබිණ. තව දුරටත් කිසිදු අයුරකින් විග්‍ර‍හ කළ නොහැකි කාල පරාසයකට පසු මොහොතක, ගල් ව ගිය මගේ අතින් ලිපිය විවෘත කෙරිණ. සිත හොඳින්ම දැනගෙන සිටි, එහෙත් කිසිවකුත් නිසි පරිදි ස්ථිර කිරීමට ඉදිරිපත් නොවුණු කරුණ, මාගේ හොඳම මිතුරියක විසින්, සමල්කා විසින්, ස්ථිර කර තිබිණි. ඒ තනි නමුත් තිර වැකියකිනි.


My deepest sympathy regarding your father!’

කාලය, කිසිදු ගණනය කිරීමක් ගැන බිඳකුදු මායිම් නොකොට, ඒ මොහොතේම, එක එල්ලේම, නතර විය!

Image: https://images.fineartamerica.com

2 comments:

  1. මේ කතාව කලින් ලිව්වා නේද?

    මරණයක් වැනි දුක්බර පුවතක් කීමේත්, දරාගැනීමේත් ක්‍රමවේදය අප තවමත් පුරුදු කර නැති බවයි මට කියන්නට තියෙන්නේ.

    මගේ පියා මිය ගිය පසුවත්, මට පණිවිඩය ආවේ, තාත්තාට අමාරුයි ඉක්මනට එන්න කියායි. ඊට වසරක පමණ කාලයක සිට තාත්තා අසනීපයෙන් සිටි නිසාත්, මාස හතකට පෙර ඔහු බැලීමට ගිය විට ඔහුට සිහියක් නොතිබුණු නිසාත්, මේ ආරංචිය ඒමට දින දෙක තුනකට පෙර ස්කයිප් මගින් දකිත්දීත් තත්වය ඉතා නරක වූ නිසාත්, මට සිදුවීමට තේරුණත් මල්ලිලා කිසිවක් කීවේ නෑ.

    නමුත්, මද වෙලාවකින් වෙනත් අයෙකුගෙන් කෙටි පණිවිඩයක් ලැබුණා.

    FATHER EXPIRED. FUNERAL ON THURSDAY.

    කෙලියා මහ රජ තාප්පෙට ම!

    ReplyDelete