Saturday, November 3, 2012

එසේ මුත් විහඟ... මා විහඟ... ඔබ පියාපත හකුලන්න - සැඟවෙන්න කාලය නොවේමැයි...


(2012 අප්‍රේල් 27 වැනිදා)


පශ්චාත් උපාධියක් හදාරනු වස් විදේශ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වන්නට වරම් ලැබීම අප රට සමාජයේ ඥාණයට ගරු කරන්නන් අතර ඉහළ වටිනාකමක් ලැබෙන සිදුවීමකි. සිඩ්නි විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට ලද සුදුසුකම කණ වැකුණු බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම සම වයසැති කථිකාචාර්ය මිතුරන්ද සුභ පැතුවේ ලද අවස්ථාව ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන්නැයි සඳහනක් ද තබමිනි.

“හොඳටම ඉංග්‍රීසි හදාගන්න, කාටවත් වැරැද්දක් හොයන්න බැරි වෙන්න... ඉන්න කාලෙ පුළුවන් තරම් කියවන්න, ඔය තැන්වල පුස්තකාලවල තියෙන පහසුකම් අපිට හිතාගන්නවත් බැරි තරම්...!“

මගේ අත දැඩිව ග්‍රහණය කරගනිමින් සුභ පැතූ ආචාර්ය අසන්ත කියා සිටියේ ය. පේරාදෙණියේ කලාගාරය අසළ බැම්මේ වාඩි වී  ඔහු මා සමග කතා කරමින් උන්නේ ය. සිඩ්නි විශ්වවිද්‍යාලයට යාමට වරම් නොලද්දේ නම් පේරාදෙණියට විත් ආචාර්ය අසන්ත වැනි ප්‍රාඥයකු යටතේ පශ්චාත් උපාධියක් හැදෑරීමේ උවමනාවක් කලින් මා තුළ තිබිණි. ඔහු ද ඒ බව දැන සිටි මුත් මේ අවස්ථාව ලබාගන්නට අවශ්‍ය ලිය කියවිලි පවා සාදාදෙමින් ඔහු මට උදව් කළේ විදෙස් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරා  ලබන අත්දැකීම අපට අත්‍යාවශ්‍ය බව සඳහන් කරමිනි.

ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයකින් ඇමරිකා එක්සත් ජනපදයට ගිය ආචාර්ය අසන්ත හෝ පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වයකින් එංගන්තයට ගිය මිතුරු රෝහිත වැනි අයට මෙන් විශ්වවිද්‍යාලයේ බුද්ධි ගවේෂණ මගෙහිම රැඳෙන්නට මට වරම් නොලැබෙන බව පසක් වන්නට වැඩි දිනක් ගතවූයේ නැත. එදිනෙදා අවැසියාවන් සඳහා පමණක් නොව විශ්වවිද්‍යාල ගාස්තුවෙන් කොටසක් ගෙවීමට මුදල් සෙවීම සඳහාද රැකියා සොයා වෙහෙසෙන්නට සිදුවීමත් සමග විශ්වවිද්‍යාලයේ ගත කෙරෙන කාලය කෙමෙන් හීන වන්නට පටන් ගත්තේ ය. මෙහි පැමිණ දෙමසක් ගත වද්දීම වටිනා අවස්ථා කිහිපයක්ම මග හැරී යමින් ප්‍රකට මහාචාර්යවරුන්ගේ දේශන අසන්නට ලැබුණු අවස්ථා ගිලිහී ගියේ ය. එවැනි දේශන යෙදී තිබුණු ඇතැම් දිනවල රැකියා සම්මුඛ පරීක්ෂණ ආදියට මා පිටව ගියේ කණගාටුවකිනි. ලොව නන් දෙසින් ආ ඇතැම් බුද්ධිමතුන් යළි දකින්නට හෝ අවස්ථාවක් නැති බව දැනගෙනම ඒ මග හරින්නට සිදුවීම ඇති කළේ ප්‍රබල පශ්චාත්තාපයකි.

කුඩා කල නිවසේ ඉදිරි කාමරයේ පොත් රාක්කය හරහා ලෝක සාහිත්‍යය සෙවූ මට මුලින්ම හමුවූයේ රුසියානු නව කථා සහ කෙටි කථා ය. ස්ටෙප්ස් තණ බිම් හරහා ඇඳෙන අශ්ව කරත්තවල කථා නායකයා සමග මමද වාඩිගෙන ගමනේ යෙදුණු අවස්ථා එදවස බොහෝ විය. අධික ශීතලෙන් මිදෙන්නට වොඩ්කා බොමින්, දුම් උරමින් ගිනි උදුන් හෝ ගිනි මැල අභියස ගී ගයන රුසියානුවාගේ සිත් පෙළූ සිතුවිලි, දාහයෙන් පිරුණු නිවසේ, ඇඳි පුටුවකට බර දී, තේ කෝප්පයක් පමණක් තොල ගාමින් විඳින්නට මම පුරුදු වී සිටියෙමි. රුසියානු සාහිත්‍යය හඳුනා ගත් පසුව මට බොහෝ සමීපව විඳින්නට ලැබුණු අනෙක් ප්‍රධාන සාහිත්‍යය හමුවූයේ ඉන්දියාවෙනි. චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය වංග බසින් සෘජුවම සිංහලයට නැගූ කෘති මසිතෙහි අපමණ සංවේදනා ජනනය කළේ ය. එවැනි කෘතීන් හරහා මනසෙහි ඇඳුණු ජීවිත නෙත් අභියස ප්‍රතියමාන කළේ බෙංගාලි සිනමාවයි. සත්‍යජිත් රායිගේ කෘතීන් හරහා බොහෝ ඉන්දීය බිම් පෙදෙස්වල ඇවිද බැලූ මම රිත්වික් ඝටක්ගේ කෘති හරහා එම ජීවිතවල අනුවේදනීය කතන්දරවල පසුබිම කියවා ගත්තෙමි.

“බෙංගාලය නම් පුදුම තැනක්... ඉන්දියානු සාහිත්‍යය, සිනමාව පුබුදුවනවා බෙංගාලය... මට යන්න තවමත් බැරි වුණු, ඒත් යන්නම කැමති තැනත් එතන..“

වරෙක ආචාර්ය සුනිල් මා සමග එසේ පැවසුවේ බුද්ධාදෙව් දාස්ගුප්තගේ සිනමා වැඩමුළුවක් ඇසුරින් ‘චිත්‍රපට‘ සඟරාවට මා සැකසූ ලිපියක් පිළිබඳ කෙරුණු කතාබහක් අතරතුර ය. රායි හා ඝටක්ගේ සිනමාවෙන් පසු බෙංගාලයට යළිත් මා කැඳවා ගියේ දාස්ගුප්ත මහතා ය. ඔහුගේ පස්දින සිනමා වැඩමුළුව අතරතුර  ඔහුගේ විශිෂ්ට කෘති විඳිමින් දුටු ඉන්දියාව යළිත් ඒ මහා දේශය කෙරෙහි වූ ඇල්ම දියුණු කළේ ය.

සමස්ථ මෑතකාලීන ඉන්දියානු සාහිත්‍යය හා කලාව පසුපස වූ සෙවනැල්ලක් බඳු මහා කවි තාගෝර් පිළිබඳ වන අසීමිත ගෞරවාදරය මසිත උපදින්නේ ඔහුගේ කෘති ආශ්‍රය කරන්නටත් පෙරාතුවම ය. පසුකලෙක මා සේවයට බැඳුණු ශ්‍රී පාලි මණ්ඩපය හා ඒ පහළින් වන ශ්‍රී පාලි විද්‍යාලය, කලායතනයක් ලෙස ඇරඹෙන 1930 දශකයේ තාගෝර්තුමන් එහි ආ බවත් එතුමන්ගේ කලා නිකේතනය ගුරු තැන්හි තබමින් විල්මට් ඒ. පෙරේරා මෙය නිර්මාණය කළ බවත් දැනගත් විට සතුටක් දැණුනේ තාගෝර්තුමන්ගේ විශිෂ්ට සාහිත්‍ය කලා මෙහෙවර ගරු කටයුතු බව පිළිගෙන උන් නිසාවෙනි.

සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඕස්ට්‍රේලියානු, ජපාන හා ආසියානු ප්‍රාචීන අධ්‍යයන පිළිබඳ  සංගමය විසින් සංවිධානය කරනු ලදුව මහාචාර්ය එස්. එන්. මුකර්ජි විසින් පැවැත්වීමට නියමිත, “නගරය සහ කවියා: කල්කටාව සහ තාගෝර්‘ නම් දේශනය සඳහා වන දැන්වීම විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ දුටු විට මට ඒ සඳහා කාලය වෙන්කර ගත යුතුමයැයි හැඟුණේ යට කී තාගෝර් ගෞරවය හේතුවෙන් වූවාට සැක නැත.

දේශනය පැවැත්වුණු වුලී ගොඩනැගිල්ලේ පොදු කාමරය මා යන විට පිරී තිබුණේ නැත. එසේ මුත් ජපාන හා ඕස්ට්‍රේලියානු වියතුන් බොහෝ දෙනෙකුන්ම එහි දකින්නට ලැබිණ. මා එහි නොආ යුතු පිටස්තරයකුය යන හැඟීම මා වෙතින් ම මතු ව ආවේ එහි සිටි සියල්ලෝම වයස්ගත ස්ත්‍රී පුරුෂයන් වූ නිසා ය. තාගෝර් විමසන්නට අතීතයෙන්ම පැමිණි විද්වතුන් පිරිසක් අතර මා වාඩිවී සිටින බවට ඇති වූ හැඟීම දෙගුණ වූයේ එම ගොඩනැගිලි බිත්ති පවා බොහෝ පැරණි ස්වභාවයක් පළ කළ නිසා ය. විශ්‍රාමික මහාචාර්යවරුන් කිහිප දෙනෙකුගේම ආලේඛ්‍ය රූපවලින් බිත්ති සැරසී තිබුණේ ය.

දේශනය ආරම්භ වන විටත් ශාලාවේ තරුණ හෝ මැදි වියේ පුද්ගලයින් දක්නට ලැබුණේ දෙතුන් දෙනෙකි. වයෝවෘද්ධ මහාචාර්යවරයා ගැඹුරු හඬින් දේශනය ඇරඹුවේ යළි මෙහි දේශනයකට එන්නට ඉඩ දුන් සෞඛ්‍යයට ස්තුති කරමිනි. තාගෝර්තුමන් විසින් රචනා කරන ලදුව තනු යොදා සැදි බෙංගාල ගීත කිහිපයක්ම ඔහු අපට අසන්නට සැලැස්වී ය. තාගෝර්තුමන් අත් විඳී කල්කටාව, ඔහුගේ කවි හා සාහිත්‍යයේ මෙන්ම චිත්‍රයේ ද හමුවන අයුරු සරලව සාකච්ඡා කිරීමට මහාචාර්යවරයා කටයුතු කළේ ය. 

එම දේශනය තාගෝර් දැක්ම පිළිබඳ ගැඹුරු කියවීමකට කළ මග විවර කිරීමක් නොවේ. තාගෝර් සාහිත්‍යය හා කලා භාවිතයෙන් ඇවිලුණු මනසකින් යුතු තාගෝර් රසකාමියෙකුගේ විස්තර ගොණු කිරීමකි. තාගෝර් දිවිය හා කලාව රස විඳින්නෙකු වූ මා වෙත ඔහු ගෙන ආ ඇතැම් කවි හා ගීත යම් පිබිදීමක් ඇති කරන්නට හේතු සාදා දුනි.

පැයකට ආසන්න දේශනය නිමවී ශාලාවෙන් පිටව එද්දී බොහෝ විද්වතුන් මහාචාර්යවරයා හමුවට ගොස් ඔහුට සුභ පතනු පෙණින. මම විසල් කොරිඩෝවට එළඹ පහළට ඇවිද ආවෙමි. කොරිඩෝව දෙපස බිත්තිවලද සිඩ්නි විශ්වවිද්‍යාලයේ විද්වතුන්ගේ ආලේඛ්‍ය රූ බොහොමයකි. පඩිපෙළ කෙළවර වූ එවන් එක් සිතුවමක ගැඹුරු දෙනෙතක් අභියස මම නැවතුනෙමි. මා නොහඳුනන මහාචාර්යවරයකු මා යන මග විමසමින් බලා සිටිනා බවක් මට දැණින. ඒ දෙනෙතේ ලියැවී ඇති අදහස කුමක් ද? මම නිහඬව මඳ වේලාවක් එදෙස බලා උන්නෙමි.

“තාගෝර් දේශනය අහන්න ආවා නේ ද? ඔයා ඉන්දියාවෙන් ද?“

මා පිටුපසින් ඇසුණු කාන්තා කට හඬ නිසා තිගැස්සුණු මම හැරී බැලුවෙමි. තරුණ විය ඉක්ම නොගොස් ඇතැයි සිතෙන පියකරු ඉන්දීය කාන්තාවක් මගේ පිටුපසින් විය. ඇය මවෙතට එනු මට නොඇසුණේ මා සිත්තම වෙත අවධානයෙන් උන් නිසා වන්නට ඇත. මඳ සිනහවකින් යුතුව ඇය රැඳී සිටියේ පිළිතුරක් අපේක්ෂාවෙනි.

“ඔව්.. මම එතන ඉඳන් තමයි ආවේ.. මම ඉන්දියාවෙන් නම් නෙවෙයි.. මම ලංකාවෙන්“

“ඕ... හරිම සතුටුයි... මට හිතුණ ඔයත් එක්ක කතා කරන්න ඕන කියල දකිද්දිම... ඒකට හේතුව, අද තාගෝර් ගැන අහන්න එන තරුණයො හරිම අඩුයි... දැක්කනෙ... හෝල් එකෙත් කවුරුත් තරුණයො හිටියෙ නැහැ...“

ඇය මා සමඟම පිටව දොරටුව අභියසට ආවා ය.

“මම මිර්ජුලා... වෙස්ටර්න් සිඩ්නි කැම්පස් එකේ පෝස්ට් ඩොක්ටරල් එකක් කරන්නෙ... මම දිල්ලිවලින්..“

ඇය සිය කාඩ්පතක් මා වෙත පෑවා ය.

“ඔයා කැමති වුණා ද දේශනයට...?“

ඇගේ කටහඬේ වූයේ තරමක නුරුස්සන ස්වරූපයක් බව මට හැඟිණ. දිල්ලියෙන් ආ ඉන්දීය ආචාර්යවරියක් සමග තාගෝර් දේශනයක ගුණාගුණ කියන්නට තරම් තාගෝර් දැක්ම පිළිබඳ ඥාණයක් මා තුළ නොවිණ. ඇගේ කාඩ් පත අනුවද මේ ඇගේ ක්ෂේත්‍රය බව මම හඳුනාගෙන අවසන් ය.

“තරමක්....“

මගේ පිළිතුර ඇය එතරම් සැළකිල්ලකට නොගත්තා ය.

“මහාචාර්ය මුකර්ජි කියන්නෙ මේ විෂයය ගැන සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉන්න ඉහළ බුද්ධිමතෙක්. මම හිතුව මීට වැඩි යමක් තියෙයි කියල. තාගෝර්ගෙ කවි ආයෙම කියන එකයි, පරණ මතක රිපීට් කරන එකයි විතරනෙ වුණේ.... මම නම් සතුටු නැහැ වැඩේ ගැන...“

ඇගේ සෘජු ප්‍රකාශය මගේ සිත් ගත්තේ ය.

“ඇත්තටම මම තාගෝර් දර්ශනය ගැන ගැඹුරු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒත් මම කැමතියි එයාගෙ සාහිත්‍යයට... මගේ පර්යේෂණය යන්නෙත් සිනමාව ගැන... අපේ රටේ සිනමාවෙ නිහඬතාවය හරහා කෙරෙන ප්‍රකාශනය ගැන..  මට හිතෙනව බෙංගාලි කලාවෙ තියෙන අධ්‍යාත්මයත් එක්ක බැඳෙන නිහඬ සංවේදනා අඩු වැඩි වශයෙන් අපේ රටේ කලාවටත් බලපාන්න ඇති කියල... මට ගොඩක් මේ දේවල් ගැන හොයන්න හිතෙන්නෙ ඒකයි..“

මම පිළිතුරු දුන්නෙමි.

“ඇත්තටම....! තාගෝර් ගැඹුරින් හදාරන එක අපේ අලුත් පරම්පරාව ළඟින් ඈත් වුණාට මිනිස්සුන්ගෙ සංවේදනා එක්ක එයාගෙ නිර්මා‍ණවල තියෙන සම්බන්දය අපිට අමතක කරන්න අමාරුයි... ඒව දේශ සීමා පැනල යනව. මට සතුටුයි ඔයා ඒ ගැන හිතන එක ගැන...“

මහ මග දෙසට ආ ඇය මගෙන් සමුගත්තා ය.

“ආයෙම දවසක මුණ ගැහෙමු. හමුවීම ලොකු සතුටක්!“

මම සුපුරුදු පා ගමන ඇරඹීමි. නගරයේ වීදි පහන් දැල් වී ඇත. වේගයෙන් ඇදෙන රථ පෙළ නිව් ටවුන් දෙසට දිවෙන මගේ අතුරුදන්ව සැඟව යති. වීදි ලාම්පුවක ඉහළින් සඳ පායා ඇත. මහත් වූ නගර ආලෝක මැද දිලෙන සඳ, කිරණ බෙදන්නට නොහැකිව ලතවෙන්නාක් මෙන් මට හැඟෙයි. සඳ කිරණ පරයමින් නියොන් එළිය විහිද විසිරී ඇත. මහාචාර්ය මුකර්ජි කියූ තාගෝර් කවියක් මගේ සිහියට නැගේ.

“හෙමින් හරි හෙමින්
සැඳෑ කල එළඹෙයි...
සියලු ගී - සඳහනකුදු නැතිව
සැඟව යෙයි....

අපිරිමිත අහස් කුස...
කිසිදු මිතුදමක් නොගෙනෙයි....
.................................
අඳුර තදින් පැතිරෙයි...

එසේ මුත් විහඟ... මා විහඟ...
ඔබ පියාපත හකුලන්න - සැඟවෙන්න
කාලය නොවේමැයි...“

3 comments:

  1. අසන්ත ලද ශිෂ්‍යත්වය ෆුල් බ්‍රයිට් (Full Bright) එකක් නොවේ - එය ෆුල්බ්‍රයිට් (Fulbright) එකකි.

    Fulbright යනු ඇමෙරිකානු පරණ සෙනෙට් සභිකයෙකු ගේ නමකි.

    http://en.wikipedia.org/wiki/Fulbright_Program

    එක නම සහ වචන දෙක අතර තියෙන ශබ්දයේ සමානකම නිසා සමහරු හිතනවා මේක සිරා බ්‍රයිටන්ට දෙන ශිෂ්‍යත්වයක් කියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කතන්දර... මම එය නිවැරදි කළා!

      Delete
  2. අනාගත ලාංකීය සිනමාවේ දිලෙන තරුවක් වෙන්න පැතුම්!

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html

    ReplyDelete