Friday, September 21, 2012

ගනේෂ්


(2012 අ‌ප්‍රේල් මස 20 වැනිදා -සිකුරාදා )

නිල්වන් අහස් ගැබත්, දිදුලන සූර්යාලෝකයත් සිඩ්නියට පැහැදිලි දිනක් එළඹ ඇති බව කියයි. මධ්‍යම දුම්රිය පළ ඉදිරිපට බුහුටි තණනිල්ල මත වාඩි වූ මම ගනේෂ් ද සමග, මොහොතකට පෙර ‘සබ් වේ‘ අවන්හලින් මිළට ගත්, එළවළු සැන්විචස් රස විඳින්නට පටන් ගත්තෙමි. මහ මග නොකඩවා ඇදෙන රථ පෙළ වර්ණ ආලෝක සංඥාවන්ට කීකරු වූ වහාම මාර්ගය හරහා එන මහ සෙනඟ කඩිසරව දුම්රිය පෙළ දෙසට ගමන් කරනු පෙනේ. එය කිසිවිට නිමා නොවන ජන ගඟකි. අනේක විධ ඇඳුමින් සැරසුණු මහල්ලන්, ළමා ළපටින්, තරුණ තරුණියන් සිය ආවේණික ගමන් රටා අනුව පෙරට ඇදෙනු බලා සිටීම වෙහෙසකර කටයුත්තක් නොවේ. සුදු ජාතිකයින් හැරුණු කොට ඉන්දීය, චීන, අප්‍රිකානු ඈ නන්විධ දේශයන්ට අයත් මගියෝ තම මග හමුවන සපුරා වෙනස් පෙනුමැති සෙස්සන් පිළිබඳ කිසිදු තැකීමකින් තොරව පෙරමුණට ගමන් කරති.

මහ මග ඇවිදයන්නන් දෙස මොහොතක් නිහඬව බලා උන් මම මගේ දකුණු පස සිටි ගනේෂ් දෙස හැරී බැලීමි. වැවීගිය කෙස්වැටිය යළියළිත් සකසමින් ඔහුද එල්ලයකින් තොරව ඉදිරිය බලා සිටියි.

  සුද්දන්ටත් වඩා තරමක් උසින් යුතු මෙම දමිළ තරුණයා කෙරෙහි මා තුළ ඇතිවන්නේ පහන් හැඟීමකි. අනූව දශකයේ අග භාගයේ මධ්‍යම පළාත් චෙස් සංගමය හා එක්ව කටයුතු කළ අවධියේ ගනේෂ් මට මුලින්ම හමු වූයේ පාසැල් ක්‍රීඩකයකු ලෙස ය. එවකට මහනුවර ත්‍රිත්ව විදුහල් කණ්ඩායම නියෝජනය කළ ඔහු කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයෙක් නොවූව ද ප්‍රබල පාසැල් කණ්ඩායම් අතර පෙරමුණේ සිටි සිය කණ්ඩායමේ සාමාජිකත්වය දරන්නට තරම් ක්‍රීඩාවෙහි සමතෙක් විය. සිය බාල සොහොයුරා හෝ වැඩිමහල් සොහොයුරා තරම් සමාජශීලී නොවූ ඔහු සිය තරගය සඳහා පුවරුව ඉදිරියේ ධ්‍යානයට සම වැදී හිඳ, ඒ මගින් ලබන ජය හෝ පරාජය සමව පිළිගෙන නිහඬව පිටව ගිය අයෙක් බව මට යන්තමින් මතක ය. වැඩිමහලු මා සමග ඒ අවදියේ කෙටි හෝ කතා බහකට ඔහු ආ බවක් මගේ සිහියට නොඑයි. උදෑසනක හමුවුවහොත් ‘Good morning‘ වැනි සුභ පැතුමකින්, සවසක නම් ‘ගිහින් එන්නම් අයියා‘ වැන්නකින් එදවස කතා බහ කෙළවර වන්නට ඇත.

සිඩ්නියට පැමිණ දින කිහිපයකින් ෆේස් බුක් අඩවියේ සැරිසරමින් උන් මොහොතක, මිතුරු හවුලේ උන් ගනේෂ්ගේ රුව මගේ නෙත ගැටුණේ අහම්බෙනි. සිය පදිංචිය සිඩ්නි නුවර බව ඔහු සිය අඩවියේ සඳහන් කොට තිබිණි.

“සිඩ්නි නේද ඉන්නෙ? මමත් සිඩ්නි ආවා...!“

ඔහුගේ ගිණුමට පණිවුඩයක් තැබූ මට මෙවැනි පිළිතුරක් ලැබී තිබිණි.

“නියමයි! කොහෙද නතර වෙලා ඉන්නෙ? මම එන්නම් හම්බ වෙන්න.“

රීජන්ට් වීදියේ නවාතැන පිළිබඳ ඔහුට දන්වා යැවූ මම මගේ දුරකථන අංකයද එහි ලියා තැබුවෙමි. දිනකට දෙකකට පසු එක්තරා සවස් වරුවක දුරකථනය නාද වන්නට විය.

“හායි... මම ගනේෂ් කතා කරන්නෙ. කොහොමද, හොඳින් ඉන්නවද? මම රීජන්ට් ස්ට්‍රීට් එක දන්නවා. මම යූ. ටී. එස්. එකේනෙ!“

යූ. ටී. එස්. යන කෙටි යෙදුම සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලය (University of Technology - Sydney) හැඳින්වීම සඳහා යෙදුනකි. මා නතරව සිටින රීජන්ට් වීදියේ සිට ඒ වෙත දුර මීටර දෙතුන් සියයකට වැඩි නොවේ. සිඩ්නි විශ්වවිද්‍යාලය තෙක් පාගමනේ යෙදෙන මම හැමදිනම සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලය පසු කර යමි.

“හෙට මම එන්නම් හම්බ වෙන්න“

පොරොන්දු වූ පරිදි පසුදා මා දකින්නට ගනේෂ් ආවේ නැත. පැමිණිය නොහැකි බව කෙටි දුරකථන පණිවුඩයක සටහන් කර තිබූ ඔහුගෙන් ඉන්පසු සති දෙක තුනක් යන තුරුම කිසිදු ආරංචියක් ලැබුණේ ද නැත‍.

මෙවැනි දුරබැහැරක දී තනිව ජීවිතය ගෙවන්නට සිදුවන විට අතීතයේ සුළු හැඳුනුම්කමක් තිබූ, වචනයකින් දෙකකින් අදහස් හුවමාරු කරගත් අයෙකු වුව හමුවන්නට ලැබීම මහත් භාග්‍යයකැයි සිතන ඔබ එවැනි සබඳකමක් වුව මුණගැසෙන තුරු බලා හිඳිනු ඇත. පාසැල් සමයේ, එකම පාසැලේ නොවූවද, ආසන්න පාසැලක වුව උගෙන ඇත්තේ නම් සමීප මිතුදමක් ඇත්තෙක් සේ ඔහු හෝ ඇය සමග පිළිසඳර අරඹන්නට ඔබ සූදානම් ය.

“අහ්.... මම දන්නවනෙ ඔයාගෙ ඉස්කෝලෙ හිටපු බෑන්ඩ් ලීඩර්... ඔයාගෙ යාළුවෙක් ද?“ වැනි ප්‍රවේශයක් ඔහු හෝ ඇය සමග දීර්ඝ පිළිසඳරකට අඩිතාලම සදන්නට ප්‍රමාණවත් ය. පාසැල නොවේ නම් ගම් පළාත ගැන හෝ එපෙදෙසේ හඳුනන යම් අයෙකු ගැන විමසත්ම සාකච්ඡාව සඳහා පිවිසුමක් ලැබෙන අතර ලැබෙන ප්‍රතිචාරයන් අනුව යමින් එය පෙරට ගෙනයාමට ඔබ සමත් වනු ඇත. පුදුමය නම් මේ සියල්ල විශ්මයජනක දැන හැඳුනුම්කම් කිහිපයක් සොයාගන්නට ලැබීමෙන් කෙළවර වීමයි.

“මොනවා.... එයා ඔයාගෙ හොඳම යාළුවෙක්? ඒ මගේ බාප්පගෙ ලොකු පුතානෙ!!“

අනතුරුව දුරකථන අංක, නාම කාඩ්පත් හුවමාරු වෙමින් මිතුදම ස්ථිර කෙරෙන අතර දිවා භෝජනයකට, මිතුරු සාදයකට ඇරයුමක් සමගින් දිනය කෙළවර වනු ඇත.

එහෙත්, ඔබ සොයන සියලුම නාම මාත්‍රික අතීත මිතුරන් ඔබ සිතන පරිද්දෙන් ඔබ සොයා එන්නේ නැත. පසුදිනක හමුවෙමුයි යන ප්‍රකාශය සමග ඔබ හැර යන පිරිස බොහෝ ය. කාර්ය බහුල දිවියේ කටොළු මැද ඔබ හමුවන්නට කාලයක් සොයන්නට ඔවුනට ඉඩක් නොමැති විය හැකි අතර අතීතයේ ඔබ වැනි ලෙසම හමුවී, එනමුත් වංක ලෙස රවටා ගිය තවකකු නිසා මෙවැනි සමාගමයන් දුරස් කරන්නට ඔවුන් සිතා සිටින්නේ වීමට ද ඉඩ ඇත.

“මම හොඳ පාඩම් ඉගෙන ගෙන තියෙනව අපේ කට්ටියට උදව් කරන්න ගිහින්!!“

මෙම වදන් පෙළ මා සමග කියූ සිඩ්නි නුවර ලාංකිකයන් කිහිප දෙනෙකුම මට හමුවී ඇත.

ගනේෂ්ද මා මගහරින්නට ඇතැයි යන සිතුවිල්ලෙන් සිටි මට අද උදෑසනම ඔහුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

“මම දැන් ඔය පැත්තට එනවා. අද මොනව හරි වැඩක් ද?“

පැයකට පමණ පසු පාසැල් සමයේ මා දුටු මුහුණින් යුතුව, එහෙත් ඉතා උසැති තරුණයෙකු ලෙස, ගනේෂ් මා අභියස පෙනී සිටියේ ය. මා සුරත තදින් අල්ලා ගනිමින් ඔහු මා පිළිගත්තේ පෙරදා නොපැමිණීම වෙනුවෙන් කණගාටුව ද පළ කරමිනි.

“සොරි. මට එන්න බැරි වුණේ ගෙදර පොඩි කරදරයක් වුණා... ඒකයි“

සිය අත රැඳි නවීන කැමරාව පියකරු දුම්රිය ගොඩනැගිල්ල දෙසට එල්ල කරමින් ඔහු කතා කරන්නට විය.

“අපි ඉස්සෙල්ලම මොනව හරි කාල ඔපෙරා හවුස් පැත්තට යමු. එහෙම හොඳයි නේද?“

වදනකට දෙකකට වඩා මා සමග හුවමාරු කරගෙන නොතිබුණු මේ අපූරු තරුණයා සිය දිනය මා වෙනුවෙන් වෙන් කර නිවසින් පිටව විත් තිබිණි. අප සවාරිය ආරම්භ කළේ ‘සබ් වේ‘ නමැති ප්‍රසිද්ධ ආපන ශාලාවෙන් ලබාගත් එළවළු සැන්ඩ්විචස් වලින් කුස පුරවා ගනිමිනි.

දින දෙකකට පෙර මහ වැසි මධ්‍යයේ ජුන් සමග රාත්‍රියේ ඇවිද ගිය වීදි දිග, ගනේෂ් ද සමග මම ඔපෙරා හවුස් දෙසට පිය එසවීමි.

“මම දැන් මෙහෙ ඇවිත් ටිකක් කල්. යූ.ටී.එස්. එකේ ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි ඩිග්‍රි එක කළා. ඒකෙන්ම ජොබ් හොයන්න අමාරුයි. දැන් මම වෙන පාට් ටයිම් එකක් කරනවා... නැන්ද ලඟ නතර වෙලා ඉඳගෙන“

අතීත චෙස් මිතුරන් පිළිබඳ සිහිකැඳවුමෙන් ඇරඹි අපේ කතා බහ බොහෝ ක්ෂේත්‍ර කරා විහිදෙන්නට විය. සිඩ්නියේ ජීවිතය, නවකයකු ලෙස එන්නෙකුට අධික වියදම් හමුවේ ඇතිවන තිගැස්ම ආදිය විස්තර කරදුන් ගනේෂ් කිසිදු වියදමකට මාහට ඉඩ නොතබා සියල්ල සිය පසුම්බිය වෙත භාර කළේ ය.

“ඔයා වියදම් කරන්න ඕන නැහැ. මම දන්නව අලුතෙන්ම ආවම මේ ගණන් ඇහෙනකොට බය හිතෙනව. ලංකාවෙ ගණන් අමතක වෙනකම්, මාස හය හතක්ම අපි වියදම් කරන්නෙ එහෙ විදියට හිතල බලල...“

ඔපෙරා හවුස් සඳහා ප්‍රවේශ දුම්රිය නැවතුම් පළ වන සර්කියුලර් කී ආසන්නයේ අයිස් ක්‍රීම්හලකින් මිළ අධික අයිස් ක්‍රීම් යුගලයක් මිළට ගනිමින් ඔහු කියා සිටියේ ය. අප රට මුදලින් නම් රුපියල් එක්දහස් පන්සියයක් පමණ විය හැකි එම අයිස් ක්‍රීම්, අපට පමණක් නොව මෙරට වැසියන්ට ද මිළ අධික බොජුනක් බව මා වටහාගත්තේ එහි මිළ අසා ඕස්ට්‍රේලියානුවෙකුද නළල රැළි ගන්වා ගත් නිසා ය.

කලපුව සිට  ඔපෙරා නිවස
“මේක ගොඩක් ගණන් තමයි. ඒත් මම හරිම කැමතියි මේවට. අනික අද විශේෂ දවසක්!“

සිය ගණනින් ඇදෙන මහ සෙනඟ මැදට එක්ව අපි ඔපෙරා හවුස් පරිශ්‍රය වෙත ඇවිද ගියෙමු. කලපුව මායිම් කොට ගොඩ නැඟුණු මෙම විශිෂ්ට නිර්මාණයේ සැබෑ සුන්දරත්වය පෙර දා රැයේ මා දුටුවේ නැත. දැවැන්තව ඉහළට විහිදෙන, නැමී නැගෙන ගොඩනැගිලි බිත්ති දුඹුරුවන් පැහැයක් ගනියි. මනරම් දිවා ආලෝකය හා උණුසුම් කාලගුණය ගෘහ නිර්මාණය දකින්නට එන්නන් වෙත ගෙන එන්නේ පහසුවකි. හිරු රශ්මියේ උණුසුම නොවන්නට මුහුද පිස හමන කටුක සුළඟ විඳ ගැනීම අපහසු කටයුත්තක් විය හැකිව තිබිණ.

ඔපෙරා හවුස් පරිශ්‍රයේ බොහෝ වේලාවක් ගත කළ අප දෙදෙන මගීන් ගෙනයන කුඩා බෝට්ටුවක ‍(ෆෙරියක) නැග ටොරන්ගෝ සත්වෝද්‍යානය පිහිටා ඇති කලපුවේ අනෙක් ඉවුරක් වෙත ගියෙමු. කුඩා යැයි කීවද මෙම බෝට්ටුවක දෙතුන් සියයක් මගීන්ට ගමන් කළ හැක. දුම්රිය, බස්රිය මෙන්ම මෙම බෝට්ටු ද එක් එක් ගමනාන්තයන් කරා නිසි වේලාවල්වලදී පිටව යමින් සිඩ්නියේ මුහුද හා කලපුව ආශ්‍රිතව වෙසෙන නිවැසියන්ට පහසුවෙන් නගරය කරා ඒමට ඉඩකඩ සළසයි. පසෙකින් පෙනෙන සිඩ්නි ඔපෙරා නිවසත්, හිසට ඉහළින් නැගී අහස් කුස කරා විහිද යන, කලපුවේ දෙපස යා කරන දැවැන්ත සිඩ්නි වරාය පාලමත්, හාත්පස සිසාරා පෙනෙන ගොඩනැගිලි පෙළත් දෙස බලමින්, පසු පසින් නැගී, පෙනපිඬු සේ බිඳී යන සුදු පැහැ දිය රළ විඳිමින් මේ බෝට්ටුවක ගමන් කිරීම අපමණ සතුටක් සිතෙහි ජනිත කරයි. මා අතැති දුරකථනයේ කැමරාවෙන් මනබැඳි දසුන් රූපයට නැඟූ මම ගනේෂ්ගේ ද රුවක් එහි සටහන් කර ගත්තෙමි. සුන්දර සිනහවක් මුවට නංවා, බෝට්ටු අසුනේ හිඳ මා දෙස බලන ඔහුගේ පසුබිමෙන් විසල් නගරය දිස්වෙයි. සේයාරුව මාහට කියා සිටින්නේ කුමක් ද? සිඩ්නිය... විසල් නගරය.... පැමිණ මසකටත් පසු නගරයේ සුන්දරත්වය විඳගැනුමට පළමුව මා කැටුව යන මිතුරා... ඔහු දමිළයෙකි!

දමිළ ජාතිකයින් ඇසුරත්, හමුවත් මා හට දුරස්ථ කාරණා නොවූයේ තාත්ති සේවය කළේ තේ වත්තක බැවිනි. පාසැල් නිවාඩුවට වත්තේ නිල නිවසට යන අපට දිනපතා තේ දළු නෙළන දමිළ ගැහැණුන් දක්නට ලැබේ. අතැඟිලිවලට කිසිදු විරාමයක් නොදී, අව් වැසි නොතකා ඔවුහු වේගයෙන් දළු නෙළති. ඔවුන්ගේ වැඩ පිරික්සන කංකානිවරු ඇතැම් විට අප හා කතාවට එති.

“ආ... බේබි... කවද්ද ආවෙ? ඉස්කෝලෙ නිවාඩු නේද?“

ආවේණික ඌරුවක් සහිතව, මුත් නිවැරදිව ඔවුහු අපගෙන් සිංහල බසින් තතු විමසති.

වතු ජීවිතයේ වසර විසි-තිස් ගණනක ගතකෙරුම හේතුවෙන් තාත්තිට කදිමට දමිළ බස වැහැරිය හැකිව තිබිණි. නිවසට වී උන් අම්මාටත්, නිවාඩුවට පමණක් එහි ගිය අප තිදෙනාටත් දමිළ ඉගැනුමට අවකාශයක් නොලැබුණේ අවාසනාවට ය. ඉඳහිට නිවසට ගොඩ වදින වත්තේ සේවක සේවිකාවන් මෙන්ම තාත්ති සමග කාර්යාලයේ එක්ව වැඩ කළ දමිළ නිලධාරීන් ද අප හා කතා කළේ සිංහලයෙනි. සෙල්වරාජ්, ගනේෂන් වැනි තාත්ති හා සමීපව ඇසුරු කළ ඇතැම් අයට අපි ‘අංකල්‘ යන යෙදුමද එක් කොට ආමණ්ත්‍රණය කළෙමු. අවුරුදු නිවාඩුවට වත්තට ගිය කාලවල එවැනි සමීපතමයින්ගේ නිවෙස්වලින් වඩේ වර්ග ඇතුළු කෑම ලැබුණු සැටිත්, අපද කැවුම් කොකිස් ඔවුන් වෙත ගොස් දුන් සැටිත් අදද මට යන්තමින් මතක ය.

වතු ජීවිතය, සිය දිවියේ ප්‍රමුඛ පාර්ශවයක් ලෙස සැලකූ තාත්ති, වත්තේ හමුවූ සියළු මිනිසුන්ගේ සිත් අසීමිතව දිනාගෙන උන්නෙකු බව මට මතක ඇත. ‘අයියා‘ හෝ ‘දොරේ‘ යනුවෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඔහු ඇමතූ සුළු සේවකයෝ කිසිදු පැකලීමකින් තොරව, මුදල් නොගෙන අපට උදව් උපකාර කළහ.

“මේ මිනිස්සු හරිම ගුණ යහපත්!!“

තාත්ති නිතර ඒ වචන කියනු මා අසා ඇත.

පසු පසින් නැගී, පෙනපිඬු සේ බිඳී යන සුදු පැහැ දිය රළ විඳිමින්
1983 වසරේ ජූලි කලබලය එළඹෙන විට අප සිටියේ මැදමහනුවර, වුඩ්සයිඩ් වතුයායේ ය‍. නගරයෙන් සැතපුම් තුන හතරක පමණ දුරකින් පිහිටි වතුයාය බස්රථ නොයන බොරළු පාරකින් නගරයට සබැඳී තිබිණි. නගරයෙන් ඩෙලිකා රථයක් කුලියට ගන්නට නොවූ දිනවල මෙම දුර ගෙවා අපි පයින්ම වත්තට ගියෙමු. නගරයේ සිංහල සමාජ පරිසරයට දුරින් වූ වතුයායේ ලැයිම් කාමරවල මිනිසුන් ජූලි කලබලයද සමග බිය වී සැඟව උන් සැටිත්, එදිනෙදා අහර සඳහා හාල්, පොල්, තුන පහ මිලට ගන්නට කඩපොළට යා නොහැකි ඔවුන්ට වත්තේ ලොරියකින් වියළි ආහාර බෙදූ සැටිත් මට මතක ඇත්තේ කුඩා දරුවන් ලෙස මමත් මල්ලීත්, තාත්තී සමග එම ලොරිවල නැගී ඒ ගමන්වලට සහභාගි වූ හෙයිනි. කලබලයේ බිහිසුණුකම පිළිබඳ අදහසක් නැති අප දෙදෙන, කඳු වැටියේ පටු මාර්ග ඔස්සේ ලැයිම් කාමර වෙත රිය පැදවූ රියදුරාගේ විස්මිත හැකියාව විඳිමින් ඉදිරි අසුනට වී සිටි බව ද අමතක නැත.

වතුයායේ දමිළ සේවකයින්ට ජූලි ප්‍රහාරවලින් හානියක් වූ බව මා අසා නැත. සිය සේවකයින් කෙරෙහි වූ අපමණ බැඳීමකින් බොහෝ සිහල නිලධාරීහු ඔවුන්ගේ ජීවිත රැක දුන් හ. කොයිමොහොතක හෝ කඩා පැන තමන් මරා දමනු ඇතැයි යන බියෙන් අඬා වැටුණු දමිළ ගැහැණුන් පිළිබඳ බොඳවූ සිත්තමක් වැනි මතකය ලොරි ගමන් අතරතුර ඇඳී වියැකෙමින් පවතී.

1983 වසරින් බොහෝ කලකට පසු දිනෙක ඒ යුගය සිහි කැඳවමින් තාත්ති කී කතාව, ඔහු පිළිබඳ වූ ගෞරවය හා සෙනෙහස අපමණ ප්‍රමාණයකින් ඉහළ දමන්නට හේතු විය. රියදුරන්ගේ විකුමැති රිය පැදවීම් දෙස බලා විශ්මයට පත්වෙමින් උන් මමත් මල්ලීත් එදා මේ සිදුවීම දුටුවේවත් ඇසුවේවත් නැත්තේ කවර හේතුවක් නිසා ද? දුර්ග මගෙහි රිය පැදවූ රියදුරාගේ මෙහෙයුමට වඩා පියවර දහස් ගණනකින් පෙරමුණේ තැබිය හැකි තාත්තිගේ වික්‍රමය කිසිවකුත් නොදන්නා රහසක් ලෙස වසර ගණනක්ම සැඟ වී පැවත ඇත.

රට පුරා ඇවිලුණු ජාතිවාදී ගිනිදැල් එදවස මැදමහනුවර නගරයට ද පිවිස ඇත. වියරු වැටුණු සිංහල ජාතිවාදීහු සිය මෙහෙයුම දියත් කරන්නට තීරණය කර ඇත්තේ වත්තේ දමිළ ලැයිම් කාමර පෙළකට පහර දීමෙනි. ජූලියේ, එක්තරා රැයක සංවිධානය වෙමින් තිබුණු මෙම පහර දීමට මොහොතකට කලින් තාත්ති වෙත ඒ පිළිබඳව හෝඩුවාවක් ලැබී ඇත.

“මම ගල් ගැහුණා!! දෙයියනේ.... අසරණ ළමයි, ගැහැණු කී දෙනෙක් නං ඔය ලැයිමක ඉන්නව ද? මුන් ආව නම් ආය දෙකක් නැහැ සේරම මරන්න බැරි නෑ කියල මට හිතුණ...“

කතන්දර කීමෙහි මහත් සමතෙකු වන තාත්ති සිදුවීම අප ඉදිරියේ ජීවමාන කරන්නේ ලොමු දැහැගැන්වෙන අයුරිනි. ඔහුට අනුව අදාල දින රාත්‍රියේ පහර දීම පිළිබඳ හෝඩුවාව ලැබෙන විට සිදුවීම ඉහළට දැනුම් දීමට හැකි කිසිදු ක්‍රමයක් ඉතිරිව තිබී නැත.

“රෑ මුන් සේරම වත්තට පනින්න ලොකු ඉඩක් තිබ්බ. මට කරන්න දෙයක් තිබ්බෙ නැහැ. මට මතක් වුණේ වත්තෙ තුවක්කුව මගෙ ළඟ කියල විතරයි... මම කළුවර වැටුණම ඒක අරගෙන ගියා වත්තෙ මායිමේ ගල් තලාව ළඟට... කවුරු ආවත් එන්න ඕන එතනින්.... කිසි සද්දයක් නැහැ... කිසිම එළියක් නැහැ.... ඒත් මම ටිකක් බලා ඉඳල කෑගැහුව පහළට ඇහෙන්න... මොකෙක් හරි ඉන්නවනම් ඇහෙන්නයි මම මේ කියන්නෙ... මෙහෙ කාටවත් ගහන්න... මරන්න දෙන්න බැහැ... මගේ අතේ තියෙන්නෙ තුවක්කුව... එකෙක් හරි ආවොත් මම වෙඩි තියනව... කියල!!!“

කිසිදු හැල හොල්මනක් නොමැති නිශ්චල අවකාශයට මෙවදන් එක් කර ඇති තාත්ති මැදි රැය ද පසුවන තෙක් තනිව ගල් තලාව මත ගත කොට නිවසට පැමිණ ඇත්තේ කිසිවකු නොපැමිණි තැන ය. සිය ව්‍යායාමය හේතුවකින් තොර, කිසිවකුත් නැති පරිසරයක තනිව කළ ක්‍රියාවක් පමණකැයි යන සැකයෙන් උන් ඔහුට කලකට පසු වෙනත් අයෙකු කියා ඇත්තේ මෙවැන්නකි.

“මහත්තය එදා හරි වැඩේනෙ කළේ... ගල් තලාව උඩ ඉඳන් මහත්තය කෑනොගහන්න අපි දෙන්නයි හිටියෙ ලැයිමටම වැඩේ... අපි ඒ වෙනකොටත් පල්ලෙහා කැලේ හිටියෙ...!!!“

සිය ක්‍රියාවේ බැරෑරුම්කමත්, බේරාගත් මිනිස් ජීවිතත් පිළිබඳ උපන් සතුටකින් තාත්ති එදා සිය පුවත අපට කියා අහවර කළේ වික්‍රමයේ ඇදහිය නොහැකිම කොටසින් අප ගල් ගැසෙන්නට හරිමිනි.

“එදා උන් ආවනම් මට කරන්න දෙයක් නැති වෙනව... මගෙ ළඟ තිබ්බෙ තුවක්කුව විතරයි... පතුරම් නැතිව!!!“

ගනේෂ් වෙරළේ ඈතට වී දුරින් පෙනෙන නගරය සිය කැමරාවට හසුකර ගන්නට සුදුසු කෝණයක් විමසයි. තාත්ති පිළිබඳ උපන් අපිරිමිත ගෞරවාදරයකින් මගේ සිත පිරී ඇත. ජීවිත සිය ගණනක් එදින රාත්‍රියේ ඔහු නිසා බේරුණු බව දන්නා අයෙකු ඒ ලැයිම් කාමරවල නොසිටින්නට ඇත. සිය යුතුකම ඉටුකොට නිහඬව පිටව ආ තාත්ති සිහිව නැඟුණු කඳුළු පිස දමා මම ගනේෂ්ට කතා කළෙමි.

“අපි යමු... අන්න එගොඩට යන ෆෙරි එක එනව....“

4 comments:

  1. මනුස්සකමට ජාති, කුල ඔය බේද මුකුත් නෑ. ප්‍රියන්තගේ කතාවෙන් ඒක හොඳටම ඔප්පු වෙනවා.

    මටත් ඉන්නවා හොඳ දෙමළ යාලුවෝ. වෙලාවකට හිතෙනවා එයාල අපේ භාෂාව කතා කරනවා වගේ අපිට බැහැනේ එයාලගේ භාෂාව කතා කරන්ට කියලා.

    ලංකාවෙන් ආපු අය කාලයක් යනකල් ඩොලරය , රුපියල් වලට හරවනවා මාත් දැකලා තියනවා.:)

    හොඳ කතාවක්...ආසාවෙන් කියෙව්වා....

    ReplyDelete
  2. godak asa hithena kathawak aiye....

    ReplyDelete
  3. අපූරු සටහනක්.... අදයි අහම්බෙන් බ්ලොගිය නෙත ගැටුනේ නැවත එන්නට පාර මතක තියාගන්නම්. ජය....

    ReplyDelete
  4. පාට කන්නාඩි වලින් තොරව තව තවත් සමාජය දකින්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා.....

    ReplyDelete