Saturday, June 9, 2012

බැරිවෙයිද බිත්තර කොත්තුවකුත් ගේන්න ඒත් එක්ක?


(2012 මාර්තු 21 වැනිදා)

සිඩ්නියට පැමිණ දින කිහිපයක් ගෙවී ගිය තැන විශ්වවිද්‍යාලයේ බැංකු ශාඛාවක් වෙත ගිය මම එහි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය සොයා ගතිමි. සිඩ්නියේ අධික වියදම කිසිවකුට ඉහිලුම් නොදෙන්නකි. තිදෙනෙකුගෙන් සමන්විත කාමරයේ මගේ කොටස සඳහා සතියකට ඩොලර් එකසිය විසිපහක මුදලක් ඇනීට ගෙවීමට සිදුව ඇත. ඒ අනුව මම මසකට ඔස්ට්‍රේලියානු ඩොලර් පන්සියයක් ඇනී වෙත ගෙවමි. රුපියල අවප්‍රමාණ වෙද්දීම ලංකාවෙන් පිටව ආ මට ඔස්ට්‍රේලියානු ඩොලරයක් සඳහා රුපියල් එකසිය තිහක් ගෙවීමට සිදු විය. ඒ අනුව මම ඇඳ හා මේස කැබැල්ල සහිත කාමර කොටසටත්, කුස්සිය හා නාන කාමර භාවිතයටත් ලංකා මුදලින් රුපියල් හැත්තෑ දහසක් ඇනී වෙත හිලව් කළ යුතු ය. කෑම බීම වියදම ද සහිතව මගේ මාසික වියදම රුපියල්වලින් නම් ලක්ෂයකට ආසන්න වනු ඇතැයි මට සිතේ.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස මට ලැබෙන වැටුප තවමත් මගේ බැංකු ගිණුමට බැර වේ. එහෙත් මෑතකාලීන වෘත්තීය සමිති අරගලයෙන් පසු වැඩි කළ අගයද සහිතව ආධුනිකයෙකු ලෙස මට ලැබෙන්නේ රුපියල් පනස් දහසකට මඳක් ආසන්න මුදලකි. එය පූර්ණව ලබා ගත්තද සෑහෙන්නේ සිඩ්නියේ සති දෙකක් ජීවත් වන්නට ය. 

සිඩ්නියට (ඕනෑම වියදම් අධික විදේශයකට) ගොඩ බසින ලාංකිකයෙකු මුහුණ දෙන මෙම අමිහිරි යථාර්ථය හමුවේ සියල්ලන්ගේම ඉක්මන් අරමුණ වන්නේ තාවකාලික රැකියාවක් සොයා ගැනීම ය. රැකියාව තත්ව සංකේතයක් ලෙස නොසලකන (හෝ නොතකා හැරෙන) විදේශයක දී ලැබෙන ඕනෑම රැකියාවක් භාර ගැනීම නුවණට හුරු වුවද ඒ නුවණ පහළ වීමට ටික දිනක් ගතවෙයි. හෝටලයක පිඟන් සේදීම, පිරිසිදු කිරීම වැනි රැකියාවක සිට වේටර් වෘත්තිය හරහා කැෂියර් හෝ සහායක වෘත්තීන් ද, පත්තර බෙදීම, පීසා වැනි ආහාර නිවස් වෙත ගෙනගොස් දීම ආදී වෘත්තීන්ද විදේශයකදී ලබා ගත හැකි, පහසුවෙන් ලැබෙන වෘත්තීන් ලෙස පිළි ගැනේ. සිඩ්නියේදී මෙවන් වෘත්තියක නිරත වීමෙන් පැයකට ඩොලර් 10-20 අතර මුදලක් සොයාගත හැකි ය. දිගු කාල වේලාවක් සේවය කළහොත් එය විශාල මුදලකට හරවාගත හැකි මුත් ශිෂ්‍ය වීසාවකින් ඇතුළු වන අපට සතියකට පැය විස්සක සීමාවක රැඳෙන්නට සිදුවේ. 

‘පාට් ටයිම් රස්සා‘ ලෙස ප්‍රචලිත, පැය විස්සකට සරිලන තාවකාලික රැකියා සොයාගන්නටද කලක් ගත වන බැවින් බැංකු ණයක් ලබාගත් මම ඒ මත විශ්වාසය තබා මෙහි පැමිණියෙමි. විශ්ව විද්‍යාලයේ බැංකු ටෙලර් යන්ත්‍රය අභියසට මා පය එසවූයේ එම ණය මුදලින් කොටසක් මගේ කාඩ්පත හරහා ලබා ගන්නට ය. 

“සර් අපේ බැංකුවට ලියුමකින් දීලා යන්න සල්ලි ගන්නේ පිටරටින් කියල. ට්‍රැවලර්ස් චෙක්ස් හොය හොය මහන්සි වෙන්න එපා. කාලෙත් ඉතිරිනෙ“

ගුවන් ගමනට දින දෙකකට පෙර වීසා බලපත ලැබ, සල්ලි මාරු කිරීමට බැංකුවට ගිය මා හට බැංකු නිලධාරියා උපදෙස් දුන්නේ ය.  ඔහුගේ උපදෙස් පරිදි බැංකුවේම මුදල් තිබෙන්නට ඉඩ හළ මම දින දෙකකින් ගුවන්ගත වූයේ සුළු මුදලක් අත තබාගෙන ය. දැන් එළඹ ඇත්තේ ලංකාවේ බැංකුවක මා සතු ගිණුමට අත දමා, කිලෝ මීටර දහස් ගණනක දුර සිට මුදල් ඇදගැනීමේ විශ්මිත නිමේෂයයි. මගේ දේශීය බැංකුවෙන් ටෙලර් යන්ත්‍රයකට දිනකට නිකුත් කරන මුදල් ප්‍රමාණය රුපියල් අසූ දහසකි. දුරකථන සබඳතාව සමග නොමිළේ ලද ස්මාර්ට් ජංගම දුරකථනයේ තිරය මතින් ගණක යන්ත්‍රය මතු කරගත් මම එය ඕස්ට්‍රේලියානු මුදලට හරවා බැලුවෙමි. ඩොලර් හය සියයකට වැඩි මුදලක් ලබා ගත හැකි ය. හ්ම්.... ගෝලීයකරණය... විශ්ව ගම්මානය...සියල්ලට පින් සිදු වන්නට මම තව මොහොතකින් ඩොලර් ලාභියෙක්මි. ජයන්ත අංකල් ගෙවා දමා තිබූ මගේ නවාතැනේ තැන්පතු මුදල ආදියද දැන් ගෙවිය හැක. මම වොලට්ටුව අතට ගතිමි. ලංකාවෙන් නික්මුණු දින දහවලේ මහනුවර සාප්පුවකින් නිරූ තේරූ කළුවන් පැහැ වොලට්ටුවේ කෙළවරක සිට ඇගේ උඩුකය සේයාරුව මදෙස බලා හිඳියි. නික්මෙන දින ඇය මෙම ඡායාරූපය මහත් සතුටකින් මෙහි තැන්පත් කළ අයුරු මට මතක ය. 

මම බැංකු කාඩ්පත සෙව්වෙමි. එය එහි නැත! සියළුම කාඩ්පත් හා හැඳුනුම්පත් ද, රියදුරු බලපත්ද අතර සැඟව සිටින්නට විශේෂ ස්ථානයක් බැංකු කාඩ්පතට නැත. මම දැඩි ලෙස බියටත්, වේදනාවටත් පත් වීමි. මම මෙහි පැමිණ දින කිහිපයක් ගත වී හමාර ය. බැංකු කාඩ්පත අවසන් වරට පරිහරණය කළේ ශ්‍රී ලංකාවේදී වන බැවින් එය වෙනකකු අතට පත්වී නම් සියලු මුදල් සිඳ දමන්නට කාලය ප්‍රමාණවත් ය. සියොළඟ ගලා ගිය සියුම් වේදනාවක් සමග මහත් අසරණකමක් සිතට දැනෙන්නට විය.  විදේශීය විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් සඳහා එන අප වැන්නෙකුට සාමාන්‍ය උපාධියකට ඇතුළු වන තරුණයකුට මෙන් වේගයෙන් මිතුරන් ලැබෙන්නේ නැත. තිස් දහසක් පමණ සිසු සිසුවියන් වෙසෙන සිඩ්නි විශ්වවිද්‍යාලයට මම තවමත් ආගන්තුකයෙක්මි. අසරණව වට පිට බැලූවද, ගැටළුව කුමක්දැයි අසන්නට හෝ අසරණකම බෙදාගන්නට අයෙකු පෙනෙන්නේ නැත. අප රට සිසුන් විශ්වවිද්‍යාලයක ගමන් කරනවාට වඩා විශාල වේගයකින් සිය ගණනක් වූ සිසු සිසුවියෝ ඇවිද යති.

මම සෙමින් රීජන්ට් වීදියට ආවෙමි. සිහි එළවාගත නොහැකි තරමට අවුල්ව ගිය මනසක් ඇති මොහොතක, වේදනාව දැඩිව දැනෙන මොහොතක එය බෙදාගන්නට අයෙකු නොවීම බිහිසුණු ය. ජීවිතයේ අවස්ථා ගණනාවක එය මා අත් විඳ ඇතත් මෙය වඩාත් සංකීර්ණ වූයේ මා විදේශයක සිටීම නිසා ය. බොහෝ වේලාවක් කල්පනා කළ මම ස්කයිප් හරහා නිරූව සොයා ගතිමි. ඇය වහාම අදාල බැංකුව හරහා කළ සොයා බැලීමෙන් තහවුරු වූයේ මුදල්වලට කිසිදු හානියක් වී නොමැති බවයි. එසේනම් මගේ මතකයේ සටහන් නොවූ මොහොතක බැංකු කාඩ්පත කොහේ හෝ ගිලිහෙන්නට ඇත. 

එදින රැයේ ස්කයිප් සංවාදයකට එක්වූ සුමිතුරු ලොහාන් නව බැංකු කාඩ්පතක් ලබා ගැනීමේ සියලු කර්තව්‍යයන් කරදීමට භාර ගත්තේ ය. ලොහාන් මිතුරන්ට උදව් කරන්නේ ඉල්ලීමටද පෙර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමෙනි. එවැනි මිතුරන් අපගේ දිවිය තුළ විටින් විට අපට හමුවේ. ඇතැමුන් කාලය සමග අපෙන් දුරස්ව ගිය ද තවත් අය දිගු මිතුදම් පවත්වමින් අප හා රැඳෙති. පේරාදෙණියේ දී කංචුකා නිර්මාණය කළ ‘දෙයියෝ‘ නාට්‍යයේ මගේ රංගනය දැක මා හා මිතුරු වූ ලොහාන්‍, පසුව රජිතගේ ළමා නාට්‍යය වූ ‘රාස්සිගේ කැවුම් මල්ල‘ නාට්‍යයේ ඇඳුම් හා පසුතල නිර්මාණය කරමින්ද අප හා කලා කටයුතුවල නිරත විය. එහෙත් ලොහාන් තුළ සැඟව සිටි අතිදක්ෂ නළුවා මට හමුවූයේ අයනෙස්කෝගේ Bold Soprano ඇසුරින් කංචුකා නිපදවූ‘තට්ට ගායිකාව‘ නැරඹූ දිනයේ ය. ආධුනිකයෙකුට තරම් නොවන විශිෂ්ට රංගනයක් එදා ඔහු ගෙන ආවේ ය. 

පසුකලෙක මගේ අළු නාට්‍යයේ පසුතල, ඇඳුම් ඇතුළු සියලු කටයුතු පසුපස උන් ලොහාන් එය කෘතියකට නැගෙද්දී කවරය සාදා දී බොහෝ පසුබිම් කටයුතු කරමින්ද මා සමග රැඳුණේ ය. වැඩ කටයුතු නිසි කලට නිම නොකිරීම සම්බන්දයෙන් නම් දරා සිටින්නෙකු වන මගේ බොහෝ භයානක අවසාන මොහොතවල් සාර්ථක කරගන්නටද ලොහාන් උදව් වී ඇත. 

‘ ප්‍රියන්ත අයිය බයවෙන්න එපා, මම බැංකුවෙ වැඩේ බලාගන්නං, ඔයාට සල්ලි හිරවෙලා අමාරුවකනං ඉන්නෙ මිස්සකට කතා කරන්න.“

මිස්සක යනු කංචුකාගේ දෙයියෝ නාට්‍යයේ රඟපාන්නට ඉංජිනේරු පීඨයෙන් පැමිණි මිතුරෙකි. Woody Allen ගේ The God නාට්‍යය අනුවර්තනයෙන් කංචුකා සැදූ දෙයියෝහි රජතුමාගේ චරිතයත්, කරුණාරත්න ආරියසේනගේ චරිතයත් රඟපෑවේ මිස්සක ය. උපාධියෙන් පසු මොරටුව විශ්වවිද්‍යාලයේ කලක් සේවය කළ ඔහු මේ වන විට ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියි. මම මිස්සකගේ දුරකථන අංකය ලොහාන්ගෙන් ලබාගෙන එය ඇමතුවෙමි. මාගේ සිතට තවත් කළකිරීමක් එක් කරමින් එය ක්‍රියාවිරහිතව තිබූ අතර පණිවුඩයක් තබන්නැයි සඳහන් කරමින් මිස්සක කර තිබූ පටිගත කිරීමක් අසන්නට ලැබිණි. 

වේදනාව සිතට දැනෙන්නට ගනිද්දී ඒ හා කඳුළු නැගීම ස්වභාවික වුවත් පිරිමි වන අපි හැකි පමණ නොහඬා ඉන්නට අපේක්ෂා කරන්නෝ වෙමු.  ළමා කාලයේ යම් දෙයකට කඳුළු සලද්දී,
“ලැජ්ජ නැද්ද අඬන්නෙ? හරියට නිකං කෙල්ලෙක් වගේනෙ... කොල්ලො අඬනවයැ...“
යනුවෙන් වැඩිහිටියන් කරන ප්‍රකාශයන් අපේ සිත් තුළට දැඩිව කාවදියි. එතැන් පටන් කඳුළු සැළීම ගැහැණුන්ට පවරාදෙන අපි අධික වේදනාවන් දැඩි මානසික ආයාසයන් යොදා පාලනය කරගන්නේ පිරිමිකම පිළිබඳ උපන් ගර්වයකින් යුක්තව ය. එහෙත් දරන්නට අපහසු මොහොතේ, ඒ දැක සිනාසෙන්නට හෝ ‘ලැජ්ජ නැද්ද?‘ යි අසන්නට අයෙක් අසළක නැත්නම් පිරිමින්ද රිසි පරිදි හඬා වැටෙනු ඇතැයි මට සිතේ. සියල්ල අවසන, මුදල් අතට නොලැබ, කුසගින්න දැඩිව නැගෙන්නට වූ කළ මසිත බල කර සිටියේද එයට ය. 

එහෙත් සියල්ල විශ්මිත ලෙස වෙනස් කරමින් නිමේශයකින් දුරකථනය නාද වන්නට විය. තිරය මට දැනුම් දුන්නේ අමතන්නේ මිස්සක බව ය. මා ඔහුට පණිවුඩයක් නොතැබූ නමුත් මගේ අංකය දැක ඔහු යළි ඒ අමතා ඇති බව පෙනේ. එහෙත් මේ අංකය මගේ බව ඔහු දැන සිටින්නට ඉඩක් නැත‍.

“හෙලෝ හූ ඉස් දිස්? අයි ගොට් අ කෝල් ෆ්‍රොම් දිස් නම්බර්...“

මිස්සකගේ සුපුරුදු හඬ අනෙක් පසින් නැඟෙයි. 

“මම මෙහෙම කිව්වොත්... මාළිගාවෙ බිත්තර ඉවර නිසා මාළු කොත්තුවක් වුණත් කමක් නැහැ කියල“

දෙයියෝ නාට්‍යය වේදිකාගත කොට වසර දොළහක් ගතවී තිබුණද මිස්සකටත්, මටත් (එහි සිටි සියළුම සාමාජිකයින්ටත්!) එහි දෙබස් හොඳින් මතක ය. රජුට පණිවුඩය රැගත් ග්‍රීක වහළකු වූ ෆිඩිෆිඩීස් වූ මම දිගු පා ගමනකින් පසු රජ මාළිගාවට පිවිස මුරකරුට කියන්නේ රජු මුණගැසීමට ආ මුත් කුසගින්නද අධික බව ය. ඉන් පසු දිග හැරෙන්නේ මෙවැනි දෙබස් පෙළකි.

දෙයියෝ නාට්‍යය - සරත්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ දී (2000)
මුරකරු : හරි මම රජතුමාව අරගෙන එන්නම්

ෆිඩිෆිඩීස්: බැරිවෙයිද බිත්තර කොත්තුවකුත් ගේන්න ඒත් එක්ක?

මුරකරු: හරි. බිත්තර කොත්තු එකයි, එළවළුවකුත් තම්බල දෙන්න පුළුවන්...?

ෆිඩිෆිඩීස්: ආ... ගේන්නකො බැදපු අලයක්!

මුරකරු: ටී ද ? ප්ලේන් ටී ද?

ෆිඩිෆිඩීස්: ප්ලේන්ටි හොඳයි

මුරකරු: බිත්තර කොත්තු එකයි... බැදපු අලයයි... ප්ලේන්ටියයි

ෆිඩිෆිඩීස්: ඒත් එක්ක අමතක කරන්න එපා රජතුමා!!

පළවෙනි දෙබස අවසානයේ බිත්තර කොත්තු ඉල්ලීමත් සමග හෙල්ල පසෙකට විසිකරන ග්‍රීක මාළිගයේ මුරකරු වේටරයකු බවට පත් වේ. සාංදෘෂ්ටිකවාදී දර්ශනයක් පිළිඹිබු කළේ වුව විශිෂ්ට පෙළ රචනයක කදිම අනුවර්තනයක් වූ නිසාවෙනුත්, කංචුකාගේ මෙහෙයවීමේ විශිෂ්ටත්වය නිසාවෙනුත් එම වසරේ ශිෂ්‍ය නාට්‍ය තරගයේ සියලු සම්මාන (ස්වතන්ත්‍ර රචනය හැර) අප නාට්‍යයට ලැබිණි. හාස්‍ය රසය පිරුණු නාට්‍යය ප්‍රේක්ෂක සිත් මනාව දිනා ගත්තේ ය. 

බිත්තර කොත්තු වෙනුවට මාළු කොත්තුවක්ද රැගෙන වහලා ඉදිරියට ආ රජු මිස්සක වූ නිසාත්, වහලා මා වූ නිසාත් පසුව හමුවුණු ඕනෑම මොහොතක අපේ කතා බහ ඇරඹුණේ ඒ සබැඳි දෙබසක් ආශ්‍රයෙනි. දුරකථනයේ මගේ ප්‍රකාශයෙන් අමන්දානන්දයට පත් මිස්සක බොහෝ වේලාවක් යනතුරුම සිනාසෙන්නට විය. අනතුරුව දිගු වෙලාවක් කෙරුණු අපේ කතා බහ කලාව, දේශපාලනය ආදී මාතෘකාවලින් මෙන්ම අප නාට්‍ය කණ්ඩායම, මිතුරෝ, ඕස්ට්‍රේලියානු ජීවිතය වැනි මාතෘකාවලින් ද සමන්විත විය.

දිනකින්, දෙකකින් මිස්සක මගේ ඕස්ට්‍රේලියානු බැංකු ගිණුමට බැර කළ මුදල මාතට පත් විය. 

“අයියෝ ප්‍රශ්නයක් නැහැ... ප්‍රියන්ත අයියට පුළුවන් වුණු වෙලාවක සල්ලි ටික ගමු. මට හදිස්සියක් නැහැ...“ 

මුදල් යළි ගෙවීම පිළිබඳ ඔහු දුන්නේ එවන් පිළිතුරකි.

7 comments:

  1. now,now, this is going on a totally different direction..Missaka, Lohan..all the serial killers I can think of..are you being bribed this time by anyone??

    ReplyDelete
    Replies
    1. *all the serial killers?* you cannot say so when the killer queen of Delhi is missing, can you?

      Delete
  2. මෙවන් මිතුරෝ වෙන කොයින්දා.............

    ReplyDelete
  3. තව කොච්චර දේවල් ජීවිතේ ඉගෙනගන්න තියෙනවද? ඕව සුලු දේවල්නෙ? ජීවිතේ බර දැනෙන්න පිටරටකටම යන්න ඕනැ

    ReplyDelete
  4. මේ වගේ රිස්ක් එකක් ගන්න මං නං කවදත් බයයි. නමුත් රිස්ක් අරගත්තු අය තමයි ලොවේ ජයගන්නේ.
    ඔබට ජය!

    ReplyDelete
  5. අතින් වියදම් කරනවා කියන්නේ හරිම අමාරුයි නේ ... ශිෂ්‍යත්වයක් සඳහා ඉල්ලුම් කරලා බලන්න. පස්චාත් උපාධි පර්යේෂණයක් නිසා හම්බෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ජය!

    ReplyDelete
  6. I live in Sysdney Au, If you need , I might be able to help.
    Send me a email to hasicv@gmail.com If you wish.
    I guess we are of similar age ...
    TC

    ReplyDelete