Friday, May 18, 2012

ඇල්ගනන් වීදියෙන් රීජන්ට් වීදියට‍....


(2012 මාර්තු මස 09 වැනිදා)

ඕස්ට්‍රේලියාවට පැමිණ දින තුනක් යන්නට මත්තෙන් මට වෙනම නවාතැනකට යන්නට සිදු විය. ඇල්ගනන් වීදියේ දසනායක නිවසින් මම 07 වනදා සැඳෑවේ පිටව ආවෙමි. ගෙවුණු දින කිහිපයේ ජයන්ත අංකල් සහ කුමාරි ඇන්ටි බොහෝ සේ මට සමීප වූහ. මා එන්නටත් මත්තෙන් මාහට නවාතැන් සොයා වෙහෙසී ඇති ජයන්ත අංකල් මාගේ පොකැට්ටුවට සරිලන ලාභදායකම තැනක් මා වෙනුවෙන් වෙන් කර තිබිණි. විශ්වවිද්‍යාලයට පාගමනින් යා හැකි දුරින්, සිඩ්නි නගරයේ මධ්‍යම දුම්රිය පළ අසල, රීජන්ට් වීදියේ පිහිටි එම ස්ථානය නිවාස මහල් සංකීර්ණයක දෙවන මහලේ පිහිටියකි. 

දින ගණනකට සරිලන්නට වෑංජන සකසා, බත් පෙට්ටි ද සමග මා වෙත ලබා දීමට කුමාරි ඇන්ටි කාරුණික වූවා ය. මෙරට  වෙසෙන ශ්‍රී ලාංකිකයෝ (මා දන්නා අය) බත් සහ මාළු පිණි සකසන්නේ දින කිහිපයකට සරිලන්නට ය. අධිවේගී දිවියක් ගතකරන ඔවුහු සකස් කළ ආහාර අධි ශීතකරණයේ තබා යළි අවශ්‍ය ප්‍රමාණ වලින් ගෙන ක්ෂුද්‍ර තරංග උදුනෙන් රත් කොට ආහාරයට ගනිති. ඉදිරි කාලයේ මාගේ ආහාරයන්ද ක්ෂුද්‍ර තරංග උදුනේ උණුසුම ලබනු ඇත.

කෑම භාජන, කොට්ට, වියළි ආහාර ආදිය රථයට දමාගත් දසනායක යුවළ මා සමග රීජන්ට් වීදියේ නවාතැන් ප‍ළට ආහ. 

“මේ වැඩේ අපිට දැන් පුරුදුයි. අවුරුද්දකට දෙකකට සැරයක් මේ ජොබ් එක අපි කරනවා“ 

ඔවුන් විදින ගැහැට පිළිබඳ කණගාටුව ප්‍රකාශ කළ මට ජයන්ත අංකල්ගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි. 

පෙර දිනයේ අප නවාතැනට ගොස් එහි වටපිටාව විමසා බලා පැමිණි අතර අපගේ පැමිණිම බලාපොරොත්තුවෙන් ඇනී, නිවාසයේ හිමිකාරිය මග බලා උන්නා ය. ඇනී නැමති තරබාරු, සැරපරුෂ නිවාස පාලිකාවක් මනසේ ඇඳ ගන්නා ඔබට බාධා කරමින් ඒ ප්‍රතිරූපය බිඳ දැමීමට සිදුවීම පිළිබඳ මට සමාවන්න! ඇනීගේ සැබෑ නම ඇනී නොවන බව ඇය දුටු මතින් ඔබ තීරණය කරනු ඇත. කිසිවිටෙක චීන ජාතික තරුණියකට එම නම නොලැබෙන බැවිනි. බොහෝ ඕස්ට්‍රේලියානුවාසී චීන ජාතික තරුණියන් මෙන්ම අනෙකාගේ පහසුව සැලකිල්ලට ගෙන ඇය එම නම තමන්ට පට බැඳගෙන තිබුණා ය. ඇනී ඉතා කුඩා සිරුරකින් හෙබි කටකාර චීන කෙල්ලකි. වයසින් ඇය අවුරුදු 25-30 අතර පසුවන බව අනුමාන කළ හැක. කිසිවිටෙක කාලය නිකරුනේ ගතවන්නට ඉඩ නොදෙන ඇය හැකි උපරිම වචන ප්‍රමාණය විනාඩියක් තුළ අපේ දෙසවනට පොම්ප කරයි. 


විනාඩි කිහිපයක් ගතවන්නට මත්තෙන් මාගේ කාමරය කුමක්ද හා එහි මට හිමි ඉඩ ප්‍රමාණය කොපමණද යන්නත්, කුස්සියේ මාගේ රාක්කය කුමක්ද යන්නත්, නාන කාමර හා වැසිකිළි භාවිතයේ ක්‍රියා පිළිවෙත කුමක්ද යන්නත් අධිවේගී පාඩම් මාලාවක් ලෙස නොමිලේම මා වෙත තිළිණ කළ ඇය, ගෑස් උදුනේ ගිනි දල්වන ආකාරය, ක්ෂුද්‍ර තරංග උදුන ක්‍රියා කරවන හා නිවා දමන ආකාරය ප්‍රායෝගික පාඩම් කිහිපයක් ආශ්‍රිතව කියා දීමට සමත් වූවා ය. ඇනීගේ පාඩම් හමුවේ ඔබ කලබල වුවහොත් ඔබ කිසි විට සරලව දැල්විය හැකි ගෑස් උදුන දැල්වීමට සමත් නොවනු ඇත. ජයන්ත අංකල්, කුමාරි ඇන්ටි, නන්නාඳුනන නවාතැන් සගයන් ඉදිරියේ පරාජය නොවීමේ දැඩි අධිෂ්ඨානයෙන් උදුනට ගිනි බටය යොමු කළ මට අවසන සිදුවූයේ ද එයයි. ආහ්.... මෙහි ඇති ආහ්ලාදජනකම දෙය නම් ගිනි බටයයි. ගෑස් උදුනේ කරාමය හරිද්දීම ගිනි බටය දක්ෂ ලෙස ලිප මතින් ‘ටික්‘ ගා දැල්වීමට ඔබ සමත් විය යුතු ය. 

Yes! Try it. You can do it.... Yes!!”
වමෙන් පෙනෙන්නේ මායාකාරී ගිනි බටයයි!!

යනුවෙන් මෙම විජ්ජා සංදර්ශනය ඉදිරියේ කෑගසූ ඇනී මාගේ ගිනි බටය නිසි ඉලක්කයේ දැල්වීම තවතවත් විශේෂ කාර්යයක් බවට පත් කළා ය. අවසානයේ පසු දිනය සඳහා වැඩය කල් දමන ලදි. මාගේ පරාජය හමුවේ කිසිදු අමුත්තක් නොපෙන්වූ නාඳුනන සගයෝ ස්වකීය වැඩ සඳහා අවධානය යොමු කළ හ. ඇතැම් විට මා ඔවුන් ඉදිරියේ රඟ දැක්වූයේ ඔවුන් මෙහි ආ මුල් දිනයේ ක්‍රියාවලියම වන්නට ඇත. කුඩා ඇනීගේ බිහිසුණු මුරගෑම මේ අහිංසකයන්ටත් සිය අතීතය සිහිපත් කලාට සැක නැත.

16 comments:

  1. ඔයා ලියන විදියට මම කැමැති ..ලස්සනට භාෂාව හසුරුවනවා...

    ජය..

    ___චමී___

    ReplyDelete
  2. ඔබේ මේ කතා නිසා මට සිහිපත් වන්නේ මගේ අයියාව. ඔහුත් උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින්නේ. ඔහුත් මේ ලෙසටම අත්දැකීම්වලට මුහුණ දෙන බව කියා තිබෙනවා

    ReplyDelete
  3. ඔය ගිනි බට ලංකාවෙත් දැං තියනව රුපියල් 200කට සුපර් මාකට් එකක් ඉදිරිපිට බඩු වෙලඳාම් කරන්නෙකුගෙං ගත්තා. ඔයිං එකක් ජපානෙං ගෙනෙන්ට උත්සහකලා. main luggage දාලත් බේරගන්න බැරිඋනා ජපන් නිලදාරි ඒක කුනු බාල්දියට දැම්මා

    ReplyDelete
  4. හිනාවෙන්න හොඳ නෑ කියලා හිතුනත් හිනා ගියා..
    නාඳුනන තැනක තනි වෙද්දි පුංචි පුංචි සිදුවීම් වුනත් ලොකු දේවල් වෙනවා වගේ..

    දිගටම ලියන්න සුභ පැතුම්..
    (කියන්න දෙයක් නෑනේ..කතන්දරගේ ලින්කුවෙන් තමා මමත් ආවේ..)

    ReplyDelete
  5. මේ අර අපි දන්නා රත්නායක ජෝඩුවද ? දිගටම ලියන්න .ජය

    ReplyDelete
  6. කතන්දර ගෙ බ්ලොග් එකේ තිබ්බ හැදින්වීම නිසයි ආවේ. බලන් ගියහම කතන්දර කියල තියෙන්නෙ බොරු නෙමෙයි. දිගටම ලියමු... මම නම් දැන් ලිවිම අතෑරල දාලා.( දැන් මාසෙක විතර ඉදල තමා අතැරියේ ) කතන්දරගෙ කාලේ ඉදලම ලිවුවා...

    ඔබ වැනි වටිනා මිනිසුන් මෙවැනි සරල සිංහල බසින් රසවත්ව ලිවීමත් , සිංහල බ්ලොග් වලට අවතීර්ණ වීමත් ගැන හරිම සතුටුයි.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. ලස්සන ලේඛන රටාවක්.ඔබට සුභ පැතුම්

    ReplyDelete
  9. හවුස් කීපින්ග් ගැන හොඳ ඉන්ඩක්ෂන් එකක් .මේ ගිනි බටේ කියවද්දී මතක්වුනේ මම නැවතුන හොටෙල් එකක බාත් රූම් එකේ ශවර් එක අරින විදිය සොයා ගන්න බැරුව පැය ගාණක් වින්ද වදයක් ගැන :)

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. කතන්දරගේ හැඳින්වීම හරහා ඔබගේ අවකාශයට සේන්දු වුනෙමි. එය හරියට ඒහි භික්කු බාවයෙන් පැවිද්ද සහ උපසම්ම්පදාව ලැබීම වැනිය. ඔබ වැනි ඉහල අධ්‍යාපනයක් ඇති අයෙක් අප වැනි අයට තේරෙන භාෂාවකින් ලියන්න ඉදිරිපත් වීම ගැන සතුටුයි. දිගටම කරගෙන යන්න. සුබ පැතුම්.

    ReplyDelete
  12. කතන්දරගේ හදුන්වාදීමෙන් මේ පැත්තට ආවෙමි. ඉදිරියටත් එන්න බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  13. කතන්දරගේ ලින්ක් එක දැකලා ආවේ
    ඔන්න මගදි නවත්තන්නේ නැතුව ලියන්න ඕනේ

    ReplyDelete
  14. කතන්දරට ඉඳලා තියෙනවා නේ හොඳ යාලුවෝ...!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... කොහෙද? එච්චර වෙලත් එයා ලිවිල්ල නතර කරල බ්ලොග් එක වැහුවනෙ!!!

      Delete