Tuesday, September 25, 2018

බටහිරට දිගු ගමනක්!

(2012 ජූනි)

සිතෙහි දිගින් දිගටම නැගී තිබුණු, විස්තර කළ නොහැකි හැඟීම් සමුදායත්, ඒ සිතුවිලි හා එක්ව අත්වැල් ලාගත් ශරීරයේ සෑම කෙළවරකට විහිද ගිය තියුණු කෙඩෙත්තුවත් යළි මා හැර නොයනු ඇතැයි හැඟෙන තරමට මගේ සිත හා කය වෙළාගෙන තිබිණ. ගුවන් තොටෙහි පිටත්වීමෙහි පර්යන්තයේදී ජයන්ත අංකල් මගෙන් සමුගත්තේ ස්වකීය අතීතයේ ඇති සමාන අහිමිවීම් පිළිබඳ දිගු විස්තරයක් කෙළවර කරමිනි.

“මේ රටවලදි මුහුණ දෙන්න සිද්ධ වෙන දරුණුම දේ තමයි ඔය‍. ලංකාවේ ඉන්න පවුලෙ අයගෙ මරණ ආරංචි වෙන එක!“

අවශ්‍ය වෙතැයි සිතූ ඇඳුම් කිහිපයක් සහ වෙනත් අඩුම කුඩුම ඔබාගත් ගමන් මල්ල අතැතිව මම ඉදිරිය බැලීමි. සිඩ්නි ගුවන්තොටෙහි පිටත් වීමේ පර්යන්තයට මෙතරම් ඉක්මණින් පැමිණීමට කිසිදු අදහසක් මා තුළ නොවූයෙන් එක් අතකට මෙය තවත් සිහිනයක් බඳු විය. ශිවා කියූ පරිදි මා දැන් මැලේසියානු ගුවන් සමාගමේ කවුළුව වෙත ගොස් හෙන්රි විමසිය යුතු ය. ඔහු මගේ ගමනට අවශ්‍ය පහසුකම් සපයනු ඇත.

ඕස්ට්‍රේලියානු ක්වන්ටාස් ගුවන් සමාගමට වෙන්වුනු විමසුම් කවුළු වැඩි ප්‍රමාණයක් පසුකොට මම මැලේසියන් ගුවන් විමසුම් කවුළුව සොයාගතිමි. ඔවුන්ගේ නිල ඇඳුමින් සැරසුණු යුවතියන් දෙදෙනෙක් හා තරුණයෙක් එහි කටයුතු සරි කරමින් උන් හ.

“හෙන්රි?“

මම මගේ ටිකට්පත දිගු කරමින් විමසා සිටියෙමි.

“ඔව්... මම තමයි හෙන්රි?“

තරුණයා මා දෙස කුතුහලයෙන් බැලූයේ සිය නමින් අමතන මේ අමුත්තා හඳුනාගන්නට උත්සාහ දරමින් මා විමසමිනි.

“මට ශිවා කිව්ව ඔයාව මුණගැහෙන්න කියල...“

“ඔහ්... ඔයා.... ප්‍රියන්ත වෙන්නැති...“

ඔහු එක්වරම සිය ස්වරයත්, ආචාරශීලී බවත් වෙනස් රිද්මයකට මාරු කර හැරියේ ය.

“මෙහෙන් එන්න...“

ඉතා ඕනෑකමින් මගේ ගමන් මල්ල ඉල්ලාගත් ඔහු, අනුකම්පාව මුසු බැල්මක් මදෙස හෙළා, ගමන්මල්ල අසළ උන් ගුවන් සේවයේ තරුණිය වෙත භාර දුන්නේ, ඇයගේ කණට යමක් කොඳුරමින් මා දැක්වූයේ ය. ඇයගේ මුහුණට ද එක් වූයේ අනුකම්පාව මුසු බැල්මකි.

“මෙහෙන් එන්න සර්!“

ඇය මගේ ගමන් මල්ල සෙසු පිරිසෙන් වෙන්ව භාරයට ගෙන එය ගමන් මලු ස්වයංක්‍රීයව ගෙන යන ධාවන පථය වෙත තැබූයේ අදාල ස්ටිකර් ආදිය අලවමිනි.

“කොළඹින් ගන්න පුළුවන් සර්ට බෑග් එක!“

ඇය කුඩා දරුවකුට පහදා දෙන අයුරකින් මා ඇමතුවා ය. අනතුරුව මා කැටුව ඇතුළත රේගු කවුළු තෙක්ම පැමිණියා ය.

සිහිනයෙන් ඇවිද යන්නකු පරිද්දෙන් මම ඇය පසුපස ඇදුණෙමි. ඇය මා වෙත හෙළන අනුකම්පාවත්, ලබා දෙන උදව්වත් බිහිවන්නේ මගේ ආදරණීය තාත්තිගේ වියෝව නිසා බව වන හැඟීම මා තුළ වන පෙළීම තව දුරටත් දියුණු - තියුණු කළේ ය.

ඉතිරි කටයුතු ද නිම වූ එළඹුණු හෝරා කිහිපය, ගුවන් යානයට ඇතුළු වීම තෙක් වන කාල සීමාව, යළිත් මගේ ශක්තිය මැන බලන්නට කාලය විසින් ලබා දුන් අභියෝග කාල සීමාවක් විය. සිඩ්නි ගුවන්තොටෙහි පිටවීමේ පර්යන්තයෙහි කෙළවරක වූ අසුන් පෙළක අසුනක් සොයාගත් මා කාලයට රිස්සක් කරගන්නට හැර සිත වෙත නැඹුරු වීමි.

ඊයේ රාත්‍රිය ගෙවී ගිය ආකාරය යළි සිහි කැඳවීම අපහසු වූයෙන්, මම උදෑසන වෙත හැරී බලන්නට තීරණය කළෙමි. අද උදෑසන නවයට පමණ මම ග්ලෙබ් වීදියේ කුඩා කෝපිහලක දොරටුව අභියස සිටගෙන පෙරමග බලා උන් බව මගේ සිත මට මතක් කර දුන්නේ ය.

සිය නිල ඇඳුම සරි කළු පැහැති ටී ෂර්ටයකින් සහ කළු කලිසමකින් සැරසුණු නෝමන් මුලින්ම මා අභියස පෙනී සිටියේ දැඩි ශෝකී මුහුණක් ද සහිතව දැඩිව මා සුරත අල්ලා ගනිමිනි.

“මගේ කණගාටුව පිළිගන්න ප්‍රියන්ත!“

ඔහු ඉතා සෙමින් නමුත් තිර ලෙස මා දෙස බලා කීයේ ය.

ලලීන් දිගු කලු පැහැති ගවුමකින් සැරසී මා අභියස පෙනී සිටියේ සිය නෙතින් ගලන කදුළු වාවා ගන්නට දැඩි ආයාසයක් දරමිනි. ඇය මවක සරි සෙනෙහසකින් මා වැළඳ ගෙන සිය ශෝකය ප්‍රකාශ කළා ය. වෙවුලමින් තිබුණු ඇගේ දෙතොල්, මේ බැහැර දේශයේ මපියානන් අහිමි වීමේ වේදනාව මා හා බෙදාගන්නට ආසන්නයේම තවත් අය වෙතැයි යන සංඥාව මවෙත නිකුත් කරමින් තිබිණ. බරව තිබුණ ද මගේ නෙත්වල කඳුළු වියැළී තිබිණ. විනාඩි ගණනක්, ඔව්... ඇතැම් විට... දිගු පැය ගණනකට සමාන... විනාඩි ගණනක්... අප තිදෙන නිහඬව එකිනෙකා දෙස බලා සිටින්නට ඇත.

“මේක පළවෙනි කතාව නෙවෙයි ප්‍රියන්ත! මගේ අම්ම නැති වුණු පණිවුඩේ මට එද්දි මං හිටියෙ ප්‍රංශයෙ. ඇමරිකාවෙ ඉඳන් ලංකාවට එන ගමන්... මං එද්දි අවසන් කටයුතුත් ඉවර වෙලයි තිබුණෙ...“

ලලීන් දැඩි වේදනාවක් දරා ගන්නට උත්සාහ කරමින් ප්‍රකාශ කළා ය.

“එක අතකට මට ඔයා ගැන පුදුමයි. ඔයාට දරාගෙන ඉන්න පුළුවන්. මම බලාපොරොත්තු වුණේ මීට වඩා කඩා වැටුණු කෙනෙක්. ඔයා ශක්තිමත්... ඔයා... මනස පාලනය කරගන්න මොනව හරි කරනව ද? මෙඩිටේෂන් වගේ...“

මම නැතැයි යන්න දක්වමින් හිස වැනුවෙමි.

ජීවිතයේ අධිකතම වේදනාවන්වලදී සියල්ල ශුන්‍යව යන බව මට දැනෙන්නේ යැයි මම ඇයට නොකීමි. එහි කඳුළුවලට හෝ අර්ථයක් හිමිවන්නේ නැත.

ලලීන්ගේ සහ නෝමන්ගේ, ඔව්... ඇතැම් විට ඒ මොහොතේ දී මා හට සිඩ්නියේ උන් සමීපතම සහෘදයන් දෙදෙනාගේ..., දෑත්වල උණුසුම ගුවන් තොටේදීත් මා වෙත රැඳී පවතින බව මට මැලේසියන් එයාර්ලයින්හි ගුවන් යානයට ගොඩ වද්දී හැඟෙමින් තිබිණ.

ගුවන් යානය ක්‍රමයෙන් ඉහළට නැග, සිඩ්නි නගරය මගේ කවුළුවෙන් පෙනෙන රූපයක් බවට පත් කළේ කෙටි කාල සීමාවකිනි. එක් එක් අයුරින්, මින් පෙර කිසිදු මොහොතක මෙනෙහි නොකළ ආකාරයන්හි, විවිධ ස්වරූපයේ සිත් වේදනා ප්‍රභේද, ඒ වන විටත් මගේ මනස මා හමුවේ අත්හදා බලමින් උන් බව මට හැඟී යමින් තිබිණ.

සිඩ්නි නගරය! නුඹට මසකට ආයුබෝවන්....!!!

මින් තෙමසකට පෙර කටුනායක ගුවන් තොටින් පිවිස නන්නාඳුනන නුඹ වෙත මා පිටව ආ හැටි සිහි කරන්නට මට ඉඩ දෙන්න! එහි පිටවුම් දොරටුව කෙළවර සිට, ඈතින් ඈතට ගොස් මැකී යන තුරුම මට අත වැනූ මගේ ආදරණීය තාත්ති සිහි කරමින් නුඹේ නගරයේ රූපය බොඳ කරගන්නට මට අවසර දෙන්න!! ඒ මා තාත්ති ජීවමානව දුටු අවසන් නිමේෂය බව දැන් මා පිළිගත යුතුව ඇත. සිඩ්නිය...! ඒ බව පිළිගත්, වේදනාව හදෙහි තෙරපාගත් මිනිසෙකු ලෙස යළි මා ඔබ වෙතට එමි! එතෙක්... මට අවසර දෙන්න!!!


තුංග නගරයේ උසැති ගොඩනැගිලි තුඩු මදෙසට දිගු කරමින් ඔබ මා වැළඳ ගන්නට යත්න දරන බව මට හැඟුණ ද... මා යා යුතු ය! ඔබ විසල් නගරයක් වුව... ඒ නගරයේ දහස් ගණන් ජනී ජනයා වෙසෙන්නේ වුව... ඒ සියල්ල ක්ෂුද්‍රව මේ කවුළුවෙන් පෙනෙන තරමට ක්ෂුද්‍ර කරවන ඒ දැවැන්ත මිනිසාගෙන් සමුගන්නට මා යා යුතු ය! යළිත්... යළි යළිත්... මා වෙත සපථ කරවන්නට නුඹ ඇතුළු මේ සමස්ථ වටපිටාවම යත්න දරන... ඔහු අප හැර ගිය බවට වන සත්‍යය... එකදු කඳුළකුදු ඔහු අභියස නොසලමින්, ශක්තිමත්ව, තිරව... පිළිගන්නට මා යා යුතු ය! ජීවිතයේ අනේක විධ දෝමනස්සයන් හමුවේ මහා වනස්පතියක් මෙන් නොසැලී ඒ සියල්ලටම මුහුණ දුන් ශක්තිවන්තම මිනිසාගේ සමුගැනීම සිදු වන මොහොතෙහි මාහට හඬන්නට ඇති අයිතියක් නැත! එසේ නම්... සිඩ්නිය...මා යා යුතු ය! මට අවසර දෙන්න!!

හිරු බසින බටහිර දෙස බලා මා මගේ දිවියේ මෙතෙක් ගිය දීර්ඝතම ගමන දැන් පිටත්ව යමි!

සේයාරුව: https://www.sydneyimages.com.au/