Tuesday, September 25, 2018

බටහිරට දිගු ගමනක්!

(2012 ජූනි)

සිතෙහි දිගින් දිගටම නැගී තිබුණු, විස්තර කළ නොහැකි හැඟීම් සමුදායත්, ඒ සිතුවිලි හා එක්ව අත්වැල් ලාගත් ශරීරයේ සෑම කෙළවරකට විහිද ගිය තියුණු කෙඩෙත්තුවත් යළි මා හැර නොයනු ඇතැයි හැඟෙන තරමට මගේ සිත හා කය වෙළාගෙන තිබිණ. ගුවන් තොටෙහි පිටත්වීමෙහි පර්යන්තයේදී ජයන්ත අංකල් මගෙන් සමුගත්තේ ස්වකීය අතීතයේ ඇති සමාන අහිමිවීම් පිළිබඳ දිගු විස්තරයක් කෙළවර කරමිනි.

“මේ රටවලදි මුහුණ දෙන්න සිද්ධ වෙන දරුණුම දේ තමයි ඔය‍. ලංකාවේ ඉන්න පවුලෙ අයගෙ මරණ ආරංචි වෙන එක!“

අවශ්‍ය වෙතැයි සිතූ ඇඳුම් කිහිපයක් සහ වෙනත් අඩුම කුඩුම ඔබාගත් ගමන් මල්ල අතැතිව මම ඉදිරිය බැලීමි. සිඩ්නි ගුවන්තොටෙහි පිටත් වීමේ පර්යන්තයට මෙතරම් ඉක්මණින් පැමිණීමට කිසිදු අදහසක් මා තුළ නොවූයෙන් එක් අතකට මෙය තවත් සිහිනයක් බඳු විය. ශිවා කියූ පරිදි මා දැන් මැලේසියානු ගුවන් සමාගමේ කවුළුව වෙත ගොස් හෙන්රි විමසිය යුතු ය. ඔහු මගේ ගමනට අවශ්‍ය පහසුකම් සපයනු ඇත.

ඕස්ට්‍රේලියානු ක්වන්ටාස් ගුවන් සමාගමට වෙන්වුනු විමසුම් කවුළු වැඩි ප්‍රමාණයක් පසුකොට මම මැලේසියන් ගුවන් විමසුම් කවුළුව සොයාගතිමි. ඔවුන්ගේ නිල ඇඳුමින් සැරසුණු යුවතියන් දෙදෙනෙක් හා තරුණයෙක් එහි කටයුතු සරි කරමින් උන් හ.

“හෙන්රි?“

මම මගේ ටිකට්පත දිගු කරමින් විමසා සිටියෙමි.

“ඔව්... මම තමයි හෙන්රි?“

තරුණයා මා දෙස කුතුහලයෙන් බැලූයේ සිය නමින් අමතන මේ අමුත්තා හඳුනාගන්නට උත්සාහ දරමින් මා විමසමිනි.

“මට ශිවා කිව්ව ඔයාව මුණගැහෙන්න කියල...“

“ඔහ්... ඔයා.... ප්‍රියන්ත වෙන්නැති...“

ඔහු එක්වරම සිය ස්වරයත්, ආචාරශීලී බවත් වෙනස් රිද්මයකට මාරු කර හැරියේ ය.

“මෙහෙන් එන්න...“

ඉතා ඕනෑකමින් මගේ ගමන් මල්ල ඉල්ලාගත් ඔහු, අනුකම්පාව මුසු බැල්මක් මදෙස හෙළා, ගමන්මල්ල අසළ උන් ගුවන් සේවයේ තරුණිය වෙත භාර දුන්නේ, ඇයගේ කණට යමක් කොඳුරමින් මා දැක්වූයේ ය. ඇයගේ මුහුණට ද එක් වූයේ අනුකම්පාව මුසු බැල්මකි.

“මෙහෙන් එන්න සර්!“

ඇය මගේ ගමන් මල්ල සෙසු පිරිසෙන් වෙන්ව භාරයට ගෙන එය ගමන් මලු ස්වයංක්‍රීයව ගෙන යන ධාවන පථය වෙත තැබූයේ අදාල ස්ටිකර් ආදිය අලවමිනි.

“කොළඹින් ගන්න පුළුවන් සර්ට බෑග් එක!“

ඇය කුඩා දරුවකුට පහදා දෙන අයුරකින් මා ඇමතුවා ය. අනතුරුව මා කැටුව ඇතුළත රේගු කවුළු තෙක්ම පැමිණියා ය.

සිහිනයෙන් ඇවිද යන්නකු පරිද්දෙන් මම ඇය පසුපස ඇදුණෙමි. ඇය මා වෙත හෙළන අනුකම්පාවත්, ලබා දෙන උදව්වත් බිහිවන්නේ මගේ ආදරණීය තාත්තිගේ වියෝව නිසා බව වන හැඟීම මා තුළ වන පෙළීම තව දුරටත් දියුණු - තියුණු කළේ ය.

ඉතිරි කටයුතු ද නිම වූ එළඹුණු හෝරා කිහිපය, ගුවන් යානයට ඇතුළු වීම තෙක් වන කාල සීමාව, යළිත් මගේ ශක්තිය මැන බලන්නට කාලය විසින් ලබා දුන් අභියෝග කාල සීමාවක් විය. සිඩ්නි ගුවන්තොටෙහි පිටවීමේ පර්යන්තයෙහි කෙළවරක වූ අසුන් පෙළක අසුනක් සොයාගත් මා කාලයට රිස්සක් කරගන්නට හැර සිත වෙත නැඹුරු වීමි.

ඊයේ රාත්‍රිය ගෙවී ගිය ආකාරය යළි සිහි කැඳවීම අපහසු වූයෙන්, මම උදෑසන වෙත හැරී බලන්නට තීරණය කළෙමි. අද උදෑසන නවයට පමණ මම ග්ලෙබ් වීදියේ කුඩා කෝපිහලක දොරටුව අභියස සිටගෙන පෙරමග බලා උන් බව මගේ සිත මට මතක් කර දුන්නේ ය.

සිය නිල ඇඳුම සරි කළු පැහැති ටී ෂර්ටයකින් සහ කළු කලිසමකින් සැරසුණු නෝමන් මුලින්ම මා අභියස පෙනී සිටියේ දැඩි ශෝකී මුහුණක් ද සහිතව දැඩිව මා සුරත අල්ලා ගනිමිනි.

“මගේ කණගාටුව පිළිගන්න ප්‍රියන්ත!“

ඔහු ඉතා සෙමින් නමුත් තිර ලෙස මා දෙස බලා කීයේ ය.

ලලීන් දිගු කලු පැහැති ගවුමකින් සැරසී මා අභියස පෙනී සිටියේ සිය නෙතින් ගලන කදුළු වාවා ගන්නට දැඩි ආයාසයක් දරමිනි. ඇය මවක සරි සෙනෙහසකින් මා වැළඳ ගෙන සිය ශෝකය ප්‍රකාශ කළා ය. වෙවුලමින් තිබුණු ඇගේ දෙතොල්, මේ බැහැර දේශයේ මපියානන් අහිමි වීමේ වේදනාව මා හා බෙදාගන්නට ආසන්නයේම තවත් අය වෙතැයි යන සංඥාව මවෙත නිකුත් කරමින් තිබිණ. බරව තිබුණ ද මගේ නෙත්වල කඳුළු වියැළී තිබිණ. විනාඩි ගණනක්, ඔව්... ඇතැම් විට... දිගු පැය ගණනකට සමාන... විනාඩි ගණනක්... අප තිදෙන නිහඬව එකිනෙකා දෙස බලා සිටින්නට ඇත.

“මේක පළවෙනි කතාව නෙවෙයි ප්‍රියන්ත! මගේ අම්ම නැති වුණු පණිවුඩේ මට එද්දි මං හිටියෙ ප්‍රංශයෙ. ඇමරිකාවෙ ඉඳන් ලංකාවට එන ගමන්... මං එද්දි අවසන් කටයුතුත් ඉවර වෙලයි තිබුණෙ...“

ලලීන් දැඩි වේදනාවක් දරා ගන්නට උත්සාහ කරමින් ප්‍රකාශ කළා ය.

“එක අතකට මට ඔයා ගැන පුදුමයි. ඔයාට දරාගෙන ඉන්න පුළුවන්. මම බලාපොරොත්තු වුණේ මීට වඩා කඩා වැටුණු කෙනෙක්. ඔයා ශක්තිමත්... ඔයා... මනස පාලනය කරගන්න මොනව හරි කරනව ද? මෙඩිටේෂන් වගේ...“

මම නැතැයි යන්න දක්වමින් හිස වැනුවෙමි.

ජීවිතයේ අධිකතම වේදනාවන්වලදී සියල්ල ශුන්‍යව යන බව මට දැනෙන්නේ යැයි මම ඇයට නොකීමි. එහි කඳුළුවලට හෝ අර්ථයක් හිමිවන්නේ නැත.

ලලීන්ගේ සහ නෝමන්ගේ, ඔව්... ඇතැම් විට ඒ මොහොතේ දී මා හට සිඩ්නියේ උන් සමීපතම සහෘදයන් දෙදෙනාගේ..., දෑත්වල උණුසුම ගුවන් තොටේදීත් මා වෙත රැඳී පවතින බව මට මැලේසියන් එයාර්ලයින්හි ගුවන් යානයට ගොඩ වද්දී හැඟෙමින් තිබිණ.

ගුවන් යානය ක්‍රමයෙන් ඉහළට නැග, සිඩ්නි නගරය මගේ කවුළුවෙන් පෙනෙන රූපයක් බවට පත් කළේ කෙටි කාල සීමාවකිනි. එක් එක් අයුරින්, මින් පෙර කිසිදු මොහොතක මෙනෙහි නොකළ ආකාරයන්හි, විවිධ ස්වරූපයේ සිත් වේදනා ප්‍රභේද, ඒ වන විටත් මගේ මනස මා හමුවේ අත්හදා බලමින් උන් බව මට හැඟී යමින් තිබිණ.

සිඩ්නි නගරය! නුඹට මසකට ආයුබෝවන්....!!!

මින් තෙමසකට පෙර කටුනායක ගුවන් තොටින් පිවිස නන්නාඳුනන නුඹ වෙත මා පිටව ආ හැටි සිහි කරන්නට මට ඉඩ දෙන්න! එහි පිටවුම් දොරටුව කෙළවර සිට, ඈතින් ඈතට ගොස් මැකී යන තුරුම මට අත වැනූ මගේ ආදරණීය තාත්ති සිහි කරමින් නුඹේ නගරයේ රූපය බොඳ කරගන්නට මට අවසර දෙන්න!! ඒ මා තාත්ති ජීවමානව දුටු අවසන් නිමේෂය බව දැන් මා පිළිගත යුතුව ඇත. සිඩ්නිය...! ඒ බව පිළිගත්, වේදනාව හදෙහි තෙරපාගත් මිනිසෙකු ලෙස යළි මා ඔබ වෙතට එමි! එතෙක්... මට අවසර දෙන්න!!!


තුංග නගරයේ උසැති ගොඩනැගිලි තුඩු මදෙසට දිගු කරමින් ඔබ මා වැළඳ ගන්නට යත්න දරන බව මට හැඟුණ ද... මා යා යුතු ය! ඔබ විසල් නගරයක් වුව... ඒ නගරයේ දහස් ගණන් ජනී ජනයා වෙසෙන්නේ වුව... ඒ සියල්ල ක්ෂුද්‍රව මේ කවුළුවෙන් පෙනෙන තරමට ක්ෂුද්‍ර කරවන ඒ දැවැන්ත මිනිසාගෙන් සමුගන්නට මා යා යුතු ය! යළිත්... යළි යළිත්... මා වෙත සපථ කරවන්නට නුඹ ඇතුළු මේ සමස්ථ වටපිටාවම යත්න දරන... ඔහු අප හැර ගිය බවට වන සත්‍යය... එකදු කඳුළකුදු ඔහු අභියස නොසලමින්, ශක්තිමත්ව, තිරව... පිළිගන්නට මා යා යුතු ය! ජීවිතයේ අනේක විධ දෝමනස්සයන් හමුවේ මහා වනස්පතියක් මෙන් නොසැලී ඒ සියල්ලටම මුහුණ දුන් ශක්තිවන්තම මිනිසාගේ සමුගැනීම සිදු වන මොහොතෙහි මාහට හඬන්නට ඇති අයිතියක් නැත! එසේ නම්... සිඩ්නිය...මා යා යුතු ය! මට අවසර දෙන්න!!

හිරු බසින බටහිර දෙස බලා මා මගේ දිවියේ මෙතෙක් ගිය දීර්ඝතම ගමන දැන් පිටත්ව යමි!

සේයාරුව: https://www.sydneyimages.com.au/

Wednesday, May 30, 2018

ඒ මිතුදම් උණුසුම් ය!


කාලය යළි සුපුරුදු පරිදි ගලා යන්නට ආරම්භ වුණු මොහොත පිළිබඳ මට මතකයක් නැත. ඇතැම් විට අප නොදන්නවා වුවත්, කාලය අප එක් එක් අය වෙනුවෙන් ද විවිධාකාර ධාවන ක්‍ර‍ම සොයාගෙන කටයුතු කරනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබට තත්පරයක කාලය ඇතැම් විට මට විනාඩි ගණනක හෝ පැයක දෙකක ලෙස හඟවා තබන්නට කාලයට හැකි ව ඇත්තේ එකිනෙකා වෙන්ව ගෙන සිය සේවයන් ඔහු හෝ ඇය වෙත ලබා දෙන්නට තමන්ට ඇති මේ සුවිශේෂ හැකියාව මත විය යුතුය. කෙසේ වුවත්, කාලය නැවතී තිබිණ!

ක්‍ර‍මයෙන් පියවි ලොව කාලය යළි දිවෙන්නට පටන් ගෙන මොහොතකින් මා මේ සිටින්නේ රීජන්ට් වීදියේ බවත්, කාමර සගයන් හා දැන් කෙටි කලක් මා මෙහි ගත කරන බවත් යනාදියේ සිට තත්‍ය ලෝකයේ වටපිටාවේ සියල්ල පිළිබඳ සංවේදනයන් යළිත් මසිත නැගෙමින් තිබිණ. පැට්‍රික් සහ නීල් සමග මා දින ගෙවන කාමර අවකාශය යළිත් මගේ දෑස් ඉදිරිපිට මැවෙන්නට වූයේ මෙතෙක් ඒ අතුරුදන්ව පැවත යළි සෙමින් මැවී දිස් වන පරිද්දෙනි.

තාත්ති මා හා අප හැර දමා ගොස් ඇති බව දැන් මා පිළිගත යුතු ය. ගෙවුණු සති අන්තයේ අවසන් වරට මා ඇමතූ ඔහුගේ ස්කයිප් ඇමතුම වෙනදා තරම් දිගු වූයේ නැත. “මගෙ ටිකක් බඩ හරි නැහැ වගේ පුතේ. මම ටිකක් යනව ඇලවෙන්න. මල්ලි ඉන්නව‘ ඒ ඔහු මවෙත බිනූ අවසන්ම වදන් යැයි, කිසිදු අයුරකින් විශ්වාස කළ නොහැකි වුවත්, මා ඒ පිළිගන්නට සූදානම් විය යුතු ය.

එහෙත්, මේ සිදුවෙමින් පවතින සියල්ල සිහිනයක් බවත්, තව ක්ෂණයකින් මා අවදිවනු ඇති බවත්, දුවගොස් දුරකථනය ගෙන තාත්ති හා කතා කළ හැකි බවත් මට කියන්නට මසිත උත්සාහ ගනිමින් උන්නේ ය. අවදිවන්නට උත්සාහ කළ යුතු ය. සිහිනය පළවා හරින්නට උත්සාහ කළ යුතු ය. කෙමෙන් මතුවෙමින් නැගෙන විස්තර කළ නොහැකි හැඟීම හා වේදනාව අනන්ත සිහින තුළ මා මින් පෙර විඳ ඇත්තෙමි. අම්මා හෝ තාත්ති මින් පෙර ද සිහින තුළ දී මා හැර දා ගොස් තිබිණ. මේ තවත් එකක් විය යුතු ය!

කෙසේ වෙතත්, සිහිනය කෙළවර නොවන බවක් පෙනී යද්දී ද, මා මේ වන විටත් ලංකාව බලා යන්නට ටිකට්පතක් ද මිලට ගෙන හමාර බව මට ප්‍ර‍ත්‍යක්ෂ විය. දැන්, හෙට මා පිටව යන ආකාරය සකසාගත යුතු ය. මාසයක් යළි නිවසේ රැඳෙන්නට, තාත්තිගේ අවසන් කටයුතුවලට සහභාගි වන්නට මා යන බව ඇනීට කිව යුතු ය. මාගේ තුන්මස් කාල සීමාව ඒ වන විට අවසන් වනු ඇත. නාරද කියූ පරිදි මට බටහිර දෙසට යා හැකි ය. එහෙත් ඊට පෙර හෙට ගුවනින් මට සැතපුම් දහස් ගණනක් බටහිරට යාමට සිදුව ඇත. මම දුරකථනය අතට ගත්තෙමි.

“ඔව් ප්‍රියන්ත, කියන්න“ ජයන්ත අංකල්ගේ හඬ අනෙක් පසින් නැගිණ.

“අංකල්... මට හදිස්සියෙම ලංකාවට යන්න වෙලා. අපෙ තාත්ති නැති වෙලා.....“

මා වචන එක් කළ ආකාරය කෙසේ වී දැයි මට හැඟී ගියේ නැත. නමුත් තත්පර කිහිපයක නිහඬතාවක් අප දෙදෙනා අතර නැගුණු බව කිව යුතු ය.

“ඔහ්.... දැන් ඔයා කොහෙද ඉන්නෙ?“

“මගෙ ප්ලේස් එකේ“

“හෙට කීයට ද ෆ්ලයිට් එක?“

“දවල් යන්න ඕනෙ එයාපෝට්“

“හරි... මම දහය වෙද්දි ඔතනට එන්නං... හිත හයිය කරඟන්න ප්‍රියන්ත... ගොඩක් කණගාටුයි මේ ආරංචිය ගැන!“

ජයන්ත අංකල්ගේ දුරකථන ඇමතුම කෙළවර මා ලලීන් ඇමතුවෙමි. යළිත්, මා ඉදිරි සමය තුළ නැවත නැවතත් ප්‍ර‍තිරාව නැංවිය යුතු වේදනාකාරී පුවත මම ඇය වෙත ද පැවසීමි. ඇය ද මොහොතකට නිරුත්තර වූ බව මට දැණින. අනතුරුව නැගුණේ වේදනාබර, වෙව්ලන කටහඬකි.

“හෙට කීයට ද යන්නෙ ප්‍රියන්ත? ඔයාට පුළුවන් නම්, මම කැමතියි උදේම ඔයාව බලන්න එන්න. අපි ග්ලෙබ් ස්ට්‍රීට් එකේ දි මුණගැහෙමු. මම නෝමන්ටත් එන්න කියන්නම්.“

පසුදා උදේ නමය පමණ වන විට ග්ලෙබ් වීදියේ කෝපිහලක දී මුණගැසෙන්නට මා සපථ කරඟත් ලලීන් කිහිප වරක්ම කණගාටුව ප්‍ර‍කාශ කරමින් මට සමු දුන්නා ය.

දැන් මා කවුරු අමතන්න ද? මේ දුරකථන ඇමතුම් දෙකෙහිදීම, ඒ දෙදෙනාගෙන් කවරකු හෝ වහා මා සොයා එනු ඇතැයි යන, ක්‍රියාවට නැගිය නොහැකි සිතුවිල්ල මා සිත තුළ වූ බව මට හැඟෙමින් තිබිණ. හෙට දිවා කල තෙක්ම ගෙවා දමන්නට තිබෙන මේ හෝරා දහස් ගණන මා හා බෙදාගන්නට කවුරුන් හෝ වනු ඇතැයි යන නිස්සාර සිතුවිල්ල මගේ ශක්තිය දිය කරමින් පැතිර නැගෙමින් තිබිණ. ඒ අතරතුර, මා වෙත වන හැඟුම් පිළිබඳ කිසිදු අදහසකින් තොරව, සතුටින් කෑ ගසමින් ප්‍ර‍න්සුවා හා පැට්‍රික් නිවසින් පිටතට යන්නට සූදානමින් විසිත්ත කාමරයට අවතීර්ණ වූ හ. සැබවින්ම, ඔවුන් නිවසට ආ වගක් හෝ ඉන් පෙර මට හැඟී ගොස් තිබුණේ නැත.

“හේයි ප්‍රියා... මේක සිකුරාදා හැන්දෑව යාළුවා... සිකුරාදා රෑ!! විනෝද වෙන වෙලාව... අපි එළියට බහින්නයි යන්නෙ!“

පැට්‍රික් උන්නේ රඟ දෙන සතුටකිනි.

“වරෙං අදවත් යමු එළියට!“

පෙර දිනවල සිකුරාදා රාත්‍රීන් විනෝද සාදවලට ඔවුන් හා එක් නොවූ මා අද හෝ එක් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ප්‍ර‍න්සුවා මා ඇමතී ය. මා නිරුත්තරව මොහොතක් ඔවුන් දෙස බලා සිටියෙමි. මගේ ප්‍ර‍තිචාරයක් වෙනුවෙන් ප්‍ර‍මාද නොවූ දෙදෙන ඉක්මන් ගමනින් ප්‍ර‍ධාන දොර වෙත ඇවිද ගිය හ. දොර වෙත පැට්‍රික්ගේ අත යොමු වත්ම මගේ හඬ අවදි විය.

“පැට්‍රික්!“

පැට්‍රික් හැරී මදෙස බැලුවේ සුපුරුදු සතුට මුව තුළ සරසාගෙන ය. ඔහු නවතා ලූ මා ඊළඟ වචනයකට ඉඩ සොයන බව හැඟී ගිය හෙයින් දෝ සිනාව නවතා ලූ පැට්‍රික් මවෙත හැරී ආවේ ය. ප්‍ර‍න්සුවා ද ඔහු අනුගමනය කළේ ය.

“ඇයි? මොකක් ද වෙන්නෙ?“

දඟකාර ප්‍ර‍ංශකාරයා වෙනුවට ඒ ප්‍ර‍ශ්නය මවෙත යොමු කළේ මගේ කාමර සගයා ය; බොහෝ සහෘද හැඟීම් හුවමාරු කරගෙන සිටි ‘සහෝදරයා‘ ය!

“ඔයාල එද්දි සමහර විට මං පිටත් වෙලා තියෙයි ද දන්නෙ නැහැ. මං ආපහු ලංකාවට යනව. හදිසියෙම... මගෙ තාත්ති නැති වෙලා!“

“ඕ.... මගේ දෙයියනේ... ප්‍රියා... මගේ යාළුවා...!“

මොහොතක් මා දෙස බලා උන් පැට්‍රික් උණුසුම්ව මා වැළඳ ගත්තේ ය. ප්‍ර‍න්සුවා මගේ අත දැඩිව අල්ලා ගනිමින් අසල ඇති ආසනය මත හිඳ ගත්තේ ය.

“ඔව්... මට යන්න වෙලා... ඔයාල එද්දි මං ඉඳීද දන්නෙ නෑ... ඒකයි කිව්වෙ“

“එද්දි? එන්න අපි යන්න එපැයි... දැන් කොහෙ යන්න ද?“

පැට්‍රික් තුළ උන් ‘සහෝදරයා‘ කතා කරන්නට පටන් ගත්තේ ය‍.

“දැන් උඹ මොකද කරන්නෙ?“

“දන්නෙ නෑ... හෙට එළි වෙන්න තව ගොඩක් වෙලා තියෙනව. කාලය ගෙවා ගන්න එපැයි“

“ඇඳුමක් දාගන්න... අපි එළියට බහිමු“

“ඔව්... වරෙන් අපිත් එක්ක එළියට බහින්න...“

“පාටියකට යන්න?“

“නෑ... එළියට බහින්න...“

මම ද මොහොතකින් ඔවුන් හා රීජන්ට් වීදියේ වීදි ලාම්පු එළිවලට පහතින් ඇවිද යමින් උන්නෙමි.

“අද අපි කොහේවත් යන්නෙ නෑ ප්‍රියා... කොහේවත් යන්නෙ නෑ... මොකක්ද අපි කරන්න ඕනෙ කියල උඹ තීරණය කරපං. ඇවිදිමු ද මේ නගරේ එහා කෙළවර වෙනකම්ම? ඇවිදිමු ද අනිත් අන්තෙට ගිහින් මුහුද මුණ ගැහෙනකම්ම? බොමු ද වැටෙනකම්ම...? නැත්තං... උඹට ඕනෙ ද කතා කරන්න... ඇති වෙනකං... හිතේ දුක නැති වෙනකං...? ඕනෙම දෙයක්.... ඔව්... ඕනෙම දෙයක් ඔට්ටුයි... අපි ඉන්නෙ මේ රෑ උඹ ළඟ!“

මගේ කර වටා දැඩිව අත දමා ගනිමින් පැට්‍රික් කියාගෙන ගියේ ය. මම නිරුත්තරව උන්නෙමි. ඔහු යෝජනා කරන කිසිවක් මා තුළ නැගී ඇති හැඟීම මකා නොදමන මුත් ඒ කවර හෝ දෙයක් සිදු කරමින් කාලය පරදවන්නට මට අවශ්‍යව තිබිණ. නමුත් පිළිතුරක් මගේ මුවට නැගුණේ නැත.

“අපි ප්‍ර‍ංශෙන් වෙන්න පුළුවන්. ඒත් තාත්තලා දාලයි අපිත් ආවෙ. මගේ තාත්ත මට ඊයෙත් කතා කළා. මටත් එයා නැතුව පාළුයි.“

ප්‍ර‍න්සුවා එතරම් හැඟීම්බර වනු මා දැක තිබුණේ නැත.

“උඹ තීරණය නොකරනව නං අපි කියන්නං... අපි බීර වීදුරුවක් බීල කතා කරමු. වරෙං...“

වීදි කෙළවරක වූ බීරහලක් වෙත මගේ ගමන් මග වැටී තිබෙන බව පැට්‍රික් තීරණය කළේ ය.

මේසය මත නැගුණු පෙණ බුබුළු දමන බීර වීදුරුව එතරම් දැඩිව මගේ ගත උණුසුම් කළේ නැත. නමුත් ඊට වඩා තියුණු දැඩි උණුසුමක් මා වට කරමින් නැගී එමින් තිබිණ. තුන් මසකට පෙර ඇසින්වත් නොදැක තිබුණු මේ අපූරු මිතුරන් දෙදෙන නිවසින් බොහෝ දුර තැනෙක මා වෙනුවෙන් වේදනාව බෙදාගන්නට සූදානමින් මදෙස බලා ඉන්නා බව මට පෙණින. මොහොතකට පෙර, සාද සිකුරාදාවේ සතුට හා එක්වන්නට ඇඟලුමක් ලා ගත්, යුරෝපයෙන් ආ තරුණ ‘සෙල්ලක්කාරයින්‘ දෙදෙනා, සිය සිත් තුළ සැඟව තිබෙන පියවරුන් පිළිබඳ ප්‍රේමයන් මා හා බෙදා ගනිමින් ඔවුන් නොදැක තිබුණු මගේ ‘තාත්තිගේ‘ රූපකාය සමග ඒ තාත්තලාගේ රූප සමපාත කළ හ. යළිත්, යළි යළිත්... මගේ දෑත් දැඩිව ගනිමින්, ශක්තිමත්ව මා හෙට දිනයට සූදානම් විය යුතු බව කී හ. කිසිදු කඳුළක් එතෙක් නොනැගුණු මගේ දෙනෙත දෙස පමණක් නොබලා බරව කඩා හැලෙන්නට යන හදවත යළි ඔසවා තැබූ හ.


මිතුදම්... ඒ බීර වීදුරුවකින් ගෙනෙන උණුසුමට වැඩි අරුමැසි දෙයකි. මට හැඟී යමින් තිබිණ! 

Tuesday, May 1, 2018

නෙක ඉසිඹු රැසකට පසු...

 ‘ඉසිඹුවකට අවසර‘ ඉල්ලමින් යම් රිද්මයකින් ලියමින් උන් මෙම ‘සිඩ්නි සිතුවිලි‘ ලියවිලි පෙළට මඳ විරාමයක් තැබුවේ මෙයට වසර 4කට පෙර ය. සිඩ්නි විශ්වවිද්‍යාලය වෙත ලියා භාර දෙන්නට සිටි පශ්චාත් උපාධි නිබන්ධනය වෙත පූර්ණ අවධානය යොමු කරන්නට තැබූ එම විරාමය නිබන්ධනය භාර දුන් වහාම කෙළවර කරන්නටත්, යළි ලියවිලි අතරට පිවිස වසර දෙක හමාරක සිඩ්නි දිවියේ තතු ඔබ හා බෙදා ගන්නටත් මා අධිෂ්ඨාන කරගෙන උන්නෙමි. එහෙත් ඒ ඉසිඹුව දිගු විය. මින් පෙර ද වතාවක් දෙකක් පිවිස ඉසිඹුව බිඳින්නට තැත් කළ මුත් ඒ සාර්ථක නොවූයේ ලිපි පෙළට අනුව සිඩ්නි නගරයේ උන් මම ඒ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණ, පශ්චාත් උපාධියෙන් පසු, ජීවන ‘අරගලයට‘ එළඹ උන් නිසාවෙනි.

‘අරගලය‘ යන්න නියත වශයෙන්ම වචනාර්ථයට සරිලන පරිදි මා වෙත සම්මුඛ වීම ඉසිඹුවේ කෙළවර කොහි වේ දැයි යන්නට කිසිදු නිශ්චිත පිළිතුරක් නොමැති තැනකට මා තල්ලු කොට තිබිණ. ‘සිඩ්නි සිතුවිලි‘ ම‘ජීවන වතෙහි, මේ වන විට නතර වී තිබෙන පියාගේ අභාවය, ඔහු ඇසින්වත් දැක නැති සිඩ්නි විශ්වවිද්‍යාලයේ පරිපාලනය වේදනාවට පත් කළ අන්දමත්, මා වෙත ‘මුදල් අය නොකළ‘ අමතර සයමසක් අධ්‍යයන කටයුතු වෙනුවෙන් ලබා දෙන්නට ඔවුන් කටයුතු කළ අන්දමත් මා තවම නුඹට කියා නැත. අති දුෂ්කර, භීම සමයන් පසුකර කෙළවර ලබාගත් පශ්චාත් උපාධිය, ඒ සඳහා රජය විසින්ම අර්ධ ශිෂ්‍යත්වයක් ලබා දී තිබිය දීත්, යළි මා නීත්‍යානුකූල ලෙස, පළා නොගොස්, සේවයට වාර්තා කර තිබියදීත්, ලාංකීය විශ්වවිද්‍යාලය මා සේවයෙන් පහ කළ විත්තිය ද මම තවම නුඹට කියා නැත. නමුත්... සැබවින්ම.... සත්‍ය කාලය තුළ ඒ සියල්ලත්, තව බොහෝ දේත් සිදු විය. ‘සිඩ්නි සිතුවිලි‘ දෙස නෙත යොමන්නටවත් සිතට එකලාසයක් හෝ නිදහස් කාලයක් මා වෙත නොවූයෙන් ඉසිඹුව දිගු විය.

‘ප්‍රියන්ත දැන් ලියන්නෙ නැද්ද?‘

මේ ප්‍ර‍ශ්නයත් සමග, හදිසියෙන් හමුවන නව මිතුරෙකු, සිඩ්නි සිතුවිලි ගැන විමසූ ඇතැම් අවස්ථාවල, ඒ ලිපිවලින් ඔහු ලද ආනන්දය හේතුවෙන් පැසසුම් ලද අවස්ථාවල, අමතකව ගිය කළණ මිතුරෙකු සොයා යන වරදකාරී හැඟීමකින් මම යළි බ්ලොග් අඩවිය වෙත පිවිස ඇත්තෙමි. බොහෝ ගැහැට අමතක කර ලිවීමට තැත් දරා ඇත්තෙමි. එහෙත් ‘අරගලයන්‘ නිමා නොවීම එම ලියවිලි දිගු කාල සීමා වෙත යොමු කළේ නැත.
දැන් ඉසිඹුවට තිත තබන්නට කාලය පැමිණ ඇත! දිගු අරගල පෙළකින් පසු යම් අස්වැසිල්ලක් ලැබී ඇති හෙයිනි. යළිත් පරිගණක තිරය මත වේගයෙන් අකුරු යතුරු ලියනය කෙරෙන අවකාශයක මා අසුන්ගෙන ඉන්නා හෙයිනි.

ඉතින් සියල්ල ඔබ හා බෙදාගන්නට ඉඩ දෙන්න!

සිඩ්නියේ රීජන්ට් වීදියේ ඇනීගේ නවාතැනේ උන් මා වෙත ලැබුණු තාත්ති අප හැර ගිය බව දැන්වූ පුවත මාගේ ජීවිතය බොහෝ නව මානයන් වෙත කැඳවා ගිය නමුත්, ඉන් පසුව ගෙවුණු දිගු සිඩ්නියේ දිවිය මා වෙත මුණගැස්වූ අරුමැති මිනිසුන් හා අපූර්ව සිදුවීම් ඔබ හා බෙදානොගෙන පිටව යන්නට ඒ කිසිදු නව මානයක් මා වෙත යෝජනා කර නැත. ඉඳින්, යළිත් මම ඔබට ආරාධනා කරමි!

අහිමිවූ තාත්ති පිළිබද පෙළන වේදනාවකින් නොදන්නා නගරයක තනිවූ මා සමග, දෙමස් වයසැති ප්‍ර‍ංශ ජාතික මිතුරු සගයෝ දෙදෙන ඇවිද යන්නට සූදානමින් සිටිති.



ඒ ලිපියත් සමග ඉසිඹුව කෙළවර කරමි! එතෙක් පෙර ලිපි දෙස බලා එන්නැයි දයාර්ද්‍රව ඇරයුම් කරමි!

https://sydneythought.blogspot.com/2016/10/blog-post.html

https://sydneythought.blogspot.com/2017/09/blog-post.html

Sunday, September 17, 2017

කාලය නතර විය!


(2012 ජූනි 29 වැනිදා)

සිදුව ඇත්තේ කුමක්දැයි මා කිසිවක් නිශ්චය කර නොගත් බව එක්වරම හැඟී ගියේ සෙමින් පෙරට ඇදෙමින් තිබුණු බස් රථය රත් පැහැගත් ආලෝක සංඥා පුවරුවක් අභියස තිරිංගය තද කළ විගසම ය. රංග නිහඬ ය. ඔහු එකිනෙක බැගින් පසුපසට ඇදී යන උසැති ගොඩනැගිලි දෙසම නෙත් යොමු කොට සිටියි.

“ඔයා එද්දි තාත්ත එහෙම එච්චර අසනීපෙකින් හිටියෙ නෑනෙ.... නේද?“ ජයසේකර මහතාගේ පැනය යළිත් මසිත තුළ නැගී නින්නාද දෙයි. කරදරයක්! තාත්තිට...? එහෙත් මා නිවසින් පිටවන මොහොත වන විටත් අසනීප තත්වයක සිටියේ අම්මා මිස තාත්ති නොවේ. ඔහු ඉතා හොඳ ශරීර සෞඛ්‍යයකින් යුතුව අප ගැන සොයා බැලුවේ ය.

 ජයසේකර මහතා තාත්ති ගැන කී නමුත් ඇත්තටම කරදරයක් නම් ඒ අම්මාට ද? සිත තුළ නැගෙන දැඩි බරැති බව තත්පරයෙන් තත්පරය වඩාත් උග්‍ර‍ව නැගී හිස මත බරැති යමක් තබා ඇති හැඟීමක් මවෙත නිර්මාණය කර දෙමින් තිබිණ. මම හරීන්ට දුරකථන ඇමතුමක් දීමට තීරණය කළෙමි.

හරීන් මගේ පාසැල් චෙස් මිතුරෙකි. වයසින් මගේ බාල සොයුරුගේ පන්තියේ වූ නමුත් පසුකාලීනව අපි සමවයස් මිතුරන් සේ බොහෝ සහෘද අඩවිවල දී මුණගැසුණෙමු. මා සිඩ්නිය කරා එන සමය වන විට භාෂා විශාරදයකු බවට පත්ව සිටි ඔහු යුරෝපීය භාෂා කිහිපයක්ම අතැඹුලක් සේ දැන උන්නේ ය. මගේ සිඩ්නි විශ්වවිද්‍යාල පර්යේෂණ යෝජනාව වඩාත් සුරුවම් කොට ඉදිරිපත් කරන්නට මග පෙන්වූ කිහිප දෙනා අතර ඔහු ද විය.

රංග හරීන්ගේ ගජ මිතුරෙකි. ලංකාවේ පණිවුඩය සිඩ්නි කොන්සල් කාර්යාලයට අයියා විසින් එවද්දී මාගේ තනි නොතනියට රංග එවන්නට කටයුතු සළස්වන්නට ඇත්තේ හරීන් ය. නිහඬව පිටතට නෙත් යොමාගෙන යන රංග විමසන්නට ශක්තියක් මට නොදැනෙන්නේ ඇයි? යම් විටක ඔහු සියල්ල සෘජුව මාවෙත ඉදිරිපත් කළහොත් මට එය දරාගන්නට නොහැකිවනු ඇතැයි යන සැකය මසිත පතුලෙහි ඇති නිසා ද? නොඑසේනම්, ඔහු කිසිවක් නොකියා සිටින්නට තීරණය කළහොත් එය ද යළි හිස මත වන බර දෙගුණ කරවනු ඇති නිසා ද? මම හරීන්ගේ දුරකථන අංකය ඇමතුවෙමි.

“මොකක්ද වෙලා තියෙන්නෙ?“

මම හරීන්ගෙන් ඇසුවෙමි. නිතර සැහැල්ලුවෙන් පිළිතුරු දෙන ඔහු මොහොතකට ගොළු වූ බව මට හැගිණි.

“මොකක්ද දැන් කොන්සල් එකෙන් කිව්වෙ?“

මම එතැනින් පිටව එන බව ඔහු ඇමතූ පළමු වාක්‍යය තුළ දී කීවෙමි. ඔහුට පැනයකින්ම පිළිතුරක් දෙන්නට ඒ වැකිය ප්‍ර‍මාණවත් වී තිබිණ.

“හරියටම මුකුත් නෑ“

“මමත් හරියට දන්නෙ නෑ අයිය. ඔයාගෙ අයිය කිව්ව ටික තමයි දන්නෙ. අයියට කතා කරන්නකො ඉතින්.“

ඔහු බිහිසුණු පුවතක් ස්ථිර කිරීමේ අවස්ථාව මගහැරගත් බව මට වැටහිණි. එහෙත් ඔහු කී ලෙස අයියා අමතන්නට මගේ සිත අවසර නොදෙයි. යම් අයුරකින් ඒ තාත්ති වුවත් නැතත් ඔහු මුහුණ දෙන අසීරුව මට වටහාගත හැක. නැන්දාත්, රත්නපුර බාප්පාත් යන දෙදෙනාම මියගිය පුවත් විදේශ රටවල සේවය කරමින් සිටි අයියා වෙත දැනුම් දීමේ වේදනාබර කටයුත්ත සිදු කරන ලද්දේ මවිසිනි. මරණය නියත ධර්මතාවක් වුවත්, එය ඕනෑම මොහොතක කවුරුන් වෙත හෝ දැනුම් දීමේ තියුණු වේදනාවක් දනවන කටයුත්ත අප වෙත භාර විය හැකි වුවත්, හෝ ඊටත් බිහිසුණු ලෙස ඇදහිය නොහැකි ලෙස, ඇදහිය නොහැකි මොහොතක ළබැඳියෙකුගේ වෙන්වීම පිළිබඳ පුවත අප වෙත ළඟා විය හැකි වුවත්, එය පිළි නොගෙන අපට මගහැර යා හැකි නොවූවත් අපි සියල්ලෝම එවැනි අවස්ථාවන් පිළිබඳව වන සංඥාවන් වුව මගහරින්නට නිරුතුරුව සූදානමින් සිටින්නෝ වෙමු. එබැවින්ම අයියාට එම මොහොත මුණ නොගස්වන්නට මම තීරණය කළෙමි. විශ්වවිද්‍යාල සේවයේ ගමන් සගයකු වූ සුදත්ගේ අංකය තිරය මතට පැමිණියේ ඒ වෙනුවට ය.

“හලෝ ප්‍රියන්ත... කොහොමද ඉතින්?“

ඉතා සැහැල්ලුවෙන් දුරකථනය ඔසවමින් ඔහු කීවේ ය. අප නිවසේ යම් කරදරයක් සිදුව ඇතත් ඒ පිළිබඳ අදහසක් ඔහුට නැතැයි යන්න මම ඒ ක්ෂණයෙන් ස්ථිර කර ගතිමි.

‘මචං... අපෙ ගෙවල් පැත්තෙන් මුකුත් ආරංචියක් ආව ද? මොකක් හරි ..... කරදරයක් කියල එහෙම....?“

මට වචන එක්රැස් වූයේ අපැහැදිලි ව ය.

“ඔයාලගෙ? නෑ... ඇයි මොකක් ද? මං මේ මීටිමක ඉදන් එළියට එන ගමන්.... මම බලන්නං.....“

ඔහුගේ කටහඬ අපැහැදිලිව නෑසී යමින් තිබුණේ මසිත තුළ නැගී ආ තීව්‍ර‍ හැඟීම් සමුදාය හේතුවෙනි. මා මේ සිදු කරමින් ඉන්නේ කුමක් ද? අයියා මගින් ලංකාවේ මගේ පවුලේ සාමාජිකයින් මා වහාම යළි පැමිණිය යුතු බවට වන පණිවුඩය මවෙත දන්වා ඇත. ලැබුණු ඉඟි අනුව ඒ තාත්ති ගැන ය. දැන් එහි ස්ථිර කිරීමේ ආරංචි පිළිබඳ වන තතු විමසීම්වලට යාමෙන් ඇති ඵලයක් තිබේ ද? මම කළ යුත්තේ වහාම යා හැකි ක්‍ර‍මය සොයා බැලීම ය. හෙට දිනයේ මෙල්බන් නුවරින් පිටව යා හැකි වෙතත්, එය කාලය විශාලව වැය වන මගකි. ඉක්මණින්, සිඩ්නි නුවර සිටම පිටව යා හැකි ක්‍ර‍මයක් විමසිය යුතු ය.

නගරයේ මධ්‍යම දුම්රිය නැවතුම් පළ අසලින් බසයෙන් බැසගත් මම රංගත් සමග රීජන්ට් වීදි නවාතැන දෙසට වන්නට තිබුණු සංචාරක ඒජන්සියකට ගොඩ වැදුණෙමු. ශිෂ්‍යයින් සඳහා ඉතාම අඩු මිල ගණන්වලට ගුවන් ටිකට්පත් නිකුත් කරන බවට එහි එල්ලා තිබුණු දැන්වීම් රීජන්ට් වීදියට ආ දිනවල සිටම මගේ නෙත ගැටී තිබිණ. ‘කොළඹට ඩොලර් 510කට!!“ ගෙදරට දිව ගොස්, අම්මා, තාත්ති යළි දැක බලා පැමිණීමේ නොනිත් ආසාව නැගී ආ, සමීපතමයන්ගෙන් වෙන්වීමේ වේදනාව දැඩිව නැගුණු මොහොතවල, මේ ගණන මම රුපියල්වලින් ගුණ කර සිතින් විමසා බලා ඇත. දැන් එය සැබෑ ලෙසම විමසන්නට ඉක්මණ්, නමුත් සංවේගජනක මොහොතක්, මා ඉදිරියට මුණ ගැසී ඇත. ජීවිතය කොතරම් නම් අරුමැසි ද?

කොළඹට යාමට සහ ඒමට ගුවන් ටිකට්පතක මිළ විමසූ අපිට, නොරිස්සුම් සහගත මුහුණින් වූ දකුණු ආසියානු ඒජන්සිකරුවාගෙන් ලැබුණේ ඉදිරි අසුනක් පෙන්වා වාඩි වෙන ලෙස දැන්වූ සන් කිරීමක් පමණි. ගෙවෙන තත්පරයත් මහා විශාල කාලයක් ලෙස හැඟුණු විනාඩි කිහිපයක කෙළවර රංග යළි ඔහු විමසන්නට නැගී සිටිත්ම මගේ දුරකථනය නාද විය.

“ප්‍රියන්ත... දැන්ම යන්න ‘සර්කියුලර් කියු‘ එකට. එතන ස්ටේෂන් එකෙන් බැහැල දකුණු පැත්තට යද්දි තියෙනව ඒජන්සි එකක්. ඒකෙ ඉන්නව ශිවා කියල කෙනෙක්. එයා ලංකාවෙ. එයා ඔයාට ටිකට් එකක් ලෑස්ති කරල තියෙන්නෙ. සේරම විස්තර එයා දන්නවා“

අනුරසිරි මහතා කියාගෙන ගියේ ය. ‘සේරම විස්තර‘ යනුවෙන් ඔහු අදහස් කරන කරුණු පෙළ යළි විමසන්නට මට ශක්තියක් ලැබුණේ නැත. කිසිදු වෙනස්කමක් නොදක්වමින්, යළි නගරය දෙසට යන්නට සිදුව ඇති මගෙන් සමුගත් රංග දුම්රියපළ අංගනය වෙත පිය මැන්නේ ය.

නගරයේ ඉහළම ආකර්ෂණය ඇති, ඔපෙරා හවුස් ඇතුළු ප්‍ර‍මුඛතම සංචාරක ආකර්ෂණයන් ඇති සිඩ්නි වරාය අසබඩ පිහිටි සංචාරක ඒජන්සියක මුල් පුටුවේ වාඩිවී උන්, හොඳින් සිංහල බස හසුරුවන ලාංකිකයකු වූ ශිවා, දන්නා හඳුනන මිතුරකු පරිද්දෙන් මා පිළිගෙන ටිකට්පතෙහි කටයුතු සරි කර දුන්නේ ය.

“හෙට දවල් මෙහෙන් යන්න පුළුවන්. මැලේසියන් එයාර් ලයින්. ඉක්මණින්ම යන ගමනක් මේක. ලංකාවෙ වෙලාවෙන් රෑ 12 විතර වෙද්දි ඔයා එහෙ. මල්ලිට සල්ලි කරදර නම්, කමක් නැහැ ඇවිල්ල පුළුවන් වෙලාවක දෙන්න.“ ඔහු හෘදයාංගම බව පළ කළේ ය.

“නෑ... මම ගෙවන්නම්“ මම හදිසිම මොහොතක පමණක් එළියට ගන්නට පසුම්බියේ තබාගෙන උන් ක්‍රෙඩිට් කාඩ් පත පිටතට ගත්තෙමි.

“ඔයා ගිහින් කිව් එකේ ඉන්න අවශ්‍ය නෑ. මම එතන කට්ටියට කියලයි තියෙන්නෙ. මැලේසියන් එයාර් ලයින් කවුන්ටරේට කියන්න. ඔයාව ඉක්මණින් ගනීවි.“

කුහුලක් පමණක් සිතැතිව, සිඩ්නි නගරයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට යන්නට රංගත් සමග පිටත් වූ මම යළි රීජන්ට් වීදියේ නවාතැනට ගොඩ වැදුණේ සිහිනයෙන් ඇවිද යන්නෙකු පරිද්දෙනි. සුපුරුදු පරිදි රේඛා සිතුවම් අදිමින් සිටි ජුන් මදැක සිනාවක් නැගුවේ ය. පැට්‍රික්, මර්සේලෝ, හායි, ෆ්‍ර‍න්සුවා හෝ නීල් යන කිසිවකු පෙරළා පැමිණ නැති බව නිවහනේ පැතිර පවතින දැඩි නිහඬ බව දෙස් දෙයි. කාමරයට වැදුණු මම ඇද මත වැතිර ගතිමි.

ගෙවී ගිය කාලය පිළිබඳ කිසිදු අදහසක් නැතිව, නින්දත් නොනින්දත් අතර ගෙවුණු යම් මොහොතකට පසු යළි දුරකථනය හඬ නගනු මට ඇසිණ. ඇමතුම අයියාගේ ජංගම දුරකථනයෙන් බව මගේ තිරය මට දැනුම් දෙමින් එළිය විහිදුවමින් සිටියේ ය. මේ ඒ ඇමතුම ද? දුෂ්කරතම පුවතක් ම වෙත තැබීමට අයියා මුහුණ දිය යුතු අසීරුතාව දැන සිටි මම ඔහු නොඇමතුවෙමි. මල්ලී හෝ බාප්පා කෙනෙකු, නැතිනම් නිරූ අමතමින් ඒ කිසිවකු හෝ ලය සිර කරන වේදනාවකට පත් නොකිරීමට මගේ යටිසිත මට බල කර තිබුණු බව මට වැටහී ගියේ කිසිවකු ඇමතීමට මා උත්සාහ නොකළ බව පසක් වීමත් සමග ය. දැන්, නමුත්, ඇමතුම අයියාගෙන් බව දුරකථනය මට කියා ඇත. වේදනාබර, පුතකු හෝ දියණියක විසින් සිය සොයුරකු හෝ සොයුරියක වෙත දැනුම් දීමට අසීරුතම, ආරංචිය රැගෙන ඇමතුමෙහි එහා කෙළවර, සැතපුම් දහස් ගණනක් දුර තැනෙක අයියා සිටිනායුරු මට මැවී පෙනෙන්නට විය. මම දුරකථනය අතට ගතිමි.

‘මල්ලි, ප්‍රියන්ත‘

ගෙවෙන කාලය හැමවිටම එක හා සමාන නැත. එය තත්පර, විනාඩි හෝ පැය වැනි, කිසිදු වැදගැම්මකට නැති, අංගවලට කඩා ඔබ ඉදිරිපිට තබන්නට රාමුගත ලෝකය කටයුතු කර ඇත. එම රාමු එකහෙළා පිළිගන්නා ඔබ, කාලය මෙපරිද්දෙනැයි ඔබ වෙත බෙදා ඉදිරිපත් කර ඇති රටාවන්ට අනුව කටයුතු කරනු ඇත. කන බොන, නිදන, අවදි වන කටයුතුවල පටන් රැකියා කටයුතු, ඉගෙනීම් ඇතුළු සියල්ල ඒ රටාවෙහි සම්මතයන් තුළ තබා පිළිගෙන පිළිපදිනු ඇත. එහෙත්, කාලය යනු තත්පරවත්, විනාඩි හෝ පැයවත් නොවේ. එය විටෙක නතර වන, තවත් විටෙක වේගයෙන් ඇදෙන අරුමැසි අවකාශයකි. එය විටෙක අසිරිමත් ය. තවත් විටෙක අප රවටන සුළු ය. ඒ හා සමග ඒ ඒ අවකාශ අන්තර අතර කැටි කොට අප වෙත යොමු කරන හැඟීම්වලින් පූර්ණ ය. වේදනාවත්, සතුටත් වෙන්ව අප වෙත ගෙන ඒමේ වගකීම නිසි පරිදි ඉටු කරන්නට කාලය සැදී පැහැදී සිටියි. එයට වෙන කිසිදු දෙයකට නොහැකි තරමට අප වල්මත් කළ හැක. අයියාගේ ආමන්ත්‍ර‍ණයෙන් අනතුරුව ගෙවුණු නිමේෂය යළි යළිත් මට පසක් කොට දුන්නේ එම සත්‍යයයි.

“මිස්ටර් ජයසේකර මුණ ගැහුණ ද?“

“ඔව්. දැන් මොකක්ද වෙලා තියෙන්නෙ?“

“මල්ලි. තාත්තිට ස්ට්‍රෝක් එකක් ආව. එයා දැන් ඉන්නෙ ඉස්පිරිතාලෙ. සිහිය නැහැ. එයිද දන්නෙත් නැහැ. ඔයා එන්න ඕනෙ ඒකයි. අපි තුන්දෙනාම එයා ළග ඉන්න ඕනෙ.“

“ඔව්... මම එනව. ටිකට් එක ගත්ත. හෙට එනව. රෑ 12ට විතර බහිනව“

අයියා කියූ කරුණෙහි සත්‍යඅසත්‍යතාව කුමක් වුවත් ඒ තාත්ති බව ස්ථිර ය. පසුගිය ඉරිදා සුපුරුදු පරිදි ස්කයිප් කතාබහකට පැමිණියත් තාත්ති වෙනත් ඉරිදාවක මෙන් දිගු සංවාදයකට මා හා එක් වූයේ නැත.

“මගෙ ටිකක් බඩ හරි නැහැ වගේ පුතේ. මම ටිකක් යනව ඇලවෙන්න. මල්ලි ඉන්නව‘

සිඩ්නි ජීවිතයේ ගෙවී ගිය සතියේ සියලු දේ අතරතුර, සැතපුම් දහස් ගණනක් දුරින් වූ මගේ නිවසෙහි තාත්ති අසනීපව දවස් ගෙවන්නට ඇති බව දැනෙත්ම තියුණු සැතකින් සිරුර පෑරූ වේදනාවක් නැගී ආවේ ය. දැන් කාලය ගෙවා දැමිය යුතු ය. හෙට වන තෙක්... ගුවන් තොට වෙත නික්මෙන තෙක්... තවත් රැයක් සහ පැය ගණනක්, සම්මත කාලයට අනුව නම්... මට ඉතිරිව ඇත. එහෙත්, මා ඔබට කලින් කී පරිදි එය ඉතා දිගු වනු ඇත. හෝරා මනින්නට යැයි තබා ඇති විසුළු පෙනුමැති උපකරණයේ එක තැන කරකැවෙන කටුවලට මැන පෙන්නවන්නට කිසිසේත් නොහැකි අරුම පුදුම කාලයක් හෙට හවස ගුවන් තොටින් මා නික්මෙන තෙක්ම, යළි ලංකාවේ නිවසට ගොඩ වදින තෙක්ම, ගෙවී යනු ඇත. කෙසේ වෙතත්, මා ඒ කාලය ගෙවා දැමිය යුතු ය.

මම පරිගණකය ක්‍රියාත්මක කළෙමි. සුපුරුදු මිතුරු ඇසුරවලින් ඈත්ව, වත් පොතෙහි, ස්කයිප් සංවාද අතරෙහි, කල් ගෙවනු නොරිසි වූ මම වෙනත් කිසිදු අදහසක් නොමැතිව ඔහේ සයිබර අවකාශය තුළ ඇවිද යන්නට තීරණය කළෙමි. මගේ ඊමේලය විවෘත වූයේ ඒ අදහස නිසා විය යුතු ය. ඊමේලය ඔබ මොබ කිසිදු අරමුණකින් තොරව නෙත් දිව ගිය යම් කාලයකට පසු, එක්වරම, එක් තැනෙක, මගේ නෙත් නතර විය. ‘My deepest sympathy’ යනුවෙන් එහි ලිපි සිරසෙහි ලියැ වී තිබිණ. තව දුරටත් කිසිදු අයුරකින් විග්‍ර‍හ කළ නොහැකි කාල පරාසයකට පසු මොහොතක, ගල් ව ගිය මගේ අතින් ලිපිය විවෘත කෙරිණ. සිත හොඳින්ම දැනගෙන සිටි, එහෙත් කිසිවකුත් නිසි පරිදි ස්ථිර කිරීමට ඉදිරිපත් නොවුණු කරුණ, මාගේ හොඳම මිතුරියක විසින්, සමල්කා විසින්, ස්ථිර කර තිබිණි. ඒ තනි නමුත් තිර වැකියකිනි.


My deepest sympathy regarding your father!’

කාලය, කිසිදු ගණනය කිරීමක් ගැන බිඳකුදු මායිම් නොකොට, ඒ මොහොතේම, එක එල්ලේම, නතර විය!

Image: https://images.fineartamerica.com