Wednesday, May 16, 2012

‘Doors Closing Stand Clear!’

 (2012 මාර්තු මස 07 වැනිදා)

ඕට්ලි දුම්රිය පළෙන් රෙජී සමග දුම්රියට ගොඩ වුණු මම සිඩ්නි විශ්වවිද්‍යාලය වෙත යාමට පිටත් වුණෙමි. සිඩ්නියේ සියලුම සාමාන්‍ය දුම්රිය තට්ටු දෙකකින් සමන්විත ය. දුම්රිය පළට පිවිසෙන ඔබට ක්‍රම කිහිපයකටම ඔබේ ප්‍රවේශ පත මිළදී ගත හැකි ය. තිරයේ දිස්වන  සිතියමෙහි යා යුතු ස්ථානය මත ඇඟිල්ල ස්පර්ශ කළ විට මිළ සටහන් වී ස්වයංක්‍රීයව ප්‍රවේශ පත් නිකුත් කරන යන්ත්‍රයෙන් හෝ සාමාන්‍ය ප්‍රවේශ පත් කවුළුවෙන් ආදී වශයෙනි. 
නොඑසේනම්, දුම්රිය පළට ඒමට මත්තෙන් ගමන් බලපත් නිකුත් කරන ස්ථානයකින්ද ඊට ඉඩ ලැබෙනු ඇත.

දුම්රිය පළ මීළඟට එන දුම්රිය පිළිබඳ කාල සටහනක් රූපවාහිනී තිරයකින් ඔබට කියයි. මිනිත්තු 10කින් දුම්රිය ළඟා වන බව පෙනේ නම් ඩොලරයක් හෝ දෙකක් ඔබා යන්ත්‍රයකින් චොකලට්ටුවක් ගෙන හැපීමෙහි හෝ කොකාකෝලා වැනි පානයකින් සන්තර්පණය වීමෙහි ඇති වරදක් නැත. ‍ඔබ ගෙවන මුදල යන්ත්‍ර කටින් ඇතුළු කොට භාණ්ඩයට අදාල අංකය සටහන් වන බොත්තම එබූ සැනින් ආශ්චර්යජනක ලෙස එය ඔබ වෙත පත්වෙයි. දුම්රිය පැමිණීමට මිනිත්තුවක් ඇති බව කියද්දී ඈතින් වේදිකාවට එන දුම්රිය ඔබට පෙනේ. ඔබ අසළ නවතින දුම්රියෙහි දොරටු විවර වී ඔබට ආරාධනා කරන බව දැනෙන මොහොතේ දුම්රියට ගොඩ වීම සුදුසු ය. සියලු මගීන් ගිල ගත් පසු එය මෙසේ කියනු ඇත.

‘Doors Closing Stand Clear!’

රෙජී සමග දුම්රියේ සුවපහසු ලෙස වාඩි වූ මට සිහියට ආවේ සංජය හා සාගර සමග පාසැල් යාමට පල්ලෙ තලවින්න දුම්රිය ස්ථානයට දිවගිය අවදියයි. මාතලේ නගරයෙන් පිටත් ව වත්තේගම හරහා නුවර බලා ඇදෙන දුම්රියට නැගීමට පල්ලෙ තලවින්නට අප යන්නේ හුදෙක් පාසැල් දඟකාරකමක් ලෙස සළකමින් ම නොවේ. නිවසේ සිට බස් රථ දිවෙන මහමගට එතරම් දුරක් නැතත් මහ පාරට නොගොස් සංජයත් මමත් ගම මැදදී අනෙක් පසට හැරෙමු. කිලෝ මීටරයක පමණ පාගමනකින් පසු අපට සාගරගේ නිවස හමුවේ. එතැන් සිට ඇත්තේ එක්කෝ දිවීමකි; නොඑසේනම් පරාජය භාර ගෙන යළි හැරීමකි. දිගු පා ගමන අතරතුර දුම්රිය අප පසුකර නුවර බලා ඇදෙනු හමුවුවහොත් පරාජය භාර ගන්නා අපි, මුවින් නොබැන යළි මහ මග දෙසට ඇදෙමු. එසේ නොමැති නම් ඈතින් ඇසෙන දුම්රිය නළාව  හමුවේ දුම්රිය පළ වෙත දිවීම ආරම්භ කරමු. ඇතැම් දිනක අපේ දිවීම සාර්ථක වෙයි. එදින අප පල්ලෙ තලවින්නෙන් දුම්රියෙහි එල්ලෙන මහ සෙනගට එක්ව දුම්රිය මැදිරියක දොරටුවක් භාර ගන්නෙමු. පාසැල් අවදියේ අපගේ මනස්කාන්ත පෙම් පුවත වූ මිතුරු සම්පත්ගේ හා සමන්තිගේ පෙම දිනනු දැකීම මේ මහා දිව යෑමේ අභිප්‍රේතාර්ථයයි. 

පාසැල් පෙමක් පිළිබඳ කරුණු ගොඩනැඟීමට ප්‍රේමයක් මල් ඵල ගැන්වීම අත්‍යවශ්‍ය නොවේ. සුදු ගවුමෙන් එන පාසැල් යුවතිය ඔබේ දුම්රිය මැදිරියේ හෝ බස් රථයේ යෑම, වාඩිවූ අසුනේ සිට ඔබේ පාසැල් බෑගය ඉල්ලා ගැනීම, සිනා සී ඉවත බලා ගැනීම, ඉඳ හිට ගුඩ් මෝනින් කීම ඊට ප්‍රමාණවත් සාධාරණ හේතු ලෙස පිළිගැනේ. මේ අයුරින්ම සම්පත් හා සමන්ති අතර ද මහා පෙම් පුවතක් ඇතැයි අපි තරයේ විශ්වාස කළෙමු. උකුවෙලින් දුම්රියට නැග එන සම්පත් ගමන් ගන්නා දුම්රිය මැදිරියටම නැතිනම් පල්ලෙ තලවින්නේ දී ඇය ගොඩ වදින්නේ ඇයි?
සම්පත්, සංජය හෝ සාගර වැනි කිසිදු මිතුරකු මෙන් සිසුවියන් ඉදිරියේ එඩිතර නොවන මම ඔවුන් හමුවේ කුලෑටි ලෙස පසු බසිමි. ඔවුන් සැමට අභීත පෙම් පුවත් ඇති අතර මම ඒ සියල්ල අසා සිටින සුහද මිතුරා වෙමි. අපේ පන්සලේ පැවති මුතුහර ළමා සමාජයේ ද සාමාජිකාවක් වූ, මන බඳනා රූපයක් හිමි සමන්ති නංගී මා මිතුරු සම්පත් හා පෙමින් වෙළෙන්නට යෑම මහදට ගෙන්වන්නේ මහත් උත්කර්ශයකි. ඔවුන්ගේ ප්‍රේමය මල් ඵල දරනා බවට දැඩි විශ්වාසයෙන් පසු වන සංජය, සාගර සහ මම සවස් කාලයේ හා සති අන්තයේ ඒ පිළිබඳ විසල් සාකච්ඡා වල යෙදෙමු. යම් හෙයකින් සමන්තිගේ නිවසින් මෙයට විරෝධයක් පැන නැඟුණහොත් මාපියන් හමුවට වුව යෑමේ හැකියාවක් අප තුළ වන බව මා මිතුරන් දෙදෙනාගේ ම අදහස විය. 

පාසැල නිමවී මහනුවර නගරයට පාගමනේ යන මම, ශාන්ත සිල්වෙස්තරයේ සිට එන සංජයත්, ධර්මරාජයේ සිට එන සාගරත් හමුවෙමි. විද්‍යාර්ථයෙන්ම මා සමග පිට වුව ද ප්‍රේමයට සහය දෙනු වස් මම සම්පත් මග හැර යමි. අපි තිදෙන 2.20ට මහනුවර දුම්රිය ස්ථානයෙන් පිට වන මාතලේ දුම්රිය වෙත පිවිසෙන්නේ හින්දි තිර පටයේ සැබෑ සුමිතුරු චරිත පරිද්දෙනි. යට දිනෙක සීගිරි සිනමාහලේ තේසාබ් නරඹා අනිල් කපූර්ගේ හා මධුරි ඩික්සිත්ගේ ප්‍රේමය මල් ඵල දැරීම වෙනුවෙන් මා සමග එකට කඳුළු සැලූ මිතුරා වෙනුවෙන් අපහට කළ නොහැක්කේ කුමක් ද?

මේ ගමන් වාර සියල්ල කෙළවර වූයේ මෙවැනි එක් දිනෙක සම්පත් කඳුළු පිරි දෙනෙතින් තනි මැදිරියක හිඳිනු හමුවීමෙනි. දෙදෙනෙකුට පෙම් කළ නොහැකි බැවින් සම්පත් අයියාට කැමැත්ත දිය නොහැකි බව සමන්ති නංගී කියා තිබිණි. එදින රැයේ නින්ද මවෙතට නොආ අතර දෙනෙතට ආ කඳුළු නවතා ලිය නොහැකි විය. දිගු කලක් තිස්සේ කිලෝ මීටර ගණන් දුවමින් අප ගොඩ නැඟූ සිහින මාළිගය බිඳ වැටීම මට මහත් වේදනාවක් ගෙන දුනි. යෞවනියන් හමුවේ මහත් අපහසුවකට පත්ව පසුබසින මම, මගේ ප්‍රේමයක් හා සමානවම මෙම කර්තව්‍යය පෙරමුණෙහි තැබීමි. මා වෙනුවෙන් මිතුරා ලබන ජය හමුවේ සතුටු වීමට මම ද බලාපොරොත්තු වුණෙමි.
ඉදින් පසු දුම්රිය ගමනකට අප කිසිවෙක් පය එසවූයේ නැත. ඇය වැනි චපල ස්ත්‍රියක් නොලැබීම සම්පත්ගේ ජයග්‍රහණයක් බව සාගරගේ මතය විය. කෙටි කලකට පසු සම්පත් දුම්රියේ ම ආ ගිය උසස් බාලිකාවේ සිසුවියක හා මිතුරු වූ අතර පසු කලෙක ඈ හා විවාහ විය. සමන්ති විවාපත් වූයේ ඊට බොහෝ කලකට පසු හමු වූ මා බාල සොයුරු චමින්දගේ මිතුරෙකු සමග ය.

3 comments:

  1. ස්වයංක්‍රීය දුම්රිය ප්‍රවේශපත් ලබාගන්න අත්දැකීමට සිංගප්පූරුවේදී මාත් මුහුණ දුන්නා. ඒ වගේමයි සුඛෝපභෝගී [ලංකාවේ මට්ටමෙන්] හා කාර්යක්ෂක්ම දුම්රිය ගමනක අත්දැකීමෙන් පසුව හිතුණේ අපේ රටේ කවදා එවැනි තත්වයක් ඇති වෙයිද කියලා

    ReplyDelete
  2. වැඩේ ලස්සනයි... හොඳට ලියල තියෙනවා... මට මෙච්චර ලියන්න තරම් ඉවසිල්ලක් නැති නිසා කියවල නිකං ඉන්නවා... :D
    ඔය හසිතගෙ කතාවට තව පොඩ්ඩක් එකතු කරනව නම්, පලවෙනි වතාවට මට ස්වයංක්‍රීය දුම්රිය ප්‍රවේශපත් ලබාගන්න ලැබුනෙ හොංකොං වලදි... ඒ කෝච්චි වල යද්දි කියනවා "Mind the gap when boarding" කියල (පොඩ්ඩක් විතර වචන වෙනස් ඇති)... මමයි මගේ යාලුවයි බලන් හිටිය, තඩි gap එකක් ඇති කියල කෝච්චියයි platform එකයි අතර... අපිට පුරුදු ලංකාවෙ කෝච්චි වල ඉඳල අඩියක් දෙකක් වත් පහලට බැහැල නෙ... අනේ අඟලක විතර ඉඩක් තමයි තිබුනෙ... ඒකත් තිරස් අතට තිබුනු ඉඩක් මිසක්, කෝච්චියෙ බිමයි station එකේ බිමයි එකම level එකේ... :)

    ReplyDelete
  3. දෙදෙනෙකුට පෙම් කළ නොහැකි බැවින් සම්පත් අය්යාට කැමැත්ත දිය නොහැකි බව= "Door's closing; Stand clear" සමන්ති නංගිගෙ හදවතේ දොර වහලා, සම්පත් අය්යට විතරක් නෙවෙයි යාළුවන්ටත් දැනෙන තරමට සද්දෙන් නිවේදනයක් කරලා.

    ReplyDelete