Tuesday, June 12, 2012

බ්‍රොන්ටි වෙරළට වී බලා සිටියෙමි


(2012 මාර්තු මස 25 වැනිදා)

රීජන්ට් වීදියට පැමිණ ගෙවුණු දින කිහිපය තුළ කිහිපවරක්ම විවිධ විනෝද ගමන් සඳහා නවාතැන් සගයින් ආරාධනා කළද ඒ සියල්ල කාරුණිකව ප්‍රතික්ෂේප කළේ අතමිට යහමින් මුදල් නැති මොහොතක අනවශ්‍ය ගමන් බිමන් වලින් තවතවත් කරදර මතුවේයැයි හැඟුණු නිසාවෙනි. සතිය පුරා යන්ත්‍ර මෙන් වැඩ කරන සිඩ්නි නුවරු සති අන්තයන් විනෝදවීම් සඳහා වෙන් කර තබති. මෙනිසාම විශේෂ හේතුවක් නොවන්නේ නම් සති මැද ජනාකීර්ණව පවතින සේවා ගොඩනැගිලි හා වීදි සති අන්තයේ පාළුවට හැරෙයි. සිඩ්නි විශ්වවිද්‍යාලයටද මෙය අදාල වන බව මම වටහාගත්තේ අහම්බෙන් සෙනසුරාදාවක එහි ගොඩවැදුණු විට ය. මගේ සිඩ්නි සම්ප්‍රාප්තිය අසා මා හමුවට ආ චෙස් ක්‍රීඩක මිතුරකු වූ රංග සමග මම එහි ගියේ ඔහු විශ්වවිද්‍යාලය බැලීමට කැමැත්ත පළ කල හෙයිනි. සිඩ්නියේම පදිංචිව පරිගණක විෂයයට අදාළව පශ්චාත් උපාධියක් හදාල රංග නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ සිසුවෙකි. කෙසේ වුව, එදින රංගගේ දැකුම් පථයට හසුවූ එකම සිඩ්නි ශිෂ්‍යයා ඔහු සමග පසෙකින් ඇවිද ගිය මා ය! සියලු ගොඩනැගිලි එලෙසම නිසලව තිබෙන්නට හැර සමස්ථ ප්‍රජාව සති අන්ත නිවාඩුව ලබාගෙන තිබිණි.

නගරය තරමක් දුරට පාළුවට හැරෙන සති අන්තයන්හි නුවරු සියළු ආම්පන්නවලින් සන්නද්ධව සිය විනෝද භුමි කරා ඇදෙති. දිනකට දෙකකට අවැසි කළමණා සහිතව ඇතැමුන් රට තුළට ගොස් වනයක් මැද හෝ දියකඩක් අභියස කඳවුරු ලා ගනිද්දී තවත් පිරිසක් මුහුදු වෙරළ තීරය සිය සතිඅග විනෝද බිම බවට පෙරළති. මුහුදේ පිහිනීම හා වෙරළේ සෙල්ලම් කිරීම සිය විනෝදාංශයක් කරගෙන උන් ෆ්‍රන්සුවාද මර්සෙලෝ, ජුන් සහ පැට්‍රික්ද කැටුව, කලින් නම් කරගෙන උන් වෙරළක් සොයා පිටව යාම සති අන්තයේ අනිවාර්ය නවාතැන් ක්‍රියාවලියක් බව මට පැහැදිලි වන්නට කලක් ගත වූයේ නැත.

“ප්‍රියා... අද අපි බ්‍රොන්ටි බීච් යනවා... එනවද අපිත් එක්ක...?“

එක් ඉරිදාවක උදයේ පැට්‍රික් මගෙන් ඇසුවේ ය.

 මා මෙහි ආ මුල් දිනයේම මගේ නමද සිය වහරට හුරු ලෙස ඇනී විසින් වෙනස් කරන ලද බව කලින් නොකීවාට මට සමාවන්න! Priyantha යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියැවෙන හා ‘ප්‍රියන්ත‘ ලෙස කියැවෙන මගේ නම රිසි ලෙස කපා කොටා දැමූ ඇනී ‘ප්‍රියා‘ යනුවෙන් මා අමතන්නටත් Pria ලෙස එය ලියන්නටත් පටන් ගත්තේ කිසිදු අවසර පැතීමකින්ද තොරව ය. එතැන් පටන් මගේ නවාතැන් සගයින්ටද මගේ නම ප්‍රියා ම විය. ඒ සඳහා එරෙහි වීමෙහි කිසිදු පදනමක් නැති බව මට වැටහී ගියේ කිසිවකුට නිසි හඬ සහිතව “ප්‍රියන්ත“ යන නම උච්චාරණය කළ නොහැකි වූ නිසාවෙනි.

දිගින් දිගටම නවාතැනට වී කල් හැරීම නිසා දැනෙන සංකා සිතුවිල්ලෙන් පළා යාමට ආ අවශ්‍යතාවයත්, සගයින් සමග තව දුරටත් සමීප වීම මැනවැයි ඇති වූ හැඟීමත් නිසා මම ගමනට කැමැත්ත පළ කළෙමි.

“හරි යමු!“

“හුරේ.... ප්‍රියා ඉස් කමින්......“

සිය සතුට පළ කිරීමට විනෝද නැටුමක් ගෙන ආ පැට්‍රික් සෙස්සන්ගේ මුවට සිනාවක් කැඳවා දුන්නේ ය. වීදියේ වූ බස් රථ ප්‍රවේශපත් නිකුත් කරන වෙළඳ සැළකින් අපි බස් රථය සඳහා පිවිසුම් වරම් ලබා ගතිමු. දුම්රියට මෙන්ම බස්රියටද පිවිසුම්පත් ලබා ගැනීම සිඩ්නියේ දී විවිධාකාරයෙන් සිදු කළ හැකි ය. ඉහත ක්‍රමයට අමතරව ඇතැම් බස් රියවල රියදුරන් සිය අසුන අසළ යන්ත්‍රයෙන් ද ප්‍රවේශ පත් නිකුත් කරන අවස්ථා හමුවේ. ඉදිරි දොරටුවෙන්ම පිවිසුම අනිවාර්ය සිඩ්නි බස් රථවල අප රටෙහි මෙන් කෑ මොර ගසන කොන්දොස්තරවරයෙකු දකින්නට නැත. සියලු කටයුතු මෙහෙයවෙන්නේ රියදුරු අසුනේ සිටින තැනැත්තා අතින් වන අතර පනස් විය ඉක්මවූ , සුදු ජාතික හෝ චීන ජාතික බස් රියදුරුවරියන් මුණ ගැසීමද සිඩ්නියේ සාමාන්‍ය කරුණකි.

බ්‍රොන්ටිය සුන්දර වෙරළ තීරයකි!
බ්‍රොන්ටිය සිඩ්නියේ ගිණිකොණ දිගට වන්නට පිහිටි සුන්දර වෙරළ තීරයකි.  මැනවින් ඉරුරැස් පතිත වුණ ද අපේ වාසනාවට එදින එහි මහ සෙනගක් දකින්නට සිටියේ නැත. දුව පැන ඇවිදින ළමා ළපටින්, හිරුරැස් නාන්නට ආ තරුණ තරැණියන් හා වැඩිහිටියන්, පිහිනන්නට හා දිය මත ලිස්සා යන ලෑලි මත නැග විකුම් පාන්නට ආවුන් වෙරළේ විසිර සිටිය ද එය විශාල අගයක් ගත්තේ නැත. ෆ්‍රන්සුවා රැගෙන ආ රගර් බෝලය අතිනත හුවමාරු කර දුවමින් තරමක් වේලා රගර් සෙල්ලමේ යෙදුණු පිරිස දෙවනුව මුහුදට බැස්සේ දිය රැළි පහස විඳිමින් පිහිනන්නට ය. ඇඳුම් හා කළමණා රක්නට අයෙකු වෙරළේ නතර විය යුතු බව අදහස් වූයෙන් කැමැත්තෙන්ම මම එය භාරගත්තෙමි. ගඟ දිය හුරු වුවද මුහුදු රළ හා පොර වැදෙමින් පිහිනා යන්නට මහත් හුරුවක් මා වෙත නැත. එහැරුණු විට, ඉරුරැස් පතිත වුව, සයුර පිස හමන කටුක සුළං රැළි ජලය වෙත යාමට ඇති උවමනාව හීන කර දමයි.

ලංකාවේ වෙරළක දක්නට නොලැබෙන තරම් සිහින් හා සුදු පැහැ වැලිතලාවේ හිඳගත් මම දිය රැළි අතරට බසින මිතුරන් දෙස බලමින් කල්පනාවට වැටුණෙමි. ඉදිරියේ පෙනෙන මහ සමුදුරෙහි කෙළවර තැනෙක, සියලු නෑසියන්, සමීපතමයින් වෙසෙන මගේ කුඩා දිවයින පවතින බව මම දනිමි. බැස පීනා ගොස් තරණය කරන්නට නොහැකි සයුර කෙතරම් විශාල වුව යළිත් ඔවුන් හමුවන්නට වන කාලය දිගු බව දැනෙත්ම ඒ ජල කඳට අභියෝග කරන්නට සිතෙයි. මහගෙදර වෙසෙන අම්මා සහ තාත්තී, මා නැතිව පාළුයැයි නිතරම කියන ආදරණීය නිරූ, කොළඹ වෙසෙන අයියා, ඔහු බලන්නට ගිය විට තුරුළට පැන සුරතල් වන ඔහුගේ දියණිය, සෙල්ලමට බසින පුතු, නිහඬව තේ කෝප්පයක් ගෙනවිත් දී යන අක්කා, බාල වියේ මෙන්ම ඉඳහිට මා සමග වාදයට පැටලෙන මල්ලී, මහගෙදර ගිය විට සොයුරු පෙමකින් සියල්ල විමසා බලන ඔහුගේ බිරිඳ - කුමාරි, දිවිය කියා දෙන්නට මහත් ලෙස වෙහෙසෙන බාප්පලා, නිතරම විනෝදයෙන් නමුත් ඕනෑකමින් කරුණු විමසා බලන ආනන්ද සර් හා  දැන් ඔහු බිරිඳ වී සිටින, පේරාදෙණියේ අප හා එක යුගයක විසූ මිතුරියක වූ වින්ද්‍යා, මගේ ශ්‍රී පාලි සගයින් වූ සුදත් හා කිත්සිරි, එහි නාට්‍ය හදාරන්නටවිත් බොහෝ සේ මිතුරු වූ සිසු කැළ ඇතුළු සියලු හිතමිත්‍රාදීන් සමග ගෙවූ යුගයකට විරාමයක් දී මෙහි එන්නට මා මෙහෙය වූ බලවේගයන් කවරේදැයි මම හැරී බලමි.

“මේ හම්බවුණු චාන්ස් එකේ යන්න පුළුවන් හොඳම කැම්පස් එකක් හොයල යන්නයි තියෙන්නෙ, මේ කාලෙ මේ රටේ ඉඳලනං වගතුවක් වෙන්නෙ නෑ“

මගේ ශිෂ්‍යත්වයේ තොරතුරු ඇසූ බොහෝ නෑ හිතවතුන් ගෙන ආවේ ඔවැනි අදහසකි. ශ්‍රී ලංකාවේම විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධිය සඳහා පිරිනැමණු ශිෂ්‍යත්වය විදේශයක් වෙත හරවා ගැනීමට කිසිදු අපහසුවක් නොවූයේ මා හදාරන්නට යන සිනමාව හා බැඳුණු පශ්චාත් උපාධි පාඨමාලා අප රටෙහි නොතිබූ නිසාවෙනි. ලැබෙන මුදලට සරිලන එකම දේශය ඉන්දියාව වෙද්දී මෙරටට එන්නට බලපෑ කරුණු කිහිපයකි. විශ්ව විද්‍යාලයක් ලෙස සිඩ්නි විශ්වවිද්‍යාලයට තිබූ ජාත්‍යන්තර පිළිගැනීම, ඒ වෙත මා යොමු කළ පර්යේෂණ යෝජනාවලිය සාර්ථක වීම, ඕස්ට්‍රේලියාව වැනි රටකදී ලබන අධ්‍යාපනය හා එරටදී ලබන අත්දැකීම් වඩා විධිමත් ශාස්ත්‍රඥයෙකු බිහිකරන්නට උදව් වනු ඇතැයි බොහෝ දෙනෙක් දැක්වූ අදහස් ඉන් ප්‍රධාන ය. එහෙත් මෙවැනි විශ්වවිද්‍යාලයකින්  උපාධියක් ලැබූවෙක් ලෙස පෙනී සිටිද්දී අනාගතයේ ලැබෙන ගර්වයද මෙහි ඒමට මා මෙහෙයවූ අවිඥාණික බලපෑමක් නොවීයැයි මට කිව හැකි ද?

වියදම් අධිකම දේශයක් වූ මෙහි ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් වූ සිඩ්නිහි පාඨමාලා ගාස්තුව ඉතා ඉහළ අගයක් ගත්තේ ය. ශිෂ්‍යත්වයෙන් මා ලැබූ මුදල පාඨමාලා ගාස්තුවෙන් අඩකටවත් නොසෑහෙද්දී ධෛර්යය උපදවා ගෙන මෙහි එන්නට යට කී කාරණා බලපෑ අතර පැමිණි පසු සෙසු මුදල සෙවීම ඉතා පහසුවෙන් කළ හැකි බවට විශ්වාසයක්ද ගොඩ නැගී තිබිණි.

“ඕස්ට්‍රේලියා ගිහින් අමාරුවෙ වැටිල ආපු කෙනෙක් ගැන අහලවත් තියෙනවද? ඕවැයෙ තියෙන පොඩි පාර්ට් -ටයිම් දෙක තුනකින් සල්ලි හොයල, ඉගෙනගෙන, ජීවත්වෙලා ඇවිත් ඉතිරි කරගත්තු සල්ලි වලින් මාළිගා ගහපු උන් මම දැකල තියෙනව. අනික ඒ ගොල්ල ඔයා වගේ ශිෂ්‍යත්ව ලැබිල ගිය අය නෙවෙයි. ඉඩං උගස් කරගෙන, සල්ලි ගෙවාගෙන ගිය අය“

ආචාර්ය රංජිත් වරෙක මා දිරිගැන්වූයේ එපරිද්දෙනි. අප විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙකු වූ ඔහු කලක් විදේශගතව සිට ආචාර්ය උපාධිය ලැබ මෙරටට පැමිණි අයෙකි.

6 comments:

  1. ආචාර්ය රංජිත්ගේ කතාව ඇත්ත තමා

    ReplyDelete
  2. //ලංකාවේ වෙරළක දක්නට නොලැබෙන තරම් සිහින් හා සුදු පැහැ වැලිතලාවේ හිඳගත් මම දිය රැළි අතරට බසින මිතුරන් දෙස බලමින් කල්පනාවට වැටුණෙමි. ඉදිරියේ පෙනෙන මහ සමුදුරෙහි කෙළවර තැනෙක, සියලු නෑසියන්, සමීපතමයින් වෙසෙන මගේ කුඩා දිවයින පවතින බව මම දනිමි. බැස පීනා ගොස් තරණය කරන්නට නොහැකි සයුර කෙතරම් විශාල වුව යළිත් ඔවුන් හමුවන්නට වන කාලය දිගු බව දැනෙත්ම ඒ ජල කඳට අභියෝග කරන්නට සිතෙයි. //

    මගේ සිත්ගත් කොටස. හරිම ලස්සනයි. ප්‍රවීන ලේඛයෙක් සිහියට නංවනවා.:)

    ReplyDelete
    Replies
    1. සිඩ්නිවලින් පේන්නේ පැසිෆික් මුහුද නේද?

      Delete
  3. // සිඩ්නිවලින් පේන්නේ පැසිෆික් මුහුද නේද? //

    සිඩ්නි වල ඉන්න එක්කෙනා දන්නෙ නැද්ද සිඩ්නිවලට පෙනෙන්නේ මොන මුහුදද කියලා :)

    ReplyDelete