Tuesday, May 29, 2012

ඇට කෝටු බාස්


(2012 මාර්තු මස 17 වැනිදා)

රීජන්ට් වීදියට නවාතැනට ගොඩ වැදී දින කිහිපයක් ගතව යද්දීම පවුලින් නවාතැනින් සමුගෙන ගියා ය. තුන් මසක හෝ හය මසක කොන්ත්‍රාත්තු කාලයකට ලබාගන්නා කාමර යළි භාර දීම හෝ දිගටම රැඳී සිටීම නිශ්චිත කාලය සම්පූර්ණ වීමට ආසන්නයේ නිවාස හිමිකරුට දැනුම් දීම මගින් කළ හැකි ය. පවුලින් සමුගත්තේ කුමන හේතුවකටදැයි හරි හැටි පැහැදිලි නොවූවත් ඇගේ පිටව යාම නවාතැනේ ඝෝෂාවට නැවතීමේ තිත තැබීමක් විය. ආකර්ෂණීය සිරුරක් හිමි රුවැත්තියක වූ පවුලින් සිය සිරුර නිරාවරණය කෙරෙන ඇඳුමින් සැරසී ආලින්දයට බට විගස ප්‍රංශයෝ දෙදෙනාත්, බ්‍රසීල ජාතික මර්සෙලෝත් නිතැතින්ම එතැන පහළ වෙති. සුහද සල්ලාපයෙන් හා අතරතුර කෑගැසීම් වලින් පිරෙන නවාතැන පිටත වීදියේ වාහන හඬ සමග මුසුව නිපදවා දෙන්නේ අධ්‍යයන කාර්යයකට කිසිසේත් නොගැලපෙන පරිසරයකි. 

පවුලින්ගේ සමුගැනීම, ආකර්ෂණීය රුවැත්තියකගේ දායකත්වය නිවසට අහිමි කළද හිස්තැන පිරවීමට ආ සොයි ඇයට වඩා මගේ සිත දිනාගන්නට සමත් වූවා ය. චීන ජාතික තරුණියක් වූ ඇය මාගේ විශ්වවිද්‍යාලයේම වාණිජ්‍යය හදාල අයෙකි. (ක්‍රිස්ටල්ද හදාලේ ද මෙම විෂයයන්ම ය.) නමුත් අනු විෂයයන් ලෙස සංගීතයත්, ඉතාලි භාෂාවත් තෝරාගෙන තිබුණු සොයි නිරතුරුව සිනාමුසුව, කඩිසරව නිවසේ දුව පනින්නට පටන් ගත්තා ය. අප සියල්ලෝම එකම පවුලක නම් සොයි යනු සියල්ලන්ගේම ආදරය දිනන බාල සොයුරිය වැනි බව පෙනී යන්නට විය. මෙය නම් අපූරු පවුලකි! ලංකාවෙන් ආ මාත් සමග ප්‍රංශයෝ දෙදෙනෙක්, චීන තරුණියන් දෙදෙනෙක්, බ්‍රසීල ජාතිකයෙක්, කොරියානුවෙක්, ජපනෙක් හා ඉංග්‍රීසිකාරයෙක් (?) මෙහි වාසය කළෝ ය. ජීවිතයේ කිසිදු දිනක බලාපොරොත්තු නොවූ, නමුත් විඳින්නට දකින්නට ආශා කළ අපූරු විශ්ව පවුලක් මා අභියස විය!

ඉංග්‍රීසිකාරයෙකු මෙම ලේඛණයට හදිසියේම එක් කිරීම පිළිබඳ සමාවුව මැනවි! හැරී නමැති තරුණ එංගලන්ත වැසියාද මා අභියස පෙනී සිටියේ එපරිද්දෙන් හදිසියේම ය. වෙනත් සාමාජිකයෙක් පිළිබඳ කිසිදු අදහසකින් තොරව කුසීතව සෝපාවේ වැතිර සිටි මොහොතක නිරාවරණය වූ උඩුකයකින් යුතු මෙම සුදුමැලි තරුණයා ජුන්ගේ කාමරයෙන් පිටව, නිදිමත මුහුණින් මා දෙස බලා යන්තම් හිස වනා, නාන කාමරයට වැදුණේ ය. නවාතැනට පිවිස සතියක් ගතවන තුරුම කිසිදු සටහනක් නොතිබූ තැනැත්තෙක් හැන්දෑ වරුවක නිදිමරගාතයෙන් කාමරයකින් එක්වරම පිටට පැමිණීම මා කිසිවිට බලාපොරොත්තු නොවූවකි. වඩා විශේෂම කාරණය ඔහු මාහට මෙන්ම සියල්ලන්ට ම අමුත්තෙකු මෙන් වීම ය. 

“ඒ හැරී. එයා එංගලන්තෙන්... අපි නිදාගන්නකොට එයා නැගිටලා වැඩට යනවා. අපි වැඩට ගියාම එයා ඇවිත් නිදාගන්නවා“

අමුත්තා පිළිබඳ පසුව මා කළ විමසීමට ජුන් දුන්නේ එවන් පිළිතුරකි. එහෙත් ඔහු කිනම් රැකියාවක නිරත වූවෙක්ද යන්න හෝ වෙනත් කිසිදු තොරතුරක් දත්තෙක් නවාතැනේ නොවී ය. නිවාඩු දිනක වුව අප හා වචනයක් හෝ දෙඩුමට උත්සුක නොවූ හැරී නිශ්චිත සංඥා කිහිපයකින් (දෙකකින්) පමණක් අප හා සමග සබඳතා පවත්වාගෙන ගියේ ය. නිදිබර මුහුණින් හිස සෙළවීමත්, නිවසට ඇතුළු වන විට හා පිටවන විට,

“හායි මේට් - බායි මේට්“ 

කීමත් යන දෙයාකාරයයි ඒ. ඉඳහිට මොහොතක, නව වෙනසක් කලාක් මෙන් ‘බායි‘ යන්න වෙනුවට ඔහු ‘සී යූ‘ යන්න යෙදූ අවස්ථා ද විය. 

අභිරහස් නිවැසියා හැරී මෙන් නොව සොයි නිතර නිවහනේ දකින්නට වූ අතර ක්‍රිස්ටල්ට වඩා ඇය සමාජශීලී ද වූවා ය.

“ඔයා ඉන්දියාවෙන් ද?“

මා දුටු මුල් වතාවේම මගෙන් ඇය ඇසුවේ සුපුරුදු පැනයකි. අපගේ බාහිර රූපකාය අනුව බොහෝදෙනෙක් අනුමාන කරන්නේ අප ඉන්දියානුවන් බවයි.

“නැහැ. මම ශ්‍රී ලංකාවෙන්“

“ආ... ඒ ළඟම රටෙන්.... මම හිතුවා එකත් එකටම තඩි නහයක් තියෙනකොටම... ඒ පැත්තෙන් කියලා!“

මට ඇත්තේ විශාල නාසයකැයි කිසි දින මට නොහැඟුණ ද සොයිට එසේ පෙනී ගොස් තිබිණි. චීනුන්ගේ නාසය සාපේක්ෂව තරමක් කුඩා බව මට දැනෙන්නට ගත්තේ එවිට ය. 

නවාතැන් සගයින් සියල්ලන් වෙත මෙවැනි වදන් යොමු කොට සිනාසෙන්නට වූ සොයි කාගේත් සිත් දිනාගත්තේ නිරායාසයෙනි. යට කී ලෙස ඇය නිවසේ ලාබාල දඟකාරිය බවට සටහනක් තබන්නට නිතර සමත් වූවා ය.

සොයුරියක් නොමැතිව, දෙසොහොයුරන්ට මැදිව හැදී වැඩුණු මාහට බොහෝ කලක් යන තුරු කෙල්ලන් ආශ්‍රයට ඉඩක් ලැබුණේ නැත. විරුද්ධ ලිංගිකයින් ඉදිරියේ කුඩා කල ඇති කළ අපහසුව තවතවත් ඉහළ යවමින් මාහට යන්නට ලැබුණේ ද පිරිමි විද්‍යාලයකට ය. පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම මහනුවර විද්‍යාර්ථයේ අධ්‍යාපනය හදාල මම බාහිර පන්තියකදී පවා හැකි පමණ සිසුවියන් මග හරින්නට පුරුදු වුණෙමි. පාසැලේ හත්වැන්නේදී පමණ චෙස් ක්‍රීඩාව බාහිර ක්‍රියාකාරකමක් ලෙස තෝරාගත් මම මල්ලීද සමග පාසැලේ පුහුණුවීම් කටයුතුවලට සහභාගි වුණෙමි. බාහිර තරග සඳහා යාමේදී අවට පාසැල්වල බාලිකාවන් හමුවුවද සිත තුළ සැඟවුණු උවමනාව පරයා නැගෙන භීතිය නිසාම තරගය මොහොතට පමණක් ඔවුන් දෙස බැලීමට පුරුදු වීමි. තරගය සටහන් කෙරෙන සටහන් කොළය සිසුවියන් අතට දෙත්දීත්, තරගය අවසන අතට අත දී සුභ පතද්දීත් මා විසුළුවකට ගෙන ඔවුන් සිනාවනු ඇතැයි යන විශ්වාසයක් නිරතුරුව මා සමග විය. මගේ කණ්ඩායම් සගයින් වූ ගලප්පත්ති, අසන්ත, අයි.එස්, විජේසිංහ ආදීහු සිසුවියන් සමග කවට බස් දොඩද්දී මම හැකි පමණ දුරින් හිඳින්නට උත්සාහ කළෙමි.

සිසුවියන් අභියස පළායාමේ පුරුද්ද මවෙත ඇති වූයේ පවුලේ සොයුරියක් නොසිටි නිසා යැයි පැවසීම එක්තරා මුසාවක්දැයි විටෙක මටම සිතේ. සියල්ල පරයා සිත තුළදළු ලා තිබූ මා කෙසඟ‍, විරූපී කොල්ලෙකුය යන හැඟීම ඊට මුලින් වූ හෙළි නොකළ යථාර්ථයයි. 

පාසැලේ පහළ පන්තිවලදී අනිත් සිසුන්ට වඩා තරමක් උසින් යුතුවූ මම කෘෂ වූ ශරීරයකට හිමිකම් කීමි. මාගේ පෙනුම නිසාම සමීප මිතුරෝ ‘කෝටුවා‘ යන නාමය මා හැඳින්වීමට භාවිතා කළහ. මේ නාමයන් සිය නිර්මාණශීලී බව හරහා නවීකරණයට ලක් කරන මා සුමිතුරා වූ විදුර එකළ මා ඇමතුවේ ‘ඇටකෝටු බාස්‘ යන නමිනි. වචනයේ පරිසමාප්තයෙන්ම මම ඇට කෝටු බාසෙකු වන්නට ඇතැයි මට සිතෙන්නට ගන්නේ පාසැලට නොයන සති අන්ත වලදී ය. 

මහගෙදර පිටුපසින් වන කුඩා කඳු ගැටය දක්වා දිවෙන ඉඩම් කට්ටියේ කාණු ආදිය කැපීමට අයියාත්, චූටි බාප්පාත් සති අන්ත වෙන් කරන අවස්ථා වේ. ඔවුන් කඳු ගැටිය දෙසට පා ඔසවත්ම මමද ඒ පසුපස ඇදෙමි.
 
“හා සුද්ධ කරමු බලන්න එහෙනම් මේ කාණුව“

දෙදෙනාම එක්ව මා වෙත උදැල්ලක් දිගු කරති. පරාජය නොවීමේ තිර අදිටනින් උදැල්ල ගන්නා මාහට විනාඩි කිහිපයකින් කණ වැකෙන්නේ උස්ව නැගෙන ඔවුන්ගේ සිනා හඬයි. 

“හරියකට උදැල්ලවත් අල්ලගන්න පුළුවන් නං! අන්න බලන්න ඒක කරන විදිහ!!“ 

දෙදෙනාගෙන් අයෙකු මගේ ක්‍රියාව විස්තර විචාරයකට ලක් කරයි. කඳුළු සඟවාගන්නා මම යළි නිවස කරා ඇදෙමි. 

“මම නං ඇට කෝටු බාසෙක්ම වෙන්න ඕනෙ!“

මිතුරන්ගේ හා නිවැසියන්ගේ අදහස් අවසන මම තීරණය කළෙමි. ඇට කෝට්ටෙකුට කිසිදු කෙල්ලෙකු කැමති නොවනු ඇති බවත්, මම පිටුපා යද්දී සියලු කෙල්ලන් මා පෙන්වමින් සිනාසෙනු ඇති බවටත් විශාල විශ්වාසයක් කල් යත්ම මා තුළ ඇති විය. මෙය කෙතරම් ප්‍රබල ලෙස මසිත අරා නැගිණිද යත් තරුණියන් හා සාමාන්‍ය පරිදි කතා බහක යෙදෙන්නට මා සමත් වූයේ පාසැලින් සමුගත් පසු ය.

6 comments:

  1. මිශ්‍ර ඉස්කෝලෙකට ගිය නිසා කොල්ලො දැක්කම බයේ දුවන ,ගැහෙන ගතියක් තිබ්බේ නෑ කොහෙත්ම .කොල්ලොත් එක්ක එකටම වැටිලා මගෝඩි වැඩත් කරලා තියේ .ගෙදරට කියන්නේ පුතා කියලා නිසා තරම්ක් කොලු ගති එහෙමත් තියෙනවා.ඒත් කැම්පස් ගියාම හරි අමාරුවක වැටුනේ . කොල්ලන්ගෙන් පුරුදු වුන වචන සෙට් එකක් තිබුණා ඒව ඉබෙම එලියට එනකොට බාලිකා ඉස්කෝල වලින් ආව යාලුවො ඇස් උඩ ඉන්දන් මේ කොහෙන් ආව වල් සතෙක්ද කියලා වගේ බලන් ඉන්න තියාගත්තා .ඉතින් වහාම ඒ වල් ගති අතෑරලා මතු ආරක්ෂාවට සිවිලයිස් වුනා :) ඒවුනාට අදත් අර ඉස්කෝලේ කාලේ හොඳ යාලු කොල්ලො/කෙල්ලො මුණ ගැහුනම මචං කියාගත්ත ගමන් තමයි ඉන්නේ . අපිව පොඩි කාලේ ගැටෙන පරිසරය හදන වඩන විදිය මොන තරම් දේවල් තීරණයකරනවද අන්තිමට

    ReplyDelete
  2. බාලක බාලිකා ලෙස පාසල් වෙන් කලේ අධිරාජ්‍ය සමයේ නේද ..තවමත් ලංකාවේ හොඳයි කියන පාසල් [ මධ්‍ය මහා විද්‍යාල හැරුන විට ] මේ කියන දෙවර්ගයේ ඒවාය . බටහිර ඇත්තන් මිශ්‍ර පාසල් වලට මාරු වෙද්දී අපිට බැරි ඇයි. බෙදා ඉගැන්වීම තුලින් මේච්චල් කිරීම පහසු නිසා විය හැකිය . අනෙක් අතට මිශ්‍ර පාසලක ඉගෙන ගත් අක්කාට වඩා මා සමාජ ශීලි මන්ද . මට ඇයට වඩා පිරිමි යහළුවන්ද සිටි . මෙය පුද්ගල චරිතයන්ගේ ආවේනික ලක්ෂණයක් විය හැක . තවත් අතකට පිරිමි ළමයින් නැතිකළ සියලු කොලු වැඩද අපට කරගන්නට සිදු වූ නිසාද විය හැක [ තාප්පයෙන් පැන අල්ලපු වැටේ නෙල්ලි කැඩීමේ සිට ඩෙස්ක් පුටු වල තීන්ත ගෑම , කළු ලෑල්ල කළු කිරීම දක්වා ] .

    ගැහැණු පිරිමි දෙකොටසම උන් පවුලක නිසා මට පිරිමි ළමුන් ආශ්‍රය ලොකු ප්‍රශ්නයක් නොවිණි . අනෙක සුකුමල ලලනා ලලිත්යට වඩා මදක් කොලු ගති පිහිටීම සමාජයේ ඉහ ගසා සිටීමට ප්‍රයෝජනවත්ය .

    චීන තරුණිය ඔබ සිත් ගන්නට ඇත්තේ ඇය බටහිර තරුණිය මෙන් ඔබව අභිබවා නොයාම නිසා වන්නට ඇත . ගැහැණු ළමයින් දරදඬු වීමට වඩා පිරිමි වඩා කැමති ඔවුන් සුරතල් වෙනු[cute ] දකින්නට නිසාය .

    දැන් නම් ඇට කෝටු ගතියක් අපට නොපෙනේ .D . ඒ කාලයේ කන ඒවා එස් ලෝන් බටයකට දැම්මා වගේ නොවේද . අද ????

    ReplyDelete
  3. ඔබ අපුරුවට වර්තමානය සහ අතීතය මේ ලියමනේදී ගලපා ඇත.

    ReplyDelete
  4. TG ගෙන් තමයි දැන ගත්තෙ මේ බ්ලොග් එක ගැන. අපූරු ලිවීමේ රටාවක්. කියවන්නා ඇද බැඳ තබා ගන්නට සමත් වචනයක් ගානෙ. හැම පෝස්ට් එකක්ම කියවලා බලන්න ඕන. ජය!

    ReplyDelete
  5. මටත් ඔය සමාන අත් දැකීම ඇත.

    http://dayal-bathee.blogspot.com.au/2012/11/blog-post_12.html
    "අය්යෙ, මට ජෝතිගෙ, ආදර මල් පවනේ කොත්තුවක් දාන්න"

    "මල්ලි, දාන්න බලන්න අමරදේව මහත්තයගෙ, මින්ද්ද හී සර කොත්තුවක්.."

    ReplyDelete