Thursday, May 17, 2012

සිඩ්නි විශ්වවිද්‍යාලයට ගියෙමි...

(2012 මාර්තු මස 08 වැනිදා)

ඊයේ දිනයේ සිඩ්නි විශ්වවිද්‍යාලය වෙත ගිය ගමන කදිම මතක සටහන් රැසක් ඉතිරි කළ එකකි. මාගේ උපදේශිකාව වන ලලීන් ජයමාන්න සිනමා අධ්‍යයන අංශයේ සිය කාමරයේදී ඉතා උණුසුම් ලෙස මා පිළිගත්තා ය. හැට වැනි වියේ පමණ පසුවන බව පෙනෙන ඇය සිනමා අධ්‍යයන අංශයේ ප්‍රධානම ශාස්ත්‍රඥයින් අතර නම සඳහන් කරගෙන සිටින ශ්‍රී ලාංකිකයෙකි. ඉතා කුඩා ශරීරයකින් හෙබි වුව ආකර්ශනීය පෞරුෂයක් මේ කදිම කාන්තාව සතු ය. සුනිල් විජේසිරිවර්ධනයන් වරෙක මා සමග පැවසූ පරිදි මැය අප සිනමාවේ මුල්කාලීන සිනමාකරුවකු වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ දියණියයි. එහෙත් ආ විගස,

“ලලීන්ගෙ තාත්ත නේද බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න?“ 

කියා අසන්නට මට නිර්භීතකමක් පහළ නොවේ. සියල්ල හාස්‍ය නාටක හෝ කාටූන් චිත්‍රපට ආශ්‍රය කොටගෙන විග්‍රහ කරන සුදත් කියන්නාක් මෙන් “මගෙ අම්ම තාත්ත ගැන අහන්නද තෝ මෙහෙ ආවෙ“ කියා ඇය අසන්නට බැරි නැත. 

කෙසේ වෙතත්, මනා ලෙස අපගේ ඉදිරි කටයුතු භාෂාද්වයෙන්ම පැහැදිලි කර දුන් ලලීන් මාගේ සහාය උපදේශකවරයා වන රිචඩ් ස්මිත්ටද මා හඳුන්වා දුන්නා ය. රිචඩ් සිය පශ්චාත් උපාධි දේශන මාලාවන්ට සහභාගි වන ලෙස මට ආරාධනා කළේ ය. පූර්ණ ලෙස පර්යේෂණ නිබන්ධනයකට සූදානම් වන මාහට නිශ්චිත දේශන මෙහි නොමැත. කෙසේ වෙතත් සිනමා අධ්‍යයනාංශයේ පැවැත්වෙන‍, පශ්චාත් උපාධි ශිෂ්‍ය පිරිස් සඳහා වන දේශනවලට හැකි සැම විටම සහභාගි වීමට මම අදහස් කරගෙන සිටිමි. 

“ඔය කැම්පස් වල මාසෙකට තියෙන ගෙස්ට් ලෙක්චර්ස් ටික නිකං අහගෙන හිටියත් මදි ද? මේ බූරු වහන්සේ ගයිඩ් රට ගිහින් කියල ලංකාවට ඇවිත් ගෙදරට වෙලා ඉන්නව“

ආනන්ද සර් වරෙක එසේ දොස් නැගුවේ ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධියට සුදුසුකම් ලැබ සිටි මගේ සමකාලීනයෙකු සිහි කරමිනි. ඔහුත් මමත් එකම වසරේ විශ්වවිද්‍යාලය ප්‍රවේශය ලබා ලලිත කලාව විශේෂ උපාධියට හැදෑරූ මිතුරෝ වීමු. මාගේ ගම් පියසට එහා ගමේ විසූ ඔහු පාසල් වියේ මාගේ බාල සොයුරාගේ මිතුරෙකි. උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරා දෙවරක්ම ප්‍රවේශ වරම් නොලැබූ මම කලා විෂයය ධාරාව යටතේ විභාගයට පෙනී සිටියේ ඔහු හා එකම වසරේ දී ය. 

පේරාදෙණියේ දී නවක වද විරෝධියෙකු වූ මාහට කලා පීඨයේ වූයේ මිතුරන් අතලොස්සකි. මාගේ නවක වද විරෝධී බව නිසා ‘අලයෙකු‘ ලෙස හංවඩු ගැසුණු මා සමග දිගු මිතුදමක් ගොඩ නගා ගැනීමට ඉදිරිපත් වූයේ කිහිප දෙනෙකි. ලලිත කලාව, පුරා විද්‍යාව හා සිංහලය හැදෑරූ මට දෙතුන් දෙනෙකු වූ සමීපතමයින්ගේ මිතුරු සමාගමය ඉහළින් දැනිණ. සිවු දෙනෙක් වූ අපේ කණ්ඩායමෙන් දෙදෙනෙක්ම ප්‍රථම වසර පරීක්ෂණයෙන් සමත්ව මා සමගම ලලිත කලා විශේෂ උපාධිය සඳහා ලියාපදිංචි වූ අතර අනෙත් මිතුරා තෝරාගත්තේ සාමාන්‍ය උපාධි පාඨමාලාවයි. 

චිත්‍ර කලාව හැදෑරීමේ ආශාවෙන් පසු වුවද මගේ මිතුරන්ට ඒ සඳහා පාඨමාලාවක් ලලිත කලා අධ්‍යයන අංශයේ නොතිබිණි. සිනමාව හා රූපවාහිනිය හැදෑරූ අප තිදෙනා සමග නැටුම් විෂයය නොතිබූ නිසාවෙන් පැමිණි ශිෂ්‍යාවන් දෙදෙනෙකු ද විය. සිවු වස අවසානයේ යට කී සගයාට හා එක් සිසුවියකට ප්‍රථම පන්ති සාමාර්ථ ලැබී තිබුණේ ය. මා හට දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලැබුණු අතර අනෙක් දෙදෙනාටම හිමි වූයේ දෙවන පෙළ පහළ සාමාර්ථයන් ය. 

මාද ඇතුළුව තිදෙනෙකුට අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්ය තනතුරු ලැබිණි. වසර තුනක පමණ සේවා කාලයකින් පසු පැමිණි ස්ථිර තනතුරු සඳහා වූ සම්මුඛ පරීක්ෂණයෙන් සමත්ව ඉතිරි දෙදෙනා ලලිත කලා අංශයේ නතර වද්දී මාහට සිදු වූයේ පිටව යාමට ය. තාවකාලික තනතුරෙහි තවත් කෙටි කලක් රැඳී උන් මම කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයට ස්ථිර කථිකාචාර්ය තනතුරක් ලබා එහි සේවයට බැඳුනෙමි. 

දීර්ඝ තොරතුරු සාකාච්ඡාවකින් පසු මා සිනමා හා කලා ඉතිහාස අංශයේ  ෂෙෆර් පුස්තකාලයට හා ප්‍රධාන පුස්තකාලය වූ ෆිෂර් පුස්තකාලයට කැඳවාගෙන යාමට ලලීන් අමතක නොකළා ය. ෂෙෆර් පුස්තකාලයේ කාර්ය මණ්ඩලයේ සියල්ලන්ට මා හඳුන්වා දුන් ඇය එහි තිබුණු සිනමා පොත් පත් රාක්ක අතර සවාරියක් සඳහාද මා කැඳවාගෙන ගියා ය. අපගේ මුල්ම හමුව නිමා වූයේ නීති පීඨ ගොඩනැගිල්ලේ ආපන ශාලාවෙන් ලබාගත් උණුසුම් කෝපි කෝප්ප දෙකක් තොලගාමින්, රසායන විද්‍යා ගොඩනැගිල්ල අ‍භියස එළිමහනේ බංකුවක වාඩි වී සිදු කළ දීර්ඝ සංවාදයකිනි. මාහට හමුවුණු බොහෝ විදේශගත ලාංකිකයින් මෙන්ම ඇයද ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳ දැක්වූයේ මහත් කණස්සල්ලකි. 

“සුදු වෑන් කතා හරි භයානකයි නේද?“ තරමක නුහුරු මුත් නොවරදින සිංහල බසින් ඈ මගෙන් විචාලා ය. 

අපේ කතාවට පෙර දින කිහිපයේද සුදු වෑන් පැහැර ගැනීම් හා ජිනීවා සාකාච්ඡා ආදිය රට උණුසුම් කර තිබුණේ ය. සුදු වෑන්, පැහැරගැනීම්, යුද්ධය හා පශ්චාත් යුද තත්වය ආදී තොරතුරු අපේ සාකච්ඡාව සමග දිගහැරෙද්දී කෝපි කෝප්පය සමග තෝරාගත් කේක් කැබැල්ලෙන් ගැලවීගත නොහී මම අසරණ වුණෙමි. ලලීන්ගේ ඉල්ලීම පරිදි මා එය තෝරාගත්තේ එහි තිබුණු පැණි රසය අඩුම වර්ගය ඒ බව අනුමාන කරමිනි. විදේශයකදී කෑම බීම තේරීම හමුවේ බොහෝ විට සිදුවන අකරතැබ්බය මෙහිදීද යථාර්ථයක් කරමින් එය අධික පැණි රසකින් යුක්ත විය. මා පත්ව සිටින අපහසුව වටහාගත් ලලීන්,

“කොහොමත් මෙහෙ රස කැවිලි හරිම පැණි රස තමයි“ කීවා ය. ඇය මිලට ගෙන තිබුණේ කෝපි කෝප්පයක් පමණි. 

නීති පීඨ ගොඩනැගිල්ල
සිඩ්නි විශ්ව විද්‍යාලයේ එළිමහනේ වාඩි වී කල් හැරීම අව් රශ්මිය සහිත මොහොතක සුවයක් ගෙන ආවත් හිරු වළාවකට මුවා වී, සුළං හමන්නට ගත්ම සිරුරට පීඩාවක් දැනෙන්නට ගනියි. සමුදුරුබඩ පිහිටි නගරයක් වන සිඩ්නිය පිස හමන සුළඟ සැමවිටම කටුක ශීතලක් ජනනය කරන්නකි. එළිමහන් බංකුවෙන් නැගී යළි සිනමා අධ්‍යයනාංශය දෙසට යාමට පය ඔසවත්ම මම අවට සිසාරා බැලීමි. වසර 150කට වඩා පැරණි ගුරු පැහැ, තුංග ගොඩනැගිලි පෙළ මනස්කාන්ත දර්ශනයක් මවයි. නවීන ගොඩනැගිල්ලක් වන නීති පීඨය ද අසිරිමත් ය. 

“ලස්සන කැම්පස් එකක්“ මුවට ආ වදන මම අනායාසයෙන් පිට කර හැරියෙමි.

“ඔව්, ඒත් පේරාදෙණිය තරම් නං නෙවෙයි“ ලලීන් පිළිවදන් දුන්නා ය.

6 comments:

  1. මාතෘකාව ලෙස දිනයට අමතරව තව පොඩි උප ශීර්ෂ පාඨයක්ද යොදන්නේ නම් මැනවි.

    ReplyDelete
  2. සුපවයිසර් ලංකාවේ කෙනෙක් වෙච්චි එක හොඳයි නේද? :)
    දිගටම ලියන්න සුභ පැතුම් !

    ReplyDelete
  3. කතන්දරගෙන් පාර අහගෙන ආවේ. බලමුකො... ඉදිරියේදී හොද සටහන් ටිකක් කියවන්න ලැබෙයි කියා හිතනවා. ජය!!!

    ReplyDelete
  4. කතන්දර බ්ලොග් එකේ ලින්ක් එක දැකලා ආවෙ. හිතට අල්ලලා ගියා බ්ලොග් එක

    ReplyDelete
  5. ලිඛිත බසින් වුවත් කතාව ඔබ විස්තර කරන ආකාරය රසවත්

    ReplyDelete
  6. සිඩ්නි ඔපෙරා හවුස් එක ගැනත් දවසක ලියාවි කියලා හිතනවා

    ගුඩ් ලක් ෆොර් යුවර් ස්ටඩීස් !!!

    ReplyDelete