(2012 - ජූලි)
ජූලිය එළඹ ඇති
නිසා නැගෙමින් තිබුණු තද ශීතල මුහුද දෙසින් හමා එන සුළඟ හේතුවෙන් දෙගුණ වී ගිය ද
ශීත දෙස හිත යොමන්නට නොහැකි තරමට සිත බරව ඇත. සිඩ්නි ඔපෙරා රඟහල දෙසට ඇදෙන්නෝ මා
ඉදිරිපසින් දකුණු පසට ද, අනෙත් අන්තයේ වන කලාගාර වෙත ඇදෙන්නො වම් පසට ද ඇවිද යති.
සිඩ්නි හාබරය අහම්බෙන් නෙත ගැටී, මා විශ්මයට පත් වුණු රාත්‍රියේ මෙන්, දැවැන්ත
නෞකාවක් අද එහි මගී පර්යන්තයේ නවතා නැත. එය හිස්ව ඇති අතර ඒ අවකාශය තුළ කුඩා බෝට්ටුවක්
ඉදිරියට ඇදෙනු පෙනේ.
ගෙවී ගිය මාසය
ඇදහිය නොහැකි සිතුවම් පටයක් වැන්න. මසකට පෙර සිඩ්නියේ කොන්සල් කාර්යාලයෙන් ආ
කැඳවීමේ පටන්, මව්රට බලා ගොස් පෙරළා පැමිණි කාලය යළි යළිත් මෙනෙහි කරත්ම, එය සත්‍යයෙන්
ඔබ්බෙහි යම් මායා ලොවක සිදුවූවක් ලෙස පිළිගන්නට සිත තුළින් නැගෙන බල කිරීම ඉහළ
යයි. කෙසේ වෙතත්, මා මසකට පෙර කටුනායක ගුවන් තොටුපොළට සේන්දු වූ ආකාරය, එහි දී මා
කැඳවාගෙන යාමට වෙනත් විශ්වවිද්‍යාලයක ආචාර්ය මණ්ඩල සගයෙකු වූ සුනිල් අයියා පැමිණ
සිටි ආකාරය, පාන්දර සමයක නිවෙසට ළඟා වූ මට තාත්තිගේ සියුම් මන්දස්මිතයක් සහිත දෙන
නෙත ගැටීම ඇතුළු සිදුවීම් එකින් එක මෙනෙහි වෙද්දී, එය යථාවක් බව පැහැදිලි වෙයි.
මසක් ශ්‍රී
ලංකාවේ ගත කොට, මා යළි සිඩ්නියට පැමිණියේ ඊයේ ය. හරියටම මැදි රැයේ කටුනායක ගුවන්
තොටුපොළෙන් පිටව සුනිල් අයියාගේ රථයෙන් මහනුවර බලා ගොස් මසක් ගතව ගොසිනි. වෙනකකු
නොපැමිණ, සුනිල් අයියා එහි පැමිණ සිටියේ මන්දැයි මා ඔහුගෙන් නොවිමසූ අතරම, සිදුව
ඇත්තේ කුමක්දැයි යන්න පිළිබඳ කිසිවක් කතා නොකරමින්, වෙනත් ආ ගිය තොරතුරු පමණක් කතා
කරමින් රථය පදවන්නට ඔහු ද වග බලාගෙන සිටි බවක් පෙනෙන්නට තිබිණ.
“අපි තේකක්
බීල යමු නේ ද මල්ලි?“
කුරුණෑගල හරහා
මහනුවරට එන්නට පිටත්ව සෑහෙන මොහොතකට පසු ඔහු මගෙන් ඇසුවේ ය. විවෘතව තිබුණු කුඩා
හෝටලයකින් තේ කෝප්ප දෙකක් මිලට ගත් අපි, තවකකු වෙනුවෙන් තැනෙන කොත්තු තාලයකට කණ
යොමමින් ඒ පානය කළෙමු. ‘සුනිල් අයියා මාව ගන්න එව්වෙ කවු ද?‘ වැනි වදනකින් සංවාදය
ප්‍රධාන මාතෘකාව වෙත හැරවීමට නැගුණු උවමනාව, සිත තුළින්ම නැගුණු ප්‍රති-විරෝධයකින්
නැසී ගියේ ය. එය නැගුණේ රථය මාවතගම පසු කරද්දී ය. සුනිල් අයියා වෙතින් ය.
“මල්ලි, උඹ
දන්නව ද උඹ මේ යන්නෙ කොහෙට ද කියල?“
“ඔව්. අපෙ
තාත්ති නැති වෙලා!“ මම පිළිතුරු දුන්නෙමි.
“හරි. උඹ ඒක
දැනගෙන යනව නම් හොඳයි. ඒත්, උඹගෙ කිසිම වෙනසක් පේන්න නැති නිසා මට සැකයක් ආව උඹ
ඇත්ත සිද්ධිය දන්නෙ නෑ වද්ද කියල“
“අපෙ තාත්තිගෙ
තාත්ත, ඒ කිව්වෙ අපෙ සීයා, නැති වෙලා තියෙන්නෙ එයා බඳින්නත් කලින්ලු. ඒ වෙද්දි
පවුලෙ රස්සාවක් කරපු කෙනෙක්ට ඉඳල තියෙන්නෙ තාත්ති විතරයිලු. නුවරදි අසනීප වෙච්ච
සීයව රත්නපුරේට එක්ක ගිහින්, ඉස්පිරිතාලෙ නවත්තගෙන සතියක් විතර බලාගෙන, එහෙදි නැති
වුණාම සීයගෙ බොඩි එක නුවර ගෙනත් සේරම කරල තියෙන්නෙ තාත්ති. එයාගෙන් මං ඉගෙන ගත්ත හයිය,
එයාගෙ මළගම වෙලාවෙ නැති කරගන්න බැහැ සුනිල් අයිය....“
එම වදන් මගේ
මුවට නැගුණු ආකාරය මටම පැහැදිලි නැතත්, සිත තුළ තෙරපෙමින් තිබුණු දැඩි ශෝකය
වාවාගෙන ඉදිරියට මුහුණ දිය යුතු යැයි මගේ සිත මට කියා තිබිණ. පාන්දර මා නිවසට පා
තබද්දී මහරගම බාප්පා ඇතුළු පිරිස වහා මවෙත පැමිණියේ මා හඬා වැටෙනු ඇතැයි සිතා බව
මට පෙනුනත්, තාත්තිගේ මුහුණ දෙස නිහඬව බලා සිටිනු හැර ඔහු ඉදිරිපිට හඬන්නට මගේ සිත
අවසර දුන්නේ නැත.
සිඩ්නි හාබරය
ඉදිරිපසින් ඇවිද යමින් සිටි වියපත් සුදු ජාතිකයෙකු මා අසුන්ගෙන සිටි බංකුවේ අනෙත්
කෙළවරට බර වූයේ මදෙස බලා හිස සලමිනි. අත වූ බස්තම වාරුවකින් තොරව වැඩි දුරක් ඇවිද
යාමට ඔහුට ඇති අපහසුතාව පිළිබඳ සාක්ෂි සැපයී ය. මම ඔහුට සිනහවකින් සංග්‍රහ කොට යළි
ඉදිරිය දෙස බැලීමි. හාබරයේ ෆෙරි නැවතුමේ සිට දෙමහල් බෝට්ටුවක් පිටත්වනු පෙනේ. එහි
විශාල මගීන් පිරිසක් පෙනෙන්නට නැත. ඇතැම් විට පිටත ඇති සීතල හේතුවෙන් වැඩි දෙනෙකු
ඇතුළු කලාපයන්හි අසුන් ගෙන විය හැකි ය.
“අයියට නං
එච්චර දුකක් නෑ වගේ නේදැයි“ ඥාති සොයුරියක් තවකෙකු විමසූ විත්තිය මා හා කීවේ නිරූ
ය. ඇය සොයා ගොස් මා තුළ තෙරපුණු වේදනාව පහදා දීමට උවමනාවක් මා තුළ පැන නැගුණේ නැත.
එක් අතෙකින් එය පහදා දිය නොහැක්කකි. මගේ ජීවිතයේ ඒ වන තෙක්ම මා දුටු විශිෂ්ටතම
චරිතයක්, වැඩිපුරම ආදරය කළ මිනිසෙක්, යෝධ සෙවණැල්ලක් අහිමිව යෑමේ වේදනාවට වචන
තිබිය හැකි ද?
මා යළි මව්
බිමට පා තබා දෙදිනකට පසු යෙදුණු සැඳෑවේ තාත්තිගේ රූපය සදහටම මැකී ගියේ ය.
සුදුවතින් සැරසුණු බොහෝ දෙනෙකු මහයියාව පොදු සුසාන භූමියේ ආදාහනාගාර මිදුලේ දී
අපෙන් සමුගත්තේ වේදනාබරිත මුහුණුවලින් යුතුව අපට ශෝකය ප්‍රකාශ කරමිනි. සැබවින්ම
ඔවුන් දුක් වනු ඇත් ද? නොඑසේනම් චාරිත්‍රයක් ලෙස ඔවුන් දුකින් පිරි මුහුණින් අපට
කතා කර පිටව යනු පමණක් ද? පිළිතුර කුමක් වුවත්, දිනකින් හෝ දෙකකින් ඔවුනතුරින්
බහුතර පිරිසකගේ මනස් ලොව තුළින් අපේ තාත්ති පිළිබඳ මතකය මැකී යනු ඇත. වසර 45කට
නොඅඩු කාලයක් ස්ථිර සේවකයකු ලෙසත්, කොන්ත්‍රාත් සේවකයකු ලෙසත් මෙරට තේ වතු යායවල
ලිපිකාර සේවයේ නියුතුව උන් ඒ සුදුවන්, සිහින් සිරුරැති මිනිසා, සිය තාත්තාගේ අකාල
මරණයෙන් පසු සිය මව, නැගණිය සහ බාල සොයුරන් තිදෙනාගේ ජීවන බර කරට ගත් මිනිසා, අවිහිංසක
ගැහැණියක හා විවාපත්ව, පුතුන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකු වෙමින් ඔවුන්ගේ අනාගතය සරි
කළ මිනිසා මතු නොව, මහවැලි නදියේ ගිලී මියෙන්නට ගිය නන්නාඳුනන්නන් කිහිප දෙනෙකුගේම
දිවි ගලවාගනු පිණිස දිය පීරා පිහිනූ මිනිසා, විශාල ලැයිමක විසූ සිය ගණනක් දමිළයන්ගේ
ජීවිත ගලවා ගනු පිණිස පතරොම් නැති තුවක්කුවක් ගෙන, 1983 ජූලියේ රැයක ගල් තලාවක
අඳුරේ රැක සිටි මිනිසා.... යනාදී වශයෙන් චරිතයන් ගණනාවක් තාත්තිත් සමගම මහයියාව
ආදාහනාගාරයෙන් අහස් කුස වෙත නැගී අතුරුදන්ව ගිය බව දන්නේ කොපමණ සුළු පිරිසක් ද?
ඒ සියල්ලන්
නොව මගේ තාත්ති සිහි කොට මම හැඬුවෙමි. මළගමෙහි අවසන් කටයුතු නිමවූ දිනට පසු දින,
සියල්ලන් පිටව ගොස්, විවිධ මරණාධාර සමිති සහ ආයතනවලින් ගෙනැවිත් තිබූ බඩු
බාහිරාදිය සියල්ල යළි භාර දී පැමිණි පසු එළඹුණු ශුන්‍යත්වයේ මොහොත තුළ වේදනාව මා
සොයා පැමිණියේ ය. නිවසේ දොරටුව ඉදිරිපසින් පහළට වැටී ඇති පිවිසුම් මග දෙස බැලූ මට
සිඩ්නියට යාමට පෙර තමන්ටත්, රෝගාතුර අම්මාටත් සවස තේ සඳහා බනිස් ගෙඩි දෙකක් රැගෙන කන්ද
නැග එන තාත්ති මැවී පෙනුණේ ය. ඔහු දැන් නැත. සාලයේ කෙළවර පුටුවක වාඩි කරවා ඇති
අම්මා පෙරමග බලා හිඳින්නී ය. ‘නෝනට මේක ඕනැ වෙයි‘ කියමින් තාත්ති ඇයට සතියකට පෙර සුදු
උඩුකය ඇඳුමක් ගෙනත් දුන් බව අම්මා කීවේ මළගම අතරතුර ය. ඔහු පිට වූයේ දැනගෙන ද?
ඇතුළු කාමරයකට
වැදුණු මගේ නෙතින් කදුළු කඩා හැලුණේ ය. සිඩ්නියේ කොන්සල් කාර්යාලයේ දී පණිවුඩය ලැබුණු
තැන පටන් ඒ මොහොත දක්වා සිර කරගෙන සිටි වේදනාව පුපුරා හැලෙමින් තිබිණ. ඇය පමණක්,
ඔව්... නිරූ පමණක්, මගේ අතක් දැඩිව අල්ලාගෙන මගේ අසලින් වාඩි වී සිටියා ය.
‘එයා ගිහින්!‘
මා ඇයට කීවේ එපමණකි.
විසල් බෝට්ටුව
ඒ වන විට කුඩා රූපයක් බවට පත්ව තිබිණ. එය විසල් සිඩ්නි හාබර පාලමට පහළින් පැරමටා
ගංගාව දෙසට හැරෙමින් තිබිණ. බංකුවේ අනෙත් කෙළවර අසුන්ගෙන උන් මහල්ලා නැගිට ගොසිනි.
ඔහු එතැන අසුන් ගද්දී අත තිබුණු පුවත්පත තවමත් බංකුව මත ය. ඔහුට එය අමතක වූවා ද?
මම නැගී
සිටියෙමි. නොදැනීම දෙනෙතින් පහතට රූරා වැටුණු කඳුළු බිඳු දෙකක් දෙකොපුල් මත වේලී
ගොස් ඇති බව කලපුව පිස නැගී සිහිල් සුළඟ දන්වා සිටියේ ය. මම රීජන්ට් වීදිය දෙසට වන
කිලෝ මීටර කිහිපයක දුර පයින්ම යාමට තීරණය කළෙමි.