(2012 අප්‍රේල් මස 03 වැනිදා අඟහරුවාදා)
ඕනෑ ම සේවා ස්ථානයකදී ඔබට හමු වන ආයතන සේවකයා
ඉතා සුහද ලෙස ඔබට කෙසේ දැයි විමසීම ඔස්ට්‍රේලියාවේ දී සාමාන්‍ය සිරිතකි. එහෙත්
පිළිතුර කුමක්දැයි සෙවීමට මාහට මඳ වේලාවක් ගත වූයේ සී.ටී. ස්කෑන් පරීක්ෂණයට
පරීක්ෂණාගාරයට ගිය විට එහි සේවිකාව එසේ විමසූ විට ය. මෙහිවිත් ටික දිනකින් මතුව ආ
කොන්දේ වේදනාවක් ගැන අසා මා මෙම පරීක්ෂණයට යොමු කළේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරියකි.
සැබවින්ම මා දවස ගෙවන්නේ අපහසුවක් සහිතව ය. එහෙත් සේවිකාවට ‘හොඳින් ඉන්නවා‘ යැයි
නොකීම සාධාරණ ද නොවේ.
පරීක්ෂණය සඳහා මා කැඳවාගෙන ගිය හෙදිය සිදුකරන ක්‍රියාවලිය
පිළිබඳ විස්තර මාලාවක් ඉදිරිපත් කළා ය. ඇයගේ ඔස්ට්‍රේලියානු ඉංගිරිසි බිනීම හරි
හැටි නොවැටහුන ද මම සියල්ල තේරුම් ගත් බවක් ඇඟවීමි. ඇය කියනා දේ තේරුන ද, නොතේරුනද
මේ පරීක්ෂණය දැන් අත්‍යාවශ්‍ය එකකි.
ස්කෑන් යන්ත්‍රයට ඇතුළු කිරීමට මත්තෙන් මා ඇඳ මත
බෑවූ ඇය මගේ හිස නිසි එල්ලයකට සැකසී ය. ඇගේ අවසන් උපදෙස පරිදි මම දෙනෙත්
පියාගතිමි. විශ්වය තුළට ඇද දැමූ ස්වභාවයක් දරමින් යන්ත්‍රය මා ගිල ගනු දැනින. හිසට
දැනෙන මද උණුසුමක් සමග විග්රහ කළ නොහැකි
වටපිටාවක පාව යන ස්වරූපයක්
දැනෙද්දී හෙදියගේ උවදෙස් අමතක කොට හොරැහින් දෙනෙත් විවර කිරීමේ උමතු ආශාවක් මා තුළ
ඇති වූයෙන් උමතුව සමග සටන් කිරීමට තරයේ දෙනෙත් පියා ගතිමි. වරක් මා යන්ත්‍රයෙන්
පිටතට ගත් හෙදිය (මේ ඇතුළු කිරීම් පිට කිරීම් මාගේ උපකල්පනයන් මිස යථාව නොවිය හැක.
මා තරයේ දෙනෙත් පියා ගෙන උන් බැවිනි.) මාගේ වමතෙහි වැළමිට ආසන්නයට එන්නතක් ඇතුළු
කළා ය. ඇයගේ නොතේරුණු ඉංග්‍රීසි වැහැරීම ඒ සමග මට ප්‍රායෝගික ව වැටහෙන්නට විය.
තත්පර කිහිපයකින් මාගේ ශරීරය තුළ ආශ්චර්යජනක උණුසුමක් විහිද ගියේ ය. එය විග්රහ
කිරීමට සුදුසු වදනක් නොවෙතත්, ‘දෙලෝ රත්වීම‘ වැනි වදනකට කිට්ටු වදනක් ඊට උචිත බැව්
කිව යුතු ය.
යම් රෝගී තත්වයක් හමුවේ රෝහලක් වෙත යන්නට
සිදුවීම දේශීයව හෝ විදේශීයව වුව අපට ලබා දෙන්නේ නියත සංඥාවකි. ‘අප ශරීරය රෝගී වී
ඇත‘ යන්න එහි ඇති, සරල හා නිශ්චිත යථාවයි. එහෙත් ‘රෝගී වීම‘ යන්න දේශීයව හා විදේශීයව
වෙනස් ස්වරූප ගන්නා ආකාරය විදේශයන්හිදී විවිධ රෝගාබාධයන්ට ලක් ව ප්‍රතිකාර ලබා ගත්
මා දන්නා උදවිය බොහොමයක් හරහා හඳුනාගත් අවස්ථා බොහොමයකි. ඇතැමුන් විදේශයකදී රෝහලකට
යන්නට සිදුවීම සැළකුවේ තමන් ලද මහත් භාග්‍යයක් වශයෙනි.
“හප්පා... බලන්න එපායැ ඒ හොස්පිට්ල්වල ලස්සන...
බිම නිකං දාගෙන බත් කන්න පුළුවන් ගාණයි ඒවගේ පිරිසිදුකම උණත්...“
සිඩ්නි නුවර |
විදේශීය රෝහල්වලදී වෛද්‍යවරුන් ඉදිරිපස සිටින
රෝගියා වෙත පැමිණ ඔහු හෝ ඇය කැඳවාගෙන යන බවත්, අතිමහත් ගරුසරු සහිතව සළකන බවත්
අයියා වරක් පැහැදිලි කර දුන්නේ ඔහුගේ දියණියගේ උපත සිදුවූ ආකාරය පහදමිනි. ඇය උපදින
මොහොතේ විදේශයක උන් ඔවුනට දියණියගේ උපත සටහන් කරන්නට වූයේ එරට දී ය. දරු උපත
මොහොතේ පියාටත් මව සමග රැඳී ඉන්නට සැළැස්වීම එරට රෝහල් සේවය තුළ හමුවන විශිෂ්ට
කරුණු රැසකින් එකක් බව අයියා කරුණු ගෙනාවේ
ය.
“චූටි පුතා ලැබෙන්න මට අමාරු වුණු වෙලාවෙ කටුගස්තොට
ඉස්පිරිතාලෙන් මාව භාරගත්තෙ නැහැ... චූටි මල්ලිට හොඳටම තරහ ගියා ඒකට... අන්තිමේ
නුවර යන්න වුණා...“
මල්ලිගේ උපත පිළිබඳ මෙම පවත වචන කිහිපයක් ලෙස
අම්මාගේ මුවින් පිට ව ගිය ද ඇය ඒ මොහොතේ කෙතරම් වේදනාවක් විඳින්නට ඇති ද? කුළුඳුල්
දරුවා ලෙස අයියා උපදින විට ගමට ගොස් කුරුණෑගල රෝහලේදී නතරවී ඇති අම්මා මමත්,
මල්ලීත් උපදිද්දී නුවර මහගෙදරම නතරව සිට ඇත.
ශරීරයන්ත්රයෙන් මා පිටතට බෑවූ පසු හෙදිය පිටවන දොරටුව මා හට පෙන්වා දී
‘යළි හමුවෙමු‘ යි ද කීවා ය! මේ නම් අපූරු දෙයකි. මෙහි දී ඔබ යම් කිසි මුදලක් ගෙවා
සේවාවක් ලබා ගන්නා විටෙක අතිශය ආචාරශීලී වන ආයතන සේවකයෝ දොරවල් හැරගෙන විත් ඔබ
පිළි ගනිති. ආසනය වෙත කැඳවාගෙන ගොස් එහි හිඳුවා ලති. ‘ඉතින් කොහොමදැයි‘ අසති. සියල්ල
මුල සිට අසා සිටිති. සියල්ල අග මුල ඇති ව විස්තර කර දෙති. යළි පිටව යාමට දොර විවර
කොට දී, සුභ දවසක් පතා, ‘නැවත හමුවීමක්‘ ප්‍රාර්ථනා කරති. එහෙත් මේ සුපුරුදු පැතුම
හෙදියගේ මුවින් පිට වීම එතරම් මා සිත පුබුදු කළේ නැත. යට කී ‘දෙලෝ රත්වීම‘ එතරම්
සිත් ඇද නොගන්නා සුළු වූ බැවිනි.
අප රටේ රජයේ රෝහල්වල පමණක් නොව මුදල් ගෙවා සේවාව
ලබාගන්නා පුද්ගලික රෝහලක දී වුව දකින විට සිනාමුසුව, සුභ පතා පිළිගන්නා හෝ පිටව යන
විට සුභ දවසක් පතන්නා වූ රෝහල් සේවකයින් මාහට හමුව ඇත්තේ ඉතා කලාතුරකිනි. වරෙක ප්‍රසිද්ධ
රෝහලකදී විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීමට අන්තර්ජාලය හරහා අංකයක් ලබාගත් මට දින
කිහිපයකින් දුරකථන ඇමතුමක් ලැබුණේ අදාල දිනයේ වෛද්‍යවරයා නොපැමිණෙන බව සඳහන්
කරමිනි. ඒ වෙනුවට මා වෙත වෙනත් දිනයක්ද ලැබුණෙන් එම දිනයේ මම රෝහලට ගියෙමි. මුලින්
මා ලබාගත් අංකය පැමිණෙත්ම මම මගේ පත්‍රිකාව දොර අසළ උන් හෙදියට දුනිමි.
“ඔයා ටිකක් පැත්තකට වෙලා ඉන්න. මම කතා කරන්නං“
මගේ පත්‍රිකාව බලා කිසිදු තැකීමක් නොකළ ඇය කීවා
ය.
“ඒත් මේක මගේ නම්බර් එකනෙ“
“ඒ වුණාට මේක අදට ගත්ත නම්බර් එකක් නෙවෙයිනෙ“
“ඉතින් ඩොක්ටර් නැහැ කියල මට අද එන්න කිව්වෙ
මෙහෙන්මනෙ“
“වෙන්න ඇති. ඒත් පරණ අංක බලන්නෙ අන්තිමටම තමයි.
අද කට්ටිය බලල ඉන්න ඕන. අද තව නොම්බර 40ක් විතර ඇති“
“මොකක්??“
කිසිදු ගරුසරුවක් නොමැතිව ඇය මේ වදන් පෙළ කියා
මා පසෙකට කොට අනෙත් රෝගියකු දෙසට හැරුණා ය.
“ඉතින් එදා ඩොක්ටර් නොආපු එක මගේ වරදක්
නෙවෙයිනෙ“
මෙවැනි මොහොතක හිතට දැනෙන ආවේගය සහිතවම මම උස්
හඬින් කීමි.
“ඒව මම දන්නෙ නැහැ. ඔයාව දැන් ඇතුළට දාලා
ඩොක්ටර්ගෙන් මට බැණුම් අහන්න බැහැ“
මගේ අංකය අංක 05 ලෙස සටහන් රෝහල් පත්‍රිකාවත් අත
තබාගෙන එදිනට නියමිත අංක 40ක් පමණ නිමවන තුරු බලා සිටිය යුතු බව කියන මෙම තර්කයේ
ඇති සාධාරණ බව කුමක්ද? මසිතට නැඟුණේ කෝපයකි. මම වේගයෙන් විමසීම් කවුන්ටරයට ගියෙමි.
“මෙතන කම්ප්ලේන් එකක් කරන්න ඕන නම් ඒක කාටද
කරන්න ඕන?“
මම ප්රශ්නය ඇසූ ස්වරූපය නිසාම එහි සිටි සේවකයා
තරමක් වික්ෂිප්ත විය.
“ඇයි සර්? මොකක්ද ගැටළුව?“
මම සිද්ධිය ඔහුට පැහැදිලි කළෙමි.
“දැන් එතකොට ඩොක්ටර් ආවෙ නැත්තං අපිද පරිප්පු
කන්න ඕන රෑ වෙනකං ඉඳලා... මම දැන් නුවර යන්නත් ඕන... දැන් වෙලාව 7යි... මම කීයටද
යන්නෙ...?“
ක්‍රමයෙන් මගේ වාග් විලාශය වේගවත් වන බව මටම
හැඟී යමින් තිබිණි.
“සර් මේකයි... අපි අද ලිස්ට් එකට පිටින් සර්ව
ඇතුළට දැම්මොත් ඩොක්ටර්ට සමහර විට තරහ යන්න...“
“ඒ සමහර විටනෙ... මට කොහොමත් දැන් තරහ ගිහින්
ඉන්නෙ මේ අසාධාරණ වැඩේට... එදා ආවෙ නැත්තෙ මම නෙවෙයි එයානෙ... මාව ඇතුළට දාන්න.
එයාට මම කතා කරන්නම්“
මගේ ප්‍රකාශයත් සමග චැනල් කුටිය වෙත ගිය සේවකයා
එහි වූ හෙදියට යමක් කොඳුරනු මට පෙණින.
“එන්න...“
ඇය මා ඊ ළඟ වාරයේදීම වෛද්‍යවරයා වෙත යැව්වා ය.
“දැන් කොහොමද? කලින් ගත්ත බෙහෙත්වලින් ගුණයක්
නැද්ද?“
මා දුටු මතින් බැණ වදිනු ඇතැයි මා සිතා උන් වෛද්‍යවරයා
සාකච්ඡාව ආරම්භ කළේ එලෙසිනි. තමන් වෙත එන රෝගියා කුමන අංකයක් ලබා එන්නෙක්දැයි යන්න
ගැන ඔහු අවධානය නොයොදන බව මට අවබෝධ විය.